සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය

සිංහබාහු, සංස්‌කෘතික ප්‍රාග්ධනය හා විජිතහරණ ක්‍රියාදාමය – 2
සිංහබාහු තුළින් බිහි වූ විකල්ප මහා සම්ප්‍රදාය
මහාචාර්ය ගාමිණී කීරවැල්ල

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයන්ගෙන් දේශපාලන බලය පැවරෙන්නේ 1948 වුවද සංස්‌කෘතික විජිතහරණ ක්‍රියාදාමයේ නව නැම්මක්‌ සලකුණු වන්නේ 1950 දශකයේ මැද භාගයේය. එය එකවර හදිසියේ වූ සිදුවීමක්‌ නොව කාලයක්‌ තිස්‌සේ හිමිහිට වැඩුණු ඓතිහාසික බලවේගයන් මුහුකුරායැමේ ප්‍රතිඵලයකි. 1956 මහජන එක්‌සත් පෙරමුණ බලයට පත්වීම මෙම ක්‍රියාවලියේ එක්‌ සිදු වීමක්‌ පමණි. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක නායකත්වය දුන් මහජන එක්‌සත් පෙරමුණ මේ වන තෙක්‌ පාලක පක්‍ෂය ලෙස සිටි එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කොට මහජන රජයක්‌ ඇති කිරීම සමග මෙතෙක්‌ දේශපාලන බලයේ අද්දර සිටි නමුත් බලය හසුරුවන තීරණ ගැනීම සිදුවන බලයේ ආලින්දයට ගොඩවීමට නොහැකිව සිටි සමාජ ස්‌ථරයන්ට බලයට ළඟාවීමට හැකිවීමක්‌ ලැබිණි. මාර්ටින් වික්‍රමසිංහයන් 1956 ආණ්‌ඩු පෙරළියෙන් පසුව බමුණු කුලය බිඳවැටීම යනුවෙන් සඳහන් කළේ මෙම සංසිද්ධියයි. බමුණු කුලය බිඳවැටීම සමඟ දේශපාලන බලය හැසිරවීම තම අතට ගත් බමුණු කුලයට අයත් නොවන සමාජ ස්‌ථරයන්ගේ ස්‌වරූපය තේරුම් ගැනීමට එහි ඓතිහාසික පෙකණිවැල තේරුම්ගත යුතුය.

සංස්‌කෘතික විජිතහරණ ක්‍රියාදාමයේ ඓතිහාසික පෙකණිවැල

විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවේ දේශපාලන තලයේ වැදගත් වන සමාජ ස්‌ථරයන් නවක ලෙසින් පෙළගැසීම ආරම්භ වන්නේ 19 වැනි සියවස තුළ බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සිදුවූ ව්‍යqහාත්මක වෙනස්‌කම්වල ප්‍රතිඵලයක්‌ ලෙසටයි. බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් යටත්විජිත ධනේශ්වර ආර්ථික සබඳතාවයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙස නව සමාජ ස්‌ථර ඉදිරියට ඇදී ආ අතර මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ ගම තුළ ඇති වූ වෙනස්‌කම් හා අනුසාරයෙන් ඉදිරියට ආ සමාජ ස්‌ථරයන්ය. වතු වගාව හා ඒ හා බැඳි අනිකුත් ආර්ථික ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක්‌ ලෙස ජාතික මට්‌ටමින් විහිද යන ආර්ථික සබඳතාවන් සහිත නව සමාජ ස්‌ථර පෙළගැසුණු අතර ඔවුන් සමාජ, දේශපාලන අවකාශය තුළ තම ආධිපත්‍යය ක්‍රමයෙන් ස්‌ථාපිත කර ගනිමින් යටත්විජිත ආධිපත්‍යය යටතේ කැපීපෙනෙන සමාජ කොටසක්‌ ලෙස යටත්විජිත අධිකාරිත්වය සමඟ දේශපාලන ගනුදෙනුවකට ඉදිරිපත් විය. විසිවන සියවසේ මැද භාගය වන විට ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන අවකාශයේ ආධිපත්‍යය දැරුවෝ ඔවුහු වෙති. ඒ සමගම ගම තුළ ඇති වූ ව්‍යqහාත්මක වෙනස්‌කම් අනුසාරයෙන් ඉදිරියට ආ සමාජ ස්‌ථරයන් ද ඒ හා සමාන්තරව තමන්ගේම වූ සමාජ සංස්‌කෘතික අවකාශයන් තුළ තම ආධිපත්‍යයන් ගොනු කරන්නට විය. බ්‍රිතාන්‍යයන් ගමට හඳුන්වා දුන් ඉඩම් වෙළෙඳපොළ, නව වාණිජ සම්බන්ධතා, හුවමාරු සම්බන්ධතා, නව රැකියා අවස්‌ථා ප්‍රයෝජනයට ගෙන ඉදිරියට ඇදුණු මෙම සමාජ ස්‌ථර ග්‍රාමීය ලෝකයේ නායකත්ව රටාවන් නිර්මාණය කළේය.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ ගම කිසිවිටක නිහඬ නිසල ඒකක ලෙස පැවතියේ නැත. ගම නිරන්තරයෙන් දේශපාලන, සංස්‌කෘතික ගතිකත්වයන්ගෙන් සලිත වූ අවකාශයක්‌ විය. ගම දේශපාලනීකරණය වීමේ පළමු අදියර 19 වන සියවසේ මැද භාගයේ සිට 1915 දක්‌වා කාලයයි. ග්‍රාමීය හා අර්ධ ග්‍රාමීය දේශපාලන ප්‍රවාහයේ පළමු එළිදැක්‌ම ඉදිරිපත් වන්නේ සංස්‌කෘතික හා ආගමික මුහුණුවරකිනි. සිංහල පුවත්පත්වල ප්‍රභවය ගමේ ආගමික හා සංස්‌කෘතික සමිති සමාගම් බිහිවීම, ආගමික භාෂාමය, කුලමය සාධක මුල්කරගෙන වාද විවාද පැතිරීම (නිදසුන් සව්සත්දම්වාදය, පානදුරාවාදය) තුළින් මෙම දේශපාලනයේ මුල් පෙරහුරුව දකින්නට ලැබිණි. මෙම ප්‍රවාහය තවදුරටත් දේශපාලනීකරණය වීම අමද්‍යප ව්‍යාපාරය තුළින් පිළිබිඹු විය. දොන් බැස්‌ටියන්, ජයවීර බණ්‌ඩාර, ජෝන් ද සිල්වා, චාල්ස්‌ ඩයස්‌ වැනි අයගේ නාට්‍ය පළමු පරම්පරාවේ චින්තනයේ දායාදයන්ය. 1911 සංගණන වාර්තාව ලියන ඩෙන්හැම් ගම තුළ ඇතිවන මේ වෙනස්‌කම් පිළිබඳ කදිම චිත්‍රයක්‌ ඉදිරිපත් කරයි.

ලංකාවේ ළදරු ජාතික ව්‍යවසායක පංතියේ ප්‍රථම ප්‍රකාශකයා වූයේ අනගාරික ධර්මපාලය. ඔහු වෙළෙඳ පොළ පාසලෙන් ජාතික වාදය පිළිබඳ මුල් පාඩම ඉගෙනගෙන තිබුණි. එබඳු ශික්‍ෂණයක්‌ නොලත් ශ්‍රී ලංකාවේ ප්‍රභූ සමාජ ස්‌ථර සමග ඔහු නිරන්තරයෙන් ගැටුණි. ගම තුළින් දේශපාලනීකරණය වී ඉදිරියට එන ප්‍රථම පරම්පරාවටද අනගාරික ධර්මපාලට ශක්‌තියක්‌ ලබාදීමට තරම් දේශපාලනිකව වැඩී සිටියේ නැත. එම නිසා අනගාරික ධර්මපාල 1915 න් පසුව හුදකලා විය. 1912-15 කාලයේ වූ අමද්‍යප ව්‍යාපාරයේ දෙවැනි රැල්ලේ නායකත්වය දීමට පැමිණි එµa. ආර්. හා ඩී. එස්‌. සේනානායක හා ඩී. බී. ජයතිලක නායකත්වයට තම දේශපාලන අභිමතාධිපත්‍යය ගොඩනගා ගන්නට හැකි වූයේ මෙම පසුබිම යටතේය. 1915 සිංහල මුස්‌ලිම් කෝලහාලයෙන් පසුව මෙම දේශපාලන ප්‍රවණතාවයේ තාවකාලික පසුබෑමක්‌ ඇති විය. ඇත්තවශයෙන්ම සේනානායක ජයතිලක දේශපාලන නායකත්වය ස්‌ථාපිත වූයේ අනගාරික ධර්මපාලගේ දේශපාලන මළගම උඩිනි.

තිස්‌ ගණන්වල ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඇතුළු වූ වාමාංශික ව්‍යාපාරයටද ගමේ දේශපාලනයට නායකත්වයක්‌ දීමට නොහැකි විය. බටහිර උසස්‌ අධ්‍යාපනය ලබා ලක්‌බිමට පා තැබූ මේ මාක්‌ස්‌වාදී තරුණයන්ට ග්‍රාමීයව සුළු ධනේශ්වරයේ සංස්‌කෘතික හා ආගමික ඉල්ලීම්වලට සිය දේශපාලන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වයක්‌ ලබාදීමට අවශ්‍ය වූයේ නැත. වාමාංශික ව්‍යාපාරය ග්‍රාමීය සුළු ධනේශ්වරය සංවිධානය කිරීමට උත්සහ නොදැරුවේ නොවේ. ගම්පති ක්‍රමයේ වැරැදි පිළිබඳව ඔවුන් කළ විවේචන, ගොවිජන ප්‍රශ්න ඇතුළු ග්‍රාමීය ලෝකයේ අනෙකුත් දුෂ්කරතා පිළිබඳව ඔවුන් නැඟූ හඬ වාමාංශික ව්‍යාපාරය ගම අමතක නොකළ බවට නිදසුන්ය. නමුත් සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ගම ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ඓන්ද්‍රීය අංගයක්‌ නොවීය.

zගමේZ දේශපාලන ප්‍රවාහයේ දෙවැනි පරම්පරාව ඉදිරියට එන්නේ 1930 ගණන්වල සිටය. 1931 සර්ව ජන ඡන්ද බලය ප්‍රදානය කිරීමත් සමගම ගම වේගයෙන් දේශපාලනීකරණය විය. මෙම දේශපාලන ප්‍රවාහයේ දෙවැනි රැල්ල සිංහල භාෂා ව්‍යාපාරයේ නැඟීම හා බැඳී ඇත. ඇත්තෙන්ම සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක්‌ කිරීම සඳහා ව්‍යාපාරය මුලින්ම ආරම්භ වූයේ දෙමළ භාෂාවට එරෙහිව නොව පංති ව්‍යාපාරයක්‌ ලෙස ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍යය දරන සමාජ ස්‌ථරයට අභියෝගයක්‌ වශයෙනි.

1948 දී නිදහස්‌ සමතයෙන් පසුව දේශපාලන බලය ලබාගන්නා ලද්දේ ජාතික මට්‌ටමෙන් ඉදිරියට පැමිණි ධනේශ්වර සමාජ ස්‌ථරයේ ඉහළ තුනී තීරුවයි. එහි දේශපාලන වාහනය වූයේ එක්‌සත් ජාතික පක්‍ෂයයි. ඒ වන විට ග්‍රාමීය සුළු ධනේශ්වරය ශ්‍රී ලංකාවේ සමාජ රටාවේ ඉතා වැදගත් තැනක්‌ හිමිකරගෙන සිටියහ. ජනගහනයෙන් බහුතරය ජීවත් වූ ලෝකයේ බලපෑමක්‌ සහිතව සිටි අදහස්‌ තනන්නන් වූ මොවුන් මැතිවරණ දේශපාලනයේ තීරණාත්මක සාධකයක්‌ විය. මොවුන්ට පාලක එක්‌සත් ජාතික පක්‍ෂය සමග මෙන්ම විරුද්ධ පක්‍ෂයේ සිටි වාමාංශික පක්‍ෂ සමඟ ද එක සේ මත බේද තිබිණි. එක අතකින් ඔවුන් එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ ඉහළ ධනේශ්වර ස්‌ථරයේ ආර්ථික ප්‍රතිපත්තිවලට මෙන්ම සංස්‌කෘතික හර රටාවන් ද ප්‍රතික්‍ෂේප කළහ. අනෙක්‌ අතට වාමාංශික පක්‍ෂ ඉදිරිපත් කළ ආකාරයේ රැඩිකල් වෙනස්‌කමකට ද ඔවුන් එතරම් පක්‍ෂ නොවීය. 1951 එක්‌සත් ජාතික පක්‍ෂයෙන් අස්‌වූ බණ්‌ඩාරනායක මූලික වශයෙන්ම අමතන ලද්දේ මෙම සමාජ ස්‌ථරයේ දේශපාලන, ආර්ථික හා සංස්‌කෘතික වුවමනාවන්ටයි. නාගරික කම්කරු පංතිය වරාය, ගමනාගමනය ජාතිය සතු කරන ලෙස ඉල්ලන විට සමුපකාර සමිති, ගොවිකාරක සභා හා ග්‍රාමීය බැංකු ඉල්ලා සිටියේ මේ පරම්පරාවයි.

1950 දශකයේ මැද ශ්‍රී ලංකාවේ දේශපාලන තලයේ ඇතිවෙමින් තිබූ වර්ධනයන්ට සමාන්තරව සමාජ හා සංස්‌කෘතික තලයන්හිද වර්ධනයන් ගණනාවක්‌ දියත් වෙමින් පැවතිණ. මෙම තරංගයන් එකිනෙකට සමාන්තරව ක්‍රියාත්මක වූ අතර ඒවා එකිනෙකින් පෝෂණය ද විය. 1956 ආණ්‌ඩු වෙනස ගෙන එන්නේ මෙම දේශපාලන, සමාජ හා සංස්‌කෘතික ගතිකත්වයන් විසිනි. 1956 පෙරළිය විසින් විජිතහරණ ක්‍රියාදාමය ජනිත කළේ නැත. ශ්‍රී ලංකාවේ විජිතහරණ ක්‍රියාදාමයේ ගතිකත්වයන් විසින් 1956 ආණ්‌ඩු වෙනස සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කළේය. 1956 මැතිවරණයෙන් පසුව මෙතෙක්‌ බලයට සහ ආධිපත්‍යයට සෘජු ලෙසින් සම්බන්ධ නොවුණු කොටස්‌ බලයේ ආලින්දයට ගොඩවීම අන්තෝනියෝ ග්‍රාම්ස්‌චිගේ දේශපාලන දැක්‌මට අනුව සූත්‍රගත කරන්නේ නම් මේ මගින් සිදුවූයේ නව ඓතිහාසික පාලන බල කාණ්‌ඩයක්‌ නිර්මාණය වීමයි. මෙයින් මේ රටේ මෙතෙක්‌ බලය හා වරප්‍රසාද දැරූ ඉහළ ප්‍රභූ පන්තියේ දේශපාලන ආර්ථික ආධිපත්‍යය වහාම බිඳ වැටුණු බවක්‌ අදහස්‌ නොකෙරේ. එසේම මින් පසු ග්‍රාමීය හෝ අර්ධ ග්‍රාමීය පදනමකින් සම්භවය ලත් අතරමැදි සමාජ ස්‌ථර පාලන බලය අත්කරගත් බවද නොවේ. ඇත්තටම සිදුවූයේ ඔවුන්ට ද බල මන්දිරවල ආලින්දයට ගොඩවීමට හැකිවන තරමට දේශපාලන අවකාශය පුළුල්වී යැමයි. ඒ සමගම අඩක්‌ සත්‍යය වූ ද අඩක්‌ මිථ්‍යා වූ ද තමන් මේ රටේ පාලකයන්ය යන හැඟීමක්‌ මෙම අතරමැදි සමාජ ස්‌ථරයන්ට දැන් ඇති විය. මෙම නව පාලන ඓතිහාසික කාණ්‌ඩයේ අභිමතාධිපත්‍යය ස්‌ථාපිත කරගන්නා ප්‍රධාන තලය වූයේ සමාජ සංස්‌කෘතික තලයයි. අතරමැදි සමාජ ස්‌ථරයන්ගේ දේශපාලන හා ආර්ථික අවශ්‍යතා හා සාම්ප්‍රදායික “ප්‍රභූ” අවශ්‍යතා අතර ප්‍රතිවිරෝධතා ගණනාවක්‌ තිබුණු නමුත් එක්‌තරා දුරකට සමාන්තරව ගමන් කිරීමක්‌ද දැකිය හැකි විය. නමුත් අතරමැදි සමාජ ස්‌ථරයන්ට සැබැවින්ම සාම්ප්‍රදායික ප්‍රභූ ස්‌ථරයේ අනෙකා වීමට හැකියාව ලැබුනේ සංස්‌කෘතික තලයේදීය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්‌ ඇත. අතර මැදි සමාජ ස්‌ථර බලය හා ආධිපත්‍යය දරුනු ලැබූ ප්‍රභූ සමාජ ස්‌ථරයන්ට අයත් නොවූ පමණින් ඔවුන් අනුජන සමාජ ස්‌ථරයන් නොවූ බවද සඳහන් කළ යුතුය. ඔවුන් අතරමැදි සමාජ ස්‌ථර වන්නේ ග්‍රාමීය ගොවි ශ්‍රමිකයන්/ නිර්ධනයින් හෝ නාගරික කම්කරුවන් නොවන අතර ප්‍රභූ සමාජ කණ්‌ඩායමට ද අයත් නොවන බැවින්ය.

විකල්ප මහා සම්ප්‍රදායක්‌ නොඩනැගීම

සංස්‌කෘතික අවකාශය තුළ සාම්ප්‍රදායික ප්‍රභූ ස්‌ථරයේ අනෙකා වීමට අතරමැදි සමාජ ස්‌ථරයන්ට නව සංස්‌කෘතික පථිත, ප්‍රතිමාන හා වන්දනීය පිළිම සොයා ගැනීමට අවශ්‍ය වේ. ඒවා සොයා ගැනීම සඳහා පැරැණි උරුමයට යා යුතු වේ. නමුත් මෙලෙස අතීත උරුමයෙන් සොයා ගන්නා පථිත, ප්‍රතිමාන හා පිළිම මේ දක්‌වා ආධිපත්‍යය දැරූ සාම්ප්‍රදායික ප්‍රභූ සංස්‌කෘතික ප්‍රතිමාන හා තරඟ කළ හැකි ආකාරයට නවීකරණය කොට ඔපමට්‌ටම් දමා ඉදිරියට ගෙන ආ හැකි ඒවා විය යුතුය. වෙනත් ලෙසකින් කියන්නේ නම් ගැමි නාටක වෙත හෝ නාඩගම් සම්ප්‍රදාය වෙත හෝ මෙහිදී යා යුතුය. නමුත් එය මේ දක්‌වා ශේක්‌ස්‌පියර් හා අනිකුත් බටහිර සම්භාව්‍ය නාට්‍යකරුවන්ගේ කෘතීන් රඟ දැක්‌වූ රංග ශාලාවල එළිදැක්‌වීමට හැකි තරමට නවීකරණය වී “සම්භාවනීය” විය යුතුය. 1956 සංස්‌කෘතික තලයේ වූ වර්ධනයන් සමාජ සංස්‌කෘතික ගතිකත්වයන් හා බැඳී ඉදිරියට එන්නේ මෙම තත්ත්වයන් යටතේය.

පසු-විජිත ඓතිහාසික වාතාවරණය තුළ විජිතහරණ ක්‍රියාදාමය හා අත්වැල් බැඳගෙන සංස්‌කෘතික තලයේ වූ මෙම වර්ධනයන් පරාවර්තනය වන එක්‌ ප්‍රධාන අවකාශයක්‌ වූයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් මනමේ, සිංහබාහු හරහා ස්‌ථාපිත කළ නව සම්භාව්‍ය නාට්‍ය සංස්‌කෘතික අවකාශයේ ගිරිකුළු බවට පත්වීමට පෙර පේරාදෙණිය සරසවියේ සංස්‌කෘතික තලයේ පෙරමුණු බල ඇණිය ලෙස සලකා ගනු ලැබුවේ මහාචාර්ය ලුඩොවයික්‌ වැනි විද්වතුන්ය. ප්‍රමුඛත්වය අත් වූයේ ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ රඟ දැක්‌වුණු ශේක්‌ස්‌පියර්ගේ නාට්‍ය හා අනිකුත් ඉංග්‍රීසි සම්භාව්‍ය නාට්‍යවලටයි. රටේ දේශපාලන සමාජ සංස්‌කෘතික අවකාශයන් තුළ ඇති වූ වර්ධනයන්ට සමාන්තර ලෙස විශ්වවිද්‍යාල අවකාශය තුළද වෙනස්‌කම් ඇති විය. එම වෙනස්‌කම්වල හරය ශේක්‌ස්‌පියර්ගේ සම්භාව්‍ය නාට්‍ය සරසවියේ සංස්‌කෘතික අවකාශය තුළ හිමිකරගෙන තිබුණු ආධිපත්‍යය වෙනුවට නාඩගම් සම්ප්‍රදාය අනුසාරයෙන් සකස්‌වුණු නමුත් සමාජ සංස්‌කෘතික ආධිපත්‍යයේ මුද්‍රdවන් ලෙසින් සලකා ගැනීමට හැකි වන පරිදි නවීකරණය වුණු සිංහල නාට්‍ය සම්ප්‍රදායක්‌ නිර්මාණය කර ගැනීමයි. එහි නිර්මාපකයා එදිරිවීර සරච්චන්ද්‍රයන්ය. 1954 දී අයිවර් ජෙනිංස්‌ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් සමුගත් අතර එම තනතුරට පත්වූයේ නිකලස්‌ ආටිගලය. ඒ සමගම විශ්වවිද්‍යාල අධිකාරිත්වයෙන් නව සංස්‌කෘතික ප්‍රවණතාවයන්ට නිබඳ තල්ලුවක්‌ ලැබුණි. 1950 දශකයේ මුල් භාගයේ කන්නන්ගර ඇති කළ මධ්‍ය මහා විද්‍යාලයන්හි අධ්‍යාපන මාධ්‍යය සිංහල භාෂාවට මාරු විය. 1960 වර්ෂයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා සිංහල හා දෙමළ භාෂා යොදා ගැනුණි. මෙහිදී ආචාර්ය ලියනගේ අමරකීර්ති පේරාදෙණිය එළිමහන් රඟ මඩලේ දේශපාලන භූමිකාව පිළිබඳව කරන මෙම විග්‍රහය අතිශයින්ම වැදගත්ය. “පේරාදෙණිය එළිමහන් රඟ මඩල පශ්චාත් යටත්විජිත සිංහලයාගේ ප්‍රභූ සංස්‌කෘතික අවකාශවලින් ප්‍රධාන එකකි. 1956 පෙරළිය යනුවෙන් හඳුන්වනු ලැබූ සංසිද්ධිවලින් පසුව සිංහල මධ්‍යම පාන්තිකයාට දේශීය ප්‍රභූත්වයත්, උසස්‌ බවත්, උගත් බවත් ලබා දෙන සංස්‌කෘතික සංකේත අවශ්‍ය විය. සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය කලාවත් ඒ කලාව මඟින් නිශ්චය කරන ලද සංස්‌කෘතික අවකාශයත් පශ්චාත් යටත්විජිත සිංහලයාට ප්‍රභූත්වයේ සංකේත සපයා දෙන්නට විය.

දිවයින ඉරිදා සංග්‍රහය

Advertisements