මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය
ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී

vasthu1918 වර්ෂයේ මහනුවර උපත ලද මිනෙත් ද සිල්වා ලංකාවේ ප්‍රථම වාස්‌තු විද්‍යාඥවරිය වීමේ ගෞරවය ළඟා කර ගත්තා පමණක්‌ නොව එංගලන්තයේ එම අංශයෙන් සුදුසුකම් ලද ප්‍රථම ආසියාතික කාන්තාවද විය. මිනෙත් විසින් 20 වන සියවසේ මැද භාගයේ අරඹන්නට යෙදුනු කාන්තාවන් අතර එතරම්ම ප්‍රකට නොවූ වෘත්තියක හිණිපෙත්තට පැමිණීමේ ගමන බාධක කම්කටොලුවලින් ගහණ වූවක්‌ විය.

ප්‍රභූ (elite) සමාජ පසුබිමකට උපතින්ම උරුමකම් කී මිනෙත් තම පියා වූ සුප්‍රකට දේශපාලඥ ජෝර්ජ් ද සිල්වා ගේ නිදහස්‌ අරගලය සඳහා වූ උනන්දුව මෙන්ම මව වූ ඇග්නස්‌ නෙල්ගේ කාන්තා විමුක්‌ති අභිලාශයන් කුඩාකල සිටම උකහා ගත්තාය. ඇයගේ මාමා කෙනෙකු වූ H.E ලෝරෙන්ටිස්‌ ද මෙවැනිම විප්ලවකාරී අදහස්‌වලින් ඇය සන්නද්ධ කිරීමට ඉවහල් විය. තම සිංහල බෞද්ධ පියාගේ සහ බර්ගර් ජාතික මවගේ සම්ප්‍රදායන් ඉක්‌මවා යැමේ ගුණාංග (මිශ්‍ර ජාතීන් අතර විවාහ විරල වූ වකවානුවක පරස්‌පර වූ පසුබිම් දෙකකින් පැමිණි මොවුන් දෙදෙනා අතර සිදු වූ විවාහයම මීට කදිම උදාහරණයකි) මිනෙත් හටද නිබඳව ලැබීම පුදුමයට කරුණක්‌ නොවේ.

කුඩා කල මහනුවර කන්‍යාරාමය, කොළඹ බිෂොප් විද්‍යාලය වැනි ක්‍රිස්‌තියානි ආගමික කාන්තා පාඨශාලාවන් හි මෙන්ම එංගලන්තයේද එම ගණයේම පාසල්වල මූලික අධ්‍යාපනය ලබන මිනෙත්, පාසල් අධ්‍යාපනය අඩ වශයෙන් නිමාකොට 1930 ගණන්වල ලංකාවට පැමිණෙයි. ඇය තම ජීවිත කතාවේ හෙළි කරන පරිදි, මෙම හදිසි පැමිණීම එම දශකයේ සිදු වූ ලෝක ආර්ථික අර්බුදය (world economic crises) හරහා තම පියා විසින් මුහුණ පෑමට සිදුවූ හදිසි ආර්ථික අවපාතනය සහ තම මවගේ අසනීප තත්ත්වය මත මෙහෙයවුනු බවයි. පාසල් ගමන මෙලෙස අඩාල වුවද පවුලේ හිතවතුන් වුන නුවර ධර්මරාජ වැනි විද්‍යාලයන්ට සේවය සැපයූ අධ්‍යාපනඥයන් අතින් පෞද්ගලිකව උපදේශනය ලබාගන්නා මිනෙත්, ඊටඅමතරව කලාව, සාහිත්‍යය, දේශපාලනය වැනි සන්දර්භයන් ගැන පෞද්ගලිකව සිදුකල කියවීම් මගින් දැනුම ලබාගනියි.

තම මාපියන්ගේ ක්‍රියාකාරී දේශපාලන වැඩකටයුතු ඔස්‌සේ මහනුවර ප්‍රදේශය පුරාවට චාරිකාවන්හි යෙදෙන මිනෙත්, ඒ ඔස්‌සේ එම ප්‍රදේශවල ජනජීවිතය කලාවන් සහ, පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය ගැනද දැනුවත් වෙයි. එම වකවානුවේ ආනන්ද කුමාරස්‌වාමි වැනි විද්වතුන්ගේ මෙහෙයවීම යටතේ දේශීය කලා සම්ප්‍රදායන් ගැන ඇති වූ සම්ප්‍රජානනය (awareness) මගින් පෝෂණය වූ නව රැල්ලේ කලාකරුවන් වූ සුප්‍රකට ජෝර්ඡ් කීට්‌ සහ (George Keyt) ලයනල් වෙන්ට්‌ඩ් (Lionel Wendt) වැනි තම පවුලට හිතවත් වූ බර්ගර් පසුබිමකින් පැමිණි (inner circle) පුද්ගලයන් සමග එක්‌ව කලා ප්‍රදර්ශන, දේශීය තේමාවන්වලින් නිර්මාණය වූ නාට්‍ය වැනි දෑ මගින් එහි ප්‍රගමණය වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ ඇය අතින් සිදු විය.

මෙම දේශීය කලා පුනරුදය ඊට අඩසියවසකට පමණ පෙර එංගලන්තයේ විසූ විලියම් මොරිස්‌ (Williom Morris) සහ පිලිප් වෙබ් (Phillip Webb) වැනි චරිතයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ පුනරුදයේම (Artts & Crafts Movement) ඉදිරිගමනක්‌ වීම විශේෂිතය. 19 වන ශතවර්ෂයේ අගභාගය වන විට අධික කාර්මීකරණයට ලක්‌ව තිබූ එංගලන්තය තුළ, යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නිර්මිත මහා පරිමාණ නිෂ්පාදන (එදිනෙදා භාවිතයට ගන්නා උපකරණ සහ අමුද්‍රව්‍යවල සිට වාස්‌තු විද්‍යාත්මක ප්‍රතිඛණ්‌ඩයන් දක්‌වාම) වල වූ කෘත්‍රිම බව (මානව හස්‌තයේ ආදානයක්‌ නොමැතිවම – (මොරිස්‌ විසින් මේවා හඳුන්වා දුන්නේ “shoddy & ugly” ලෙසය) හෙලා දකිමින්, පාරම්පරිකව ශිල්පීන්ගේ ශ්‍රමයෙන් නිපදවූ දෑහි භාවිතය යළිත් ප්‍රචලිත කරවීම මෙම ව්‍යාපාරයේ අරමුණ විය. මෙම කෝණයෙන් බැලූ විට කුමාරස්‌වාමි ලංකාව තුළ ප්‍රචලිත කලේ මෛම ව්‍යාපාරයම බවට තර්ක කළ හැක. මෙම ක්‍රියාවලියට ලොව යම් දැනුම් පද්ධති සහ මතවාද බටහිර මධ්‍යයේ (core) සිට බාහිර වපසරිය (pheriphery) දක්‌වා ව්‍යාප්ත වීම සංකේතවත් කරයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරයේ දේශීය ප්‍රගමණය මොනවට සංකේතවත් කළ 1943 කණ්‌ඩායමේ ඉහත සඳහන් කළ ප්‍රභූ පිරිස්‌ සමග වූ ක්‍රියාකාරීත්වය ඔස්‌සේ දේශීය දෑ අගය කිරීමට මෙන්ම, කලාව සමග මනා සම්බන්ධතාවයක්‌ පෙන්නුම් කරන වාස්‌තු විද්‍යාව වැනි විෂයකට ඇලුම් කිරීමට තරුණ මිනෙත් ප්‍රවේශ වන්නට ඇත. Continue reading

Advertisements

ගෝලීයකරණයේ දේශපාලනය – ලින් ඔකර්ස්

“ගෝලීය ධනවාදයේ සංස්කෘතික මතවාදීමය ව්‍යාපෘතිය වන්නේ තම ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයන්ට වඩා වැඩිපුර පරිභෝජනය කිරීම සඳහා මිනිසුන් පෙළඹවීමයි; මෙය කිරීමේ අරමුණ වන්නේ ලාභය සඳහා ධනය රැස් කිරීම පවත්වා ගෙන යෑමයි, වෙනත් වචනවලින් කියතොත්, මෙම ගෝලීය පද්ධතිය සදහටම පවත්වා ගැනීම සහතික කිරීමයි. පරිභෝජනවාදයේ සංස්කෘතික-මතවාදය ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ ජීවිතයේ අරුත සොයාගත හැක්කේ අප සතු දේවල් තුලය යන්නයි.”

ඉතිරිය සඳහා  මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

ස්ව-සවිඥානිකත්වයේ ස්වාධීනත්වය සහ පරාධීනත්වය – ජෝර්ජ් විල්හෙල්ම් ප්‍රෙඩ්රික් හේගල්

ගැඩමර් පෙන්වා දෙන ආකාරයට කාල් මාක්ස් හුදෙක් වහලා-ස්වාමියා ද්වන්ධාත්මකය වැරදියට වටහාගෙන අනිසි භාවිතයේ යොදවනවා නොව ඔහු එය සහමුලින්ම වෙනස් සන්දර්භයක යෙදීමකි. වහලා ස්වාමියා බවට පත්වන බව හේගල් නොපවසන අතර ඔහු පවසන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි.මන්ද යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ වැඩ කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. එම නිසා විප්ලවය සහ කම්කරු වැඩ වර්ජන පිළිබඳ සංකල්පවලින් යුක්තවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත කම්කරුවාගේ උසස් බව පිළිබඳ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක් බව ගැඩමර් පෙන්වා දෙයි. තවද,හේගල් ඔහුගේ ද්වන්ධාත්මකය තුළ විස්තර කරන්නේ වැටුප් ශ්‍රමිකයා ගැන නොව ප්‍රධාන වශයෙන් වහල්භාවයේ සිටින ගොවියා සහ අත්වැඩ කරුවා පිළිබඳවය. සැබැවින්ම ස්ව ස්විඥානිකත්වය සම්බන්ධයෙන් ගත්කළ වැඩ කිරීමේ තථ්‍ය අරමුණ ඉෂ්ට ප්‍රාප්ත වන්නේ පරාරෝපණය නොවු වැඩ ලෝකයකය.

………………………………………………..

හේගල්ගේ මෙම උපමා කථාව අනන්‍යතාවය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් වී ඇත. අහංභාවය තමා ගැන සවිඥානික වන්නේ අනෙකෙකු සිටීම මඟින් සහ අනෙකෙකු මඟින් තමා හඳුනා ගැනීමෙන් යන්න මෙහිදී මතු කෙරේ. අනන්‍යතාවය පිළිබඳ අති සරල කියවීමකින් ඔබ්බට යමින් රෝයි ටර්නර් කැනේඩියානු අනන්‍යතාවය සම්බන්ධයෙන් මතු කරන්නේ කැනේඩියානු වීම අනෙක් අය තේරුම් ගන්නේ කෙසේද, එනම්, ඇමෙරිකානු හෝ යුරෝපීය වීමට ප්‍රතිපක්ෂව කැනේඩියානු වීමේ කීර්තිය ඇසුරෙන් බවත් අප කවුද? සහ අප කවරෙක්ද? යන්න අප දැනගන්නේ වෙනස්, වෙනස් අනන්‍යතාවන්ගෙන් යුතු අනෙක් අය සමඟ වෙනස්කොට දැකීම (අනන්‍යතාවය පිළිබඳ සොසිරියානු සංකල්පන ආකාරයක්) තුළින් බවත්, මෙහිදී අප කවුරුන්ද යන්න අනෙකුත් අය විසින් පරිභෝජනය කරනු ලබන අතර ඔවුන් පරිභෝජනය කරන්නේ යැයි වටහා ගනු ලැබූ දෙය බවට පත්වීමට අපි ආශා කරන බවත්, මෙම තත්වය තුළ නිවහනේ සිටින විට තමා කවුදැයි සොයාගැනීමට පිටරට යෑම අවශ්‍ය කෙරන බවත්, මීට වෙනස්ව අනන්‍යතාව සංකේතයක් නොව සම්පතක් ලෙසින් කෙනෙකුට සිතීමට හැකි මාර්ගයක් වෙත ආමන්ත්‍රණය කරන්නේ නම් අනන්‍යතාවයක් එවිට තමා පෝෂණය කරනු ඇති බවත් ය. එබැවින් වහලා සහ ස්වාමියා පිළිබඳ හේගල්ගේ මෙම රචනාව පරිවර්තනය කර ඉදිරිපත් කරන්නේ ඒකමානීය සහ ඒක පාර්ශවීය කියවීම්වලින් ඔබ්බට යාමේ අවස්ථාව පාඨකයන්ට ලබා දීමටය.

මුලු ලිපිය මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

චිත්‍ර කලාව

“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.”

“ගොගෑන්ට වඩා මට බලපෑවේ ගැමි ජිවිතය හා පරිසරයයි”- ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහ
මනුබන්දු විද්‍යාපති

සීවලී ඉලංගසිංහ
සීවලී ඉලංගසිංහ
ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ ‘රූපාවලී’ සිතුවම් ප්‍රදර්ශනය මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා අධ්‍යානාංශයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගා‍රයේදී පැවැත්වේ. මෙම කෙටි සටහන ඔහුගේ චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ අගැයුමකි.

සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන යථාලෝකයෙහි හමුවන ලොවක් නො වේ. එහි දී අපට හමුවන මිනිස් රූප ද, ගස් වැල් ඇතුඑ සොබා දහම් වස්තූන් ද දෘශ්‍යමානය ඇසුරෙන් පරිකල්පනය කරන ලද යම් අර්ධ ශෛලිගත තත්ත්වයකට නැංවූ ඒවා ය. ඔහුට ම ආවේණික දිගටි මිනිස් රූපයක් සමඟ, එය මූලික කොට ඔහු ගේ චිත්‍ර සංරචනය වී තිබේ. දීප්තිමත් ප්‍රතිවිරුද්ධ වර්ණ මෙන් ම ඇතැම් විට පොළෝතල වර්ණ තානයන් ද යොදා ගන්නා ආකාරය මඟින් සීවලී තවදුරටත්, ස්වාභාවිකත්වය සමඟ ඇති රූපික සම්බන්ධයෙන් ඈත්වෙමින් වඩා කාල්පනික රූපයක් වෙත සමීප වේ. බොහෝදුරට රේඛාව භාවිතයෙන් ඈත් වූ මේ චිත්‍රවල පර්යාලෝකය ද ස්වභාවිකත්වයෙන් බොහෝ ඈත පිහිට යි.

සෑම භූමි දර්ශනයක ම වාගේ පෙරබිම යම් අතුරිකිල්ලක, වැලක, කොළයක අපැහැදිලි රූපයකින් වැසී ඇති අතර, චිත්‍රයේ ප්‍රධාන වස්තුව පෙනෙන්නේ ඒ අතරිනි. මේ සියලු ශිල්පීය හා දෘශ්‍ය උපක්‍රම සමඟ ඔහු කැන්වසය මත ප්‍රතිනිර්මාණය කරන ලොව, සමීප වන්නේ බොහෝදුර ඈත ඉතිහාසයක පැවැති ප්‍රාථමික ගමක පරිසරයකට ය. එය කිසිසේත් යටත්විජිත යුගයෙන් පසුව ලංකාවේ අපට හමුවූ වික්ටෝරියා සදාචාරය අනුව නැවත සකස් වූ ගම නො වේ. සොබාදහම සමඟ මූලික සම්බන්ධයක් ඇති සරල අවශ්‍යතා සහිත, ජනයාගෙන් ගහණ ගමකි එය, දැඩි හිරු රැස් ද, අඳුරු වනලැහැබ් ද, නාග දරණ වැල් ද, දැවැන්ත නුග ගස ද, සතුන් ද, අවිහිංසක ගැමි ගැහැනු හා මිනිසුන් ද මෙන්ම රාගය, ශෘංගාරය, නිරුවත, ගැමි ඇදහිලි, ස්වාමීන් වහන්සේ, මෙහෙණිය, ගණදෙවියන් හා දරු සෙනෙහස ද රිසි සේ එකට මුසු වූ කාල්පනික ප්‍රාථමික ලෝකයකි. එය සීවලී ගේ අතීතකාමී පරිකල්පනය මෙන් ම රසිකයා ගේ පරිකල්පනය ද දල්වන්නක් බව පෙනී යයි.dsc499

කැන්වසයක් හෝ බිත්තියක් නැතහොත් වෙනත් පෘෂ්ටයක් මත, වර්ණ හා හැඩතල මඟින් සෞන්දර්යාත්මක අත්දැකීමක් මවන සිත්තරා ප්‍රතිනිර්මාණය කරන්නේ තමා අත්විඳි පරිසරයෙන් උකහා ගත් වින්දන අත්දැකීමකි. විවිධ සමාජ සංස්කෘතික පරිසරයන්හි හැදී වැඩුණු සිත්තරුන් ගේ නිර්මාණ රිද්මය, ඒ ඒ පරිසරය අනුව වෙනස් ස්වරූප ගනී. නිසංසල ගැමි පරිසරයක වැඩුණු සිත්තරා ගේ සිතුවම් රිද්මය, එවැනි සුගම ලෙස ගලා යන රිද්මයක. ඝෝෂාකාරී, කලබලකාරී, අධිවේගී නාගරික පරිසරයක හැදී වැඩුණු කලාකරුවා ගේ රිද්මය වේගවත් රිද්මයක් විය හැකිය. මේ තත්ත්වය මීට වඩා සංකීර්ණ විපර්යාසයකට බඳුන් වෙමින්, නිසංසල පරිසරයෙන් මතුවන සිත්තරා ගේ රිද්මය ඇතැම් විට වේගවත් හා ප්‍රචණ්ඩ වන්නා සේ ම, කලබලකාරී නාගරික පරිසරයේ දිවි ගෙවූ සිත්තරා සංයත සුගම රිද්මයක් පළ කිරීම ද ඇතැම්විට දැක්ක හැකි ය. දෘෂ්‍ය කලා කෘතියක් මගින් පළ කැරෙන රිද්මය හා ශෛලිය, එවැනි සංකීර්ණ රූපවිපර්යාසයකින් පසු ව එළිදකින තත්ත්වයකි. කෙසේ වෙතත් ඒ ඒ චිත්‍ර ශිල්පියා හැදී වැඩුණු පරිසරය ඔහු ගේ දෘශ්‍ය රිද්මය හා ශෛලීය කෙරෙහි ප්‍රබල බලපෑමක් කරයි. ඕනෑ ම කලාකරුවකු ගේ පසුකාලීන නිර්මාණවල විෂය, තේමාවන් හෝ දිශාව තීරණය වීම කෙරෙහි එහි පැහැදිලි බලපෑමක් පෙන්වයි. Continue reading චිත්‍ර කලාව

දේශපාලනය – ඇරිස්ටෝටල්

දැන්, මිනිසා, මී මැස්සන් හෝ වෙනත් කවර හෝ, රංචු වශයෙන් ජීවත් වන සතකුට වඩා දේශපාලන සතකු බව පැහැදිලි ය. අප බොහෝවිට කියන පරිදි, සොබා දහම කිසිවක් නිකරුණේ නිමවන්නේ නැත. කතා කිරීමේ වරය ඇති එකම සතා මිනිසා ය. හුදු කට හඬ සුවයේ හෝ වේදනාවේ ලකුණක් පමණක් වන අතර, එබැවින් අන් සතුන් වෙත ඇති නමුත් (ඔවුන්ගේ ස්වභාවය සුවය හා වේදනාව දැන ගැන්මට හා ඒවා එකිනෙකාට දැන්වීමට හැකියාව දරන නමුත් ඉන් ඔබ්බට නොයන බැවිනි.) කතා කිරීමේ බලය අරමුණු කරනුයේ උචිත අනුචිත දේ වෙන් කර දැක්වීමට හා එබැවින් එමෙන්ම යුක්තිය හා අයුක්තිය වෙන් කර දැක්වීමට ය. හොඳ සහ නරක, හෝ යුක්තිය හෝ අයුක්තිය හෝ එවැනි දේ පිළිබඳ කවර හෝ හැඟීමක් ඇත්තේ මිනිසාට පමණක් වීම මිනිසාගේ විශේෂ ලක්ෂණයකි. මෙම හැඟීම ඇති සජීවී සතුන්ගේ සංගමය පවුලක් සහ රාජ්‍යයක් නිර්මාණය කරන්නේ ය.

…………………………………………

ඇරිස්ටෝටල් (ක්‍රි.පූ.384-322) ඔහුගේ ප්‍රයෝගික දර්ශනය සම්බන්ධයෙන් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ඔහු ලියන ලද “ආචාර ධර්මය” සහ “දේශපාලනය” යන කෘති දෙක නිසාය. මෙම කෘති දෙක එකිනෙකට සම්බන්ධ අතර අපගේ ප්‍රාරම්භක කලාපයේ “ආචාර ධර්මයේ” දෙවැනි පොත පළ කරන ලද අතර මෙම කලාපයේ “දේශපාලනයේ” පළමු පොත සම්පූර්ණයෙන්මත් දෙවැනි පොතෙහි අංක 1 සිට 4 දක්වා කොටසුත් පළ කරන්නෙමු.

“ආචාර ධර්මය” කෘතියේ පුද්ගල සතුටේ සහ යහ පැවැත්මේ ස්වභාවය පිළිබඳ සාකච්ඡා කරන ඇරිස්ටෝටල් “දේශපාලනය” කෘතියේ රාජ්‍යය යන්න පුද්ගලයා සතුට අත්කර ගන්නා ප්‍රධාන මාධ්‍යයක් ලෙස දක්වයි. සතුටේ අවසාන අරමුණ පරිපූර්ණව සාක්ෂාත් කරගත හැකි පරමාදර්ශීය රාජ්‍යයක ස්වභාවය පැහැදිළි කිරීමේදී සහ පවත්නා රාජ්‍යය තනි පුරවැසියන්ට වඩා ප්‍රයෝජනවත් කිරීමේ යම් යම් ක්‍රම යෝජනා කිරීමේදී ඔහු මෙම කෘතියේදී ප්‍රායෝගික මෙන්ම මානසවිචාරී ද වේ. හාන්ස් ජොර්ජ් ගැඩමර් පෙන්වා දෙන පරිදි මෙම දේශපාලන නිබන්ධයේ සැළකිල්ල ඇත්තේ නීති සම්පාදනය කෙරේය. ඔහුට අනුව නීති සම්පාදන කලාව සංයුක්ත තත්ත්වයන් හා ගැටෙන යමක් වන දේශපාලන හා අධිකරණ තීරණ ගැනීමේදී සිදුවන කවර හෝ දේ වලින් සහමුලින්ම වෙනස් වේ. ඇරිස්ටෝටල් “ආචාර ධර්මය” කෘතියේදී නීති සම්පාදන කලාව දේශපාලන විචාරය යොදන අනෙකුත් දේ වලින් සවිස්තරව වෙසෙසි කොට දකින බව ගැඩමර් පෙන්වා දෙයි.

මේ සම්බන්දයෙන් හනා අරෙන්ඩ්ට් පෙන්වා දෙන්නේ පුරවරයක් නිර්මාණය කිරීම නීතියෙහි දැනුම ඇති කවරෙකුට හෝ කළ හැකි වුවත් පුරවරය ආණ්ඩු කිරීම කළ හැක්කේ පුරවැසියන්ට පමණක් බවයි. ග්‍රීකයන් ගැන ඇය පවසන්නේ ඔවුනට නීති යනු පුරය වටා ඇති පවුරු මෙන් ක්‍රියාවේ ප්‍රතිඵල නොව සැදීමේ නිපැයුම් බවයි. මිනිසා ක්‍රියා කිරීමට පෙර නිශ්චිත අවකාශයෙක් අත්කර ගෙන ක්‍රියා හට ගත හැකි ව්‍යුහයක් ගොඩනැගිය යුතුය. මෙම අවකාශය පුරවරයේ මහජන පරිමණ්ඩලයයි.

මෙම සම්භාව්‍ය මූලකෘති වෙත නැවත ගමන් කිරීමෙන් සමකාලීන ලෝකයේ අප අත් විඳින ගැටළු වලට ආලෝකයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.

ලිපිට සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්

චන්දන ජයවීර

“….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

michel-franendu

පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට අදහස් කරන බැවින් මෙහිදී ඒ ගැන නොලියමි.

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන මෙම සාකච්ඡා සභාවේදී ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූ අදහස් අවධානයට ලක් විය යුතු දිසාවක් පෙන්වයි.

ඔහු කියා සිටියේ මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි වියතුන් සේවය කළ පේරාදෙණිය සරසවියේ සිංහල අංශය, ඔවුන්ගේ අභාවයෙන් පසු පිරිහී ගිය බවයි. එකල පැවැති ශාස්ත්‍රීය ප්‍රබෝධය ඉන් පසු යලි කිසි දිනෙක ඇති නොවූ බව ආචාර්ය මයිකල් පැවසූවේ හැඟුම් බරවයි. ඔහු මෙම යුගය හැදින්වූවේ ‘පරිහානි සමය’ යනුවෙන්. තමන්ද අදාළ අංශයේ ආචාර්යවරයෙක් වශයෙන් (වසර 30කට ආසන්න කාලයක්) සේවය කළ බව ඔහු නොවලහා කිව්වා.

මේ යුගයේ බුද්ධි පරිහානියේ ස්වරූපය පෙන්වා දෙන්න, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු සිය අත්දැකීමක් ගෙනහැර පෑවා. ඊට අනුව ඔහු 1970 වසරේදී, නාට්‍ය හා රංග කලාව විෂයට ආචාර්ය උපාධියක් ලබා ගෙන දශක හතරක් ගතවන තෙක් මෙම අංශයේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක් එම විෂය ක්ෂේත්‍රය සඳහා එවැනි සාමාර්ථයක් ලබා ගෙන නැහැ.

ඔහු එහිදි මෙසේද සඳහන් කළා. “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.”

“අධ්‍යාපනය, භාෂාව, කලාව දියුණු කිරීම රජයකට කළ හැකි කාර්යයක් නෙවෙයි. එය කළ යුත්තේ බුද්ධිමතුන් හා කලාකරුවන්. රජය කළ යුත්තේ ඒ සඳහා ඔවුන් අවශ්‍ය සහය ලබා දීමයි.”

භාෂාව ස්ථිතික දෙයක්ය යන අදහසට එරෙහිව ඔහු කරුණු දැක් වූවා . ඔහු කියන්නේ වෙනස් වීම ස්වභාවික බවයි. එම වෙනස්වීම යහපත් දෙසට මෙන්ම අයහපත් පැත්තටත් සිදුවිය හැකි බවයි. භාෂා පරිහානිය ලෙස ආචාර්ය මයිකල් ප්‍රනාන්දු දැක්වූයේ අයහපත් අයුරින් සිදුවන භාෂා ව්‍යවහාරයයි.

ඔහුගේ අදහස් දැක්වීමට නිශ්චිත එල්ලයක් තිබු බවක් පෙනුනෙ නැහැ. ඒනිසා එය විවිධ දිශාවන්ට ඇදී ගියා. මේ අදහස් සවිස්තරාත්මකව දැක්වුවහොත් ඵලදායකයි.

පේරාදෙණිය සරසවියේ සේවය කළ කිසිදු විද්‍යාර්ථියෙක්, ගතවු වසර 40තුළ නාට්‍ය කලාව විෂය සඳහා ආචාර්ය උපාධියක් ලබා නොගත් බව ආචාර්ය මයිකල් පවසන විට මෙරට නාට්‍ය කලා අධ්‍යාපනයට අදාළ තොරතුරු කිහිපයක් හෙළිදරව් කළ යුතුයි.

– අ.පො.ස. (උ/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම 1976 වසරේ සිට නියමිතව තිබුණා.

– අ.පො.ස. (සා/පෙළ) සඳහා නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම ආරම්භ කළේ 2000 වසරේදී.

– කැලණිය විශ්වවිද්‍යාලය නාට්‍ය හා රංග කලාව සඳහා මූලික උපාධි පිරිනැමීම මෙයට වසර 7කට හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මෙයට වසර 4කට පෙර ආරම්භ කළා.

දේශපාලනයේ හේතුවාදය – මයිකල් ඕක්ෂොට්

මට සිතෙන අයුරෙන්, හේතුවාදියාගේ සාමාන්‍ය ස්වරූපය හා ස්වභාවය හඳුනා ගැන්ම දුෂ්කර නො වේ. මූලික වශයෙන් ඔහු නැඟී සිටිනුයේ (ඔහු හැම විට ම නැඟී සිටී) හැම අවස්ථාවක දී ම, මානසික නිදහස වෙනුවෙනි, විචාර බුද්ධියේ අධිකාරීත්වය හැර කවර හෝ අධිකාරිත්වයකට ඇති ගැති බවින් නිදහස් වූ චින්තනය වෙනුවෙනි. නූතන ලෝකයේ ඔහුගේ තත්ත්වයන් ඔහු විවාදශිලී බවට පත් කර ඇත: ඔහු අධිකාරිත්වයේ, අගතියේ හෝ හුදෙක් සාම්ප්‍රදායික, චාරිත‍්‍රමය හෝ පුරුද්ද වන දෙයෙහි සතුරා ය. ඔහුගේ මානසික ආකල්පය එක විට ම සංශයවාදී සහ සර්ව සුබවාදී වේ. සංශයවාදී වන්නේ, ඔහු තම ”විචාර බුද්ධිය” යැයි කියනු ලබන්න මඟින් ප‍්‍රශ්න කිරීමට හා විනිශ්චය කිරීමට පැකිළෙන තරම් තිරසර ලෙස මුල් බැස ගත් හෝ පුළුල් ව පිළිගැනුණු කිසිදු මතයක්, කිසිදු පුරුද්දක්, කිසිදු විශ්වාසයක් හෝ කිසිවක් නැති බැවිනි. සර්ව සුබවාදී වනුයේ, (නියමාකාරයෙන් යෙදූ විට) යම් දෙයක වටිනාකම, මතයක සත්‍යතාව, හෝ කි‍්‍රයාවක යෝග්‍ය බව තීරණයට ඔහුගේ ”විචාරබුද්ධියට” ඇති බලය හේතුවාදියෙක් කිසි විට සැක නොකරන බැවිනි. එපමණක් නොව, සියලු මානව වර්ගයාට පොදු විචාරබුද්ධියක් එනම් තර්කයේ භූමිය හා ආශ්වාදය වන තාර්කනික, සලකා බැලීම පිළිබඳ පොදු බලයක් කෙරෙහි විශ්වාසයකින් ඔහු ශක්තිමත් ව සිටී. ඔහුගේ දොරට ඉහළින් පාමෙනීඞ්ස්ගේ උපදේශය සටහන් කර ඇත – “තාර්කනික විවාදයෙන් විනිශ්චය කරනු.“ නමුත් තමාට බුද්ධිමය සමානත්වවාදයේ ආභාසයක් දෙන මෙය පසෙක තිබියදී, අවංකව හා පැහැදිලි ව සිතිය හැකි කිසිවකු තමාට වෙනස් අයුරින් සිතනු ඇතැ යි විශ්වාස කිරීමටඅපහසු වෙමින් හේතුවාදියා පුද්ගලවාදියෙකුගේ යම් ස්වරූපයක් ද ගනී.

…………………………….

මයිකල් ඕක්ෂොට් (1901-1990) ඉංග්‍රීසි දාර්ශනිකයෙකි. 20 වන ශත වර්ෂයේ වඩාත් ප්‍රමුඛ ගතානුගතික චින්තකයකු ලෙස ඔහු පුළුල්ව පිළිගැනේ. බොහෝ විචාරකයන් ඔහු ලිබරල්වාදියකු ලෙස හැඳින්වුවත් දේශපාලන න්‍යාකරණය පිළිබඳ ඔහුගේ දෘෂ්ටිය සාම්ප්‍රදායික ලිබරල්වාදය හා අනන්‍ය කළ නොහැක. ඔහුගේ ලිබරල්වාදය සාම්ප්‍රදායික ලිබරල්වාදයෙන් වෙනස් වන තැන පිළිබඳ වැදගත් කරුණක් පෝල් ෆ්‍රැන්කෝ ගෙනහැර දක්වයි. එනම්, මයිකල් ඕක්ෂොට් ලිබරල්වාදය හේතුවාදය සමග අනන්‍ය නොකරන බවත් ඔහු ලිබරල්වාදය හේතුවාදයට එරෙහිව ඇති ප්‍රතිසම්ප්‍රදායක් ලෙස සලකන බවත්ය.මෙය වඩාත් අදාළ වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය සම්බන්ධයෙන් මිස මූලධාර්මික ලිබරල්වාදය සම්බන්ධයෙන් නොවන බව දැක්විය හැක්කේ මෙම හැඳින්වීමේ අවධානයට ලක්වන ඕක්ෂොට්ගේ “දේශපාලනයේ හේතුවාදය” නම් රචනාවේ හේතුවාදී දේශපාලනය සම්බන්ධ විවේචනය ලිබරල්වාදය සම්බන්ධයෙන් අදාළ කරගත හැකි යුගයක අප ජීවත් වන නිසා ය. සැබැවින්ම දේශපාලනයේ හේතුවාදයේ මූලික නිදර්ශනයක් ලෙස මයිකල් ඕක්ෂොට් ප්‍රතික්ෂේප කරන්නේ ජෝන් ලොක් හෝ කාන්ට්, ස්ටුවට් මිල් හෝ අපගේ යුගයේදී රෝ(ව්)ල්ස් හෝ නොශික් විසින් උත්සාහ කළ පරිදි රාජ්‍යයේ අධිකාරිත්වයේ නිසි විෂය සහ සීමා ඒකාන්ත වශයෙන් න්‍යායක් හෝ මූලධර්මයක් ඇසුරෙන් නියම කිරීමේ ලිබරල් ව්‍යාපෘතිය ය. ප්‍රබුද්ධතා ව්‍යාපෘතියේ මෙම ලිබරල් උරුමය ඔහුගේ පරීක්ෂාවට ලක්විය. තාර්කණික මූලාංග ඕක්ෂොට් විසින් ඉවත දැමීමෙන් පැහැදිළි වන්නේ ඕනෑම ආකාරයක ආදර්ශන තර්කණයකට වඩා දේශපාලන විචාරණය හා දේශපාලන කතිකාව ඒවායේ ස්වරූපයෙන් ම සංවාදය යන්නට සමීප වන්නේ ය යන කරුණ ය. ඇරිස්ටෝටල් ට මෙන් ඕක්ෂොට්ට ද දේශපාලන කතිකාව ප්‍රයෝගික තර්කණයේ ආකාරයක් වන අතර එම ස්වරූපය නිසා එය න්‍යායික ශික්ෂණයන් තුළ දැකිය හැකි නියතතාව මත රඳා නොපවතී. ඕක්ෂොට් ට අනුව දේශපාලන කාර්යය හා බැඳි දැනුම ප්‍රායෝගික වේ. හැම විටම ප්‍රාථමික වන්නේ භාවිතය ය. දීර්ග පවුල් ඉතිහාසයකට හිමිකම් කියන සම්ප්‍රදායක් තුළ උගත්, හොඳින් පිළිගත්, පාරම්පරික පාලකයෙක් ප්‍රමාණවත් පරිදි ඔහු දරන තනතුරට ගැළපෙන බව ඕක්ෂොට් දක්වන අතර ඔහුට අනුව අත්දැකීම් නැත්තවුන්ගේ දේශපාලනය හේතුවාදය යි.මැකියාවෙල්ලි ට අත්පොතක් ලියන්නට සිදු වන්නේ අත්දැකීම් නැති මෙම නව පාලක පැළැන්තිය සඳහා ය. ඇරිස්ටෝටලියානු සම්ප්‍රදායේ ද ආභාසය ලැබූ ඕක්ෂොට් ගේ මෙම රචනාව නූතන යුගයේ දේශපාලන අර්බුද තේරුම් ගැනීමට ඉමහත් පිටිවහලක් වේ යැයි අපගේ විශ්වාසය යි.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය

‘සංවර්ධනය යනු කතිකාවකි’

සංවර්ධනය යනු කතිකාවකි

සංවර්ධනයේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යනු ඇති ප්‍රධාන කරුණක් නම් සංවර්ධනය යනු එක් නිශ්චිත අර්ථයක් ඇති, තනි නිර්වචනයක් දිය හැකි ප්‍රපංචයක් නොව කාලයක් තිස්සේ ගොඩ නැඟුණු කතිකාවක් බවයි. එය, කලින් කලට පරිහරණය කරන අයගේ අභිප්‍රායන් අනුව වෙනස් වන අරුත් ඇති සංකල්පීකරණයකි.

………………….

වුල්ෆැන්ග් සැක්ස් (Development Dictionary) දකින පරිදි මානව සංවර්ධනය ආර්ථික වර්ධනය මත පදනම් වූ සංවර්ධනය පිළිබඳ අදහසට සමාජීය සාධක ඇතුළත් කිරීමට ගත් නිලධාරිවාදී උත්සාහයකි. එහෙයින් මානව සංවර්ධනය නිර්ණය කිරීම ආර්ථික ගණනය කිරීම් මත තව දුරටත් රඳා පවතියි, මානව වරණයන් සහ ඒවා සාධනය කරගැනීම් හෝ ඒවා අහිමි කිරීම් සංඛ්‍යානමය වශයෙන් ගණනය කිරීම මත මනින්නට උත්සාහ කරයි. සියලු උත්සාහයන් අවසානයේ තවමත් ඇත්තේ දළ ජාතික නිෂ්පාදිතය පිරිසිදු කිරීම තුළ විසඳුම සෙවීමයි.

………………….

මෙම ප්‍රශ්න කිරීමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ සංවර්ධනය ප්‍රතික්ෂේප කෙරෙන පශ්චාත් සංවර්ධන එළඹුම බිහිවීම යි. එම එළඹුමට අනුව මානව සබඳතාවලට වින කටින හෙයින් සහ ජෛව ගෝලයේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරන හෙයින් සංවර්ධනය ලෝකයට දැරිය නොහැකි ය. එහෙයින්, එය අත්හැර දැමිය යුතු යැයි කියවෙයි.

ඉතිරිය සඳහා මෙහි බලන්න ‘කතිකා‘ මංගල කලාපය