ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති

ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති
– නිර්මාල් රංජිත් දේවසිරි

සිය ඇහිබැම ඉවත්කර පාසැලට පැමිණි ශිෂ්‍යාවකට විරුද්ධව විනයානුකූලව කි‍්‍රයාකල ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ශිෂ්‍යාවගේ පියා විසින් පහරදෙනු ලැබීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ සාකච්ඡාවක් පවතී. පොදුවේ දක්නට ලැබෙන බව පෙනෙන්නේ විදුහල්පතිවරයාට පහර දුන් පියාට විරුද්ධ ආකල්පයකි. කොස් වෙතත් මගේ ප‍්‍රශ්නය වන්නේ විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව ගැන සාකච්ඡාවක් අවශ්‍ය නැති ද යන්නයි. විදුහල්පතිවරයාට පහරදෙනු ලැබීම කීප ආකාරයකින්ම වරදක් බව පැහැදිළිය. තමන්ගේ ආත්මාරක්ෂාවට නොවැලැක්විය හැකි තත්වයක් යටතේ විනා අන් අයෙකුට ශාරීරිකව හිංසා කිරීම කොහොමත් වැරදි ක‍්‍රියාවකි. එසේම තම දරුවා ශික්ෂණය කිරීම සඳහා ස්වේච්ඡාවෙන් භාරදී ඇති ආයතනයේ ප‍්‍රධානියාට එම ශික්ෂණ කාර්යයේ ම කොටසක් ලෙස ගනුලැබූ පියවරක් නිසා පහරදීම ද වැරදි ක‍්‍රියාවකි. මේ නිසා මෙම පහරදීම සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ පියාට චෝදනා කිරීම සඳහා වැඩිදුර සිතාබැලීම එතරම්ම අවශ්‍ය නැත.

එසේ වෙතත් විදුහල්පතිවරයාගේ ක‍්‍රියාව පිළිබඳ සාකච්ඡා කිරීම එතරම්ම පහසු බව නොපෙනේ. ෂාක් ඩෙරීඩා ගේ සාකච්ඡාවට භාජනයවන ‘පාරිශුද්ධ ශරීරය’ පිළිබඳ පාරභෞතිකය සහ එය මත් ද්‍රව්‍ය වැනි ‘අස්වාභාවික’ ද්‍රව්‍ය වලින් දූෂණයට පත්වීම පිළිබඳ සාකච්ඡාව ඇසුරුකරගෙන පාරිශුද්ධ සංස්කෘතිය පිළිබඳ පාරභෞතිකය ප‍්‍රශ්න කිරීම දක්වා අවශ්‍යනම් මේ සාකච්ඡාව ගෙනයා හැකි නමුත් ඉන් මෙපිට තැනක මෙම සාකච්ඡාව ස්ථානගත කිරීමට මම කැමැත්තෙමි.

පාසැල තුළදී කිසියම් විනය නීති මාලාවකට ශිෂ්‍ය ශිෂ්‍යාවන් නතුකර තබා ගැනීම පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයකි. ඒ පසුපස ඇත්තේ ඕනෑම ආයතනයක් පවත්වාගෙන යාමට කිසියම් නීති රීති මාලාවක් අවශ්‍යවීම යන පොදු මූලධර්මය පමණක් නොවේ. පාසැල් අධ්‍යාපනයේ මූලික කාර්ය වන ළමයා ශික්ෂණය කිරීම පිළිබඳ කාර්යයට මෙම පාසැල් විනය මාලාව සෘජුව සම්බන්ධ වේ. උදාහරණයක් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලට වේලාවට පාසැලට පැමිනීම හා නියමිත කාලසටහන් නිසි පරිදි අනුගමනය කිරීම මඟින් අපේක්ෂා කරන්නේ හුදෙක් පාසැලේ දෛනික කටයුතු කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම පමණක් නොවේ. ඒ මඟින් කලට වේලාවට හා පිළිවෙලකට වැඩ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පුහුණු කිරීමක් ද අරමුණු කෙරේ. මෙම තත්වය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කරගෙන විනය නීති මාලාවක් පවත්වාගෙන යාම පාසැල් අධ්‍යාපනයේ අනිවාර්ය ලක්ෂනයක් වීම නොවැලැක්විය හැක්කකි.

එසේනම් ගැටලුව පවතින්නේ කොහේ ද?

ගැටලූව පවතින්නේ විනය නීති මගින් අපේක්ෂිත පරමාදර්ශී තත්වය හා එම නීති මගින් පාලනය කිරීමට උත්සාහ දැරෙන තත්වයන් අතර ආතතිය තීව්ර වීමයි. වර්තමානයේ දී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නිෂ්චිත විනය රාමුවක් තුළ පිහිටුවීම මීට වසර තිහ හතලිහකට පෙර ඒ සඳහා පැවැති හැකියාවට වඩා අසීරුය. මේ අසීරුභාවය නිසාම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් ඉහල විනය මට්ටමක් අපේක්ෂා කිරීමට ගුරුවරුන් හා විශේෂයෙන්ම විදුහල්පතිවරුන් බොහෝදුරට අපේක්ෂාභංගිත උත්සාහයන් දැරීම දක්නට ලැබේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙතින් පමණක් නොව දෙමව්පියන් කෙරෙහි ද විනය නීති පැනවීමට තරම් විදුහල්පතිවරු ඉදිරියට ගොස් ඇත. මව්වරුන්ට පාසැලට පැමිනීමේ දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් විදුහල්පතිවරුන් විසින් පනවනු ලැබ ඇති අතීශය කරදරකාරී නීතිය එවැන්නකි. සාරිය ඇඳීම දෛනික ජීවන චර්යාවක් නොවන මව් වරුන්ට මෙන්ම සාරිය තම ‘සංස්කෘතික ඇඳුම’ නොවන මව්වරුන්ටද විදුහල්පතිවරුන්ගේ මෙම බලහත්කාරී සංස්කෘතික නීතිය කරදරයක් වී ඇත.

ඕනෑම විනය නීතියක් එය අනුගමනය කරනු ලැබීමට බල කෙරෙන කණ්ඩායම මත සංස්කෘතික මර්ධනයක් ලෙස ක‍්‍රියාත්මක වීම වැලැක්විය නොහැක්කකි. ඇත්ත වශයෙන්ම අධිපති කතිකාව ‘සංස්කෘතිය’ ලෙස හඳුන්වන්නේ ම මෙම මර්ධනයයි. ඒ අනුව සංස්කෘතිය රැකගැනීමට නම් මෙම මර්ධනය අවශ්‍ය බවට තර්ක කෙරේ. එසේ වුව ද සාමාන්‍යයෙන් සමාජයක තුළනයක් පවත්වාගෙන යාමට නම් මෙම සංස්කෘතික ජීවිතයේ මර්ධනය කරනු ලබන කලාපය හා මර්ධන යාන්ත‍්‍රණය අතර සමතුළිතභාවයක් පවත්වාගෙන යා යුතුය. මෙම සංස්කෘතික මර්ධනය සාධාරණීකරණය කරන දෘෂ්ටිවාදය වන ආගම් විවිධ මට්ටම් වලින් මෙම තුළනය පවත්වාගෙන යාමට උත්සාහ දරයි. ඉස්ලාම් ආගම ස්ථාපිත ආගම් අතරින් මෙම සංස්කෘතික මර්ධනය ඉහලම මට්ටමින් පවත්ගෙන යන අතර ක‍්‍රිස්තියානි ආගම එය අවම මට්ටමකින් පවත්වාගෙන යයි. මේ නිසා ඉස්ලාම් සමාජවලට ඉහත කී සමතුළිතභාවය පවත්වාගෙන යාම සඳහා සමාජය මත දැඩි පාලනයක් අවශ්‍ය කෙරේ. මේ නිසාම ඉස්ලාම් ආගම විසින් අනුදත් දේශපාලනය දැක්ම ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී අධිකාරීවාදී එකක් වීම නොවැලැක්විය හැකි දෙයක් වී තිබේ.

වර්තමානයේ සිංහල බෞද්ධ සමාජය තුළ දැකිය හැකි ප‍්‍රවණතාවයක් වන්නේ මෙම සංස්කෘතික මර්ධනය ක‍්‍රම ක‍්‍රමයෙන් තීව්ර වීමයි. වර්තමානයේ ඇතිවී තිබෙන බෙහෙවින් ආක‍්‍රමණකාරී බෞද්ධ ප‍්‍රබෝධය ඉහළ සංස්කෘතික මර්ධනයක් සහිත ඉස්ලාම් ආගම සමඟ තරඟකාරීව සිදුකෙරෙන්නක් වීම ද මෙම ඉහළ මර්ධනකාරිත්වයට හේතුවී ඇතැයි තර්ක කිරීමට පුළුවන. මෙම සංස්කෘතික මර්ධනයේ ගුණාත්මක ඉහළයාම ගැටලූ සහගත තත්වයක් බවට පත්වී ඇත්තේ මේ සංස්කෘතික මර්ධන යාන්ත‍්‍රණ මගින් මර්ධිත ජීවන භාවිතාවන් වෙත ජනයා වැඩි වැඩියෙන් පොළඹවනු ලබන යථාර්ථයක් සමාජය තුළ දක්නට ලැබීමයි.

ඉස්ලාම් සමාජවලට සාපේක්ෂව බෞද්ධ සහ ක‍්‍රිස්තියානි සමාජවල පීතෘමූලික බල ආයතනවල ආධිපත්‍යය සම්ප‍්‍රදායිකවම සාපේක්ෂ වශයෙන් ලිහිල් නිසා සාමාන්‍ය තත්වය තුළ ජනයා ඉහළ සංස්කෘතික නිදහසක් භුක්ති විඳී. වර්තමාන ධනේෂ්වර පරිභෝජනවාදය මෙම සංස්කෘතික නිදහස සමඟ හරියටම ගැලපේ. වර්තමාන පාලකයින් විසින් ඉතා ඉහලින් ඔසවා තබන සංවර්ධන කතිකාව තුළ මෙම අසීමාන්තික පරිභෝජන සංස්කෘතිය කේන්ද්‍රීය වැදගත්කමක් උසුලනු ලබයි. පාසැල් යන වයසේ විශේෂයෙන්ම ගැටවර වයසේ ළමුන් මෙම පාරිභෝජන සංස්කෘතියේ ඉතාම පහසු ගොදුරුය. සාමාන්‍ය මධ්‍යම පංතික ජීවිතයක් ගතකිරීමට තරම් ආර්ථික ශක්තියක් ඇති සෑම පවුලකින්ම පාහේ ළමුන්ගේ මෙම අධි පරිභෝජනවාදී පුරුදු වලට අනුබලයක් ලැබේ.

දැන් ගැටලූව වන්නේ මෙම අධි පරිභෝජන සංස්කෘතිය විසින් පාසැල් දරුවන් තුළ වගාකරනු ලබන සංස්කෘතික පුරුදු සහ පාසැල්වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙන්ම බෞද්ධ ආගමික සංස්ථාව විසින් ද විනය නීති මගින් මෙම සංස්කෘතික පුරුදු මර්ධනය කොට අත්පත්කරගැනීමට අපේක්ෂාකරනු ලබන පරමාදර්ශී ‘සංස්කෘතිය’ අතර දැඩි ආතතියක් තිබීමයි. මෙම ආතතිය විසින් මා ඉහත සඳහන් කළ සංස්කෘතික සමතුළනය බිඳදමා ඇත. ඇත්ත වශයෙන්ම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ මෙම තත්වයයි. මේ තත්වය පාසැල් ළමුන් කීප දෙනෙක්ම සිය දිවි හානිකර ගැනීමට තරම් බරපතල වූ බව අපි මීට වසර කීපයකට පෙර දුටුවෙමු.

කෙසේ වෙතත් වර්තමානයේ පවත්නා ගැටලූව වන්නේ ලංකාවේ අධ්‍යාපන සංස්ථාව හා ආගමික සංස්ථාව මේ ගැටලූව දෙස විවෘත මනසකින් බැලීමට සමත් ද යන්නයි. විශේෂයෙන්ම පාසැලට පැමිනෙන දෙමව්පියන්ගේ ඇඳුම පිළිබඳ ප‍්‍රශ්නය දෙස විවෘතව බැලීමට අසමත් අධ්‍යාපන සංස්ථාව සිසුන්ගේ විනය සම්බන්ධයෙන් විවෘතව බැලීමට ස්වේච්ඡාවෙන්ම කටයුතු කරාවියැයි සිතිය නොහැකිය. මව් වරුන්ට පාසැල පැමිනීමේ දී සාරිය ඇඳීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් චක‍්‍රලේඛයක් තිබේදැයි සොයා බැලූ කල්හී මට දැනටන්නට ලැබුනේ එවැනි චක‍්‍රලේඛයක් පවා නොමැති බවයි. පාසැලක් තුළ තිබිය යුතු විනයගත වාතාවරණයට අහිතකර නොවන ඇඳුමකින් පාසැලට පැමිනෙන විට දෙමාපියන් ද සැරසී සිටීමේ සාධාරණීකරණය කළ හැකි අවශ්‍යතාවය ක‍්‍රියාවට දැමෙන්නේ මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්ය කිරීමේ කරදරකාරී නීතියක් වශයෙනි.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විනය සම්බන්ධයෙන් පාසැල් සිසු සිසුවියන්ගේ ප‍්‍රාර්ථනා සහ ගුරුවරුන්නේ ප‍්‍රාර්ථනා අතර ඇතිවී ඇති ආතතිය සමනය කොට ඒ සම්බන්ධව සමතුළිත තත්වයක් ඇතිකරගැනීම සඳහා වූ පොදු සූදානමක් තවමත් නොමැති බවයි. කෙසේ වෙතත් මගේ අදහස වන්නේ නම් මෙය තවත් කල් දැමිය නොහැකි අවශ්‍යතාවයක් බවයි.

nrdewasiri@gmail.com

Advertisements

One thought on “ධනේශ්වර පරිභෝජන සංස්කෘතිය සහ පාසැල් විනය නීති”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )