ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම

ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම
– කුමුදු කුසුම් කුමාර

සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්‌වරූපයක්‌ ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුළනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත්බව ආත්මයක්‌ නැති සංවිධානයක සෙවණැල්ල පිටුපස සැඟවීයැමටත් හේතු වේ.

රබින්ද්‍රනාත් තාගෝර්, Nationalism, 1917

…සැබෑ මානවවේදියකුට විද්‍යාඥයාගේ නියමයන්වත් දාර්ශනිකයාගේ සත්‍යවත් කලාකරුවාගේ සෞන්දර්යයවත් පරමයන් නොවේ.

හනා ආරන්ඩ්ට්‌, ,Crisis in culture” in Between Past and Present 1958


1. හැඳින්වීම

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද අවධියේ දී, ශීඝ්‍ර ආර්ථීක වර්ධනය සහ ‘සංවර්ධනය’ සඳහා ඇති දැඩි කැමැත්ත දැනුම් ආර්ථීකය පිළිබඳ කතිකාව ප්‍රබල ලෙස අවධාරණය කිරීමට හේතු වී ඇත. ඉදිරි දශක භාගය තුළ ඒක පුද්ගල ආදායම දෙගුණයකින් වැඩි කිරීම මඟින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම දැන් අප සමාජයේ පොදු දැක්‌මක්‌ වන අතර, මෙම ඉලක්‌කය ළඟා කර ගැනීමේ එක්‌ මූලික මාර්ගයක්‌ ලෙස සැළකෙන්නේ, විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍යයන් ගණන ශීඝ්‍රයෙන් වැඩි කිරීම හරහා දැනුම් ආර්ථීකයක්‌ වර්ධනය කිරීම ය.

‘ආර්ථීක වර්ධනය සඳහා අධ්‍යාපනය’ යන ශ්‍රී ලාංකික කථිකාව, වර්තමාන අවධියේ දැනුම යනු වර්ධනයේ මෙහෙයුම් යන්ත්‍රණය වශයෙන් සැලකෙන තත්කාලීන ගෝලීය කතිකාවකින් විකාශනය වූවකි. දැනුම් ආර්ථීකය මඟින් ‘සංවර්ධන’ මාවත දිගේ අප තල්ලු කෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. මෙබඳු දැනුම් ආර්ථීකයක්‌ වර්ධනය කිරීමේ මාර්ගය වශයෙන් ස්‌වාභාවයෙන්ම අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කෙරේ. තොරතුරු සහ ලොව වටා වේගවත් ලෙස තොරතුරු හුවමාරුව මත පදනම් වන්නා වූ ගෝලීය ව්‍යqහයක්‌ තුළ මේ සම්බන්ධයෙන් ප්‍රධාන භූමිකාවක්‌ රඟපෑමට විශ්වවිද්‍යාලයෙන් අපේක්‌ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ දැනුම් ආර්ථීකය සහ ‘සංවර්ධනය’ පිළිබඳ දැනට පවතින කතිකාව තුළ, ‘සංවර්ධනයේ’ සුවිශේෂී ලක්‌ෂණ සහ ඒවා ජනගනයේ විවිධ කොටස්‌වල අභිවෘද්ධිය සඳහා බලපෑ හැකි ආකාරය, රටේ දැනට පවතින ආදායම් උපයන මාර්ග ගෝලීය දැනුම් ආර්ථීකයක්‌ පිළිබඳ අදහසකට හැඩගැසිය හැක්‌කේ කෙසේ ද, දැනුම් ආර්ථීකයකට දායක වීම සඳහා ශිෂ්‍යයන්ට නිර්මාණශීලී වීමට අවස්‌ථාව සැකසීමට අප විශ්වවිද්‍යාල කොතරම් සූදානම් ද, සහ නිර්මාණශීලී දැනුම් සේවකයන් දේශීය ආර්ථීකය තුළ රඳවා ගැනීමට ගත යුතු පියවර කවරේ ද ආදී ගැටලු ආමන්ත්‍රණය කිරීම අවශ්‍ය වේ.

දැනුම් ආර්ථීකය පිළිබඳ දැනට පවතින කතිකාව තුළින් යෝජනා කර ඇති ආකාරයට අධ්‍යාපනය, ආර්ථීක වර්ධනය හා එකට බැඳීම නිසා උද්ගත වන තත්වයන් ගවේෂණය කිරීම මෙම ලිපියේ අරමුණයි. ආර්ථීක වර්ධනය සඳහා අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ යොදාගැනීම තුළින් කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යයනයේ අනාගතයට ඇති විය හැකි බලපෑම් සහ ඉන් මානව සමාජයට ඇතිවිය හැකි බලපෑම් කෙරෙහි මෙම ලිපිය විශේෂයෙන් අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ ශාස්‌ත්‍ර අධ්‍යයනයට හිමි ස්‌ථානය සලකුණු කිරීමටත්, ලිබරල් කලා අධ්‍යයනය නිර්මාණශීලී නැතැයි අදහස දැන් ප්‍රශ්න කෙරෙන බවත්, එබඳු අධ්‍යාපනයක්‌ ව්‍යාපාරික අංශය මඟින්ම නැවතත් වැදගත් වශයෙන් සැලකෙන බවත් පෙන්වා දීමට මෙම ලිපිය උත්සාහ කරයි.

තව ද මෙම ලිපිය, දේශයට කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය රැකගැනීම කරුණු කිහිපයක්‌ නිසා වැදගත් වන බව තර්ක කරයි. පළමුව, කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය විවිධත්වයෙන් අනූන අප සමාජයේ ස්‌ථාවරත්වය පවත්වාගැනීමට උපකාරී වන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා කේන්ද්‍රීය වන පුරවැසියන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට උපකාරී වේ. දෙවනුව, මානව පැවැත්මට කේන්ද්‍රීය වන දේවල් අධ්‍යයනය කිරීම සඳහා සාම්ප්‍රදායිකව වෙන් කෙරුණු ස්‌ථානය වන්නේ විශ්වවිද්‍යාලය වන නිසා, හුදෙක්‌ තත්කාලීන අවශ්‍යතාවන්ට අදාළව අගය මැනිය නොහැකි, කලාවන් සහ විද්‍යාවන් කෙරෙහි යොමු වූ මූලික පර්යේෂණ කිරීමට එබඳු අවකාශයක්‌ රැකගැනීමේ අවශ්‍යතාවයක්‌ තිබේ. අවසාන වශයෙන්, වෘත්තීයමය සහ රැකියා සඳහා පුහුණු කිරීමට වෙනස්‌ව, අධ්‍යාපනය යනු ලෝකයත්, ශිෂ්ටාචාරයත් ආරක්‌ෂා කෙරෙන ආකාරයට ශිෂ්ටාචාරයන් සාම්ප්‍රදායිකව නව පරපුරට ලෝකය හඳුන්වා දුන් ආකාරය නිසාය.

සාමාන්‍ය වශයෙන් ලිබරල් ශාස්‌ත්‍රීය අධ්‍යාපනයේ තත්ත්වයට පොදු වූ ගැටලු විමසීමට පූර්විකාවක්‌ ලෙස, මෙම ලිපියේ ඊළඟ කොටසේ දී, ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනයට හිමිවන ස්‌ථානය පිළිබඳ කෙටි සාකච්ඡාවක්‌ අන්තර්ගත වේ.

2. ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ අප අද හඳුනන අධ්‍යාපන පද්ධතිය ආරම්භ වූයේ යටත් විජිත අවධියේ දී ය. බ්‍රිතාන්‍යයෝ ලිබරල් ශාස්‌ත්‍රීය ආකෘතියක්‌ අප මත පැටවූහ. මෙම පද්ධතිය යටතේ, ප්‍රාථමික සහ ද්විතීය මටටම්වලදී සිසුන් ශාස්‌ත්‍ර සහ විද්‍යාවන්හි සාමාන්‍ය අධ්‍යාපනයක්‌ ලද අතර, එකල මූලික අධ්‍යාපනය වශයෙන් සැලකුණු එම මට්‌ටම්වලින් අනතුරුව, එක්‌ එක්‌ ක්‌ෂේත්‍ර ඔස්‌සේ විශේෂඥතාව වර්ධනය සිදුවිය. බොහෝ විට, මෙම සාමාන්‍ය අධ්‍යාපනයේ අවසාන අදියර විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වුණු අතර, ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය පීඨ අද වනතුරු, එදා බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද එම ලිබරල් ආකෘතියම අනුගමනය කර ඇත.

ශ්‍රී ලංකාවේ කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය විවේචනාත්මක අවධානයට යොමු වීමට පටන් ගැනුණේ අධ්‍යාපනය සහ රැකියා නියුක්‌තිය අතර නොගැලපීම ප්‍රතිසංස්‌කරණ සඳහා මෙහෙයුම් අදහසක්‌ ලෙස ගැනුණු 1970 ගණන්වල සිටය. මෙම ප්‍රතිසංස්‌කරණ සමඟ අධ්‍යාපනය කලින් පැවති ශාස්‌ත්‍රීය යොමුවක්‌ පැවති ක්‌ෂේත්‍රයක සිට වඩා ප්‍රායෝගික, වෘත්තීය කේන්ද්‍රික දෙසකට යොමු විය. එමෙන්ම ඉගැන්වීමකින් තොර ඉගැන්වීමක්‌ අධ්‍යපනයක්‌ වශයෙන් හැඳින්වීමට හැකියාවක්‌ ඇතාක්‌ මෙන්, කලින් අවධාරණය කෙරුණු ‘ඉගැන්වීමේ’ ක්‍රමවේදය වෙනුවට ‘ඉගැනීම් කෙරෙහි අවධානය යොමු විය. දැන් අධ්‍යාපනයේ සාමාන්‍යයෙන් පිළිගත් අරමුණ වන්නේ රැකියා සඳහා තරුණ පරපුර සූදානම් කිරීමය.

විෂය පිළිබඳ සිය විශේෂඥතාවය නිසා සිය අධිකාරය හිමි ගුරුවරුන් විසින් පරිස්‌සමෙන් තෝරා ගැනුණු විෂය මාලාවක්‌ ඉගැන්වීම මත පදනම් වූ අධ්‍යාපනය පිළිබඳ සාම්ප්‍රදායික අදහස, රැකියා නියුක්‌තිය සඳහා සිසුන්ගේ සුදුසුකම් වර්ධනයට උපකාර කිරීම ඉලක්‌ක කරගත් නිපුණතාවන්හි පුහුණුව ලබා දීම මත පදනම් වූ අදහසින් විතැන් කිරීමට උත්සාහ ගැනේ.

ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනික අංශවල අවධාරණය සාම්ප්‍රදායික පුරුද්ද තුළින් ඉගැනුම සහ උපදේශාත්මක ගුරු කේන්ද්‍රීය ඉගැන්වීමේ සිට ක්‍රියාකාරකම් සහ ව්‍යාපෘති මත පදනම් වූ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගැනුම් ක්‍රමයකට මාරු වී ඇත, මෙම ප්‍රතිපත්ති වෙනස ප්‍රාථමික අංශයේ ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වූයේ දරුවන්ට ක්‍රීඩාව තුළින් ඉගැන්වීම වශයෙනි. ද්විතීය මට්‌ටමේ දී ඉංග්‍රීසි සහ තොරතුරු තාක්‌ෂණය ඉගැනීම කෙරෙහි දැඩි අවධාරණයක්‌ සහිත විෂයමාලා ප්‍රතිසංස්‌කරණවල, සම්ප්‍රදායික ශාස්‌ත්‍රීය පදනම බොහෝදුරට අඩු කොට, සරල කොට ඇත.

හනා ආරන්ඩ්ට්‌ තර්ක කරන පරිදි ‘ඉගැනීම් වෙනුවට ‘කිරීම් ආදේශ කරන ප්‍රායෝගික එළැඹුම ඔබට දැනගැනීමටත් අවබෝධ කර ගැනීමටත් හැකිවන්නේ ඔබ විසින්ම කරන ලද දේවල්ය යන උපකල්පනය මත පදනම් වන අතර, මෙහි අරමුණ දැනුම ඉගැන්වීම නොව, නිපුණතාවයක්‌ වගාකිරීමය. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉගෙනීම සඳහා වූ ආයතන සම්මත විෂයමාලාවක්‌ සඳහා සාමාන්‍ය පූර්ව සුදුසුකම් ලබා සිටීම සිසුන්ගෙන් අපේක්‌ෂා නොකරන “වෘත්තීයමය ආයතන බවට පරිවර්තනය කෙරේ. දරුවකුගේ උෙද්‍යාaගීබව සලකා බලන කල දරුවාගේ ස්‌වභාවික ක්‍රියාකාරිත්වය පවතින්නේ ක්‍රීඩාව තුළ බව සිතන ලද අතර, “දරුවාට තම සෙල්ලම්කාර පෙළඹවීම අතහැර දැමීමට බල කෙරෙන්නා වූ අක්‍රීය ආකල්පයකට දරුවා යටත් කෙරෙන ඉගැනුම පිළිබඳ පැරණි අදහස සෙල්ලම සඳහා ඇති කැමැත්ත නිසා අත්හැර දමා ඇත. දරුවන් වැඩිහිටියන්ගේ ලෝකයට සූදානම් කරන්නා වූ ඒ එක දෙයම, එනම් සෙල්ලම් කිරීමේ නොව වැඩ කිරීමේ (ඉගැනීමේ) පුහුණුව ටිකින් ටික ඇති කර ගැනීම, ළාමකබවේ ලෝකයක ස්‌වාධිපත්‍යය උදෙසා අත්හැර දමා ඇත. .

රැකියාවක නියෑලීමේ සුදුසුකම් ඇති උපාධිධාරියකු බිහිකිරීම

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ දැනට පවතින කතිකාවේ, පසුගිය දශක දෙකක කාලය පුරාවටම, අවධාරණය යොමු වූයේ පෞද්ගලික අංශයේ රැකියාවක නියෑලීමේ හැකියාවෙන් පිරිපුන් උපාධිධාරියකු බිහිකිරීම ඉලක්‌ක කරගත් ප්‍රතිසංස්‌කරණ කෙරෙහි ය. අද, රැකියාවක නියෑලීමට සුදුසුකම් ඇති උපාධිධාරියා ‘දැනුම් කාර්මිකයකුගේ’ ස්‌වරූපය ගෙන ඇත.

දැන් උසස්‌ අධ්‍යාපනයේ ප්‍රමුඛතාව හිමිවන්නේ කලා, මානව ශාස්‌ත්‍ර, සාමාන්‍ය විද්‍යාවන් සහ බාහිර උපාධි පාඨමාලා හදාරන අය අතර සේවා වියුක්‌ති අනුපාතිකය ඉහළ අගයක්‌ පවතින තත්ත්වයක, විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගේ රැකියා නියුක්‌ති හැකියාව වර්ධනය කිරීමට ය. එම නිසා, අධ්‍යාපනයෙන් තොරතුරු තාක්‌ෂණය සහ ඉංග්‍රීසි භාෂා කුසලතාවලට අමතරව, උපාධි අපේක්‌ෂකයන් තුළ කණ්‌ඩායමක වැඩ කිරීමේ හැකියාව, කාර්යක්‌ෂමබව, ව්‍යවසායකත්වය සහ හොඳ සන්නිවේදන හැකියාව වැනි මෘදු කුසලතා වර්ධනය සඳහා ක්‍රියාත්මක වීමට අපේක්‌ෂා කෙරේ.

කලා සහ මානව ශාස්‌ත්‍රයන්ගෙන් සිය අධ්‍යාපනය අදාළ කර ගැනීම අපේක්‌ෂා කෙරේ, අද සන්දර්භයට අනුව මෙහි අදහස වන්නේ, වෙළඳපොළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්‌වීම ය.

පුදුම සහගත ලෙස, අපගේ කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශයේ රැකියා නොලැබෙන්නේ තොරතුරු තාක්‌ෂණය පිළිබඳ අඩු දැනුම නිසාත්, ඉංග්‍රීසි භාෂාව භාවිත කිරීමේ හැකියාව අඩු නිසාත් යන මතය, අධ්‍යාපනය යනු රැකියා නියුක්‌තිය ඇතිකිරීමේ ව්‍යවසායකත්වයකට ආදේශයක්‌ නොවන බව සැලකීමේ දී එහි වලංගුභාවය අඩු නමුත්, තවමත් සමාජය තුළ පවතී.

3. ගෝලීය තත්ත්වය: ලිබරල් කලාවන්ට ප්‍රහාර වදී

ලිබරල් කලා අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෝලීය වශයෙනුත් මීට සමාන වෙනසක්‌ සිදු වෙමින් පවතී. ප්‍රාථමික වශයෙන් වෘත්තීන් සඳහාත් ඉන් පසුව රැකියා නියුක්‌තිය සඳහාත් අවශ්‍ය පුහුණුව බෙදා දීම කෙරෙහි අධ්‍යාපනයේ අවධාරණය මාරුවීමත් සමඟ, කලා සහ මානව ශාස්‌ත්‍ර විෂයන්ට බාහිර විෂයන් සඳහා දෙමව්පියන් සහ සිසුන් අතර පවතින ඉල්ලුම ඒකාකාර ලෙස ඉහළ යමින් පවතී.

දැනුම් ආර්ථීකයේ අවතීර්ණයත් සමඟ, ආර්ථීක වර්ධනයට දායක වන දැනුම් වර්ගයන්ට වෙළඳපොළ වැඩි සැලකිලි ලබා දෙයි. පවතින අපහසු ආර්ථීක වාතාවරණය තුළ, ජාතීන් සහ ආයතන ලාභ සඳහා තරග කරන නිසා, අධ්‍යාපනය මත කෙරෙන ආයෝජන විද්‍යා සහ තාක්‌ෂණ පාඨමාලා කෙරෙහි වඩවඩාත් යොමු කෙරෙන අතර, මෙම තත්ත්වය ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍ර පාඨමාලාවල කප්පාදුවකට හේතු වී ඇත.

අවධානය යොමු වන්නේ කලා සහ මානව ශාස්‌ත්‍ර විෂයන්ට වඩා ප්‍රයෝජනවත් සේ සැලකෙන නිපුණතාවයන්හි තරුණයන් පුහුණු කිරීම හරහා කෙටි කාලීන ජාතික ආර්ථීක වාසි ළඟා කර ගත හැකි ප්‍රායෝගික ඉගැනුම කෙරෙහි ය. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ, ලිබරල් කලා අධ්‍යාපනය ප්‍රයෝජනවත් නැතැයි සැලකීමත්, අධ්‍යාපනයේ සියලු මට්‌ටම්වල දී එය කප්පාදු කිරීමත් ය.

කෙසේ වෙතත්, මෙසේ ලිබරල් කලාවන් නොසලකා හැරීම, විද්‍යාවන් සහ වෘත්තීයමය අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් තුළ නිර්මාණශීලීබව සහ නවෝත්පාදන කිරීමේ හැකියාව වර්ධනයට කලා අධ්‍යාපනයේ බලපෑම සන්සන්දනය කරන පර්යේෂණ පෙන්වා දෙන ආකාරයට, දැනුම් ආර්ථීකයට අවශ්‍ය නිපුණතාවයන්හි තරුණයන් පුහුණු කිරීමේ දී ලිබරල් කලා විෂයන් ප්‍රයෝජනවත් නැතැයි තීරණය කිරීමේ දී පවා මුළා වීමක්‌ විය හැකි ය.

ප්‍රතිචාරය: ‘මානව ශාස්‌ත්‍රයන් නවෝත්පාදන හැකියාව උගන්වයි’

කලා අධ්‍යාපනය ‘නවෝත්පාදක නොවේ’ යන අදහස එඩ්ල්ස්‌ටයින් ප්‍රතික්‌ෂේප කරයි. මානව ශාස්‌ත්‍රයන්හි පුහුණුව නිර්මාණශීලීබව සහ නිපැයුම් හැකියාව වර්ධනයට හේතු වන බවත්, අයෙකු විද්‍යාවන්හි ලබන පුහුණුව සහ කලා විෂයන්හි ලබන පුහුණුව අතර තිබෙන සමානකම් ඉතා ප්‍රබල බවත් තර්ක කෙරී ඇත. මානව ශාස්‌ත්‍ර විෂයන් සහ විද්‍යා විෂයන් යන දෙකම ඉගැනීමේ දී ක්‍රියාත්මක වන්නේ සමාන ඥානන ක්‍රියාවලියක්‌ බව සොයා ගෙන ඇත. මානව ශාස්‌ත්‍රයන්හි දී තම අධ්‍යයන කටයුතුවල මුල් අවධියේ පටන්ම නිර්මාණශීලී සිතීම පුරුදු පුහුණු කිරීම සිසුන්ගෙන් අපේක්‌ෂා කෙරෙන අතර විද්‍යාවන් හෝ ඉංජිනේරු පුහුණු විෂයන්වලට වඩා වැඩි ප්‍රවණතාවයකින් කලා විෂයන්වල දී සිසුන් මෙවැනි ක්‍රියාවලීන්ට යොමු කෙරේ. මානව ශාස්‌ත්‍ර ඉගැනීමෙන් දියුණුවන මානසික හැකියාවන් වෘත්තීයමය ක්‍රියාවන් ඇතුළුව, කලා නොවන වෙනත් විෂයන් ඉගෙනීමේ හැකියාවන් වර්ධනයට උදව් විය හැක. “මානව ශාස්‌ත්‍රයන්හි” පුහුණුව “ඒ ඒ ක්‌ෂේත්‍රයන්හි විශේෂඥයින් බිහි කිරීමේ දී පමණක්‌ නොව, ව්‍යවසායකයින්, ඉංජිනේරුවන් සහ සැලසුම්කරුවන් බිහි කිරීමේදී ද තීරණාත්මක භූමිකාවක්‌ රඟපායි.

සමාජවිද්‍යාඥ මේරි ගොඩ්වින්, ලිබරල් කලාවන්හි සහ ව්‍යවසායකත්වයේ අරමුණු අතර සමානකම් අවධාරණය කරමින්, ව්‍යවසායකත්වය යනු ලිබරල් කලා සංවේද්‍යතාවයක ස්‌පෘශ්‍ය, ප්‍රායෝගික ප්‍රකාශනයක්‌ බව තර්ක කොට ඇත. එමෙන්ම, නවෝත්පාදනය සඳහා… දකුණු පස මොළයේ සිතීමේ ක්‍රියාවලිය තුළ සිදුවන නිර්මාණශීලීත්වය, කලා කෞශල්‍යය, ප්‍රතිභානය, සංකේත විද්‍යාව, මනස්‌සෘෂ්ටිය, භාවයන් වැනි මානව ශාස්‌ත්‍රයන්ගෙන් වර්ධනය වන ගුණාංග අවශ්‍ය වන බව තර්ක කෙරී ඇත. චිත්‍ර කලා පන්තිවලට සහභාගි වීමෙන් මොළයේ දකුණු පස ක්‍රියාකාරී කරවීමට වැඩි කාලයක්‌ ගත් කළ වෛද්‍ය සිසුන්හට මැනිය හැකි වාසි අත් වූ බව තවත් පර්යේෂණයකින් සොයා ගෙන ඇත.

රැකියා නියුක්‌තිය සඳහා ලිබරල් කලා විෂයන්ගේ වැදගත්කම

අද කාලේ සිසුන් තුළ සතුටු කරවීමට කැමැත්තක්‌ ඇතැයි යන සාධකය නිසා, සේවායෝජකයන් ලිවීම, විශ්ලේෂණාත්මක හැකියාව සහ ගෝලීය දැනුම වැනි ලිබරල් අධ්‍යාපනයකින් ලබා දෙනවා යෑයි සැලකෙන ශක්‍යතාවයන් ඉතා ඉහළින් අනුමත කරන බව ඇමරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාල සංගමය යටතේ ක්‍රියාත්මක වන ‘ලිබරල් අධ්‍යාපනය සහ ඇමරිකාවේ පොරොන්දුව් යන වැඩසටහන වාර්තා කරයි.

ඇමරිකානු විද්‍යාල සහ විශ්වවිද්‍යාල සංගමය මඟින් දියත් කෙරුණු සථික්‌ෂණයකින්, ඊට සහභාගි වූ සේවායෝජකයින්ගෙන් 89%ක්‌ වාචිකව සහ ලිතව හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව මත මනා අවධාරණයක්‌ ඉල්ලන බවත්, 81%ක්‌ වඩා හොඳ විචාරත්මක සිතීමේ හැකියාවක්‌ සහ විශ්ලේෂණාත්මක තර්කන හැකියාවක්‌ ඉල්ලා සිටින බවත්, 70%ක්‌ නවෝත්පාදන හැකියාව සහ නිර්මාණශීලී බව සොයනා බවත් අනාවරණය වී ඇති අතර, මේ සියලු ශක්‍යතාවයන් ලිබරල් කලා අධ්‍යාපනයකින් ලබා දෙන බවට හඳුනාගන්නා ලද ඒවා ය.

ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ව්‍යාපාරිකයන් ව්‍යාපාරික සංස්‌කෘතිය හිතකර සහ ගතික ලෙස පවත්වා ගැනීමට ලිබරල් කලා අධ්‍යාපනය හේතුවක්‌ වන බව අවධාරණය කොට ඇත. පරිකල්පනය වර්ධනයට මානව ශාස්‌ත්‍රයන්හි වැදගත්කම සහ තීක්‌ෂණ හැකියාවෙන් පිරිපුන් ව්‍යාපාරික සංස්‌කෘතියක්‌ බිහිකිරීමට විචාරාත්මක සිතීමේ වැදගත්කම ඔවුන් අවධාරණය කොට ඇත. ආර්ථීක අභිමතය… වගකීම් සහගත සහ පරීක්‌ෂාකාරී භාරකාරත්වයක්‌ සහිත වාතාවරණයක්‌ සහ නිර්මාණශීලී නවෝත්පාදන කිරීමේ හැකියාවෙන් පිරිපුන් සංස්‌කෘතියක්‌ වර්ධනයට මානව ශාස්‌ත්‍ර සහ කලාවන් ප්‍රයෝජනයට ගැනීම අපෙන් අපේක්‌ෂා කරන බව නුස්‌බවුම් තර්ක කරයි.

ඉංග්‍රීසි පිළිබඳ මහාචාර්යවරයකු මෙන්ම, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සඳහා වූ එම්. අයි. ටී. වැඩසටහනේ බාහිර මහාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරන තෝමස්‌ වාගීෂ්, විධායක කටයුතු කිරීමේ හැකියාව වර්ධනය සඳහා මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම ගැන අදහස්‌ ඉදිරිපත් කරමින්, මානව ශාස්‌ත්‍රයන් ‘අගයයන්,’ එහි මූලික සහ ක්‍රියාකාරී ස්‌වරූපයන්ගෙන්, අධ්‍යයනය කිරීම කෙරෙහි දක්‌වන විශේෂ සැලකිල්ල හේතු කොට ගෙන මානව ශාස්‌ත්‍රයන් කළමනාකාර ක්‍රියාවලිය සඳහා අනන්‍ය, බුද්ධිමය වාසි සලසන බව තර්ක කරයි. ලිබරල් කලා පාඨමාලාවලට ප්‍රායෝගික, ආසන්නතම පරමාර්ථයක්‌ අනුයුක්‌ත කිරීම තුළින් එහි සැබෑ අගය බාල කෙරෙනු ඇත. මිනිසුන් තමන්ට ගැඹුරින්ම දැනෙනා දේ හා ගැටෙන්නේ කෙසේ ද යන්න සහ ඔවුන් තම වඩාත් තීව්‍ර භාවයන්, තම කලාවන් සහ විද්‍යාවන්, තම ආචාරධර්ම තෝරාගැනීම් සහ සදාචාරත්මක ජීවිත මත විශ්වාසය තබන්නේ කෙසේ ද යන්න අපට කියා දෙන්නේ මානව ශාස්‌ත්‍රයන් ය. ලිබරල් කලා පාඨමාලාවන්ට තමන් වඩා යහපත් මිනිසුන් බිහි කරනවා යෑයි කියා සිටිය නොහැකි වුවත්, ඒවාට ආචාරධර්මය සහ උපයෝගිතාවාදී තෝරාගැනීම් අතර පමණක්‌ නොව, ආචාරධර්මය තෝරාගැනීම් කිහිපයක්‌ තිබෙන අවස්‌ථාවන්හි දී වුවද මිනිසුන්ට තම තෝරා ගැනීම් සිදුකිරීමේ දී ආවර්ජනය කළ යුතු දේ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක්‌ ලබා දීමේ හැකියාව තිබේ. ලිබරල් කලාවන් වැදගත් විධායක අධ්‍යාපනයට අත්‍යවශ්‍ය බවත්, ඒවාට තම සුවිශේෂ ප්‍රයෝජනයන් ලබා දීමට නම්, ඒවා පූර්වනිර්ණය කරන ලද ප්‍රායෝගික පරමාර්ථවල සීමාකම්වලින් මිදී පැවතිය යුතු බවත් වාගීෂ්ගේ නිගමනය යි.

ලිබරල් කලා සහ මානව ශාස්‌ත්‍ර පිළිබඳ ඉහත මතවල සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ කලා උපාධිධාරීන්ට පෞද්ගලික අංශය අපේක්‌ෂා කරන කුසලතා නැතැයි යන කරුණ සලකා බැලීම උචිත වනු ඇත. ප්‍රශ්නය පවතින්නේ කලා සහ මානව ශාස්‌ත්‍ර අධ්‍යාපනය තුළම ද, එසේත් නැතිනම් එම අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ලබා දෙන ආකාරය තුළ ද?

මතුසම්බන්ධයි…..

දිවයින වටමඬල

Advertisements

4 thoughts on “ලොව රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්‌ත්‍රයන්ගේ වැදගත්කම”

  1. //ඇමරිකා එක්‌සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපන ව්‍යාපාරිකයන් ව්‍යාපාරික සංස්‌කෘතිය හිතකර සහ ගතික ලෙස පවත්වා ගැනීමට ලිබරල් කලා අධ්‍යාපනය හේතුවක්‌ වන බව අවධාරණය කොට ඇත. //

    අධ්‍යාපන ව්‍යාපාරිකයන් යනු කවුද? පුද්ගලික ව්‍යාපාරිකයන් වන ස්ටීව් ජොබ්ස් සහ මාර්ක් සුකර්බර්ග් වැනි අය නම් එහෙම කියා නැහැ. ලිබරල් කලා අධ්‍යාපනය දැන් Illiberal අධ්‍යාපනයක් වෙලා. කියවන්න Illiberal Education නමින් වූ දිනේෂ් ඩ’සූසාගේ පොත. ව්‍යාපාරය සංස්කෘතියකට කිසිම වැදගත් කමකින් නොයුතු විෂයයන් වලින් පිරිච්ච විශ්ව විද්‍යාල වලින් ව්‍යාපාරිකයන් අයින් වෙන හැටි අද දකින්නෙ නැත්තේ ලිබරල් කලා ගැන අගයන ඒවා උගන්වන කැම්පස් මහාචාර්යවරු විතරයි. ඒ මහාචාර්යවරු පෝෂණය කරමින් පවත්වා ගන්න, නිදහස් වෙළඳපොල ඉල්ලුමක් නැති නිසා, රට ණය කරමින් හා සිසුන් ණය බරින් පුරවමින් බොරු කියන්නෙ එයාලයි මෙහෙ ආණ්ඩුවයි.

    1. ඉහත අදහස මා උපුටා ගත්තේ පහත තැනින්:

      http://blogs.colgate.edu/2010/05/s.html

      මෙන්න එම උද්ධෘතය:

      “We could also talk about business, since leading business educators have recently been placing great emphasis on the need for liberal arts education as a part of what keeps our business culture healthy and dynamic. They stress particularly the importance of the humanities in developing the imagination, and the importance of critical thinking in producing a business culture that is not simply a culture of yes-people. Even Singapore and China are now trying to imitate our liberal arts focus, for the sake of business, though without much success, given their intolerance of critical voices.“

      Commencement address by Martha C. Nussbaum, By Tim O’Keeffe on May 16, 2010, Note: These are prepared remarks by Martha C. Nussbaum, one of the world’s leading philosophers and a University of Chicago professor, for Colgate University’s 189th commencement, May 16, 2010)

      Not For Profit: Liberal
      Education and Democratic Citizenship

      කුමුදු

      1. ස්තූතියි කුමුදු මූලාශ්‍රය දැක්වූවාට. නමුත් එහි ද මේ අය කවුදැයි කියා නැහැ. එහෙම අය එහෙම කියනවා කියා පමණයි සඳහන් වෙන්නෙ. එනම් තමන් විසින් තමන් ගැන ම කියා ගැනීමකින් ඒ තවත් අය කියන දෙයක් හැටියට දක්වා තිබීම.

        පහුගිය දශකය තුල දී ඇමෙරිකාවේ මිල ඉහළ ගිය වෙනත් කිසිම භාණ්ඩයක් හෝ සේවාවක් නැහැ අධ්‍යාපනය තරමට. උපාධියක් ලැබුවාම රස්සාවක් ලැබෙනවා යන මිථ්‍යාවෙන් ලිබරල් කලා අධ්‍යාපනයට ගිය අය වැඩි වූවා. එහි දී කැම්පස් කළේ ආණ්ඩුවෙන් හා සිසුන්ගෙන් ලැබුණු මුදල් වලින් තම කැම්පස් වල ගොඩනැඟිලි වැඩි කර ගැනීමයි, පරිපාලනයට අය බඳවා ගැනීමයි, කෙටියෙන් කිව්වොත් වියදම් වැඩි කිරීම මිසක් වෙළඳපොලේ රැකියා ඉල්ලුම අනුව ඉගෙනුමකින් සැපයුමක් දීමට කටයුතු කිරීම නෙමෙයි.

        අවසානයේ ලිබරල් කලා විෂයයන් හැදෑරූ දහස් ගණන් අධ්‍යාපනයෙන් පසුව රැකියා විරහිත ව සිටිය දී ඔවුන්ට පුද්ගලික ණය ගන්නට යැයි උසිගැන්වූ මේ leading business educators යැයි කියාගන්නා අය හොයාගන්න වත් නැහැ. පසුගිය වෝල් වීදියේ වර්ජනය කළේ ඒ රැවටිල්ලට අහුවෙච්ච සිසුන්.

        මෙහෙ ආර්ථිකය වැඩ කරන්නෙ ලංකාවේ වගේ උපාධි ලත් අයව ආණ්ඩුවට බඳවාගෙන පඩි ගෙවීමෙන් නෙමෙයි. ඔබාමාත් එහෙම හිතුවාට. ලාභයක් උපයන ව්‍යාපාරකයට ලාභයක් නොලැබෙන සේවකයෙක් ගෙන් ඵලක් නැහැ, එයා කොතරම් ඉස්තරම් ලෙසින් ප්‍රංශ ඉතිහාසය සහ සම්භව්‍ය සංස්කෘතිය හෝ ග්‍රීක දර්ශනය දැනගෙන සිටියාට. ලාභයක් ලැබෙන්නේ ව්‍යාපාරයේ ආදායම වැඩි වෙන පුහුණුවක් ලබා ඇත්නම්. ආණ්ඩුව රක්ෂණය වෙන්නේ ද ලාභ උපයන ව්‍යාපාරිකයන් ගෙවන බදු මුදල් වලින් මිසක් රජය අච්චු ගහන මුදල් නෝට්ටු වලින් නෙමෙයිනෙ.

        ඇමෙරිකාව කරන දේවල් හොඳ දැයි නරක දැයි නොබලා අනුගමනය කරන රටවල් ලොව බොහොමයක් තිබුණ පලියට ඒවා සියල්ල අනුන් කළ යුතු නිවැරදි අනුගමනයන් නොවෙයි.

  2. මගේ සිංහල ලිපිය මුලින් ඉංග්‍රීසියෙන් ලියූ ලිපියක අනුවර්තනයක්. ඒ බව ලිපියේ දෙවැනි කොටස පළවුනාම ඒ අග සඳහන් වෙයි. පුවත් පතක පළ කරන නිසා පාඨකයාට බර නොවන්නට එහි මූලාශ්‍ර දැක්වීම අවම කළා. මා ඔබට දැක්වූයේ පහසුවෙන් අන්තර්ජාලයෙන් ලබා ගත හැකි මූලාශ්‍රයක් වන මාර්තා නුස්බවුම්ගේ දේශනයක්. මේ අදහස් සවිස්තරව විග්‍රහ කරන ඇගේ පොත Not for Proft, Why Democracy Needs the Humanities දැන් පළවී තිබෙනවා. මේ මාතෘකාව ගැන කියවන්නට වටින පොතක්. මා මෙම ලිපිය ලියන්නට පෙළඹුවේත් ඇය මේ පිළිබඳ පළ කළ අදහස්. මෙන්න ඔබ මතුකළ ප්‍රශ්නයට අදාළව ඇය තම දේශනයේදී සඳහන් කරන කරුණට අදාල මූලාශ්‍රය:

    http://www.aacu.org/leap/

    මෙහි ගොස් පහත පිටුවට යන්න

    The Economic Case for Liberal Education

    ඔබේ අදහස් ගැන සාකච්ඡාවට මට ඉඩ ලද විගසින් එළඹෙනවා.

    කුමුදු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )