මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස

මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
– නිර්මාල් රංජිත් දේවසිරි

පසුගිය සතිය වනතෙක්ම මම මෙම තීරුලිපිය රචනා කරන ලද්දේ ඉරිදා ලක්බිම පුවත්පතටයි. ඒ අනුව ගියවර රාවය පුවත්පතේ පුවත්පතේ පලවූ කොටස ද නියමිත කාලයට ලක්බිම කර්තෘ මණ්ඩලය වෙත ලැබීමට සැලැස්සුවෙමි. නමුත් නියමිත පරිදි එම තීරුලිපිය අදාල පුවත්පතේ පළවූයේ නැත. මම ඒ සම්බන්ධයෙන් ලක්බිම කර්තෘ මණ්ඩලයෙන් විමසීමක් කළවිට ඔවුන්ගෙන් ඉදිරිපත්වූ කරුණු දැක්වීමෙන් මට හැඟී ගියේ එය පළ නොවීමට හේතුව එහි අඩංගුව බවය. විශේෂයෙන්ම පුවත්පතේ හිමිකාරිත්වයේ අභිලාෂ සහ මගේ ලිපියේ අඩංගුව අතර පරස්පරයක් ඇතිබව කර්තෘ මණ්ඩලය තීරණය කිරීම මගේ ලිපිය පළනොවීමට බලපෑ බව මට වැටහිණි.

මගේ අදහස වන්නේ මේ සිදුවීම හරහා ලංකාවේ පවත්නා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මෙන්ම තොරතුරු දැනගැනීමේ නිදහස සහ ඒවාට ඇති සීමාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි බවයි. පෙනෙන විදිහට මෙම ලිපිය ලක්බිම පුවත්පතේ පළ නොවීමට ප‍්‍රධාන හේතුව වූයේ එමගින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගොඨාභය රාජපක්ෂ විවේචනයට ලක්කරනු ලැබ තිබීමයි. සාමාන්‍යයෙන් මගේ ලිපියේ අඩංගු කරුණු වලට වඩා මේ ආණ්ඩුව සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් ලක්බිම පුවත්පතේ පළ වීම දක්නට පුළුවන. එය එසේ නම් මෙම ලිපිය පළනොවීමට හේතුව කුමක්දැයි යන්න පිළිබඳව කෙනෙක් තුළ විමතියක් ඇතිවීමට ඉඩ තිබේ.

එය තේරුම් ගන්නේ කෙසේ ද?

වර්තමානයේ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දක්නට ලැබෙන ප‍්‍රමුඛ ලක්ෂණයක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධව විවේචනාත්මක දේ පළ කිරීම තහංචියක් බවට පත්වී තිබීමයි. විද්‍යුත්මාධ්‍යවල ඒ මහතා සම්බන්ධයෙන් විවේචනාත්මක යමක් ප‍්‍රකාශකෙරන සෑම අවස්ථාවකම හඬ නිහඬ කිරීම සිදුවේ.

මෙම සීමා කිරීම අපට ආකාර කීපයකට තේරුම් ගැනීමට පුළුවන. ඒවා මෙම මාධ්‍ය ආයතනවල සේවයකරන මාධ්‍යවේදීන්ම තමන්ගේ ස්ව්‍යං තක්සේරු මත කරන සීමා කිරීම් විය හැක. එසේත් නැතහොත් තම ආයතනයේ සේවා යෝජකයාගේ අභිලාෂ සහ වාර්තා කෙරෙන තොරතුරු අතර කිරාමැන බැලීමකින් පසුව කෙරෙන සීමා කිරීම් විය හැක. එසේ නැතහොත් ඒවා හිමිකරුවන්ගේ සෘජු දෛනික මැදිහත් වීමි වල ස්වරූපයෙන් ද සිදුවිය හැක.

ලංකාවේ වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු නිෂ්චය කිරීමේ ලා වඩාත් බලපෑම සහගත වන්නේ දෙවනුව කී කාරණයයි. මේ සඳහා බලපාන ප‍්‍රධාන කරුණු දෙකක් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. ප‍ළමුවෙනුව වර්තමානයේ ලංකාවේ මාධ්‍ය ආයතනවල හිමිකාරිත්වය දරණ පුද්ගලයින් හා පවුල් එක්කෝ පාලක ප‍්‍රභූ තන්ත‍්‍රයේ සෘජු කොටස්කරුවන් වන අතර නැතහොත් ඒ සමඟ කිට්ටු සබඳතා ඇත්තවුන්ය. එසේ නැතහොත් එම පාලක ප‍්‍රභූ තන්ත‍්‍රය කිසියම් ආකාරයකට හසුරුවා ගැනීමට අවශ්‍ය කරන පිරිස්ය. මේ නිසා තම මාධ්‍ය ආයතන පාලනය කරනු ලබන්නේ එම සබඳතා පවත්වාගෙන යාමේ හා ඒවා හැසිරවීමේ මාධ්‍යයන් වශයෙනි. මෙම තත්වය ලංකාවට විශේෂ වූවක් නොවන බව පැහැදිළිය. නමුත් ලංකාව වැනි පූර්ව-ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණ සංස්කෘතියක් තිබෙන සමාජයක මේ තත්වය දේශපාලන වශයෙන් වඩා බලපෑම් සහගතවේ.

දෙවනුව ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය තුළ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිමිකාරිත්වය අතර පවත්වා සමිබන්ධතාවය ඉතාම සෘජු එකකි. බොහෝවිට මෙම සමිබන්ධතාවය දෛනික මට්ටමින් අදාල මාධ්‍යයේ ක‍්‍රියාකාරිත්වය නිරීක්ෂනය කරන මට්ටම දක්වා කිට්ටු එකක් වීම දක්නට ලැබේ.

මෙහිදී අපගේ සාකච්ඡාවට ප‍්‍රස්තූතවන ලක්බිම පුවත්පත අපට මේ සම්බන්ධයෙන් කදිම නිදර්ශනයක් සපයයි. එක් අතකින් ලක්බිම පුවත්පත අයත් ව්‍යාපාරික පවුල දැනට ලංකාවේ පාලක ප‍්‍රභූවේ ඓන්ද්‍රිය කොටසක් වේ. එම පවුලේ සාමාජිකයින් අතරින් ලක්බිම පුවත්පත සහ ඊට අයත් සෙසු පුවත්පත් වල ප‍්‍රධාන මෙහෙයුම්කරුවා වන තිලංග සුමතිපාල ආණ්ඩු පක්ෂයේ සිටින බෙහෙවින් ඉහල දේශපාලන අභිලාෂ සහිත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකි.

මෙහිදී මෙම මාධ්‍ය ආයතන මුහුණදෙන ප‍්‍රධාන ගැටලූවක් වන්නේ ලාභ මුල් කරගත් තම ආර්ථික අභිලාෂ හා එම ආර්ථික අභිලාෂ වලට එරෙහිව යා හැකි ආයතන හිමිකාරිත්වයේ දේශපාලන අභිලාෂ අතර සංහිඳියාවක් ඇතිකරන්නේ කෙසේද යන්නයි. මෙහිදී ගැටලූව මතුවන්නේ තම ආයතන හිමිකරුගේ දේශපාලන අභිලාෂවලට සංවේදී වන අතරම ඊට එරෙහිව යාමේ විභවයක් සහිත තොරතුරු අපේක්ෂාකරන පාඨක සමූහය ද තම වෙළඳපොලේ කොටස් කරුවන් බවට පත්නරගැනීම පිළිබඳ පරස්පර විරෝධී තත්වය මතුවූ විටය.

කිසියම් මාධ්‍යයක ඉලක්ක වෙළදපොළේ දක්නට ලැබෙන සුවිශේෂතා මතද මෙම තත්වය බොහෝ දුරට රඳාපවතී. දිවයින වැනි පුවත්පතක් ගත්කල්හී එය එහි හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂ වලින් කිසියම් දුරකට ස්වායත්ත වූ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටී. එම දෘෂ්ටිවාදී ව්‍යාපෘතිය කිසියම් දුරකට එම පුවත්පතේ වෙළඳපොළ සීමාකරන බව ද පෙනේ. නමුත් ඊට සාපේක්ෂව ගත්කල්හී ලක්බිම පුවත්පත සමිබන්ධ තත්වය වෙනස්ය. ඊට එවැනි සවිඥානික දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් ඇත්තේ නැත. එම නිසා තොරතුරු වෙළඳපොළේ පවත්නා ඕනෑම ඉල්ලූමක් සංතෘප්ත කිරීමට එය විභවාත්මකව සැදී පැහැදී සිටී.

වෙන ඕනෑම මාධ්‍යයකට මෙන්ම ලක්බිම පුවත්පතටද මෙහිදී විවිධ බාහිර සීමා ඇත. සදාචාරය පිළිබඳ සීමා, රටේ දේශපාලන සංස්කෘතිය, අධිපති දෘෂ්ටිවාද වල බලපෑම් ඒ අතරින් ප‍්‍රධානවේ. නමුත් මෙහි දී පවතින ප‍්‍රධාන සිමාව වන්නේ පුවත්පතේ හිමිකාරිත්වයේ ආසන්න දේශපාලන අභිලාෂයන්ය. විශේෂයෙන්ම තම හිමිකරුවා තරඟකරන මැතිවරණ වලදී ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රචාරක අවියක් වන මටිටමට මෙම සීමාව බලවත්ය.

MTV MBC (සිරස) මාධ්‍ය ආයතන සමූහය සලකා බැලූවහොත් මෙම තත්වයේ තවත් පැත්තක් හඳුනාගැනීමට පුළුවන. මැතිවරණ දේශපාලනයට සෘජු සම්බන්ධයක් සහිත ලක්බිම හිමිකාරිත්වයේ මෙන් නොව මෙම ආයතන සමූහය උත්සාහ කරන්නේ දේශපාලන භූමිය හා එහි ප‍්‍රමුඛ චරිත තම හිමිකාරිත්වයේ අභිලාෂ වලට සරිලන ලෙස හැසිරවීමේ උපකරණ ලෙස තම මාධ්‍යය මෙහෙයවීමටයි. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුදයේදී රනිල් වික‍්‍රමසිංහ පිලට එරෙහිව සජිත් ප්‍රෙමදාස පිල වෙනුවෙන් විවෘතවම කටයුතු කිරීම දෙස බැලූවිට මෙම තත්වය මනාව පෙනී යයි.

කෙසේ වෙතත් මෙම තත්වය තුළ අවසාන වශයෙන් පරදුවට තැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අත්‍යාවශ්‍යය අංගවන පුරවැසියාට බාධාවකින් හා සීමාවකින් තොරව තොරතුරු දැනගැනීම සඳහා සහ සිය අදහස් අන්‍ය පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීම සඳහා මාධ්‍ය අවකාශය භාවිත කිරීමට තිබිය යුතු හැකියාවයි.

nrdewasiri@gmail.com

Advertisements

2 thoughts on “මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස”

  1. //කෙසේ වෙතත් මෙම තත්වය තුළ අවසාන වශයෙන් පරදුවට තැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකට අත්‍යාවශ්‍යය අංගවන පුරවැසියාට බාධාවකින් හා සීමාවකින් තොරව තොරතුරු දැනගැනීම සඳහා සහ සිය අදහස් අන්‍ය පුරවැසියන් සමඟ බෙදාහදා ගැනීම සඳහා මාධ්‍ය අවකාශය භාවිත කිරීමට තිබිය යුතු හැකියාවයි.//

    දැන් මෙතැන ඉහත සටහන ලියන්න අවසරය ලැබීමෙන් පෙනෙන්නේ ඒ මාධ්‍ය අවකාශය තියෙන බව නොවේද?

    අනුන්ට අයිති මාධ්‍ය්‍යකින් තමන් කැමති දෙයක් කියන්නට අයිතියක් ඉල්ලන්නෙ මොන කොමියුනිස්ට් නීතියක් යටතේ ද?

  2. කෙසේ වෙතත් සිරස මාධ්‍ය ජාලය කිසිවිටෙක සත්‍යය වසන් කලේ නැත. සැම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටියේය. මෙයින් පැහැදිලි වන්නේ මාධ්‍යක අපක්ෂපාතී බව දේශපාලනයට සැමවිටම ලඝු කල නොහැකි බවයි. මාධ්‍ය ආයතනය හිමි පුද්ගලයාගේ ගුණාංගද ඊට බලපායි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )