පුනර්ප්‍රකාශනය – 2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!

‘කතිකා‘ අධ්‍යයන කවය 2005 සහ 2010 ජනාධිපතිවරණයන් හිදී ඒ පිළිබඳ අපගේ විශලේෂණය ඉදිරිපත් කළෙමු. අප ඉදිරිපත් කළ එම අදහස් පිළිබඳ අදත් පුරවරයේ මහජන වේදිකාවේ අදහස් දැක්වෙමින් පවතී. එම සාකච්ඡාව ගැඹුරු කරනු වස් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඔබේ අදහස් සඳහා විවෘත කරමින් අපි එම ප්‍රකාශ යලිත් මෙහි පළ කරන්නෙමු. නම් අඬ ගැසීම් සහ පදනම් විරහිත ලේබල් ඇලවීම් සඳහා නොව අදහස් විවේචනය සඳහා මෙම ප්‍රකාශ විවෘත යි.
2010 ජනාධිපතිවරණය: ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!
– කතිකා අධ්‍යයන කවය

2010 ජනාධිපතිවරණය, ලංකාව එහි අනාගත ගමන් මග සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ ඇති බව සළකුණු කරන්නේය යන්න අපගේ අදහසයි. මේ බව මෙරට මහජනයාද වටහා ගෙන ඇති බව ජනාධිපතිවරණය පිළිබඳ ඔවුන් දක්වන දැඩි උනන්දුවෙන් පෙනී යයි. ලාංකේය මහජනයා ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර උග්‍ර ලෙස දෙකට බෙදෙමින් සිටිති. ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළ අතර අපට දැකිය හැකි උග්‍ර ගැටුම ජාතිකවාදය සහ ලිබරල්වාදය යන ප්‍රතිවිරුද්ධ ලෙසින් වටහා ගැනෙන කතිකාවන් දෙකත්, ඒ මත ගොඩනැගුණු විශ්වාස පද්ධතීන් සහ ස්ථාපිතවී ඇති ජීවන ආකාරයන් පදනම් කොට ගත්තකි.

මෙම ජනාධිපතිවරණය පැහැදිලිව පෙන්වන කරුණක් නම්, එල්ටීටියේ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මෙරට අධිපති මතවාදය ලෙස ජාතිකවාදය ස්ථාපිත විනැයි ජාතිකවාදීන් තුළ විශ්වාසයක් ඇතිවී නම්, ඊට බරපතළ අභියෝගයක් එල්ලකිරීමට සමත් ලෙසින් ලිබරල්වාදය ලංකාවේ ස්ථාපිත වීඇති බවයි.

ජනාධිපතිවරණයේ ප්‍රධාන දෙපිළෙන් කුමන පිළක් ජයග්‍රහණය කළද, එම පිළ බලය යොදා තම මතවාදී අධිපතිභාවය පසමිතුරු පාර්ශවය මත පිහිටුවීමට යොමුවිය හැකිය. එසේ කළහොත් ඉදිරි කාලයේදී මෙම ගැටුම තවත් උග්‍රවී ලාංකේය සමාජය තුළ දිගු කල් පවත්නා විසංවාදයක් ඇති කිරීමට ඉඩ ඇත. එයින් අප සමාජයේ පවත්නා අධිකාරවාදී ප්‍රවණතා තවත් ශක්තිමත් කිරීමෙන්, එහි ස්ථායීභාවයට බලවත් තර්ජනයක් එල්ල කිරීමේ අනතුරකට අප මුහුණ පෑමට ඉඩ ඇති බව අවධාරණය කරන්නට අප කැමැත්තෙමු.

මේ මොහොතේ ලාංකේය සමාජයේ යහපත පතන්නන්ගේ වගකීම වන්නේ, මෙම අවදානම මගහැරීම සදහා අපගේ සමාජීය පරිකල්පනාව, වත්මන් ජනාධිපතිවරණයේදී තමන් පක්ෂපාතී පිළ දිනවීමට කටයුතු කිරීමෙන් ඔබ්බට යොමු කිරීම බව අපගේ විශ්වාසයයි. පහත, අප ඉදිරිපත් කරන විග්‍රහය ඒ අරමුණින් කෙරෙන්නකි.

ලිබරල්වාදය ස්ථාපිතවෙයි

ජනාධිපතිවරණයේදී, ලිබරල්වාදය, සිංහල ජාතිකවාදයට බරපතළ අභියෝගයක් එල්ලකරන්නට සමත්වීමෙන් පෙනී යන්නේ ලිබරල්වාදී චින්තනය මෙරට සමාජයේ මුල් බැසගෙන ඇති බවයි. ලාංකේය සමාජයට ප්‍රබල බලපෑමක් කරන්නට සමත්, ලිබරල් ජීවන ක්‍රමය පිළිගත්, නව සමාජ පංතියක් ලංකාවේ ස්ථාපිත වී ඇති බවයි.

යටත්විජිතවාදය යටතේ මෙරට ස්ථාපිත වූ ධනවාදී ආර්ථිකය සහ ධනේෂ්වර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතිය පදනම් කොට ගෙන බිහිවුණු ධනේෂ්වර, ප්‍රභූ පැළැන්තියටත් ඔවුනට දේශපාලන පදනම සැපයූ ගතානුගතික සමාජ ස්ථරයන්ටත් නවජීවනයක් ලබා දෙන්නට සමත් වී ඇත්තේ මෙම නව නාගරික මැද පංතියයි.

මෙම නව පංතිය, වෙළදපොළ තුළ තම ආර්ථිකය සහ සමාජීය තත්ත්වය ගොඩනංවා ගැනීම සදහා අවශ්‍ය නිදහස පතන, එය අගය කරන පිරිසකි. මෙම සමාජ පංතියේ පැනැ නැගීමට ආසන්නතම හේතු ඇත්තේ, 1977න් පසු ජේ. ආර්. ජයවර්ධනගේ පාලන තන්ත්‍රය විසින් මෙරට සියලු ප්‍රජාතන්ත්‍රීය ආයතනික ව්‍යුහයන් අඩපණ කරමින්, ඒකාධිකාරී ව්‍යවස්ථාවක් ගොඩනගමින් ඇති කළ, ආර්ථික සහ සමාජීය විපර්යාසයන්හි ය. ආර්ථිකයේ රාජ්‍ය අංශයට එතෙක් හිමිව තිබූ තැන, පෞද්ගලික අංශයට ලබාදීමත්, නිර්බාධිත ආර්ථිකයක් සහ වෙළඳ පොළක් බිහිකිරීමත්, රාජ්‍ය නොවන සංවිධාන අංශයේ වර්ධනයට අනුබල දීමත් මේ විපර්යාසයන්ට අත්තිවාරමක් සැපයුවේය.

නිර්බාධිත ආර්ථිකයක් මත බිහිවූ, නාගරික සහ අර්ධ-නාගරික, මැද පංතියේ දූදරුවන් චන්ද්‍රිකා තා‍ක්ෂණයේ පිහිටෙන් ගෝලීයකරණය වූ ජනප්‍රිය සංස්කෘතිය නමැති ගරු නාමයෙන් හැන්වෙන විනෝදාස්වාද කර්මාන්තය වැළඳ ගෙන, එකළ ලිබරල් මානවවාදයට එරෙහි ශුන්‍යතාවාදයක් ඉදිරිපත් කළ “පශ්චාත්නූතනවාදය” ක් තම න්‍යාය බවට පත් කර ගත් නමුත්, ඔවුහු මේ වන විට පොදුවේ ගත් කළ යළිත් ලිබරල්වාදයට පසු බැස සි‍ටිති.

ජාතිකවාදය, ධනවාදය හමුවේ කාංසාවන් ප්‍රකාශයට පත් වීමක්ද?

ධනවාදය සමාජයට මුදාහරින පරිභෝජනවාදය සහ ලාභය අරමුණු කරගත් සමාජ සංවිධානය තර්ජනය එල්ල කරන්නේ සාමූහිකයක් වශයෙන් මානව සමාජයේ මූලික පදනමටය. ජාතිකවාදය වත්මන් යුගයේ තම දේශපාලනයට යොදා ගන්නේ තම සාමූහික පැවැත්මට එරෙහිව එල්ලවන තර්ජනයට ප්‍රතිරෝධය දක්වන්නට ජනයාට ඇති අවශ්‍යතාවය යි. එහෙයින්, ජාතිකවාදය ඊට අනුබලය සපයන ජනයාගේ අභිලාෂයන් ගත් කළ, හුදෙක් ධනවාදය විසින් මුදාහැර ඇති තත්ත්වයන් හමුවේ උපන් කාංසාවන් ප්‍රකාශයට පත්වීමක් නොව, සාමූහිකත්වය, ප්‍රජාවක් පිළිබඳ හැඟීමක් නියෝජනය කරන බව අපගේ අදහසයි. තම සාමූහික ජීවිතයේ සංස්කෘතික පදනමට තර්ජනයක් එල්ලවූ විට ධනවාදයේ වෙළඳ පොළ තර්කනය කලාව ඇතුළු සියලු සමාජීය දේ, එහි ග්‍රහණයට ගන්නට පටන් ගත් විට, ඊට ප්‍රතිරෝධය දක්වන්නට ජනයා තුළ ඇති අභිලාෂය ජාතිකවාදය තම දේශපාලනයට යොදා ගනියි.

සිංහල ජාතිකවාදය මෑත සමයේ පුනර්ජීවනයක් ලැබූවේ, 1977න් පසු උදා වූ පාලන තත්ත්‍රය යටතේ ගෝලීය ධනවාදයටත්, ඒ කැටුව ආ පරිභෝජනවාදයටත් පෙර නොවූ විරූ පරිද්දෙන් ලංකාවේ දොරටු විවර වීමත් සමගිනි. යුද්ධයත් සමග, ජාතිකවාදය, බඩ-කට වෙනුවට, රට නොහොත් පොදු යහපත ගැන සිතීමේ අදහස අපගේ දේශපාලනයට ඉදිරිපත් කළේය.

2005 ජනාධිපතිවරණයෙන් පසු සිංහල ජාතිකවාදයේ සියලු උත්සාහයන් යොමු වූයේ එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයගනු පිණිස රජයට සහය වීමටය. යුද්ධය තුළ ජාතිකවාදය ලාංකික දේශපාලනය මත තම මතවාදී අධිපතිභාවය පිහිටුවීය. එහෙත් සිංහල ජාතිකවාදයට යුද්ධය ජයග්‍රහණය සඳහා කැපවීමෙන් ඔබ්බට ලාංකේය සමාජයට ඉදිරි දැක්මක් සම්පාදනය කොට තහවුරු කිරීමේ හැකියාවක් නොවීය. යුද්ධයෙන් පසු යලිත් බඩ-කට ගැනම පමණක් නොසිතා රටට ප්‍රමුඛතාවය දෙන්නට වැදගත් හේතු ජාතිකවාදයෙන් ජනතාවට ඉදිරිපත් නොකෙරුණි.

සිංහල ජාතිකවාදයේ පදනම සපයන ග්‍රාමීය ස්ථරයන් අතර අද ධනවාදය කැටුව එන පරිභෝජනවාදය මුල් බැස ගෙන තිබීමෙන් පෙනීයන්නේ, සිංහල ජාතිකවාදය ධනවාදයට හෝ පරිභෝජනවාදයට සැබෑ විකල්පයක් සම්පාදනය කරන්නට අපොහොසත් වී ඇති බවයි. ඔවුන්ගේ විකල්පයවී ඇත්තේ ධනේශ්වර ආර්ථික සංවර්ධනයක් මත ජාතිය ගොඩනැංවීමේ අදහස බව පෙනී යයි.

ලිබරල්වාදයට විකල්පයක් ලෙස රජය ශක්තිමත් කිරීම කෙරෙහි ජාතිකවාදය විශ්වාසය තබා ඇතිබව ද රාජ්‍ය කේන්ද්‍රීය මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පොදු ආර්ථික අභිවෘද්ධිය ගෙන දෙනු ඇත යන විශ්වාසය මත පිහිටා ජාතිකවාදය කටයුතු කරනබවද පෙනෙයි. ජාතිකවාදය රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා වර්ධනය කිරීම, පවුල රැකීම මුල් කොට ගෙන මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, සහ දරු පරපුරේ අනාගත අභිවෘද්ධිය වැනි දෑ අවධාරණය කරන්නේ ඒවා ලිබරල්වාදයට අභියෝගකරන්නට සමත් වනුඇත, එයින් ජාතිකවාදය ශක්තිමත් වනු ඇත යන මතයේ පිහිටා බව පෙනෙයි.

ජාතිකවාදීන් ඉදිරිපත් කරන ජාතික ආර්ථිකයක් පිළිබඳ අදහස, ආර්ථිකය සමාජයේ පදනම ලෙස ගන්නා, නූතනවාදී න්‍යායන්ගේ එල්බ ගැනීමකි. ලිබරල්වාදයට විකල්පයක් වශයෙන් බුරුමය හෝ වෙනත් කිසියම් රටක් මොඩලයක් වශයෙන් ගැනීම, සිංගප්පූරුව හෝ මැලේසියාව තම ආකෘතිය වශයෙන් ගන්නා ලිබරල්වාදීන්ගේ නූතනවාදී චින්තනය හා සමාන සිතීමකි.

අප පතන පොදු යහපත: පුද්ගල නිදහස ද? සාමූහික දිවි පෙවෙත ද?

ලිබරල්වාදයත් ජාතිකවාදයත් ඒවායේ හරයෙන් ප්‍රකාශ කරන්නේ අපගේ සාමූහික ජීවිතය සංවිධානය කරගැනීමේ ආකාර දෙකකි. ලිබරල්වාදය පුද්ගලයා මුල් කොට ගන්නා සමාජ සංවිධානයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරන අතර, ජාතිකවාදයට අනුබල දෙන ජන අභිලාෂයන් හි හරයෙහි ඇත්තේ සාමූහිකය මුල්කොටගත් සමාජ සංවිධානයක් පිළිබඳ අදහසකි.

අප ගේ සාමූහික දිවි පැවැත්ම සඳහා අප පතන පොදු යහපත පුද්ගලයා මුල් කොට ගත්තක්ද, සාමූහිකය මුල්කොට ගත්තක්ද යන්න අප විසින් ඇසිය යුතුව තිබේ. ප්‍රධාන කොටම අප සාමූහික එකඟතාවට පත් විය යුතු කරුණ මෙය මිස, අප කුමන ආර්ථික සහ සාමාජීය ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද යන්න නොවේ. දෙවැනිව කී ප්‍රතිපත්ති, අප ගොඩනඟා ගත යුත්තේ පොදු යහපත පිළිබඳ අප එළඹෙන එකඟතාව මතය.
ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අප මුහුණපාන ගැටලු ගැට ගැසී ඇත්තේ නූතනත්වයේ ප්‍රකාශණයක් ලෙස අප වැළඳගෙන ඇති ධනේශ්වර, ලිබරල්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සමගිනි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ලොව දේශපාලනයේ ‍ඓතිහාසික විකාශනයක අවසානය ලෙස ගත යුතු නොවේ. ඉතිහාසය අපේ පැවැත්ම තීරණය නොකරයි. අපේ පැවැත්ම තීරණය කරන්නේ අපි විසිනි. අපට අප ජීවත්වන ලෝකය වෙනස් ආකාරයකට සංවිධානය කරගත හැකිය.

රාජ්‍යය පිළිබඳ නූතනත්වයේ ගැටලුව වන්නේ, ජාතික රාජ්‍යය සම්ප්‍රදායික ආර්ථික කළමණාකාරීත්වයේ මෙවලම බවට පත්වීමයි. එහෙයින් ලිබරල්වාදයේ දේශපාලනය රාජ්‍ය සීමා කිරීමේ දේශපාලනය යි. ‘රාජ්‍යය යනු පුරවැසියන්ගේ සංගමයයි’ යන අර්ථයෙන් ගතහොත්, රාජ්‍යයේ කාර්යභාරය වන්නේ පුරවැසියන් අතර පොදු යහපත පිළිබඳ දේශපාලන සංවාදය සඳහා අවකාශය සංවිධානය කිරීමයි.

“සමාජ ගැටලු” පිළිබඳ නූතනවාදී කතිකාව

ලිබරල්වාදී දේශපාලන වේදිකාවේ, ජනප්‍රිය සටන් පාඨය බවට පත්ව ඇති දූෂණය, වංචාව, නාස්තිය සහ විනය පිරිහීම ට එරෙහි වීම යටින් ඇත්තේ නීතියේ පාලනය පදනම් කොටගත් පුද්ගල නිදහස රාජ්‍යය විසින් තම ග්‍රහණයට ගෙන ඇතැයි යන අදහසයි. රජයේ දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් මහජන මුදල් වංචා සහ නාස්ති කිරීමට එරෙහිව, රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට එරෙහිව දැඩි නීති පැනවීම සහ ක්‍රියාත්මක කිරීම, නීතියේ පාලනය මත පදනම් වූ පුද්ගල නිදහස තහවුරු කිරීමට අවශ්‍ය දෙයකි.

දූෂණය, වංචාව සහ නාස්තිය සහ විනය පිරිහීම හුදු කළමණාකරණ ප්‍රශ්නයක් ලෙස ගතහොත් ඒවා විසඳීම සඳහා අවශ්‍ය වන්නේ ඉහළින් අපමත බලපවත්වන දැඩි පාලනයකි. එසේ නැතිව ඒවා සමාජ සංසිද්ධි ලෙස සැළකුවහොත් අප සිතිය යුතු වන්නේ, සමාජයක් වශයෙන් අපටම විනයගරුක, නීතිගරුක, අවංක පුද්ගයන් බවට පත්විය හැක්කේ කෙසේද? යන්නයි.

මිනිසා යහපත් මිනිසෙකු කිරීම අධිකාරවාදී පාලකයෙකු විසින් ඉහළ සිට පැනවෙන අධිකාරයකින් සිදු කිරීමට යොමුවීම, පුරවැසිභාවය මත පදනම් වූ දේශපාලන සංවාදයක් සමාජයේ නොතිබීමේ ප්‍රතිඵලයකි. අපගේම ක්‍රියාකලාපයන් පිළිබඳ සාමුහික ආචාර ධර්මීය විනිශ්චයට ඇති හැකියාව වගාකර ගැනීමට අසමත් වූ සමාජයක ප්‍රතිඵලයකි. සමාජ සංසිද්ධීන් කළමණාකරණයෙන් විසඳිය හැකි ගැටලු ලෙස දකින ලිබරල්වාදී න්‍යාය පත්‍රය මග හරින දෙය නම්, මෙම ආචාර ධර්මීය කරුණයි. ජාතිකවාදය, තම රාජ්‍ය කේන්ද්‍රීය සංවර්ධන ආකෘතිය තුළ ඇමතීමට අසමත්වන කරුණ ද මෙයය.

ලිබරල්වාදය රාජ්‍යය සීමා කිරීමේ තම ව්‍යාපෘතිය තුළ, නිවැරදි ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, නීතියේ පාලනය යටතේ යහ පාලනය ස්ථාපිත කිරීම සහ ඒ පදනමෙහි මූලික අයිතිවාසිකම් හා නිදහස රැකීම දේශපාලනයේ හරය කොට සළකයි. එහෙයින්, මහජනයා පදනම් කොටගත් පුරවැසි දේශපාලනයක් කෙරෙහි විශ්වාසයක් මූලිකවම නොතබයි. ලිබරල්වාදයට මහජනයා අවශ්‍ය වන්නේ ඡන්දය ලබා ගැනීමටය.

යුද්ධය අවසන්වූ පසු විනය පිළිබඳ කතිකාව පළමුව මතුව ආවේ ජාතිකවාදී රාජ්‍යය දිශාවෙනි. සංවර්ධනය සඳහා දැඩි විනය අවශ්‍ය‍ බව කියැවිණි. ප්‍රමුඛතාව දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට නොව විනයට බව කියන්නට විශේෂඥයෝ ඉදිරිපත් වූහ. ඉන් පසුව,මෑතදී, ජනාධිපතිවරණයේදී මෙම කතිකාව ප්‍රතිපක්ෂ පිළේ ප්‍රධාන සටන් පාඨය සම්පාදනය කළේය.

අපගේ සාමූහික ජීවිතයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අප අපොහොසත්වීම තුළ අපේ ගැටලු වලින් අප ගලවාගන්නට ඒකාධිපති නායකයෙකු වුව හොඳයැයි කියන තැනට අප කලක සිට පත්වී තිබෙන්නේ මන්දැයි අප සිතිය යුතුය. ආර්ථික සංවර්ධනය උදාකළ ඒකාධිපති නායකයන්ගේ පාලනයන් යටතේ සිදුවූ සියලු ආකාරයේ දේශපාලන නිදහස මර්ධනය කිරීම් නොසළකා හැර ඔවුන් වර්ණනා කරන්නට පෙළඹීමෙන් අප පෙන්නුම් කරන්නේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දේශපාලන නිදහස කැප කරන්නට අප සූදානම් බවද?

අපගේ සියලු “සමාජ ගැටලු” වලින් අපව මුදවාලන සංවර්ධන වැඩපිළිවෙලක් හෝ නායකයෙක් පිළිබඳ අපේක්ෂාව පැන නඟින්නේ “සමාජ ගැටලු” වලට සරල, කෙටි විසඳුම් ඇත යන නූතන විශ්වාසයෙනි. සමාජීය සංසිද්ධීන් “සමාජ ගැටලු” ලෙස දකින නූතන සමාජ විද්‍යාත්මක කතිකාවෙනි.

ජාතිකවාදයද නැතහොත් ලිබරල්වාදයද? දෙකම!

තම ජීවිතයට අර්ථයක් සපයන, තමාට පිටස්තර වඩා උසස් දෙයක එනම්, සාමූහිකයක, ප්‍රජාවක සාමාජිකයෙකු ලෙස තම අද්විතීය පුද්ගලභාවය විශිෂ්ඨත්වයට ගෙන ඒම මානව පැවැත්මේ අවශ්‍යතාවකි. මෙම අවශ්‍යතාව ලිබරල්වාදයෙන් වත්, ජාතිකවාදයෙන් වත් නූතන මිනිසාට සපුරාගත නොහැකිය.

ලිබරල්වාදය විසින් මුදාහරින නමුත්, එය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත්වන සමාජ සංසිද්ධිය නම් සමාජයෙන්, ලෝකයෙන් විගලිත වූ, හුදෙකලා වූ පුද්ගලයා ය. ලිබරල්වාදය, පුද්ගලයාට පිටස්තර වඩා උසස් දේ ලොව ඇතැයි යන්න ගැන දක්වන්නේ උදාසීන ගතියකි. ජාතිකවාදය ආමන්ත්‍රණය කිරීමට අපොහොසත්වන සමාජ සංසිද්ධිය නම් ලොව වෙනස් වූ තත්ත්වයන් යටතේ, පුද්ගල නිදහස, සමාජීය බහුත්වය සහ විවිධත්වය ප්‍රජාවේ අංගයන් විය යුතු බවය. ලිබරල්වාදයත්, ජාතිකවාදයත් දෙකම ධනවාදය විසින් මානව ලෝකයට මුදාහරිනු ලැබ ඇති සමාජ ව්‍යසනයන් ගැඹුරින් ආමන්ත්‍රණය කරන්නේ නැත.

මෙහිදී, ජාතිකවාදයත්, ලිබරල්වාදයත්, පසමිතුරු නොව ඌණ පූරක හරයන් නියෝජනය කරන ලෙස සළකා එම දෙ-මතවාදයන්ට එකිනෙකින් පෝෂණය වන්නට අවකාශ සැළැස්වීමෙන්, මෙම විසංවාදය සමනය කිරීමේ මගක් පරිකල්පනය කළ හැකි බව අපගේ විශ්වාසයයි.

ලිබරල්වාදයේ පරමාදර්ශය වන නිදහස් පුද්ගලයා පිළිබඳ අදහස, සමාජයෙන් සහමුලින්ම නිදහස් වු, ස්වාර්ථකාමී පුද්ගලයෙකු පිළිබඳ කරුණකට ලඝු නොකොට, නිදහස් පුද්ගලයා යනු, තම අද්විතීයභාවය ප්‍රකාශ කිරීමට ඇති නිදහස තුළ, සාමූහිකය තුළ විශිෂ්ඨත්වයක් අත්පත් කරගන්න‍ට උත්සාහ දරන්නා, එනම්, සක්‍රීය පුරවැසියා ලෙසත්, ඒ සඳහා අවකාශ සලසන නිදහස මහජන අවකාශය, ප්‍රජාව ලෙසත් සැළකීමෙන් අපට ලිබරල්වාදයත්, ජාතිකවාදයත් මුහුණදෙන ද්වි-විධ සංසිද්ධීන් ආමන්ත්‍රණය කරන පරිකල්පනාවක් වර්ධනය කරගත හැකිය. පුද්ගලයා සාමූහිකය සමඟ බැඳීමක් නැති, ඉන් ස්වායත්ත කෙනෙකු වීමෙන් ඔහු/ඇය සාමූහිකය සමඟ ඇති සබඳතාව හුදු වානිජ ගනුදෙනුවක් බවට පත්වීමෙන්, සාමූහිකය අනතුරේ හෙළයි.

ජාතිකවාදයෙන් නියෝජනය වන ප්‍රජාව පිළිබඳ අදහසට අනාගතයක් ඇත්තේ ‘සංවර්ධනය’ පිළිබඳ අදහස තුළ නොව පුරවැසිභාවය පිළිබඳ අදහස තුළය. ප්‍රජාව යන පදයට ඇතමුන් විරුද්ධවන්නේ ප්‍රජාව අත්‍යන්තයෙන්ම සමජාතීකරණයක් අපේක්ෂා කරන්නේය, යන අදහස මත පිහිටා විය යුතුය. ජාතිකවාදය එවැනි සමජාතීකරණයක් අපේක්ෂා කරයි. නමුත්, බහුත්වය, විවිධත්වය රැකගතහැකි ප්‍රජාවක් ද වෙයි. ඒ පුරවැසි ප්‍රජාවයි. වෙනස් වී ඇති ලෝක තත්ත්වයන් යටතේ පුද්ගල නිදහස පදනම් වන ජනවාර්ගික, ආගමික ඈ බහුත්වය සහ විවිධත්වය පිළිබඳ අදහස ජාතිකවාදය විසින් යටපත් කරන්නේ නම්, එම ජාතිකවාදය ජනයාගෙන් ප්‍රතික්ෂේපවනු ඇත.

(මෙම ලිපියේ සිරස්තලය අප සකසා ගත්තේ ස්ලාවොජ් ජීසෙක් ගේ අදහසක් ණයට ගැනීමෙනි.)
kathika

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )