අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?

අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?
සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස

සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු.

la

 ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි ආකර්ෂණයක් ඇති කිරීමට එම කෘති හේතු විය. එම නැමියාව දිගින් දිගටම පැවතිණි. එයට හේතු වූයේ අප සාහිත්‍යයේ එතෙක් දක්නට නොලැබුණු අන්දමේ හෘදයාංගම හා රුචිකර ලියැවිල්ලක් බවට ඔහුගේ නිර්මාණ පත්වීමයි. මම මේ කරුණු මතු කළේ අප අමරසේකරගේ කෘති හා මුලින් සම්බන්ධ වන විට දුටු ස්වභාවය පසුකාලීනව විපර්යාසයකට ලක්ව තිබෙන බව කියන්නයි. එය දැක්වීම ඉතා වැදගත්. අමරසේකරගේ මුල් කෘති වන යළි උපන්නෙමි,දෙපා නොලද්දෝ වර්තමාන තරුණ පරම්පරාව කියවා නොතිබෙන්නටත් පුළුවන්. ඒවා නැවත මුද්‍රණය කිරීම නවතා දමා තිබෙන නිසා ඔවුන්ට ඒවා කියවීමට තිබෙන අවස්ථාව අඩුයි.

මෙම කෘතිවල දක්නට ලැබෙන ලක්ෂණවලට වඩා ගමනක මුල කෘතියෙන් ආරම්භ වූ දෘෂ්ටාන්තවල දක්නට ලැබෙන ගුණාංග හාත්පසින්ම වෙනස්. නවසිය පනස් ගණන්වල ලියැවුණු මෙම කෘති හා සමාන නවකතා කිහිපයක් ඒ කාලයේ රචනා වුණා. ‘පරාජිත චරිත නිරූපිත නවකතා’යනුවෙන් මේවාට නමක් ද පටබැඳී තිබුණා. කේ. ජයතිලකගේ පරාජිතයෝසිරි ගුනසිංහගේ හෙවනැල්ල මඩවල එස්. රත්නායකගේ සිත නැති බඹ ලොව ආදිය මේ රැල්ලේ නිර්මාණයි. අමරසේකරගේ නිර්මාණ අතරින් යළි උපන්නෙමි,දෙපා නොලද්දෝ හා එක්තරා විදිහකින් කරුමක්කාරයෝ ත් වැටෙන්නේ මේ ගණයටයි. මේ නවකතාවල එන චරිත යථාර්ථය හා සම්බන්ධ වන්නේ නැහැ. ඒ නිසා සමහරු මේවා විවේචනය කළේ පේරාදෙණි සාහිත්‍ය බිහි කළ ‘මනස් පුත්තු’ලෙසයි. එක්තරා අන්දමකට ගුණදාස අමරසේකරත් මේ විවේචනය පිළිගත්තා කියන්න පුළුවන්. ඔහු මෙම කෘති නැවත මුද්‍රණය නොකළේත් ඒවා ගැන කතාකරන්නට පැකිළී සිටියේත් මේ නිසා විය යුතුයි. අමරසේකර අපේ අවධානය වඩාත් යොමු කරවන්නේ පසුකාලීන කෘති දෙසටයි. නවකතාකරුවෙක් හැටියට ඔහුගේ වර්ධනය පිළිබඳ කරුණක් මෙහිදී අපට දකින්න ලැබෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඔහුගේ සිංහල නවකතාවේ ඉතිහාසය හා විචාරය කෘතියේ 19 සියවසේ බිහි වූ සිංහල නවකතාව ගැන විමර්ශනයක් කරමින් සිංහල නවකතාව ගත යුතු මඟ ගැන මෙවැනි විචාර පූර්වක සටහනක් තබනවා.

“නවකතාකරුවා හුදෙක් විනෝදය සඳහා කතන්දර කියන්නකු නොව දූරදර්ශී චින්තකයකු නම් සමාජ ජීවිතයේ මතුවන වැදගත් ප්‍රශ්න විග්‍රහ කොට ඒවා විසඳීමත්,මාර්ගයක් ඇඟවීමත් ඔහුගේ පරම යුතුකමකි. සූක්ෂ්ම හදවතකින් යුත් ලේඛකයා සමාජයේ හදවත ඉක්මණින් මෙන් දකී. ඔහුගේ ලියවිලි සමාජයේ අභ්‍යන්තර සිතුම් පැතුම්වල මාපකයන් දක්වන්නේය. ” (සංශෝධිත මුද්‍රණය-1960)

මේ ඕනෑම සම්ප්‍රදායකට අයත් සෑම විචාරකයෙක් විසින් ම පිළිගන්නා අදහසක්. මාක්ස්වාදී හෝ පශ්චාත් නූතනවාදී කුමන මතයක් දැරුවත් මේ අදහස් ප්‍රතික්ෂේප කරන්න බැහැ. නවකතාවේ අරමුණු ගැන සරච්චන්ද්‍ර මෙම අදහස ලියන විට අමරසේකරගේ මුල් කාලීන කෘති ලියා අවසන්.

මම හිතන හැටියට අමරසේකර සමාජ මාපකයක් වීමේ පරිවර්තනය පෙන්වන්නේ 1964 දී ලියූ ගන්ධබ්බ අපදානය පොතෙන්. මේ නවකතාවේ තිබෙන්නේ සිංහල තරුණයෙක් හා දෙමළ තරුණියක් පිළිබඳ ප්‍රේම කතාවක්. එහි සමාජමය අර්ථයක් ද තිබෙනවා. නවකතාවේ කථකයා පරිපාලන සේවයේ තනතුරක් දරන උගත් තරුණයෙක්. මොවුන්ගේ ප්‍රේමය වසු පැටවුන්ගේ ප්‍රේමයක් නෙවෙයි. වෙනත් මට්ටමක ප්‍රේමයක්. ඒ වගේම මේ කෘතිය මඟින් ජාතික ප්‍රශ්නය ගැන යම් යම් අර්ථකථන සැපයිය හැකියි.

එයින් පසුව ගුණදාස අමරසේකරගේ අදහස්වල යම් විපර්යාසයක් සිදුව ඇති බවට ප්‍රදීප් ජෙගනාදන් සඳහනක් කරනවා. ඒ නිසා මම ඒ ගැන කතා කරන්නෙ නැහැ. වුවමනාවට වඩා අර්ථකථන දෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. නමුත් අමරසේකරගේ පරිවර්තනය පෙන්වන කෘතිය ගන්ධබ්බ ආපදානය යි. 1984දි අමරසේකරගේ සාහිත්‍ය ජීවිතයේ වැදගත් කාර්යයක් සිදු වෙනවා. ඒ ප්‍රේමයේ සත්‍ය කතාවක් හා ප්‍රේමයේ අසත්‍ය කතාවක් කෘතින් දෙක ලිවීමයි. නවකතා දෙකට පාදකව ඇත්තේ 1976දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය වීරසූරිය සිසු අරගලයක දී ඝාතනය වීමයි. නවකතාකරුවා මේ සිද්ධිය ඇතුළටම යනවා. කතුවරයා කෘතිය මඟින් කියන්නට උත්සාහ කරන්නේ බුද්ධිමත් තරුණ පරපුර වැනසීයාමේ කතන්දරයයි. අමරසේකර ඉන් පසුව තවදුරටත් මේ කරුණ පැහැදිලි කරන්නට විමර්ශන ග්‍රන්ථ කිහිපයක් ලියා තිබෙනවා.

ප්‍රේමයේ සත්‍ය කතාව හා අසත්‍ය කතාව බොළඳ ප්‍රේම කතා දෙකක් නෙවෙයි. ඉතිහාසයක් ඇති චින්තකයෙක් ලියූ නවකතා දෙකක්. ඔහු චරිත මඟින් සමාජයේ දක්නට ලැබෙන යම් යම් ප්‍රශ්න දෙසට කිමිදෙන්නට උත්සාහයක් දරා තිබෙනවා. ගමනක මුල කෘතියෙන් ඇරඹෙන නවකතා මාලාව ලියන්නට ඔහු පටන් ගත්තේ ඉන් අනතුරුවයි. 2012 දක්වා ඔහු එය කොටස් වශයෙන් ලියමින් සිටිනවා.

අමරසේකර මෙය ඉතිහාස කෘතියක් ලෙස සඳහන් කරනවා. වඩා සාධාරණ වන්නේ එය ඉතිහාස කෘතියකට වඩා ඉතිහාසය පිළිබඳ අමරසේකරගේ දෘෂ්ටිය ලෙස දැක්වීමයි. ඉතිහාසය ඇත්තක්ද? බොරුවක්ද?ලෙස කරන ප්‍රශ්න කිරීම නොවැදගත් දෙයක්. මහාවංශයේ සිටම ඉතිහාස කෘතිවල අන්තර්ගතව තිබෙන්නේ ඒවා ලියූ පුද්ගලයන්ගේ දෘෂ්ටි කෝණය. මේ කරුණ මහානාම හිමියන්ට පසුව විද්‍යාත්මක ලෙස ඉතිහාසය ලියූ බව කියන ලේඛකයන්ට ද අදාළ යි.

1984දී ගමනක මුල නිකුත්වූ මොහොතේ මම (සිළුමිණ පුවත් පත මඟින්) දැක්වූ නිරීක්ෂණයක් යළි සඳහන් කරන්නම්. එහි දැක්වෙන්නේ ඉතා සුන්දර ළමාවියක් පිළිබඳවයි. අමරසේකරගේ භාව ගීත වැනි කාව්‍ය නිර්මාණයන්ට මෙන් ම,කෙටි කතාවන්ට ද ,බද්දේගම පරිසරය ඉතා රමණීයව පසුබිම්ව තිබෙනවා. ඒවා පුනරුච්චාරණය නොවී කියවීමට ප්‍රිය උපදවන ලෙස,විවිධාකාරයෙන්,රසවත්ව ලියැ වී ඇති බව කියන්නට අවශ්‍යයි. ‘ගමනක මුල’කෘතිය නමසිය හතළිස් ගණනන්වලින් ආරම්භ කර කොයි දිශාවට ගමන් කරන්නේ ද යන්න අපට එදා පැහැදිලිව දිස් වූයේ නැහැ. සමහර විට අමරසේකර පවා එදා එය නොදැන ඉන්න ඇති.

මෙයට පෙර මාර්ටින් වික්‍රමසිංහත් ගම්පෙරළිය,කලියුගය,යුගාන්තය යනුවෙන් තුන් ඈදුතුනවකතාවක් ලියා තිබුණා. පැහැදිලි චිත්‍රයක් නොසැපයුනත් මෙම නවකතා මාලාවෙන් මධ්‍යම පන්තිය තුළින් නිර්ධන පාන්තික නායකත්වයක් බිහිවෙන බවත්,ඔවුන් විසින් රටේ විමුක්තිය සාධනය කරන බවත් ඉඟි කෙරෙනවා. දැන් මෙම කෘති ලියවී වසර 40-50කට ආසන්න කාලයක් ගතවී තිබෙන නිසා වික්‍රමසිංහ මෙම කෘති මඟින් මතු කරන ප්‍රවාදය මිථ්‍යාවක් බව වර්තමානය වන විට පැහැදිලි යි. ඒ ගැන ඔහු‍‍ට දොස් කියන්න අපට බැහැ. 70’දශකය දක්වා ජීවත්ව සිටි නිසා ඔහු දක්වන කතන්දරය සිදු නොවන බව වික්‍රමසිංහටත් පෙනෙන්න ඇති. නමුත් ඔහු දක්වන්නේ 1950 ගණන් වන විට ඔහුට පෙනෙන්නට තිබුණු චිත්‍රයයි.

ගම්වලින් බිහි වන බුද්ධිමත් තරුණයන් මේ රටේ අනාගතය සකස් කරන්නේ කෙසේ ද යන්න ගැන නවකතාව ලිවීමට පටන් ගන්නා විට අමරසේකරට අදහසක් නොතිබුණත් ග්‍රාමීය පසුබිමකින් පැන නැඟුණු දේශීය ව්‍යාපාරයකින් රටේ ගමන් මඟ මෙහෙයවන බවට ඔහුට අදහසක් තිබුණා. නවකතාව ලිවීම ඔහු ගමෙන් ආරම්භ කළේ ඒ නිසයි. අමරසේකරගේ ම වචනවලින් කිව්වොත් ප්‍රඥාංකුරයන් බිහි වන්නේ ගමින්. අමරසේකර දකින ග්‍රාමීය තරුණයා අන්තවාදියෙක් නොවෙයි. ඔහු උසස් චින්තනයක් ඇත්තෙක්. මේ කතා පෙළේ සමහර කතාවක් ඉතාමත් නීරසයි. කතුවරයාගේ පෞද්ගලික මතිමතාන්තර දැක්වීම එයට හේතුවයි. නමුත් ‘ගමනක අග’ට පැමිණෙන විට නැවත වරක් මුල දීතිබුණ ආකර්ෂණය නවකතාවට පැමිණ තිබෙනවා. මම මේ කතා මාලාව අගය කරන්නේ මේ කරුණ මතයි. ඔහුගේ අනාගත දැක්ම ගැන පාඨකයාට ප්‍රශ්න තිබිය හැකියි. එය පාඨක අයිතියක්.

Advertisements

One thought on “අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?”

  1. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර උපුටා දක්වන මහාචාර්ය කේ. ඇන්. ඕ. ධර්මදාස සිංහල නවකතාව ගත යුතු මඟ ගැන සරච්චන්ද්‍ර තැබූ එම විචාර පූර්වක සටහන “ ඕනෑම සම්ප්‍රදායකට අයත් සෑම විචාරකයෙක් විසින් ම පිළිගන්නා අදහසක්. මාක්ස්වාදී හෝ පශ්චාත් නූතනවාදී කුමන මතයක් දැරුවත් මේ අදහස් ප්‍රතික්ෂේප කරන්න බැහැ“ යි පවසයි. .

    “ නවකතාකරුවා හුදෙක් විනෝදය සඳහා කතන්දර කියන්නකු නොව දූරදර්ශී චින්තකයකු නම් සමාජ ජීවිතයේ මතුවන වැදගත් ප්‍රශ්න විග්‍රහ කොට ඒවා විසඳීමත්, මාර්ගයක් ඇඟවීමත් ඔහුගේ පරම යුතුකමකි. සූක්ෂ්ම හදවතකින් යුත් ලේඛකයා සමාජයේ හදවත ඉක්මණින් මෙන් දකී. ඔහුගේ ලියවිලි සමාජයේ අභ්‍යන්තර සිතුම් පැතුම්වල මාපකයන් දක්වන්නේය. ” (සිංහල නවකතාවේ ඉතිහාසය හා විචාරය, සංශෝධිත මුද්‍රණය-1960)

    මේ අදහස විභාග කොට බැලිය යුතුය. මේ සඳහා මතු කළ හැකි ප්‍රශ්න කිහිපයක් පහත දක්වමි.

    නවකතාකරුවා දූරදර්ශී චින්තකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ හැම දක්ෂ නවකතාකරුවෙක්ම දූරදර්ශී චින්තකයෙකු විය යුතු බවද? දූරදර්ශී චින්තකයෙකු යනු කවුද? ජීවිතයේ මතුවන වැදගත් ප්‍රශ්න යනු මොනවාද? ජීවිතයේ මතුවන වැදගත් ප්‍රශ්න විග්‍රහ කොට ඒවා විසඳීමත් මාර්ගයක් ඇඟවීමත් නොකරන නවකතාකරුවන් ඇතොත් ඔවුන්ගේ නවකතාවල ගුණය ඒ නිසාම අඩුවේද? ජීවිතයේ නොවිසඳෙන ප්‍රශ්න තිබේ නම් නවකතාකරුවාට ඒවා විසඳිය හැකිවන්නේ කේසේද? සූක්ෂ්ම හදවතකින් යුත් ලේඛකයකු සමාජයේ නොව පුද්ගලයන්ගේ හදවත දැක එහි සිතුම් පැතුම් නිරූපණය කළහොත් එයින් සාර්ථක නවකතාවක් බිහිවිය නොහැකිද?

    ඒ අනුව සරච්චන්ද්‍රගේ ඉහත් අදහස් ඕනෑම සම්ප්‍රදායකට අයත් සෑම විචාරකයෙක් විසින් ම පිළිගන්නා අදහසක් යැයි මහාචාර්ය කේ. ඇන්. ඕ. ධර්මදාස දක්වන අදහස කොතෙක් දුරට වලංගු වේදැයි සිතා බැලිය යුතුය. මාක්ස්වාදීන් එබඳු අදහසකට රුචි වීම අපට වටහා ගත හැකි වුවත් පශ්චාත් නූතනවාදීන් එම අදහස පිළිගනු ඇතැයි අපට සිතිය හැකිද?

    කුමුදු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )