මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය
ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී

vasthu1918 වර්ෂයේ මහනුවර උපත ලද මිනෙත් ද සිල්වා ලංකාවේ ප්‍රථම වාස්‌තු විද්‍යාඥවරිය වීමේ ගෞරවය ළඟා කර ගත්තා පමණක්‌ නොව එංගලන්තයේ එම අංශයෙන් සුදුසුකම් ලද ප්‍රථම ආසියාතික කාන්තාවද විය. මිනෙත් විසින් 20 වන සියවසේ මැද භාගයේ අරඹන්නට යෙදුනු කාන්තාවන් අතර එතරම්ම ප්‍රකට නොවූ වෘත්තියක හිණිපෙත්තට පැමිණීමේ ගමන බාධක කම්කටොලුවලින් ගහණ වූවක්‌ විය.

ප්‍රභූ (elite) සමාජ පසුබිමකට උපතින්ම උරුමකම් කී මිනෙත් තම පියා වූ සුප්‍රකට දේශපාලඥ ජෝර්ජ් ද සිල්වා ගේ නිදහස්‌ අරගලය සඳහා වූ උනන්දුව මෙන්ම මව වූ ඇග්නස්‌ නෙල්ගේ කාන්තා විමුක්‌ති අභිලාශයන් කුඩාකල සිටම උකහා ගත්තාය. ඇයගේ මාමා කෙනෙකු වූ H.E ලෝරෙන්ටිස්‌ ද මෙවැනිම විප්ලවකාරී අදහස්‌වලින් ඇය සන්නද්ධ කිරීමට ඉවහල් විය. තම සිංහල බෞද්ධ පියාගේ සහ බර්ගර් ජාතික මවගේ සම්ප්‍රදායන් ඉක්‌මවා යැමේ ගුණාංග (මිශ්‍ර ජාතීන් අතර විවාහ විරල වූ වකවානුවක පරස්‌පර වූ පසුබිම් දෙකකින් පැමිණි මොවුන් දෙදෙනා අතර සිදු වූ විවාහයම මීට කදිම උදාහරණයකි) මිනෙත් හටද නිබඳව ලැබීම පුදුමයට කරුණක්‌ නොවේ.

කුඩා කල මහනුවර කන්‍යාරාමය, කොළඹ බිෂොප් විද්‍යාලය වැනි ක්‍රිස්‌තියානි ආගමික කාන්තා පාඨශාලාවන් හි මෙන්ම එංගලන්තයේද එම ගණයේම පාසල්වල මූලික අධ්‍යාපනය ලබන මිනෙත්, පාසල් අධ්‍යාපනය අඩ වශයෙන් නිමාකොට 1930 ගණන්වල ලංකාවට පැමිණෙයි. ඇය තම ජීවිත කතාවේ හෙළි කරන පරිදි, මෙම හදිසි පැමිණීම එම දශකයේ සිදු වූ ලෝක ආර්ථික අර්බුදය (world economic crises) හරහා තම පියා විසින් මුහුණ පෑමට සිදුවූ හදිසි ආර්ථික අවපාතනය සහ තම මවගේ අසනීප තත්ත්වය මත මෙහෙයවුනු බවයි. පාසල් ගමන මෙලෙස අඩාල වුවද පවුලේ හිතවතුන් වුන නුවර ධර්මරාජ වැනි විද්‍යාලයන්ට සේවය සැපයූ අධ්‍යාපනඥයන් අතින් පෞද්ගලිකව උපදේශනය ලබාගන්නා මිනෙත්, ඊටඅමතරව කලාව, සාහිත්‍යය, දේශපාලනය වැනි සන්දර්භයන් ගැන පෞද්ගලිකව සිදුකල කියවීම් මගින් දැනුම ලබාගනියි.

තම මාපියන්ගේ ක්‍රියාකාරී දේශපාලන වැඩකටයුතු ඔස්‌සේ මහනුවර ප්‍රදේශය පුරාවට චාරිකාවන්හි යෙදෙන මිනෙත්, ඒ ඔස්‌සේ එම ප්‍රදේශවල ජනජීවිතය කලාවන් සහ, පාරම්පරික ගෘහ නිර්මාණ ශිල්පය ගැනද දැනුවත් වෙයි. එම වකවානුවේ ආනන්ද කුමාරස්‌වාමි වැනි විද්වතුන්ගේ මෙහෙයවීම යටතේ දේශීය කලා සම්ප්‍රදායන් ගැන ඇති වූ සම්ප්‍රජානනය (awareness) මගින් පෝෂණය වූ නව රැල්ලේ කලාකරුවන් වූ සුප්‍රකට ජෝර්ඡ් කීට්‌ සහ (George Keyt) ලයනල් වෙන්ට්‌ඩ් (Lionel Wendt) වැනි තම පවුලට හිතවත් වූ බර්ගර් පසුබිමකින් පැමිණි (inner circle) පුද්ගලයන් සමග එක්‌ව කලා ප්‍රදර්ශන, දේශීය තේමාවන්වලින් නිර්මාණය වූ නාට්‍ය වැනි දෑ මගින් එහි ප්‍රගමණය වෙනුවෙන් විශාල වැඩකොටසක්‌ ඇය අතින් සිදු විය.

මෙම දේශීය කලා පුනරුදය ඊට අඩසියවසකට පමණ පෙර එංගලන්තයේ විසූ විලියම් මොරිස්‌ (Williom Morris) සහ පිලිප් වෙබ් (Phillip Webb) වැනි චරිතයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ පුනරුදයේම (Artts & Crafts Movement) ඉදිරිගමනක්‌ වීම විශේෂිතය. 19 වන ශතවර්ෂයේ අගභාගය වන විට අධික කාර්මීකරණයට ලක්‌ව තිබූ එංගලන්තය තුළ, යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් නිර්මිත මහා පරිමාණ නිෂ්පාදන (එදිනෙදා භාවිතයට ගන්නා උපකරණ සහ අමුද්‍රව්‍යවල සිට වාස්‌තු විද්‍යාත්මක ප්‍රතිඛණ්‌ඩයන් දක්‌වාම) වල වූ කෘත්‍රිම බව (මානව හස්‌තයේ ආදානයක්‌ නොමැතිවම – (මොරිස්‌ විසින් මේවා හඳුන්වා දුන්නේ “shoddy & ugly” ලෙසය) හෙලා දකිමින්, පාරම්පරිකව ශිල්පීන්ගේ ශ්‍රමයෙන් නිපදවූ දෑහි භාවිතය යළිත් ප්‍රචලිත කරවීම මෙම ව්‍යාපාරයේ අරමුණ විය. මෙම කෝණයෙන් බැලූ විට කුමාරස්‌වාමි ලංකාව තුළ ප්‍රචලිත කලේ මෛම ව්‍යාපාරයම බවට තර්ක කළ හැක. මෙම ක්‍රියාවලියට ලොව යම් දැනුම් පද්ධති සහ මතවාද බටහිර මධ්‍යයේ (core) සිට බාහිර වපසරිය (pheriphery) දක්‌වා ව්‍යාප්ත වීම සංකේතවත් කරයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපාරයේ දේශීය ප්‍රගමණය මොනවට සංකේතවත් කළ 1943 කණ්‌ඩායමේ ඉහත සඳහන් කළ ප්‍රභූ පිරිස්‌ සමග වූ ක්‍රියාකාරීත්වය ඔස්‌සේ දේශීය දෑ අගය කිරීමට මෙන්ම, කලාව සමග මනා සම්බන්ධතාවයක්‌ පෙන්නුම් කරන වාස්‌තු විද්‍යාව වැනි විෂයකට ඇලුම් කිරීමට තරුණ මිනෙත් ප්‍රවේශ වන්නට ඇත.

කාන්තාවන්ට කැප නොවූ වාස්‌තු විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තු ඇති කර ගන්නා ඇය 1938 වසරේ බොම්බායට සම්ප්‍රාප්ත වන්නේ මෙම අභිලාශය මුදුන් පමුණුවා ගැනීමටය. සිය පියාගේ විරෝධය හමුවේ නොසැලෙන මිනෙත් මින්පෙර කෙටිකලක්‌ බිලිමෝරියා සහ ද සිල්වා (Billimoria & de Silva) යන කොළඹ නගරය තුළ ක්‍රියාත්මක වූ පෞද්ගලික වාස්‌තු විද්‍යා ආයතන අතලොස්‌සෙන් එකක්‌ වූ ආයතනයේ ආධුනික (apparentice) පුහුණුව ලබාගත්තාය. ඇන්ඩි්‍රයස්‌ ද නෙල් නැමැති විප්ලවවාදී සහ පෙරටුගාමී අදහස්‌ ඇති ඇයගේ මාමාගේ ගුරුහරුකම් මෙලෙස වෙනත් රටක අධ්‍යාපනය ලබාගැනීමට ඇය පොලඹවයි.

බ්‍රිතාන්‍ය ජාතික වාස්‌තු විද්‍යාඥයන්ගේ තනි පාලනයට නතුව තිබූ ලංකාවේ වාස්‌තු විද්‍යා ක්‌ෂෙත්‍රයට පිවිසීම සඳහා අවශ්‍ය අධ්‍යාපනය මේ වන විට මෙරට තුළ ලබා දීම සඳහා අධ්‍යාපන ආයතනයක්‌ නොවීය. මේ සඳහා වූ විකල්ප දෙක ලෙස හඳුන්වා දිය හැකි යුරෝපීය සහ ඉන්දියානු අධ්‍යාපනයන්ගෙන් වඩා පහසු හා ලාභදායී වූ අපර තෝරා ගැනීම සඳහා ඇය යොමු වූයේ නිතැතින්මය. බොම්බායේ පෞද්ගලික සහ රජයේ යන වාස්‌තු විද්‍යා පාඨශාලාවන්හි මූලික අධ්‍යාපනික සුදුසුකම් ලබා ගන්නා ඇය වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ලන්ඩන් නුවර ආර්කිටෙක්‌චරල් ඇසෝශියේෂන් (Architectural Association -AA) පාසලට ඇතුල්වන ඇය 1950 දශකයේ මැද භාගය පමණ වන විට තම අධ්‍යාපනය හමාර කරනු ලබයි.

පසුකාලීනව ප්‍රසිද්ධියට පාත්‍ර වූ ජෙෆaරි බාවා, වැලන්ටයින් ගුණසේකර වැනි චරිත එම පාසලට එක්‌ වූයේ ඇයට වසර කිහිපයකට පසුවය. යුරෝපීය මුහුණුවරකින් වාස්‌තු විද්‍යාත්මක අධ්‍යාපනයක්‌ ලබාගත් මිනෙත් හට යුරෝපයේ දී ලේ කොර්බුසියර් (Len Corbusier) මූලික කොටගත් නූතන වාස්‌තු විද්‍යා ශෛලියේ (modern architecture) ආභාෂය ලැබෙන්නේ නිතැතින්මය. ප්‍රභූ පසුබිමකින් පැමිණීමේ භාග්‍යයේ ප්‍රකාශනයක්‌ වූ වත්පොහොසත්කමේ මහිමයෙන් යුරෝපය පමණක්‌ නොව ලොව වටාද සිදු කළ සංචාර ඔස්‌සේ මෙම ශෛලියෙන් නිම වූ ගොඩනැගිලි සියෑසින්ම දැක බලා ගැනීමට ඇය වාසනාවන්ත විය. මෙලෙස ලද ආභාෂය ඇයගේ වෘත්තීය දිවිය පුරාවටම පැවතුන බව නොරහසකි.

ලංකාවට පැමිණීමත් සමගම නුවර සිය පියාගෙන් ඇයට උරුම වූ ශාන්ත ජෝර්ඡ්ගේ (St George’s) නැමැති මනස්‌කාන්ත පරිසරයකට හිමිකම් කියූ වතුයායේ පිහිටි ඇගේ මව විසින් යටත්විජිත ආරට නිර්මාණය කළ නිවසේ ප්‍රථම වාස්‌තු විද්‍යා කාර්යාලය පිහිටුවා ගන්නා ලදී. තම නිර්මාණශීලී කර්තව්‍යයේ යෙදීමට එම නිස්‌කලංක වටපිටාව ඇයට පිටුවහලක්‌ වූ බව නොඅනුමානය.

ඇයට තම ප්‍රථම නිර්මාණ ව්‍යාපෘතිය ලැබෙන්නේ මහනුවර උසාවියේ සේවය කළ තම පියාගේ හිතමිතුරකු වූ කරුණාරත්න නම් නීතීඥයකුගෙනි. මේ සඳහා ඇයට ලබා දුන් ඉඩම මහනුවර නගරයට ඉහළින් කඳුගැටයක්‌ මත පිහිටි බෑවුම් සහිත භූමියකින් සමන්විත වූවකි. එවකට යුරෝපයේ ප්‍රචලිතව පැවති ඝර්මකලාපය වෙනුවෙන්ම මානවවාදී වාස්‌තු විද්‍යාඥයන් ප්‍රතිනිර්මාණය කොට තිබූ ඝර්ම කලාපීය නූතන (tropical modern) වාස්‌තු විද්‍යාත්මක ශෛලිය ඔස්‌සේ යමින් බෑවුම් සහිත භූමියකට උචිත වන ලෙස එය හොඳින් භාවිත කරමින් මට්‌ටම් කිහිපයකින් සමන්විත වන පරිදි මෙම නිවස නිර්මාණය විය (1947-51). බෑවුම දිගේ පහළට කඩාගෙන වැටීමේ මෙම ස්‌වභාවය නිසා එය ගොඩනැගෙමින් පවතින අතරතුර මිනෙත්ට පමණක්‌ නොව කරුණාරත්න පවුලට පවා විශාල වශයෙන් සෘනාත්මක විවේචන වලට මුහුණ පෑමට සිදුවූයේ මෙවැනි නිවසක්‌ මීට පෙර දැක නොතිබුණු මහනුවර ප්‍රභූන් අතිනි. කොන්ක්‍රීට්‌ තාක්‌ෂණ අධික ලෙස භාවිතය, ඇස්‌බැස්‌ටස්‌වලින් සෙවිලි වූ ඵල දෙකේ වහලය, බාහිර සහ අභ්‍යන්තර අතර උපරිම සම්බන්ධතාවයක්‌ ඇති කිරීමට සමත් විශාල ප්‍රමාණයේ විවෘත කළ හැකි වීදුරු ජනෙල් වැනි සංකල්ප, මෙය නිර්මාණයේදී යොදාගත් රේ‚ය (linear) සහ විවෘත (එකකට එකක්‌ සම්බන්ධ) අවකාශ (open plan) සහ පිහිටි භූමියට දැක්‌වූ අනුකූලතාව (responding to site) යන මූලික නූතන සැලසුම් සංකල්ප ඉදිරියට ගෙන යැමක්‌ විය. කඳුගැටයක්‌ මත වංගුවක පිහිටි මෙම නිවසේ අමුත්තන් හට පිවිසීමට එල්ලෙන (cantelevening) කොන්ක්‍රීට්‌ පියස්‌සකින් ආවරණය වූ ද්වාරයක්‌ (entrance porch) වූ අතර, නිවසින් පරිබාහිරව මෝටර් රථ ගාල් කිරීම සඳහා ගරාජයක්‌ ද විය.

මෙම නූතන ගුණාංගවලට පරිබාහිරව, මෙහි කෙලින්ම දැකගත හැකි ඝර්ම කලාපීය නූතන ශෛලියේ ලක්‌ෂණ ලෙස දොර ජනෙල් ආශ්‍රිතව ස්‌ථානගත කොට ඇති ලූවර (loovers), දීර්ඝ ප්‍රමාණ වල වහල අගු (eves), බිත්තිවල ස්‌ථානගත කර ඇති වා කවුළු, නිවස තුළින් හොඳින් වාතාශ්‍රය ගලා යන පරිදි (cross ventilation enabling) සිරස්‌ ලෙස සකස්‌ කොට ඇති කොන්ක්‍රීට්‌ අව් කඩනයක්‌ (son breakers) මෙන්ම, බාහිර නිමාව අධික වැසි සහ අව් රශ්මියට මෙන්ම අධික ආර්ද්‍රතාවට ඔරොත්තු දිය හැකි ලෙස කළුගල් පතුරු වැනි අමුද්‍රව්‍ය වලින් ආවරණය කිරීම කැපී පෙනෙයි. මෙහි බැලූ බැල්මට වූ නූතන පෙනුම යම් දුරකට සමනය කිරීම සඳහා ඇය විසින් බාහිර බිත්ති වල කොන්ක්‍රීට්‌ සහ සිමෙන්ති අනුසාරයෙන් කරන ලද දේශීය චිත්‍ර කලා ශිල්පයන්හි බහුලව යොදාගන්නා සංකේත නිර්මාණ කැපී පෙනෙයි. බාහිර ප්‍රධාන බිත්තියක්‌ සමචතුරශ්‍රාකාර කොටස්‌වලට කොන්ක්‍රීට්‌ තීරු මගින් වෙන් කොට ගෙන, තෝරාගත් කොටස්‌වල මධ්‍යයේ නාරිලතා මල නිරූපණය වන සිමෙන්ති ඵලක පිහිටුවා තිබේ. මීට අමතරව ප්‍රධාන දොරටුව ආශ්‍රිතව කොන්ක්‍රීට්‌ අගුව මත ඇති සිමෙන්තියෙන් නිම කළ හංස කැටයම් සහ නිවසේ පසුපස සඳලුතල ආවරණ (hand rails) වල යොදා ගෙන ඇති ගල් බිංදුව ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කරගත් කොන්ක්‍රීට්‌ සැරසිලි විශේෂිත වෙයි.

මීට අමතරව තව දුරටත් නිවසට යම් පාරම්පරික ස්‌වභාවයක්‌ ලබා දීම උදෙසා ජෝර්- කීට්‌ කලාකරුවා අතින් නිර්මිත හංස ජාතකය වැනි වර්ණවත් චිත්‍රයන්ගෙන් නිවස සැරසීමට ඇය පෙලඹිණ. කලාකරුවන් ගෘහ නිර්මාණ ක්‌ෂේත්‍රය සඳහා එහි ගුණාත්මකභාව වර්ධනය උදෙසා මෙරට තුළ යොදාගන්නා ලද ප්‍රථම අවස්‌ථාව මෙය විය. පසු කලෙක ජෙෆaරි බාවා වැනි වාස්‌තු විද්‍යාඥයින් මෙය පුරුද්දක්‌ ලෙස වැඩි වැඩියෙන් යෙදා ගන්නා ලදී. ඉතාමත් විශාල ලෙස කතාබහට ලක්‌ වූ සහ දෙස්‌ විදෙස්‌ ප්‍රවෘත්ති පත්‍ර සහ සඟරා වල පවා අවධානයට පාත්‍ර වූ ඇයගේ මෙම කුළුදුල් මෙන්ම පුරෝගාමී නිර්මාණය අද වන විට අත්හරින ලදුව ජරාවාසයට පත්ව තිබේ.

මින් අනතුරුව ඇගේ අතින් සිදුවූ කැපී පෙනෙනම නිර්මාණයකි කොළඹ ඇල්ෆa්‍රඩ් හවුස්‌ උද්‍යාන පෙදෙසේ පීරිස්‌ පවුල උදෙසා නිමවූ නිවස. කරුණාරත්න නිවසට යම්තාක්‌ දුරකට නෑකම් කියන මෙය, නූතන වාස්‌තු විද්‍යාත්මක නේවාසික නිර්මාණයන්හි බහුලව දැකගත හැකි ලක්‌ෂණයක්‌ වූ ඉහළ මාලයේ ජීවත් වීම (living above) යන සංකල්පය ඔස්‌සේ යමින් කණු ශ්‍රේණියක්‌ මත (on pilotis) මුලුමනින්ම ස්‌ථානගත කරන ලද නිවසකි. මෙහ පහළ මහල ගරාජය, උද්‍යානය සහ කුඩා බාහිරට අනාවරණය වූ විසිත්ත කාමරයකින් සමන්විතය. ඉහළ මහල වඩා පෞද්ගලික අවකාශ (සමීප හිතවතුන් පිනවීම සඳහා වූ විසිත්ත කාමරය, නේවාසික කාමර) වලින් සමන්විත අතර මහල් දෙක අතර සම්බන්ධය ඇති කරන්නේ කොන්ක්‍රීට්‌ මගින් නිර්මාණය වූ දඟර පඩිපේලිය (Spiral staircase) මගිනි. දේශිය වාස්‌තු විද්‍යාත්මක අංග ලක්‌ෂණ මෙහි ඉස්‌මතු කිරීමට ඇය දැඩි වෙහෙසක්‌ ගෙන ඇත. නවීන වාස්‌තු විද්‍යාත්මක අංග ලක්‌ෂණ අතර මෙම නිවසේ සිංහල උළු සෙවිලි කළ නුවර වහලය, ලාක්‌ෂා කර්මාන්තයෙන් හැඩ වූ බීරළු (පඩි පෙලෙහි අත්වැල් සහ ජනෙල් අවකාශ සඳහා භාවිතා වූ) බෝපත් හැඩැති ග්‍රිල් සැරසිලි සහ දුම්බර රටාවන්ගෙන් අලංකෘත පැදුරු (ප්‍රධාන දොරවල් අලංකරණයට බාහිරව යොදා ගැනීම හා බිත්ති/පොළව අලංකරණයට ප්‍රයෝජනයට ගන්නා ලද) වැනි දෑ පිළිසැසඳුම (contrast) හරහා නිවසට දේශීය රසයක්‌ එක්‌කරයි. ඇය නිර්මාණය කරන්නට යෙදුන මෙවැනිම ගණයේ නිර්මාණ කිහිපයකි. කොළඹ වැල්ලවත්තේ C. H. ප්‍රනාන්දු (1954), සුලෙයිමාන් මාවතේ පෙරේරා (1957-58) සහ වෝඩ් පෙදෙසේ P.H. අමරසිංහ (1965) යන පවුල් සඳහා කළ නිවාස. මහනුවරද මෙලෙසින්ම පියෂෝ උද්‍යානයේ දස්‌වානි (1952) සහ හර්මිටේඡ් (hermitage) මාවතේ නඩේසන් (1960-61) යන පවුල් උදෙසා නිවාස නිර්මාණ ඇය සිදු කරන ලදී. මේ අතරින් මුල්ම අවධියේ නිමැවුණු දස්‌වානි වැනි නිවාසයන්හි ඝර්ම කලාපීය නූතන ගුණාංග වැඩියෙන් හඳුනාගත හැකි අතර පසුකාලීනව (1954 පමණ සිට) ඇයගේම අනන්‍යතාවයෙන් යුක්‌තව නිවාස ඉදිවීම ඇරඹිණ. C. H ප්‍රනාන්දු වැනි නිවෙස්‌හි ඇය විසින් ගොඩනැඟිලි අමුද්‍රව්‍යයන්හි නියම ස්‌වභාවය (fair-face) කොතරම් අනාවරිතව නිර්මාණය කළාද යතහොත්, එක්‌ අවස්‌ථාවක මෙවැනි නිවසක්‌ විවෘත කිරීමේ ධර්ම දේශනාවකට පැමිණි හිමිනමක්‌ එහි වැඩ කඩිනමින් නිම වීමට තම ආශිර්වාදය පලකළේ පැමිණ සිටියවුන්ගේ මුව කොනට සිනහ ගෙන එමිනි. පීරිස්‌ පවුල සඳහාම පළමු නිවසට යාබදව නිර්මිත දෙවන නිවස බහුලව මහනුවර ගෘහ නිර්මාණ අංග ලක්‌ෂණ (elements) සහ දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සිදු කළ නිර්මාණයකි. ඇයගේ සාමාන්‍ය නිර්මාණවලට වඩා මෙය පැරණි බව (rusticity) අතට වඩාත් නැඹුරු වූවකි. මැද මිදුල, සොල්දරය, පිළ, පාරම්පරික ලක්‌ෂණ මෙහි කැපී පෙනෙන ලෙස යොදාගෙන ඇත. මේ වකවානුව වන විටගුණාත්මක භාවයෙන් අජීවී (barren) ලෙස අප්‍රසාදයට පාත්‍ර වූ තාක්‌ෂණය මූලික කොටගෙන බිහි වූ නවීන වාස්‌තු විද්‍යාත්මක නිර්මාණ මත මිනෙත් සිදුකළ මෙම අත්හදා බැලීම පසුකාලීනව නවගශෙලියක්‌ බිහි කිරීමට සමත් විය. මෙලෙස ක්‍රම ක්‍රයෙන් තමා අතින් නිර්මාණය වෙමින් පැවති ශෛලිය සඳහා ‘ඝර්ම කලාපය සඳහා වූ නවීන ප්‍රාදේශීය ශෛලිය’ (modern regional architecture for the tropics) යන යෙදුම මුලින්ම මිනෙත් අතින් නිර්මාණය වූ බව Tropical Architecture(Critical Realism in the Age of Globalization යන ඇලෙක්‌සැන්ඩර් ටුනිස්‌ ලයෑන් ලෙෆeව්ර් සහ බ්‍රෑනො ස්‌ටැග්නෝ (Alexander Tzonis,Liane Lefaivre and Bruno Stagno) අතින් 2001 වසරේ එලි දැක්‌වුනු කෘතිය හෙළිකරයි. මෙම මාතෘකාව ගැන බහුල වශයෙන් මත දැක්‌වීම් කරන කෙනත් ෆරැම්ප්ටන්ට (Kenneth Frampton) දශක ගණනාවකට පෙර මෙලෙස එම යෙදුම බිහි විය.

තමා වෘත්තීමය වශයෙන් වාස්‌තු විද්‍යාඥ ක්‌ෂේත්‍රයට පිවිසීමට සමගාමීව එවකට ලොව පිළිගත් නවීන වාස්‌තු විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් යුරෝපය කේන්ද්‍ර කොට ගෙන පැවැත් වූ (Congres International dz Architecture Moderne) හෙවත් අන්තර්ජාතික නවීන වාස්‌තු විද්‍යාඥයන්ගේ මහා සභාවේ 1947 හි එංගලන්තයේ බ්‍රිඡ් වෝටර් හි (Bridgewater) පැවති සැසිවාරය සඳහා තමා විසින්ම තෝරා පත් කරගන්නා ලද (self-appointed) දේශීය නියෝජිත ලෙස මිනෙත් සහභාගී වූයේ එවැනි කර්තව්‍යයක්‌ සූදානම් කිරීම සඳහා මේ වන විටත් ලංකාව තුළ වාස්‌තු විද්‍යාඥයන්ගේ සංගමයක්‌ නොතිබුණු බැවිනි.

1928 වසරේ ස්‌විස්‌ටර්ලන්තයේදී ලෙ කෝර්බ්‍රසියර් සහ තවත් යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පීන් 28 දෙනකුගේ මූලිකත්වයෙන් ඇරැඹි මෙම සමුළුවේ අරමුණ වූයේ, නවීන වාස්‌තු විද්‍යාත්මක ශෛලියේ ප්‍රතිලාභ ලොව පුරා ප්‍රචලිත කිරීමයි. මෙවැනි නියෝජනවල ප්‍රතිඵලයක්‌ ලෙස මිනෙත් ද සිල්වා හට ලෙ කෝර්බ්‍රසියර්, ජැක්‌ ප්‍රිචාර්ඩ් (Jack Prichard) හොසේ ලුවී සර්ට්‌ (Jose Louis Sert) වැනි නම් දැරූ චරිත රාශියක්‌ හමුවීමේ වරම් ලැබිණි. මේ අතරින් ඇය ලෙ කෝර්බ්‍රසියර් සමග ඇති කරගන්නා ලද සම්බන්ධතාව මෙම මහඟු වාස්‌තු විද්‍යාඥයාගේ දිවියේ අවසානය දක්‌වාම පැවැතිණි. මෙම සම්බන්ධතා සහ ඇය කරා ඔහුගෙන් පැමිණි ආභාෂයන් මත චරිත කතාවෙහිදී ඇය හෙළිදරව් කරයි. ෆaලෝරා සැමුවෙල් (Flora Samuel) විසින් ලෙ කෝර්බ්‍රසියර් ගැන චරිත ඛැ ඤරඉමිසැර Le Corbusier Architect and Feminist (2004) කෘතියේද මිනෙත් ද සිල්වා චරිතය නිරූපිතය.


දිවයින බදාදා සංග්‍රහයෙනි

vasthu1

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )