නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා

නලින් ස්වාරිස්: විමුක්තිය පිළිබඳ අදහස අත් නොහළ මහජන බුද්ධිමතා
දිමුතු සමන් වෙත්තසිංහ

නලින් සුවාරිස්
නලින් සුවාරිස්
ආචාර්ය නලීන් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2013.04.17 වෙනි අද දිනට දෙවසරකි.

මා ප්‍රථම වරට නලින් ස්වාරිස් හමුවී කතා කිරීමට අවස්ථාවක් ලැබුවේ කතෘ ප්‍රකාශයක් වශයෙන් පල කර තිබූ “මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග” (Buddha’s Way to Human Liberation) නම් ඔහුගේ මාහැඟි කෘතියේ පිටපතක් ලබා ගැනීමට 2001 වර්ෂයේ එක්තරා දිනයක දෙහිවල පිහිටි ඔහු ජීවත් වූ නිවසට ගිය විටය. ඒ කෙටි හමුව තුළ ඩේකාට්ගේ සිට සමකාලීන බෞද්ධ සංස්ථාව දක්වා ආකර්ෂණීය මෙන්ම නිර්දය විචාරයක් අප හමුවේ ගෙන හැර දැක්වීමට ඔහු ශූර විය. දීඝ නිකායේ වෙළුමක් අප හමුවේ තබා බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍යය තිරශ්චීන විද්‍යාවක් ලෙස හඳුන්වා ඇති ආකාරය පෙන්වමින් සමකාලීන විපරීත ආගම පිළිබඳ සිතන්නට පෙළඹුවේය. කාටීසියානු ද්වෛතය යනුවෙන් වර්තමානයේ හඳුන්වන දෙය ඩෙරීඩා ට බොහෝ කලකට පෙර බුදුන් වහන්සේගෙන් විසංයෝජනය වූ ආකාරය ඔහු සිහිපත් කලේ බටහිර ප්‍රබුද්ධත්වය පිළිබඳ සැක උපදවමිනි. පාරිභෝජන සමාජයක බුදු දහම මුහුණ පා ඇති අනතුර පිළිබඳ සවිඥානික වූ ඔහු උගත් වියත් භික්ෂුන් සමග රූපවාහිනී ධර්ම දේශනා නිසා පංසල හා බෞද්ධයන් අතර සම්බන්ධය බිඳ වැටීමේ ආදීනව සාකච්ඡා කර ඉන් වැළකෙන්නැයි ඉල්ලීය. වරක් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් හමූවූ විටෙක භික්ෂුන් සහ ගිහියන් සඳහා දෙයාකාරයක ආසන පැනවීම දුටු ඔහු ඒ කුමන සමානාත්මතාවයක් දැයි බෞද්ධ සංස්ථාවේ චාරිත්‍ර විධි සහ භාවිතයන් ගැන පසු කලෙක අපගෙන් ප්‍රශ්න කලේ ඔහුගේ චින්තාව මත වැටී තිබුණ හේතුවාදී (rationalist) සෙවනැල්ලක බලපෑම නිසාද යන්න ගැටළු සහගතය.

සැබැවින්ම, බුදුන් දෙසූ මග (බටහිර අධිපතිභාවයට පත්ව ඇති ) පුද්ගලික මෝක්ෂය සෙවීමේ භාවනා හෝ යෝගී ක්‍රම වලට ලඝු කිරීමට එරෙහිව සමාජ ඓතිහාසික සංදර්භයක පිහිට වූ ඔහුගේ කෘතිය අධිපති බ්‍රාහ්මණවාදයට එරෙහිව සමාජ විමුක්ති මාර්ගයක් ලෙස බුදුන්ගේ අනත්තාවාදයත්, ක්‍රිස්තියානි පාරභෞතිකවේදයට එරෙහිව ඩෙරීඩාගේ විසංයෝජන රීතියත් පිළිබඳ තුලනාත්මක විග්‍රහයක් ගෙන ආවේය. නූතනත්වයේ හේතුවාදී ප්‍රබුද්ධතා ව්‍යාපෘතිය (Enlightenment) දාර්ශනිකව බිඳ හෙලු පශ්චාත් ව්‍යුහවාදී විචාර ධාරාවේ හිණිපෙත්තට නැඟි ඩෙරීඩාට පවා මාක්ස් ගැන අගතියක් තිබු සේ ආචාර්ය නලින් ද ක්‍රිස්තියානි පාරභෞතිකවේදය පිළිබඳ විචාරයට තරම් ප්‍රබුද්ධතා ව්‍යපෘතිය ගැන විචාරයට සංවේදී නොවීම අගතියක් යැයි කිවොත් ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි ස්මරණයක දී ඔහුගේ කාර්යයට සාධාරණය ඉටු කරනු සඳහාමය. මේ ඔහුගේ “බුද්ධාගම, මානව හිමිකම් හා සමාජ නවීකරණය” නම් කෘතියේ උදෘතයකි.

“ප්‍රබුද්ධත්වය යුරෝපීය සමාජය මත පමණක් නොව සියළු සමාජ මත නිත්‍ය බලපෑමක් ඇති කල ලෝක දෘෂ්ටියක් බිහි කලේය. විශ්වයේ භූ කේන්ද්‍රීය දෘෂ්ටිය ඉවත දමා මානව වර්ගයාට එහි සත්‍ය සූර්යයා වටා එවිට අවසාන වශයෙන් භ්‍රමණය වන්නට හැකි විය. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය යනු ප්‍රබුද්ධත්වයෙන් ඇරඹුණු ක්‍රියාවලියක් මස්තක ප්‍රාප්ත වීමකි. යුරෝපීයෝ එම යුගයේ වහල් වෙළඳාමේ සහ යුරෝපීය නොවන ජනයා යටත්කරගැනීමේ නියැලී සිටියත් ප්‍රබුද්ධත්වය ක්‍රිස්තියානි රාජ්‍යන්ගේ ම්ලේච්ජ භාවිතයන් සමග අනිවාර්යෙන් ගැටෙන අදහස් බිහි කළේය” (Buddhism,Human Rights and Social Renewal).

මුලින් කියැවෙන, මානව සංහතිය විද්‍යාවේ හා තර්ක බුද්ධියේ ග්‍රහණයට ගැනීමට සහ වහල් වෙළඳාමේ සිට අධිරාජ්‍යවාදය දක්වා මග පෑදූ යුරෝපීය ප්‍රබුද්ධත්වය ගැන ප්‍රංශ විප්ලවයේ අගනාකම් වලින් සන්නද්ධව සිටි ආචාර්ය නලින් ට විවේචනයක් නැතැයි කිසිවෙක් නොකියනු ඇත. එහෙත් එය අභිබවා පසුව කියැවෙන ක්‍රිස්තියානි ම්ලේච්ජත්වයට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ප්‍රගතිශීලී කාර්යභාරයක් පිළිබඳ විග්‍රහයකට ප්‍රමුඛත්වය ලැබීම ඔහුගේ චරිතය ගොඩනංවන ලද ක්‍රිස්තියානි සම්ප්‍රදාය සමග වූ අරගලය නිසා ඇති වූවක්ද? ඩාවින්චි කෝඩ් චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡාවකදී “නිර්මල පිළිසිඳ ගැනීම” පිළිබඳ කතෝලික සංකල්පය නිර්දය ප්‍රහාරයකට ලක් කළ විට එහි සිටි මගේ කිතුණු ඥාතියෙක් වික්ෂිප්ත විය. එසේත් නැතහොත්, එය හබර්මාස්ගේ “අසම්පුර්ණ හෝ නොනිමි නූතනත්වයක් (incomplete modernity) පිලිබඳ අදහසින් ලැබූ ආභාෂයකින් ඇතිවන්නක් ද? විචාර බුද්ධියේ හෝ විද්‍යාවේ විමුක්තිදායක (emancipatory) කාර්යභාරයක් තව දුරටත් ශේෂ වී ඇතැයි ප්‍රබුද්ධත්වය ගැන හබර්මාස් බළාපොරොත්තුවක් ගෙන ආවේය. විමුක්තිය (emancipation) පිළිබඳ අදහස අන් සියල්ලට වඩා නලින් පිළිබඳ ඉහත සාකච්ඡා කරන ලද දෙඅර්ථයටම යුක්තිය ඉටු කරණු ඇත. ඩෙරීඩා මිය ගිය මොහොතේ ඔහු ලියු දෙය මෙහිලා අදාලය.

“මාක්ස් කියූ පරිදි ලෝකයේ අරුත පැහැදිළි කිරීමට බොහෝ පඬිවරු උත්සාහ කරති. නමුත්, වැදගත් වන්නේ ලෝකය ප්‍රායෝගිකව වෙනස් කිරීමය. ඩෙරීඩාගේ චින්තනයේ සමාජය වෙනස් කිරීමට ක්‍රමවේදයක් (praxis) නොමැති වීම එහි කැපී පෙනෙන හිඟයකි.

නමුත් බුදුන් වහන්සේ චින්තනයෙන් නිර්මිත ලෝකයෙහි පවත්නා අසතුටුදායක බව හෙළිදරව් කර,එහි ඇලී ගැලී සිටීමෙන් හට ගන්නා පෞද්ගලික හා සමාජීය දුක පහදා දී ඒ දුකින් මිදීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ද සොයා ගත්හ. ඒ චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි” (විභවි බුලටීනයෙන්)

සැබැවින්ම ඔහුගේ කාර්යය සද්භවවේදී (ontological) සහ ඥාන මීමංසාත්මක (epistemological) යමකට වඩා විමුක්තිදායක යමක් ලෙස දැකිය හැකිද?

ඔහු හැදී වැඩුණු කිතුනු සම්ප්‍රදාය පිළිබඳ දෘඩ විවේචකයෙක් වූ සේම විමුක්ති දහමක් වූ මාක්ස්වාදය කිසි කලෙක අත් නොහැරියේය. ව්‍යුහවාදය, පශ්චාත් ව්‍යුහවාදය, මනෝ විශ්ලේණය කලාව ගැන ඔහු සතුවූ පුළුල් දැනුම ලාංකීය සමාජය සමග බෙදා ගැනීමේදී මූල්‍ය හෝ ආර්ථික වටිනාකම් මත ලංසු නොතැබූ බව සාක්ෂි දැරීමට බොහෝ අය ඉදිරිපත්වනු ඇත. පොදු කටයුතු පිළිබඳ ලෝකය පිළිබඳ පුරවැසි අපගේ අවධානය නිරන්තරයෙන් අවදියෙන් තැබීමට තරම් ඉංග්‍රීසි සිංහල භාෂා දෙකෙන් කරන ලද මැදිහත් වීම ඒත්තු ගන්වන සුළුය. කොකා කෝලා සමාගමට එරෙහිව “දි අයිලන්ඩ්” පුවත්පතින් වරක් තම වගකීම් නොපිරිහෙලා ඉටු කළේ බුද්ධිමතෙකුටත් වඩා සැබෑ පුරවැසියෙකුගේ කාර්ය සිහි ගන්වමිනි. එල්.ටී.ටී ඊ ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ විට “ආදරණීය දේශය මොර ගා හඬාපන්” යන මාතෘකාවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලියූ හැඟීම්බර ලිපිය අරඹන්නේ ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කළ බව ඇසීමෙන් කම්පිතව වෝල්ට් විට්මාන් ලියු පද්‍යයක් සිහිපත් කරමිනි. ප්‍රධාන ධාරාවේ ලා නොගැනුණු “ලංකා” පුවත්පත වැන්නකට කිසිම බුද්ධිමය ගර්වයකින් තොරව තම අදහස් දැනුම ලබා දුන්නේ “තරුණයෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා ඉංග්‍රීසියෙන් ලියන දේවල් අපිට සිංහලෙන් කියන්න බැරිද කියලා? මට ඒකෙ වැරැද්දක් පෙනුනේ නැහැ” යැයි පවසමිනි. සම්භාව්‍ය භාෂා කිහිපයක නිපුණ වූ ඔහු බොහෝ නූතන සංකල්ප වල මුල් අරුත් ග්‍රීක, ලතින් සහ ඉංග්‍රීසි භාෂා සම්ප්‍රදායන්ගෙන් ගෙනහැර පැවේ අප විමතියට පත් කරවමිනි. රතු රෝස මලේ සංඥාර්ථවේදය ගැන ලියු ලිපිය එවැන්නකි. සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික දෑ අරඹයා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඔහු කළ රැඩිකල් මැදිහත් වීමෙන් සුවිශාල සාහිත්‍යයක් ගොඩ නැගී ඇති බව නිසැකය. කතිකා අධ්‍යයන කවය වෙනුවෙන් අපගේ පරිවර්තන වල ග්‍රීක ලතින් භාෂා පිළිබඳ ගැටළු නිරාකරණය කර ගැනීමට ඔහු හමුවූ අවස්ථාවක දී ප්‍රංශ භාෂා යෙදුම් පිළිබඳ ගැටළු ද නිරාකරණය කර දුන්නේය. විශ්ව විද්‍යාලයේ හෝ අන් තැනක වේවා ඔහු තම දැනුම අන් අය සමග බෙදා ගැනීමේදී කාලය පිළිබඳ තක්සේරුවකින් තොරව කැපවීම දුර්ලභ ගුණාංගයක් විය.

සරත් ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී දයාන් ජයතිලක හා ඇති කරගත් විවාදය කියවූවෙක් ඔහු ජාතිවාදියෙකු යැයි පැවසූ කතාවක් කොහේදී හෝ ඇසුණු බවක් මතකයේ ඇත. විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂය සමග සමීපව සිට උතුරු නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලද ඔහු පසු කාලයේ ඉන්දීය හමුදාව සහ එම පළාත් සභා දේශපාලනය විසින් අහිංසක ජනයා මත මුදාහල පීඩනය ගැන විවේචකයකු වන විට ඔහු එල්.ටී.ටී. ඊ. කාරයෙකු යැයි කිසිවෙක් කිවහොත් එතරම් බොළඳ ප්‍රකාශයක් ලෙස එය සැළකිය යුතුය. ත්‍රස්තවාදය පිළිබඳ ඔහුගේ විවේචනය වුයේ සිංහල බෞද්ධ රාජ්‍යය දෙමල ජනයාට පීඩා කරන අයහපත් එකක් නම් ඔවුන්ගේ විමුක්තිකාමීන් ඊට වඩා යහපත් විය යුතු බවයි. කවර ආකාරයක වත් ප්‍රචන්ඩත්වයක් නොඉවසූ ඔහු මනුෂ්‍යත්වයේ ඇබිත්තක්වත් ඇත්තෙක් යුද්ධයකට පක්ෂ නොවනු ඇත යනුවෙන් “දි අයිලන්ඩ්” පුවත්පතට ලීවේය.

ඔහුගේ සමාජ කාර්යයට යුක්තිය ඉටු කරනු ඇත්තේ ජාතිවාදය වැනි යෙදුමක් නොව “දේශප්‍රේමියා යනු තම පුරයේ යුතුකම වෙනුවෙන් සහභාගි වන්නා” යන රෝම කවි සිසරෝගේ හෝ පුරවැසියා යනු “පුරයේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නා” යන ඇරිස්ටෝටල්ගේ අර්ථ දැක්වීම්ය. සැබවින්ම ඔහු මියයන තෙක්ම තම රාජ්‍යයේ හෝ පුරයේ යහපත වෙනුවෙන් බුද්ධියෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන්ද නිරතුරුව මැදිහත් වූ ඇරිස්ටෝටලියානු අරුතේ පුරවැසියෙක් හෝ සිසරෝගේ අරුතේ දේශප්‍රේමියෙකි. එවැන්නෙකු ෆොන්සේකා පිළිබඳ සිද්ධියේදී තම පක්ෂපාතකම ප්‍රකාශ කලේ දේශය වෙනුවෙනි. රාජ්‍ය කරවන්නන් රාජ්‍යය අනතුරේ දමන යුගයක, බොදු බල සේනාවේ “ලුම්පන් බුද්ධාගම” බෞද්ධ සමාජ ජීවිතය මිලිටරීකරණය කරන යුගයක නලින් ස්වාරිස් ජීවතුන් අතර සිටියා නම් කවර මගක් ගනු ඇත් ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )