අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි
කුමුදු කුසුම් කුමාර

???????????????????????????????????????????????????????????

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ තත්වය වසන් කරන බවයි.

මේ පිළිබඳ වාර්තාවන තතු මෙසේය. අනුරුද්ධ ප්‍රදීප් තම වසර අටක පරිවාස කාලය අවසන් වීමට නියමිත දිනය වන 2013 මාර්තු නව වැනිදාට ප්‍රථම සිය පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම සඳහා විශ්ව විද්‍යාලයට භාර දී ඇත. ඒ 2013 මාර්තු මස පළමු වැනිදා ය. ඒ අනුව ඔහුගේ නිබන්ධය පරීක්ෂා කොට විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් ඔහුගේ පරිවාස සේවා කාලය වසර අට ඉක්ම යෑම හේතුවෙන් ඔහුගේ සේවාව පිළිබඳ තීරණයක් ගැනීමට විශ්ව විද්‍යාලයට සිදුවෙයි. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ මෙබඳු අවස්ථාවක සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නේ විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් අදාළ කථිකාචාර්යවරයා ‘කථිකාචාර්ය (පරිවාස) තනතුර‘ වෙනුවට ‘කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට‘ පත්කොට ඔහු විභාගයෙන් සමත්වුවහොත් නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දින සිට පසුවලංගු වන පරිදි ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථිර කිරීම යි. එහි අදහස වන්නේ තනතුර සඳහා සුදුසුතම පුද්ගලයන් අතරින් තෝරා පත් කරගත් තරුණ කථිකාචාර්යවරයෙකු වසර අටක සේවා කාලයකට පසු සේවයෙන් නෙරපීම පුහුණු කළ වටිනා මානව සම්පතක් විශ්ව විද්‍යාලයට අහිමි කිරීමක් මෙන්ම මෙන්ම අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නා අමානුෂික තීරණයක් ලෙසද සැළකීමයි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් පෙන්වා දී ඇත්තේ මෙම සහනය ලද ඇතැම් පුද්ගලයන් පසු කලෙක උප කුලපති වැනි විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහලම තැන්වලට පවා පත්වීමෙන් එම සහනයේ සාධාරණබව සනාථ වන බවයි. Continue reading අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ සංවාද සභාවේදී ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් දැක්වූ අදහස් මෙලෙස පළ කරන්නෙමු. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස දැක්වූ අදහස් පෙර පළ කලෙමු.
‘සාහිත්‍ය හා ඉතිහාසය’යන සාකච්ඡාවේ මාතෘකාව ‘සාහිත්‍යයේ ඉතිහාසය’යනුවෙන් මම මදක් වෙනස් කරමි. එය දේශකයාට නොඅදාළ කටයුත්තක් විය හැකියි. නමුත් අවසානයේ ඔබට පෙනේවී එය අදාළ කටයුත්තක් කියලා.මහා ගංගාවක් සේ ගලන අමරසේකරයන්ගේ කෘතී සමූහය ගැන බැරෑරුම් විචාර කතිකාවට කුඩා විකල්පයක් සටහන් කරන්න මා මෙසේ උත්සාහයක් දරනවා.අමරසේකරගේ නිර්මාණ විචාරයට ලක් කරන විචාරකයන් මතු කරන පිළිගත් සත්‍යයක් නම්,ඔහුගේ නවකතා පන්ති විග්‍රහයකින් පිරී ඇති බවයි. නවකතාවන්ගේ අභ්‍යන්තර යාන්ත්‍රණයේ සමාජ පන්ති විග්‍රහයක් තිබෙන බව අපේ විමසීමට ලක්විය යුතුයි.
අමරසේකරගේ කෘති සමූහය මුල සහ අග ලෙස මා වෙන්කර හඳුන්වන්න කැමතියි. මුල අවදිය සඳහා කරුමක්කාරයෝ,ජීවන සුවඳ,දෙපානොලද්දෝ, ගන්ධබ්බ අපදානය හා යළි උපන්නෙමි යන කෘති පහ යෝජනා කරනවා. කාලය අනුව බැලූවිට මේ කෘති සියල්ලම අයත් වන්නේ 1955-1964 වකවානුවටයි. එහෙත් මා මෙම වර්ගීකරණයට ‘රතු රෝස මල’ ඇතුළු කර ගන්නේ නැහැ. අග කොටස හැටියට මම හඳුන්වන්නේ අද සාකච්ඡාවට භාජනය වන ‘ගමනක මුලින්’ ඇරඹී ‘ගමනක අග’ දක්වා දිවෙන නවකතා සමූහයයි.
ආචාර්ය දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන විචාර දර්ශනවල දක්නට ලැබෙන එක් පොදු කරුණක් නම් ඔවුන් ‘කරුමක්කාරයෝ’ වෙනස් යයි හඳුන්වා,එය කොටුකර දැක්වීමයි. ඔවුන් එයින් අදහස් කරන්නේ එම නවකතාවල කලාත්මක වටිනාකමේ අඩුවක් තිබෙන බව නොවෙයි.මුල් කෘතීන්ට යා නොවන බවයි. දේවසිරිගේ තර්කය වන්නේ ‘කරුමක්කාරයෝ ‘ ලියැවී තිබෙන්නේ ග්‍රාමීය පහළ මැද පන්තියේ,විශ්වවිද්‍යාල නැතහොත් විද්‍යාල අධ්‍යාපනයක්වත් නොලැබුණු වෙළඳාම් කරන පවුලක් ගැන බවයි.කුමාරතුංගත් මේ කතාව ගැන දක්වන්නේ හොඳ කතන්දරයක් හැටියට පමණයි.මෙම කෘති පහේම එක්තරා ආකාරයකට පැහැදිළි හා සමාන වූ අභ්‍යන්තර යාන්ත්‍රණයක් තිබෙනවා. එම සමානත්වය මත පදනම්වූ ඒකීයත්වයක් ද තිබෙනවා. අසාර්ථක ප්‍රේමය අභ්‍යන්තර යාන්ත්‍රණයේ තේමාවයි. එය ජනිත වන්නේ පවුලෙන්. පවුල් සෙනෙහස (එය තරහව ලෙස නම් කිරීම සැර වැඩියි)වැනි හැඟීම් මඟින් ජනිතව එයින්ම පරපෝෂණ වන ලිංගිකත්වය මුසු කර ගත් රොමාන්තික ප්‍රේමයක් හට ගන්නවා. එම ප්‍රේමයේ සීමාව වන්නේ පවුලේ හැඟීම්වල සීමාවයි.සෑම නවකතාවකටම වගේ න්‍යෂ්ථික පවුලක් වගේම විස්තෘත පවුලක්ද දකින්න ලැබෙනවා. මේ ගැන මට සූත්‍ර විදිහට උදාහරණ දක්වන්න අපහසුයි තරුණ මිතුරන් කිහිපදෙනෙක් සමඟ මම මේ නවකතා කියෙව්වා. මම මෙහිදී සංජානනය කරන අදහස් මගේම අදහස් නෙවෙයි. සාමූහික අදහසක්.
ඉහතදී මම සඳහන් කළ ප්‍රේමයේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන කියැවීම පැහැදිළි කරන්න මම උදාහරණ තුනක් දක්වන්නම්. පළමු උදාහරණය ජීවන සුවඳ කෙටි කතා සංග්‍රහයේ එනමින්ම එන නිර්මාණයෙන් දක්වන්නම්. ජීවන සුවඳ කෙටි කතාව ඇරැඹෙන්නේ “ඉස්කෝලෙට ඇවිත් ඉන්න අලුත් ගුරුවරි මට නම් වැඩිය හිත‍ට ඇල්ලුවෙ නැහැ”කියලා කතානායක දාස්ට,ඔහුගේ මව රෑ කෑම කන විට කියන කතාවකින්. ඉන් පසුව එම ආඛ්‍යානයේදී දාස් හා ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟෙනවා.දාස්ගේ මව මේ සම්බන්ධය පවත්වාගෙන යන්න එපැයි කියන්නේ නැහැ. සමහර විට ඔවුන් අතර සම්බන්ධයක් තියෙන විත්තිය ඇය දන්නේ නැතිව ඇති.ලෙඩවීම නිසා ඔහුට සිය පෙම්වතියට ලියන ලියුම ලියා ගන්න බැරි වෙනවා. ආහාර ගන්න පවා නොහැකි වෙනවා. අකුරු ලියන්න බැරි වෙනවා.විභාගය පාස් කරගන්න බැරි විත්තිය තේරෙනවා. එය මානසික කායික රෝගයක්. පවුල් සෙනෙහස හා අසෙනෙහස අතර තිබෙන උභයාර්ථ දෝලනය මෙහි තිබෙනවා. Continue reading සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය
උදේනි ජයවීර

සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය.

සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය – කලා විචාර ක්ෂේත‍්‍රය තුළ අපෝහක භෞතිකවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට ඔහු කළ පුරෝගාමී සේවාව ඓතිහාසිකය. එහිදී ඔහු සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කලා විචාර භාවිතය ලංකාවේ සාහිත්‍ය කලාවන්ට උපයෝග කළේ ය. සාහිත්‍ය – කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය සංක්ෂිප්තව විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.

සිය කලා විචාරය හුදෙක් විධික‍්‍රමයකට අනුව සාහිත්‍ය – කලා මැනීමත් ලෙස නොසලකාගත් ගම්ලත් එය මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමට සාමාජික මිනිසා කරන අනවරත අරගලයට අනුපූරක භාවිතයක් සේ සලකා ගත්තේය.

දශක හතරක් ද ඉක්මවා ගිය සිය විචාර භාවිතය තුළ ඔහුට ගැටෙන්නට සිදු වූයේ යල් පැන ගිය විචාර සිද්ධාන්ත සමඟ පමණක් නොව ජාතික රාජ්‍යයකට ගැට ගැසී තිබූ ප‍්‍රතිගාමී ධනේශ්වර දෘෂ්ටිවාදයන් සමඟ ද ඔහුට ගැටෙන්නට සිදු විය.

විඤ්ඤාණවාදය, වර්ගවාදය, සිංහල ස්වොත්තමවාදය, ජාතික චින්තනය, පුරුෂොත්තමවාදය, ආගමික අගතීන්, චිරාගත මිථ්‍යාවන්, මායාවන් ඈ අවිද්‍යාවන් එහිදී ප‍්‍රමුඛ විය.

සුචරිත ගම්ලත් සුවිශිෂ්ට විචාරකයෙකුගේ තැනට එස වී ගත්තේ හුදෙක් ඔහුගේ ආසාමන්‍ය බුද්ධි මහිමය නිසා නොව බස හැසිරවීමේ වෙසරද බව, පෙරඅපර දෙදිග දර්ශනවාද හා සෞන්දර්ය විද්‍යා ඥානය, තර්ක බුද්ධිය, සම්භාව්‍ය මාක්ස්වාදය පිළිබඳ අවබෝධය යනාදියට අමතරව වෙසෙසින්ම ඔහුගේ අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය නිසාය.

ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට විධිමත් සාහිත්‍ය – කලා විචාර සිද්ධාන්තයක් හඳුන්වාදීමට දැරූ ප‍්‍රථම ප‍්‍රයත්නය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප‍්‍රයත්නයයි. ‘‘කල්පනා ලෝකය’’ සහ ‘‘සාහිත්‍ය විද්‍යාව’’ කෘති තුළින් නව විචාර සංකල්ප හඳුන්වා දුන් සරච්චන්ද්‍ර කාව්‍ය විචාරයේ දී කාව්‍ය රචනා තුළ මනෝගති, චිත්තා, හැගීම් ආදි මනෝභාවික අංශය විමර්ශනය කළේ ය. ඔහු කාව්‍යයේ ඥානික අගයක් නොදුටුවේ ය. Continue reading සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්‌

sarasavi-head

‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්‌
 කුමුදු කුසුම් කුමාර

‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි.

එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක්‌ නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක්‌ ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’

නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක්‌ කරයි. මා මේ ලියන්නේ එම විවේචනය පිළිබඳ නොවේ. එම විවේචනය ගොඩනැංවීමට ඔහු පාදක කරගන්නා මා කීවේ ඔහු යෑයි කියන අදහස පිළිබඳවය. විශේෂයෙන්ම පාඨකයා මා පිළිබඳ වැරැදි හැඟීමක්‌ ඇතිකර ගැනීම වළක්‌වාලීමටය.

නාමල් උඩලමත්ත සඳහන් කරන මෙම කරුණට අදාළව මා කී දේ, එම සංවාදය පටිගත කළ හඬ පටයට අනුව පහත දැක්‌වෙන පරිදි වෙයි. මෙහිලා ප්‍රකාශිත මූලික අදහස වෙනස්‌ නොකරමින් අදහස්‌ වාක්‍ය වලට නගා ඇත.

‘ගමනක මුල’ කෘතියෙන් ආරම්භ වන ගුණදාස අමරසේකරයන්ගේ නවකතා මාලාව පසුබිම් කරගන්නා ඉතිහාසය සමග අප නූතනත්වයට, යටත්විජිතවාදයට විවරවීමේ ඉතිහාසයද ගැට ගැසී ඇත. මෙය විවේචනය කිරීම අමරසේකරයන්ගේ නවකතා මාලාවේ එක්‌ අරමුණකි. යටත්විජිත ඉතිහාසයෙන් අපට ඇතුළුවූ නූතනත්වයේ හර පද්ධතිය පිළිබඳ කරුණ මෙයට අදාළය. පේරාදෙණි ගුරුකුලය පිළිබඳ එල්ල කෙරෙන අමරසේකරයන්ගේ විවේචනය නූතනත්වයත් සමග ආ හර පද්ධතිය පිළිබඳ විවේචනයක්‌ ලෙසින් ගත හැකිය.

මට ඇති එක්‌ ගැටලුවක්‌ නම් අමරසේකරයන්ගේ සිතීමේ ක්‍රමයත් සමග කොතෙක්‌දුරට නූතනත්වය ගැට ගැසී ඇත්තේද යන කරුණයි. මෙය ජාතිකත්වය පිළිබඳ ලිපි ලේඛන කියවනවිට දිගින් දිගටම අප හමුවේ මතුවන කරුණකි. මෙයට උදාහරණයක්‌ දක්‌වතොත්, නවකතාවේ චරිත තුළින් ඉදිරිපත් වන අදහස්‌ මෙන්ම චරිත අතර ඇතිවන අදහස්‌ ගැටීම අතරින්ද දිවෙන හුයවල් බඳු කරුණු අපට සොයාගත හැකිය. එබඳු එක්‌ කරුණක්‌ නම් ද්වෛතයන් පිළිබඳ කරුණයි. ඒ අනුව සමාජ සංසිද්ධීන්, සමාජ පරිකල්පනාව දෙකට බෙදී ඒවා අතර ඇතිවන ගැටුම විටෙක ප්‍රකාශ වන්නේ කලු සුදු ආකාරයෙනි. මේ සඳහා උදාහණ වශයෙන් කය සහ මනස පිළිබඳ බෙදීම, අනුරාගය නැතහොත් ලිංගිකත්වය සහ ප්‍රේමය පිළිබඳ බෙදීම, හදවත සහ අධ්‍යාත්මය අතර බෙදීම, අඳුර සහ ආලෝකය පිළිබඳ බෙදීම (මෙහි ආලෝකය ඇත්තේ සංස්‌කෘතිය, ශිෂ්ටාචාරය පසයි) යනාදිය ගත හැකිය. තවද හිස සහ කවන්ධය පිළිබඳ බෙදීම වෙයි. (මෙහි හිස විචාර බුද්ධිය (rationality, reason ) නියෝජනය කරයි. මේවා නූතනත්වයේ බෙදීම් වෙයි. අමරසේකරයන් පෙන්වාදෙන ආකාරයට අප සමාජය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හිස නැති කවන්ධයක්‌ බවට පත්වීම ජය ගැනීමට හිස නැවත සිටුවීම අවශ්‍ය කෙරෙයි. මේ අනුව සිතන කල අපට ඇතිවන ගැටලුවක්‌ නම් නූතනත්වයේ චින්තනය අමරසේකරයන්ගේ චින්තනය සමග සහ ඔහු ගෙඩනගන චරිතවල සිතීම සමග කොතෙක්‌දුරට බද්ධවී ඇතිද? යන්නයි. අමරසේකරයන් තම කෘතීන් හරහා ගොඩනගන මෙ සිතුවිල්ල ඔහු සඳහන් කරන අපගේ සභ්‍යත්වය විඥානයෙන් සංස්‌කෘතික විඥානයෙන් වෙනස්‌ වන්නේ කෙසේද? යන්න අප සිතා බැලිය යුතුය. මගේ යෝජනාව නම් අපගේ චින්තනයත් සමග ගැට ගැසුණු නූතනත්වයේ චිත්නයෙන් මිදීම සරල දේශපාලන අදහසකට වඩා සංකීර්ණ කටයුත්තකි යන්නයි.

ඒ මා සංවාදයේදී කී අදහස්‌ය. මා සංවාදයේදී එලෙස සඳහන් කරන ද්වෛතයන් (dualities) අමරසේකරයන් ගේ නවකතා තුළින් මතුකොට ගන්නේ අපගේ සිතීම නූතනත්වයේ චින්තනය විසින් හැඩ ගැසී ඇත යන්න අවධාරණය කිරීමට මිස එම යුගල පදවලට අයිති දෑ නූතනවාදී යෑයි කියන්නට නොවේ. මෙහි ලා නූතනවාදී වන්නේ ද්වෛතයන් නැතහොත් සහසම්බන්ධ ප්‍රතිපක්‌ෂයන් ඇසුරෙන් මානව අත්දැකීම් වටහා ගැනීම මිස මානවයන් අත් දකින ලිංගිකත්වය සහ ප්‍රේමය වැනි දෑ නොවේ. මානව අත්දැකීම් සහසම්බන්ධ ප්‍රතිපක්‌ෂයන් ඇසුරෙන් වටහා ගැනීමේදී ද්වෛතයේ ඇති පද යුගල අතරින් එකක්‌ වරප්‍රසාද තත්ත්වයට පත් කෙරෙන්නේය, ඒ මත දේශපාලනය ගොඩනැගීමට ඉඩ ඇත්තේ යන අදහස සමාජ න්‍යායේ දැන් සුලබ අදහසකි.

අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?

අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?
සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු.

la

 ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට එම කෘති හේතු විය. එම නැමියාව දිගින් දිගටම පැවතිණි. එයට හේතු වූයේ අප සාහිත්‍යයේ එතෙක් දක්නට නොලැබුණු අන්දමේ හෘදයාංගම හා රුචිකර ලියැවිල්ලක් බවට ඔහුගේ නිර්මාණ පත්වීමයි. මම මේ කරුණු මතු කළේ අප අමරසේකරගේ කෘති හා මුලින් සම්බන්ධ වන විට දුටු ස්වභාවය පසුකාලීනව විපර්යාසයකට ලක්ව තිබෙන බව කියන්නයි. එය දැක්වීම ඉතා වැදගත්. අමරසේකරගේ මුල් කෘති වන යළි උපන්නෙමි,දෙපා නොලද්දෝ වර්තමාන තරුණ පරම්පරාව කියවා නොතිබෙන්නටත් පුළුවන්. ඒවා නැවත මුද්‍රණය කිරීම නවතා දමා තිබෙන නිසා ඔවුන්ට ඒවා කියවීමට තිබෙන අවස්ථාව අඩුයි.

මෙම කෘතිවල දක්නට ලැබෙන ලක්ෂණවලට වඩා ගමනක මුල කෘතියෙන් ආරම්භ වූ දෘෂ්ටාන්තවල දක්නට ලැබෙන ගුණාංග හාත්පසින්ම වෙනස්. නවසිය පනස් ගණන්වල ලියැවුණු මෙම කෘති හා සමාන නවකතා කිහිපයක් ඒ කාලයේ රචනා වුණා. ‘පරාජිත චරිත නිරූපිත නවකතා’යනුවෙන් මේවාට නමක් ද පටබැඳී තිබුණා. කේ. ජයතිලකගේ පරාජිතයෝසිරි ගුනසිංහගේ හෙවනැල්ල මඩවල එස්. රත්නායකගේ සිත නැති බඹ ලොව ආදිය මේ රැල්ලේ නිර්මාණයි. අමරසේකරගේ නිර්මාණ අතරින් යළි උපන්නෙමි,දෙපා නොලද්දෝ හා එක්තරා විදිහකින් කරුමක්කාරයෝ ත් වැටෙන්නේ මේ ගණයටයි. මේ නවකතාවල එන චරිත යථාර්ථය හා සම්බන්ධ වන්නේ නැහැ. ඒ නිසා සමහරු මේවා විවේචනය කළේ පේරාදෙණි සාහිත්‍ය බිහි කළ ‘මනස් පුත්තු’ලෙසයි. එක්තරා අන්දමකට ගුණදාස අමරසේකරත් මේ විවේචනය පිළිගත්තා කියන්න පුළුවන්. ඔහු මෙම කෘති නැවත මුද්‍රණය නොකළේත් ඒවා ගැන කතාකරන්නට පැකිළී සිටියේත් මේ නිසා විය යුතුයි. අමරසේකර අපේ අවධානය වඩාත් යොමු කරවන්නේ පසුකාලීන කෘති දෙසටයි. නවකතාකරුවෙක් හැටියට ඔහුගේ වර්ධනය පිළිබඳ කරුණක් මෙහිදී අපට දකින්න ලැබෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඔහුගේ සිංහල නවකතාවේ ඉතිහාසය හා විචාරය කෘතියේ 19 සියවසේ බිහි වූ සිංහල නවකතාව ගැන විමර්ශනයක් කරමින් සිංහල නවකතාව ගත යුතු මඟ ගැන මෙවැනි විචාර පූර්වක සටහනක් තබනවා.

“නවකතාකරුවා හුදෙක් විනෝදය සඳහා කතන්දර කියන්නකු නොව දූරදර්ශී චින්තකයකු නම් සමාජ ජීවිතයේ මතුවන වැදගත් ප්‍රශ්න විග්‍රහ කොට ඒවා විසඳීමත්,මාර්ගයක් ඇඟවීමත් ඔහුගේ පරම යුතුකමකි. සූක්ෂ්ම හදවතකින් යුත් ලේඛකයා සමාජයේ හදවත ඉක්මණින් මෙන් දකී. ඔහුගේ ලියවිලි සමාජයේ අභ්‍යන්තර සිතුම් පැතුම්වල මාපකයන් දක්වන්නේය. ” (සංශෝධිත මුද්‍රණය-1960)

මේ ඕනෑම සම්ප්‍රදායකට අයත් සෑම විචාරකයෙක් විසින් ම පිළිගන්නා අදහසක්. මාක්ස්වාදී හෝ පශ්චාත් නූතනවාදී කුමන මතයක් දැරුවත් මේ අදහස් ප්‍රතික්ෂේප කරන්න බැහැ. නවකතාවේ අරමුණු ගැන සරච්චන්ද්‍ර මෙම අදහස ලියන විට අමරසේකරගේ මුල් කාලීන කෘති ලියා අවසන්.

මම හිතන හැටියට අමරසේකර සමාජ මාපකයක් වීමේ පරිවර්තනය පෙන්වන්නේ 1964 දී ලියූ ගන්ධබ්බ අපදානය පොතෙන්. මේ නවකතාවේ තිබෙන්නේ සිංහල තරුණයෙක් හා දෙමළ තරුණියක් පිළිබඳ ප්‍රේම කතාවක්. එහි සමාජමය අර්ථයක් ද තිබෙනවා. නවකතාවේ කථකයා පරිපාලන සේවයේ තනතුරක් දරන උගත් තරුණයෙක්. මොවුන්ගේ ප්‍රේමය වසු පැටවුන්ගේ ප්‍රේමයක් නෙවෙයි. වෙනත් මට්ටමක ප්‍රේමයක්. ඒ වගේම මේ කෘතිය මඟින් ජාතික ප්‍රශ්නය ගැන යම් යම් අර්ථකථන සැපයිය හැකියි.

එයින් පසුව ගුණදාස අමරසේකරගේ අදහස්වල යම් විපර්යාසයක් සිදුව ඇති බවට ප්‍රදීප් ජෙගනාදන් සඳහනක් කරනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නෙ නැහැ. වුවමනාවට වඩා අර්ථකථන දෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. නමුත් අමරසේකරගේ පරිවර්තනය පෙන්වන කෘතිය ගන්ධබ්බ ආපදානය යි. 1984දි අමරසේකරගේ සාහිත්‍ය ජීවිතයේ වැදගත් කාර්යයක් සිදු වෙනවා. ඒ ප්‍රේමයේ සත්‍ය කතාවක් හා ප්‍රේමයේ අසත්‍ය කතාවක් කෘතින් දෙක ලිවීමයි. නවකතා දෙකට පාදකව ඇත්තේ 1976දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වීරසූරිය සිසු අරගලයක දී ඝාතනය වීමයි. නවකතාකරුවා මේ සිද්ධිය ඇතුළටම යනවා. කතුවරයා කෘතිය මඟින් කියන්නට උත්සාහ කරන්නේ බුද්ධිමත් තරුණ පරපුර වැනසීයාමේ කතන්දරයයි. අමරසේකර ඉන් පසුව තවදුරටත් මේ කරුණ පැහැදිලි කරන්නට විමර්ශන ග්‍රන්ථ කිහිපයක් ලියා තිබෙනවා.

ප්‍රේමයේ සත්‍ය කතාව හා අසත්‍ය කතාව බොළඳ ප්‍රේම කතා දෙකක් නෙවෙයි. ඉතිහාසයක් ඇති චින්තකයෙක් ලියූ නවකතා දෙකක්. ඔහු චරිත මඟින් සමාජයේ දක්නට ලැබෙන යම් යම් ප්‍රශ්න දෙසට කිමිදෙන්නට උත්සාහයක් දරා තිබෙනවා. ගමනක මුල කෘතියෙන් ඇරඹෙන නවකතා මාලාව ලියන්නට ඔහු පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 2012 දක්වා ඔහු එය කොටස් වශයෙන් ලියමින් සිටිනවා.

අමරසේකර මෙය ඉතිහාස කෘතියක් ලෙස සඳහන් කරනවා. වඩා සාධාරණ වන්නේ එය ඉතිහාස කෘතියකට වඩා ඉතිහාසය පිළිබඳ අමරසේකරගේ දෘෂ්ටිය ලෙස දැක්වීමයි. ඉතිහාසය ඇත්තක්ද? බොරුවක්ද?ලෙස කරන ප්‍රශ්න කිරීම නොවැදගත් දෙයක්. මහාවංශයේ සිටම ඉතිහාස කෘතිවල අන්තර්ගතව තිබෙන්නේ ඒවා ලියූ පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණය. මේ කරුණ මහානාම හිමියන්ට පසුව විද්‍යාත්මක ලෙස ඉතිහාසය ලියූ බව කියන ලේඛකයන්ට ද අදාළ යි.

1984දී ගමනක මුල නිකුත්වූ මොහොතේ මම (සිළුමිණ පුවත් පත මඟින්) දැක්වූ නිරීක්ෂණයක් යළි සඳහන් කරන්නම්. එහි දැක්වෙන්නේ ඉතා සුන්දර ළමාවියක් පිළිබඳවයි. අමරසේකරගේ භාව ගීත වැනි කාව්‍ය නිර්මාණයන්ට මෙන් ම,කෙටි කතාවන්ට ද ,බද්දේගම පරිසරය ඉතා රමණීයව පසුබිම්ව තිබෙනවා. ඒවා පුනරුච්චාරණය නොවී කියවීමට ප්‍රිය උපදවන ලෙස,විවිධාකාරයෙන්,රසවත්ව ලියැ වී ඇති බව කියන්නට අවශ්‍යයි. ‘ගමනක මුල’කෘතිය නමසිය හතළිස් ගණනන්වලින් ආරම්භ කර කොයි දිශාවට ගමන් කරන්නේ ද යන්න අපට එදා පැහැදිලිව දිස් වූයේ නැහැ. සමහර විට අමරසේකර පවා එදා එය නොදැන ඉන්න ඇති.

මෙයට පෙර මාර්ටින් වික්‍රමසිංහත් ගම්පෙරළිය,කලියුගය,යුගාන්තය යනුවෙන් තුන් ඈදුතුනවකතාවක් ලියා තිබුණා. පැහැදිලි චිත්‍රයක් නොසැපයුනත් මෙම නවකතා මාලාවෙන් මධ්‍යම පන්තිය තුළින් නිර්ධන පාන්තික නායකත්වයක් බිහිවෙන බවත්,ඔවුන් විසින් රටේ විමුක්තිය සාධනය කරන බවත් ඉඟි කෙරෙනවා. දැන් මෙම කෘති ලියවී වසර 40-50කට ආසන්න කාලයක් ගතවී තිබෙන නිසා වික්‍රමසිංහ මෙම කෘති මඟින් මතු කරන ප්‍රවාදය මිථ්‍යාවක් බව වර්තමානය වන විට පැහැදිලි යි. ඒ ගැන ඔහු‍‍ට දොස් කියන්න අපට බැහැ. 70’දශකය දක්වා ජීවත්ව සිටි නිසා ඔහු දක්වන කතන්දරය සිදු නොවන බව වික්‍රමසිංහටත් පෙනෙන්න ඇති. නමුත් ඔහු දක්වන්නේ 1950 ගණන් වන විට ඔහුට පෙනෙන්නට තිබුණු චිත්‍රයයි.

ගම්වලින් බිහි වන බුද්ධිමත් තරුණයන් මේ රටේ අනාගතය සකස් කරන්නේ කෙසේ ද යන්න ගැන නවකතාව ලිවීමට පටන් ගන්නා විට අමරසේකරට අදහසක් නොතිබුණත් ග්‍රාමීය පසුබිමකින් පැන නැඟුණු දේශීය ව්‍යාපාරයකින් රටේ ගමන් මඟ මෙහෙයවන බවට ඔහුට අදහසක් තිබුණා. නවකතාව ලිවීම ඔහු ගමෙන් ආරම්භ කළේ ඒ නිසයි. අමරසේකරගේ ම වචනවලින් කිව්වොත් ප්‍රඥාංකුරයන් බිහි වන්නේ ගමින්. අමරසේකර දකින ග්‍රාමීය තරුණයා අන්තවාදියෙක් නොවෙයි. ඔහු උසස් චින්තනයක් ඇත්තෙක්. මේ කතා පෙළේ සමහර කතාවක් ඉතාමත් නීරසයි. කතුවරයාගේ පෞද්ගලික මතිමතාන්තර දැක්වීම එයට හේතුවයි. නමුත් ‘ගමනක අග’ට පැමිණෙන විට නැවත වරක් මුල දීතිබුණ ආකර්ෂණය නවකතාවට පැමිණ තිබෙනවා. මම මේ කතා මාලාව අගය කරන්නේ මේ කරුණ මතයි. ඔහුගේ අනාගත දැක්ම ගැන පාඨකයාට ප්‍රශ්න තිබිය හැකියි. එය පාඨක අයිතියක්.