ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය
කුමුදු කුසුම් කුමාර

ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි.

අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය කරන්නට පෙළඹීමයි. එවිට එම ප්‍රතිපත්තිවලට එරෙහිවන්නේ යැයි සිතන කවරෙකු හෝ රජයේ සතුරෙකු ලෙසින් ගෙන ඔවුන් කෙසේ හෝ පරාජය කිරීමට කටයුතු කිරීම ජනාධිපති ගේ දේශපාලනයේ ප්‍රධාන අංගයක් වෙයි.

ජේ. ආර්. ජයවර්ධන ලංකාවට ජනාධිපතික්‍රමය හඳුන්වා දුන්නේම බහු පාර්ශ්වීය දේශපාලන පක්ෂ ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පද්ධතියක් පැවතීම නිසා පක්ෂ දේශපාලනය මත සිදුවන ආණ්ඩු වෙනස් කිරීමට යටත්ව රට ‘සංවර්ධනය‘ කළ නොහැකිය යන නිගමනයට එළඹ එම තත්වය ජය ගනුවස් විධායක බලය ජනාධිපති අත කේන්ද්‍රගත කරමිනි. ඉංග්‍රීසි කියමනකට පරිදි ‘ඉන් පසු සිදු වූ දේ ඉතිහාසගත වී අවසන්ය.‘

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන රට සංවර්ධනය කරන්නට යැයි කියා විවෘත ආර්ථිකය යනුවෙන් ජනවහරේ හැඳින්වීමට ආ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ලංකාවට හඳුන්වා දී ඊට එරෙහිව ක්‍රියා කරන්නේ යැයි සිතූ සියලු බලවේග දරුණු ලෙස මර්ධනය කරන්නට රාජ්‍ය බලය යොදාගත්තේය. “දහහත් වසරක ශාපය“ යැයි විපක්ෂය හඳුන්වා දුන් එම පාලනය මෙරට ජනතාව ප්‍රතික්ෂේප කළේ ‘විපක්ෂයෙන් පොල් පිත්තක් ඉදිරිපත් කළත් උඩින් දිනනවා‘ යැයි සාමාන්‍ය ජනයා කී ජනාධිපතිවරණයකින් චන්ද්‍රිකා කුමාරතුංගට සියයට 62 ක අතිමහත් ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමිනි. ඇයගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨය “මනුස්ස මුහුණක් සහිත විවෘත ආර්ථිකයක්“ වීමෙන් පෙන්නුම් කළේ ජේ. ආර්. ජයවර්ධන ගේ නව ලිබරල්වාදී සංවර්ධනයේ අමනුස්ස මුහුණවරයි. ජනාධිපතික්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා පරමාධිපත්‍යය යලි ස්ථාපිත කරන්නෙමැයි ශපථ කොට බලයට ආ චන්ද්‍රිකා කුමාරතුංගගේ අයාලේ ගිය ලිබරල් දේශපාලන තන්ත්‍රය ජනාධිපතික්‍රමය අහෝසි කළේ නැත.

එපමණක් නොව නව ලිබරල්වාදය ට මනුස්ස පෙනුමක් ලබා දීම කෙසේ වෙතත් අධ්‍යාපනයෙන් අප සමාජයට ලැබී තිබුණු මනුස්සකම අහෝසි කිරීමට පියවර ගනිමින් නව ලිබරල්වාදය තීරණාත්මක ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ඇතුලු කළේය. නව ලිබරල්වාදී බලවේග චන්ද්‍රිකා කුමාරතුංගගේ ගජ මිතුරු වෛද්‍ය තාරා ද මෙල් මගින් රාජ්‍ය වියදම් කපා හැරීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යාපන ක්ෂේත්‍රයට ද ගෙන එන්නට සමත් වීය. මෙහිදී රජීව විජේසිංහ තාරා ද මෙල්ගේ උපදේශකවරයෙකු ලෙස ක්‍රියා කළේය. චන්ද්‍රිකා කුමාරතුංග ද තමන් ගේ සතුරන් යැයි සිතූ බලවේග මර්ධනයට රාජ්‍ය බලය නිර්දය ලෙස යොදා ගත්තාය. එකල ඇගේ අග සව්වන් වූයේ මංගල සමරවීර සහ එස්. බී. දිසානායක ඇමතිවරුන් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වන්නේ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ලාංකේය සමාජයේ ක්‍රියාත්මක කිරීමට එරෙහිව මෙරට ජනයා ගෙන ගිය දීර්ඝ කාලීන අරගලයේ ප්‍රථිඵලයක් ද ලෙසිනි. එය පිළිගනිමින් තමන් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නේ යැයි ‘මහින්ද චින්තනය‘ සඳහන් කර ඇත. නමුත් අද, ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අන් කවරදාකටත් අන් කාහටත් වඩා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. වෛද්‍ය තාරා ද මෙල් මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසුණු නව ලිබරල්වාදී බලවේග අමාත්‍ය එස්. බී. දිසානායක හරහා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තම ග්‍රහණයට ගැනීමේ ප්‍රබල උත්සාහයක නිරත වී සිටියි. රජීව විජේසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා අමාත්‍ය එස්. බී. දිසානායක ගේ උසස් අධ්‍යාපන ‘නවීකරණ ව්‍යාපෘතිය‘ ඉමහත් සේ වර්ණනා කරමින් සිටියි.

ජේ. ආර්. ජයවර්ධන නව ලිබරල්වාදය මෙරටට හඳුන්වා දුන් අවස්ථාවේ සිට පත්වන හැම රජයක්ම තම ග්‍රහණයට ගන්නට නව ලිබරල්වාදයේ ජාත්‍යන්තර ඒජන්තයන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් උත්සාහ දරා ඇත. මෙම උත්සාහය මේ වන විට වඩාත්ම සාර්ථක වී ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජය යටතේ වීම ඉතිහාසයේ සරදමක් වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවන්නේ ‘අධිරාජ්‍ය විරෝධී‘ ‘දේශප්‍රේමී‘ ‘ජාතික‘ මහා සන්ධානයක නියෝජිතයා ලෙසින් වීම නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකා නියෝජිතයා ලෙස දිගු කලක් සේවය කොට ඇති නමුත් ’56 දරුවෙකු‘ ලෙස ද හඳුන්වා දෙනු ලැබ ඇති ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නා බවට පත් කරගන්නට හැකි වීම තුළින් ජාත්‍යන්තර නව ලිබරල්වාදී බලවේග ලබා ඇති ජයග්‍රහණය මෙරට ජනතාව මහින්ද රාජපක්ෂ රජය පිළිබඳ දීර්ඝ කාලයේදී දෙන විනිශ්චය තීන්දු කරන්නට හේතු වනු ඇත.

තවද, ජනාධිපතික්‍රමය අහෝසි කරන්නේය යන්න මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන මැතිවරණ සටන් පාඨයක් ද වීය. නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ජනාධිපතික්‍රමය අහෝසි කරනවා වෙනුවට එම ධුරය දැරිය හැකි අවස්ථා ගණන තුන්වතාවක් දක්වා දික්ගස්සා ගත්තේ තම රජයේ ස්ථාවරබව රැකීමට එසේ කිරීම අවශ්‍ය යැයි යන තර්කය මතය. තමන් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එරෙහි වන්නන් සතුරන් ලෙස සළකා එම කොටස් මර්ධනයට ජනාධිපති තනතුරේ බලතල යොදා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ යොමුවීම ඉතිහාසය යලිත් රඟදැක්වීමක් වැනි යැයි සිතේ. 1977 දී ජේ. ආර්. ජයවර්ධන ලංකාවට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රත්පත්ති හඳුන්වා දුන් අවස්ථාවේ සිට ජයවර්ධන සහ කුමාරතුංග රජයයන් යටතේ එය මෙරට ස්ථාපිත කිරීමට එරෙහිව දිගින් දිගටම කළ අරගලයන්හි ප්‍රථිපලයක් ලෙස මෙරට ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගන්නට මෙරට ජනයා සමත් වී ඇත. මෙම මෑත කාලීන ඉතිහාසයෙන් අපට උගත හැකි පාඩම නම් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවල එල්බ ගන්නා රජයනට හිමි තැන ලංකාවේ ඉතිහාසයේ කුණු බක්කිය බවයි.

රාජ්‍ය මර්ධනයට අද ඉලක්ක වී සිටින්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර යේ නව ලිබරල්වාදය ස්ථාපිත කිරීමට එස්. බී. දිසානායක හරහා ක්‍රියාත්මක වන බලවේග පරාජය කිරීමට සටන් වැද සිටින විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලන යයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ පදනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැටුප් වැඩි නොකිරීමේ (wage freeze) ප්‍රතිපත්තිය අනුව යමින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආචාර්ය පී. බී. ජයසුන්දර දරන දැඩි ස්ථාවරයයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඔවුන් ‘රෙජීමය වෙනස් කිරීම‘ අරමුණු කොට ගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස් කරුවන්ය යන්න පෙන්නුම් කරන්නේය යන්න මහින්ද රාජපක්ෂ රජය ග්‍රහණයට ගනිමින් සිටින නව ලිබරල්වාදී බලවේග වල ප්‍රබන්ධයක් මිස සත්‍ය පදනමක් ඇත්තක් නොවේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ ලවා විශ්ව විද්‍යාල ආචාර්යවරු මර්ධනය කර ගත හොත් නව ලිබරල්වාදී බලවේග වලට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගත හැකිය. ඒ, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ලිබරල්වාදයේ ජයග්‍රහණයත්, මෙරට සමස්ත විශ්ව විද්‍යාල ආචාර්ය සමූහයා මහින්ද රාජපක්ෂ රජය කෙරෙහි බිඳවීමත් ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය රජයට එල්ල කරන ලද පෞද්ගලික අභියෝගයක් ලෙස සළකා එය මර්ධනය කිරීමේ මාවත ගන්නවා වෙනුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය වටහා ගත යුත්තේ මෙම සටන නව ලිබරල්වාදී බලවේග උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තම ග්‍රහණයට නතු කර ගැනීමට එරෙහි සටනක් බවයි. කළ යුතු වන්නේ නව ලිබරල්වාදී බලවේග නියෝජනය කරන උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක ඉදිරිපත් කරන තොරතුරු සත්‍ය කරුණු වශයෙන් ගෙන ඒ මත පමණක් පිහිටා තීරණ ගන්නවාට වඩා තම පැත්තෙන් කරුණු පැහැදිළි කරන්නට විශ්ව විද්‍යාල ආචාර්යවරුනටද සාධාරණ අවස්ථාවක් ලබා දීමයි. එවැනි පියවරක් ජනාධිපති තනතුරෙන් අපේක්ෂා කරන උදාරභාවය තහවුරු කිරීමක් මිස කිසිසේත්ම එය හෑල්ලු කිරීමක් නොවනු ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )