සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?

සුචරිත ගම්ලත් මාක්ස්වාදියෙක් වී ද?
දිමුතු සමන් වෙත්තසිංහ

සුචරිත ගම්ලත් ශූරීන්
සුචරිත ගම්ලත් ශූරීන්
එවකට නව යොවුන් වියේදී සිංහලෙන් පමණක් කියවීමට හැකිවූ අප තරණය කරමින් සිටි විශාලම මහද්වීපය මාර්ටින් වික්‍රමසිංහ වූ කලෙක ගම්ලතුන්ගේ මාක්ස්වාදී විචාරය හමුවීමෙන් අප තුළ ඇති කලේ තිගැස්මකි.බුද්ධිමය උද්දීපනයකි, ආශ්වාදයකි. වික්‍රමසිංහගේ බෞද්ධ මානව වාදී දෘෂ්ටිය කෙරෙහි වූ ඔහුගේ නිර්දය මාක්ස්වාදී විචාරය වික්‍රමසිංහයන්ට ඇළුම් කළ අප කෙරේ ඇති කලේ බුද්ධි ශෝධනීය ආනුභාවයකි.වරක් ගුවන් විදුලි සංවාදයකදී ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් නිර්මල බෞද්ධ සංස්කෘතිය සම්බන්ධයෙන් මාර්ටින් වික්‍රමසිංහ දෘඩ ප්‍රහාරයකට ලක්කළ විට එහි සිටි “සාහිත්‍යය, සමාජවාදය හා කලා විචාරය” යනුවෙන් මාක්ස්වාදී කලා විචාරය ගැන පොතක් පවා ලියු සයිමන් නවගත්තේගම ට කරගත හැකි වූයේ තමාට ආවේණික මෘදු යටහත් ස්වරයෙන් එතුමන්ට එසේ නොකියන්නැයි යැදීම පමණි.නවගත්තේගමයෝ අප බොහෝ දේ උගත්තේ එතුමන්ගෙන් යැයි ශෝක පීඩිතව කෘතගුණ සිහි කළේ පුජනීය දෙයක් කෙළෙසුනු පරිද්දෙනි.

මේ සියල්ල එසේ තිබියදී පෙර අපර දෙදිග භාෂා ගණනාවක නිපුන මේ රැඩිකල් මාක්ස්වාදී පඬිවරයා තම ගුරුවරයා වූ ලිබරල්වාදී මහාචාර්ය සරච්චන්ද්‍රට උපහාර දක්වන්නට දණ නැමීමට පසුබට නොවූවා පමණක් නොව ඒ සඳහා නරකාදියට වුවත් යාමට සූදානම් බව ප්‍රකට කලේ එවකට රජයේ වේදිකාවට ගොඩ වීමෙනි. මේ නිසා ඔහු හතරවන ජාත්‍යන්තරයෙන් නෙරපිණි.මෙය සිහිපත් කරන්නේ “ප්ලේටෝ ගේ සතුරන් සමග සත්‍යය දකිනවාට වඩා ප්ලේටෝ වන් මිනිසෙකු සමග ඉබාගාතේ යාම යෙහෙකි” යන රෝම මහා කවි සිසරෝ ගේ ප්‍රකාශය මිස “යු.එන්.පී ආණ්ඩුවේ සංස්කෘතික ඇමති වි.ජ.මු.ලොකු බණ්ඩාර සමග එකම වේදිකාවට නැගගත් ඔහු සංස්කෘතිය රැක ගත යුතු යැයි බිරුසන් දුන්නේය” යනුවෙන් මහාචාර්ය විජේගුණසිංහ මැතිණිය කරන ඒත්තු ගැන්වීම නම් නොවේ.ගම්ලතුන්ට කෙසේවෙතත් අපට වැදගත් ප්‍රශ්නයක් ඇය නගන්නීය; “කාගෙන් සංස්කෘතිය රැක ගන්නද? මාක්ස්වාදීන්ගෙනි.”

එංගල්ස් විසින් පොදු ජනයාගේ සංස්කෘතිය ඇගයු උදෘතයක් ආචාර්ය අමුණුගම ගේ කෘතියක ගෙන හැර දක්වා තිබු බවක් මතකයේ ඇත.ඔහු අසූව දශකයේ සමහරුන් “කනත්තේ විවාදය” යැයි හැඳින් වූ දෙයින් ජනප්‍රිය සංස්කෘතියට බුද්ධිමය යුක්ති යුක්තකරණයක් දෙන්නට තැත් කලේය.ඇසූ පිරූ තැන් ඇති විචාරකයෙකු වූ රෙජී සිරිවර්දන මාක්ස්වාදී දෘෂ්ටියෙන් බෙතෝවන් ගේ සංගීත රචනා හා බයිලා අතර වෙනස අමතක කරන්නට කියන්නාක් මෙන් එය සංදර්භ ප්‍රශ්නයකට ලඝු කළේය.ඉඳින්, සංස්කෘතිය ගැන ගම්ලත් ගේ ස්ථාවරය සැබවින්ම මාක්ස්වාදී වී ද? මේ අතුරු කථාව එක්දහස් නවසිය අනූව දශකයේ මුල් භාගයෙනි.ගුවන් විදුලියේ විකාශය වූ “රූපණ මණ්ඩපය” නම් සංවාද වැඩසටහනට පැමිණ සිටියෝ අතර මහාචාර්ය ගම්ලත් සහ ගාමිණී විජේතුංග දෙපල ද වූහ.මාතෘකාව “නිර්ධන පංතියට සංස්කෘතියක් ඇද් ද” යන්නය. ඔහුගේ තර්කය කෙතෙක් දුරට සියල්ලන් අභිභවනය කලේ ද යත් ගාමිණී විජේතුංගට ඔහුගේ අදහස මාක්ස් නැවතුණු තැන අපිත් නවතිමු ද” යනුවෙන් සිළුමිණ කොළමක යළි විස්තර කරන්නට සිදුවිය. විජේතුංග මාක්ස් නැවතුණ තැනෙන් ඔබ්බට ධනවාදයේ වර්ධනය ගැන සහ පශ්චාත් ධනවාදී යුගයේ සංස්කෘතික භාණ්ඩ ගැන සිහිපත් කර මාක්ස්වාදයට පශ්චාත් නූතන ඌණ පූරණයක් දෙන්නට සැරසෙන විටත් ගම්ලත් නිර්භීතව සහ සරලව කීවේ නිර්ධනයාට සංස්කෘතියක් නැති බවයි.ව්‍යාජෝක්තියෙන් කීවේ එසේ ඇත්නම් ඒ සවසට තැබැරුමේ දී මධුවිත තොල ගා ගැනීමෙන් බවයි. කරුණු මෙසේ හෙයින් ජනරජයක පැවැත්මට කවීන් අනවශ්‍ය යැයි කීමෙන් ප්ලේටෝ සාහිත්‍යයේ ශක්තිය ගැන උසස් ආකල්පයක් දැරුවේ යැයි වෝල්ටර් බෙන්ජමින් පැවසූ පරිදි නිර්ධනයාට සංස්කෘතියක් නැතැයි කීමෙන් ගම්ලත් සංස්කෘතිය ගැන උසස් ස්ථාවරයක් දැරුවේ යැයි පැවසීමට ඉඩ නැත් ද? මේ නිසා කිසිවෙක් ඔහුට ප්‍රතිගාමියෙකු යැයි කියනු අපට ඇසී නැත.සම්භාව්‍ය සාහිත්‍ය කෘති වලට අර්ථ ව්‍යාඛ්‍යාන සැපයූ ඔහු එතැන් හි මාක්ස්වාදයේ ඓතිහාසික භෞතිකවාදී දෘෂ්ටියෙන් අර්ථකතන දෙන්නට උත්සුක වූ බවක් මා නම් දන්නේ නැත.එවිට එක්තරා දේශපාලන කණ්ඩායමක් ඔහුගේ මාක්ස්වාදය කීර්තී බාලසූරිය ගෙන් සොරා ගත් එකක් යැයි දැක්වීම අයුක්ති සහගතය.නැතහොත්,සමාජ දේශපාලනයේ දී ප්‍රගතිශීලියෙක් කර භාෂා සාහිත්‍ය සහ කලා ලෝකයේදී ප්‍රතිගාමියෙක් කිරීම එසමාන නොමේරුණුකමකින් යුක්ත වූවකි.සමාජ දේශපාලනයේ දී මෙන්ම භාෂා සාහිත්‍යය සහ කලා ලෝකයේ දී යහපත් සහ උසස් දේ තෝරා ගැනීමේ සමර්ථතාවය රසඥතාවය මිස අන් කවරක් ද? භාෂා සයක නිපුණ, භාෂාවේ හා සාහිත්‍යයේ උසස් ප්‍රමිතීන් පැතු ගම්ලතුන් වැන්නෙක් මාක්ස්වාදී පොතේගුරුවාදය වෙනුවෙන්, භෞතිකවාදයේ, සමාජවාදයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් කිච දේ වැළඳ ගැනීම නම් පිළිස්තීනු ව්‍යවහාරයකට වැටීම බළාපොරොත්තු විය යුත්තක් ද්? ඔහු සැබවින්ම පිළිස්තීනුවාදය පිළිකෙව් කළ අයෙකි.සර්ව සමතලාකරණ පශ්චාත්වාදීන්ට නොපෙනෙන පැත්තක් ඇත.එනම් ඔහු උසස් රසඥතාවයකින් හෙබි විශිෂ්ට මිනිසෙකු වූ බවයි.හනා අරෙන්ඩ්ට් එවැන්නකු හැඳින්වූයේ “අතීතයෙන් මෙන්ම වර්තමානයෙන් ද මිනිසුන් අතර දේවල් අතර සිතිවිලි අතර තම ඇසුර තෝරා ගන්නට දන්නෙකු” ලෙසය.

එවැනි යහපත් මිනිසෙකුගේ සදාචාර විනිශ්චය තුළ දුර්වලයාගේ පස ගත් වාමාංශික දේශපාලනය,පීඩිත දෙමළ ජනයාගේ ස්වයං නීර්ණ අයිතිය සේම සර්ව කාලීන සාහිත්‍ය කලා කෘති පැවතීමේ වරද කිම? සද්ගුණයන් ඉගැවිය හැකිය යන සොක්‍රටීස් ගේ කියමන ඔහු විශ්වාස කලා හෝ නොකලා පවත්නා ඔනෑම දෙයක් එලෙසින් බාර ගැනීම වෙනුවට යහපත් හා උසස් දේ කෙරේ තම ජනයා නංවාලීමට නොවේද ඔහු කාලය ශ්‍රමය කැප කලේ? මා ඔහු කිසි කලෙක හමුවී නැතත් කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් “සුන්දර දෙයෙහි අදාළත්වය” කෘතිය පළ කරන සමයේ භාෂා පරිවර්තන ගැටළුවක් නිරාකරණය කර ගැනීමට දුරකථනයෙන් ඇමතු කල නොපිරිහෙලා ඉටු කර දුන් බව සිහිපත් කල යුතුය.ඔහුගේ ශබ්ද කෝෂයේ සංස්කරණයේ නියැලුණු විද්‍යාර්ථියෙකුට සෝදුපත් බැලීමට අප දුන් හේගල්ගේ “ස්වසවිඥානිකත්වයේ ස්වාධීනත්වය හා පරාධීනත්වය” රචනාව ඇස ගැසීමෙන් තරුණයන් එවැනි දේ කිරීම ගැන ඉමහත් ප්‍රශංසා කළ බව අප මිත්‍ර දිනේෂ් සඳහන් කලා මතකය.එතුමන් ගැන සමීප යමක් වූයේ නම් එපමණය.
ගම්ලතුන්ගේම කෘතියක කොටසකින් මෙය අවසන් කරමි.

සාහිත්‍යය හා අනෙකුත් කලාවන් පමණ
මගේ ජීවිතයට ළංවූ
අන් කිසිවක්
බාහිර ලෝකයේ නැති තරම්ය
එවායේ වස්තු විෂය නම් මගේත්
මා දන්නා නො දන්නා අනෙකුත් අයගේත් ජීවිතමයි.
මට හරි හැටි තේරුම් ගන්ට අමාරුත්
මා මෙතරම් හොඳින් දන්නා කියන
ජීවිතය ම යි.

මහාචාර්ය සුචරිත ගම්ලත්
“සාහිත්‍ය ලෝකය හා සැබැ ලෝකය” පෙර වදනින් (1971)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )