චිත්‍ර කලාව

“ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.”

“ගොගෑන්ට වඩා මට බලපෑවේ ගැමි ජිවිතය හා පරිසරයයි”- ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහ
මනුබන්දු විද්‍යාපති

සීවලී ඉලංගසිංහ
සීවලී ඉලංගසිංහ
ප්‍රවීන චිත්‍රශිල්පී සීවලී ඉලංගසිංහගේ ‘රූපාවලී’ සිතුවම් ප්‍රදර්ශනය මෙම මස 18 වෙනි සඳුදා දක්වා කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ, දෘශ්‍ය කලා අධ්‍යානාංශයේ ජේ.ඩී.ඒ පෙරේරා කලාගා‍රයේදී පැවැත්වේ. මෙම කෙටි සටහන ඔහුගේ චිත්‍ර කලා සම්ප්‍රදාය පිළිබඳ අගැයුමකි.

සීවලී ඉලංගසිංහ ගේ චිත්‍රවල නිරූපණය වන ජීවිතය හා පරිසරය, අපට වර්තමාන යථාලෝකයෙහි හමුවන ලොවක් නො වේ. එහි දී අපට හමුවන මිනිස් රූප ද, ගස් වැල් ඇතුඑ සොබා දහම් වස්තූන් ද දෘශ්‍යමානය ඇසුරෙන් පරිකල්පනය කරන ලද යම් අර්ධ ශෛලිගත තත්ත්වයකට නැංවූ ඒවා ය. ඔහුට ම ආවේණික දිගටි මිනිස් රූපයක් සමඟ, එය මූලික කොට ඔහු ගේ චිත්‍ර සංරචනය වී තිබේ. දීප්තිමත් ප්‍රතිවිරුද්ධ වර්ණ මෙන් ම ඇතැම් විට පොළෝතල වර්ණ තානයන් ද යොදා ගන්නා ආකාරය මඟින් සීවලී තවදුරටත්, ස්වාභාවිකත්වය සමඟ ඇති රූපික සම්බන්ධයෙන් ඈත්වෙමින් වඩා කාල්පනික රූපයක් වෙත සමීප වේ. බොහෝදුරට රේඛාව භාවිතයෙන් ඈත් වූ මේ චිත්‍රවල පර්යාලෝකය ද ස්වභාවිකත්වයෙන් බොහෝ ඈත පිහිට යි.

සෑම භූමි දර්ශනයක ම වාගේ පෙරබිම යම් අතුරිකිල්ලක, වැලක, කොළයක අපැහැදිලි රූපයකින් වැසී ඇති අතර, චිත්‍රයේ ප්‍රධාන වස්තුව පෙනෙන්නේ ඒ අතරිනි. මේ සියලු ශිල්පීය හා දෘශ්‍ය උපක්‍රම සමඟ ඔහු කැන්වසය මත ප්‍රතිනිර්මාණය කරන ලොව, සමීප වන්නේ බොහෝදුර ඈත ඉතිහාසයක පැවැති ප්‍රාථමික ගමක පරිසරයකට ය. එය කිසිසේත් යටත්විජිත යුගයෙන් පසුව ලංකාවේ අපට හමුවූ වික්ටෝරියා සදාචාරය අනුව නැවත සකස් වූ ගම නො වේ. සොබාදහම සමඟ මූලික සම්බන්ධයක් ඇති සරල අවශ්‍යතා සහිත, ජනයාගෙන් ගහණ ගමකි එය, දැඩි හිරු රැස් ද, අඳුරු වනලැහැබ් ද, නාග දරණ වැල් ද, දැවැන්ත නුග ගස ද, සතුන් ද, අවිහිංසක ගැමි ගැහැනු හා මිනිසුන් ද මෙන්ම රාගය, ශෘංගාරය, නිරුවත, ගැමි ඇදහිලි, ස්වාමීන් වහන්සේ, මෙහෙණිය, ගණදෙවියන් හා දරු සෙනෙහස ද රිසි සේ එකට මුසු වූ කාල්පනික ප්‍රාථමික ලෝකයකි. එය සීවලී ගේ අතීතකාමී පරිකල්පනය මෙන් ම රසිකයා ගේ පරිකල්පනය ද දල්වන්නක් බව පෙනී යයි.dsc499

කැන්වසයක් හෝ බිත්තියක් නැතහොත් වෙනත් පෘෂ්ටයක් මත, වර්ණ හා හැඩතල මඟින් සෞන්දර්යාත්මක අත්දැකීමක් මවන සිත්තරා ප්‍රතිනිර්මාණය කරන්නේ තමා අත්විඳි පරිසරයෙන් උකහා ගත් වින්දන අත්දැකීමකි. විවිධ සමාජ සංස්කෘතික පරිසරයන්හි හැදී වැඩුණු සිත්තරුන් ගේ නිර්මාණ රිද්මය, ඒ ඒ පරිසරය අනුව වෙනස් ස්වරූප ගනී. නිසංසල ගැමි පරිසරයක වැඩුණු සිත්තරා ගේ සිතුවම් රිද්මය, එවැනි සුගම ලෙස ගලා යන රිද්මයක. ඝෝෂාකාරී, කලබලකාරී, අධිවේගී නාගරික පරිසරයක හැදී වැඩුණු කලාකරුවා ගේ රිද්මය වේගවත් රිද්මයක් විය හැකිය. මේ තත්ත්වය මීට වඩා සංකීර්ණ විපර්යාසයකට බඳුන් වෙමින්, නිසංසල පරිසරයෙන් මතුවන සිත්තරා ගේ රිද්මය ඇතැම් විට වේගවත් හා ප්‍රචණ්ඩ වන්නා සේ ම, කලබලකාරී නාගරික පරිසරයේ දිවි ගෙවූ සිත්තරා සංයත සුගම රිද්මයක් පළ කිරීම ද ඇතැම්විට දැක්ක හැකි ය. දෘෂ්‍ය කලා කෘතියක් මගින් පළ කැරෙන රිද්මය හා ශෛලිය, එවැනි සංකීර්ණ රූපවිපර්යාසයකින් පසු ව එළිදකින තත්ත්වයකි. කෙසේ වෙතත් ඒ ඒ චිත්‍ර ශිල්පියා හැදී වැඩුණු පරිසරය ඔහු ගේ දෘශ්‍ය රිද්මය හා ශෛලීය කෙරෙහි ප්‍රබල බලපෑමක් කරයි. ඕනෑ ම කලාකරුවකු ගේ පසුකාලීන නිර්මාණවල විෂය, තේමාවන් හෝ දිශාව තීරණය වීම කෙරෙහි එහි පැහැදිලි බලපෑමක් පෙන්වයි.

‘මා කුඩා කාලෙදි පවා චිත්‍ර ඇන්ඳා ඒ වනවිටත් ගමේ ගහකොළ, වෙල්යාය, වනාන්තරය, සතුන්, වියළි සුළඟ, අව්ව වැස්ස, මේ දේවල් මගේ ජීවිතයට ග්‍රහණය වෙලා තිබුණා. කුඩා දරුවෙක් හැටියට චිත්‍රයට නැගුවේ එදා දකින්නට ලැබුණු සරල ජන ජීවිතයේ වටපිටාවයි. තාමත් මං අඳින්නේ ඒ වනාන්තරය හා බැඳුණු ගැමි වටාපිටාවයි. එය මා තුළ නිදන්ගත වූ දෙයක්.’ සීවලී ඉලංගසිංහ – තම චිත්‍ර කලා ප්‍රකාශනය පැනනගින්නට පදනම් වූ නිමිත්ත හා තම නිර්මාණ උල්පත හඳුනාගත්තේ එලෙස ය. මේ වනවිට දශක හතරක් පමණ චිත්‍ර ශිල්පියකු ලෙස සුවිශේෂ අනන්‍යතාවක් හා ප්‍රතිරූපයක් ගොඩනඟාගෙන ඇති සීවලී ඉලංගසිංහ, රසික විචාරක ප්‍රතිචාරය මනාව ලැබූ කලාකරුවෙකි. ලොව රටවල් ගණනාවක ප්‍රදර්ශන පවත්වමින්, විචාරක ඇගැයුමට ලක්වෙමින්, තම කලා ශෛලියේ මුද්‍රාව අන්තර්ජාතික චිත්‍රකලා ක්ෂේත්‍රය මත තැන්පත් කරන්නට ද බොහෝදුරට සමත් වූ සීවලී, ඒ සියලු ජයග්‍රහණ අත්පත්කර ගන්නේ ගමේ පරිසරයෙන් ලද වස්තු විෂයය හා දෘශ්‍ය අත්දැකීම් ඔස්සේ ය.

සීවලී උපත ලද්දේ උතුරු මැද පළාතේ කෙළවරක පිහිටි සීවලීපුර නම් ගමේ ය. රන්බණ්ඩා ඉලංගසිංහ හා ඩිංගිරි මැණිකේ යන නම්වලින් හැඳින් වූ සීවලී ගේ මාපියන් පාරම්පරික ගොවීහු වූහ. මේ ගොවි පවුලේ සරල පැවැතුම් සමඟ කුඩා කළ ගෙවා දැමූ සීවලී ගේ දෑසත්, මනසත්, තමා වටා පැවැති හිරු එළියෙන් බැබැළෙන ස්වභාවික පරිසරයත් සරල ජන ජීවිතයත්, සියුම් නිරීක්ෂණයෙන් යුතුව හඳුනා ගනිමින් සිටියේ ය. කුඩා ම අවදියේ ගමේ පාසලෙන් ද, අනතුරු ව කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලද ඔහු 1964 දී ඉගෙනුම අවසන් කොට, චිත්‍ර ශිල්පියකු ලෙස අනාගතයක් ගොඩනගා ගැනීමේ අරමුණින් කොළඹ පැමිණියේ ය.

කොළඹට පැමිණි සීවලීට එවකට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ප්‍රකට කලාකරුවන් දෙදෙනෙකු ගේ සෙවණ හා මඟ පෙන්වීම ලැබිණ. ඒ ශේෂා පලිහක්කාර සහ සෝමබන්දු විද්‍යාපති ය. ශේෂා පලිහක්කාර යටතේ සෙරන්ඩිබ් චිත්‍රපට ආයතනයේ චිත්‍රපටවල කලා අංශයේ කෙටි පුහුණුවක් ලැබූ සීවලී ඉන්පසු සෝමබන්දු විද්‍යාපති වෙතින් චිත්‍ර ශිල්පය හා වේදිකා පසුතල නිර්මාණය පිළිබඳ ව හදාරන්නට විය. එහි දී ඔහු ගේ චිත්‍ර කලා ශෛලිය කෙරෙහි ඇල්ම සීවලී තුළ වර්ධනය වන්නට මනා පසුබිමක් සැකැසිණි.

“සෝමබන්දු මහත්මයා යටතේ මුල් යුගයේ අඳින්නට මෙන් ම වේදිකා පසුතල හා ඇඳුම් නිර්මාණ කටයුතුවල යෙදෙන්නටත් මට අවස්ථාව ලැබුණා. ඔහු චිත්‍ර ශිල්පියකු ලෙස වැඩිදුර ඉගෙන ගැනීමට මා තුළ තිබූ ආශාව වටහාගත්තා. ඔහු මට වැදගත් අවවාදයක් දුන්නා. සීවලී, මගේ රූප ශෛලියම අනුකරණය කරන්න ඕන නැහැ. ඔබ තුළ සැඟවුණු හැඟීමක්, ශෛලියක් තිබෙනවා. ඒක දියුණු කර ගන්න. මම අඩුපාඩුවක් ඇත්නම් කියා දෙන්නම්” මා එයින් චිත්‍ර කලාව නැවත ඉගෙන ගත්තා” සීවලී මතකය ඇවිස්සුවේ හැඟීම් බරව ය.

එතැන් පටන් චිත්‍ර කලාව හා බැඳී ව්‍යාපාරික අංශ අත්හළ සීවලී, චිත්‍ර ඇඳීමේ කාර්යයට ම යොමු විය. එසේ බොහෝ දුරට චිත්‍ර ශිල්පයේ ගුණාංග තමා ම සොයා ගිය ඔහු 1971 දී පළමු චිත්‍ර ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීය. එදා සිට අද දක්වා ම සීවලී චිත්‍රය සමඟ ම දිවිගෙවන වෘත්තීය චිත්‍ර ශිල්පියකු ලෙස කල්ගෙවයි.

තමා ගේ ම ගම ඇසුරින් කාල්පනික හා ජන ජිවිතයත් හා සොබාදහමක් පිළිබඳ සිත්තම් කරන සීවලී ගේ කෘතීන්හී විශිෂ්ට නූතනවාදී චිත්‍ර ශිල්පීන් දෙදෙනකු ගේ දුර ආභාසයක සෙවණැල්ලක් ද පෙනී යෑම අපූරු ය. සීවලී ගේ ඇතැම් දිගටි මිනිස් රූප, ඉතාලි චිත්‍ර ශිල්පී මොඩිග්ලියානි ගේ මිනිස් රූප හැඩතල මතකයට නංවයි. විශේෂයෙන් සීවලී ගේ ඇතැම් චිත්‍රවල හැඩතල තේමාවන් හා වර්ණ සංයෝජනයන්හි පෝල් ගොගෑන් ගේ සිතුවම්වල යම් ආභාසයක් ඇතැ යි සිතිය හැකි ය. එහෙත් එවැනි ආභාසයක් ඇතැ යි නොපිළිගන්නා සීවලී, පෝල් ගොගෑන් ගේ චිත්‍ර කලා භාවිතය බෙහෙවින් අගය කරයි. “මගේ චිත්‍ර කලාවේ හැඩතල හෝ සංරචනයට ගොගෑන් ගේ බලපෑමක් එතරම් ලැබුණේ නැහැ. මට වඩාත් දැනුණේ මගේ ගමේ ජිවිතය හා පරිසරයයි.”

නමුත් ගොගෑන්ගේ චිත්‍රවල වස්තු විෂයයන් මගේ චිත්‍රත් අතර යම් සමාන ලක්ෂණ ඇති බව මට පසුකාලයක හැඟුණා. ඔහුගේ මේ ලක්ෂණය සොයා දැනගන්නට මා පසුකලෙක ඔහු ජීවත් වූ ටහීටි දිවයිනට ගියා. ඒ රටේ තිබෙන්නේත් මේ අපේ ගම් පළාත්වල වැනිම පරිසරයක්. ගැහැනු පිරිමි දෙපිරිසගේ රූපකාය, මේ අපේ මිනිස්සු වගේමයි. ගොගෑන් ඇන්දෙ, ඒ පරිසරය හා ඒ ජීවිතයයි. ඔහුගේ චිත්‍ර මොනතරම් හැඟීම් පළකරනවද? මිනිස් රූපයට, ඔහුගේ චිත්‍ර ඇසුරේ පුදුම ආදරයක් භක්තියක් මතුවෙනවාද? විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක් ගොගෑන්. ඒ යුගයේ හිටපු ඒ බටහිර සිත්තරු වැඩිදෙනා ජීවිතය දැනගෙන හිටියා. ඒ නිසාම සියවස් ගණනාවක් පවතින විදිහේ නිර්මාණ ගණනාවක් කරන්නට ඔවුනට හැකිවුණා. ඔවුන් ජීවිතයත්, තමන්ගේ ශිල්පයත් දෙකම හොඳින්ම අඳුනනවා. එයට අවංකයි. අද නම් බටහිර චිත්‍ර කලා ක්ෂේත්‍රයේත්, මේ රටේත් වැඩිතරයක් ඉන්නේ. බොරු කාරයෝ. ශිල්පයට වංචා කරන අය.”

චිත්‍ර කලා ක්ෂේත්‍රයට වර්තමානයේ බොහෝ විපර්යාස, නව දිශාවන් සොයාගැනීම් සිදුවී තිබේ. අනූව දශකයේ බිහිවූ ලාංකික දෘශ්‍ය කලාවේ නව පරපුරක්, චිත්‍රය, ආත්ම ප්‍රකාශනයේ සිට දේශපාලන ප්‍රකාශනයක් දක්වා පතුරුවා ඇති සෙයක් ද පෙනේ. චිත්‍රය, කැන්වසයේ සිට ස්ථාපන කලාව දක්වා පැතිරී ගොස් තිබේ. කලාව හා නොකලාව අතර භේදය ද වෙනස්වීම ඇරැඹී තිබේ. ඒ සියල්ල අතරට චිත්‍රයක් රසවිඳීමේ, කියැවීමේ හැකියාව ද එවැන්නක අවශ්‍යතාව ද ලංකාවේ පොදු රසිකයා වෙතින් විදුලි වේගයෙන් ඈත් වෙමින් තිබේ. මේ සියලු සමාජ වෙනස්වීම් මැද සීවලි, සිය කාල්පනික ගැමි පරිසරයට තව තවත් භක්තිවන්ත ව, දිගින් දිගට ම චිත්‍ර ඇඳීමේ නිරත වෙයි. තමා ගේ අතීතකාමී සිහිනයට ප්‍රායෝගික වටිනාකමක් ලබා දෙමින් සිටී.

“ මං කොළඹට එනකොට හිතාගත්තේ, මගේ ගමේ පරිසරය, ගහකොළ, භූමි දර්ශන, ජීවිතය පුළුවන් හැමවිදිහටම ලෝකයට ගෙනයනවා කියල. ඒක මම සෑහෙන දුරකට කරල තිබෙනවා. අවසානයේ ඉතිරි වන්නේ, ද්‍රව්‍යමය වටිනාකමක් පමණයි. මතවාද සංකල්ප, විචාර අතුරුදහන් වෙනවා. ඒ නිසා අනාගතතයට ඉතිරි වෙන්න මං හැකිතරම් චිත්‍ර අඳිනවා. රටට සැබෑ යමක් ඉතිරි කරලා. මගේ ගමේම නුගගහක් යට මිහිදන් වීම මට තෘප්තියක්.” සීවලී ඉලංගසිංහ නම් ලාංකික සිත්තරා එසේ කියා සිටියත්, ඔහු ගේ කැන්වස් තල මත සිත්තම් වූ සරල ප්‍රාථමික ලෝකය රසික සිත් තවදුරටත්, වින්දනය වෙත ගෙනයමින් සිටී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )