සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව

සරසවි ඇදුරු සංගම් – ජනාධිපති ලේකම් හමුව:
මහින්ද චින්තනයට උසස් අධ්‍යාපන අර්බුදයට සවදේශීය විසඳුමක් තිබේද?
– කුමුදු කුසුම් කුමාර

ක්‍රමයෙන් උග්‍ර වෙමින් පවතින උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිලේකම් වරයා සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට පිවිසීම දූරදර්ශී පියවරකි. මෙම සාකච්ඡාවේදී ජනාධිපතිලේකම් වරයා ගත් සුහදශීලී එළඹුම රජයක් තමන් බලයට පත්කළ පුරවැසියන්ට සැළකිය යුතු ආකාරය ගැන කදිම නිදසුනකි. සරසවි ආචාර්යවරුන් තම ඉල්ලීම් වල පසුබිම ඉදිරිපත් කරමින් වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයේ ලක්ෂණ පැහැදිළි කරද්දී ජනාධිපතිලේකම් වරයා ඊට සවන් දුන් ආකාරය දේශපාලනඥයන්ට ආදර්ශයක් සපයයි. මෙහිදී සරසවි ආචාර්යවරුන් ජනාධිපතිලේකම් වරයාට අවධාරණය කොට සිටියේ තම ගැටලු සම්බන්ධයෙන් රජය විසින් පසුගිය වසර කිහිපය තුළ දැක්වූ ආකල්පය හේතුවෙන් රජය පිළිබඳ තම සාමාජිකයන්ගේ විශ්වාසය බරපතල ලෙස බිඳ වැටී ඇති හෙයින් එය යලි ගොඩනඟාගැනීමට රජයට ඉමහත් උත්සාහයක් ගැනීමට සිදුවනු ඇති බවයි. උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීමේදී රජයත් සරසවි ආචාර්ය ප්‍රජාවත් අතර සංජානනමය වශයෙන් පවත්නේ විශාල පරතරයකි. මෙම පරතරය යා කිරීමට නම් සරසවි ආචාර්යවරුන්ගේ එළඹුම පසමිතුරු ලෙස සළකනවා වෙනුවට එය වටහා ගැනීමට රජය උත්සාහ කල යුතු බව ඔවුන්ගේ යෝජනාවයි.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය උග්‍ර ලෙස දේශපාලනීකරණයවීම වත්මන් උසස් අධ්‍යාපන අර්බුදයට ප්‍රධාන හේතුවක් වශයෙන් දකින විශ්ව විද්‍යාල ආචාර්යවරු එය නැවැත්වීමට වහා පියවර ගත යුතු බව අවධාරණය කර සිටියහ. ඔවුන් තව දුර කියා සිටියේ තම පෞද්ගලික අරමුණු ඉටු කරගැනීම් වස් රජයට පක්ෂපාතීත්වය පෙන්වමින් රජය නොමඟ යවන විශ්ව විද්‍යාල ආචාර්යවරු කිහිප දෙනෙකු සතුටු කරනවා වෙනුවට සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවේ අතිමහත් බහුතරය නියෝජනය කරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය සමඟ උසස් අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීමට රජය ට අවස්ථාව තිබෙන බවයි. ආචාර්යවරුන්ගේ අදහස් වලට සාධනීය ප්‍රතිචාරයක් දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයන් සහ රජයේ නියෝජිතයන්ගෙන් සමන්විත වන කමිටුවක් ජනාධිපතිලේකම් වරයාගේ යෝජනාවෙන් පත් කොට තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගැනීමට බාධාවක් ලෙස දකින විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රජාවේ ඇතැම් පුද්ගලයන් මෙම උත්සාහය අසාර්ථක කිරීමට උත්සාහ ගනු ඇත. ජනාධිපතිලේකම් වරයා ක්‍රියාත්මක කරන මෙම වැඩ පිළිවෙල තුලින් තමනට දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාවලියට පස්සා දොරින් රිංගා ගැනීමට ඔවුන් උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. එම උත්සාහයන් සාර්ථක වී මෙම වැඩ පිළිවෙළ අවුල් වී යාමට රජය ඉඩ තැබුවහොත් එය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දේශපාලනීකරණයවීම පිළිබඳ ආචාර්යවරුන්ගේ සම්මේලනය නැඟූ චෝදනාව යලිත් වරක් සනාථවීමක් වනු ඇත.

ජනාධිපති ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී සරසවි ආචාර්යවරුන් මතුකළ වැදගත් කරුණක් නම් රජයට උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති කමේ ගැටළුවයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ‘දැක්ම‘ හෝ ‘දූත මෙහෙය‘ වශයෙන් ප්‍රකාශ කොට ඇති අදහස් හෝ උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමේ චක්‍ර ලේඛ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති වශයෙන් භාර ගත නොහැකිය. උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියක් යනු දේශපාලනඳයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ හිතලු අනුව හිටි අඩියේ ගන්නා ක්‍රියාමාර්ග වල එකතුවක් විය නොහැකිය. මෙබඳු අතිශය ජාතික වැදගත් කමක් ඇති ප්‍රතිපත්තියක් සකස් කිරීම ජාතික මට්ටමේ දීර්ඝ මහජන සාකච්ඡාවක ප්‍රථිපලයක් වශයෙන් සිදුවිය යුත්තකි. ඒ සඳහා රජය විසින් සරසවි ආචාර්ය ප්‍රජාව සහ සිසුන්ගේත් වෙනත් විද්වතුන්ගේත් රටේ මහජනයාගේත් උනන්දුවක් දක්වන අන් සියලු සමාජීය කණ්ඩායම් වලත් අදහස් ගැඹුරින් විමසිය යුතුය. එසේ කිරීමෙන් සකස් කරගන්නා ප්‍රතිපත්තියක් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගත යුතුය. මේ සඳහා ආරම්භයක් වශයෙන් රජයට මහජන සාකච්ඡාව සඳහා උසස් අධ්‍යාපනය පිළිබඳ ‘හරිත පත්‍රිකාව‘ක් ඉදිරිපත් කළ හැකිය. නිශ්චිත ප්‍රතිපත්ති විසඳුමක් සැපයීම අරමුණු කොට ගත් ‘ධවල පත්‍රිකාව‘ක් පළමුව මහජන අදහස් නොවිමසා ඉදිරිපත් කොට ඊට විරෝධය පළවුවහොත් ඉල්ලා අස්කරගන්නවාට වඩා මහජන අදහස් විමසීම අරමුණ කරගත් ‘හරිත පත්‍රිකාව‘ක් පළමුව ඉදිරිපත් කිරීම සාධනීය වෙයි.

මෙරට පශ්චාත් නිර්බාධීකරණ යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ද රජය අනුගමනය කර ඇත්තේ නිර්බාධීකරණ ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පැණවුනු ‘ව්‍යුහාත්මක සැකැසුම් වැඩ පිළිවෙළ‘ එනම් මූලිකව ආර්ථිකයේ සියලු අංශ වෙළෙඳ පොළ තර්කනයට යට කිරීමේ නව ලිබරල්වාදී එළඹුම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ ලෝක බැංකුව ඒ සම්බන්ධයෙන් සම්පාදනය කෙරෙන ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපාදන මත ය. ජනාධිපති චන්ද්‍රකා කුමාරතුංග සමයේ සිට මෙරට රජයයන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරමින් සිට ඇත්තේ ලෝක බැංකුව සම්පාදනය කළ ප්‍රතිපත්ති ය. ලෝක බැංකුවසම්පාදනය කළ නිසාම ඒවා අයෝග්‍ය යැයි මා මෙහිදී කිසිසේත්ම යෝජනා කරනවා නොවේ. ගැටලුව වන්නේ මෙම ප්‍රතිපත්ති කොතෙක් දුරට අපගේ ජාතික අවශ්‍යතාවන්ට ගැළපෙන්නේ ද යන්න පිළිබඳ ගැඹුරු මහජන සාකච්ඡාවක් අප සමාජයේ ඇති කිරීමට සාර්ථක සංවිධිත පියවර ගැනීමට අප කොතෙක් දුරට සමත් වී ඇත්ද යන්නයි. වරින් වර විවිධ ජාතික අධ්‍යාපන කොමිසම් පිහිටුවා තිබෙන නමුත් ඒවා අධ්‍යාපනය පිළිබඳ ගැඹුරු මහජන සාකච්ඡාවක් ඇති කරන්නට සමත් වීද යන්න විමසුමට ලක් විය යුතුය. මේ සඳහා වඩා යෝග්‍ය එක් ක්‍රමයක් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වත්මන් රජය යටතේ පත්කොට ඇති පාර්ලිමේන්තු කමිටු සභාවයි. අනෙක් ක්‍රමය වචනයෙන් පමණත් නොව සැබෑ ලෙසම ස්වාධීන විද්වත් කොමිසම් සභාවක් පත්කිරීම යි. මගේ යෝජනාව උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තු කමිටු සභාවක් හෝ ස්වාධීන විද්වත් කොමිසමක් පත් කිරීම තව දුරටත් පමා නොකළ යුතු බවයි. සරසවි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එබඳු ක්‍රියාමාර්ගයක ප්‍රමුඛව නියෝජනය විය යුතුය. එබඳු උත්සාහයක අරමුණ විය යුත්තේ වත්මන් උසස් අධ්‍යාපන අර්බුදය හඳුනා ගැනීම, ඊට හේතු විශ්ලේෂණය කිරීම සහ ඒ මත පිහිටා උසස් අධ්‍යාපන අර්බුදයට ස්වදේශීය විසඳුමක් සම්පාදනය කිරීම යි.

එලෙස ස්වදේශීය විසඳුමක් ගොඩ නඟා ගැනීමට ඇති ප්‍රධාන බාධාව වන්නේ ලෝකය වෙනස් වීම අපට බලපාන ආකාරය පිළිබඳ අප තුළ ඇති ආකල්පය යැයි සිතමි. ගෝලීයකරණය යටතේ මුලු ලොවම දැනුම් ආර්ථිකයක් බවට පත් වී ඇති බවත් අපත් එයට හැඩ ගැසිය යුතු බවත් ජගත් දැනුම් ආර්ථිකයේ රැකියා සඳහා අපගේ උපාධිධාරීන් පුහුණු කළ යුතු බවත් බොහෝ දෙන නිතර කියනු අපට අසන්නට ලැබේ. අප අවධානය යොමු නොකරන කරුණ වන්නේ මෙය ලොව සිදුවන වෙනස්කම් පිළිබඳ සත්‍යය නොව එක් දෘශ්ටියක් පමණක් බවයි. ගෝලීයකරණය යටතේ දැනුම් ආර්ථිකය පිළිබඳ හෝ ‘ව්‍යුහාත්මක සැකැසුම් වැඩ පිළිවෙළ‘ යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකෙරෙමින් පවතින වෙනස්කම් පිළිබඳ සත්‍යය වටහා ගැනීම මෙම වෙනස් වීම් අනිවාර්ය ලෙස සළකා ඒවාට අනුගතවීමෙන් ඇති කර ගත නොහැකිය. ඒ සඳහා අප මෙම සිදුවීම් පිළිබඳ ජාත්‍යන්තරව පවතින පුලුල් සහ ගැඹුරු විවාදයන් හැදෑරීමට යොමු විය යුතුය. දේශපාලනඥයන්ට කෙසේ වෙතත් තමන් ශාස්ත්‍රවන්තයන් ලෙස සළකන අයට මෙම වගකීමෙන් නිදහස් විය නොහැකිය. අපක්ෂපාතී ශාස්ත්‍රීය පර්යේෂණය ඔවුන්ගේ කාර්යය විය යුතු හෙයිනි. ශාස්ත්‍රීය ගවේෂණය සදහා ඇවැසි විවේකය තමනට නොතිබුණද ප්‍රතිපත්ති සම්පාදනයේදී මැදිහත් සහ විමසුම් සිතින විචාරශීලී ශාස්ත්‍රවන්තයන් ගේ උපදෙස් පැතීම නිලධාරී තන්ත්‍රයේ වගකීම යි. අද උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අප රජයෙන් අපේක්ෂා කරන්නේ ලෝක ප්‍රවණතා අන්ධානුකරණයෙන් වැළදගැනීම නොව මහින්ද චින්තනයේ පොරොන්දුවට ගැළපෙන පරිද්දෙන් ලොව සිදුවන වෙනස්කම් හමුවේ උසස් අධ්‍යාපන අර්බුදයට ස්වදේශීය විසඳුමක් සම්පාදනය කිරීමට ‍යොමුවීමයි. මේ සඳහා ආරම්භයක් ගැනීමට චිකාගෝ විශ්ව විද්‍යාලයේ ලෝ පතළ කීර්තියක් ඇති මහාචාරිණී මාර්තා නුස්බෝම් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපන අර්බුදය පිළිබඳ රචනා කළ Not for Profit නමැති කෘතිය අපට කියැවිය හැකි යැයි මම යෝජනා කරමි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )