අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය

අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය
– කුමුදු කුසුම් කුමාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය රාජ්‍ය අංශයේ අධ්‍යාපනය පිළිබඳ රජයේ කැපවීම ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් යලිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීම මෙම මාතෘකාව ජාතික දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලට ගෙන එන්නට හේතු වී තිබේ. ඔවුන් ගේ ඉල්ලීම් අතර වන රජය අධ්‍යාපනයට දළ ජාතික නිශ්පාදිතයෙන් වෙන් කරන ප්‍රතිශතය අවම වශයෙන් සියයට 6 ක් දක්වා ඉහළ දමනු ඇතැයි ඇතැයි සාර්ක් රටවලට සහ ජාත්‍යන්තර ආයතන වලට දී ඇති පොරොන්දුව ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතුය යන්න සහ රජයේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය කුමක් ද යන්න නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතුය යන්න ජාතික අවධානය දිනාගනිමින් තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තම ඉල්ලීම් ජනතාව අතරට ගෙන යමින් ඉදිරිපත් කරන පෙත්සමට අත්සන් කිරීමට මහජනයා බෙහෙවින් උද්යෝගීමත්ව සහභාගී වන බව වාර්තා වෙයි. අනෙක් අතට මේ පිළිබඳ ජාතික තලයේ සාකච්ඡාවක් ගොඩ නැඟෙමින් තිබේ. ජනතා විමුකති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම වර්ජනය විසඳීමට රජය ක්‍රියාකළයුතු යැයි පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් උසස් අධ්‍යාපන ඇමතිවරයා ද මෙරට දළ ජාතික නිශ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වැය කෙරෙන ප්‍රතිශතය පිළිබඳ තම අදහස් දක්වා ඇත. අධ්‍යාපනය මූලික අයිතියක් ලෙස ප්‍රකාශ කරනු වස් පණතක් ගෙන එන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් වත්මන් රජය ක්‍රමානුකූලව නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් සිටින බව අධ්‍යාපනය සඳහා රජය වැය කරන මුදල් අඩුවී තිබීමෙන් පෙනී යන බව කියා සිටියේය.

උසස් අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේ දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විදේශ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව දීමට විරුද්ධවන අතර තම දරුවන් එක් කිහිප දෙනෙකුට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙස ඉල්ලා ඇතැයි කළ සඳහනෙන් ඇඟවූයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තම දරුවන් වෙනුවෙන් අයුතු ඉල්ලීමක් කර ඇතැයි යන්නයි. මෙය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඉල්ලීම් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමතිවරයා කර ඇති වෙනත් බොහෝ ප්‍රකාශ මෙන්ම ජනයා නොමඟ යවන සුලු ප්‍රකාශයකි. මේ සම්බන්ධයෙන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කොට ඇත්තේ මෙරට උපාධි අපේක්ෂකයන් සඳහා රජයේ වියදම් ප්‍රතිශතය අඩු කරමින් සිටින අතර තුර විදේශ ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම අගතිගාමී පියවරක් බවයි. ඔවුන් තම දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන මෙන් කිසිදු ඉල්ලීමක් කොට නැත.

උසස් අධ්‍යාපන ඇමතිවරයා දළ ජාතික නිශ්පාදිතයෙන් අධ්‍යාපනය සඳහා වැය කෙරෙන ප්‍රතිශතය පිළිබඳ කියා සිටියේ යුනෙස්කෝව මෙම ප්‍රතිශතය ගණනය කරන්නේ රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික අංශය ද ඇතුළුව අධ්‍යාපනය වෙනුවෙන් කෙරෙන සියලු වියදම් ඇතුළත් කොට බවයි. නමුත් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මේ පිළිබඳ සම්පාදනය කළ සවිස්තර ලේඛනයක පෙන්වා දී ඇත්තේ තමන්ට යුනෙස්කෝව විසින් පැහැදිළිව දන්වා ඇති පරිදි මෙම ප්‍රතිශතය ගණනය කර ඇත්තේ රාජ්‍ය අංශය පමණක් අධ්‍යාපනය සඳහා කරන වැය සළකා බවයි.

මේ පිළිබඳ සාකච්ඡාවේදී ඉදිරිපත් වී ඇති තවත් අදහසක් නම් රජයේ අයවැයෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ රජයේ සේවකයන් ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් සහ ජාතික ණය වෙනුවෙන් පොලී ගෙවීමට හෙයින් රජයට තමන් රිසි පරිදි වියදම් කළ හැක්කේ ඉතිරි සියයට 20 ක පමණ ප්‍රතිශතය බවයි. තවද එහිදී සෞඛ්‍යය සහ පොහොර සහනාධාරය වැනි දෑටද වැය කරන්නට රජයට සිදුව ඇති බවයි. ප්‍රශ්නය වන්නේ මෙම සීමා තුළ වුව අප අධ්‍යාපනයට දිය යුතු ප්‍රමුඛතාව කුමක් ද යන්නයි.

රජය රටේ ඉහළ දළ ජාතික නිශ්පාදිතයේ වර්ධනයක් සහ ඒක පුද්ගල ආදායමක් ඇතැයි එක් අතකින් කියා සිටින අතර දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අධ්‍යාපනය සඳහා වැය කෙරෙන මුදල අඩුවෙමින් පවතින්නේ මන්ද යන්න සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සඳහා කෙරෙන ඒක පුද්ගල ආයෝජනය අඩුවන්නේ මන්ද යන්න පැහැදිළි කළ යුතුය. උදාහරණයක් දක්වතොත් මහාමාර්ග, වරාය, ගුවන් තොටුපල ආදිය සඳහා ලංකාවේ කෙරෙන අධික වියදමෙන් රජය කියන්නේ එම ආයෝජන අධ්‍යාපනයෙහි ලා ආයෝජනය කිරීමට වඩා වැදගත් බවද? මෙය ඒවායින් ලැබෙන ප්‍රතිලාභ සංසන්දනය කරමින් මහජන සාකච්ඡාවට ලක්විය යුතු වැදගත් කරුණකි. මන්ද යත් අධ්‍යාපනයට දෙන වැදගත් කම අනුව රටක පාලක පංතියේ පමණක් නොව මහජනයාගේත් ප්‍රබුද්ධභාවයේ තරම ප්‍රකාශ වන හෙයිනි.

අධ්‍යාපනය සඳහා රජයේ මුදල් වැය කිරීම පිළිබඳ ගැටලුව ප්‍රමුඛතා පිළිබඳ කරුණකි. අවශ්‍ය නම් රජයට ධන හිමි සහ මූල්‍ය වත්කම් ඇති පංතිවලින් බදු අය කොට ආදායම් වැඩි කර ගත හැකිය. එමෙන්ම රජයේ ආදායමෙන් විදේශ ණය සඳහා පොලී ගෙවීමට වැය වන ප්‍රතිශතය සළකා බලන කල මෙලෙස ණය ගැති භාවයට පත්වීමෙන් ජාතික ආර්ථිකයට අත්වන අවදානම සළකා බලා මෙම ණය මත ක්‍රියාත්මක කරන ඊනියා සංවර්ධනය යළි සළකා බැලිය හැකිය.

තවද අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6 ක ප්‍රතිශතයක් වෙන් කිරීමට රජය දැනටමත් සාක් රටවල් සහ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පොරොන්දු වී ඇත. මෙරට දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීම තම අරමුණ බව ප්‍රකාශ කරන රජයක් ජාත්‍යන්තරව පිළිගත් මට්ටමට රජයේ අධ්‍යාපන වියදම් ගෙන ඒමට පැකිළිය යුතු නැත. අවශ්‍ය වන්නේ අධ්‍යාපනය ජාතික ප්‍රමුඛතාවක් බව පිළිගෙන ඒ අනුව ක්‍රියා කිරීම ය. ආචාර්ය සමිති සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම පොරොන්දුව සපුරා ලීමට වැඩ පිළිවෙලක් මහජනයාට සහ ආචාර්ය සමිති සම්මේලනයට ඉදිරිපත් කරන ලෙසයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට විශාල වශයෙන් වැටුප් වැඩි කොට ඇතැයි දිගින් දිගටම කියා සිටින උසස් අධ්‍යාපන ඇමතිවරයා එම ආචාර්යවරුන් මේ පිළිබඳ ඉදිරිපත් කරන කරුණු සාවධානව සළකා බලන්නට පෙළඹීම ප්‍රතික්ෂේප කරයි. මෙම වැටුප් වැඩි කිරීමේ යෝජනා ඉලක්ක කොට ඇත්තේ රාජ්‍ය අංශයේ සරසවි අධ්‍යාපනය නඟා සිටුවිය හැකි වනු ඇති පරිදි දක්ෂයන් බඳවා ගැනීමේ සහ රඳවා ගැනීමේ අරමුණ ටය. ඔවුන් ඉල්ලා සිටින වැටුප් තල 2008 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් අනුමත කොට වැටුප් සහ කාඩර කොමිසමට නිර්දේශ කළ සහ 2011 වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අනුමැතිය දුන් වැටුප් තල වෙයි. ආචාර්ය සමිති සම්මේලනය කියා සිටින්නේ රජයේ සූදානම තමන් දුන් එම පොරොන්දු වලින් මගහැර යාම නම් ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණට ගැළපෙන පරිදි රාජ්‍ය අංශයේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙවිය යුතු වැටුප වශයෙන් තමන් අදහස් කරන්නේ කුමක් ද යන්න රජය ප්‍රකාශ කළ යුතු බවයි. එසේ නොමැතිව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින වැටුප් ගෙවීමට රජයට මුදල් නැතැයි කියන්නේ නම් රජය මුදල් වියදම් කරන ප්‍රමුඛතා පිළිවෙල රජය තමන් සමග සාකච්ඡා කළ යුතු බවයි.

මෙම සාකච්ඡාව පසුබිමෙහි ඇති සරසවි ඇදුරු වර්ජනය මෙම ලියන අවස්ථාව වන විට සති දෙක සපුරා තිබේ. වර්ජන හේතුවෙන් සරසවි සිසුන්ට වන දුෂ්කරතා ගැන නිතර ප්‍රකාශ කරන නමුත් මෙම වර්ජනය අවසානයකට ගෙන ඒමට රජය උනන්දුවක් දක්වා නැත. මෙම වසරේ මුල සිට රජයට කළ දැනුම්දීම් වලට නිසි ප්‍රතිචාරයක් නොලැබ මාස හයක් ගෙවුණු තැන එළඹුනු වර්ජන තීන්දුවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක දැක්වූයේ උග්‍ර පසමිතුරු ප්‍රතිචාරයකි. ඒ හේතුවෙන් වර්ජනය දියත් වීම නියත බව පෙණුනු විට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට මැදිහත් වීමට තීරණය කිරීමේ ප්‍රතිඵලය ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වීය. එහිදී ජනාධිපති ලේකම් කියා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ යෝජනා සළකා බැලීමට රජයට සතියක කාලයක් අවශ්‍ය බවයි.

වර්ජනය දිග් ගැස්සෙද්දී සතියකට පසු ජූලි 12 වැනිදා පැවති දෙවැනි සාකච්ඡා වටයේ ප්‍රථිපලය ආචාර්ය සමිති සම්මේලනය දුටුවේ බලාපොරොත්තු කඩ කරන්නක් ලෙසිනි. ආචාර්යවරුන්ගේ යෝජනා සළකා බැලීමට සතියක කාලයක් ගත් රජය දෙවැනි වටයට ඉදිරිපත් කළේ උසස් අධ්‍යාපනයට බලපාන සංකීර්ණ කරුණු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසම ක් ඉදිරිපත් කිරීමේ පොදු යෝජනාවයි. ආචාර්ය සමිති සම්මේලනයේ සුවිශේෂ ඉල්ලීම් පිළිබඳ නිශ්චිත ප්‍රතිචාරයක් රජයෙන් ඉදිරිපත් නොවිණි. මේ පිළිබඳ රජයේ ස්ථාවරය කුමක්දැයි විමසූ විට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ප්‍රතිචාරය වූයේ කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනා මී ළඟ අවස්ථාවේ දී සාකච්ඡා කළ හැකි බවයි. ඒ සඳහා දිනයක් මෙම සතිය මැද යොදාගතහැකි යැයි යෝජනා වූ නමුදු බ්‍රහස්පතින්දා උදෑසන වන තෙක්ම ඒසඳහා ඇරයුමක් ආචාර්ය සමිති සම්මේලනයට ලැබී නොතිබුණි. මෙම වැඩ වර්ජනය කඩිනමින් අවසන් කිරීමට රජයට අවංක උනන්දුවක් ඇත්දැයි සරසවි ආචාර්ය වරුන් සැක පහළ කරන්නේ මෙම පසුබිමෙහිය.

ජූලි 17 වැනිදා රැස්වූ ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව දීර්ඝ සාකච්ඡාවකින් පසු එළඹි තීරණය නම් තමන් රජයට ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් විසඳීමට ජනාධිපති කොමිසම ක් අනවශ්‍ය බවයි. මෙම රජයත් ඇතුලුව මෙරට රජයන් තමන්ම පත්කළ ජනාධිපති කොමිසම් වල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම අසමත් වී තිබීම තුළ තමනට ජනාධිපති කොමිසම් පිළිබඳ විශ්වාසයක් නැති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටියි. එහෙයින් තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් වලට නිශ්චිත විසඳුම් යෝජනා නොකොට උසස් අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කිරීමට රජය කරන යෝජනාව හුදෙක් ප්‍රශ්නය යට ගැසීමක් බව එම සම්මේලනයේ මතයයි.

Advertisements

One thought on “අවසන් කිරීමට රජය උනන්දුවක් නැති සරසවි ඇදුරු වර්ජනය”

  1. රජය අධ්‍යාපනය සදහා අයවැයෙන් වෙන් කරන්නේ 2.7% ලු.
    නාමල් බේබි ට රගර් ගහන්න , කාර් රේස් වලට කොච්චර වියදම් කරනවද?
    2012 ජුලි 10 වෙනිදා පොලිස් පාක් පිටියේ තිබුන කාල්ටන් සුපර් එකට ඉන්දියාවෙන්
    නිළියන්ව ගෙන්නුවා. ඒවාට කොච්චර ගෙවන්න ඇතිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )