උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!
– කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යලිත් වරක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට තීරණය කොට තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊට එරෙහිව සටන් ප්‍රකාශ කොට තිබේ. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට උත්සාහ කිරීම යි. මේ සඳහා ජන මාධ්‍ය ද රජයට පක්ෂපාතී නිලධාරීන් සහ ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුද යොදාගනු ඇත. මෙම සටන අරඹමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත්, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ කමිටුවත් දැනටමත් මාධ්‍ය අමතා තිබේ. මෙයට පිළිතුරු දෙමින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කොට තිබේ. ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙබඳු ස්ථාවරයක් ගැනීම අවසාන විග්‍රහයේදී රජයට අවාසිදායක වන බව මගේ අදහස යි.

ගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිග් ගැසී අවසානයේදී විසඳුනේ ජනාධිපතිවරයා ගේ මැදිහත්වීමෙනි. එහිදී ජනාධිපතිවරයා ආචාර්යවරුන්ගේ නියෝජිත පිරිසක් හමුවේ කිසියම් වැටුප් තලයක් පිළිබඳ රජයේ එකඟතාව පළකරමින් කියා සිටියේ ඉල්ලීම් වල ඉතිරි පියවර නිලධාරීන් සමඟ එකතු වී 2011 අය වැයෙන් ආරම්භ කරමින් විසඳා ගන්නා ලෙසයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වත්මන් සටනේ එක් දුක් ගැනවිල්ලක් නම් නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දුන් පොරොන්දුව නොසළකා හැර ඇති බවයි. ඔවුන් අසන්නේ රජය විසින් අඩුම වශයෙන් ජනපතිගේ පොරොන්දුවවත් නොකෙලෙසිය යුතු නොවේද යන්න යි? ඒ අනුව ගත් කළ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රියා කලාපයෙන් සදාචාරාත්මකභාවයක් නොමැති බව පිළිබඳ චෝදනාව නැවත යොමු කෙරෙන්නේ ජනපතිගේ පොරොන්දුවත් කෙලෙසන රජය වෙතය.

මහජනයාගේ විවිධ කොටස් අතරින් රජයට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන හැම විටම ඒවා තමන්ට සතුරු බලවේග රජය අඩපණ කිරීම සඳහා හෝ පෙරළා දැමීම සඳහා යටි දේශපාලන අරමුණින් එල්ල කරන ඒවා ලෙස සැළකීම රජය දුර්වල බව ප්‍රකාශ කිරීම කි. විශ්ව විද්‍යාල ආචාර්යවරු පසුගිය වසරේ තම වෘත්තීය ක්‍රියා මාර්ගය අරඹත්ම එය එජාප සහ ජවිපෙ කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසා එයට සදාචාරාත්මකභාවය අහිමි කරන්නට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රජයට පක්ෂපාතිත්වය පෙන්වන විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් දැරූ තැත සහමුලින්ම ව්‍යර්ථ වීය. දේශපාලන භේදයකින් තොරව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියේ අතිමහත් ආචාර්ය සමූහය දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දිවයිනේ නන් දෙස සැරි සරමින් පෙළපාලි යමින් රැස්වීම් තබමින් එකාවන්ව එම සටනට තම සහයෝගය පළ කළහ. මෙම තත්වය රටට සහ රජයට නිසි ලෙස වාර්තාවීමට එරෙහිව කිසියම් ආකාරයක මාධ්‍ය වාරණයක් සෘජුව රජයේ නොවන මාධ්‍ය කෙරෙහි ද ක්‍රියාත්මක වූ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අවබෝධයයි. මෙවරත් එම එළඹුම ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගන්නා ආකාරය දැනටමත් ප්‍රකාශ වී තිබේ. මෙවර කුමන්ත්‍රණ චෝදනාවට අලුතින් එකතු කොට ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නමයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ප්‍රජාතන්ත්‍රවාදී ව කටයුතු කරන සංවිධානයකි. එහි විධායක කමිටුවේ එක් එක් විශ්ව විද්‍යාලයේ සියලු සහෝදරි ආචාර්ය සංගම් නියෝජනය වෙයි. විධායක කමිටුවේදී ගන්නා තීරණ නැවත සහෝදරි සංගම්වෙත ගෙන ගොස් අනුමතිය සදහා ඉදිරිපත් කෙරේ. ප්‍රජාතත්‍රවාදී ලෙස සංවිධානය කෙරෙන වෙනත් ඕනෑම සංවිධානයක තිබිය හැකි දුර්වලතා එහිද තිබිය හැකිය. එමෙන්ම විවිධ දේශපාලන මත දරන සාමාජිකයෝ එහි සිටිති. නමුත් එහි තිබිය නොහැකි එකම දෙය නම් කිසියම් දේශපාලන අදහසකට පක්ෂපාතීත්වය දක්වන පුද්ගලයන්ට එය තම අදහසට මෙහෙයවිය නොහැකි වීමයි. එහෙයින් සංගමය දේශපාලන පක්ෂවල අතකොලුවක්ය යන්න කවරෙකු හෝ රජයට වාර්තා කරන්නේ නම් එය තම වෙනත් අරමුණු සඳහා රජය නොමඟ යැවීමකි. සංගමයේ සාමාජිකයෝ එය පිළි නොගනිති.‍

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය දේශපාලන අතකොලුවකි යන දුර්මතය ප්‍රචාරය කරන්නෝ එසේ කිරීමේදී විශ්වාස තබන්නේ ‘අරාබි වසන්තය‘ අනුකරණය කරමින් මෙරටද රජය පෙරළා දැමීම සඳහා මහජනයා පාරට බැස්සවීමේ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණයක් පවතින්නේය යනුවෙන් රජය ඇතුළතින්ම ගොඩ නඟා ගෙන ඇති බිය යි. මෙම බිය ප්‍රකාශ කරන්නේ රජයට තමනට ඇති ජන බලය පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. මෙම බිය නිසා මහජන ව්‍යාපාර සියල්ලක්ම කුමන්ත්‍රණ ලෙස සළකා ඒවා මර්ධනය කරන්නට යාම නිසා රජය කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩී ඒමේ හේතුවෙන් ‘ලංකා වසන්තය‘ක් කෙමෙන් කෙමෙන් ගොඩ නැංවීම රජය විසින් ම කරමින් සිටින්නේද යන්න රජය විමසා බැලිය යුතුය.

‘ශාස්ත්‍රාලීය වසන්තය‘ක් පිළිබඳ විශ්වාසයක් නම් විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාව තුළ වර්ධනය වෙමින් තිබේ. මෙහි අදහස ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය නඟා සිටුවා මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පුනරුදයක් උදා කළ හැකිය යන විශ්වාසය යි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙවර අරගල භූමියට පිවිස ඇත්තේ හුදු වැටුප් ඉල්ලීම් මත පදනම් ව නොව රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියත් ජාතික නිදහස් අධ්‍යාපනයත් යන දෙකම සුරැකීම රජයේ වගකීමක් බව රජයට පෙන්වා දෙමින් ඒ සඳහා රජයෙන් නිශ්චිත සහතිකයක් ඉල්ලා සිටිමිනි. මෙම ඉල්ලීම් රජයට එරෙහි කුමන්ත්‍රණයක් ලෙස මවා පාන්නට උත්සාහ කිරීම මහින්ද චින්තනය රජයට එරෙහි කුමන්ත්‍රණයක් යැයි කියා පෑමක් වැනිය. මන්ද යත් මහින්ද චින්තනයේ සඳහන් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පමණක් නොව ඉන් අරමුණු කරන යහපත් සමාජය ගොඩ නංවන්නටත් මෙරට රාජ්‍ය අංශයේ අධ්‍යාපනය ජාතික සහ උසස් යන දෙඅංශයේම රැක ගැනීම අත්‍යවශ්‍ය වනු ඇති හෙයිනි.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් පදනම් වී ඇත්තේ ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය සියලු දෙනාටම ඇතැයි යන මූලධර්මය මතය. වැටුප් පිළිබඳ ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව අසීරුවට පත් කිරීමට නොව සුදුසුකම් ඇති ආචාර්යවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම දියුණු කර විශ්වවිද්‍යාල පද්ධතිය නගා සිටුවීමට නම් වැටුප් වැඩි විය යුතු හෙයිනි. අධ්‍යාපනය ශිෂ්ඨාචාරයක් ගොඩ නැංවීමේ කේන්ද්‍රීය සාධකයක් වන හෙයින් එහි වගකීම ඇමතිවරයෙකු හෝ දෙන්නෙකු නැතිනම් නිලධාරීන් කිහිප දෙනෙකු අත රැඳවිය හැකි නොවේ. එහෙයින් උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල පද්ධතියෙහි කොටස්කාරයන් වන සියලූ දෙනාගේම අදහස් විමසන, විනිවිදභාවයෙන් යුතු ක‍්‍රියාවලියක් මගින් ඇති කළ යුතු සමස්ත වර්ධනයක් ලෙස සැළකිය යුතුය. මෙහිලා අවශ්‍ය වන දෙයක් නම් අධ්‍යාපනය සඳහා වන ආණ්ඩුවේ වියදම් වැඩි කිරීමත් පද්ධතියේ පරිපාලනයට දේශපාලනිකව ඇඟිලි නොගැසීමත් යන කරුණුය. මෙමගින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල භෞතික සම්පත් වැඩි කිරීමත්, ඒවා දේශීය ව සමාජීය අදාළත්වයක් ඇති සහ ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ඨත්වයේ කේන්ද්‍රයන් ලෙස ක්‍රියාත්මක වනු ඇති පරිදි දේශපාලනීකරණයෙන් හා මිලිටරිකරණයෙන් නිදහස් වූ අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කීරීමත් ඉන් අදහස් වේ. මහින්ද චින්තනයේ නාමයෙන් මෙම යෝජනා පසමිතුරු කුමන්ත්‍රණ ලෙස හංවඩු ගැසීමට යොමුවීම මහින්ද චින්තනය එයටම එරෙහිව යොදා ගැනීම කි. මේ මහින්ද චින්තනයට එරෙහි ‘එස්.බී.චින්තනය‘ යි.

ඊ ළඟ වසර දෙක තුළදී අධ්‍යාපනය සඳහා රජයේ වියදම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා වැඩි කිරීමට ක‍්‍රියාමාර්ගයක් සැලසුම් කිරීම ආචාර්ය සමිති සම්මේලනයේ ප්‍රධාන ඉල්ලීමකි. ඒ සමගින් රාජ්‍ය ප‍්‍රතිපාදන ලබන අධ්‍යාපනය පිළිබඳ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය පැහැදිළිව ප‍්‍රකාශ කළ යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලා සිටින්නේ රජය වෙනුවට තනි තනි ඇමතිවරු අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීම තම අතට ගෙන ඇති හෙයිනි. එහෙයින් අධ්‍යාපනයට සම්බන්ධ සියලු කොටස්කාරයන් හා මහජනයා සමග සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගැනීමේ නිසි ක‍්‍රියාවලියක් ක‍්‍රියාවට නොදමා ඇමතිවරයාගේ තනි මතයට උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කරගෙන යාම වහා නවත්වන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලා සිටිති. ඒ සමගින් විශ්වවිද්‍යාල දැනුමේ කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වීමට ඉඩ දෙමින් විශ්වවිද්‍යලාවල ක්ෂුද්‍ර කළමනාකරණය සහ දේශපාලනීකරණය කිරීමෙන් වැලකිය යුතු බවට රජයට ඒත්තු ගැන්වීමද ආචාර්ය සමිති සම්මේලනය අපේක්ඹෂා කරති.

මෙලෙස අධ්‍යාපනය සාමුහිකයේ පොදු යහපතට අදාළ කරුණක් ලෙස දකින විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ යෝජනා ගැටෙන්නේ අධ්‍යාපනය හුදු පෞද්ගලික වෙළඳ භාණ්ඩයක් කොට සළකන නව ලිබරල් ප්‍රතිපත්ති සමඟ ය. ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිව සිටිද්දි ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාව මෙහි පෙර ගමන් කරුය. මෙම ප්‍රතිපත්ති සවිස්තර ලෙස ලංකාවේ ක්‍රියාවට නැංවෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ තාරා ද මැල් ක්‍රියාවට නැංවූ ලෝක බැංකු යෝජනා මගිනි. අද වෙන කවරදාකටත් වඩා මෙම නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින්නේ වත්මන් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක යි.

නිර්බාධ ආර්ථිකය මෙරට ක්‍රියාත්මක කළ ජේ.ආර්. ජයවර්ධන පසුගිය වසර තිස් පහ තුළ ලංකාවේ අප අත් විඳි මහා වියවුලෙහි නිර්මාතෘවරයා ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වන්නේ තම රජය ලිබරල්වාදය ප්‍රතික්ෂේප කරන මාවත ගන්නා බව කියමිනි. මෙරට ජනතාව නව ලිබරල්වාදය පිළිබඳ අවුරුදු දහ හතක් හෝ ගෙවී ගිය තැන දුන් තීන්දුව ඉන් පෙන්නුම් කෙරෙයි. නමුත් දැන් මහින්ද රාජපක්ෂ රජය ජනතාව ප්‍රතික්ෂේප කළ නව ලිබරල්වාදය උග්‍ර ලෙස ක්‍රියාත්මකකරමින් සිටියි. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ක්‍රියාත්මක කිරීමට කැප වී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජේ.ආර්. ජයවර්ධන මෙරට දියත් කළ නව ලිබරල්වාදයේ දෙවැනි වඩාත් තීරණාත්මක අදියර බව මගේ අදහස යි.

ලංකාවේ නව ලිබරල්වාදය ක්‍රියාත්මක කිරීමේ ජේ.ආර්. ගේ පළමු අදියර යොමුවූයේ ලංකාවේ ආර්ථිකය වෙළඳපොළ තර්කණයට සහමුලින්ම නතු කිරීමට ය. ඇමති එස්.බී. දිසානායක ගෙන එන මෙම දෙවැනි අදියර ලාංකේය සමාජයේ සංස්කෘතිය සහ අධ්‍යාත්මය වෙළෙඳපොළ තර්කණයට සහමුලින්ම නතු කිරීම අරමුණු කොට ගත්තකි. මෙම උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දේශීය සම්ප්‍රදායන් මත පදනම්ව නව ශිෂ්ඨාචාරයක් ගොඩ නැංවීමේ අරමුණට ඉඳුරා එරෙහිව යන්නක් බව මහින්ද චින්තනයට පසුබම් වූ ජාතික චින්තනයේ නිර්මාතෘවරුන් නොදැන සිටිනවා විය නොහැකි ය. නමුත් ඔවුන් සිතනවා විය හැක්කේ ‘මෙම බටහිර ගැති අධ්‍යාපනය විනාශ වී යද්දෙන් අප ජාතික චින්තනය මත පදනම්ව සහමුලින්ම දේශීය අධ්‍යාපනයක් ගොඩ නඟන්නෙමු‘ යන්න විය හැකිය. සමාජ විපර්යාසය පිළිබඳ මේ අයුරින් යුතෝපියානු ලෙස සිතීම ජාතික චින්තනයක නොව නූතන චින්තනයේම කොටසකි. නව ශිෂ්ඨාචාරයක් ගොඩ නැඟීමට අපට ඇති අත්තිවාරම පවත්නා අධ්‍යාපන ක්‍රමය යි. එය සහමුලින් වෙළෙඳ පොළ තර්කණයට යට කර දැමීමෙන් පසු නව ශිෂ්ඨාචාරයක් ගොඩ නැඟීමට භූමියක් නැතිව යනු ඇත. උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක යෙදී සිටින මෙම ව්‍යාපෘතිය ඔහුගේ තනි අවශ්‍යතාව මත සිදුවන්නක් නොවේ. මෙය පිටුපස බලවත් ‘ලොබිය‘ ක් සිටියි. ඒ අතර ලෝක බැංකුව ප්‍රධානය. මිලින්ද මොරගොඩ පිහිටුවූ ලංකාවේ නව ලිබරල්වාදය ස්ථාපිත කිරීමට කැප වී සිටින ‘පාත් ෆයින්ඩර්‘ නමැති රාජ්‍ය නොවන ආයතනය මෙයට ප්‍රතිපත්ති සම්පාදනයෙන් සහාය වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව විජේසිංහ කිහිප වරක් ප්‍රකාශ කළ පරදි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක ගේ අධ්‍යාපන නවීකරණ වැඩපිලිවෙළ අමෙරිකානු තානාපති කාර්යාලයේ සිටින වඩා ප්‍රබුද්ධ කොටස් අගය කරති.

ඉතින් රජය මේ මොහොතේ මුහුණ දිය යුතු ගැටලුව වන්නේ අතිශය ජාතික වැදගත් කමකින් යුතු අරමුණකින් මෙහෙයවෙන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තමනට තර්ජනයක් ලෙස සළකා ඔවුන් විනාශ කරන්නට අරමුණු කිරීමෙන් තමන් තමන්ටම එරෙහිව එනම් මහින්ද චින්තනයට එරෙහිව යාමේ මඟ ගන්නවාද යන්න යි. මෙම උත්සාහය දැඩි මර්ධකයෙන් සාර්ථක කරගන්නට කිසියම් අයුරකින් රජය සමත් වුවහොත් ඒ සමගින් රජය විනාශ කරන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට විශ්ව විද්‍යාල සිසුවියක් කී අදහසක් ඉදිරිපත් කරමි. පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට තමන් විරුද්ධවන්නේ මන්දැයි පැහැදිළි කරමින් ඇය කියා සිටියේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල අනිවාර්යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ඇති බවයි. එවිට තමන් වැනි ස්වභාෂා මාධ්‍ය යෙන් අධ්‍යාපනය ලැබීමේ ඉරණම ලබා සිටින සිසු සිසුවියයන්ගේ අනාගත ඉරණම කුමක් වනු ඇත් ද යන්න ඇය අසා සිටියා ය. රජය මේ සැරසෙන්නේ වෙඩි බෙහෙත් කන්දකට ගිනි තියන්නට බව එම ප්‍රකාශය විමසිල්ලෙන් කියවන්නෙකුට වැටහී යා යුතුය.

ඉතින්, මගේ අදහස නම් රජය මෙම මොහොතේ කළ යුත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ යෝජනා යහපත් චේතනාවෙන් කරන ඒවා ලෙස සළකා පමා නොවී ඔවුන් සමග සාකච්ඡාවට එළඹීම ය. මේ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මැදිහත් වීම අවශ්‍ය ය. සියලු මහජන මැදිහත්වීම් සතුරු බලවේග ලෙසින් සළකා උපායිකව ඔවුන් පරාජය කිරීමේ මං සෙවීම අයත් වන්නේ මැකියවෙල්ලි ජිවත් වූ රජ කුමාරයන්ගේ පාලනය හා සම්බන්ධයෙනි. මැකියවෙල්ලි දහම නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයට අර්ථ ගැන්වීම සඳහා අප කියවිය යුත්තේ හනා ආරන්ඩ්ට් ය. ඇය තම සුප්‍රකට “දර්ශනය සහ දේශපාලනය“ ලිපියේ දක්වන පරිදි රාජ්‍ය තාන්ත්‍රිකයා ගේ විශිෂ්ඨතම සද්ගුණය සම්‍ප්‍රදායිකව නිර්වචනය කරන්නට අපට අවශ්‍ය වී නම් එය මෙසේ කිව හැකිය. ලොව යථාර්ථයන් අතිවිශාල සහ විවිධ සංඛ්‍යාවකි. ඒවා පිළිබඳ පුරවැසියන්ට විවිධ මත තිබේ. ලොව එබඳු යථාර්ථයන් පිළිබඳ පුරවැසියන් සහ ඔවුන්ගේ විවිධ මත අතර සන්නිවේදනය කිරීමට සමත් වීම රාජ්‍ය තාන්ත්‍රිකයා ගේ විශිෂ්ඨතම සද්ගුණය යි. අප වසන ලොවෙහි ඇති පොදුභාවය විද්‍යාමාන වන්නේ මෙම සන්නිවේදනයෙහි දී ය. ඉතින් මෙම සන්නිවේදනය පුරවැසියන් අතර ලොව යථාර්ථයන් පිළිබඳ ඇති විවිධ මත උග්‍ර ගැටුමක තත්වයට පත් වූ පසු කිරීමට උත්සාහ කළ යුතු දෙයක් නොවේ. එසේ වන්නට ඉඩ හැරිය විට ඉන් සමාජයට බරපතළ හානි සිදුවෙයි, වියවුල් ඇතිවෙයි. මේ මොහොතේ ජනාධිපතිවරයා මැකියාවෙල්ලියානු රජ කුමරෙකු ලෙස නොව නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කරනු ඇතැයි යන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අපේක්ෂාවයි.

Advertisements

One thought on “උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: මහින්ද චින්තනයට එරෙහිව ‘එස්.බී.චින්තනය‘!”

  1. පසුගිය වසරේ විශ්ව විද්‍යාල ආචාර්යවරු දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සහ නොබෝදා අවසන් වූ අනධ්‍යන සේවකයන්ගේ ගේ වර්ජනය ද සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැක්වූ ප්‍රතිචාරය සළකා බලන කළ මෙවරද තම සටනට අමාත්‍යාංශය තෝරා ගන්නා මග වනු ඇත්තේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සදාචාරාත්මකභාවයක් නොමැති බව මහජනයා හමුවේ පෙන්වන අතර ඊට විසඳුමක් නොදී එය දිග්ගස්සා මෙම අරගලය කෙසේ හෝ පරාජය කිරීම ට උත්සාහ කිරීම යි… Great letter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )