ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ!

ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න
“ස්‌ට්‍රයික්‌” නොකර බෑ!
– විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අඛණ්‌ඩ වැඩ වර්ජනය නිසා සෑම විශ්වවිද්‍යාලයක්‌ම පාහේ අකර්මන්‍ය වී තිබේ. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නොවිසඳුනු වැටුප් ප්‍රශ්නයට පමණක්‌ නොව අපේ රටේ උසස්‌ අධ්‍යාපනය අද මුහුණදී ඇති අර්බුද ගණනාවකටත් විසඳුම් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාදාමය ඇරඹූ බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

දිවයින ඉරිදා සංග්‍රහය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හදන්නෙ ආණ්‌ඩුව පෙරළන්න කියල චෝදනාවක්‌ තියෙනව?

ඕක ආණ්‌ඩුව අපහසුතාවට පත්වෙන ඕනෑම ක්‍රියාදාමයකට එල්ල වෙන සාමාන්‍ය චෝදනාවක්‌. මේක ආණ්‌ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්‌. විදේශ කුමන්ත්‍රණයක්‌ එන්. ජී. ඕ. කුමන්ත්‍රණයක්‌ විපක්‍ෂයේ කුමන්ත්‍රණයක්‌ වගේ ඕනම දෙයක්‌ කියන්න පුළුවන්. අද ආණ්‌ඩුවට රිදෙන ඕනැම දේකට ඔය චෝදනාව කරල ඒකෙ වලංගුතාවයත් දැන් නැතිවෙලා.

ඔබේ මේ ප්‍රශ්නෙට මට පුළුවන් නෑ මේක එහෙම එක්‌ක නෙමෙයි කියල කෙටි උත්තරයක්‌ දෙන්ඩ. ඊට වඩා මම කැමතියි මේ ප්‍රශ්නෙ තව කෙනෙකුට හිතල බලන්ඩ පුළුවන් විදිහට විග්‍රහ කරන්ඩ.

මේකෙ ඉන්න කුමන්ත්‍රණකාරයො දෙන්න කියල කියන්නෙ මටයි දඹර අමිල හාමුදුරුවන්ටයි. මේ අය කියන්නෙ මම පෙරටුගාමී පක්‍ෂයේ දඹර අමිල හාමුදුරුවො ඡේ. වී. පී. එකේ කියල නෙ. ටිකක්‌ කල්පනා කරල බැලුවොත් අපේ රටේ මුළු විශ්වවිද්‍යාල පද්ධතියෙම ඉන්න ආචාර්යවරු අපි දෙන්නගෙ දේශපාලන ව්‍යාපෘතියට නම්මගන්න පුළුවන් නම් එතනම ලොකු ප්‍රශ්නයක්‌ තියෙනවනෙ. අද කැලණි විශ්වවිද්‍යාලෙ හැර අනෙක්‌ හැම විශ්වවිද්‍යාලයකම අපේ ක්‍රියාදාමය සාර්ථකයි. ඒක හැමෝම දන්නව. ඒ නිසා අපේ දේශපාලන පසුබිම ගැන කතා කරන අය ඒ ගැන හොයල බලනවට වඩා අපි වගේ කීපදෙනකුට මේ තරම් පිරිසක්‌ එකතු වුණේ ඇයි කියන කාරණය හොයල බලනව නම් මට හිතෙන්නෙ වඩා වැදගත් ඒකයි.

ඔබේ සංගමය මේ ආරම්භ කරල තියෙන ක්‍රියාදාමයේ ඇත්ත අරමුණ කුමක්‌ද?

මම හිතන්නෙ කවුරුත් විමසිය යුත්තේ මෙන්න මේකයි. අපි ජනාධිපති ලේකම්තුමා හමුවුණා. පැය තුනක්‌ එතුමා සමග මේ කාරණය සාකච්ඡා කළා. අන්තමේදි එතුමා කිව්වෙ ඕනම සාකච්ඡාවක්‌ පැය තුන හතරක්‌ කරන කොට එපාවෙනව. නමුත් මේ සාකච්ඡාව බොහොම සජීවීව උෙද්‍යාaගිමත්ව කෙරුණා. කිසිම අලස බවක්‌ එතුමට දැනුණෙ නෑ කියල එතුම කිව්ව. අපි ඉදිරිපත් කළ කාරණා ඉතාමත් බැරෑරුම් බවත් එතුමා පිළිගත්ත.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. එය 2007 පමණ කාලයක සිට මතුකරමින් තිබෙන එකක්‌. මාධ්‍යවලට මොනව කිව්වත් අපිත් එක්‌ක කරන සාකච්ඡාවලදි මේ අය පිළිගන්නව ඒ ප්‍රශ්නෙ විසඳිලා නෑ කියල. ඒක ටිකක්‌ පැත්තකින් තියමුකො. ඒක අපේ ප්‍රශ්නයක්‌ මිසක්‌ මේ රටේ මිනිස්‌සුන්ට බලපාන ප්‍රශ්නයක්‌ නෙමෙයි. නමුත් මේ අපි ඉදිරිපත් කරන අනික්‌ කාරණා ඊට වඩා පුළුල් බැරෑරුම් ඒව. අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක්‌ තියෙනව. ග්‍රාමීය පාසල් වැහෙනව. ගුරු පුහුණුව ඉතාමත් දුර්වලයි. ගුරුවරු හිඟයි. අධ්‍යාපනයේ මේ අර්බුදය විසඳන්න වැඩිපුර ආයෝජන අවශ්‍යයි. එයින් අධ්‍යාපනයේ සියලු අර්බුද විසඳන්න බෑ. නමුත් ඒ අර්බුදය විසඳන්න මූල්‍යමය ප්‍රමුඛතාවයකුත් අවශ්‍යයි.

අපේ රටේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතාවක්‌ තියෙනව. පාරවල් කාපට්‌ කරන්න කොන්ක්‍රීට්‌ කරන්න අධිවේගී මාර්ග ඉදිකරන්න ඒ අනුව කටයුතු කරනව. නමුත් අපේ රටේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න එබඳු ප්‍රමුඛතාවයක්‌ නැතිවන එක අපේ එක ප්‍රශ්නයක්‌.

අනික්‌ කාරණය විශ්වවිද්‍යාලය කියන ආයතනය සමාජයට අවශ්‍යයි කියන පිළිගැනීමක්‌ තියනවනෙ. රටකට විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍ය වෙන්නෙ උපාධි පිරිනමන ආයතනයක්‌ විදිහට පමණක්‌ නෙමෙයි. ශාස්‌ත්‍රීය වැදගත්කමක්‌ තියෙන දැනුම නිෂ්පාදනය කරන මේ ආයතනවලට නිදහස අවශ්‍යයි. අපේ රටේ විශ්වවිද්‍යාලවල අද මේ “ඇකඩමික්‌ fප්‍රීඩම්” එක නැතහොත් ශාස්‌ත්‍රීය නිදහස පිළිබඳ ප්‍රශ්න තියෙනව. දේශපාලන යාන්ත්‍රණය අද විශ්වවිද්‍යාලවලට බලපෑම් කරන තත්ත්වයක්‌ ඇතිවෙලා තියෙනව. මෙය කාලයක සිට පැවතුනු තත්ත්වයක්‌ උපකුලපතිවරුන් පත්කිරීම, ප්‍රතිපාදන ලබාදීම, ආදියට දේශපාලන බලපෑම් ඇතිවීම විශ්වවිද්‍යාලවල ස්‌වායක්‌තභාවයට තර්ජනයක්‌. විශ්වවිද්‍යාලවල අද තිබෙන මේ තත්ත්වය වෙනස්‌ විය යුතුයි කියන එක අපේ මූලික ඉල්ලීමක්‌.

අපි මතුකරන තවත් ප්‍රධාන විරෝධයක්‌ තමයි අද අපේ රටේ උසස්‌ අධ්‍යාපනය පිළිබඳ තිබෙන ප්‍රතිපත්තිය. මේ ආණ්‌ඩුව කල්පනා කරන වෙළෙඳ පොළ හා උසස්‌ අධ්‍යාපනය අතර ඇතිකරන්න හදන සම්බන්ධය පිළිබඳ ප්‍රශ්න තියෙනව. පුද්ගලික විශ්වවිද්‍යාල, පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවෙන්නෙ මේ අනුවයි. මේවාට රාජ්‍ය විශ්වවිද්‍යාල මට්‌ටම ලබාදීමට දරන වෑයම බරපතළ ප්‍රශ්නයක්‌. එංගලන්තය වගේ රටවලත් අධ්‍යාපනය සම්බන්ධයෙන් තේමා පාඨයක්‌ තිබෙනව එඩියුකේෂන් නොට්‌ ෆො සේල් කියල. අධ්‍යාපනය විකිණීම සඳහා නොවේ. මේ කාලෙ මේක බොහොම රැඩිකල් සටන්පාඨයක්‌. අධ්‍යාපනය රැකගත යුතුයි කියන එකයි මේ පිටිපස්‌සෙ තියෙන්නෙ.

අපේ රටේ දැන් තියෙන අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි සරච්චන්ද්‍රල, මාර්ටින් වික්‍රමසිංහල, ගුණදාස අමරසේකරල වැඩක්‌ නෑ. අද ඕන තොරතුරු තාක්‍ෂණය වගේ දේවල්. ඒ කාලෙ ඡේ. ආර්. හඳුන්වල දීපු සාහිත්‍ය කන්ඩද කියන ප්‍රතිපත්තියම වෙනත් මුහුණුවරකිනුයි මේ එන්නෙ. මේ ක්‍රමය වර්තමාන උපාධිධාරීන්ගෙ රැකියා වියුක්‌තියත් එක්‌ක සම්බන්ධ කරනව. අපේ රටේ උපාධිධාරීන්ගෙ රැකියා ප්‍රශ්නය ගැන හරියට සාකච්ඡා කරල නෑ. අයි. ටී., ඉංගී්‍රසි වගේ ටිකක්‌ ඉගැන්නුවම ඕක හරියයි කියල හිතුවට එහෙම හරියන්නෙ නෑ.

ඉතිං මේව තමයි අපි මතුකරන ප්‍රශ්න. අපේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනව තමයි. නමුත් මේවා ඊට ලඝූකරන්න බෑ.

පසුගියදා ඔබේ සංගමය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අතර පැවැති සාකච්ඡාවෙදි මේවා බැරෑරුම් ප්‍රශ්න ලෙස ඔවුන් පිළිඅරන් තිබෙනව. නමුත් මේ ගැටලු විසඳීමට තිබෙන ප්‍රධාන බාධකය රටේ ආර්ථික තත්ත්වය බවත් එහිදී අවධාරණය කොට තිබෙනව?

ඒ අවධාරණය තුළ තිබෙන ප්‍රශ්නය තමයි අපේ රටේ ඇතැම් නොවැදගත් දේවල් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කරනවිට ඔය රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ ප්‍රශ්නය මතුනොවීම. පසුගිය කාලේ පැවැත්වුණු අයිෆා උළෙලට මුදල් වියදම් කරනවිට ඒ වෙනුවෙන් සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය කරනවිට අපේ රටේ ආර්ථිකය ශක්‌තිමත්. පොදු රාජ්‍ය ක්‍රීඩා උළෙල අපේ රටට ගන්ඩ විශාල මුදලක්‌ වියදම් කරන විටත් අපේ රටේ ආර්ථිය ශක්‌තිමත්. ඒක ගන්න බැරිවුණත් වියදම් වුණු මුදල් ගැන කියන්නෙත් ඒක ආයෝජනයක්‌ විදිහට. ජනාධිපතිතුමා විදේශ සංචාරයක නිරත වෙන විට එතුමා සමග විශාල පිරිසක්‌ යනව. රටේ ආර්ථිකය ගැන හිතල ඒ ගමන්වලට අත්‍යාවශ්‍යම පිරිස පමණක්‌ යන්න පුලුවන්නෙ. නමුත් එබඳු ගමන් බිමන් සඳහා වගේම අයිෆා වැනි සිනමා උත්සව සඳහා රටට මුදල් තියෙනව. අපි ආර්ථික වශයෙන් අමාරු රටක්‌ නම් මුදල් වියදම් කිරීම අතින් අපි ආදර්ශමත් වෙන්න ඕන. එහෙම ආදර්ශයක්‌ කොතනකින්වත් අපට පෙනෙන්න නෑ. මුදල් වියදම් කළ යුත්තේ වඩා වැදගත් රටට ප්‍රයෝජනවත් දේවලටයි. නමුත් අපේ රටේ තමුන් අකමැති දේවලට මුදල් වියදම් කරන්න වෙනකොට රටේ ආර්ථික ප්‍රශ්න. කැමැති දේවල්වලට මුදල් වියදම් කරන්න සූදානම් වෙන විට අපේ රට මධ්‍ය ආදායම් ලබන රටක්‌ බවට පත්වෙලා. ආර්ථික වර්ධන වේගය වැඩිවෙලා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබෙන මේ වැඩපිළිවෙළින් විශ්වවිද්‍යාල අකර්මන්‍ය වෙලා තිබෙනව. රජයෙන් සුබවාදී ප්‍රතිඵලයක්‌ ඔබ බලාපොරොත්තු වෙනවද?

ඒක මට කියන්න බෑ. අපට වෙන කරන්න දේකුත් නෑ. වෙනත් විකල්පයකුත් නෑ. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ අවශ්‍යයි කියන එක අපි දීර්ඝ කාලයක්‌ කියා හිටිය. වැඩ වර්ජනයක්‌ කිරීමට සිදුවන බව කිව්ව. ජනාධිපති ලේකම්තුමා වත් ඇමැතිතුමාවත් ගණන් ගන්තෙ නෑ. ඕව හරියන්නෙ නැති වැඩ කියල මේ ආණ්‌ඩුවෙන් තනතුරු අරන් ඉන්න අපේ සමහර මිත්‍රයොත් අපට උපදෙස්‌ දෙනව. ඒ අය ඒව කියන්නෙ අපේ හොඳට වගේ. ස්‌ට්‍රයික්‌ කරල අසාර්ථක වුණාම ආණ්‌ඩුවට නේද වාසි කියල අපේ සංගමයට හරි ආදරෙන් වගේ සමහරු කතාකරනව. අන්තිම තුරුම්පුව විදිහට තමයි ඔය ආණ්‌ඩුවට හිතවත් ආචාර්යවරු පිරිසකුයි ශ්‍රී ලංකා නිදහස්‌ ආචාර්යවරුන්ගේ සන්ධානය කියන එකේ ඉන්න ටික දෙනෙකුයි සාකච්ඡාවකට කැඳවන්නේ. ඒ අය ගිහින් වැඩිපුර කතාකරන්නෙ විශ්වවිද්‍යාලෙ ප්‍රශ්න නෙමෙයි තම තමුන්ගෙ ප්‍රශ්න. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ හොයනව වෙනුවට සිද්ධ වෙන්නෙ ඕකයි. අද මේ ප්‍රශ්නය ගැන ආණ්‌ඩුවේ අවධානයවත් යොමුකර ගන්න ස්‌ට්‍රයික්‌ එකක්‌ නැතුව බෑ. ඒක අපේ රටේ තියෙන අවාසනාවන්ත තත්ත්වයක්‌. ළමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙනව තමයි. ඒත් ඉතිං මොකද කරන්නෙ? රටේ ආණ්‌ඩුවට පණිවිඩයක්‌ දෙන්න ස්‌ට්‍රයික්‌ නැතුව බැරිවීම අවාසනාවන්ත තත්ත්වයක්‌. මේ ප්‍රශ්න සමූහය දැන් තීරණාත්මක තැනකට ඇවිත් තියෙනව.

ඔබට මරණ තර්ජන එල්ල වී තිබෙන බවටත් ඔබ පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබෙනව?

ඔව්. මා දන්නෙ නෑ කවුද ඒව කරන්නෙ කියල. ඇමැතිතුමාට මම ඒ ගැන කිව්වම එතුම හිනාවුණා. ඒක මම ම හදල කියපු කතාවක්‌ කියල එතුම හිතුවද මම දන්නෙ නෑ. මගෙ මිත්‍රයො නං මට කියන්නෙ පරිස්‌සම් වෙන්න කියලයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

http://www.divaina.com/2012/07/08/politics01.html

Advertisements

One thought on “ආණ්‌ඩුවට පණිවුඩයක්‌ දෙන්න “ස්‌ට්‍රයික්‌” නොකර බෑ!”

  1. This little explanation is sufficient to understand the whole problem in the country. Unfortunately higher authoroties do not take this situation seriously and it would be end up with a huge cost. Probably this may lead to a waves of strikes in the industrial and other sectors as well. Then it would open the eyes of higher authorities and it may be too late then. Dr Ranjith should be protected by the poor people in this country rather than go behind and beg from the politicians who are cheeting them left and right.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )