මහජන සහ පෞද්ගලික පරිමණ්ඩලය – හනා ආරන්ඩ්ට්

ලොව ශ්‍රේෂ්ඨතම චින්තකයන්ගෙන් කෙනෙකු ලෙස හඳුන්වනු ලැබෙන හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන නිදහසත් අහිමිවීම පිළිබඳ ගැටලුව විග්‍රහ කරන්නටය. මේ වනවිට දේශපාලන සහ සමාජීය න්‍යායේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන 1958 දී පළමු වරට පළ කළ The Human Condition කෘතිය ආරන්ඩ්ට් ගේ ප්‍රධාන න්‍යායික කෘතිය ලෙස සැලකෙයි. බොහෝ දෙනාගේ එකඟත්වයට යටත් විය යුතු ප්‍රායෝගික දේශපාලන කටයුතු කවරදාකවත් තනි පුද්ගලයෙකුගේ න්‍යායාත්මක සළකාබැලීම්වල හෝ මතයෙහි හෝ නිශ්චය විය නොහැකිබව ඇය කියා සිටියාය. නූතනත්වය යටතේ මානවයාට අහිමිව ගිය දේශපාලන ක්‍රියාවේ යෙදීමේ හැකියාව යලි ස්ථාපිත කරනු වස් ඉපැරණි ග්‍රීකයන්ගෙන් ඊට ආභාෂය ලබාගැනීමට ඇතන්ස් නුවර පැවති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැරුණු ඇය ඒ ඇසුරෙන් න්‍යාය ගැන්වූ මහජන පරිමණ්ඩලය සහ පෞද්ගලික පරිමණ්ඩලය අතර ග්‍රීකයන් දුටු වෙනස පිළිබඳ ඉදිරිපත් කරන විග්‍රහය ඇතුළත් The Human Condition කෘතියේ “The Public and the Private Realm” නමැති දෙවැනි පරිචේඡ දයේ සංක්ෂිප්ත අනුවර්තනයකි, පහත පළවන්නේ.

…………………………..

සුළු පිරිසක් වූ ’සමානයන්’ට අයිතිව සිටීමෙන් අදහස් කෙරුණේ, යමෙකුගේ සාම්‍යයන් (peers) අතර ජීවත් වීමට අවසර ලැබ සිටීමයි. නමුත්, මහජන පරිමණ්ඩලයට, එනම් පුරවර රාජ්‍යයේ (polis) මහජන පරිමණඩලය ගත් කල එය පුරා පැතිර තිබුණේ, උග‍්‍ර ලෙස විසංවාදී ජීවගුණය (agonal spirit) කි. එතුළ හැම කෙනෙකුටම නිරතුරුවම තමා අන් සියලු දෙනාගෙන්ම විශේෂ කොට පෙන්වීමට, අද්විතීය කි‍්‍රයා හෝ සාධනයන් මගින් තමා සියල්ලන්ම අතුරෙන් විශිෂ්ටයා බව පෙන්වීමට සිදුව තිබුණි. වෙනත් වචනවලින් කියන්නේ නම්, මහජන පරිමණ්ඩලය වෙන් කොට තිබුණේ පුද්ගලභාවය (individuality) වෙනුවෙනි. සැබැවින්ම සහ හුවමාරු කල නොහැකි ලෙස ‘තමන් කවුද?’ යන්න පෙන්නුම් කිරීම සඳහා මිනිසුන්ට තිබූ එකම ස්ථානය මෙයයි. යුක්තිය පසිඳලීම, ආරක්ෂාව, සහ මහජන කටයුතු පරිපාලනයෙහි බර පොදුවේ දරන්නට හැම කෙනෙකුම අඩු වැඩි වශයෙන් කැමැත්ත දැක්වූයේ, ‘තමන් කවුද?’ යන්න ප‍්‍රදර්ශනය කිරීම සඳහා තිබූ මෙම අවස්ථාව වෙනුවෙන් සහ ඔවුන් සියල්ලටම ඊට අවකාශය ලබාදුන් දේශපාලන සංවිධානයක්, ආණ්ඩුවක් හදාගත් පුරවැසියනට ඇති ඇල්මත් වෙනුවෙනි.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

මාර්ටීන් හෛඩගර්: සත්තාව සහ කාලය – දිමුතු සමන් වෙත්තසිංහ

මම සිතමි එම නිසා මම පවතිමි යන ප්‍රකාශයේ ඩේකාට් “සිතන මම” (සවිඥානිකත්වය) සහ පවතින බව (සත්තාව) වශයෙන් වෙන් කිරීමක් ඇති කිරීමෙන් යථාර්ථය දෙකට බෙදුවේය. මෙමඟින් ඔහු ද්වෛතවාදී දර්ශනයකට මඟ පෑදූ අතර මෙම කාටීසියානු ද්වෛතය මඟින් අදහස් වූයේ දෙවියන් වහන්සේ මූලික යථාර්ථ දෙයාකාරයක් විශ්වය තුළ මවා ඇති බවය. ඉන් එකක් නම් සිතීමේ දව්‍යය හෝ සාරය- (res cogitans) මනස, ආත්මය, විඥානය, මනෝමූලික අත්දැකීම (Subjective experience) වේ. අනෙක නම් පුළුල් වූ ද්‍රව්‍ය හෝ සාරයයි (res extens ). මනසින් පරිභාහිර සියල්ල මේ නිසා විෂය මූලික (Objective) වේ. මෙලෙස මනස සහ බාහිර දව්‍යමය ලෝකය අතර බෙදීමක් නිර්මාණය කරමින් ඩේකාට් යුරෝපීය ප්‍රබුද්ධත්වයට මඟ හෙළි කළේය.

‘කතිකා’ ප්‍රාරම්භක කලාපයේ “අවලෝකන” යටතේ මාර්ටීන් හෛඩගර්: දර්ශනයේ අවසානය යන ජර්මානු දාර්ශනික හෛඩගර් පිළිබඳ චරිතාපදානයෙන් අදහස් කළේ හෛඩගර්ගේ චරිතයේ දාර්ශනික පසුබිම පිළිබඳ සටහන් දැක්වීමටත් තාක්ෂණය පිළිබඳ හෛඩගර්ගේ විවේචනය පිළිබඳ සාකච්ඡාවක් සම්පාදනය කිරීමටත්ය.ඒ සඳහා ප්‍රවේශයක් වශයෙන් හෛඩගර්ගේ මුඛ්‍ය සංකල්පය වන සත්තාව පිළිබඳ සාකච්ඡාවට මුලපිරූ අපි මෙම කලාපය තුලින් එම සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන එන්නෙමු. බටහිර දාර්ශනික ඉතිහාසය සැකසුනේ මිනිසාගේ සත්තාව සහ වස්තූන්ගේ සත්තාව එක හා සමාන දෙයක් ලෙස සලකා කළ විග්‍රහයෙන් වන අතර හෛඩගර්ගේ මානවීයත්වය මුල්කොටගත් සත්තාව පිළිබඳ සංකල්පයෙන් මෙම බටහිර පාරභෞතික දාර්ශනික ඉතිහාසය විසංයෝජනය කෙරේ. මීළඟ කලාපයෙන් තාක්ෂණය පිළිබඳ සාකච්ඡාව ගෙන ඒමට බළාපොරොත්තු වෙමු.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

වනය පමනද සුන්දර? නැද්ද නගරය සුන්දර?

ලෝකයේ, ජීවිතයේ අර්ථය සොයා ගැනීමේ නැතහොත් ආමූල ආත්මීයභාවය ගොඩනඟා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින මිනිසාට නගරය විලෝපනයත්, විලෝපනයෙන් මිදීමේ අවකාශයත් එකමවර ඉදිරිපත් කරයි. විලෝපනය නගරයට ප්‍රවිෂ්ට වන්නා ගේ ආරම්භය මිස අවසාන කතාන්දරය නොවේ.

නගර අවකාශය ජනාධික ය, අපෞද්ගලික ය, එහෙයින් එහි වාසීන් විලෝපනයට ලක් කරන සුලුය, එහෙයින් නිරුපද්‍රිත දින චර්යාවක් අනුව කටයුතු කරන මෙන් මිනිසුන් බිය වද්දයි. මේ තත්ත්වය විසින් ඉල්ලා සිටින දෛනික චර්යාවේ රටා චර්යානුගත කිරීම (routinisation) ජීවිතය හීන කරන සුළුය.

නිර්නාමිකත්වය, විවිධත්වය සහ අන් අය හමුවීමට ඇති නිදහස පතා, කලෙක මිනිසුන් නගරයට ඇදී ඒමට පුරුදුව සිටියහ. නිර්නාමිකභාවය නිදහස කි. ජනාධික නාගරික ජනාවාසයක බොහෝ ජනයා එක්ව වසන විට ඇති වන සමාජීය විවිධත්වය සහ එය එහි වැසියනට ගෙන එන නිර්නාමිකත්වයත් නිසාම මිනිසුන්ට නව ජීවන අවස්ථාවලට මුහුණ පා තම අනන්‍යතාවය සම්පාදනය කර ගැනීමේ වටිනා අවකාශයක් සපයා දෙන හෙයින් එකම වර බලදායී ද වෙයි.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

“හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි”

මෙහි දී “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” යන මතයට පසු බිම්වන දාර්ශනික අදහස අප විමසා බැලිය යුතුය. ඉන් කියැවෙන්නේ මිනිසා තුළ ඇති, ප්‍රාථමික, ආක්‍රමණශීලී , සහජ ආශයන්, හොඳ යටපත් කර ගෙන සැණින් මතුවිය හැකි බවයි. මේ අනුව හොඳ, යහපත යනු මිනිසා තුළ ස්ථිරසාර පැවැත්මක් ඇති දෙයක් නොවේ. හොඳ යනු, නරක මර්දනය කිරීම යි. යහපත යනු, වගා කර ගැනීම තුළින් මිනිසා තුළ පැළපැදියම් වන යහපත් පුරුදු හා බැඳුණක් නොවේ. යහපත පිළිබඳ විනිශ්චයට මඟ පෙන්වන පුරුදු මත පදනම් වූ භාවිතාවක් නොවේ.
…………………….

මෙය මානවයා පිළිබඳ හොබ්සියානු න්‍යාය ගැන්වීමෙන් මතුව එන අදහසකි. හොබ්ස්ට අනුව මිනිසා, තම අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා, සීමිත සම්පත් වෙනුවෙන් අන් මිනිසුන් සමඟ එකිනෙනාට එරෙහිව කරන සටන විනාශයෙන් කෙළවර වීම වළක්වා ගැනීමට, මිනිසා විසින් රාජ්‍යය සාදා ගන්නා ලදී.

අප අපගේ සහජාශයන් විසින් මෙහෙයවනු ලබන්නේ නම්, අප සමාජීය වශයෙන් එකිනෙකාට වගකිව යුතු වන්නේ නැත. අපගේ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අප වගකිව යුතු නොවේ. ඒවා පිළිබඳ වගකීම අපගේ පාලනයෙන් තොර අපගේ සහජාශයන්ට පැවරෙන හෙයිනි. එතැන සමාජයේ තැන ගන්නේ හොබ්සියානු රාජ්‍යයයි. ‘බඹර වළල්ල’ පෙනී සිටින්නේ මෙම හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ද?

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා’ මංගල කලාපය

නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වූ වගයි! – ආදරයේ අංශු මාත්‍රයක් නොහොත් How I wonder what you are

1. ගම සහ නගරය ප්‍රතිපක්ෂයන් ලෙසින් දැකීම

අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර මුල් කොට ගෙන බිහිවූ නවරැල්ලේ සිංහල සිනමාව මූලිකවම ගම තුළ පොදුවේත්, මායිම් ගම්මාන තුළ සුවිශේෂයෙනුත්, යුද්ධය පිළිබඳ කතන්දරවලත් සිරකරුවකුව සිටියේ ය (බලන්න, කුමුදු කුසුම් කුමාර, “පශ්චාත් නූතන දෘෂ්ටියෙන් සම්ප්‍රදායික සිංහල ගම බැලීම” ලිපිය http://kathika.lk/old/ ප්‍රාරම්භක කලාපය). ඔවුන් ඇතැමෙකුගේ එම චිත්‍රපට ගම පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රවාදයන්ගෙන් ගම්‍ය කළ කරුණක් වූයේ අශිෂ්ඨ සිංහල ගම සහ උසස් නගරය පිළිබඳ බෙදුමයි, එනම් එලෙස හඳුනා ගත් සිංහල ගමට ප්‍රතිපක්ෂව නගරය සංස්කෘතියේ සහ ශිෂ්ටභාවයේ කේන්ද්‍රය වන බවයි.

දැන් චින්තන ධර්මදාස සහ උදය ධර්මවර්ධන අධ්‍යක්ෂණය කළ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ නොහොත් How I wonder what you are! චිත්‍රපටය නව රැල්ලේ සිංහල සිනමාව ගමෙන් නගරයට සංක්‍රමණය වීමත්, ලංකාව පශ්චාත්-යුද සමාජයකට පා තැබීමත් සටහන් කරයි.

මෙම චිත්‍රපටය අප සැබෑ ලෙසම නගරයට කැඳවා ගෙන යයි. නමුත්, ඔවුන් නගරය දකින්නේ පෙර කී මුල් කාලීන සිනමාකරුවන් නගරය පිළිබඳ ගම්‍ය කළ අදහසට ප්‍රතිපක්ෂව, ජනයා සමාජයෙන් ද තමන්ගෙන්ම ද දුරස්ථ කරන අවකාශයක් ලෙස ය. අව්‍යාජ මානව සබඳතා ගොඩනඟා ගන්නට අපොහොසත් නගරවාසී පිරිමින්ගේ ජීවිතවල අරුතක් හෝ සතුටක් හෝ නොමැත. චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය ‘ඩී’ නගරයේ මහා ජනකාය මැද හුදෙකලා වී සිටී. විදුලි එළියෙන් බබලන නගරය තුළ විදි කොනක අඳුරු, අපිරිසිදු අවකාශයක සිරවී ඔහු මන්දෝත්සාහීව අන්තරාවලෝකනයේ යෙදෙයි.

නගරය පිළිබඳ ‘ආදරයේ අංශු මාත්‍රයක්’ මෙම සංකල්පීකරණය, නූතනත්වයත් සමඟ නගරය පිළිබඳ මිනිසා ලැබූ අත්දැකීම් න්‍යාය ගැන්වූ සමාජීය න්‍යායේ එන නගරය හා සාදෘශ්‍යභාවයක් දක්වයි. ප්‍රකට සමාජීය න්‍යායධරයෙකු වන රිචර්ඩ් සෙනෙට් (Richard Sennett) නගරය පිළිබඳ රචනා කොට ඇති කෘතීන්වල මේ පිළිබඳ සවිස්තරව කරුණු ඉදිරිපත් කොට ඇත (උදාහරණයක් ලෙස බලන්න, The Uses of Disorder, Personal Identity and City life) (1). සෙනෙට් දක්වන පරිදි, විසිවැනි සියවස ආරම්භයේ දී ජර්මානු සමාජීය න්‍යායධරයෙකු වූ ෆර්ඩිනන්ඩ් ටොනීස් (Ferdinand Tonnies) ප්‍රජාව සහ සමූහය යනුවෙන් එකිනෙකින් වෙනස් සමාජ සංසිද්ධි දෙකක් පිළිබඳ සංකල්පීකරණයක් ඉදිරිපත් කළේය. ඒ අනුව, ජනයාට පූර්ණ මානවයන් ලෙස එකිනෙකා සමඟ භාවාත්මක බැඳීම් හැඟුණු ‘ප්‍රජා ජීවිතය’ වීය. ඊට වෙනස්ව, මිනිසුන් තමන් එක්ව ඉටු කළ විශේෂායනය වූ භාවාත්මකව උදාස වූ කාර්යයන් ඇසුරෙන් තම බැඳීම් දුටු ‘සමූහය’ වීය.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

නාට්‍ය හරියට දරුවො වගේ – ස්ටීවන් බර්කොෆ්

ස්ටීවන් බර්කොෆ්: ඔව්, මං වගේ කෙනෙකුට නාට්‍ය හරියට දරුවො වගේ. ඉතිං තමන්ගේ දරුවෝ ‍රැක ගන්න ඕන. ඕනම දරුවෙක් ඉන්න මවක්, කවුරු හරි තමන්ගේ දරුවට අතවරයක් කළොත් ඊට විරුද්ධව නැගී ඉන්නවා. හුඟාක් රචකයින්ට, හුඟාක් අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ නාට්‍ය දරුවෝ වගේ නෙවේ. ඒ අය එකක් කරනව, ‘ආ දැන් අනිත් එකට යමු’, ඒ අය එක දවසක් විතර යනව, බලලා, සටහන් කිහිපයක්, ඊට පස්සේ ඒ අය යනවා.

නළුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, නාට්‍ය රචකයෙක් වන ස්ටීවන් බර්කොෆ් (1937-) එංගලන්තයට සංක්‍රමණය වූ රුසියානු යුදෙව් ජාතික යුවළකගෙන් පැවත එන්නෙක් වන අතර ඔහු දැනට ලන්ඩන්වල පදිංචි වී සිටී. හැක්නිවල පාසල් කටයුතුවලින් පසුව, කලක් ඔහු භෝජනාගාරයක සේවකයෙකු වශයෙන් ද වෙළඳ සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. ඔහු ලන්ඩන්වල නළුවකු වශයෙන් පුහුණු වූ අතර පැරීසියේ ජක් ලෙ කොක් නම් අභිරූපණ කලාකරුවා යටතේ ද පුහුණු වූයේ ය. ඔහු 1968 දී ලන්ඩන් තියෙටර් කණ්ඩායම පිහිට වූ අතර ඔහු නිපදවූ කෆ්කාගේ ‘ද ට්‍රයල්’හි (1969) අනුවර්තනයත් සමඟ මහත් උද්වේගයකට හේතු විය. ඊස්ට් (East) (1975), ග්‍රීක් (Greek) (1979), ඩෙකඩන්ස් (Decadence) (1981) සහ වෙස්ට් (West) (1983) වැනි සිය ජනප්‍රිය නාට්‍ය නිෂ්පාදනවල ප්‍රධාන චරිතය රඟපාමින්, ඔහු උපාන්ත නෘත්‍යකලා ව්‍යාපාරයෙහි ප්‍රබල නිදහස් මතධාරියකු වශයෙන් කටයුතු කර ඇත. ඔහුගේ, ගෘහස්ථ මනඃකල්පිතයක් පිළිබඳ වූ, ‘වෙච්’ (Kvetch) 1991 දී හොඳම විකට නාට්‍යයට හිමි ඊව්නිං ස්ටෑන්ඩර්ඩ් සම්මානය දිනා ගත්තේය. ඔහුට මුළු හිතින් කරන වේදිකා වෘත්තියට අමතරව හොලිවුඩ්හි චිත්‍රපටවල දුෂ්ටයකුගේ චරිතය රඟපෑමේ සාරථකත්වයක් ද, ‘අයි ඈම් හැම්ලට්’ (I am Hamlet) (1989) සහ ඔහුගේ මතක සටහන් ‘‍ෆ්‍රී අසෝසියේශ්න්’ (Free Association) (1996) ආදිය ඇතුළත් ඵලදායී ලේඛන වෘත්තියක් ද තිබේ.

පහත පළවන්නේ ස්ටීවන් බර්කොෆ් සමග BBC Hard Talk වැඩ සටහන සඳහා සාරා මොන්ටගියු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඉතිරිය සඳහා බලන්න ‘කතිකා‘ මංගල කලාපය

කලාව පිළිබඳ සංස්ථානීය න්‍යාය සහ ශිෂ්ට පිලිස්තීනුවන්ගේ නව පන්තිය

විවාදාත්මක ව, කලාව පිළිබඳ සංස්ථානීය න්‍යාය, එහි සියලු විචල්‍යයන් තුළින්, ශිෂ්ට පිලිස්තීනුවන්ගේ නව පන්තියක් බිහි කර ඇත. පැරණි ගුරුන් පිළිබඳව උනන්දුවක් නොදක්වන, නිතර කලාගාරවලට යන මෙම සංකර වූ අහංකාර නව පරපුර, මෝරුන්ගේ මළකඳන්, අපිළිවෙළ ඇඳන් හෝ පාපැදි රෝද වැනි දේ දුටු විට ඒවා තමාට ‘වැටහෙන’ බව පිළිබඳ ව ආඩම්බර වෙති. ‘ඔවුන්ගේ ’ කලාව ඉඳුරාම මනසින් ඉපිද ඇති බවත්, උදාහරණ ලෙස, ටේට් හි වාර්ෂික “ටර්නර් ත්‍යාග”ලාභී ප්‍රදර්ශිත කෘති සඳහා උචිත ප්‍රතිචාරය වන්නේ වැටහෙන බව හඟවන මඳ සිනාවක් බවත් ඔවුන්ට උපදෙස් දී ඇත. ටේඩ් පර්ලි කෙටියෙන්දක්වා ඇති ආකාරයට, ඩුෂාම්ප්ගේ උරුමය හා සමකාලීන වන ප්‍රේක්ෂකයන් “වැඩී ඇත්තේ, මෙය සාමාන්‍ය දෙයක් වශයෙන් සලකමින් වන අතර මොවුන් කලාව යනු ඉක්මණින්, ක්ෂණික වහා සියල්ල එකවර, ග්‍රහණය කර ගත යුතු දෙයක් යැයි සිතනු ඇත”.

බලන්න ‘කතිකා‘ මංගල කලාපය kathika.lk

සංවර්ධන කතිකාව

754960749old

“සංවර්ධනය“ පිළිබඳ අදහස පශ්චාත්-යුද ලාංකේය සමාජයේ අධිපති භාවයට පත්ව තිබේ. සංවර්ධනයට බොහෝ දෙනා පක්ෂපාතීය. එය එක් එක් සමාජ කණ්ඩායම්වලට වෙනස් දේ ගම්‍ය කරයි. රට දියුණු කළ යුතු යැයි, රටේ දියුණුවට ජනතාව කැප කිරීම් කළ යුතු යැයි දේශපාලනඥයෝ කියති. පඩි වැඩි කරන ඉල්ලීම් පසෙක තැබීම සහ දේශපාලන නිදහස් සීමා කර ගැනීම මෙම කැපවීම් අතර ප්‍රධාන කොට ගැණෙයි. යටිතල පහසුකම් දියුණු කිරීම මූලිකවම සංවර්ධනය ලෙසින් සැලකෙයි. ආණ්ඩුව සහ පෞද්ගලික අංශය වරාය, ගුවන් තොටුපළ, ක්‍රීඩාංගණ, අධිවේගී මාර්ග, සංචාරක හෝටල් වැනි දැවැන්ත ව්‍යාපෘති ඉදි කරති. දළ ජාතික නිෂ්පාදනය ඉහළ මට්ටමක තබා ගැනීම සංවර්ධනය කෙරෙන බවට ප්‍රධාන දර්ශකය ලෙස ඉදිරිපත් කරයි, ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීම සංවර්ධනයේ ඉලක්කයක් ලෙස ගනිති, වෙනත් ආර්ථික දර්ශක ගෙන හැර දක්වති. ආර්ථික වර්ධනය ඇති වුවහොත් රට සංවර්ධනය වනු ඇතැයි ද, ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ යනු ඇතැයි ද කියති. ඉන් සාමාන්‍ය ජනයාට එක් අතකින් අදහස් කෙරෙන්නේ තම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට පිහිට වන විදුලි බලය, ජල සැපයුම, මං මාවත් වැනි යටිතල පහසුකම් සහ රැකියා යනාදි මූලික අවශ්‍යතා ලබා ගැනීම හෝ වැඩි දියුණු කරගැනීමයි. මැද පංතිකයාට එය තම ආදායම් වැඩි කර ගැනීමේ, ධනය රැස් කර ගැනීමේ සහ වැඩි වැඩියෙන් සුඛොපභෝගී පාරිභෝජනයෙහි නිරත වීමේ මඟ යි. නමුත් සංවර්ධනයෙන් විපතට පත් වන්නෝ ද සිටිති. විතැන් කිරීම, හිමි සම්පත් අහිමි කිරීම, දේපළ භුක්තිය අහිමි කිරීම, ජීවනෝපායන් අහිමි කිරීම, ප්‍රජාවන් කැඩී බිඳී විසිරී යාම යනාදිය හේතුවෙන් සංවර්ධනයෙන් තව දුරටත් ආන්තිකකරණයට ලක් වන පිරිසක් ද වෙති. ඔවුහු මූලිකවම නාගරික , ග්‍රාමීය ගොවි සහ මුහුදුබඩ ධීවර යන ප්‍රජාවන්ට අයත් දිළින්දෝ වෙති. විවේචකයෝ වත්මන් සංවර්ධන එළඹුම ‘අත පල්ලෙන් හැලෙන‘ සංවර්ධනය ලෙස හඳුන්වති. සංවර්ධනය සඳහා ආණ්ඩුව අධික ලෙස විදේශ ණය ගැනීමෙන් රටත් අනාගත පරපුරත් උග්‍ර ණයගැති භාවයට ඇද දමා ඇතැයි පෙන්වා දෙති. තව ද සංවර්ධනය පරිසරයට බරපතල හානි පමුණුවන බව පෙන්වා දෙති.

ඉතින් මෙලෙස සමාජයේ විවිධ කණ්ඩායම්වලට විවිධ අරුත් ගන්වන සංවර්ධනය යන්න අප වටහා ගන්නේ කෙසේද? සංවර්ධනය යනු කුමක් ද? ඒ පිළිබඳ ලොව ඇති න්‍යායික සාකච්ඡාවෙන් අපට ලැබෙන පිටිවහල කුමක් ද?

සමාජ න්‍යාය විශේෂාංගය යටතේ පළවන ‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම” ලිපිය සමාජයේ විවිධ කණ්ඩායම්වලට විවිධ අරුත් ගන්වන “සංවර්ධනය” යන්න අප වටහා ගන්නේ කෙසේද? යන ප්‍රශ්නය ආමන්ත්‍රණය කරමින් සංවර්ධනය පිළිබඳ ජගත් කතිකාවට අදාළ සාහිත්‍යය ඇසුරෙන් ඊට පිළිතුරක් සම්පාදනය කිරීම අරමුණු කර ගත්තකි. සංවර්ධන කතිකාව යටතේ එන ප්‍රධාන තේමා හඳුනා ගැනීමටත් සංවර්ධනය යනු කුමක් ද? ඒ පිළිබඳ ලොව ඇති න්‍යායික සාකච්ඡාවෙන් අපට ලැබෙන පිටිවහල කුමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට යොමුවෙයි. මෙහිදී වුල්ෆැන්ග් සැක්ස් ඉදිරිපත් කරන පශ්චාත් සංවර්ධන එළඹුමත් අෂිස් නන්දි ‘දුප්පත්කම නූතන සංස්කරණයකි, දුගී භාවය නූතනත්වයේ නිෂ්පාදනයකි’ යනුවෙන් ඉදිරිපත් කරන අදහසුත් හනා ආරන්ඩ්ට් ගේ න්‍යාය ගැන්වීම් ඇසුරෙන් ‘සංවර්ධනය දේශපාලනය විතැන් කරයි’ යන අදහසත් ඉදිරිපත් කෙරෙයි.

ඉතිරිය සඳහා මෙහි බලන්න කතිකා මංගල කලාපය

සත්‍යය ගවේෂණයේ ලා කාව්‍යයේ දායකත්වය – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් (1900-2002) දාර්ශනික අර්ථකතනවේදයේ පුරෝගාමියාය. විවාදපාත්‍ර ජර්මන් දාර්ශනික මාර්ටීන් හෛඩගර්ගේ ශිෂ්‍යයෙකු මෙන්ම සමීපතමයෙකු වූ ඔහු හෛඩගර් නාගරීකරණය කළ පුද්ගලයා වශයෙන් වරක් යුගර්න් හබර්මාස් පැවසීය.“සත්‍යය සහ ක්‍රමය” වශයෙන් පළවු ඔහුගේ විශිෂ්ට කෘතිය සත්‍යය ගවේෂණයේ ලා නුතන විද්‍යාත්මක ක්‍රමය සතු වු අනගිභවනීය කියපෑම අභියෝගයට ලක් කලේය. එමෙන්ම කලාව පිළිබඳ ඔහුගේ අවලෝකනය සෞන්දර්ය සවිඥානිකත්වය පිළිබඳ කාන්ටියානු අදහස විවේචනය කල අතර කලා කෘතියේ ලෝකයට ප්‍රවිශ්ට වන්නාගේ ස්වයං අවබෝධය වර්ධනය වන ආකාරයත් ඔහුගේ ලෝකය පරිවර්තනයට ලක් වීමත් හඳුනා ගත්තේය. මෙම රචනාවේදී සත්‍යය උදෙසා කාව්‍යයේ කියාපෑම යුක්තියුක්තකරණය පිළිබඳ ගැටලුවට එළඹෙන ඔහු කාව්‍යයේදී සත්‍යය කතා කිරීම යනු කාව්‍යමය වචනය කවර හෝ බාහිර වැරදි සෙවීම් ප්‍රතික්ෂේප කරමින් ඉෂ්ට ප්‍රාප්තිය දකින ආකාරය බව දක්වයි.

මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය, සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින් – චමත්කා දේවසිරි

බටහිර සම්භාව්‍ය සංගීතය සහ එහි ඉතිහාසය, සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි ගේ කෘති ඇසුරින් – චමත්කා දේවසිරි

“බටහිර සංගීතය යනු න්‍යායික පදනමක් මත ගොඩනැගුණ සූක්ෂ්ම කලාවකි. එය අපරදිග සභ්‍යත්වයේ කිසිසේත් අමතක කළ නොහැකි විශිෂ්ට අංගයකි.” – සත්‍යජිත් අන්ද්‍රාදි

බටහිර සම්භාව්‍ය සංගීතයට අප බොහෝ දෙන ඇලුම් කළ ද ඉහත උද්ධෘතයෙන් ඇඟවෙන එහි න්‍යායික ගොඩනැංම පිළිබඳව සිංහලෙන් ලියැවී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. සංගීතය සම්බන්ධ සාහිත්‍යයේ මෙම අඩුව පිරීමට සත්‍යජිත් අන්ද්‍රාදිගේ දායකත්වය මහෝපකාරී වී ඇත. සත්‍යජිත් විජේරත්න අන්ද්‍රාදි බටහිර සංගීතය පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවී ඇති කෘති අධ්‍යනය කරමින් බටහිර සංගීතයේ ගැඹුරු සංකල්ප සහ සුවිශේෂී අංග පිළිබඳව සිංහලෙන් කියවන පාඨකයන්ගේ අවබෝධය පිණිස සරල බසින් ලියා පළ කර සිදු කළ මෙහෙය අනර්ඝය. බටහිර සංගීතයේ මූලික අංග සහ එහි වර්ධනයේ ඉතිහාසය පිළිබඳ ලියැවී ඇති ඔහුගේ ‘බටහිර සංගීතය’ නැමැති කෘතිය 1977 ප්‍රථම වරට පළ කෙරුණු අතර 1994 දී දෙවන වරටත් මුද්‍රණය කරන ලදී. බටහිර සංගීතඥයින් සහ ඔවුන්ගේ වැදගත් සංගීත නිර්මාණ පිළිබඳව විස්තර අන්තර්ගත ‘අපරදිග සම්භාව්‍ය සංගීතය හා සංගීතඥයෝ’ නැමැති කෘතිය 1978 පළ වූ අතර එහි සංශෝධිත සංස්කරණය 1989 දී පළ කෙරිණ. 1996 දී පළ වූ ‘බේ‍තෝවන්: සංගීතය, සංගීතඥයා හා සමාජය’ නැමැති කෘතියේ විශිෂ්ට ජර්මන් සංගීතඥ බේ‍තෝවන්ගේ සංගීතය පිළිබඳ විග්‍රහයක් ඇතුළත් වේ. සත්‍යජිත් අන්ද්‍රාදි සිය කෘතිවල හුදෙක් බටහිර සංගීතඥයින් සහ ඔවුන්ගේ නිර්මාණ ගැන විස්තරයකට පමණක් සීමා නොවී ඊට සමාන්තරව දිවෙන පරිදි බටහිර සංගීතයේ වර්ධනයට සහ බටහිර සංගීතඥයින්ගේ සංගීත නිර්මාණවලට බලපෑම් ඇති කළ ඒ ඒ වකවානුවල පැවති සමාජයීය, දේශපාලනික සහ ආර්ථික ප්‍රවාහයන් පිළිබඳව විග්‍රහයක් ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙම කෙටි ඉදිරිපත් කිරීම සත්‍යජිත් අන්ද්‍රාදි ලියූ බටහිර සංගීතය (1994) සහ අපරදිග සම්භාව්‍ය සංගීතය හා සංගීතඥයෝ (1989) යන කෘතිවල අන්තර්ගත තොරතුරු අනුසාරයෙනි.

බලන්න ‘කතිකා‘ මංගල කලාපය