රාවය කාටූනය 2012 ජූනි 29

ජනරංජන, රාවය කාටූනය 2012 ජූනි 29

Advertisements

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!
– කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට උත්සාහ කිරීම යි. මේ සඳහා ජන මාධ්‍ය ද රජයට පක්ෂපාතී නිලධාරීන් සහ ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුද යොදාගනු ඇත. මෙම සටන අරඹමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවත් දැනටමත් මාධ්‍ය අමතා තිබේ. මෙයට පිළිතුරු දෙමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කොට තිබේ. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙබඳු ස්ථාවරයක් ගැනීම අවසාන විග්‍රහයේදී රජයට අවාසිදායක වන බව මගේ අදහස යි.

ගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිග් ගැසී අවසානයේදී විසඳුනේ ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමෙනි. එහිදී ජනාධිපතිවරයා ආචාර්යවරුන්ගේ නියෝජිත පිරිසක් හමුවේ කිසියම් වැටුප් තලයක් පිළිබඳ රජයේ එකඟතාව පළකරමින් කියා සිටියේ ඉල්ලීම් වල ඉතිරි පියවර නිලධාරීන් සමඟ එකතු වී 2011 අය වැයෙන් ආරම්භ කරමින් විසඳා ගන්නා ලෙසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වත්මන් සටනේ එක් දුක් ගැනවිල්ලක් නම් නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දුන් පොරොන්දුව නොසළකා හැර ඇති බවයි. ඔවුන් අසන්නේ රජය විසින් අඩුම වශයෙන් ජනපතිගේ පොරොන්දුවවත් නොකෙලෙසිය යුතු නොවේද යන්න යි? ඒ අනුව ගත් කළ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියා කලාපයෙන් සදාචාරාත්මකභාවයක් නොමැති බව පිළිබඳ චෝදනාව නැවත යොමු කෙරෙන්නේ ජනපතිගේ පොරොන්දුවත් කෙලෙසන රජය වෙතය.

මහජනයාගේ විවිධ කොටස් අතරින් රජයට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන හැම විටම ඒවා තමන්ට සතුරු බලවේග රජය අඩපණ කිරීම සඳහා හෝ පෙරළා දැමීම සඳහා යටි දේශපාලන අරමුණින් එල්ල කරන ඒවා ලෙස සැළකීම රජය දුර්වල බව ප්‍රකාශ කිරීම කි. විශ්ව විද්‍යාල ආචාර්යවරු පසුගිය වසරේ තම වෘත්තීය ක්‍රියා මාර්ගය අරඹත්ම එය එජාප සහ ජවිපෙ කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසා එයට සදාචාරාත්මකභාවය අහිමි කරන්නට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජයට පක්ෂපාතිත්වය පෙන්වන විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් දැරූ තැත සහමුලින්ම ව්‍යර්ථ වීය. දේශපාලන භේදයකින් තොරව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ අතිමහත් ආචාර්ය සමූහය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දිවයිනේ නන් දෙස සැරි සරමින් පෙළපාලි යමින් රැස්වීම් තබමින් එකාවන්ව එම සටනට තම සහයෝගය පළ කළහ. මෙම තත්වය රටට සහ රජයට නිසි ලෙස වාර්තාවීමට එරෙහිව කිසියම් ආකාරයක මාධ්‍ය වාරණයක් සෘජුව රජයේ නොවන මාධ්‍ය කෙරෙහි ද ක්‍රියාත්මක වූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අවබෝධයයි. මෙවරත් එම එළඹුම ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගන්නා ආකාරය දැනටමත් ප්‍රකාශ වී තිබේ. මෙවර කුමන්ත්‍රණ චෝදනාවට අලුතින් එකතු කොට ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නමයි. Continue reading උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?
– විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රතිචාරය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වර්ෂ 2012 ජූලි මස 4 වෙනිදා දියත් කරන්නට යන අඛණ්ඩ වැඩ වර්ජනයකින් යුතු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් නිකුත් කෙරුණ ප‍්‍රකාශයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කනස්ස්ල්ලට හේතු වී තිබේ. එම ප‍්‍රකාශයන්ගෙන් ඇඟවෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශිෂ්‍යයන්ගේත් පොදු සමාජයේත් යහපත නොසලකා, සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගැනීමට උත්සාහයක් නොගෙන, ආචාර්ය ප‍්‍රජාවගේ කැමැත්තද නැතිව, ආචාර්යවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව දක්වන කැමැත්තද නොසලකා මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවය. මීටත් වඩා අසත්‍ය ප‍්‍රකාශයක් තවත් නම් තිබිය නොහැකිය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් කෙරුණ මෙම සත්‍ය නොසලකා හැරීමේ ක‍්‍රියාව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මවිතය ප‍්‍රකාශ කළ යුතුව තිබේ. මේ චෝදනා පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට අපි අපේක්ෂා කරමු.

1. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගැනීම සඳහාය.

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පොදුවේ අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් වැඩි කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටියි. ආණ්ඩුව ක‍්‍රමයෙන් අධ්‍යාපනය සඳහා වියදම් අඩු කිරීම මගින් අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් විනාශ කරමින් සිටීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සැලකිල්ල යොමු වී තිබේ. අප පහත ඉදිරිපත් කරන දත්ත මගින් පෙනෙන්නේ අතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 20%කින් වැඩි වී තිබුණත් විශ්වවිද්‍යාල වෙත සැපයෙන ප‍්‍රතිපාදන වර්ෂ 2005න් පසු තීරණාත්මක ලෙස පහත වැටී ඇති බවයි.

එපමණක් නොව, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රියාවන් විසින් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳ ගෞරවනීය පරමාදර්ශ උල්ලංඝනය කෙරෙමින් තිබේ. රටෙහි සිටින දේශපාලනිකව බලවත් පුද්ගලයන්ගේ මැදිහත්වීම්වලට විශ්වවිද්‍යාල යටත් වෙන අතර ශාස්ත‍්‍රීය ස්වාධීනත්වය හා නිදහසද කැළල් කෙරෙමින් තිබේ. තවත් බොහෝ මහජන ආයතන ගණනාවකට සිදු වූ දේ විශ්වවිද්‍යාලවලටත් දැන් සිදුවෙමින් තිබේ. විශ්වවිද්‍යාලවල ක‍්‍රියාපටිපාටිය හා සාධාරණ පැවැත්ම අමුඅමුවේ නොසලකා හැරීමෙන් වැලකී සිටින ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපි නැවත නැවත ඉල්ලීමු. අපි මෙරට උසස් අධ්‍යාපනය සුරැුකීමටද, අධ්‍යාපනය දියුණු කිරීමටද දැනට අප සතුව ඇති ඉතා බිඳෙනසුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්නට තැත් කරන බලවේගවලින් අප රට ආරක්ෂා කිරීමටද ගැඹුරු ලෙස කැපවී සිටිමු. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේ චෝදනා කෙසේ වෙතත්

අපේ හදවතෙහි ඇත්තේ ශිෂ්‍යයන් හා සමාජය පමණි. අප මේ වැඩවර්ජන ක‍්‍රියා මාර්ගයට පිවිසෙන්නේ මේ කැපවීම් පිණිස මිස වෙන යම් පෞද්ගලික වාසියක් නිසා නොවේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව මෙය හොඳින් දනියි. එහෙත් ඔවුන් අප ගැන මේ අසත්‍ය ප‍්‍රකාශ පතුරුවා හරින්නට තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම 1978 විශ්වවිද්‍යාල පනතේ වගන්ති තමන්ගේම විශ්වවිද්‍යාලවලට එරෙහිව උල්ලංනය කරන විට උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව සිටියේ කොහේද? Continue reading විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?

‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ

ඉරිදා ලක්බිම සංග්‍රහය පුවත්පතට මා සතිපතා ලියන තීරුලිපිය මේ සතියේ ද නියමිත වේලාවට පුවත්පතට ලැබෙන්නට සැලැස්වූ නමුත් එය මෙවර පලකෙරී නැත. ඒ පිළිබඳව මට දැනුම් දීමක් පවා සිදු නොවීය. කෙසේ වෙතත් එම ලිපිය මා යැවූ ආකාරයෙන්ම පළ කෙරෙන තුරු මා නැවත මෙම තීරුලිපිය ලක්බිම පුවත්පතට සැපයීමට බලාපොරොත්තු නොවන බව සඳහන් කරමි.

– නිර්මාල් රංජිත් දේවසිරි

පහත පළවන්නේ ඉරිදා ලක්බිම සංග්‍රහය පළ නොකළ එම ලිපියයි.

‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ
– නිර්මාල් රංජිත් දේවසිරි

‘ගෝඨාගේ යුද්ධය’ ට (මේ නාමකරණය මගේ නොව ‘Gota’s War’ මෙන්ම ‘කොළපාට සමාජය’ද ලියූ සී.ඒ. චන්ද්‍රපේ‍්‍රමගේය.) පසුව ‘ගෝඨාගේ ලංකාව’ (අපි ඉංග‍්‍රීසියෙන් ‘Gota’s Lanka’ යයි කියමු. මේ නාමකරණය මගේ ම බව ද කිව යුතු ය.) දැන් බිහිවී ඇත. එමනිසා දැන් ගෝඨාගේ ලංකාවේ අසිරිය විමසා බලමු. මේ ලංකාවේ අසිරිය කටුවන ජ.වි.පෙ. රැස්වීමට වෙඩිතබා දෙදෙනෙක් මරා දැමීමෙන් ලොවට පෙන්නුම් කෙරී ඇත. දැන් මේ සිද්ධියට ආණ්ඩුවට චෝදනා කරන්නේ කුමන පදනමක් මතදැයි දැනටමත් ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධූරය දරණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන ‘‘ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ’’ ‘‘අධ්‍යක්ෂ ජෙනරාල්’’ වන ලක්ෂ්මන් හුලුගල්ල මහතා අපෙන් අසයි. ඔහු සැබවින්ම නිවැරදිය. එසේ චෝදනා කිරීම කිසිසේත්ම නිවැරදි නැත.

හැබැයි හුලුගල්ල මහතා එතරම් කලබල වීමද ඒ වගේම උචිත නැත. ඒ මහතා අනවශ්‍ය ලෙස කලබල වී ඝාතනය පසුපස සිටින්නන් පිළිබඳව කලින්ම අනාවැකි කීමට යාම නිසා ඒ මහතා ගේ ආරක්ෂාව යටතේ සිටින ආණ්ඩුව පිළිබඳ සැක මතුවීම නොවැලැක්විය හැකිය. ආණ්ඩුව ආරක්ෂා කිරීමට යන ‘මෝඩ වඳුරන්‘ පිළිබඳව කතා කිරීම විමල් වීරවංශ මහතාගේ පක්ෂයම පවා දැනටමත් ආරම්භ කොට ඇති බව මට ඇසුනා වගේ මතකය. හුලුගල්ල මහතාත් ඒ ‘මෝඩ වඳුරන්‘ ගෙ ගණයට වැටිය යුතු නැත.

අනෙක් අතට මෙවන් අවස්ථාවල පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ද අපරාධ පිළිබඳව විශේෂයෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ කතාකරන කල්හී තමන්ගේ මුහුණේ ඉරියව් පිළිබඳව ප‍්‍රවේසම් විය යුතුය. මක්නිසා ද යත් මේ දිනවල රටේ කිසියම් අපරාධයක් සිදුවූ කල්හී, ඒ පසුපස කිසියම් දේශපාලන හස්තයක් ක‍්‍රියාත්මක ද යන්න ගැන දැනගැනීමට අවශ්‍ය නම් මා මුලින්ම කරන්නේ අජිත් රෝහණ මහතාගේ ඒ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව නැරඹීමයි. Continue reading ‘ගෝඨාගේ ලංකාව’ සහ ජූලම්පිටියේ අමරේ

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන

BBC Sinhala

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන
BBC sinhala

බීබීසී සංදේශයට මෙහි සවන් දෙන්න

ලබන මස පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය බිය ගැන්වීම් මගින් කඩා කප්පල් කිරීමට උත්සාහ දරන බවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකශ කරයි.

අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ සම්මේනලයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයතමන්ට පෞද්ගලිකවම තර්ජනයක් ඇති බව කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හදුන්වා ගත් පුද්ගලයන් කිහිපදෙනකු අසල්වැසියන්ගෙන් තම දියණිය පාසල් යන එන වේලාවල් සහ ඇය අධ්‍යාපනය ලබන පාසල පිළිබඳව විමසා ඇති බව පැවසූ ඔහු පිට රට යාම සඳහා සූදානමක් ඇති නිසා ඒ ගැන කරුණු සොයන බව පවසා ඇති සඳහන් කළේය.

දෙවැනි අවස්ථාවේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඇය අයදුම්පත්‍රයක් යොමු කොට ඇති නිසා ඒ ගැන කරුණු සොයා බලන බව කියා ඇති බවත් ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේය.

උසස් පෙළ අධ්‍යාපනය ලබන තම දියණියට එබඳු කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසන ඔහු මහරගම පොලීසියට පැමිණිලි කළ බවද සඳහන් කළේය.

ජීවිතවලට එල්ලවන තර්ජන කොතැනක, කුමන වේලාවකදී, සිදුවේද යන භියකින් ජනතාව පසුවන බව මාධ්‍ය හමුවට එක්ව සිටි පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.

හැම ක්ෂේත්‍රයකටම මේ තර්ජනය එල්ලවෙමින් තිබෙන්නේයැයි ද කියා සිටි උන්වහන්සේ තවදුරටත් සමාජයක් හැටියට බලා සිටිය නොහැකි යැයි ප්‍රකාශ කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ඇත්තක් බවට පත් කර ගත යුතුව ඇතැයි කියා සිටි පූජ්‍ය දඹර අමිල හිමියෝ ඒ සඳහා පුරවැසියන් හැටියට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/06/120622_nirmal.shtml

තවත් තොරතුරු සඳහා බලන්න

uteachers

භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත

භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත
– නිර්මාල් රංජිත් දේවසිරි
විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙන ඒමට සැලසුම් කරනු ලැබ ඇති භික්ෂූන් දේශපාලනයට ඒම වැලැක්වීම ඉලක්ක කරගත් පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එකඟ ද, විරුද්ධ ද යන ගැටලූව දැන් පැන නැඟී තිබේ. බැලූ බැල්මටම පෙනෙන්නේ නම් එය කොහොමටත් ව්‍යවස්ථාවේ තිබෙන සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කරන්නක් බවයි. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ මහතා එම තර්කයට එරෙහිව හොඳ ප‍්‍රති තර්කයක් ඉදිරිපත් කරයි. ඔහුගේ තර්කය රඳා පවතින්නේ මේ සම්බන්ධව පූර්වාදර්ශ ලෙස ගත හැකි නඩු තීන්දු කීපයක් මතය. භික්ෂූන්ට නීතිඥ කබාය පැලඳීමට නොහැකි බවට සහ රියැදුරු බලපත් නිකුත් කරනු ලැබිය නොහැකි බවට දෙනු ලැබූ නඩු තීන්දු ඒ අතර ප‍්‍රධාන වේ.

මා හිතන ආකාරයට මෙහිදී රාජපක්ෂ මහතාගේ තර්කය වලංගු එකකි. නමුත් ඒ වලංගුතාවය තිබෙන්නේ එක් කොන්දේසියකට යටත්වය. එම කොන්දේසිය නම් ඒ මහතා උපයෝගී කරග්න්නා ඉහත සඳහන් නඩු තීන්දු පසුපස ඇති තර්කය වලංගු එකක්ය යන්නයි. රාජපක්ෂ මහතාගේ තර්කයට විරුද්ධව මා ඉදිරිපත් කිරීමට කැමති ප‍්‍රති තර්කය වන්නේ ඒ නඩු තීන්දු පසුපස ඇති තර්කයේ වලංගු භාවයට අභියෝග කළ හැකිය යන්නයි. මා එසේ කියන්නේ ඇයි?

රාජපක්ෂ මහතා පූර්වාදර්ශ ලෙස යොදා ගන්නා නඩු තීන්දු පසුපස ඇති තර්කය බව පෙනෙන්නේ ඒ මහතාමත් සඳහන් කරන ආකාරයට භික්ෂූන් සෙසු ගිහියන්ට වඩා ඉහලින් සිටින්නේය, නීතිඥ කබා දැමීම, වාහන පැදවීම වැනි ක‍්‍රියා මඟින් භික්ෂූන් ගිහියන් හා සම මට්ටමට දැමෙන්නේ ය යන පිළිගැනීමයි. මෙම තර්කය එහි තර්කානුකූල අන්තයට ගෙන ගියහොත් රාජපක්ෂ මහතාගේ පනතට පක්ෂ විමට පදනමක් ලැබෙනවා පමණක් නොව වර්තමාන සමාජය තුළ භික්ෂූන් නියැලෙන තවත් කටයුතු ගනනාවක් සම්බන්ධව යලි සලකා බැලීමට සිද්ධ වනු ඇත. ගිහියන් සමඟ සම මට්ටමේ අසුන් ගෙන වාහන වල ගමන් කීරීම, ගිහියන් සමග සමාන මට්ටමේ සිටිමින් ගුරුවෘත්තිය වැනි වෘත්තීන්හී නියැලීම, විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතනවල ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ එක්ව අධ්‍යාපනය ලැබීම වැනි කි‍්‍රයාකාරකම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධව යලි සිතා බැලීමට සිදුවේ. Continue reading භික්ෂුන් දේශපාලනයට පැමිනීම වැලැක්වීමේ පනත

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති
– නිර්මාල් රංජිත් දේවසිරි

සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනුලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.

එසේ වෙතත් විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව පිළිබඳ සාකච්ඡා කිරීම එතරම්ම පහසු බව නොපෙනේ. ෂාක් ඩෙරීඩා ගේ සාකච්ඡාවට භාජනයවන ‘පාරිශුද්ධ ශරීරය’ පිළිබඳ පාරභෞතිකය සහ එය මත් ද්‍රව්‍ය වැනි ‘අස්වාභාවික’ ද්‍රව්‍ය වලින් දූෂණයට පත්වීම පිළිබඳ සාකච්ඡාව ඇසුරුකරගෙන පාරිශුද්ධ සංස්කෘතිය පිළිබඳ පාරභෞතිකය ප‍්‍රශ්න කිරීම දක්වා අවශ්‍යනම් මේ සාකච්ඡාව ගෙනයා හැකි නමුත් ඉන් මෙපිට තැනක මෙම සාකච්ඡාව ස්ථානගත කිරීමට මම කැමැත්තෙමි. Continue reading ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි
කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා තමන් නීති උපදෙස් පතා ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට තිබේ. එයට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ එම බලමණ්ඩලය නීති විරෝධී කටයුතු වල යෙදෙන බවයි. නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු පිළිබඳ අවධානය යොමු නොකොට දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවයි. තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය නීති විරෝධීව යොදා ගැනීම මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කළ යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව තර්ක කරනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා ගත හැකි සරල ක්‍රියා මාර්ග ඇති හෙයිනි. අනෙක් අතට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දැක්වීම නීති විරෝධීකොට තහනම් කිරීම රටේ ව්‍යවස්ථාවෙන් පුරවැසියනට සහතික කෙරෙන දේශපාලන නිදහස උදුරා ගැනීමක් නොවන්නේ ද?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීමේ කථාව මුලින්ම ඉදිරිපත් කෙරුනේ ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ නමින් තමන් හඳුන්වා ගන්නා ශිෂ්‍යයන් කිහිප දෙනෙකු නවක වධයට එරෙහිව යැයි කියමින් පසුගිය දින කිහිපයක් කොළඹ කොටුවේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකදී ය. මෙහි නායකයෙකු නවක වධයේ වගකීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට පවරමින් රජයට අභියෝග කරමින් කියා සිටියේ රජයට කොන්ද පණ ඇත්නම් වහා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කරන ලෙසයි. ඉන් පසුව මෙම සිසු ව්‍යාපාරය තමන් වගකීම ගන්නා බව කියන නවක වධය පිළිබඳ වාර්තාවක් රැගත් වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කොට තිබේ. රජයට මෙතරම් ප්‍රබල ලෙස අභියෝග කරමින් ආරක්ෂක බලධාරීන්ගේ හෝ සුපුරුදු දේශපාලන මැරවරයන්ගේ කිසිදු බාධාවකින් තොරව දින කිහිපයක් කොළඹ කොටුවේ මෙබඳු විරෝධතා ව්‍යාපාරයක් පවත්වන්නට මෙම ශිෂ්‍යයන් කිහිප දෙනාට ඉඩ ලැබීමත්, රජයට කෙරෙන මෙබඳු අභියෝගයකට මෑත කාලයේදී ස්වයංවරණයකින් තොරව මෙතරම් ප්‍රචාරයක් දෙන්නට මාධ්‍ය නොබියව ඉදිරිපත්වීමත්, මෙරට ප්‍රජාතන්ත්‍රවාදය කොතරම් වර්ධනය වී ඇතිද යන්න පෙන්වන උදාහරණ ලෙස රජය ප්‍රකාශ කරන්නට ඉඩ තිබේ. එමෙන්ම මෙම ‘විශ්ව විද්‍යාල ස්වාධීන සිසු හැරවුම් ව්‍යාපාරය’ තම නමට ‘විශ්ව විද්‍යාල‘ යන පදය යොදාගැනීම ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය නිසි පරිදි ලබා ගත්තා විය යුතුය. එසේ අවසර ගැනීමේ පදනම අනුව වෙනත් ඕනෑම සිසු ව්‍යාපාරයකට ද එබඳු අවසරයක් ලබා ගැනීම අපහසු නොවිය යුතුය. මෙයද විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සංවිධානය වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහස් පරිසරය සනාථ කරන්නක් යැයි රජය කියනු ඇත. නමුත් යථාර්ථය මෙයද? Continue reading ‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම

ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය:
ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම
– නිර්මාල් රංජිත් දේවසිරි

1994 අගෝස්තු මාසයේ ඉතාම තීරණාත්මක මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය දියත් වෙමින් පැවැතියදී TNL රූපවාහිනිය ප‍්‍රධාන මැතිවරණ කඳවුරු දෙකේ ප‍්‍රකාශකයින් සහභාගී කරවාගෙන රූපවාහිනී විවාද මාලාවක් පැවැත්වී ය. එයින් එකක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු වූ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා හා පොදුජන එක්සත් පෙරමුණේ ප‍්‍රබලයකු වූ අමරසිරි දොඩංගොඩ අතරය. එවකට එජාප ආණ්ඩුවට විරුද්ධ විපක්ෂ කතිකාවේ ප‍්‍රධාන පෙළඹුම් පදය (catch word) වූ ‘‘දාහත් වසරක ශාපයේ’’ ප‍්‍රධාන අංගයක් ලෙස දොඩංගොඩ මහතා හඳුනාගත්තේ දේශීය නිෂ්පාදන භාවිත කිරීම වෙනුවට බටහිරින් එන භාණ්ඩ පරිහරණය කිරීමේ පරිභෝජන පුරුද්දයි. කොකා කෝලා වැනි බටහිර සිසිල් බීම වර්ග වලට වැඩි වැදගත් කමක් ලබා දී ඊට ආදේශ වශයෙන් භාවිත කළ හැකි ස්වදේශීය බීම වර්ග නොතකා හැරීම ගැන දොඩංගොඩ මහතා එජාප පාලනය විවේචනය ලක් කලේය. එවිට ජයවික‍්‍රම පෙරේරා මහතා විමසා සිටියේ දොඩංගොඩ මහතාගේ පක්ෂය බලයට පැමිණි කල්හී කොකා කෝලා වැනි බීම වර්ග තහනම් කරන්නේ ද යන්නයි. ඊට සෘජු පිළිතුරක් දීමට දොඩංගොඩ මහතාට හැකිවූයේ නැත. Continue reading ශිෂ්ටාචාරමය ගැටුමක අවසානය: ජාතික චින්තනය මහින්ද චින්තනය දක්වා රූපාන්තරණය වීම හෙවත් ධනේෂ්වර පරිභෝජනවාදයේ කොළපාට (ධර්මිෂ්ට) සමාජය නිල්පාටින් නිර්මාණය වීම