ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ

ජාතික චින්තනයේ ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ
– නිර්මාල් රංජිත් දේවසිරි
ගුණදාස අමරසේකර විසින් රචිත ‘රූපාන්තරණය නොහොත් සෝමදේවගේ සංක‍්‍රාන්තිය’ නමැති නවකතාව නිකුත් කිරීම නිමිත්තෙන් පැවැති සම්මන්ත‍්‍රණයේ කතාවක් කිරීමට මට ද ආරාධනා කර තිබුණි. මා මගේ කෙටි අදහස් දැක්වීමේ මාතෘකාව ලෙස යෝජනා කළේ ‘ගමනක අග සහ ජූලම්පිටියේ අමරේ’ යන්නයි. ‘ගමනක අග’ යන රූපකය මා භාවිත කලේ ගුණදාස අමරසේකරගේ ‘ගමනක අග‘ යන නවකතාව ආශ‍්‍රයෙනි.

ගමනක මුල නවකතාවෙන් ඇරඹෙන ගුණදාස අමරසේකරගේ නවකතා මාලාව අවසන් වන්නේ ‘ගමනක අග’ නව කතාවෙනි. මෙම කතා මාලාව ලංකාවේ මැද පංතියේ කතාන්තරය ලෙස කතුරයා විසින්ම හඳුන්වා දෙනු ලැබ තිබුනත් මගේ අදහස වන්නේ මෙම කතා මාලාව අමරසේකරගේ ද සක‍්‍රීය මැදිහත්වීම තළින් නිර්මාණය වූ පසුව ජාතික චින්තනය නමින් බෞතීස්ම කෙරුණු අදහස් පද්ධතියේ සමාජ දේශපාලන පරිකල්පනයේ ප‍්‍රකාශනයක් බවයි. මෙම කතාමාලව අවසන් කරමින් ලියූ ගමනක අග කතාව අවසන් වන්නේ මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවැති යුද්ධය නිමාවීමෙන් පසුව ලංකාවට පැමිනෙන කතාමාලාවේ කේන්ද්‍රීය චරිතය වන පියදාස ගේ සිතුවිලි හරහා ජාතික චින්තනයේ සමාජ දේශපාලන සිහිනය සාක්ෂාත් කරගැනීම සඳහාවූ පසුබිමක් දැන් නිර්මාණය වී ඇතැයි යන බලාපොරොත්තුව පාඨකයා ඉදිරියේ තැබීම මගිනි.

මගේ තර්කය වුනේ අදාල සම්මන්ත‍්‍රණය පැවැත්වුනු දිනවලම රඟ දැක්වුනු ‘ජූලම්පිටියේ අමරේ’ නාටකය මගින් සංකේතවත් වන්නේ පියදාස නමැති ගමනක අග නවකතාවේ චරිතයේ දේශපාලනයේ සිහිනය හරහා අමරසේකර අපට දෙන බලාපොරොත්තුව සුනුවිසුනු කරමින් තිබීම බවයි. වැඩි දුරටත් මා තර්ක කරන්නේ මේ බලාපොරොත්තුව සුනුවිසුනු කරන්නේ දෙමළ ජාතිවාදය හෝ බටහිර අධිරාජ්‍යවාදය වැනි ජාතික චින්තනය විසින් සිංහල ජාතියේ සතුරන් ලෙස හඳුනා ගැනෙන බාහිර කාරක විසින් නොව අමරසෙකරද ඇතුළු ජාතික චින්තනයට ලැදි බලවේග වල පූර්ණ හා කි‍්‍රයාකාරී සහයෝගය යටතේ බලයට පත්කරන ලද එක්සත් ජනතා නිදහස් සංධානය තුළම ක‍්‍රියාත්මක ගතිකයන් මගින් බවයි.

මෙහි දී මා වැඩි දුරටත් ප‍්‍රකාශ කලේ අමරසේකරම කරුමක්කාරයෝ නවකතාව මගින් ආරම්භය සම්බන්ධව ඉඟි මතුකරන ලද විසකුරු ග‍්‍රාමීය දේශපාලන බලවේග අද මුලූමනින්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල දේශපාලන ආධිපත්‍යය හොබවන බවයි. ජූල්පිටියේ අමරේ බිලිකරනු ලබන්නේ මෙම දේශපාලන බලවේග මගිනි. කරුමක්කාරයෝ නවකතාව සම්බන්ධව වර්තමානයේ අමරසේකර බෙහෙවින් හෙළාදකින සුළු ආකල්පයක් දැක්වූවත් එම නවකතාවේ ඉහත කී ලක්ෂනය තවමත් වලංගු බව එතුමාගේ ද අදහසයි.

මා ඉදිරිපත් කල මෙම අදහස එම අවස්ථාවේ එම සම්මන්ත‍්‍රණයට සහභාගී වූ මහාචාර්ය නලින් ද සිල්වා විසින් තරමක් විකෘති කරනු ලැබ විවේචනයට භාජනය කරනු ලැබ තිබේ (ජූලි 17 ඉරිදා දිවයින). ඒ මහතා ප‍්‍රකාශ කරන්නේ ‘ජාතික චින්තනය කෙළවර වී ඇත්තේ ජූලම්පිටියේ අමරේ බිහිකරමින් බව’ මා ප‍්‍රකාශ කළ බවයි. තව දුරටත් ඒ මහතා ප‍්‍රකාශ කරන්නේ මා මේ ප‍්‍රකාශය කරන්නේ ජාතික චින්තනය කියන්නේ කුමක් ද යන්න නොදැන බවයි. කෙසේ වෙතත් මෙය මා ඉදිරිපත් කළ අදහස ගැන හොඳ අර්ථකථනයක් නොවන බව මගේ අදහසයි. ජූලම්පිටියේ අමරේ බිහිකර ඇත්තේ ජාතික චින්තනය මගින්ය වැනි අරුතක් එහි අඩංගුය. මා ප‍්‍රකාශ කරන්නේ එය නොවේ. මගේ අදහස වෙනත් විදිහකට කැටි කර දැක්වුවහොත් මෙසේ ප‍්‍රකාශ කළ හැක.

ජාතික චින්තනය අපට බොහෝ දේ පොරොන්දු විය. මා සිතන ආකාරයට ඒ පොරොන්දු වූ දේ වලින් එකක් වන්නේ මානුෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයකි. ජාතික චින්තනයේ මූලික දේශපාලන දැක්ම හරයාත්මක වශයෙන් ෆැසිස්ට්වාදී බව එහි බොහෝ විවේචකයින්ගේ අදහස වන නමුත් ජාතික චින්තනයේ ප‍්‍රකාශකයින් එසේ කියන්නේ නැත. නලින් ද සිල්වා වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය බටහිර නිසා එය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරතියි මා සිතන්නේ නැත. මගේ තර්කය වන්නේ ජාතික චින්නයේ මෙම පොරොන්දුව දැන් පරීක්ෂාවට ලක්වෙමින් පවත්නා බවයි. ගම යනු ජාතික චින්තනයේ පරමාදර්ශී සමාජ දේශපාලන ඒකකයයි. අමරසේකරට මෙන්ම නලින් ද සිල්වාට අනුවත් සිංහල ජාතික චින්තනයේ සාරය තවමත් ආරක්ෂා වී ඇත්තේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වලය. මේ නිසා ග‍්‍රාමීය දේශපාලනය තුළ සිදුවන දෑ හරහා ජාතික චින්තනය පරීක්ෂාවට ලක්වීම නොවැලැක්විය හැකිය. මෙහිදී මහාචාර්ය නලින් ද සිල්වා තමන් ට්‍රොට්ස්කිවාදය අරභයා කරන එක් විවේචනයක් සිහිපත් කරගත යුතුබව මගේ යොජනාවයි. ඒ මහතා නිතර ප‍්‍රකාශ කරන දෙයක් වන්නේ ට්‍රොට්ස්කිවාදීන් කොයිතරම් කයිවාරු ගැහුවත් තවම රාජ්‍ය බලය අල්ලා ගැනීමට ට්‍රොට්ස්කිවාදීන් ලෝකයේ කොතැනකවත් සමත් වී නොමැති බවයි. ට්‍රොට්ස්කිවාදීන් කම්කරු පංතිය කෙරෙහි විශ්වාසය තබන්නාක් මෙන් ජාතික චින්තනය ගම ගැන විශ්වාසය තැබීය. කම්කරු පංතිය ට්‍රොට්ස්කිවාදීන් අපේක්ෂාකරන ආකාරයට හැසිරෙන්නේ නොමැතිවිට එය ට්‍රොට්ස්කිවාදීන්ගේ විග‍්‍රහයේ අර්බූදයක් ලෙස දකින නලින් ද සිල්වා ග‍්‍රාමීය දේශපාලනය තම බලාපොරොත්තුවට වෙනස් ආකාරයට හැසිරෙන විට එය තම විග‍්‍රහයේ අර්බුදයක් ලෙස සලකන්නේ නැත්තේ ඇයි.

nrdewasiri@gmail.com

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )