සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය

‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ යන මැයෙන් අභාවප්‍රාප්ත හේමරත්න ලියනආරච්චි ලියූ ලිපියක් (බලන්න, ‘ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….‘ ) පිළිබඳ මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර පහත අදහස් දැක්වීම මෑතදී කළේය.

” ප්ලෙටො සිය ඇපලොජියේ එක තැනක ලියනවා තමන් සොක්‍රටීස්ව ඔහුගේ මරණයට දින කීපයකට පෙර මුණ ගැසුනුවිට “සිදුවූ වරද කුමක් දැයි” ප්‍රශ්ණ කළ බව. එවිට ඔහුගෙන් ලැබුන පිළිතුර වුයේ “කෙලින්ම කිව යුතූ දේ කීම” බව. මෙය මම හඳුන්වන්නේ පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීමේ සොක්රටිසියන් ක්‍රමය වශයෙන්. මෙම සොක්රටිසියන් ක්‍රමය මේ අප ජීවත් වන යුගයේ පවතින අධිපතිවදයන් ප්‍රශ්ණ කිරීමේ ක්‍රමය විය යුතු බව යනුවෙන් එදා ජෝජ් බුස්ගේ යුදවාදී පාලක මතවාදය ප්‍රශ්න කරමින් පොතක් ලීව් කෝනල් වෙස්ට් නමැති කළු ජාතික ඇමෙරිකානු ලේඛකයා කියනවා. මම හිතන්නේ අද අපටත් තිබෙන හොඳම විධි ක්‍රමය වන්නේ මෙය බව. න්‍යාය වාද වලින් මේ යුගයේ අධිපතිවාදය ප්‍රශ්ණ කරන්න බෑ. එයට හේතුව අද තිබෙන අධිපතිවාදය එම න්‍යාය වාද විසින්ම නිර්මාණය කර තිබීම යි.”

මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර මතුකරන ඉහත කරුණ සාකච්ඡාවට ගැනීමට ප්‍රවේශයක් වශයෙන් හනා ආරන්ඞ්ට් ලියූ “දර්ශනවාදය හා දේශපාලනය“ නමැති ලිපියෙහි “සොක‍්‍රටීස්ගේ වරද වූයේ ඔහු ද්වන්ධාත්මක ස්වරූපයෙන් විනිසුරුවන් ඇමතීම ය“ යන අදහස මතු කරමින් ඒත්තු ගැන්වීම නොහොත් පොළඹවා ගැනීම හා ද්වන්ධාත්මකය පිළිබඳ කරන සාකච්ඡාව පහත ඉදිරිපත් කරමු.

දර්ශනවාදය හා දේශපාලනය
හනා ආරන්ඞ්ට්

සොක‍්‍රටීස්ගේ නඩු විභාගය හා මරණ දඬුවමත් සමග දර්ශනවාදය හා දේශපාලනය අතර අගාධය ඓතිහාසිකව විවර විය. එය යේසුස්ගේ නඩු විභාගය හා මරණ දඬුවම ආගම පිළිබඳ ඉතිහාසයෙහි රඟ දක්වන සන්ධිස්ථානයක භූමිකාවම හා සමාන භූමිකාවක් දේශපාලන චින්තන ඉතිහාසය තුළ ඉටු කරන්නේ ය. අපගේ දේශපාලන චින්තන සම්ප‍්‍රදාය ඇරඹියේ, පුරවර රාජ්‍යයේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු නැති කර ගැනීමට සහ ඒ එකම විට සොක‍්‍රටීස්ගේ ඉගැන්වීම්වල යම් මූලධර්මයන් සැකයට ලක් කිරීමට ද සොක‍්‍රටීස්ගේ මරණය, ප්ලේටෝ, යොමු කළ විටය. ඇතන්ස්හි පුරවැසියන් අතරින් වඩා හොඳ හා වඩා තරුණ අයට ඒ සා පැහැදිලි වූ, සොක‍්‍රටීස්ගේ නිර්දෝෂී බව හා ඔහුගේ සුදුසුකම් ඔහුගේ විනිසකරුවන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වීය, යන කරුණ ඒත්තු ගැන්වීමේ වලංගු භාවය ප්ලේටෝ විසින් සැකයට ලක් කිරීමට හේතු විය. ප්ලේටෝගේ මෙම සැකයේ වැදගත්කම වටහා ගැනීමට අපට දුෂ්කර වන්නේ පෙයිතෝ – එනම් පෙළඹවීමේ දේවතාවිය – වෙනුවෙන් ඇතෑන්ස්හී දෙවොලක් පැවතීමේ දේශපාලන වැදගත්කම පෙනුන්ම් කරන පැරණි වචනය වන පෙයිතියන් සඳහා Persuation (ඒත්තුගැන්වීම) යන්න ඉතා දුර්වල හා ප‍්‍රමාණවත් නොවන පරිවර්තනයක් නිසාය. ඒත්තු ගැන්වීම, යනු සුවිශේෂ වශයෙන් දේශපාලන කතා ස්වරූපය විය. තමුන් ම්ලේච්ඡයන්ගෙන් වෙනස් වෙමින්, තම දේශපාලන කටයුතු කථනයේ ස්වරූපයෙන් හා බලාත්කාරයෙන් තොරව මෙහෙය වීය, යන කරුණ හේතුවෙන් ඇතීනියානුවන් ආඩම්බර වූයෙන්, ඔවුහු ඒත්තු ගැන්වීමේ කලාව වන අලංකාර ශාස්ත‍්‍රය, උසස්තම හා සැබෑම දේශපාලනමය කලාව ලෙස සැලකූහ…………

ඇතන්ස්හි පුරවැසියන් හා විනිසුරුවන් හමුවේ, සොක‍්‍රටීස්ගේ වගඋත්තරයේ ඔහුගේ ප‍්‍රධාන කරුණ වූයේ, ඔහුගේ හැසිරීම පුරවරයේ උපරිම යහපත සඳහා වූ බව ය. තමන්ට පැන යා නො හැකැ යි ද, ඊට වඩා, දේශපාලන හේතූන් නිසා තමන් මරණ දඬුවම විඳිය යුතු යැ යි ද, සොක‍්‍රටීස් කි‍්‍රටෝ (Crito) හිදී තම මිතුරන්ට පැහැදිලි කළේය. ඔහුගේ විනිසුරුවන් පෙළඹවීමට ඔහු අපොහොසත්වූවා පමණක් නොව, ඔහුට තම මිතුරන්ට ඒත්තු ගැන්වීමට ද නො හැකි වූ සේ පෙනේ. වෙනත් වචනවලින් කියතොත්, පුරවරයට දර්ශනවාදියෙකු අවශ්‍ය නොවීය. මිතුරන්ට දේශපාලන තර්කනයෙන් වැඩක් නොවීය. මෙය ප්ලේටෝගේ සංවාද සාක්ෂි දරණ, ඛේදවාචකයේ කොටසකි……….

සොක‍්‍රටීස්ගේ නඩු විභාගයෙන් ගම්‍යවන දේ පිළිබඳ කරුණු සැළකීමේ කි‍්‍රයාවලියේ දී, ප්ලේටෝ, මතයේ නියම ප‍්‍රතිපක්‍ෂය වශයෙන් ගත් සත්‍යය පිළිබඳ ඔහුගේ සංකල්පයත්, පොළඹවීමේ හා අලංකාර ශාස්ත‍්‍රයේ ප‍්‍රතිපක්‍ෂය වශයෙන් ගත් සුවිශේෂයෙන් දර්ශනවාදී කතා ස්වරූපයක් (ඩයලෙජෙස්තායි) පිළිබඳ ඔහුගේ අදහසත්, යන දෙක ම ගොඩ නඟාගති. ඇරිස්ටෝටල්, ඔහුගේ Ethics (ආචාරධර්මය) කෘතියට නො අඩු ව, ඔහුගේ දේශපාලන කෘතීන්ට අයත් වන, අලංකාර ශාස්ත‍්‍රය යන කෘතිය පෙළඹවීමේ කලාව [එබැවින් කතා කිරීමේ දේශපාලන කලාව] ද්වන්ධාත්මක කලාවේ [දර්ශනවාදී කතා කලාවේ] ප‍්‍රතිරූපකය වේ යන ප‍්‍රකාශයෙන් ඇරඹීමේ දී, මෙම විශේෂ වෙනස්කම් සහ විරුද්ධත්වයන් එසේ ම භාර ගන්නේ ය. ඒත්තු ගැන්වීම නොහොත් පොළඹවා ගැනීම හා ද්වන්ධාත්මකය අතර ප‍්‍රධාන වෙනස වන්නේ, පළමුවැන්න හැම විට ම සමූහයක් අමතන අතර, ද්වන්ධාත්මකය විය හැක්කේ දෙදෙනෙකු අතර දෙබසක් ලෙස පමණක් වීමය. සොක‍්‍රටීස්ගේ වරද වූයේ ඔහු ද්වන්ධාත්මක ස්වරූපයෙන් විනිසුරුවන් ඇමතීම ය. ඔවුන්ට ඒත්තු ගැන්වීමට ඔහුට නො හැකි වූයේ එබැවිනි. අනෙක් අතින්, ඔහු පෙළඹවීම යන්න තුළ ඇති ආවේණික සීමාවන්ට ගරු කළෙන්, ඔහුගේ සත්‍යය, විනිසකරුවන්ගේ නො – සත්‍යයන්ට වඩා බිඳක් වත් නො වටිනා, මතයන් අතර මතයක් බවට පත් විය. තනි ඇතිනියානු පුරවැසියන් හෝ තම සිසුන් සමඟ සෑම ආකාර දෑ ගැන කතා කිරීමට ඔහු පුරුදු ව සිටි අන්දමින්, කාරණය විනිසුරුවන් සමඟ කතා කර ඉවරයක් කිරීමට සොක‍්‍රටීස්ට උදක්ම අවශ්‍ය වීය. එමගින් යම් සත්‍යයක් වෙත එළඹ, අන් අයට එය ඒත්තු ගැන්වීමට තමන්ට හැකි වනු ඇතැ යි ඔහු විශ්වාස කළේ ය. නමුත් පෙළඹවීම එනුයේ සත්‍යයෙන් නො ව, මතයන් ගෙනි. සමූහයා සම්බන්ධයෙන් ක‍්‍රියා කළයුතු අයුරු සලකා බැලිය හැක්කේ සහ දන්නේ පෙළඹවීම පමණි. සමූහයා පෙළඹවීම යන්නෙන් අදහස් වන්නේ, එහි බහු විධ මතයන් මත, යමෙකු තමන්ගේ ම මතය බලෙන් පැටවීම ය. ඒත්තුගැන්වීම නැතහොත් පෙළඹවීම ප‍්‍රචණ්ඩත්වය මඟින් පාලනයේ ප‍්‍රතිවිරුද්ධය නො වේ. එය එහි වෙනත් ස්වරූපයක් පමණි. ප්ලේටෝ ‘නීති’ කෘතිය හැරුණු විට තම සියළු දේශපාලන සංවාද අවසන් කරන්නේ පරළොවක් පිළිබඳ මිත්‍යාවන් සමඟිනි: එම මිථ්‍යාවන් සත්‍යය හෝ හුදු මතය හෝ නොවේ. ඒවා සැලසුම් කර ඇත්තේ බිය ගැන්විය හැකි, කතා වශයෙනි. එනම්, වදන් මගින් පමණක් ප‍්‍රචණ්ඩත්වය යෙදීමේ උත්සාහයක් වශයෙනි. සමාප්තක මිත්‍යාවකින් තොර ව ‘නීති’ කෘතිය අවසන් කිරීමට ඔහු ට හැකි වූයේ, එහි එන දඬුවම් පිළිබඳ සවිස්තර නියම කිරීම්, හා ඊටත් වඩා පවා විස්තරාත්මක දඬුවම් ලැයිස්තුව නිසා, හුදු වදන් මඟින් දැක්වෙන ප්‍රචණ්ඩත්වය අනවශ්‍ය කෙරුණු හෙයිනි…….. Continue reading සොක්‍රටීස් පාලක පෙළන්තියේ අධිපතිවාදය ප්‍රශ්න කිරීම සහ ඔහුගේ මරණය

Advertisements

ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය

ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය
කුමුදු කුසුම් කුමාර

රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලත් ශූරීන් පිළිබඳ ලියූ ලිපිය (රාවය, 2013 අප්‍රේල් 14) සාකච්ඡාව සඳහා වැදගත් කරුණු ගණනාවක් මතුකරයි. ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමෙහි ලා භාෂාවට හිමිවන ප්‍රමුඛත්වය පිළිබඳ අදහස මෙහි ලා ප්‍රධාන ය. රනිල් වික්‍රමසිංහ ගම්ලතුන්ගේ දායකත්වය අගය කරන්නේ ඔහු සිංහල භාෂා පුනර්ජීවනයට උර දුන් මුල් විද්වතුන් ගේ පරපුරේ විප්ලවීය යුග පුරුෂයෙකු ලෙසිනි.

යටත් විජිත සමයේ මෙරට ඇරඹුණු සිංහල හා දෙමළ භාෂා පුනර්ජීවන ව්‍යාපාර යටත් විජිත විරෝධයේ ආරම්භය සටහන් කළ බෞද්ධ සහ හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල දිගුවකි. අප ජාතියක් වශයෙන් නැඟී සිටීමේදී සහ සිංහල භාෂාව පෝෂණයේදී ඉංග්‍රීසි භාෂාව දේශීය භාෂාවක් වශයෙන් උගැන්මේ ඇති වැදගත්කම වටහා ගත් ගම්ලතුන් ඒ වෙනුවෙන් නොපැකිළ පෙනී සිටියේය, කටයුතු කළේය. ට්‍රොට්ස්කිවාදයෙකු වූ ගම්ලතුන් ගේ භාෂාව පිළිබඳ දර්ශනය, අදහස් සහ සේවාව අගය කරන්නට ප්‍රතිපක්ෂ දේශපාලන මතවාදයක් දරන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම පෙන්වන්නේ දේශපාලන ශිෂ්ට සම්පන්නභාවයකි. මෙය ගම්ලතුන් ගේ අවමඟුලට ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් ඔහුගේ අත්සනක්වත් නොමැතිව හුදු මුද්‍රිත පොදු ශෝක පණිවුඩයක් සහිත මල්වඩමක් ජනාධිපති කාර්යාලයෙන් එවා තිබීම පෙන්නුම් කිරීමෙන් ප්‍රකට කරන කණගාටුදායක තත්ත්වය හා සසඳා බැලිය හැකිය.

සැමුවෙල් පී. හන්ටින්ග්ටන් ඇමෙරිකාව සම්බන්ධයෙන් මතුකරන කරුණ උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසන්නේ ජාතික අනන්‍යාතාව රැකීමට භාෂාව තීරණාත්මක වන බවයි. ඇමෙරිකාව විශාල වශයෙන් සංක්‍රමණිකයන්ගෙන් සැදුණු රටක් වූ හෙයින් ඔවුන් සියලු දෙනට ඇමරිකානු මව් බස වූ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දී ඔවුන් ඇමෙරිකානුවන් බවට පත් කිරීම, ඇමෙරිකානු ජාතික අනන්‍යතාව රැක ගැනීමෙහි ලා තීරණාත්මක වීය. හන්ටින්ග්ටන් කියන්නේ පසු කලෙක බහු සංස්කෘතිකවාදී අදහස් ඇමෙරිකානු සමාජයේ බලවත් වීමත් සමඟ මෙම පිළිවෙත වෙනස් වීම නිසා ඇමෙරිකානු ජාතික අනන්‍යතාව අර්බුදයට පත් වී ඇති බවයි.

භාෂාවේ පෝෂණයට දායක වීමෙහි හෝ නොවීමෙහි ලා දේශපාලනයේ වගකීම විභාග කරන්නට රනිල් වික්‍රමසිංහ ගම්ලතුන් පිළිබඳ තම ඇගයීම අවස්ථාවක් කර ගනියි. සුචරිත ගම්ලතුන් ලංකාව බහු භාෂා භාවිතයක් ඇති බහු සංස්කෘතික බහු වාර්ගික දේශයක් ලෙස වටහාගත් ඒ වෙනුවෙන් නිරතුරුව ක්‍රියාකළ පෙරටුගාමී විද්වතෙකි යනුවෙන් රනිල් වික්‍රමසිංහ පළ කරන අවබෝධය අගය කළ යුතුය. “ජාතික අනන්‍යතාවයක් නිර්මාණයේදී ප්‍රමුඛස්ථානයක් භාෂාවන් වෙත හිමිවෙයි” යනුවෙන් දක්වන අතරම 19 වන සියවසෙහි මැද සිට ඇරඹුණු ප්‍රාචීන භාෂා ප්‍රබෝධය ද නිදහස ඉලක්ක කර ගනිමින් ඇරඹුණු සිංහල භාෂා පුනරුදය ද මේ හා බැඳි චරිත වන සුමංගල හිමිගේ සිට මාර්ටින් වික්‍රමසිංහ දක්වා අය අගයන රනිල් වික්‍රමසිංහ “සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලීමේ ආශ්චර්යයෙන් ජනතා දෑස් අන්දකොට ඉංග්‍රීසි තම පංතියට සීමා කිරීමට මෙරට දේශපාලනඥයන් කටයුතු කලේ” යැයි විවේචනයක් ගෙන එයි. මෙහිදී, පෙර කී භාෂා පුනරුදයේ බලපෑමක් හෝ දිගුවක් ලෙස සිංහල රාජ්‍ය භාෂාව කිරීම දැකිය නොහැකිද යන ප්‍රශ්නය කෙනෙකුට නැඟිය හැකිය. නැතහොත් රනිල් වික්‍රමසිංහ හන්ටින්ග්ටන් ගේ ඇමරිකානු නිදර්ශනයේ මෙන් බහු වාර්ගික ශ්‍රී ලංකාවේ ද ඉංග්‍රීසි මුල් කරගත් ජාතික අනන්‍යතාවයක භව්‍යතාවයක් තිබූණේ යැයි ගතානුගතික දැක්මක් උසුලන්නේ ද? යන ප්‍රශ්නය මෙහි ලා මතුවෙයි.

ලංකාවේ ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමට නම් සිංහල සහ දෙමළ දෙභාෂා ජාතික භාෂා වශයෙන් පිළිගැනීමේ වැදගත් කම යටත් විජිත සමයේ සිටම අවධාරණය කෙරී ඇති කරුණ කි. මෙහිදී ලංකාවේ තත්ත්වය සසඳන්නේ නම් ඒ සඳහා වඩා ගැළපෙන්නේ ඇමෙරිකාව නොව කැනඩාව යැයි සිතමි. එරට අතිමහත් බහුතරයක් වසන භූගෝලීය කලාපය තුළ ඉංග්‍රීසි කතාකරන ජනයා වාසය කරන අතර ප්‍රංශ භාශාව මවු බස කරගත් ක්විබෙක් ප්‍රාන්තය ද තිබේ. කැනඩාව ජාතික අනන්‍යතාව සහ භාෂාව පිළිබඳ කරුණ ආමන්ත්‍රණය කරන ආකාරය සම්බන්ධයෙන් වැදගත් යමක් එහි ක්විබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් නුවර වසන ඉංග්‍රීසි මවු බස නමුත් ප්‍රංශ බසද එක හා සමානව දැන උගත් කැනේඩියානුවෙකු වන ලෝ පතළ දාර්ශනික චා(ර්)ල්ස් ටේලර් බහුසංස්කෘතිකවාදය පිළිබඳ දක්වා ඇති අදහස් වලින් අපට ඉගෙන ගත හැකි වනු ඇතැයි සිතමි. Continue reading ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා
දිමුතු සමන් වෙත්තසිංහ

නලින් සුවාරිස්
නලින් සුවාරිස්
ආචාර්ය නලීන් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2013.04.17 වෙනි අද දිනට දෙවසරකි.

මා ප්‍රථම වරට නලින් ස්වාරිස් හමුවී කතා කිරීමට අවස්ථාවක් ලැබුවේ කතෘ ප්‍රකාශයක් වශයෙන් පල කර තිබූ “මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග” (Buddha’s Way to Human Liberation) නම් ඔහුගේ මාහැඟි කෘතියේ පිටපතක් ලබා ගැනීමට 2001 වර්ෂයේ එක්තරා දිනයක දෙහිවල පිහිටි ඔහු ජීවත් වූ නිවසට ගිය විටය. ඒ කෙටි හමුව තුළ ඩේකාට්ගේ සිට සමකාලීන බෞද්ධ සංස්ථාව දක්වා ආකර්ෂණීය මෙන්ම නිර්දය විචාරයක් අප හමුවේ ගෙන හැර දැක්වීමට ඔහු ශූර විය. දීඝ නිකායේ වෙළුමක් අප හමුවේ තබා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍යය තිරශ්චීන විද්‍යාවක් ලෙස හඳුන්වා ඇති ආකාරය පෙන්වමින් සමකාලීන විපරීත ආගම පිළිබඳ සිතන්නට පෙළඹුවේය. කාටීසියානු ද්වෛතය යනුවෙන් වර්තමානයේ හඳුන්වන දෙය ඩෙරීඩා ට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේගෙන් විසංයෝජනය වූ ආකාරය ඔහු සිහිපත් කලේ බටහිර ප්‍රබුද්ධත්වය පිළිබඳ සැක උපදවමිනි. පාරිභෝජන සමාජයක බුදු දහම මුහුණ පා ඇති අනතුර පිළිබඳ සවිඥානික වූ ඔහු උගත් වියත් භික්ෂුන් සමග රූපවාහිනී ධර්ම දේශනා නිසා පංසල හා බෞද්ධයන් අතර සම්බන්ධය බිඳ වැටීමේ ආදීනව සාකච්ඡා කර ඉන් වැළකෙන්නැයි ඉල්ලීය. වරක් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් හමූවූ විටෙක භික්ෂුන් සහ ගිහියන් සඳහා දෙයාකාරයක ආසන පැනවීම දුටු ඔහු ඒ කුමන සමානාත්මතාවයක් දැයි බෞද්ධ සංස්ථාවේ චාරිත්‍ර විධි සහ භාවිතයන් ගැන පසු කලෙක අපගෙන් ප්‍රශ්න කලේ ඔහුගේ චින්තාව මත වැටී තිබුණ හේතුවාදී (rationalist) සෙවනැල්ලක බලපෑම නිසාද යන්න ගැටළු සහගතය.

සැබැවින්ම, බුදුන් දෙසූ මග (බටහිර අධිපතිභාවයට පත්ව ඇති ) පුද්ගලික මෝක්ෂය සෙවීමේ භාවනා හෝ යෝගී ක්‍රම වලට ලඝු කිරීමට එරෙහිව සමාජ ඓතිහාසික සංදර්භයක පිහිට වූ ඔහුගේ කෘතිය අධිපති බ්‍රාහ්මණවාදයට එරෙහිව සමාජ විමුක්ති මාර්ගයක් ලෙස බුදුන්ගේ අනත්තාවාදයත්, ක්‍රිස්තියානි පාරභෞතිකවේදයට එරෙහිව ඩෙරීඩාගේ විසංයෝජන රීතියත් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් ගෙන ආවේය. නූතනත්වයේ හේතුවාදී ප්‍රබුද්ධතා ව්‍යාපෘතිය (Enlightenment) දාර්ශනිකව බිඳ හෙලු පශ්චාත් ව්‍යුහවාදී විචාර ධාරාවේ හිණිපෙත්තට නැඟි ඩෙරීඩාට පවා මාක්ස් ගැන අගතියක් තිබු සේ ආචාර්ය නලින් ද ක්‍රිස්තියානි පාරභෞතිකවේදය පිළිබඳ විචාරයට තරම් ප්‍රබුද්ධතා ව්‍යපෘතිය ගැන විචාරයට සංවේදී නොවීම අගතියක් යැයි කිවොත් ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි ස්මරණයක දී ඔහුගේ කාර්යයට සාධාරණය ඉටු කරනු සඳහාමය. මේ ඔහුගේ “බුද්ධාගම, මානව හිමිකම් හා සමාජ නවීකරණය” නම් කෘතියේ උදෘතයකි.

“ප්‍රබුද්ධත්වය යුරෝපීය සමාජය මත පමණක් නොව සියළු සමාජ මත නිත්‍ය බලපෑමක් ඇති කල ලෝක දෘෂ්ටියක් බිහි කලේය. විශ්වයේ භූ කේන්ද්‍රීය දෘෂ්ටිය ඉවත දමා මානව වර්ගයාට එහි සත්‍ය සූර්යයා වටා එවිට අවසාන වශයෙන් භ්‍රමණය වන්නට හැකි විය. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යනු ප්‍රබුද්ධත්වයෙන් ඇරඹුණු ක්‍රියාවලියක් මස්තක ප්‍රාප්ත වීමකි. යුරෝපීයෝ එම යුගයේ වහල් වෙළඳාමේ සහ යුරෝපීය නොවන ජනයා යටත්කරගැනීමේ නියැලී සිටියත් ප්‍රබුද්ධත්වය ක්‍රිස්තියානි රාජ්‍යන්ගේ ම්ලේච්ජ භාවිතයන් සමග අනිවාර්යෙන් ගැටෙන අදහස් බිහි කළේය” (Buddhism,Human Rights and Social Renewal).

මුලින් කියැවෙන, මානව සංහතිය විද්‍යාවේ හා තර්ක බුද්ධියේ ග්‍රහණයට ගැනීමට සහ වහල් වෙළඳාමේ සිට අධිරාජ්‍යවාදය දක්වා මග පෑදූ යුරෝපීය ප්‍රබුද්ධත්වය ගැන ප්‍රංශ විප්ලවයේ අගනාකම් වලින් සන්නද්ධව සිටි ආචාර්ය නලින් ට විවේචනයක් නැතැයි කිසිවෙක් නොකියනු ඇත. එහෙත් එය අභිබවා පසුව කියැවෙන ක්‍රිස්තියානි ම්ලේච්ජත්වයට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ප්‍රගතිශීලී කාර්යභාරයක් පිළිබඳ විග්‍රහයකට ප්‍රමුඛත්වය ලැබීම ඔහුගේ චරිතය ගොඩනංවන ලද ක්‍රිස්තියානි සම්ප්‍රදාය සමග වූ අරගලය නිසා ඇති වූවක්ද? ඩාවින්චි කෝඩ් චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡාවකදී “නිර්මල පිළිසිඳ ගැනීම” පිළිබඳ කතෝලික සංකල්පය නිර්දය ප්‍රහාරයකට ලක් කළ විට එහි සිටි මගේ කිතුණු ඥාතියෙක් වික්ෂිප්ත විය. එසේත් නැතහොත්, එය හබර්මාස්ගේ “අසම්පුර්ණ හෝ නොනිමි නූතනත්වයක් (incomplete modernity) පිලිබඳ අදහසින් ලැබූ ආභාෂයකින් ඇතිවන්නක් ද? විචාර බුද්ධියේ හෝ විද්‍යාවේ විමුක්තිදායක (emancipatory) කාර්යභාරයක් තව දුරටත් ශේෂ වී ඇතැයි ප්‍රබුද්ධත්වය ගැන හබර්මාස් බළාපොරොත්තුවක් ගෙන ආවේය. විමුක්තිය (emancipation) පිළිබඳ අදහස අන් සියල්ලට වඩා නලින් පිළිබඳ ඉහත සාකච්ඡා කරන ලද දෙඅර්ථයටම යුක්තිය ඉටු කරණු ඇත. ඩෙරීඩා මිය ගිය මොහොතේ ඔහු ලියු දෙය මෙහිලා අදාලය.

“මාක්ස් කියූ පරිදි ලෝකයේ අරුත පැහැදිළි කිරීමට බොහෝ පඬිවරු උත්සාහ කරති. නමුත්, වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීමය. ඩෙරීඩාගේ චින්තනයේ සමාජය වෙනස් කිරීමට ක්‍රමවේදයක් (praxis) නොමැති වීම එහි කැපී පෙනෙන හිඟයකි.

නමුත් බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටුදායක බව හෙළිදරව් කර,එහි ඇලී ගැලී සිටීමෙන් හට ගන්නා පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි” (විභවි බුලටීනයෙන්)

සැබැවින්ම ඔහුගේ කාර්යය සද්භවවේදී (ontological) සහ ඥාන මීමංසාත්මක (epistemological) යමකට වඩා විමුක්තිදායක යමක් ලෙස දැකිය හැකිද?

ඔහු හැදී වැඩුණු කිතුනු සම්ප්‍රදාය පිළිබඳ දෘඩ විවේචකයෙක් වූ සේම විමුක්ති දහමක් වූ මාක්ස්වාදය කිසි කලෙක අත් නොහැරියේය. ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, මනෝ විශ්ලේණය කලාව ගැන ඔහු සතුවූ පුළුල් දැනුම ලාංකීය සමාජය සමග බෙදා ගැනීමේදී මූල්‍ය හෝ ආර්ථික වටිනාකම් මත ලංසු නොතැබූ බව සාක්ෂි දැරීමට බොහෝ අය ඉදිරිපත්වනු ඇත. පොදු කටයුතු පිළිබඳ ලෝකය පිළිබඳ පුරවැසි අපගේ අවධානය නිරන්තරයෙන් අවදියෙන් තැබීමට තරම් ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන් කරන ලද මැදිහත් වීම ඒත්තු ගන්වන සුළුය. කොකා කෝලා සමාගමට එරෙහිව “දි අයිලන්ඩ්” පුවත්පතින් වරක් තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේ බුද්ධිමතෙකුටත් වඩා සැබෑ පුරවැසියෙකුගේ කාර්ය සිහි ගන්වමිනි. එල්.ටී.ටී ඊ ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ විට “ආදරණීය දේශය මොර ගා හඬාපන්” යන මාතෘකාවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලියූ හැඟීම්බර ලිපිය අරඹන්නේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කළ බව ඇසීමෙන් කම්පිතව වෝල්ට් විට්මාන් ලියු පද්‍යයක් සිහිපත් කරමිනි. ප්‍රධාන ධාරාවේ ලා නොගැනුණු “ලංකා” පුවත්පත වැන්නකට කිසිම බුද්ධිමය ගර්වයකින් තොරව තම අදහස් දැනුම ලබා දුන්නේ “තරුණයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා ඉංග්‍රීසියෙන් ලියන දේවල් අපිට සිංහලෙන් කියන්න බැරිද කියලා? මට ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ” යැයි පවසමිනි. සම්භාව්‍ය භාෂා කිහිපයක නිපුණ වූ ඔහු බොහෝ නූතන සංකල්ප වල මුල් අරුත් ග්‍රීක, ලතින් සහ ඉංග්‍රීසි භාෂා සම්ප්‍රදායන්ගෙන් ගෙනහැර පැවේ අප විමතියට පත් කරවමිනි. රතු රෝස මලේ සංඥාර්ථවේදය ගැන ලියු ලිපිය එවැන්නකි. සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික දෑ අරඹයා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඔහු කළ රැඩිකල් මැදිහත් වීමෙන් සුවිශාල සාහිත්‍යයක් ගොඩ නැගී ඇති බව නිසැකය. කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් අපගේ පරිවර්තන වල ග්‍රීක ලතින් භාෂා පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීමට ඔහු හමුවූ අවස්ථාවක දී ප්‍රංශ භාෂා යෙදුම් පිළිබඳ ගැටළු ද නිරාකරණය කර දුන්නේය. විශ්ව විද්‍යාලයේ හෝ අන් තැනක වේවා ඔහු තම දැනුම අන් අය සමග බෙදා ගැනීමේදී කාලය පිළිබඳ තක්සේරුවකින් තොරව කැපවීම දුර්ලභ ගුණාංගයක් විය.

සරත් ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී දයාන් ජයතිලක හා ඇති කරගත් විවාදය කියවූවෙක් ඔහු ජාතිවාදියෙකු යැයි පැවසූ කතාවක් කොහේදී හෝ ඇසුණු බවක් මතකයේ ඇත. විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂය සමග සමීපව සිට උතුරු නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලද ඔහු පසු කාලයේ ඉන්දීය හමුදාව සහ එම පළාත් සභා දේශපාලනය විසින් අහිංසක ජනයා මත මුදාහල පීඩනය ගැන විවේචකයකු වන විට ඔහු එල්.ටී.ටී. ඊ. කාරයෙකු යැයි කිසිවෙක් කිවහොත් එතරම් බොළඳ ප්‍රකාශයක් ලෙස එය සැළකිය යුතුය. ත්‍රස්තවාදය පිළිබඳ ඔහුගේ විවේචනය වුයේ සිංහල බෞද්ධ රාජ්‍යය දෙමල ජනයාට පීඩා කරන අයහපත් එකක් නම් ඔවුන්ගේ විමුක්තිකාමීන් ඊට වඩා යහපත් විය යුතු බවයි. කවර ආකාරයක වත් ප්‍රචන්ඩත්වයක් නොඉවසූ ඔහු මනුෂ්‍යත්වයේ ඇබිත්තක්වත් ඇත්තෙක් යුද්ධයකට පක්ෂ නොවනු ඇත යනුවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලීවේය.

ඔහුගේ සමාජ කාර්යයට යුක්තිය ඉටු කරනු ඇත්තේ ජාතිවාදය වැනි යෙදුමක් නොව “දේශප්‍රේමියා යනු තම පුරයේ යුතුකම වෙනුවෙන් සහභාගි වන්නා” යන රෝම කවි සිසරෝගේ හෝ පුරවැසියා යනු “පුරයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නා” යන ඇරිස්ටෝටල්ගේ අර්ථ දැක්වීම්ය. සැබවින්ම ඔහු මියයන තෙක්ම තම රාජ්‍යයේ හෝ පුරයේ යහපත වෙනුවෙන් බුද්ධියෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද නිරතුරුව මැදිහත් වූ ඇරිස්ටෝටලියානු අරුතේ පුරවැසියෙක් හෝ සිසරෝගේ අරුතේ දේශප්‍රේමියෙකි. එවැන්නෙකු ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී තම පක්ෂපාතකම ප්‍රකාශ කලේ දේශය වෙනුවෙනි. රාජ්‍ය කරවන්නන් රාජ්‍යය අනතුරේ දමන යුගයක, බොදු බල සේනාවේ “ලුම්පන් බුද්ධාගම” බෞද්ධ සමාජ ජීවිතය මිලිටරීකරණය කරන යුගයක නලින් ස්වාරිස් ජීවතුන් අතර සිටියා නම් කවර මගක් ගනු ඇත් ද?

බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්

හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත.

මහින්ද රාජපක්ෂ රෙජීමය කළ එක් පරඳිනගතිශීලී දෙයක් නම් මේ මධ්යතම පාන්තික කලාකාර රොත්තගේ අවස්ථාවාදය හොඳින් පෙනෙන්නට සැලැස්වීමය.

අබා සිට සිද්ධාර්ථ දක්වා සිනමාවත් මහරජාණෙනි ධාරාවේ ගීතත්, මහාසමයම වැනි නාට්යියත් කරන්නට තැත් කරන්නේ රෙජීමයේ දෘෂ්ටිමය දාසකම් මිස අනිකක් නොවේ.

ප‍්‍රධාන ධාරාවේ සියලූම සංවාද ජැක්සන් ඇන්තනී රණවිරු ස්ටාර් වැනි වැඩසටහනකට ඇවිත් ඇඟමස සලිත කරවා කියන කියන හිස් අලංකාරික වැනිය. ඒ කියමන් රටටම ඇසෙන්නට කිව්වද ඒවායේ නියම ඉලක්ක ශ‍්‍රාවක පිරිස යනු එක් පුද්ගලයෙකු හා ඔහුගේ සහෝදරයන් හා පුතුන් බව මුළු රටටම පැහැදිලිය. ඔහු තරමට ඇඟමස සලිත කරමින් දැඟලූවේ නැති වුවත් ප‍්‍රධානධාරාවේ සියලූ කලාකරුවන් ජැක්සන් ඇන්තනී සංකීර්ණය නම් සමාජ-මනෝ රෝගයෙන් ව්‍යාධියට පත් වූවෝ වෙති. දිවුල්ගනේගේ කටහඬ, රෝහණ වීරසිංහගේ සංගීතය, චන්න විජේවර්ධනගේ නැටුම කිසිම සමාජමය අර්ථයක් නැති උත්සව සැරසිල්ලක් බවට පෙරලී ඇත. නිකම් උත්සව නොව ඒවා රාජ්‍ය උත්සවවල සැරසිලිය. මේ අහඹු ලෙස ගත් නම් කීපයකි. එවැනි කලාකරුවන් පිරිසකගෙන් නව බුද්ධිමය සංවාදයක් වත් අලූත් ආචාරධාර්මික තර්කනයක් වත් බලාපොරොත්තු විය නොහැකිය.

අප මෙහි කතා කරන අලුත් රැඩිකල් කලාකාර ධාරාවේ රචනාවල විරෝධය එල්ල වන්නේ ප‍්‍රධානධාරාවේ මධ්‍යම පාන්තික ජීවිතය වෙත පමණක් නොවේ. සම්භාව්‍යත්වයේ ඇඳුම ඇඳි ව්‍යාජ මධ්‍යම පාන්තික කලාකරුවන් සේම රැඩිකල් ඇඳුම ඇඳි තරුණ පරම්පරාවද මේ කලාකරුවන්ගේ විරෝධයට ලක් වේ. “මාලෙ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලූවේ” යන ගීතයෙන් අලූත් අර්ථ ගෙන ආ හැකි කටහඬින් ගයන ගීතදේවගේ විරෝධය එල්ල වන්නේ තාරුණ්‍යයට රැඩිකල් ආවේශය සැපයිය හැකි වීරයන් මෝස්තරයක් බවට පත් කරගත් බුද්ධිමය වශයෙන් හිස් පරම්පරාවකි. මෙවැනි පරම්පරාවක් යනු යටකී ජැක්සන් ඇන්තනී ධාරාවේ කලාකරුවන්ගේ දෘෂ්ටිමය බංකොලොත් බවට හෝ ඔවුන්ගේ ආචාරධාර්මික පරිහානියට හෝ විකල්පයක් නොවේ.

බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්
ලියනගේ අමරකීර්ති
වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය විකල්ප සංගීත සැඳෑවක් පැවැත්වීය. එහිදී ගීතදේව, පියල්, ශාක්‍ය වැනි අය ගැයූ ගී නිසා මම ප‍්‍රීතියෙන් උන්මාද වී ගියෙමි. ප‍්‍රධාන ධාරාවේ ගතානුගතික කලාවට පමණක් සාමාන්‍යයෙන් ඉඩ ලැබෙන විශ්වවිද්‍යාලයක ශිෂ්‍ය සංගමයක් එවැනි ගීත කලාවකට ඉඩ දීම අසිරිමත් දසුනක් විය. ඒ ගීත අලූත් කටහ`ඩක්, අලූත් තනු නිර්මාණයක් සේම අලූත් අදහස් මාලාවක්ද අඩංගු කර ගත්තේය. පැරණී ජීවිතයේ වේදනාව දරා ගත නොහැකිව අලූත් ජීවිතයක් ඉල්ලා ගයන බ්ලූස්, ජෑස්, හෝ රෙගේ සංගීතයකුත් කැලිප්සෝ ගීත රචනා ආකාරයකුත් මට ඒ කලාවෙන් පෙනිණ. ඒ සේරටමත් වඩා සුපර් ස්ටාර් වැනි වෙළඳ ව්‍යාපාරවලින් මතු වූ ගායක ගායිකාවනුත්, දැන් දැන් මල් මල් ආදර ගීත කියන කන්නලව් කටහඬවල් ඇති ජනප‍්‍රිය ගායක ගායිකාවනුත් වෙත නැති අමුතු ගම්බීර කටහ`ඩවල්ද අපේ මේ ගායක පිරිස වෙතින් අපට ඇසිණ. එසේම ඔවුන් ඔස්සේ අපට හමු වූයේ ප‍්‍රධානධාරාවේ චින්තන අච්චුවෙන් පිට පැන සිතන තරුණ කලාකරුවන් එදින මා ලද ප‍්‍රීතිය නිසා මෙම රචනය ලියන්නෙමි.

ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ කලාව පවතින්නේ අර්බුදයකය. ඇතැම් විට මේ අර්බුදය බැලූ බැල්මට නොපෙනෙන්නකි. සමාජයකට පැවතිය හැකි ලොකුම අර්බුදය ඒ සමාජයේ අර්බුද බැලූබැල්මට නොපෙනීයාමය. “බැලූබැල්ම” යනු සිංහලයේ ඇති අපූරු යෙදුමකි. ඉන් අදහස්වන්නේ විචාරාත්මක විනිවිද දැකීමෙන් තොර බැල්මයි. එනම් සාමාන්‍ය දැනීමේ බැල්මයි. අපේ සමාජයේ අර්බුදය විවිධ සැරසිලිවලින් වෙස් ගන්වන්වා ඇති නිසා “බැලූබැල්මේ” සාමාන්‍ය අවබෝධයට ඒ අර්බුදය දැකිය නොහැකිය.

ඒ බැල්මෙන් බලන කල පෙනෙන්නේ ලංකාවේ කලාව සහ කලාකරුවන් ඉතා හොඳින් පවතින බවයි. එක් අතකින් සියලූම ප‍්‍රධාන කලාකරුවෝ විවිධාකාර රජයේ තනතුරු දරා සිටිති. ඇතැම් කලාකරුවෝ වර්තමාන රෙජීමය බලයට පත් වූ පසු අටවාගත් සමාගම් මගින් රජයේ කොන්ත‍්‍රාත් කර මුදල් උපයති. ඒවා නිකම්ම මුදල් නොවේ. වැඩිමනත් ආයෝජනයක් හෝ පුද්ගල කැපවීමක් නැතිව උපයන ක්ෂණික මුදල්ය. ඒවා සුළුපටු මුදල්ද නොවේ. ඒ කොන්ත‍්‍රාත් යනු රටේ සංවර්ධනයට අත්‍යවශ්‍ය හෝ රටේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සෘජුව අවශ්‍ය නොව කොන්ත‍්‍රාත් නොවේ. කලාකරුවන් ලබන කොන්ත‍්‍රාත්වලින් කෙරෙන්නේ රජයේ ප‍්‍රචාරණ ව්‍යාපෘතියේ සැරසිලිවලට දායකවීමය. හම්බන්තොට වරාය විවෘත කරන විට නැටුම් නැටීම එවැනි වැඩකි. ඒවා කලාවද නොව අතිශයින් චූල සැරසිලි කලාවකි. චන්න විජේවර්ධනගේ ( හෝ අනික් වානිජ නැට්ටුවන්ගේ) නැටුමත් උත්සවයක එල්ලන ගොක්කොළයත් අතර සංකල්පමය වෙනසක් නැත. මේ සැරසිලි වැඩවලට සම්බන්ධ බිල්පත් පරීක්ෂා කර බැලූවහොත් ඇතැම් කලාකරුවන් උන්හිටි ගමන් කෝටිපතියන් වූයේ කෙසේදැයි දැක ගත හැකිය.

Continue reading බොදු බල සේනා යුගයක “බැලූබැල්ම” අර්බුදයට යවන කලාවක්

සුචරිත ගම්ලත්

ගම්ලත්ට පසු ගම්ලත්?
හරීන්ද්‍ර.බී. දසනායකගේ “මාක්ස්වාදී කලා විචාරය තුළ ගම්ලත් ලකුණ”ට පිළිතුරක්

දිමුතු සමන් වෙත්තසිංහ14006 - Copy - Copy

පසුගිය දිවයින (2013.04.04) වටමඬල අතිරේකයේ “මාක්ස්වාදී කලා විචාරයේ ගම්ලත් ලකුණ”යන මැයෙන් හරීන්ද්‍ර.බී. දසනායක විසින් රචිත ලිපියේ මා විසින් “සුචරිත ගම්ලත් මාක්ස්වාදීයෙක් වී ද ?” යනුවෙන් කතිකා වෙබ් අඩවියේ පල කරන ලද ලිපියේ සඳහන් වූ කරුණු කිහිපයක් ගැන සාකච්ඡාවට මුල පුරා තිබුණි.ඒ පිළිබඳ ඔහුගේ උනන්දුව අගයමි. තවද, ඒ සම්බන්ධයෙන් ඔහු විසින් සඳහන් කරන්නට යෙදුන කරුණු වල යම් යම් අතපසු වීම් කිහිපයක් තිබුණ හෙයින් සහ ඒවා දිවංගත මහාචාර්යවරයාගේ ශාස්ත්‍රීය කර්තව්‍යය පිළිබඳ වැරදි වැටහීම් ඇති කිරීමට තරම් ප්‍රබල යැයි පෙනී යන හෙයින් මෙම ඌණ පූරණය අවශ්‍ය යැයි සිතමි. Continue reading සුචරිත ගම්ලත්

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

දෙවියන් හැර ගිය දෙවොලක සිට
කැත්ලීන් ජයවරර්ධන

w1-1

සෝවියට්‌ පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්)

රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට්‌ ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක්‌ තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල සීමාව තුළ අපේ මාධ්‍යයට (විශේෂයෙන් රූප මාධ්‍යයට) බරපතළ ලෙස මග හැරුණේ ද යන ප්‍රශ්නය යළි යළි පැන නැගෙමින්, රැළි නැගෙමින් ඇති නිසා ය.

මහාචාර්යය සුචරිත ගම්ලතුන් හා මා අතරේ සාමාන්‍ය මට්‌ටමක හෝ ඇසුරක්‌ පැවතුණේ ගවී ගිය පස්‌වස තුළ ය. ඉඳහිට මට හමු වූ විට මා සමඟ කතා බහ කළ මේ මහාචාර්යවරයා කලක පටන් මා වේදිකාවේදී දැක තිබූ ඒ මහාචාර්යවරයා ම දැයි විමතියක්‌ මා තුළ පැන නැඟුණේ ද මේ අතරේ ය. ඒ ඇතැම් දේ මට හැඟුණ දැනුණ හැටියට ය. ප්‍රසිද්ධ වේදිකාවලදී සිංහ සෙය්‍යාවෙන් (ඇතැමුන් පවසන පරිදි දෙන්නම් බැටේ විචාරයෙන්) සෙස්‌සන් දුර්මුඛ කළ දැඩි මතධාරියකු වෙනුවට මා දුටුවේ, මට හමුවූයේ සාවධාන ලෙස අන්‍යයනට සවන් දෙන කුඩා දරුවකු තරමට, අහිංසකත්වයක්‌ ප්‍රකට කළ, නිහඬ, නිවුණු, තැන්පත්, සානුකම්පිත පුද්ගලයෙකි. මෙය වියපත් වීම ද සමඟින් පුද්ගලයකු තුළ ඉස්‌මතු වන සාමාන්‍ය තත්ත්වයකි යි සිතන්නට ඇතැම් විට මම කිසියම් උත්සාහයක යෙදුනෙමි. එහෙත් වැඩිදුරටත් සිතත්දී එය පොදු ධර්මතාවක්‌ වශයෙන් මට හඳුනාගත හැකි වූයේ ද නැත.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් පිළිබඳ ගෞරව භක්‌තියක්‌ මා තුළ තැන්පත් වූයේත් බහුතර සාහිත්‍යකාමීන්ගේ – සෞන්දර්යකාමීන්ගේ සිත්සතන් තුළ එතුමා අමරණීයත්වයට පත් වූයේත් විශේෂ කරුණක්‌ හේතුවෙනි යි මම විශ්වාස කරමි. මේ කවර නම් කරුණක්‌ දැයි වටහා ගැනීම සඳහා ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘතියෙන් ම උද්ධෘත කොට ගත් ලෙනින්ගේ අවධාරණයක්‌ දැක්‌විය හැකි ය.

මනුෂ්‍ය සංහතියේ සමස්‌ත විකාශනය විසින් නිර්මාණය කරන ලද සංස්‌කෘතිය නිසි ලෙස හදාරා වෙනස්‌ කිරීමෙන් පමණක්‌ මානව සංස්‌කෘතියක්‌ බිහිකිරීමට හැකි වන්නේ ය.

හුදෙක්‌ පැරණි වූ පළියට සැබෑ සෞන්දර්යයට පිටුපෑම කලාකරුවන් නො කළ මනා ය( එය ඉදිරි විකාසනයන් පටන් ගන්නා පදනම වශයෙන් සැලකිය යුතු ය.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා 95 පිටුව)

Socialist Realism in literature and Art (කෘතියෙන් උපුටා ගැනුණකි.)

සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදය හඳුන්වා දෙද්දී ද ගම්ලත් සූරීන් භාවිතයට ගත්තේ සුමියුරු වූ බසකි. න්‍යායික ආස්‌ථානය කුමක්‌ වුවත් යාන්ත්‍රික මාක්‌ස්‌වාදියකු ලෙස අපට ඔහු පෙනී නොගියේ ඒ නිසා ය. සිංහල, පාලි, සංස්‌කෘත නම් වූ මිණි පත්ලෙන් ගරා ගත්, තෝරා ගත් නියම වචන නියම තැනට යෙදීමේ අපූරු හැකියාවක්‌, සුවිශේෂ කුසලතාවක්‌ සුචරිත ගම්ලත් සූරීන් සතු ව තිබිණි.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් අපේ කාලයේ වීරයකු ලෙස සිය මුද්‍රාව තබන්නේත්, මාක්‌ස්‌වාදී, භෞතිකවාදී බහුතරයකගෙන් ඔහු වෙනස්‌ වන්නේත් ඉහත කී හේතුව නිසා විය හැකි ය. අප ‘සාහිත්‍යය’ ලෙස පොදුවේ හඳුන්වන, සංස්‌කෘතයෙන් ‘කාව්‍යය’ වශයෙන් හැඳින්වෙන ‘රසය’ ජනනය කර දෙමින් ඔහු පාඨකයාගේ රසභාව පෝෂණය කළේ ය. විෂය ක්‌ෂේත්‍ර ගණනාවක පාරිභාෂිත පද සියුම් ලෙස හදාරමින් සහ ඇතැම් විට නව වදන් නිපදවමින් අනගි සම්ප්‍රදායන් ශේෂ කර තැබුවේ ය.

පුරාණ ග්‍රීකයන් නිර්මාණය කළ කලාව හා වීරකාව්‍යයනට පිටු දුන් සමාජ පදනම හා පරිකල්පනය අද නැතත් ඒ නිර්මාණ දැනුදු අපට ඉහළ සෞන්දර්යාත්මක ආස්‌වාදයක්‌ ගෙන දෙන ආකාරය පිළිබඳ ප්‍රබල හේතුවක්‌ දක්‌වන මාක්‌ස්‌ගේ අවධාරණයක්‌ මහාචාර්ය ගම්ලතුන් සිය කෘතියේ ඉතා පැහැදිලි ලෙස මෙසේ සඳහන් කරයි.

ග්‍රීක කලාවේ පිළිබිඹු වන්නේ යථාර්ථය පිළිබඳ අහිංසක වූ ද ඒ සමඟම සුත වූ ද සාමාන්‍යයෙන් ස්‌වාභාවික වූ ද සංජානනයකි. සමාජ සංවර්ධනයේ මුල් අදියරවලට, එහි ළමා අවදියට මේ සංජානනය ආවේණික ය. එහි නිරූපණය වන්නේ ස්‌වාභාවික අවංක බව සඳහා දැරෙන ප්‍රයත්නයකි. ඒ අවංක බවෙහි සෑම දෙනාටම අද්විතීය ආකර්ෂණයක්‌ ද සෞන්දර්යයක්‌ ද ඇත. අද ද අපට ඒවායින් ගැඹුරු ආස්‌වාදයක්‌ ලැබෙන්නේ එහෙයිනි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍ය කලා – 20, 21 පිටු)

ගම්ලතුන් හඳුනා සිටියේත් බොහෝ විට ඔහුට විෂය වූයේත් ඒ අවංක බවෙහි අද්විතීය ආකර්ෂණය හා සෞන්දර්යය යි. තමාට කුලුපග නො වන විෂයයන් ගැන ලියන විටදී පවා ඔහු අතින් ඒවා විකෘතකරණයකට ලක්‌ නො වූයේ ඒ නිසයි. ඔහුගේ සංචින්තනය, වාගාලංකාරය, අනුප්‍රාණය පාඨකයා තුළ චමත්කාරය දැනවූයේ ද ඒ ඔස්‌සේයි.

මාක්‌ස්‌වාදී සාහිත්‍ය කලාව මෙන්ම විඥනවාදී සෞන්දර්ය විද්‍යාව ද ඔහුගේ ලේඛනවල සංගෘහිත ව තිබිණි. මේ සියල්ල මනා ලෙස එකලස්‌ කොට ගළපා ‘කාව්‍යය’ හා ‘කාව්‍යයට හේතු’ යන ශීර්ෂ පාඨය යටතේ එතුමා රචනා කළ (ඉරුදින පුවත්පතේ පළවූ ලිපි එකතුවක්‌ වන ‘සාහිත්‍ය ප්‍රවේශය’ කෘතියේ) සටහනකි පහතින් දැක්‌වෙන්නේ.

සැබෑ සාහිත්‍යයේ වචනවලට වෙන වචන යොදා එය වෙනස්‌ කරන්නට බැරි ය. එසේ කළ විට රචකයා යෙදූ අර්ථය භංග වේ. ‘මුහුණ සඳකි’ යන්නට ‘මුහුණ ග්‍රහලෝකයෙකි’ යන වචන ආදේශ කළ නොහැකි ය. ආදේශ කළ විට එහි අර්ථය භංග වේ.

වියත් අවියත් දෙපක්‌ෂයට ම ග්‍රහණය කර ගත හැකි අයුරින්, සරල සුගම බසින් අදහසක්‌ ප්‍රකාශ කිරීමෙහි ලා ගම්ලතුන් සතුව පැවති ශක්‍යතාවයේ මහීමාව නම් මෙය යි. මෙකල අප අත්විඳිමින් සිටින්නේ මෙලෙස ඕජෝ ගුණයෙන් යුතුව බස හැසිරවිය හැකි සමකාලීන විද්වතුන් අප අතර නො සිටීමේ ඛේදය යි. බොහෝ විට නූතන පාඨකයාට කියවීම එපා කරවන්නේ ලේඛකයාගේ බස හැසිරවීමට දරිද්‍රතාව යි.

ශාස්‌ත්‍රීය කෘතියක වේවා සාහිත්‍ය නිර්මාණයක වේවා භාෂා රීතිය සකස්‌ විය යුතු ආකාරය පිළිබඳ අදහසක්‌, ¨දැක්‌මක්‌ අප තුළ මුල් ඇදුණේ ගම්ලතුන්ගේ ඒ භාෂා ප්‍රාගුණ්‍යය අපගේ භාෂා දැනුම පිරිපහදු කිරීම නිසා ය. භාෂාවේ ස්‌ථර තුනක්‌ පෙන්වා දෙන ගම්ලත් සූරීහු එදිනෙදා කතා කරන භාෂාව, විද්‍යාත්මක භාෂාව හා කාව්‍යමය භාෂාව වශයෙන් ඒවා නම් කරති. ඉනික්‌බිතිව ඒ සම්බන්ධයෙන් කෙරෙන විවරණය මෙවැනි ය.

‘මෙහිදී විද්‍යාත්මක භාෂාව නොතකා හැර කතා කරමු. කතා කරන භාෂාව යනු මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී උනුන් අතර අදහස්‌ හුවමාරු කරගැනීමට තිබෙන උපකරණය යි. එය ඉගෙනීම සඳහා විශේෂ මහන්සියක්‌ දැරීම අවශ්‍ය නො වන්නේ ය.

කාව්‍යමය භාෂාව යනු ඈත අතීතයේ ගල්ලෙන්වල වාසය කළ කාලයේ පටන් මිනිසා හැඟීම් පැවසීම සඳහා භාවිත කළ සුභාවිත කළ, සම්භාවිත කළ, බහුලීකෘත කළ, වර්ධනය කළ, සංවර්ධනය කළ උපකරණය යි.’

අප බරපතළ ලෙස නාස්‌ති කරගෙන ඇත්තේ, අපතේ යවා ඇත්තේ විෂයාන්තර භාෂාන්තර අවබෝධයකින් සපිරි මේ අපූර්ව ශක්‌ති ජනකයම නොවේ දැයිs දැන් අපි පශ්චාත්තාපී ව සිතමු. අප උපත ලබා ඇත්තේ, සම්පත් අපතේ යෑවීම සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තැබූ දේශයක වන නිසා එක්‌ අතකින් එහි අරුමයක්‌ ද ඇත්තේ නැත.

ගම්ලතුන් හිමිකම් කීවේ ඉහත කී භාෂා ප්‍රාගුණ්‍යයට පමණක්‌ නො වේ. බහුවිධ විෂය ක්‌ෂේත්‍ර ස්‌පර්ශ කෙරෙමින් සම්පරීක්‌ෂණයෙහි යෙදෙමින් ඔහු ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ බොහෝ ය. ඒ කිසිවක්‌ විද්යුත් මාධ්‍ය සංවාද මණ්‌ඩපයකින් කතාබහට ලක්‌ කෙරුණ බවක්‌ අපට මතක නැත. රූප තිරයට ආගන්තුක වූ ගම්ලතුන්ගේ ප්‍රතාපවත් මුහුණ කැටයමක්‌ මෙන් කෙටී පැවතුණේ මෙරට රසික සිත්සතන් තුළ ය. ගම්ලතුන්ගේ පන්හිඳ තෙළිතුඩක්‌ බවට පත් වූයේ රසික සිත් වර්ණ ගැන්වීමට ය. මාක්‌ස්‌වාදී ආස්‌ථානයක්‌ නියෝජනය කළ ද ගම්ලතුන්ගේ සිත ලෝකයේ සෞන්දර්යාත්මක හා දාර්ශනික චින්තාවනට ශුෂ්ක බිමක්‌ වූයේ නැත. ‘ලියොන් ට්‍රොට්‌ස්‌කි හා සාහිත්‍යකලා’, ‘ට්‍රොට්‌ස්‌කිවාදය’, ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘති අතරට ‘බුද්ධ චරිතය’ (චරිතාපදාන) ‘අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය’ (පර්වර්තන) ‘වෙස්‌සන්තර ජාතක කාව්‍ය’ (විවරණ) හා ‘යසෝදරාවත’ ද එක්‌ වූයේ මේ අනුව ය. මේ සම්ප්‍රදායන් අප වෙත ලබා දී ඇත්තේ ගම්ලතුන්ගේ චිරකාලීන ශාස්‌ත්‍රීය ගවේෂණ හා ඒවායින් ලද සුපෝෂණය යි. එතුමන්ගේ ‘බුද්ධ චරිතය’ නම් වූ විශ්ලේෂණාත්මක චරිතාපදානයේ පහත දැක්‌වෙන ඡේදයෙන් ගම්‍ය වන්නේ ද එයයි.

‘වර්තමාන’ ශබ්දමාලා තිබුණේ නම් බුදුන් වහන්සේ දේපොළ අයිතිකාර සමාජය පිළිබඳ තම විනිශ්චය මේ ආකාරයෙන්ම සූත්‍රගත කරත් දැයි කල්පනා කිරීමෙහි ඵලයක්‌ නැත. සත්‍ය කරුණ නම් වත්මන් ශබ්දමාලා උන්වහන්සේට නො තිබූ බවයි. උන්වහන්සේට වූයේ අපෝහකවාදී දෘෂ්ටියකි. එනම් පටිච්ච සමුප්පාදය නමැති දෘඨතර නියාමය යි. මෙහි වැදගත්කම කිසිසේත් නොතකා හළ නොහැකිය. මෙය තමන්ගේම ආකාරයෙන් දේපොළ අයිතිකාර ජනසමාජය මානව සංහතියේ අවසාන ඉරණම විය නොහැකි ය යන අදහස ප්‍රකාශ කිරීමට උන්වහන්සේ මෙහෙයවයි( නිශ්චිත තත්ත්වයනට යටත්ව හටගන්නා එය ඒ තත්වයන්ගේ විනාශ වී යැමට නියමිතයි. (=අස්‌මිං අසති ඉඳං න හෝති – මෙය නැති කල මෙය නො වේ)

(බුද්ධ චරිතය – 496 පිටුව)

මේ කෘතියේම 212 පිටුවේ සිදුහත් තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව හා අදාළ නිරීක්‌ෂණයන් පිළිබඳව එතුමා මෙසේ සඳහන් කරයි.

මෙය විද්‍යාගාරයක කෙරෙන පරීක්‌ෂණයක්‌ වැන්න. සිදුහත්හු භය ශංකා, වෙසෙසින් මරණය එළඹෙතැයි යන භයශංකා තමන් අබිබවා යැමෙන් වලක්‌වා ගැනීමට අධිෂ්ඨානවත් වූහ. තමන් නිපදවූ එන්නතක්‌ තමාට ම එන්නත් කරගෙන පරීක්‌ෂා කරන විද්‍යාඥයකු පරිද්දෙන් සිදුහත් තවුසාණෝ ක්‍රියාවේ ද එහි ඵලයේ ද අන්තර් සම්බන්ධය නිරීක්‌ෂණය කරමින් විඳ දරාගෙන උන්හ.

ගම්ලතුන්ගේ විශිෂ්ටතම සම්ප්‍රදානයක්‌ වශයෙන් පෞද්ගලිකව මට සිතෙන ‘බුද්ධ චරිතය’ පොතට පසු වදනක්‌ එක්‌ කරන සමිත විෙ-වර්ධනයෝ බුදුදහම හා සුචරිතයන්ගේ බසෙහි සුසංයෝගය, ඒ අසිරිය පිළිබඳව මෙසේ පවසති.

එදෙස, මෙදෙස, පුරාතන, නූතන නන් බස්‌හි විශාරද මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ මනනයන පොබයන අසිරිමත් බස්‌වහරින් අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බස්‌ වහරත් දිදුලයි. මේ දෙකින් ම හෙළබස බැබළේ. මැණිකෙන් එය බැඳි වළල්ලත් වළල්ලෙන් එහි බැඳි මැණිකත් ඒ දෙකින් ම කරලතාවත් බබළන කලෙක මෙනි.

මේ කවර සාහිත්‍යමය වර්ණනාවකින් වුව සමුච්චයාර්ථයක්‌ දෝංකාර නංවන්නේ සමස්‌තයක්‌ ලෙස ගත් කල්හි යෑයි ද එතුමෝ වැඩිදුරටත් පෙන්වා දෙති. සාහිත්‍ය විචාරයේදී ‘වනිය’ ලෙස නම් කෙරෙන මෙය හඳුනාගත හැකි පුද්ගලයා ගම්ලතුන් හඳුන්වන්නේ ‘සුපාඨකයා’ ලෙස ය. මේ පිළිබඳ එතුමා නිදසුන් දක්‌වා ඇත්තේ මෙලෙසිනි.

පැරැන්නන් සාහිත්‍යයෙන් වාච්‍යාර්ථය පමණක්‌ ගන්නන්ට හොඳ උපමාවක්‌ කියා ඇත. ඒ මෙසේ ය:

කවිතාස්‌වාද විෂයේ

පදව්‍යුත්පත්තිමාත්‍රධී:

නීවීමෝක්‌ෂස්‍ය වේලායාං

යථා ක්‌ෂෞමාර්ඝචින්තකඃ

(කාව්‍ය රසාස්‌වාදය කරන වේලෙහි පදයන්ගේ වාච්‍යාර්ථය පමණක්‌ ගන්නා අඥානයා පිය ළඳගේ සළු පිළි ගිලිහෙන කල්හි ඒ සළු දුපිළිවල වටිනාකම ගැන පමණක්‌ කල්පනා කරන පිලිස්‌තීනුවාට සමාන ය.)

(ගුරු ගුණ සමර – 115 පිටුව – මහාචාර්ය සුචරිත ගම්ලත්)

දිවයින වටමඬල

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

වදනිසුරු ගම්ලත්හු
මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

w1-1මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි. ඔහුගේ අභිලාෂයෝ විවිධාංගික වූහ. සාහිත්‍යාදී කලා, සම්භාව්‍ය සාහිත්‍යය, නූතන සාහිත්‍යය, පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් ආදී වූ මානව ශාස්‌ත්‍ර විෂයයන් මෙන්ම සමාජවාදය, මාක්‌ස්‌වාදී මූලධර්ම හා මූලකෘති හා සමග සමාජවාදී භාවිතාවන්ද සමකාලීන දේශපාලනය ආදිය ඇතුළත් සමාජීය විද්‍යා ක්‍ෂේත්‍රයෙහිද ඔහු සිය ප්‍රවීණතාව පතුරුවාගෙන සිටියේය. සිංහල ලේඛකයකු වශයෙන් ඔහු විදහා දැක්‌වූ අසහාය නිපුණතාවට පදනම වූයේ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍යයන් පිළිබඳව ඔහු තුළ වූ ප්‍රාමාණික දැනුම බව නොරහසකි. එම ප්‍රාචීන භාෂාවන්ට අමතරව ඉංග්‍රීසි හා තවත් භාෂා ගණනාවක්‌ ඔහු දැන සිටියේය. විශේෂයෙන් ඔහු ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳව දැක්‌වූ ප්‍රවීණතාව අගනා ඉංග්‍රීසි – සිංහල ශබ්දකෝෂයක්‌ නිපදවීම කෙරේ ඔහු යොමු කළ බැව් පෙනේ. මෙම කර්තව්‍යයේදී තමන් තුළ වූ සිංහල, පාලි, සංස්‌කෘත භාෂා ඥනය අති විශිෂ්ට අන්දමින් ඔහු විසින් ප්‍රයෝජනයට ගෙන ඇති අයුරු විද්‍යමානය.

මෑත කාලයේ සිංහලයෙන් පොතපත ලිවූවන් අතර උසස්‌ ප්‍රමිතියකින් යුතු ඒ සා විශාල පොත් හා ලිපි ලේඛන සංඛ්‍යාවක්‌ නිමැවූ අන්‍ය විද්වතකු නොමැති තරම්ය. අප ඉහත සඳහන් කළ පරිදි එම ලිපි ලේඛන විවිධ ඉසව් රාශියක්‌ පුරා පැතිරී තිබිණි. ඔහු කුමන විෂයයක්‌ ගැන ලියූවත් ඔහුගේ වාග් විලාසය කෙතරම් රමණීය වීදයත් පාඨක අවධානය ඒ කරා ඇද ගැනීමේ හැකියාවක්‌ එහි තිබිණි.

අප ඉහත සඳහන් කළ පරිදි ගම්ලතුන් සතුවූ එම වාග් චාතූර්යය විශේෂයෙන්ම ඔවුන් සතුව තිබූ පාලි හා සංස්‌කෘත භාෂා සාහිත්‍ය ඥනයයි. එහෙත් එබඳු ප්‍රාචීන භාෂා පටුත්වයක්‌ තිබුණු අන්‍ය කිසිදු පඬිවරයකු විදහා නොදැක්‌වූ අපූර්ව රචනා කෞශල්‍යයක්‌ ගම්ලතුන් සතුව තිබිණි. මීට උදාහරණ වශයෙන් ඔහුගේ ආචාර්යවරයකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලේඛනයකින් කොටසක්‌ සහ ගම්ලතුන්ගේ ලේඛනයකින් කොටසක්‌ උපුටා දැක්‌විය හැකිය.

මේ සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකයෙන් ගත් කොටසකි.

‘සාහිත්‍යය ද ක්‍රියා කරන්නේ මේ අන්දමින්ය. එය මිනිසා අවනත කර ගන්නේ ඔහුට අණකොට තරවටු කොට නොව, ඔහුගේ සිත උණු කොටය. කම්පා කොටය. සාහිත්‍යය කෙළින්ම දැනමුතුකම් නොදෙයි. එහෙත් මිනිසා යහමඟට හරවයි’

මේ ගම්ලතුන්ගේ ‘සරච්චන්ද්‍රාභිනන්දන’ කෘතියෙන් ගත් කොටසකි.

‘අන්‍ය කලාවන් සේම කාව්‍ය කලාව ද විද්‍යාව මෙන් ලෝකය නියම පද්ධතියක්‌ ලෙස නොව සංකල්ප රූප පොකුරක්‌ මෙන් ඥනනය කරන්නා වූද, ස්‌පර්ශ කරන්නා වූ ද විධියක්‌ වන අතරම ඇතැම් හැඟීම් හා මනෝගතීන් පුදුබුවන්නා වූද විධියක්‌ වෙයි’

ගම්ලතුන්ගේ භාෂා ශෛලියෙහි විශේෂ ස්‌ථානයක්‌ තත්සම වචනවලට ලැබී තිබිණි. ‘ඥානනය කරන්නාවූ’, ‘ප්‍රසාරණය කරන්නා වූ’, ‘සුපරිපූර්ණව හා සුසංවාදව ජීවත්වීම, ‘සුශික්‌ෂිත කොට’, ‘සුභාවිත කොට’, ‘අවශෝෂණය කරගන්නා’ ආදී වූ ඔහුගේ වාග් විලාසයේ නිතර දැක්‌ක හැකිවූ යෙදුම්වල චිත්තාකර්ෂණීය ගුණයක්‌ ගැබ්ව තිබිණි. ඒ අතින් බලන කල සමකාලීන හෝ පූර්වකාලීන අන්‍ය ප්‍රාචීන භාෂා ප්‍රවීණයකු විසින් ප්‍රදර්ශනය නොකළ අන්දමේ වාග් චාතුර්යයක්‌ ප්‍රකට කළේ ඔහුගේ වාග් විලාසයෙහි තිබූ තවත් විශේෂිතා කිහිපයක්‌ නිසා බැව් පෙනේ.

මේ ඔහුගේ වාග් චාතුර්යය විදහා දක්‌වන තවත් තැනකි.

‘පැරදවිය යුතු සතුරන් නිර්ණය කර ගැනීමටත් ඔවුන්ගේ මං හසර පාදා ගැනීමටත් ඔවුන් පරදවාලීමටත් කරන අරගලයේදී ඇතිවන භග්නාශාවෙන් හටගන්නා ශෝක සන්තාපාදියත් ලැබ ගන්නා සාපේක්‍ෂ ජයග්‍රහණයන්ගෙන් ජනිත වන සුඛ ප්‍රහර්ෂාදියත් කලාවෙන් ප්‍රකාශ කෙරේ.’

(සාහිත්‍ය කලා ආදිය ගැන 20 පි)

අවශ්‍ය පරිදි තත්සම හා තත්භව වචන හැසිරවීමෙහි ඔහු තුළ වූ චාතුර්යය මෙහි දක්‌නට ඇත. මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තක්‌ වන්නේ අවශ්‍ය අවස්‌ථාවන්හි කටවහරේ යෙදුම් භාවිතයට ඔහු නොපැකිල ඉදිරිපත් වූ ආකාරයයි.

‘මේ සියලු පොට වරද්දාගැනීම් සිදුවී තිබෙන්නේ යටගිය දවසින් උරුම කරගෙන කරගසාගෙන යනු ලබන විචාර මිනුම් දඬු නමැති හණමිටි කලා කෘතිය මත පටවන්ට යැමෙන්ය. අතීත විචාර මිනුම් යනු අතීත යථාර්ථයෙන් උපුටාගත් අතීත න්‍යායයි. ඒවා මැරිලාය. කලාකෘතිය නමැති නව යථාර්ථය ජීවමානය. මළ විචාර නමැති අච්චුවක ජීවමාන යථාර්ථය දඬු ගැසිය හැකිද?

(සාහිත්‍ය කලා ආදිය – 30 පි.)

‘පෞරාණික ලෝකය මළ ගොරොද්දේ අදිද්දී’

‘දැන් කළ යුත්තේ වෙනත් සංස්‌කෘතීන්ගේ වල්ගයේ එල්ලීම යෑයි ලණුදෙමින්’

‘ලොව පුරාම වෘත්තීය සමිති ව්‍යාපාරය කුජීත වී ඇත’

‘ධනේශ්වර ක්‍රමය මුළුමනින්ම පල්වන්නටත් ලෝක ආර්ථිකය පල්ලම් බහින්නටත්’

(‘කොමියුනිස්‌ ප්‍රකාශනය පිළිබඳ අධ්‍යයනයක්‌’ කෘතියෙන් ගත් නිදසුන් කීපයකි.)

කට වහරේ ප්‍රබල දෙස යෙදෙන මේ යෙදුම් අවශ්‍ය අර්ථය ව්‍යක්‌ත ආකාරයෙන් පැවැසීම සඳහා උචිතතම වන බව දුටු ගම්ලත්හු නොපැකිළ ඒ යෙදුම් භාවිතයට ගත්හ.

සුචරිත ගම්ලත් තමන් ප්‍රතික්‌ෂේප කරන දේ නිර්දය විවේචනයට භාජන කළ අයකු ලෙස ප්‍රකටය. ඔහු ඒ සඳහා ඇතැම් විට සංයමයෙන් යුත් වදන් මාලා යොදාගනී. ඇතැම්විට එසේ නොකරයි.

මේ ඔහු එක්‌ කෙටිකතා සංග්‍රහයක්‌ අවඥවට භාජන කළ ආකාරයයි.

‘කතුවරයාට කිරීමට ඉතුරුවන එකම දෙය කුමක්‌ද? මෙකී සංවේදනා හා ධාරණා වාර්තා කිරීම පමණි. ජංජාලයක්‌ බඳු මේ සංවේදනා හා ධාරණ වාර්තා තුළ වෛෂයික ලෝක නියාම නැති, මේ වාර්තාවලින් කියෑවෙන දෙය නම් කතුවරයා ඇතැම් දේවල් දැක හා අසා ඇති බවත් ඒ දැකුම් හා ඇසුම් ලේඛනගත කිරීම සඳහා ඔහුට පෑන වැනිය හැකි බවත් පමණි’.

(විචාර ප්‍රතිවිචාර 60 පි.)

ඇතැම් දේ ගම්ලත් ප්‍රතික්‌ෂේප කරන්නේ වඩා ප්‍රබල භාෂා ශෛලියකිනි(

‘බකුතින්වාදයේ වත්මන් දියාරුවක්‌ වන සියලු අධිකාරයනට, විශේෂයෙන්ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදයට හිස්‌ කෝම්බ දමාගසන එහෙත් ඊට සෘජු විකල්පයක්‌ ඉදිරිපත් නොකරන පශ්චාත් නූතනවාදය නමැති මදාවි අච්චාරුවාදය, කලා විහීන වූ ජනප්‍රිය සංස්‌කෘතිකවාදය, සාහිත්‍යය කැබලිති කරන පශ්චාත් යටත්විජිතවාදය යනාදී මේ පඹගාලෙහි පැටලුණු…’

(විචාර ප්‍රතිවිචාර – 152 පි.)

ඇතැම් විට ගම්ලතුන්ගේ පෑන අසිපතක්‌ සේ ක්‍රියාත්මක වී තමා ප්‍රතික්‌ෂේප කරන අය නිර්දය ප්‍රහාරයට ලක්‌ විය.

‘මේ කාලයේ තමාගේ… නාට්‍යය තහනම් කෙරිණැයි කියමින්… නාහෙන් අඬමින් ඇවිද්දේය. එහෙත් ආණ්‌ඩුවේ කලා ඝාතනයට විරෝධය පා ලිපියක්‌ අප පත්‍රයට ලියන ලෙස ඉල්ලූ කල්හි ඔහු එයින් කට්‌ටි පැන්නේය. ඔහුගේ කතාව බොරුවකැයි මම තවමත් සලකමි. දැන් ඔහු යූ.ඇන්.පී. ආණ්‌ඩුවේ වසුරු බුදිමින් වැජඹේ’

(විචාර ප්‍රතිචාර – 41 පි.)

මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ආකර්ෂණීය වූ වාග්විලාසය ඇතැමුන්ට ආදර්ශයක්‌ විය. ඔහු නිතර නිවැරැදි බස්‌ වහර භාවිතයෙහි යෙදීමට ප්‍රවේසම් වූයේය. ඔහු විසින් භාවිතයට ගන්නා ලද ඇතැම් යෙදුම් අන්‍යයන් අතර ජනප්‍රිය වූ අවස්‌ථා ඇත. ඒ අතර ‘අනන්‍යවීම’, ‘ඇස්‌ නිලංකාරවීම’, ‘නිම්වළලු ප්‍රසාරණය’, ‘ඥානනය’, ‘ඥන මණ්‌ඩලය ව්‍යාප්ත කිරීම’, ‘සමතික්‍රමණය’ ආදිය විශේෂ වේ. අන්‍ය ලේඛකයන් කෙරේ එබඳු බලපෑමක්‌ ඇති කළ හැක්‌කේ දුර්ලභ ගණයේ බුද්ධිමතෙකුට පමණි.

මෙම සටහන අවසන් කරනු සඳහා පෞද්ගලික කරුණක්‌ සඳහන් කිරීමට කැමැත්තෙමි. සුචරිත ගම්ලත් සහ මා පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළුවූයේ එකට 1959 දීය. අපි දෙදෙනාම සිංහල විශේෂ උපාධිය සඳහා ශිල්ප හැදැරූවෙමු. එම දිනවල අප දුටු දෙයක්‌ නම් ඔහු අපට වඩා මේරූ, අපට වඩා ඇසූ පිරූ තැන් ඇති අයකු බවයි. විශේෂයෙන් පාලි හා සංස්‌කෘති ඥානය ඔහු සතුව තිබෙන්නට ඇත. තමා ගෙන ආ එම දැනුම විශ්වවිද්‍යාලයේදී වඩා මුවහත් කරගත් බව පෙනේ. අපේ පන්තියේ සිටි තිදෙනෙක්‌ විශ්වවිද්‍යාල ආචාර්යවරු වූහ. ගම්ලත්හු යාපනයේද පසුව රුහුණේද මහැදුරු වූහ. ඒ. ඒ. අභයසිංහයෝ කැලණියේ මහාදුරුව සිට ඉසිඹු ලත්හ. මම පේරාදෙණියෙහි සිට ඉසුඹු ලෑවෙමි. මා ගම්ලතුන්ගේ ඇතැම් අදහස්‌ විවේචනය කළ ද එය ඔහු හා මා අතර පෞද්ගලික ආරවුලක්‌ නොවන ශාස්‌ත්‍රීය සංවාදයක්‌ පමණක්‌ විය. මේ සටහන තබන්නේ ඔහුගේ ශාස්‌ත්‍රවන්තභාවය කෙරේ මා තුළ වූ ගෞරවය නිසාය.

දිවයින වටමඬල

මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය

ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යාවේ කාන්තා මුද්‍රාව
ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී

මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය – දෙවැනි කොටස

vasඇයගේ ව්‍යාපෘතීන් විශ්ලේෂණයට ලක්‌ කිරීමේදී කොළඹ ග්‍රෙගරි පෙදෙසෙහි නිර්මාණය කරන්නට යෙදුණ සේනානායක නේවාසික තට්‌ටු ගොඩනැඟිල්ල (Flats) 1954-57) සහ ප්‍රංශයේ මාර්සේ (Marseille) ප්‍රදේශයේ ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මාණය වූ Unite d Habitation යන එම ගණයේම ගොඩනැඟිල්ල අතර සමානකම් එමටය. ඒකකය (unit) පුනරාවර්තනය ඔස්‌සේ නිර්මිත මෙම කොන්ක්‍රීට්‌ ගොඩනැඟිලි ද්විත්වයම කණු ශ්‍රේණීන් (Piloti) මත පිහිටුවා ඇත්තේ බිම් මට්‌ටම නිදහස්‌ ලෙස තබා ගැනීමේ අරමුණෙනි. මීට අමතරව ඇය අතින් බිහිවුණ තවත් නේවාසික ගොඩනැඟිල්ලකි කොළඹ බගතලේ පාරේ අයිවෝ ප්‍රනාන්දු ගොඩනැඟිල්ල (1956). කෙසේ වෙතත් පසු කාලීනව ලෙ කෝර්බ්‍රසියර් අතින් නිර්මිත Ronchamp පල්ලිය වැනි ප්‍රකාශනවාදී (expressonist) ශෛලියට බර වූ ගොඩනැඟිලි ඇය අතින් කිසිදා බිහි නොවිණි. පාරම්පරික හා නවීන ශෛලීන් අතර සාර්ථක දෙමුහුමක්‌ නිර්මාණය උදෙසා කැපවීම නිසා මෙවැනි නව්‍යත්වයක්‌ කරා යැම අත්‍යවශ්‍ය යෑයි ඇයට සිතෙන්නට ඇත. ලංකාව තුළ නිර්මාණකරණයේ යෙදීමේදී, ප්‍රබල දේශීය සංස්‌කෘතිකමය ගුණාංගවලින් තොරව සාර්ථක නිර්මාණ නොකළ හැකි බව ඇයට පසක්‌ වන්නට ඇත.

ලෙ කෝර්බ්‍රසියර් වැනි නිර්මාපකයන්ගේ ඒකකය/ ශෛලිය ගැන අවධාරණය පුනරාවර්ථනය වැනි ක්‍රමවේද ද සහ සමාජවාදී වූ අදහස්‌ ද සූක්‍ෂම ලෙස කතෝලික සමයේ දෘෂ්ටි වාදය නම් අයුරකින් අර්ථ නිරූපණයට පෙලඹිණ. මෙම අදහස්‌ උකහා ගන්නා ලද මිනෙත්ගේ නිර්මාණයන්හි ඇය එම යථාර්ථය විදහා දැක්‌වීමට උත්සාහ කළාද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් එවැනි ගුණාංග අභිභවා බුදු සමය සහ හින්දු සමය මත පදනම් වූද, එම ආභාසයන්ගෙන් පාරිසරික යෝග්‍ය භාවය, අල්පේච්ඡතාව සහ අනෙකුත් පෙරදිග සංස්‌කෘතික රාශීන්ගේ එකතුවක්‌ වූ ලක්‌දිව පාරම්පරික වාස්‌තු විද්‍යා සංස්‌කෘතියේ අවසාන ප්‍රගමණය වූ නුවර වාස්‌තු විද්‍යා ක්‍රමවේදය ඔප් නැංවීම කැපී පෙනෙයි. නිර්මාපකයාගේ අරමුණ කුමක්‌ වුවත් (විශේෂිත අරමුණක්‌ නොතිබුණත්) සුදුසු දේ මෙහිදී සිදුවූ බව යම්තාක්‌ දුරකට තර්ක කළ හැක. Continue reading මිනෙත් ද සිල්වා ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාඥවරිය

සමාජ විචාර

පාරිභෝජනවාදයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය රැක ගත හැකිද?
කුමුදු කුසුම් කුමාර

තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා කළ නියෝගයක් මත ඉන්ඩියා ප්‍රිමියර් ලීග් (අයි පී එල්) ක්‍රිකට් තරඟාවලියේ පාලක මණ්ඩලය ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් චෙන්නායි හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟ වලට සහභාගීවීම වළකාලමින් තහනමක් පනවා තිබීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇත. ජයලලිතා තම නියෝගයට හේතුව වශයෙන් දක්වන්නේ ශ්‍රී ලංකා රජය එරට පැවති යුද්ධ සමය තුළ දෙමළ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ දකුණු ඉන්දියාවේ මතුවී ඇති උණුසුම් සහගත තත්ත්වය මෙයින් උග්‍ර වී ජනයා තුළ කෝපය වැඩි කරනු ඇති හෙයින් මෙම තහනම පනවන බවයි.

මෙම තීරණය පිළිබඳ තම ශෝකය පළ කරමින් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියා සිටියේ දැන් ලංකාවේ ජනයා සාමකාමීව වසන හෙයින් එය දැක බලාගැනීමට ඉන්දීය බලධාරීන් ලංකාවට පැමිණිය යුතු බවයි. මෙම තහනමට කුමාර් සංගක්කාර දැක්වූ ප්‍රතිචාරය වූයේ මෙලෙස දේශපාලනය විසින් ලාංකේය ක්‍රීඩකයන්ට තහංචි දැමීම වැනි අගතිකාමී ක්‍රියාවලින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සීමා කළ නොහැකි වනු ඇති බවයි. හිටපු ක්‍රිකට් නායක සහ වත්මන් දේශපාලක අර්ජුන රණතුංග කියා සිටියේ මෙම තහනම යටතේ ලාංකේය ක්‍රීඩකයන්ට ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල අයි පී එල් තරඟ වලට සහභාගීවීමට ඉඩ හැරීමෙන් ලංකා රජය “අපේ රටට එරෙහිව එල්ල වී ඇති මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබද චෝදනා අනුමත කරන “ බවයි. මන්ද යත් ජයලලිතා සහ කරුණානිධි දෙපළ ලාංකේය ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ ක්‍රීඩා කිරීමට ඉඩ දිය යුතු නැතැයි කියන්නේ ශ්‍රී ලංකාව මානව අයිතිවාසිකම් උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් හෙයිනි. එහෙයින් ඉන්දියාවේ ක්‍රීඩා කිරීමට යන ක්‍රීඩනයනුත් මෙම චෝදනාව සනාථ කිරීමට අනුබල දෙති. තමිල්නාඩු නායකයන් මෙහිදී කරන්නේ ක්‍රීඩාව සමඟ දේශපාලනය කිරීම ය යන්න අර්ජුන රණතුංග ගේ අදහසයි.

ඉන්දියවේ ජාතික පුවත් පතක් වන ‘ ද හින්දු‘ පුවත් පත මාර්තු 27 වැනිදා තම කතුවැකියෙන් කියා තිබුණේ ජයලලිතා ගත් මෙම තීරණයෙන් ක්‍රීඩාවේ සහ දේශපාලනයෙහි ජාතිවාදය සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීම අනුමත කෙරුණු බවයි. ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රෑරකම්වලට විරෝධය පෑම සමඟ පටලවා ගත යුතු නැත. නීතිය සහ සාමය රැකීමේ තම වගකීම ජයලලිතා පැහැර හැර තිබේ. ජනයා එකට එක් කරන ක්‍රීඩාව අන්ධදේශානුරාගයේ සහ ජනවාර්ගික බන්ධුතාවේ යානයක් බවට පත් කොට ඇතැයි ‘ ද හින්දු‘ පුවත් පත කියා සිටියා ය.

මුරලිදරන් තම ප්‍රකාශයෙන් පිළිතුරු දෙන්නේ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ලවන චෝදනා පිළිබඳ නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ගේ දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් බහුතරයක් මුරලිදරන් සමඟ එකඟ නොවන තත්ත්වය ගැන මුරලිදරන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද?

සංගක්කාර ගේ ප්‍රකාශයෙන් ප්‍රකට කෙරෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව උග්‍ර ලෙස වාණිජකරණය සහ දේශපාලනීකරනය වි ඇති තත්ත්වයක් තුළ පවා ක්‍රීඩකයන් තුළ ක්‍රීඩාවේ ජීවගුණය පිළිබඳ හැඟීමක් රැඳී තිබීම නම් එය අගය කළ හැකිය. මෙම තහනම පිළිබඳ ක්‍රීඩා ලෝලීන් අතර ඇති වී තිබෙන උණුසුම පෙන්නුම් කරන්නේද ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් නැරඹීමට ඔවුන් තුළ ඇති ඇල්ම සහ ඊට දේශපාලන හෝ වෙනත් අයුතු යැයි සැළකෙන බලපෑම් වලින් බාධා ඇතිවීමට ඔවුන් තුළ ඇති විරෝධය යි.

අර්ජුන රණතුංග එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගන්නට මාන බලන සේය. ඔහු කියන්නේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා තමන් අනුමත නොකරණ බවය. එසේ යෝජනා කරමින් ලාංකේය ක්‍රීඩකයන් ඉන්දියාවේ අනෙක් ප්‍රාන්ත වලද ක්‍රීඩා කිරීමට නොයායුතුය යන ඔහුගේ ස්ථාවරය රාවණ බලකාය නමැති සීමාන්තික සංවිධානයක් දරන අදහසමය. එය ජයලලිතා පැනවූ තහනම මුල් කොටගෙන ඉන්දීය විරෝධයක් ගොඩ නැංවීම අරමුණු කරයි. ක්‍රීඩාව සමඟ දේශපාලනය පටලවා ගත යුතු නැතැයි කියන අර්ජුන රණතුංග ගේ අදහස හා සමාන අදහසක් දරන ‘හින්දු‘ පුවත්පත මානව අයිතිවාසිකම් උල්ලංඝණය පිළිබඳ ලංකා රජයට එල්ල වී ඇති චෝදනා ද ප්‍රතික්ෂේප නොකරයි. එය ඉදිරිපත් කරන තර්කය ක්‍රීඩාව පමණක් නොව දේශපාලනයත් ජාතිවාදයෙන් සහ ජනවාර්ගික අනන්‍යතාවේ පදනම මත වෙනස් කම් කිරීමෙන් නිදහස් විය යුතුය යන්නයි. ඒ අනුව ඉන්දියානු හෝ ලාංකේය ජාතිකවාදය ක්‍රීඩාවට ඈඳා ගැනීම ලාංකේය ක්‍රීඩකයන්ට තහනම් පනවන තමිල්නාඩු ජාතිකවාදය හා සමානය.

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය

ක්‍රීඩාවේ පිවිතුරු බව රැක ගැනීම පිළිබඳ මෙම සියලු යහ ප්‍රාර්ථනා පසුබිමෙහි ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීම වඩා වැදගත් වෙයි. Continue reading සමාජ විචාර

සමාජ විචාර

කැප වූ බුද්ධිමතෙකුගේ නික්ම යාම
සහෘද විසිනි

සුචරිත ගම්ලත් ශූරීන් ගේ අභාවයෙන් අපේ යුගයේ කැප වූ බුද්ධිමතෙකු අපට අහිමි වීය. මතවාදීව ට්‍රොට්ස්කිවාදියෙකු වූ සුචරිත ගම්ලත් සාහිත්‍යය සහ කලාව පිළිබඳ ට්‍රොට්ස්කිවාදී විචාරය වෙනුවෙන් නිරතුරුව පෙනී සිටිමින් වෙනස් මත දරන්නන් විවාදයට කැඳවන ලෙසින් ප්‍රබල මත ඉදිරිපත් කරමින්, අප සමාජයේ සාහිත්‍යය, කලාව සහ භාෂාව පිළිබඳ කතිකාව නිරතුරුව අවදි කෙළේය, පවත්වා ගෙන යාමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහු තමා දරන මතය වෙනුවෙන් දැඩිව සහ අඛණ්ඩව සමාජයේ පෙනී සිටි අතර අවස්ථාවාදී ලෙස තම ප්‍රතිපත්ති පාවා නොදුන්නේය. සමාජ යුක්තිය සහ සාධාරණය පිළිබඳ කරුණු වලදී ඔහු හැමවිටමත් නොසැලී පීඩිතයාගේ පස ගත්තේය. ඒ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ දුන්නද හේ තම පිළිවෙත පාවා දුන්නේ නැත. ඔහුගේ මතවාදී කැපවීම ඇතැම් විට කෙතරම් උග්‍රවීද යත් ඔහුගේ රුහුණ විශ්ව විද්‍යාලයේ සේවය කළ සමයේ, තමන් දැරූ දේශපාලන අදහස් අනුව ක්‍රියා කළ හෙයින් එකළ රජයේ දේශපාලන බලපෑම් මත ඔහු විශ්ව විද්‍යාලයේ සේවයෙන් නෙරපන ලදැයි කියනු ලැබේ. රැකියාව අහිමි වීමේ හේතුවෙන් කොතෙක් ජිවන දුශ්කරතා වලට මුහුණ දුන්නද හේ තම පිළිවෙත පාවා දුන්නේ නැත.ඇතැම් විචාරවල නිර්දය ස්වභාවය හේතුවෙන් ඊට ‘දෙඤ්ඤං බැටේ විචාරය’ යනුවෙන් නමක්ද ඔහුගේ විවේචකයන් විසින් පටබඳිනු ලැබිණි. තමා දැරූ මතවාදී ස්ථාවරය කිසිසේත්වෙනස් නොකිරීම ඔහු දකින්නට ඇත්තේ තමා විශ්වාස කරන දේ වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුකව පෙනී සිටීම ලෙස යැයි අපට සිතිය හැකිය. ඔහු කිසි විටෙක පෞද්ගලික වාසි තකා ආණ්ඩු හෝ දේශපාලකයන් පසුපස ගිය වගක් අප අසා නැත. උසස් කලාවක් සහ සංස්කෘතියක් වෙනුවෙන් නිරතුරුව පෙනී සිටි ගම්ලත් ශූරීන් කලාවේ සහ සංස්කෘතියේ විශේෂයෙන් භාෂාවේ සහ සාහිත්‍යයේ වත්මන් පිරිහීම පිළිබඳ නිර්දය විවේචකයෙකු වීය. ආචාර්ය සුචරිත ගම්ලත් ට ලංකාවේ විශ්ව විද්‍යාල සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනොනැමීම ප්‍රකට කරන්නේ එම විශ්ව විද්‍යාල වල බුද්ධි අහේනිය මිස ගම්ලත් ශූරීන්ගේ බුද්ධි ප්‍රභාව සහ ප්‍රාමාණික ඥාන මණ්ඩලය පිළිබඳ නිවැරදි විනිශ්චයක් ඔවුන් සතුව ඇති බව නොවේ. අප අද ජීවත්වන්නේ සුචරිත ගම්ලත් ශූරීන් වැන්නවුන්ගේ බරපතළ හිඟයක් ඇති කාලයකය. ඔහුගේ සියලු අදහස් සහ මතවාදී ස්ථාවරයන් සමඟ අප සහමුලින් එකඟ නොවූවද සමාජයේ බුද්ධිමය සංවාදය නිරතුරුව අවුලුවා ලූ කැප වූ බුද්ධිමතෙකු අපගේ සමාජයට අහිමි වීමේ ශෝකය සහ ඉන් ඇතිවූ බරපතල පාඩුව අපි මෙසේ සටහන් කර තබමු.

“සමාජ විචාර” (samajavichara) facebook අඩවියෙනි.