රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘

රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘
කුමුදු කුසුම් කුමාර
විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම ට රජය කටයුතු කොට ඇත. තමන් ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටලු මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් බේරුම්කරණ ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. එම විරෝධය තිබියදීත් රජය එම ක්‍රියාමාර්ගයේම ඉදිරියට යන්නේ නම් මී ළඟ පියවර වන්නේ රජයේ කැමැත්තට නියෝජිතයෙකු පත් කොට අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලියට පිවිසීමයි. එවිට වර්ජනය නවත්වා සේවයට වාර්තා කිරීමට වර්ජකයන්ට සිදුවන අතර බේරුම්කරු නියම කරන කාලයකට යලි වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම ඔවුනට තහනම් වෙයි. එපමණක් නොව බේරුම්කරුගේ තීන්දුව එලෙසින්ම පිළිගැනීමටද ඔවුනට සිදුවෙයි.

අනිවාර්ය බේරුම්කරණය

බේරුම්කරණ ක්‍රියාවලිය වෘත්තීය සමිති ක්‍රියා මර්ධනයට හාම්පුතුනට සහය විමට රජය යොදා ගන්නා අවියක් වන අවස්ථා ඇති බව වෘත්තීය සමිති ක්ෂේත්‍ර යේ මතය යි. අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලිය කිසිසේත්ම වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පිළිගැනීමට ලක්වන්නක් නොවේ. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේද ප්‍රතික්ෂේප කිරීමට ලක් වී ඇති ක්‍රියාමාර්ගයකි. ඉතින්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මත අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලිය බලහත්කාරයෙන් පැනවීමට උත්සාහ කරනු ඇත් ද යන්න සහ එසේ කළ හොත් විශ්ව විද්‍යාල ගුරුවරුන් එම තීන්දුව පිළිගනු ඇති ද යන්න ලංකාවේ පමණක් නොව ජගත් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේත් මානව හිමිකම් සහ නීති ක්ෂේත්‍රයන්හිත් බලවත් අවධානයට ලක් වනු ඇත. තම ඉල්ලීම් බේරුම්කරණයට යොමු කිරීමට පදනමක් නොමැති බවට ආචාර්ය සමිති සම්මේලනයට නීති උපදෙස් ලැබී ඇත. මෙම සම්මේලනයේ නීති උපදේශිකා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය දීපිකා උඩගම මේ පිළිබඳ පසුගියදා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ ගේට්ටුව අසල මහ මග පැවැත්වීමට එම විශ්ව විද්‍යාලයේ උප කුලපති විජිත නානායක්කාර විසින් බල කරනු ලැබූ පුවත් පත් සාකච්ඡාවේදී මේ පිළිබඳ ජන මාධ්‍ය ඇමතුවාය (බලන්න https://www.youtube.com/user/FUTASRILANKA ). ඒ අනුව ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් අනිවාර්ය බේරුම්කරණයට යොමු කළහොත් ඉන් මතුවිය හැකි නීතිමය ගැටලු මෙම කරුණ පිළිබඳ දැනට පවත්නා සාකච්ඡාව ඉහළ තලයකට ගෙන යනු ඇත.

රජය වෘත්තීය සටන් කැඩීම

වෘත්තීය සමිති වැඩවර්ජනයෙහි යෙදී සිටින අතරතුර තමන් ඒ සමිති සමග සාකච්ඡා නොකරන්නේ යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශය රජයේ ඉහත තීන්දුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කළා මෙනි. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගැනීමට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය නැවැත්විය යුතු යැයි ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වීය. මේ සම්බන්ධයෙන් ආචාර්ය සමිති සම්මේලනය ප‍්‍රකාශ කළේ ඉහත ප‍්‍රතික්ශේප කිරීම මගින් ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරන ලද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවල නියැලීම පිළිබඳ මූලික මිනිස් අයිතිය ප‍්‍රශ්න කරන බවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය ආරම්භයේ සිටම ඔවුනට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක දියත් කළ වාචික ප‍්‍රහාර මේ වනවිට උච්ඡස්ථානයකට පත්වෙමින් තිබීම සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉහත ප්‍රකාශයත් මෙම වර්ජනය නීති විරෝධී බවට පත් කිරීමට රජය ගන්නට අර අඳින වෑයමත් අතර සම්බන්ධයක් තිබෙන බව පෙනී යයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කළ ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ ඇමතිවරයා තමන් සතුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ නැතහොත් එසේ නොමැති බව ව්‍යාජ ලෙස පෙන්නුම් කරමින් සිටින බව යි. ඇමතිවරයා සිදුකරමින් සිටින්නේ තම ඉල්ලීම් පිළිබඳ ඵලදායී සංවාදයකට එලඹීම නොව ඇමතිවරයෙකුට නොගැලපෙන මට්ටමේ අශිෂ්ට භාෂාවක් පාවිච්චි කරමින් ආචාර්යවරුන්ට එරෙහිව හිතුවක්කාරී හා පදනම් විරහිත චෝදනා එල්ල කිරීම බව ඔවුහු තව දුරටත් කියා සිටිති. මෙවැනි පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය සම්බන්ධව වගකිවයුතු ඇමතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුව රටේ අධ්‍යාපනය කෙරේ දක්වන ආකල්පය පෙන්නුම් කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරු කියා සිටිති.

මෙම පසුබිමෙහි තබා සළකන විට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට අත්වනු ඇති ඉරණම තීන්දු කරනු ඇත්තේ ඔවුන්ගේ සාමුහික ශක්තිය සහ මෙරට සමාජයෙන් සහ නොරට ලෝකයෙන් එය ආරක්ෂා කර ගැනීමට කුමන ක්‍රියාමාර්ග ගනු ඇතිද යන්න මතය.

රජය මාධ්‍ය හැසිරවීම

ඔවුන්ගේ චිත්ත ධෛර්යය සහ සාමුහික ශක්තිය බිඳ දැමීමට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකත් අන්තේවාසික සරසවි ඇදුරන් කිහිප දෙනෙකුත් සරසවි පරිපාලකයනුත් උත්සාහ කරමින් සිටිනු පෙනේ. මෙහිදී අමාත්‍ය එස්.බී. දිසානායකගේ සහ රජයේ සහායට පැමිණි (අයිලන්ඩ් පුවත් පතේ කර්තෘ ප්‍රභාත් සහබන්ධු හැඳින්වූ පරිදි කියන්නේ නම් ) මාධ්‍ය “දඩ බල්ලන්“ කණ්ඩායම දැනට නිහඬ වූ සෙයක් පෙන්නුම් කරන නමුදු තම ස්වාමීන් සේවයකිරීමට යළි කැඳවුවහොත් ඔවුන් එම කටයුත්තට යළි ඉදිරිපත් නොවේ යැයි කිසිදු සහතිකයක් නැත. මොවුන්ට පැවරුණු කටයුත්ත වූයේ සරසවි ඇදුරු ප්‍රජාව උපහාසයට සහ අපකීර්තියට ලක් කිරීමත් ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය කෙරෙහි එහි සාමාජිකත්වය බිඳවීමට ඔවුන් පිළිබඳ අභූත චෝදනා නැඟීමත් ය. මෙම කිසිදු උත්සාහයක් මේ දක්වාම සාර්ථක වී නැත. රජයේ සියලු මාධ්‍ය ඉතාම අයුතු ලෙස යොදාගනිමින් රජයේ ප්‍රකාශකයන් වන හඩ්සන් සමරසිංහ සහ මහින්ද අබේසුන්දර වැන්නන් අශික්ෂිත ලෙස සරසවි ඇදුරන්ට ගරහමින් ඔවුන්ගේ නායකත්වයට අභූත චෝදනා නගමින් වර්ජනය ඇරඹුනු දින පටන් දිගින් දිගටම ගෙන යන අදත් නවත්වා නැති අධම ප්‍රචාර මෙරට මාධ්‍ය ඉතිහාසයේ ගොබෙල්ස් සමයක් සටහන් කරන්නක් ලෙස ඊට වගකිව යුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජයත් එහි මාධ්‍ය ඇමතිවරු සහ ලේකම්වරුත්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත් පත් කතුවරුන් සහ ගුවන් විදුලි නාලිකා සහ රූපවාහිනී නාලිකා ප්‍රධානීන් ගේ නම්ද සමගින් මෙරට රාජ්‍ය මාධ්‍ය ඉතිහාසයේ ඉතාම අඳුරු යුගයක විශාල කලු පැල්ලමක් ලෙස ඉතිහාසයට එකතු වනු ඇත. විශ්ව විද්‍යාල ආචාර්යවරුනට එරෙහිව ක්‍රියාත්මක වූ මෙම රාජ්‍ය හස්තය පෞද්ගලික ජනමාධ්‍යයන් ට පවා ඉමහත් බලපෑම් කරමින් ඒවායින් පවා ආචාර්යවරුන්ගේ දෘෂ්ටි කෝනය පළවීමට සාධාරණ අවස්ථාව ලබා දීමට ඇති ඉඩකඩ මර්ධනය කළ බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්වාසය යි. ඒ සියල්ල ජයගෙන තම අරගලයේ සටන් පාඨ මහජනයා අතට පත් කිරීමට මෙම අරගලය සමත් වී ඇත. එහිදී ඔවුනගේ සහායට ආ අපක්ෂපාත ජන මාධ්‍ය වේදීන් බොහෝ දෙනෙකු රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත් සිටිති.

මෙම වෘත්තීය සටන රැක ගැනීමට මෙරට ජාතික මට්ටමේ වෘත්තීය සමිති ව්‍යාපාරය පෙරට විත් සිටියි. ඔවුන් අතර රජයට සම්බන්ධ වාමාංශික පක්ෂ වලට අයත් ප්‍රධාන වෘත්තීය සමිති ද වෙති. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට ඔවුන් ගේ එකමුතුවක් විසින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන රැකගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු ගැනීම සඳහා ජාතික නියෝජිත සමුලුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ හා සමාන කලාකරුවන්ගේ සමුළුවක් ඉදිරි සතියේදි පැවැත්වීමට නියමිතය. ළඟදීම සිවිල් සංවිධාන එකමුතුවක සමුළුවක් ද පැවැත්වීමට කටයුතු සැකසෙමින් පවතී.

රෙජීමය වෙනස් කිරීම

මෙම සටන මර්ධනය කිරීමේ උත්සාහයේදී රජය යොදාගන්නා අවිය මෙය රෙජීමය වෙනස් කිරීම සඳහා ජගත් මට්ටමින් සැකසුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කිරීම යි. මෙබඳු කුමන්ත්‍රණයක් පිළිබඳ බියකින් පාලක රෙජීමය නිරන්තරව පෙළීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් කොතරම් ඡන්ද පිට ඡන්ද දිනුවත් තමන් ප්‍රජාතන්ත්‍රවාදී යැයි ඒ මතින් උදම් ඇනූවත් තමන් කියන දේ තමන්ම විශ්වාස නොකරන බවයි. රාජපක්ෂ රෙජීමය ඉමහත් ජනතා බලයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රජයක් නම් රටේ සමස්ත සරසවි ඇදුරු ප්‍රජාවේ එකම වෘත්තීය සමිතියේ ඉල්ලීම් වලට ඇහුම් කන් දී ඔවුන් සමග සාකච්ඡා කොට සාධාරණ විසඳුමක් ලබා දීමට තරම් ආත්ම ශක්තියක් එයට තිබිය යුතුය. එසේ නැතහොත් මෙම සටන මර්ධනයට ඔවුන් සැරසෙන්නේ තම බලය පිළිබඳ ඇති අසීමිත විශ්වාසය නිසා හටගත් හුදු අහංකාරයකින් ද?

නව ලිබරල්වාදයේ පුනරාගමනය

වත්මන් රජය බලයට පත්වීමේ මෑත කාලීන ඉතිහාසයේ ආරම්භය ඇත්තේ අවුරුදු දහ හතක එජාපයේ දුර්දාන්ත පාලන සමය අවසන් කිරීමට මුල පිරූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙකු වූ අමරසිරි දොඩංගොඩ ගේ නායකත්වයට බලය සැපයූ දකුණු පළාතේ ජනතාව සමගින් දකුණු පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කිරීම තුළය. එය ජේ.ආර්. ජයවර්ධන ගේ නව-ලිබරල් ධනවාදී ව්‍යාපෘතිය මෙරට පරාජය කිරීමට තැබූ මුල් සාර්ථක දේශපාලන පියවරයි. මහින්ද රාජපක්ෂ රජය බලයට එන්නේ නව-ලිබරල්වාදය පැරදවීමේ එම ජනතා අභිලාශය මුදුන් පත්වීම ලෙසිනි.

අදවන විට රාජපක්ෂ රෙජීමය එජාපයට වඩා හොඳින් මෙරට නව ලිබරල්වාදය ක්‍රියාත්මක කරමින් සිටියි. පොදුවේ අධ්‍යාපන ක්ෂේත්‍ර යේ ත් සුවිශේෂව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත් සිදු කෙරෙමින් පවත්නා ප්‍රතිසංස්කරණ මෙයට හොඳම උදාහරණ සපයයි. මේ සඳහා රෙජීමය තෝරාගෙන ඇති දේශපාලන නියෝජිතයන් නම් අධ්‍යාපන ක්ෂේත්‍රයට අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ඇමති එස්. බී. දිසානායක වෙයි.

රාජ්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය පිළිබඳ තම ජාතික වගකීමෙන් රජය නිදහස් වී එය තනිකරම වෙළෙඳ පොළ තර්කනයට යට කිරීමේ මෙම උත්සාහය නව ලිබරල්වාදය ලංකාවේ තහවුරු කිරීමේ අවසන් දෙවැනි අදියර යි. එයට අනුමැතිය දීමෙන් සහභාගී වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රජයේ සිටින වාමාංශික පක්ෂත් චම්පික රණවක නායකත්වය දරන ජාතික හෙළ උරුමයත් විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණත් මෙරට නව ලිබරල්වාදය ජයග්‍රහණය කිරීමේ කටයුත්තට අත් පැන් වඩති. ජාතික චින්තනවාදී නලින් ද සිල්වා මෙම කටයුත්තට අති විශාල දායකත්වයක් මාධ්‍ය හරහා සපයා ඇති අතර එහි නිර්මාතෘ ගුණදාස අමරසේකර ද මෙම කර්තව්‍යයේ වැදගත් කොටස් කරුවෙකු වන්නේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය විනාශ කළ යුතුය යන මතයේ පිහිටා මෙම මොහොතේ නිහඬව සිටින බැවිනි.

මෙම මොහොතේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පාලක රෙජීමයේ මර්ධනයෙන් රැක ගැනීමට ඉදිරිපත්වීම ජේ.ආර්. ජයවර්ධන ගේ නව-ලිබරල් ධනවාදී ව්‍යාපෘතිය මෙරට පරාජය කිරීමට එදා සිට කැපවූ සියලු ජනතාවගේ සහ රජය ඇතුළතත් පිටතත් සිටින ජනතා නියෝජිතයන්ගේත් වගකීමකි. මෙම අරගලය මර්ධනය කිරීමට රජයට ඉඩ දුනහොත් පරාජය වන්නේ නව-ලිබරල් ධනවාදී ව්‍යාපෘතියට එරෙහි මෙරට පොදු ජන අභිලාශය පමණක් නොවේ. මෙරට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාශයන් ද ඒ හා සමගින් තාවකාලිකව වුව පරාජයට පත් වනු ඇත. මන්ද යත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය වනාහී පශ්චාත් යුද සමයේ මෙරට දේශපාලනයේ ශක්තිමත් විපක්ෂයක් නැතැයි කියූ රජයකට ප්‍රබල විපක්ෂයක් වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කිරීමේ අයිතිය තහවුරු කරගනිමින් ඉදිරියට ආ අරගලයක් ලෙස ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනා ඇති හෙයිනි.

එහෙයින් පාලක රෙජීමය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය මර්ධනය කරන්නට සමත් වුවහොත් එය මෙරට නව ලිබරල් ධනවාදී ව්‍යාපෘතිය සහමුලින්ම ජය ගැනීමටත් අප සමාජයේ ප්‍රබලම ශක්තිය ලෙස පැවත ඇති අපගේ ප්‍රජාතන්තවාදී දේශපාලන අවකාශය යළිත් කෙටි කළකට වුව යළි හකුළා ලන දුර්දාන්ත සමයක් උදාවීමත් සටහන් කරනු ඇත.

මෙරට ජනතාව මෙම අවදානමට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )