ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය

ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය
කුමුදු කුසුම් කුමාර

රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලත් ශූරීන් පිළිබඳ ලියූ ලිපිය (රාවය, 2013 අප්‍රේල් 14) සාකච්ඡාව සඳහා වැදගත් කරුණු ගණනාවක් මතුකරයි. ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමෙහි ලා භාෂාවට හිමිවන ප්‍රමුඛත්වය පිළිබඳ අදහස මෙහි ලා ප්‍රධාන ය. රනිල් වික්‍රමසිංහ ගම්ලතුන්ගේ දායකත්වය අගය කරන්නේ ඔහු සිංහල භාෂා පුනර්ජීවනයට උර දුන් මුල් විද්වතුන් ගේ පරපුරේ විප්ලවීය යුග පුරුෂයෙකු ලෙසිනි.

යටත් විජිත සමයේ මෙරට ඇරඹුණු සිංහල හා දෙමළ භාෂා පුනර්ජීවන ව්‍යාපාර යටත් විජිත විරෝධයේ ආරම්භය සටහන් කළ බෞද්ධ සහ හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවල දිගුවකි. අප ජාතියක් වශයෙන් නැඟී සිටීමේදී සහ සිංහල භාෂාව පෝෂණයේදී ඉංග්‍රීසි භාෂාව දේශීය භාෂාවක් වශයෙන් උගැන්මේ ඇති වැදගත්කම වටහා ගත් ගම්ලතුන් ඒ වෙනුවෙන් නොපැකිළ පෙනී සිටියේය, කටයුතු කළේය. ට්‍රොට්ස්කිවාදයෙකු වූ ගම්ලතුන් ගේ භාෂාව පිළිබඳ දර්ශනය, අදහස් සහ සේවාව අගය කරන්නට ප්‍රතිපක්ෂ දේශපාලන මතවාදයක් දරන රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීම පෙන්වන්නේ දේශපාලන ශිෂ්ට සම්පන්නභාවයකි. මෙය ගම්ලතුන් ගේ අවමඟුලට ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් ඔහුගේ අත්සනක්වත් නොමැතිව හුදු මුද්‍රිත පොදු ශෝක පණිවුඩයක් සහිත මල්වඩමක් ජනාධිපති කාර්යාලයෙන් එවා තිබීම පෙන්නුම් කිරීමෙන් ප්‍රකට කරන කණගාටුදායක තත්ත්වය හා සසඳා බැලිය හැකිය.

සැමුවෙල් පී. හන්ටින්ග්ටන් ඇමෙරිකාව සම්බන්ධයෙන් මතුකරන කරුණ උපුටා දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසන්නේ ජාතික අනන්‍යාතාව රැකීමට භාෂාව තීරණාත්මක වන බවයි. ඇමෙරිකාව විශාල වශයෙන් සංක්‍රමණිකයන්ගෙන් සැදුණු රටක් වූ හෙයින් ඔවුන් සියලු දෙනට ඇමරිකානු මව් බස වූ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය දී ඔවුන් ඇමෙරිකානුවන් බවට පත් කිරීම, ඇමෙරිකානු ජාතික අනන්‍යතාව රැක ගැනීමෙහි ලා තීරණාත්මක වීය. හන්ටින්ග්ටන් කියන්නේ පසු කලෙක බහු සංස්කෘතිකවාදී අදහස් ඇමෙරිකානු සමාජයේ බලවත් වීමත් සමඟ මෙම පිළිවෙත වෙනස් වීම නිසා ඇමෙරිකානු ජාතික අනන්‍යතාව අර්බුදයට පත් වී ඇති බවයි.

භාෂාවේ පෝෂණයට දායක වීමෙහි හෝ නොවීමෙහි ලා දේශපාලනයේ වගකීම විභාග කරන්නට රනිල් වික්‍රමසිංහ ගම්ලතුන් පිළිබඳ තම ඇගයීම අවස්ථාවක් කර ගනියි. සුචරිත ගම්ලතුන් ලංකාව බහු භාෂා භාවිතයක් ඇති බහු සංස්කෘතික බහු වාර්ගික දේශයක් ලෙස වටහාගත් ඒ වෙනුවෙන් නිරතුරුව ක්‍රියාකළ පෙරටුගාමී විද්වතෙකි යනුවෙන් රනිල් වික්‍රමසිංහ පළ කරන අවබෝධය අගය කළ යුතුය. “ජාතික අනන්‍යතාවයක් නිර්මාණයේදී ප්‍රමුඛස්ථානයක් භාෂාවන් වෙත හිමිවෙයි” යනුවෙන් දක්වන අතරම 19 වන සියවසෙහි මැද සිට ඇරඹුණු ප්‍රාචීන භාෂා ප්‍රබෝධය ද නිදහස ඉලක්ක කර ගනිමින් ඇරඹුණු සිංහල භාෂා පුනරුදය ද මේ හා බැඳි චරිත වන සුමංගල හිමිගේ සිට මාර්ටින් වික්‍රමසිංහ දක්වා අය අගයන රනිල් වික්‍රමසිංහ “සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලීමේ ආශ්චර්යයෙන් ජනතා දෑස් අන්දකොට ඉංග්‍රීසි තම පංතියට සීමා කිරීමට මෙරට දේශපාලනඥයන් කටයුතු කලේ” යැයි විවේචනයක් ගෙන එයි. මෙහිදී, පෙර කී භාෂා පුනරුදයේ බලපෑමක් හෝ දිගුවක් ලෙස සිංහල රාජ්‍ය භාෂාව කිරීම දැකිය නොහැකිද යන ප්‍රශ්නය කෙනෙකුට නැඟිය හැකිය. නැතහොත් රනිල් වික්‍රමසිංහ හන්ටින්ග්ටන් ගේ ඇමරිකානු නිදර්ශනයේ මෙන් බහු වාර්ගික ශ්‍රී ලංකාවේ ද ඉංග්‍රීසි මුල් කරගත් ජාතික අනන්‍යතාවයක භව්‍යතාවයක් තිබූණේ යැයි ගතානුගතික දැක්මක් උසුලන්නේ ද? යන ප්‍රශ්නය මෙහි ලා මතුවෙයි.

ලංකාවේ ජාතික අනන්‍යතාවක් ගොඩ නැංවීමට නම් සිංහල සහ දෙමළ දෙභාෂා ජාතික භාෂා වශයෙන් පිළිගැනීමේ වැදගත් කම යටත් විජිත සමයේ සිටම අවධාරණය කෙරී ඇති කරුණ කි. මෙහිදී ලංකාවේ තත්ත්වය සසඳන්නේ නම් ඒ සඳහා වඩා ගැළපෙන්නේ ඇමෙරිකාව නොව කැනඩාව යැයි සිතමි. එරට අතිමහත් බහුතරයක් වසන භූගෝලීය කලාපය තුළ ඉංග්‍රීසි කතාකරන ජනයා වාසය කරන අතර ප්‍රංශ භාශාව මවු බස කරගත් ක්විබෙක් ප්‍රාන්තය ද තිබේ. කැනඩාව ජාතික අනන්‍යතාව සහ භාෂාව පිළිබඳ කරුණ ආමන්ත්‍රණය කරන ආකාරය සම්බන්ධයෙන් වැදගත් යමක් එහි ක්විබෙක් ප්‍රාන්තයේ මොන්ට්‍රියල් නුවර වසන ඉංග්‍රීසි මවු බස නමුත් ප්‍රංශ බසද එක හා සමානව දැන උගත් කැනේඩියානුවෙකු වන ලෝ පතළ දාර්ශනික චා(ර්)ල්ස් ටේලර් බහුසංස්කෘතිකවාදය පිළිබඳ දක්වා ඇති අදහස් වලින් අපට ඉගෙන ගත හැකි වනු ඇතැයි සිතමි.

ඉංග්‍රීසිය තමන්ගේ පංතියට පමණක් සීමා කිරීම පිළිබඳ දේශපාලනඥයන්ට රනිල් වික්‍රමසිංහ නඟන චෝදනාව එල්ලවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නම් ඉංග්‍රීසිය සාමාන්‍ය ජනයා වෙත ගෙන යන්නට එක්සත් ජාතික පක්ෂය ගත් පියවර ඇත්නම් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ද රනිල් වික්‍රමසිංහ ගේ වගකීම වෙයි. ඔහු එක්සත් ජාතික පක්ෂ (එ.ජා.ප.) ආණ්ඩුවල අධ්‍යාපන ඇමතිවරයෙකු ලෙසද කටයුතු කර ඇති හෙයින් මෙය වඩා වැදගත් ය. අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සමත් වූවන් ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස රජයේ පාසැල්වලට පත් කළේද එ.ජා.ප.රජයක් යටතේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේ යැයි සිතමි. මෙම පත්වීම් කිරීම සාධාරණය කෙරුණේ කුමන පදනමක් මතද යන්න සහ එය ලංකාවේ පාසැල්වල ඉංග්‍රීසි අධ්‍යාපනයට කෙසේ බලපෑවේද යන්න ද අප සාකච්ඡා කළ යුතු යැයි සිතමි. තවද 2002 දී ඔහු අග්‍රාමාත්‍යවරයා වූ රජය මහරගම හැර සියළු ගුරු විද්‍යාල වසා දැමීමේ බලපෑම ද සැළකිලට ගත යුතුය.

සිංහල භාෂාවේ උන්නතිය පිළිබඳ රනිල් වික්‍රමසිංහ ගේ විමසුම තම දේශපාලන ප්‍රතිවාදීන් විවේචනයට සීමා නොකොට ස්වයං විවේචනය සඳහාද යොමුවෙමින් ලාංකේය සමාජයෙන් ගම්ලතුන්ට ලැබිය යුතු සහාය නිසි අයුරින් නොලැබීමේ වරදට අසූව දශකයේදී එක්සත් ජාතික පක්ෂයද හවුල්වීම පිළිබඳ ඔහු තම කණගාටුව පළකරන්නට ඉදිරිපත් වීම අගය කළ යුතුය. ගම්ලතුන් රුහුණු විශ්ව විද්‍යාලයේ රැකියාව කරමින් සිටි සමයේ ඔහු ඉන් නෙරපීමට එවක පැවති එ.ජා.ප. රජයේ දේශපාලන බලපෑම් හේතු වී යැයි කියනු ලැබේ.

‘රටක දියුණුවක් ඇතිවන්නේ එරට භාවිත කෙරෙන භාෂාවන්හි දියුණුවත් සමඟිනි‘ යනුවෙන් රනිල් වික්‍රමසිංහ පළ කරන අදහස රටක දියුණුව යනු හුදු ධනවාදී ආර්ථිකයක් වර්ධනය වීම සමඟින් තරුණ තරුණියන්ගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලන්නට හැකි වීම යැයි වටහා ගැනීමට වෙනස් ය. රනිල් වික්‍රමසිංහ කියන පරිදි ‘පාලකයන් කළ යුත්තේ භාෂාව පෝෂණය සඳහා කටයුතු කිරීම‘ නම් මෙහිලා පළමු කොන්දේසියක් විය යුත්තේ දේශපාලනඥයන් සහ පාලකයන් දෙබිඩි සිතීම් (doublethink ) වලින් තොරව භාෂාව අවංකව යොදා ගැනීම යි. රනිල් වික්‍රමසිංහ සුචරිත ගම්ලතුන් පිළිබඳ ලියා ඇති මෙම ලිපිය එබඳු අවංක උත්සාහයකැයි සිතන්නට අපට හැකිවිය යුතුය. ප්‍රචාරණ කටයුතු සහ වෙළෙඳ දැන්වීම් මඟින් ජනතාවගේ අදහස් තමන්ට වාසිවන පරිදි වෙනස් කළ හැකි යැයි සිතන ඊනියා භාෂා සහ සන්නිවේදන විශේෂඥයන්ට දේශපාලනඥයන් යටවිමත් රනිල් වික්‍රමසිංහ මතු කරන ‘පාලකයන්ගේ පෝෂණය සඳහා භාෂාව යොදා ගැනීම ‘ පිළිබඳ විවේචනයට ඇතුළත් කළ හැකිය.

භාෂාව හැසිරවීමෙහි ලා ගම්ලතුන් වෙත වූ නිපුණත්වය අගය කරන්නට, ඔහුගේ ලේඛන කියැවීම අප දැනුම වඩන අභ්‍යාසයක් බව වටහා ගන්නට සමත් රසඥතාවක් රනිල් වික්‍රමසිංහ සතුව තිබීම අප අගය කළ යුතුය. භාෂාව දියුණුවන්නට නම් අපගේ සාහිත්‍යය, කලාව සහ සංස්කෘතියට වටිනාකමක් දිය යුතුය. දේශපාලනඥයන්ට සංස්කෘතික පසුබිමක් තිබිය යුතුය. එ.ජා.ප. රජයේ පාලන සමයේ ‘සාහිත්‍යය කන්නදැයි‘ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඇසූ බවත් එසමයේම සාහිත්‍යය පාසැල් විෂය මාලාවෙන් ඉවත් කළ බවත් අද පොදුජන මතකයට එකතු වී ඇති බව අප මෙහිදී සිහිපත් කළ යුතුය.

ගම්ලතුන් ගේ සරච්චන්ද්‍ර ‘ගුරු ගුණ සමර‘ රනිල් වික්‍රමසිංහගේ අවධානයට යොමුව ඇත. එහිදී ගම්ලතුන් පවසන්නේ ලංකාව මහා රටක් නොවන මහා සංස්කෘතියක් නොමැති තුන්වන ලෝකයේ කොදෙව්වක් බවයි. ප්‍රමාණයෙන් කුඩා රටක් වුව අප රටට අතීතයේදී මහා සංස්කෘතියක් තිබූ බවට ඉපැරණි ශිෂ්ටාචාරයේ ශේෂයන් සාක්ෂ්‍ය දරයි. තුන්වන ලෝකය යන්න ඊනියා පළමු ලෝකයේ උපත ලැබූ සංකල්පීකරණයක් යැයි සිතමි. අප රට තුන්වන ලෝකයේ රටකි යන්නෙන් ගම්ලතුන් කියන්නේ අප ධනවාදී හෝ සමාජවාදී හෝ කාර්මික දියුණුවක් නොලැබූ රටකි යන්න නම් කාර්මිකකරණය වූ කලී මානව ලොව සුරපුරක් කරන දිව ඔසුවක් නොවන බව එකළ පළමු සහ දෙවන ලොව ලෙස හඳුන්වනු ලැබූ කලාපයන්ට අයිති රටවල් දෙස බැලූ විට පෙනී යයි. අද වන විට දෙවැනි ලෝකය නැත. එය පළමු ලෝකයටම ඇතුලත් කරගෙන ඇත. පළමු ලෝකය ආර්ථික අර්බුදයකින් ගොඩ එන්නට වෙර දරමින් සිටියි. එහි වැසියෝ මානව පැවැත්මේ අරුත කුමක්දැයි කළෙක සිටම දිගින් දිගටම සොයමින් සිටිති. ජීවන තත්ත්වය අතින් පොදුවේ ගත් කළ ඔවුන් වැඩි දෙනෙකු ගේ පැවැත්ම අපගේට වඩා ඉහළ අඩියක බව සැබෑය. නමුත් අධ්‍යාත්මිකව ඔවුන් තෘප්තිමත් වූ බවක් පෙනෙන්නට නැත. අපේ කොදෙවුවේ ‘කරුමක්කාර බව‘ හෝ ‘මුස්පේන්තුබව හෝ අප කොදෙව්වක් වීම නිසාම ඇතිවන්නේ යැයි සිතීම භූගෝලීයමයවාදයක මානව ශක්‍යතා සිරකිරීම කි.

සරච්චන්ද්‍රයන් තමන් තුළ තිබූ ප්‍රතිවිරෝධතා ගලා ආවේ තමන් උරුම කරගත් දේශයේ සීමාවන් හේතුවෙන් යැයි සිතා එයට ශාප කරන ආකල්පයක් ආකල්පයක් දැරී යැයි සිතීම උගහටය. සරච්චන්ද්‍ර තම ජිවිතය කැප කළේ තමා උපන් දේශයට යලිත් මහා සංස්කෘතියක් ගොඩ නැංවීමට දායක වීමේ ආධ්‍යාශයෙනි. ඒ සඳහා ඔහු තෝරා ගත් මඟ නිර්මාණය සහ විචාරය යි. තමා උපන් කොදෙවුවෙන් එපිට ලොව හැම කලාපයකම පාහේ ආභාසයන් සොයා සැරිසැරීමේ අවස්ථාව ලද සරච්චන්ද්‍ර යෝ කිසිදු දිනෙක එම එකදු අන්‍ය දේශයක් තම නිත්‍ය වාසය සඳහා තෝරා නොගත්හ. ගම්ලතුන්ම පවා සරච්චන්ද්‍රයන් පිළිබඳ තම ඉහත ප්‍රකාශය තමන්ටම ආදේශ කර නොගත් බව පෙනෙන්නේ ඔහුද පෙර අපර දෙදිග දේශයන්හි සංචාරය කළ නමුදු මෙම කොදෙව්ව හැර පියා අන්‍ය දේශයක වසන්නට අවස්ථා ලද නමුදු කිසිදිනෙක අඩුම තරමින් සරච්ච්න්ද්‍රයන් මෙන් වසර කිහිපයකට වුව එසේ කිරීමට නොපෙළඹුනු හෙයිනි. ඔහු අන් රටෙක වාසය කළ එකම දිගු කාලය පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා එංගලන්තයේ ගත කළ කාලය යැයි සිතමි. ඒ තරමටම ඔහු මෙම කොදෙවුවට ඇල්මක් බැඳීමක් තිබුණු සේය. ගම්ලතුන් තම දේශය පිළිබඳ කරන මෙබඳු කර්කශ විවේචනම පවා එම ඇල්ම සහ බැඳීම ප්‍රකට කරන්නක් නොවේද?

රනිල් වික්‍රමසිංහ ගෙනහැර දක්වන ‘අපට මෙම කොදෙවුවේ ඉපිද එහිම හිඳ වැඩ කිරීමට සිදුව තිබීම‘, අප විසින් අපගේ කණගාටුදායක දෛවය හෝ ඉරණම ලෙස භාර නොගෙන අප කැමැත්තෙන් කරන දෙයක් බවට හරවා ගත යුතු දෙයකි. අපට මෙම කොදෙවුවේ කරුමක්කාර මුස්පේන්තුකම තුරන් කිරීමට හැකි වනු ඇත්තේ එවිට පමණි.

ගම්ලතුන් ඉමහත් භක්තියෙන් අගය කළ ඔහුගේ ගුරුදේව සරච්චන්ද්‍රයන් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට ඉටුකළ හැකි තවත් වගකීමක් සිහිපත් කරමින් මෙම ලිපිය අවසන් කිරීමට කැමැත්තෙමි. එය නම්, සරච්චන්ද්‍රයන්ට සිදුකළ බලවත් අකටයුත්තක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නමින් සමාව ගැනීමට කෙරෙන ඉල්ලීමකි. ඒ, එක්සත් ජාතික පක්ෂයේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ, රනිල් වික්‍රමසිංහ එම රජයේ ඇමතිවරයෙකුව සිටියදී එ.ජා.ප. යේ නිල වෘත්තීය සමිතිය වන ජාතික සේවක සංගමයේ නායකයෙකු වූ පියසේන ජයවීර ගේ මෙහෙයවීමෙන් සරච්චන්ද්‍ර, මාදුලුවාවේ සෝබිත හිමි ඇතුලු විද්වතුන්ට සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී පහර දී කාණුවට ඇද දැමීමේ ක්‍රියාව ටයි. මේ සරච්චන්ද්‍රයන් ලියූ ධර්මිෂ්ට සමාජය නමැති ශාස්ත්‍රීය කෘතිය පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදී සරච්චන්ද්‍රයන් දෙසුමක් පවත්වමින් සිටියදීය. එවැනි සමාව අයැදීමකට ඔහු වඩාත් සුදුසු වන්නේ පියසේන ජයවීරට එ.ජා.ප. යට කල සේවය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ විසින් සම්මානයක් පිරිනැමූ අවස්ථාවක් ද පසු කළෙක පුවත් පත්වල වාර්තා කර තිබුණු හෙයිනි.මෙම සිදුවීම පිළිබඳ සඳහන් කරමින් සවිමන් ඌරුගොඩවත්ත ලියූ කර්තෘට ලිපියක් 2009 මැයි 9 වැනිදා “ JRJ: Farsighted statesman?” යනුවෙන් The Island පුවත් පතේ පළ කොට තිබුණි.

දේශපාලන හේතු මත ගම්ලතුන් රැකියාවෙන් නෙරපීමත්, සරච්චන්ද්‍රයන්ට සහ මාදුලුවාවේ සෝභිත හිමියන් ඇතුලු පිරිසට එ.ජා.ප. යේ මැරයන් ශාරීරිකව පහර දීමත් 1977න් ඇරඹි එ.ජා.ප. යේ පාලනසමය තුළ මෙරට විද්වතුන්ට විඳින්නට සිදුවූ ගැහැට සංකේතවත්කරන සිදුවීම් දෙකක් පමණි.

තවද,හැත්තෑව දශකයේ අග කාලයේ එ.ජා.ප. රජයේ උසස් අධ්‍යාපන ඇමතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන ය, රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති වීය. එකල අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව සරසවි සිසුන් කළ උද්ඝෝෂණවලට කැළණිය විශ්ව විද්‍යාලයට පහරදීමට පැමිණි මැරයන් එ.ජා.ප. රජයේ කර්මාන්ත ඇමති සහ කැළණිය පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිල් මැතිව් සහ එ.ජා.ප. රජයේ අධ්‍යාපන ඇමති සහ බියගම පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ගේ අනුගාමිකයන් බව එකල ප්‍රචලිත විය. සරසවි සිසුන් තම ආත්ම ආරක්ෂාව පතා මෙම මැරයන්ට මුහුණ දීමේදී ඇතිවූ ගැටුමෙන් සිරිල් මැතිව්ගේ ප්‍රධාන ආරක්ෂක ක්‍රිස්ටෝෆර් තුවාල ලබා මිය යෑමෙන් පසු උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමේ සභාපති ස්ටැන්ලි කල්පගේ ඔහුගේ කාර්යාලයේ කැළණි සරසවි සිසු නායකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවට පැමිණි අධ්‍යාපන ඇමති (උසස් අධ්‍යාපන ඇමති නොවේ) රනිල් වික්‍රමසිංහ “ගහගන්නට අවශ්‍ය නම් එළියට බහින“ ලෙස තරුණ සරසවි ශිෂ්‍ය නායකයෙකුට අභියෝග කළේ ඔහුගේ තරුණ මදය නිසා විය හැකිය (මෙම සාකච්ඡාවට ශිෂ්‍ය නියෝජිතයෙකු ලෙස අර්ජුන පරාක්‍රම ද සහභාගී වීය).

ලංකාව වත්මනෙහි මුහුණ දෙන ‘කරුමක්කාර,‘ ‘මුස්පේන්තු‘ බවට ඉමහත් දායකත්වයක් 1977න් ඇරඹි එ.ජා.ප. යේ ජේ. ආර්. ජයවර්ධන පාලන සමයෙන් සැපයුණි යන්නට මේවා සාක්ෂි නොවේද? වඩාත් වැදගත්ව, අප ජනතාව එතෙක් දිනාගත් සමාජ සාධාරණත්වය සහ යුක්තිය පිළිබඳ කරුණු වලට ඉඳුරා එරෙහිව කටයුතු කිරිමත්, අප සමාජයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සාධනීය අංග අඩපණ කිරීමත්, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විධායකයේ බලයට යටකොට ගැනීමත්, ජේ. ආර්. ජයවර්ධන පාලන සමය යටතේ සිදුකළ ඒවාය. රනිල් වික්‍රමසිංහ ජේ. ආර්. ජයවර්ධන විසින් එ.ජා.ප. යේ ඊළඟ නායකයා ලෙස තෝරා ගෙන සිටි ඔහුගේ පදවි උරුමක්කාරයා ය. ඉතින්, මේ සියල්ල ගැන ද යමක් ලාංකේය සමාජයට කියා සිටින්නට කාලය එළඹ ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේද?

Advertisements

3 thoughts on “ගම්ලත්, රනිල් සහ සංස්කෘතිය”

  1. යමෙකු මියගියාට පසු මෙවැනි ප්‍රකාශ කිරීම පහසුය. ඒවා බලාසිටින්නන් ඒ අවස්ථාවට කුල්මත් කර කීප දිනකින් කා හටත් අමතක වී යයි. මෙය කියවා අප රනිල් වික්‍රමසිංහ පිළිබඳ යම් යහපත් සිතුවිලි ඇති කරගත්තා නම්, එම පැහැදීම ටික කලක් හිතේ රැඳෙනු ඇත. තව ටිකක් කල් ගිය පසු එම පැහැදීම පවතිනු ඇති නමුත් හේතුව මතක නැති වනු ඇත. ඔහුගේ ක්‍රියාවන් හා මෙම කතාව සසඳා අපට සිතාගත හැක්කේ, මෙය ලකුණු දාගැනීමක් පමණක්ම බව කියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )