මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර

දෙවියන් හැර ගිය දෙවොලක සිට
කැත්ලීන් ජයවරර්ධන

w1-1

සෝවියට්‌ පුවත්පත්, සඟරා දැන් මිය ගිය ලේඛකයාගේ තවමත් උණුසුම් රූපකාය මත අසීමිත කීර්ති ප්‍රශංසා කඳු ගසයි. ඒවායෙහි ඔහු වර්ණනා කෙරෙන්නේ ‘ශ්‍රේෂ්ඨතම සුධීමතා’ ලෙස ය. මේ වර්ගයේ කිත් පැසසුම් තම ජීවිත කාලයේදී තමාට කෙරුණේ නම් ගොර්කි ඒවා දෙස රවා බලන්ට බොහෝ සෙයින් ඉඩ තිබිණි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා – 202, 203 පිටු – මහාචාර්ය සුචරිත ගම්ලත්)

රුසියානු මහා ලේඛක මැක්‌සිම් ගෝර්කිගේ අභාවයෙන් පසු සෝවියට්‌ ජනමාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව වසර 5 කට ඉහතදී මහාචාර්ය සුචරිත ගම්ලතුන් තැබූ මේ සටහන ආකස්‌මිකව අපගේ සිතට නැගෙන මොහොතකි මේ. ඒ, ඉතිහාසයේ කාල පරිච්ඡේදයක්‌ තුළ සිය මුද්‍රdව තැබූ ගම්ලතුන් ඉකුත් කාල සීමාව තුළ අපේ මාධ්‍යයට (විශේෂයෙන් රූප මාධ්‍යයට) බරපතළ ලෙස මග හැරුණේ ද යන ප්‍රශ්නය යළි යළි පැන නැගෙමින්, රැළි නැගෙමින් ඇති නිසා ය.

මහාචාර්යය සුචරිත ගම්ලතුන් හා මා අතරේ සාමාන්‍ය මට්‌ටමක හෝ ඇසුරක්‌ පැවතුණේ ගවී ගිය පස්‌වස තුළ ය. ඉඳහිට මට හමු වූ විට මා සමඟ කතා බහ කළ මේ මහාචාර්යවරයා කලක පටන් මා වේදිකාවේදී දැක තිබූ ඒ මහාචාර්යවරයා ම දැයි විමතියක්‌ මා තුළ පැන නැඟුණේ ද මේ අතරේ ය. ඒ ඇතැම් දේ මට හැඟුණ දැනුණ හැටියට ය. ප්‍රසිද්ධ වේදිකාවලදී සිංහ සෙය්‍යාවෙන් (ඇතැමුන් පවසන පරිදි දෙන්නම් බැටේ විචාරයෙන්) සෙස්‌සන් දුර්මුඛ කළ දැඩි මතධාරියකු වෙනුවට මා දුටුවේ, මට හමුවූයේ සාවධාන ලෙස අන්‍යයනට සවන් දෙන කුඩා දරුවකු තරමට, අහිංසකත්වයක්‌ ප්‍රකට කළ, නිහඬ, නිවුණු, තැන්පත්, සානුකම්පිත පුද්ගලයෙකි. මෙය වියපත් වීම ද සමඟින් පුද්ගලයකු තුළ ඉස්‌මතු වන සාමාන්‍ය තත්ත්වයකි යි සිතන්නට ඇතැම් විට මම කිසියම් උත්සාහයක යෙදුනෙමි. එහෙත් වැඩිදුරටත් සිතත්දී එය පොදු ධර්මතාවක්‌ වශයෙන් මට හඳුනාගත හැකි වූයේ ද නැත.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් පිළිබඳ ගෞරව භක්‌තියක්‌ මා තුළ තැන්පත් වූයේත් බහුතර සාහිත්‍යකාමීන්ගේ – සෞන්දර්යකාමීන්ගේ සිත්සතන් තුළ එතුමා අමරණීයත්වයට පත් වූයේත් විශේෂ කරුණක්‌ හේතුවෙනි යි මම විශ්වාස කරමි. මේ කවර නම් කරුණක්‌ දැයි වටහා ගැනීම සඳහා ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘතියෙන් ම උද්ධෘත කොට ගත් ලෙනින්ගේ අවධාරණයක්‌ දැක්‌විය හැකි ය.

මනුෂ්‍ය සංහතියේ සමස්‌ත විකාශනය විසින් නිර්මාණය කරන ලද සංස්‌කෘතිය නිසි ලෙස හදාරා වෙනස්‌ කිරීමෙන් පමණක්‌ මානව සංස්‌කෘතියක්‌ බිහිකිරීමට හැකි වන්නේ ය.

හුදෙක්‌ පැරණි වූ පළියට සැබෑ සෞන්දර්යයට පිටුපෑම කලාකරුවන් නො කළ මනා ය( එය ඉදිරි විකාසනයන් පටන් ගන්නා පදනම වශයෙන් සැලකිය යුතු ය.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා 95 පිටුව)

Socialist Realism in literature and Art (කෘතියෙන් උපුටා ගැනුණකි.)

සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම සම්භාව්‍ය මාක්‌ස්‌වාදය හඳුන්වා දෙද්දී ද ගම්ලත් සූරීන් භාවිතයට ගත්තේ සුමියුරු වූ බසකි. න්‍යායික ආස්‌ථානය කුමක්‌ වුවත් යාන්ත්‍රික මාක්‌ස්‌වාදියකු ලෙස අපට ඔහු පෙනී නොගියේ ඒ නිසා ය. සිංහල, පාලි, සංස්‌කෘත නම් වූ මිණි පත්ලෙන් ගරා ගත්, තෝරා ගත් නියම වචන නියම තැනට යෙදීමේ අපූරු හැකියාවක්‌, සුවිශේෂ කුසලතාවක්‌ සුචරිත ගම්ලත් සූරීන් සතු ව තිබිණි.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් අපේ කාලයේ වීරයකු ලෙස සිය මුද්‍රාව තබන්නේත්, මාක්‌ස්‌වාදී, භෞතිකවාදී බහුතරයකගෙන් ඔහු වෙනස්‌ වන්නේත් ඉහත කී හේතුව නිසා විය හැකි ය. අප ‘සාහිත්‍යය’ ලෙස පොදුවේ හඳුන්වන, සංස්‌කෘතයෙන් ‘කාව්‍යය’ වශයෙන් හැඳින්වෙන ‘රසය’ ජනනය කර දෙමින් ඔහු පාඨකයාගේ රසභාව පෝෂණය කළේ ය. විෂය ක්‌ෂේත්‍ර ගණනාවක පාරිභාෂිත පද සියුම් ලෙස හදාරමින් සහ ඇතැම් විට නව වදන් නිපදවමින් අනගි සම්ප්‍රදායන් ශේෂ කර තැබුවේ ය.

පුරාණ ග්‍රීකයන් නිර්මාණය කළ කලාව හා වීරකාව්‍යයනට පිටු දුන් සමාජ පදනම හා පරිකල්පනය අද නැතත් ඒ නිර්මාණ දැනුදු අපට ඉහළ සෞන්දර්යාත්මක ආස්‌වාදයක්‌ ගෙන දෙන ආකාරය පිළිබඳ ප්‍රබල හේතුවක්‌ දක්‌වන මාක්‌ස්‌ගේ අවධාරණයක්‌ මහාචාර්ය ගම්ලතුන් සිය කෘතියේ ඉතා පැහැදිලි ලෙස මෙසේ සඳහන් කරයි.

ග්‍රීක කලාවේ පිළිබිඹු වන්නේ යථාර්ථය පිළිබඳ අහිංසක වූ ද ඒ සමඟම සුත වූ ද සාමාන්‍යයෙන් ස්‌වාභාවික වූ ද සංජානනයකි. සමාජ සංවර්ධනයේ මුල් අදියරවලට, එහි ළමා අවදියට මේ සංජානනය ආවේණික ය. එහි නිරූපණය වන්නේ ස්‌වාභාවික අවංක බව සඳහා දැරෙන ප්‍රයත්නයකි. ඒ අවංක බවෙහි සෑම දෙනාටම අද්විතීය ආකර්ෂණයක්‌ ද සෞන්දර්යයක්‌ ද ඇත. අද ද අපට ඒවායින් ගැඹුරු ආස්‌වාදයක්‌ ලැබෙන්නේ එහෙයිනි.

(මාක්‌ස්‌වාදය හා සාහිත්‍ය කලා – 20, 21 පිටු)

ගම්ලතුන් හඳුනා සිටියේත් බොහෝ විට ඔහුට විෂය වූයේත් ඒ අවංක බවෙහි අද්විතීය ආකර්ෂණය හා සෞන්දර්යය යි. තමාට කුලුපග නො වන විෂයයන් ගැන ලියන විටදී පවා ඔහු අතින් ඒවා විකෘතකරණයකට ලක්‌ නො වූයේ ඒ නිසයි. ඔහුගේ සංචින්තනය, වාගාලංකාරය, අනුප්‍රාණය පාඨකයා තුළ චමත්කාරය දැනවූයේ ද ඒ ඔස්‌සේයි.

මාක්‌ස්‌වාදී සාහිත්‍ය කලාව මෙන්ම විඥනවාදී සෞන්දර්ය විද්‍යාව ද ඔහුගේ ලේඛනවල සංගෘහිත ව තිබිණි. මේ සියල්ල මනා ලෙස එකලස්‌ කොට ගළපා ‘කාව්‍යය’ හා ‘කාව්‍යයට හේතු’ යන ශීර්ෂ පාඨය යටතේ එතුමා රචනා කළ (ඉරුදින පුවත්පතේ පළවූ ලිපි එකතුවක්‌ වන ‘සාහිත්‍ය ප්‍රවේශය’ කෘතියේ) සටහනකි පහතින් දැක්‌වෙන්නේ.

සැබෑ සාහිත්‍යයේ වචනවලට වෙන වචන යොදා එය වෙනස්‌ කරන්නට බැරි ය. එසේ කළ විට රචකයා යෙදූ අර්ථය භංග වේ. ‘මුහුණ සඳකි’ යන්නට ‘මුහුණ ග්‍රහලෝකයෙකි’ යන වචන ආදේශ කළ නොහැකි ය. ආදේශ කළ විට එහි අර්ථය භංග වේ.

වියත් අවියත් දෙපක්‌ෂයට ම ග්‍රහණය කර ගත හැකි අයුරින්, සරල සුගම බසින් අදහසක්‌ ප්‍රකාශ කිරීමෙහි ලා ගම්ලතුන් සතුව පැවති ශක්‍යතාවයේ මහීමාව නම් මෙය යි. මෙකල අප අත්විඳිමින් සිටින්නේ මෙලෙස ඕජෝ ගුණයෙන් යුතුව බස හැසිරවිය හැකි සමකාලීන විද්වතුන් අප අතර නො සිටීමේ ඛේදය යි. බොහෝ විට නූතන පාඨකයාට කියවීම එපා කරවන්නේ ලේඛකයාගේ බස හැසිරවීමට දරිද්‍රතාව යි.

ශාස්‌ත්‍රීය කෘතියක වේවා සාහිත්‍ය නිර්මාණයක වේවා භාෂා රීතිය සකස්‌ විය යුතු ආකාරය පිළිබඳ අදහසක්‌, ¨දැක්‌මක්‌ අප තුළ මුල් ඇදුණේ ගම්ලතුන්ගේ ඒ භාෂා ප්‍රාගුණ්‍යය අපගේ භාෂා දැනුම පිරිපහදු කිරීම නිසා ය. භාෂාවේ ස්‌ථර තුනක්‌ පෙන්වා දෙන ගම්ලත් සූරීහු එදිනෙදා කතා කරන භාෂාව, විද්‍යාත්මක භාෂාව හා කාව්‍යමය භාෂාව වශයෙන් ඒවා නම් කරති. ඉනික්‌බිතිව ඒ සම්බන්ධයෙන් කෙරෙන විවරණය මෙවැනි ය.

‘මෙහිදී විද්‍යාත්මක භාෂාව නොතකා හැර කතා කරමු. කතා කරන භාෂාව යනු මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී උනුන් අතර අදහස්‌ හුවමාරු කරගැනීමට තිබෙන උපකරණය යි. එය ඉගෙනීම සඳහා විශේෂ මහන්සියක්‌ දැරීම අවශ්‍ය නො වන්නේ ය.

කාව්‍යමය භාෂාව යනු ඈත අතීතයේ ගල්ලෙන්වල වාසය කළ කාලයේ පටන් මිනිසා හැඟීම් පැවසීම සඳහා භාවිත කළ සුභාවිත කළ, සම්භාවිත කළ, බහුලීකෘත කළ, වර්ධනය කළ, සංවර්ධනය කළ උපකරණය යි.’

අප බරපතළ ලෙස නාස්‌ති කරගෙන ඇත්තේ, අපතේ යවා ඇත්තේ විෂයාන්තර භාෂාන්තර අවබෝධයකින් සපිරි මේ අපූර්ව ශක්‌ති ජනකයම නොවේ දැයිs දැන් අපි පශ්චාත්තාපී ව සිතමු. අප උපත ලබා ඇත්තේ, සම්පත් අපතේ යෑවීම සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තැබූ දේශයක වන නිසා එක්‌ අතකින් එහි අරුමයක්‌ ද ඇත්තේ නැත.

ගම්ලතුන් හිමිකම් කීවේ ඉහත කී භාෂා ප්‍රාගුණ්‍යයට පමණක්‌ නො වේ. බහුවිධ විෂය ක්‌ෂේත්‍ර ස්‌පර්ශ කෙරෙමින් සම්පරීක්‌ෂණයෙහි යෙදෙමින් ඔහු ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ බොහෝ ය. ඒ කිසිවක්‌ විද්යුත් මාධ්‍ය සංවාද මණ්‌ඩපයකින් කතාබහට ලක්‌ කෙරුණ බවක්‌ අපට මතක නැත. රූප තිරයට ආගන්තුක වූ ගම්ලතුන්ගේ ප්‍රතාපවත් මුහුණ කැටයමක්‌ මෙන් කෙටී පැවතුණේ මෙරට රසික සිත්සතන් තුළ ය. ගම්ලතුන්ගේ පන්හිඳ තෙළිතුඩක්‌ බවට පත් වූයේ රසික සිත් වර්ණ ගැන්වීමට ය. මාක්‌ස්‌වාදී ආස්‌ථානයක්‌ නියෝජනය කළ ද ගම්ලතුන්ගේ සිත ලෝකයේ සෞන්දර්යාත්මක හා දාර්ශනික චින්තාවනට ශුෂ්ක බිමක්‌ වූයේ නැත. ‘ලියොන් ට්‍රොට්‌ස්‌කි හා සාහිත්‍යකලා’, ‘ට්‍රොට්‌ස්‌කිවාදය’, ‘මාක්‌ස්‌වාදය හා සාහිත්‍යකලා’ කෘති අතරට ‘බුද්ධ චරිතය’ (චරිතාපදාන) ‘අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය’ (පර්වර්තන) ‘වෙස්‌සන්තර ජාතක කාව්‍ය’ (විවරණ) හා ‘යසෝදරාවත’ ද එක්‌ වූයේ මේ අනුව ය. මේ සම්ප්‍රදායන් අප වෙත ලබා දී ඇත්තේ ගම්ලතුන්ගේ චිරකාලීන ශාස්‌ත්‍රීය ගවේෂණ හා ඒවායින් ලද සුපෝෂණය යි. එතුමන්ගේ ‘බුද්ධ චරිතය’ නම් වූ විශ්ලේෂණාත්මක චරිතාපදානයේ පහත දැක්‌වෙන ඡේදයෙන් ගම්‍ය වන්නේ ද එයයි.

‘වර්තමාන’ ශබ්දමාලා තිබුණේ නම් බුදුන් වහන්සේ දේපොළ අයිතිකාර සමාජය පිළිබඳ තම විනිශ්චය මේ ආකාරයෙන්ම සූත්‍රගත කරත් දැයි කල්පනා කිරීමෙහි ඵලයක්‌ නැත. සත්‍ය කරුණ නම් වත්මන් ශබ්දමාලා උන්වහන්සේට නො තිබූ බවයි. උන්වහන්සේට වූයේ අපෝහකවාදී දෘෂ්ටියකි. එනම් පටිච්ච සමුප්පාදය නමැති දෘඨතර නියාමය යි. මෙහි වැදගත්කම කිසිසේත් නොතකා හළ නොහැකිය. මෙය තමන්ගේම ආකාරයෙන් දේපොළ අයිතිකාර ජනසමාජය මානව සංහතියේ අවසාන ඉරණම විය නොහැකි ය යන අදහස ප්‍රකාශ කිරීමට උන්වහන්සේ මෙහෙයවයි( නිශ්චිත තත්ත්වයනට යටත්ව හටගන්නා එය ඒ තත්වයන්ගේ විනාශ වී යැමට නියමිතයි. (=අස්‌මිං අසති ඉඳං න හෝති – මෙය නැති කල මෙය නො වේ)

(බුද්ධ චරිතය – 496 පිටුව)

මේ කෘතියේම 212 පිටුවේ සිදුහත් තවුසාණන්ගේ දුෂ්කර ක්‍රියාව හා අදාළ නිරීක්‌ෂණයන් පිළිබඳව එතුමා මෙසේ සඳහන් කරයි.

මෙය විද්‍යාගාරයක කෙරෙන පරීක්‌ෂණයක්‌ වැන්න. සිදුහත්හු භය ශංකා, වෙසෙසින් මරණය එළඹෙතැයි යන භයශංකා තමන් අබිබවා යැමෙන් වලක්‌වා ගැනීමට අධිෂ්ඨානවත් වූහ. තමන් නිපදවූ එන්නතක්‌ තමාට ම එන්නත් කරගෙන පරීක්‌ෂා කරන විද්‍යාඥයකු පරිද්දෙන් සිදුහත් තවුසාණෝ ක්‍රියාවේ ද එහි ඵලයේ ද අන්තර් සම්බන්ධය නිරීක්‌ෂණය කරමින් විඳ දරාගෙන උන්හ.

ගම්ලතුන්ගේ විශිෂ්ටතම සම්ප්‍රදානයක්‌ වශයෙන් පෞද්ගලිකව මට සිතෙන ‘බුද්ධ චරිතය’ පොතට පසු වදනක්‌ එක්‌ කරන සමිත විෙ-වර්ධනයෝ බුදුදහම හා සුචරිතයන්ගේ බසෙහි සුසංයෝගය, ඒ අසිරිය පිළිබඳව මෙසේ පවසති.

එදෙස, මෙදෙස, පුරාතන, නූතන නන් බස්‌හි විශාරද මහැදුරු සුචරිත ගම්ලතුන්ගේ මනනයන පොබයන අසිරිමත් බස්‌වහරින් අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බුදු සිරිතින් ඒ අසිරිමත් බස්‌ වහරත් දිදුලයි. මේ දෙකින් ම හෙළබස බැබළේ. මැණිකෙන් එය බැඳි වළල්ලත් වළල්ලෙන් එහි බැඳි මැණිකත් ඒ දෙකින් ම කරලතාවත් බබළන කලෙක මෙනි.

මේ කවර සාහිත්‍යමය වර්ණනාවකින් වුව සමුච්චයාර්ථයක්‌ දෝංකාර නංවන්නේ සමස්‌තයක්‌ ලෙස ගත් කල්හි යෑයි ද එතුමෝ වැඩිදුරටත් පෙන්වා දෙති. සාහිත්‍ය විචාරයේදී ‘වනිය’ ලෙස නම් කෙරෙන මෙය හඳුනාගත හැකි පුද්ගලයා ගම්ලතුන් හඳුන්වන්නේ ‘සුපාඨකයා’ ලෙස ය. මේ පිළිබඳ එතුමා නිදසුන් දක්‌වා ඇත්තේ මෙලෙසිනි.

පැරැන්නන් සාහිත්‍යයෙන් වාච්‍යාර්ථය පමණක්‌ ගන්නන්ට හොඳ උපමාවක්‌ කියා ඇත. ඒ මෙසේ ය:

කවිතාස්‌වාද විෂයේ

පදව්‍යුත්පත්තිමාත්‍රධී:

නීවීමෝක්‌ෂස්‍ය වේලායාං

යථා ක්‌ෂෞමාර්ඝචින්තකඃ

(කාව්‍ය රසාස්‌වාදය කරන වේලෙහි පදයන්ගේ වාච්‍යාර්ථය පමණක්‌ ගන්නා අඥානයා පිය ළඳගේ සළු පිළි ගිලිහෙන කල්හි ඒ සළු දුපිළිවල වටිනාකම ගැන පමණක්‌ කල්පනා කරන පිලිස්‌තීනුවාට සමාන ය.)

(ගුරු ගුණ සමර – 115 පිටුව – මහාචාර්ය සුචරිත ගම්ලත්)

දිවයින වටමඬල

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )