දේශද්‍රෝහියෙකුගේ මිත්‍යා දෘෂ්ටික සිතුවිලි

රාජ්‍යය, ජාතික ආරක්ෂාව සහ සමාජ සාධාරණත්වය
– නිර්මාල් රංජිත් දේවසිරි
පසුගිය දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ ආචාර්ය සංගමය මගින් එම පීඨයේ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සූදානම්වන පාසැල් ගුරුවරුන් සඳහා විශේෂ සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදි. එහි අරමුණ වූයේ විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනයට අදාල ඉල්ලීම් සම්බන්ධව එම ගුරුවරුන්ට අවබෝධයක් ලබා දීමයි. මෙහිදී මා විසින් රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධව ඉදිරිපත්කරනු ලැබූ අදහසක් සම්බන්ධව මා සහ මගේ මිතුරකු සහ දේශපාලන සගයකු වන වංගීස සුමනසේකර අතර සංවාදයක් ඇතිවිය. ම විසින් ඉදිරිපත් කරන ලද අදහස වූයේ රාජ්‍යය සමාජ සාධාරණත්වය බෙදාහරින ප‍්‍රධාන ඒජන්සිය විය යුතුය යන අදහසයි. වංගීස ප‍්‍රශ්න කලේ මේ ප‍්‍රකාශය මගින් මා රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය යන මාක්ස්වාදී ප‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කරනවා ද යන්නයි. එම ප‍්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් සැපයීම සඳහා පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වන අතර මෙහිදී ඒ සඳහා අවස්ථවක් ඇත්තේ නැත.

කෙසේ වෙතත් මා මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මූලික තේමාවට පිවිසීමට පෙර රාජයය පිළිබඳ මාක්ස්වාදී ප‍්‍රවාදය සම්බන්යෙන් කරුණු කීපයක් ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමි. වර්තමානයේ අප අභිමුවේ ඇති රාජ්‍යය සහ දහනව වන ශතවර්ශයේ දී මාක්ස් විසින් විෂ්ලේෂණයට භාජනය කරන ලද සහ ලෙනින් විසින් තවදුරටත් විමර්ෂනයට භාජනය කරන ලද රාජ්‍යය අතර මූලික වෙනසක් තිබේ. බහුජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම, විශේෂයෙන්ම සර්වජන ඡන්ද බලයේ පැතිරීම සහ තවත් වර්ධනයන් ගණනාවක් නිසා රාජ්‍යයේ ස්වභාවයේ මූලික වෙනසක් ඇතිවී තිබේ. මේ වෙනස්කම් වලට භාජනය වූ රාජ්‍යය අපි සාකච්ඡුාවේ පහසුව සඳහා දැනට ‘නූතන රාජ්‍යය’ ලෙසින් හඳුන්වමු. මෙම නූතන රාජ්‍යය ඉතා වැදගත් කරුණක් නිසා පූර්ව නූතන රාජ්‍යයෙන් වෙනස් වේ. පූර්ව නූතන රාජ්‍යයේ දක්නට ලැබුනු සුවිශේෂී ලක්ෂනයක් වූයේ රාජ්‍යයේ බල අවකාශයට ප‍්‍රවිෂ්ට වීමට ප‍්‍රභූ නොවන ජනයාට කිසිඳු විධිමත් ක‍්‍රමයක් නොමැති වීමයි. මේ මගින් රාජ්‍යයේ පංතිමය ස්වරූපය ස්ථාවර ලක්ෂනයක් බවට පත්කරනු ලැබීය.

නමුත් වර්තමානයේ දී මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් වෙනස් තත්වයක් හඳුනා ගැනීමට පුළුවන. එනම් රාජ්‍යය යන අවකාශය විවිධ සමාජ කණ්ඩායම් අතර එකිනෙකට පරස්පර ගැටුම්කාරී අභිලාශයන් ප‍්‍රකාශයට පත්වන ක්ෂේත‍්‍රයක් බවට පත්වී තිබීමයි. මේ තත්වය නිසා ‘රාජ්‍යය පංති පීඩක උපකරණයක්ය’ යන යන ප‍්‍රවාදය මගින් නූතන රාජ්‍යයේ මා ඉහත කී මෙකී නව වර්ධනයන් ආවරණය කරන්නේද යන්න පිළිබඳව සලකා බැලීම වැදගත්ය.

මා මෙහිදී මූලික වශයෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සාකච්ඡාවේ පදනම මත සමාජ සාධාරණත්වය සම්බන්ධයෙන් රාජ්‍යයේ කාර්යභාරය ගැන නීරීක්ෂන කීපයක් ඉදිරිපත් කිරීමටයි. මේ සාකච්ඡාවට තව දුරටත් අදාල කරගත හැකි ප‍්‍රකාශයක් පසුගිය දිනෙක මහාචාර්ය නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කරනු ලැබීය. විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වැඩවර්ජනය පිළිබඳව රූපවාහිනී විවාදයකට එක්වෙමින් ඒ මහතා ප‍්‍රකාශ කලේ අධ්‍යාපනය තවදුරටත් ආණ්ඩුවේ වියදම් වලදී ප‍්‍රමුඛත්වයක් වියයුතුයැයි ඔහු විශ්වාස නොකරන බවයි. ප‍්‍රමුඛත්වය විය යුත්තේ ජාතික ආරක්ෂාව බව ඔහු අවධාරණය කලේය.

රාජ්‍යයේ වියදම් ප‍්‍රමුඛතාවන් සම්බන්ධයෙන් අධ්‍යාපනයට ප‍්‍රතිපක්ෂව ජාතික ආරක්ෂාව තැබීම ඉතාම අර්ථාන්විතය. මේ තුළ රාජ්‍යය හා සමාජ සාධාරණත්වය සම්බන්ධ එක්තරා දැක්මක් ප‍්‍රකාශයට පත්වන බව මගේ අදහසයි. අධ්‍යාපනය යනු සමාජ සාධාරණත්වය සහතික කරනු ලැබිය හැකි කේෂ්ත‍්‍රයක් වන අතර ‘ජාතික ආරක්ෂාව යනු පවත්නා තත්වය (status quo) අඛණ්ඩව පවත්වා ගැනීම සහතික කරන්නකි.

අප ජීවත්්වන ලෝකය තුළ සමාජ අසාධාරණත්වය ජනිත කරන ප‍්‍රධානතම උල්පත වන්නේ වෙළඳපොළ මාධ්‍යය කරගෙන ක‍්‍රියාත්මකවන ධනවාදයයි. ඒ අතර ධනවාදයේ නිදහස් ක‍්‍රියාකාරිත්වය නිසා අසාධාරණය පත්වන පිරිස්වලට ආරක්ෂාව ලබාගැනීමේ විභවය සහිත ප‍්‍රභලතම යාන්ත‍්‍රණය වන්නේ මා ඉහතින් සඳහන් කළ නුතන රාජ්‍යයයි. කෙසේ වෙතත් මෙය විභවයක් පමණක් වන අතර අනිවාර්යතාවයක් නොවන බව සඳහන් කළ යුතුය. යම් යම් වෙනස් ඓතිහාසික තත්වයන් යටතේ සමාජ සාධාරණත්වයට අදාලව නූතන රාජ්‍යයේ විවිධාකාර සංයුක්ත ප‍්‍රකාශනයන් අපට දක්නට ලැබේ. මෙහි එක් කෙළවරක දක්නට ලැබෙන්නේ ධනවාදය ආර්ථික ජීවිතයේ අධිපති බලවේගය වන අතර සමාජ සාධාරණත්වය රාජ්‍යයේ ඉහල ප‍්‍රමුඛතාවක් ලෙස සලකන ස්කැන්ඩිනේවියානු මොඩලයේ රටවල්ය. විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ රටවල් වලට සමාජ සාධාරණත්වය කෙරෙහි ඉහල ප‍්‍රමුඛතාවක් ලබා දීමට පුළුවන් වී ඇත්තේ මේ රටවල් ජාත්‍යන්තර ශ‍්‍රම විභජනය තුළ ඇති අසමානතාවය මගින් වාසි ලබන බැවිනි. රාජ්‍යය මත ධනවාදයේ ග‍්‍රහණය ඉහල මට්ටමක පවත්නා ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් තවත් කෙළවරක ඇත. මේ රටවල්වල රාජ්‍යය මත ධනවාදයේ ග‍්‍රහණය ඉතාම ඉහලය.

ලංකාව වැනි රටක් මේ තුළ ස්ථානගත කරන්නේ කෙසේද? එක් අතකින් සමාජ අසමානතාවය හා අසාධාරණය බෙහෙවින් පැතිරපවත්නා තත්වයක් නිසා අසාධාරණයට ලක්වන පිරිස් සාධාරණය ඉටුකරගැනීම උදෙසා රාජ්‍යය වෙත යොමුවීම ඉහල මට්ටමක පවතී. මේ සඳහා ඇති ප‍්‍රධාන බාධකය වන්නේ රාජ්‍යයට අරක්ගෙන සිටින ප‍්‍රභූ කණ්ඩායම් සිය පටු අවශ්‍යතා ඉටු කරගැනීමට දරණ උත්සාහය සහ අසාධාරණයට ලක්වන පිරිස් වල සාධාරණය උදෙසා වූ අභිලාෂ අතර තියුණු ගැටුමක් පැවැතීමයි. මෙම තත්වය තුළ නලින් ද සිල්වා වැන්නන් ඉදිරිපත්කරන ‘ජාතික ආරක්ෂාව සඳහා ප‍්‍රමුඛත්වය’ පිළිබඳ කතිකාව මේ ගැටුම තුළ අසාධාරණයට ලක්වන පිරිස් වල සාධාරණයත්වය සඳහා වූ ඉල්ලීම් වලට එරෙහිව ප‍්‍රභූ පිරිස් වලට ඇති ප‍්‍රභල අවියක් බවට පත්වී ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )