සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය

සාහිත්‍ය කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය
උදේනි ජයවීර

සුචරිත ගම්ලත් විපුල පෞරුෂයකින් සහ නොනැමෙන පිළිමල් බවකින් යුක්තව අපෝහක භෞතිකවාදී කලාස්වාදන චින්තාව මත පිහිටා කලා විචාරයේ නියැලි විශාරද බුද්ධිමතෙකු ලෙස සදා අනුස්මරණය කරනු ඇත.ඔහුගේ අභාවය හුදෙක් සුදුර්ලභ බුද්ධිමතෙකුගේ මිය යාමක් පමණක් නොව යුගකාරක මාක්ස්වාදී බුද්ධිමතෙකුගේ සමුගැනීමක් ද වන්නේ ය. එවක විප්ලවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයෙකුව සිටි අවධියේ සම්භාව්‍ය මාක්ස්වාදයක් එහි භාවිතයත් පිළිබඳ ඔහු ලද පරිචය හා ශික්ෂණයත් එහි ලේකම්ව සිටි දීප්තිමත් මාක්ස්වාදියෙකු වූ අභාවප‍්‍රාප්ත කීර්ති බාලසූරියගෙන් ලද පිරිපහදුවත් මාක්ස්වාදී කලා විචාරකයෙකු ලෙස සුචරිත ගම්ලත් හැඩ ගස්වා පෝෂණය කළේය.

සාහිත්‍ය – කලා සම්බන්ධ මාක්ස්වාදී සෞන්දර්ය විද්‍යාවේ මූලධර්ම හඳුන්වාදීම හා සාහිත්‍ය – කලා විචාර ක්ෂේත‍්‍රය තුළ අපෝහක භෞතිකවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට ඔහු කළ පුරෝගාමී සේවාව ඓතිහාසිකය. එහිදී ඔහු සම්භාව්‍ය මාක්ස්වාදීන්ගේ කලා විචාර භාවිතය ලංකාවේ සාහිත්‍ය කලාවන්ට උපයෝග කළේ ය. සාහිත්‍ය – කලා න්‍යායට හා විචාරයට සුචරිත ගම්ලත්ගේ සම්ප‍්‍රදානය සංක්ෂිප්තව විභාග කිරීම මේ ලිපියේ අරමුණයි.

සිය කලා විචාරය හුදෙක් විධික‍්‍රමයකට අනුව සාහිත්‍ය – කලා මැනීමත් ලෙස නොසලකාගත් ගම්ලත් එය මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමට සාමාජික මිනිසා කරන අනවරත අරගලයට අනුපූරක භාවිතයක් සේ සලකා ගත්තේය.

දශක හතරක් ද ඉක්මවා ගිය සිය විචාර භාවිතය තුළ ඔහුට ගැටෙන්නට සිදු වූයේ යල් පැන ගිය විචාර සිද්ධාන්ත සමඟ පමණක් නොව ජාතික රාජ්‍යයකට ගැට ගැසී තිබූ ප‍්‍රතිගාමී ධනේශ්වර දෘෂ්ටිවාදයන් සමඟ ද ඔහුට ගැටෙන්නට සිදු විය.

විඤ්ඤාණවාදය, වර්ගවාදය, සිංහල ස්වොත්තමවාදය, ජාතික චින්තනය, පුරුෂොත්තමවාදය, ආගමික අගතීන්, චිරාගත මිථ්‍යාවන්, මායාවන් ඈ අවිද්‍යාවන් එහිදී ප‍්‍රමුඛ විය.

සුචරිත ගම්ලත් සුවිශිෂ්ට විචාරකයෙකුගේ තැනට එස වී ගත්තේ හුදෙක් ඔහුගේ ආසාමන්‍ය බුද්ධි මහිමය නිසා නොව බස හැසිරවීමේ වෙසරද බව, පෙරඅපර දෙදිග දර්ශනවාද හා සෞන්දර්ය විද්‍යා ඥානය, තර්ක බුද්ධිය, සම්භාව්‍ය මාක්ස්වාදය පිළිබඳ අවබෝධය යනාදියට අමතරව වෙසෙසින්ම ඔහුගේ අපෝහක භෞතිකවාදී ලෝක දෘෂ්ටිය නිසාය.

ලංකාවේ සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයට විධිමත් සාහිත්‍ය – කලා විචාර සිද්ධාන්තයක් හඳුන්වාදීමට දැරූ ප‍්‍රථම ප‍්‍රයත්නය මහාචාර්ය සරච්චන්ද්‍රගේ ප‍්‍රයත්නයයි. ‘‘කල්පනා ලෝකය’’ සහ ‘‘සාහිත්‍ය විද්‍යාව’’ කෘති තුළින් නව විචාර සංකල්ප හඳුන්වා දුන් සරච්චන්ද්‍ර කාව්‍ය විචාරයේ දී කාව්‍ය රචනා තුළ මනෝගති, චිත්තා, හැගීම් ආදි මනෝභාවික අංශය විමර්ශනය කළේ ය. ඔහු කාව්‍යයේ ඥානික අගයක් නොදුටුවේ ය.

නවකතා විචාරයේදී තාත්විකත්වය නමැති මූලධර්මය මත පිහිටි සරච්චන්ද්‍ර නවකතාවේ පසුබිම, චරිත පාත‍්‍රයන්, කතා වස්තුව ආදියේ විස්වාසනීයත්වය ඉල්ලා සිටියේය. නවකතාව ගොතන ලද බොරුවක් වුවත් එය විශ්වාසනීය විය යුතුයැයි ඔහු ඇදහීය. කලා විචාරයට සරච්චන්ද්‍ර කළ මැදිහත්වීම සාහිත්‍ය කලා රසවිදීමට සැලකිය යුතු පදනමක් ඇති කළ මුත් ඔහුගේ විචාර න්‍යාය මේ යුගයේ ප‍්‍රශ්න සමඟ පොර බඳීමින් වුන් නවකතාව, කෙටි කතාව, නාට්‍ය, ගීතය ආදිය ඇගයීමේදී ප‍්‍රතිවිරෝධතාවන්ට තුඩු දුනි. (බලන්න: සුචරිත ගම්ලත්, සරච්චන්ද්‍රාභිනන්දන)

හැටේ දශකයේ මුල සුචරිත ගම්ලත් පේරාදෙණිය සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයකුව සිටි අවදියේ සිය ගුරුවරයා වූ එදිරිවීර සරච්චන්ද්‍ර යටතේ සාහිත්‍ය – කලා රසවින්දනය උගත්තේය. ගම්ලත්ගේ මුල් කාලීන විචාර ග‍්‍රන්ථ වූ ‘‘කව්සිළුමිණ විනිස’’, ‘‘කව්සේකර විනිස’’, ‘‘නාට්‍ය කලාව හා අභිඥාන ශාකුන්තලය’’ විවරණ සඳහා සරච්චන්ද්‍රගේ විචාර විධික‍්‍රමය උපයෝග කළේ ය.

1966 වර්ෂයේ වැඩි දුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් සරසවියට ගොස් ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන දර්ශනවාදය, දාර්ශනික මනෝවිද්‍යාව හා බටහිර සෞන්දර්ය විද්‍යාව හදාරා පෙරලා පැමිණි ගම්ලත්, 1971 දී ‘‘සාහිත්‍ය ලෝකය හා සැබෑ ලෝකය’’ රචනා කළේ ය.

සාහිත්‍ය – කලා සම්බන්ධ සිය චින්තනය නිරවුල් කර ගැනීම සඳහා එය රචනා කළ බව ගම්ලත් සිය කෘතියේ ප‍්‍රස්ථාවනාවේ සඳහන් කරයි. මේ කෘතිය එවක විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ කීර්ති බාලසූරිය ඇතුලූ ට්‍රොට්ස්කි වාදීන්ගේ දැඩි විවේචනයට හසුව නිෂ්ප‍්‍රභා වී ගියේ ය. යමක සාරය නොව එහි දෘශ්‍යමානය මත පදනම් වන වියානා කවය හරහා පිරිහී ගිය ජර්මානු විඤ්ඤාණවාදයෙහි තවදුරටත් පිරිහිනු වත්මන් රූපය වන භාෂා විශ්ලේෂී දර්ශනයේ පිහිටි එම කෘතිය කීර්ති බාලසූරිය දාර්ශනික ආස්ථානයක සිට විවේචනය කළ බවත් එහිදී එම කෘතියේ විඤ්ඤාණවාදී පදනම අපෝහක භෞතිකවාදයෙන් නිශේධනය කළ බවත් කීර්ති බාලසූරිය පිළිබඳ ගම්ලත් ලියූ මතක සටහන් හි ලියා තිබිණ.

ට්‍රොට්ස්කිවාදීන්ගෙන් තමා ලද ආවේශය ගැන ගම්ලත්:

‘‘මොහුගෙන් ලද ආවේශයෙන් මම එකල මාක්ස්වාදය හා සාහිත්‍ය කලා ගැන විසල් පොතක් ලිවීමි. කලාව හා ජීවිතය, කම්කරු පන්තිය හා කලාව, විප්ලවය හා කලාව අතර සබඳතාව, නිර්ධන පන්ති කලාව, කලාව කලාව සඳහා ය, කලාව හා ස්ටැලින්වාදය, සමාජවාදී යථාර්ථවාදය යනාදි නා නා ප‍්‍රශ්න එහි විශ්ලේෂණය කරන ලදී. මේ සඳහා මම විජේ ඩයස්ගේ හා වක්කුඹුරගේ මඟ පෙන්වීම යටතේ මාක්ස්වාදයේ සම්භාව්‍ය කෘති බොහෝ ගණනක් අධ්‍යයනය කළෙමි.

මා ලියූ අත්ලිපි පිටු දහසකින් පමණ සමන්විත වූ එම කෘතිය පළ නො කෙරිණ. එහෙත් එය ලිවීම සඳහා දැරූ ඉමහත් ප‍්‍රයත්නය මා මාක්ස්වාදියෙකු හෙවත් ට්‍රොට්ස්කිවාදියෙකු බවට පත් කළේය.’’ (කීර්ති බාලසූරිය පිළිබඳ මතක සටහන්, සුචරිත ගම්ලත්, විචාර ප‍්‍රතිවිචාර )

සුචරිත ගම්ලත් අපෝහක භෞතිකවාදී දෘෂ්ටියේ පිහිටා කලා විචාරයට ප‍්‍රවිශ්ට වන හැත්තෑව දශකයේ අග වන විටත් මෙරට අනභියෝගීව පිළිගෙන තිබූ නිල විචාර විධික‍්‍රමය සරච්චන්ද්‍රගේ ‘‘කල්පනා ලෝකවාදයයි.’’ මෙරට පාසල් හා විශ්වවිද්‍යාල සාහිත්‍ය – කලා රසවින්දනය තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු කළේ මේ විචාර විධි ක‍්‍රමය මත පිහිටා ය. මෙයට විකල්පව කලාව ධනේශ්වර දේශපාලන උවමනාවන්ට යටත් කළ සමාජ සත්තා යථර්ථවාදය හා වෙනතත් අකෘතිවාදී විචාර ගුරුකුලයන්ට අයත් විචාරකයෝ ද විචාර කාර්යයේ නියැලී වුන්හ.

සරච්චන්ද්‍ර විචාරයේ කාර්ය නිර්වචනය කළේ මෙසේ ය:

‘‘විචාරය වූ කලී සාහිත්‍යයේ ඇති රසය පාඨකයාට පෙන්වාදීම යි.’’ 1990 දෙසැම්බර් මස 02 වන ඉරිදා දිවයිනට සරච්චන්ද්‍ර ලියූ ‘‘මහාචාර්ය සුචරිත ගම්ලත් මුහුණ දෙන විචාරයේ ගැටලූ’’ යන ලිපියේ, විචාරය ඔහු මෙසේ නිර්වචනය කළේ ය. ‘‘විචාරය යනු කිසියම් සාහිත්‍යය කලා කෘතියක් සිය රසිකයා තුළ ජනිත කරන වින්දනය ඇසුරින් කෙරෙන ප‍්‍රකාශයකි.’’

මේ නිර්වචනයේ ඇති දාර්ශනික දුබලතාව ගම්ලත් පෙන්වා දුන්නේ මෙසේ ය:

‘‘මේ අනුව සාහිත්‍ය කෘතියක් ගැන ඕනෑ ම කෙනෙකුන්ට ඕනෑ ම දෙයක් කිව හැකි ය. ඒ කියන දේවල් ඒවා කියන පුද්ගලයන්ගේ පෞද්ගලික අනුභූති ය. ඒ සෑම එකක් ම එක සේ සප‍්‍රමාණ වෙයි. මේ නම් අනිකක් නො ව පරම ආත්මීය විඤ්ඤාණවාදය යි. ලෝකය යනු මගේ මනසේ පවත්නා ලෝකය විනා අන් දෙයක් නො වේ ය යනු මේ දාර්ශනික ගුරුකුලයේ මූලික ප‍්‍රතිස්ඨාව යි. ඔබේ මනසේ පවත්නා ලෝකය කුමක් වුව ඉන් මට කම් නැත. මගේ මනසේ පවත්නා ලෝකය ගැන ඔබට ද එසේ ම ය.’’

(සුචරිත ගම්ලත්, සාහිත්‍ය විචාරය හා මාක්ස්වාදී විකට රූප) සරච්චන්ද්‍රගේ කලා විචාරයේ මුඛ්‍ය දුබලතාව ලෙස ගම්ලත් දුටුවේ සාහිත්‍ය කලාවන්ගේ ආකෘති අංශය ඔසවා තැබීමයි. කලා නිර්මාණයන් යනු කලාත්මක ලක්‍ෂණ හෙවත් ආකෘති පෙළ ගැස්වීමක් යන තැනටම සේන්දු වූ සරච්චන්ද්‍ර: ‘‘කිසිවක් කෙලින්ම පැවසූ තැන කාව්‍යයක් නොතැනේ.’’, ‘‘සාහිත්‍යන් කෙරෙන්නේ යමක් සිදු වූ බව කීම නොව සිදු වූ හැටි දැක්වීමයි.’’, ‘‘අප ඇසිය යුත්තේ එය ඇත්තට සිදු වූවක් ද කියා නොව එය සිදු වූවක් සේ පෙනේ ද කියායි.’’ ආදී ආකෘති ලක්‍ෂණ ඇති තැන කලා කෘතියක් ඇතැයි කීය.

කලා කෘති තුළින් ප‍්‍රකාශමාන වන අන්

අන්තර්ගතය විමර්ශනය කරනු වෙනුවට ආකෘති ලක්‍ෂණ හෙවත් රූපයට අනුව කලා කෘති ඇගයීමේ සරච්චන්ද්‍රගේ දුබලතාව පෙන්වා දෙන ගම්ලත්:

‘‘මෙහි දී ද ඔහුගේ විචාර විධික‍්‍රමය පැහැදිලිය: මිනිසාගේ හැඟුම් ද සැබෑ අරගලයන් ද ඉක්මවා සිටින රූප වන්දනාවෙන් ඔහු තෘප්තිමත් වෙයි. ඔහුට මේ රූපය අන්තර්ගතය සමඟ කිසිම සම්බන්ධයක් නැත. මිනිසාගේ ජීවන අරගලය හා හැඟුම් එක් අතකට ද සෞන්දර්යාත්මක රූප අනෙක් අතට ද කපා වෙන් කිරීම ධනේශ්වර දෘෂ්ටියේ අන්ත පරිහානියේ ප‍්‍රකාශනයකි.’’ (කීර්ති බාලසූරිය / සුචරිත ගම්ලත්, කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය) ධර්මසේන පතිරාජගේ ‘‘බඹරු ඇවිත්’’, ‘‘පාරදිගේ’’ හා ‘‘සොල්දාදු උන්නැහේ’’ සිනමා කෘති තුළ ප‍්‍රකාශිත අර්ථ හා තේමා ග‍්‍රහණය කර ගැනීමට මෙරට නිල විචාරය ඇතුලූ අවශේෂ විචාර ගුරුකුල අපොහොසත් වීම තුළ එම සිනමා පට අපෝහක භෞතිකවාදී විචාර දෘෂ්ටියේ පිහිටා විවරණය කරමින් ගම්ලත් කළ මැදිහත්වීම, කලාවත් කලා විචාරයත් සම්බන්ධ මාක්ස්වාදි පදනම තහවුරු කරමින් නිල විචාරයට අභියෝග කළ ප‍්‍රාරම්භක අවස්ථාව මෙන්ම මාක්ස්වාදී විචාරයෙකු ලෙස ගම්ලත්ගේ ප‍්‍රභාව තහවුරු වූ අවස්ථාව ද වන්නේය.

මේ චිත‍්‍රපට විචාර තුළ සෞන්දර්ය විද්‍යාවේ ඇතැම් මූලික ප‍්‍රශ්න ගම්ලත් විවරණය කළේ ය.

‘‘සොල්දාදු උන්නැහේ’’ චිත‍්‍රපටයට කළ විචාර ලිපියෙහි මාක්ස්වාදී ආස්ථානයේ පිහිටා කලාවේ අරමුණ හා අන්තර්ගතය කවරේ ද ? යන ප‍්‍රශ්නයට ගම්ලත් මෙසේ පිළිතුරු දෙයි:

‘‘බාහිර ස්වභාව ධර්මයත් තමාගේ ම ස්වභාවයත් තමාට ඇවැසි ලෙස වෙනස් කර ගැනීම සඳහා සාමාජික මිනිසා නියුක්තව සිටින්නා වූ නිරන්තර අරගලයේ ම අන්තර්ගතය සංකල්පරූප මඟින් ගෙන හැර දක්වා එම අරගලය ම වඩාත් සාර්ථක ලෙස ගෙන යනු පිණිස අවශ්‍ය වන්නා වූ ඥානමය හා භාවමය සම්පත් මිනිසා වෙත සම්පාදනය කිරීම සැබෑ කලාවේ කාර්යය වන්නේ ය.’’ (සුචරිත ගම්ලත්, සමකාලීන සිංහල සිනමාව හා වෙනත් ලිපි) සෞන්දර්ය විද්‍යාවේ මූලික ප‍්‍රශ්නයක් වන කලාව හා යථර්ථය අතර සම්බන්ධතාව විසª ආකාරය අනුව කලාව සම්බන්ධ විඤ්ඤාණවාදී න්‍යායත් අපෝහක භෞතිකවාදී න්‍යායත් අතර විලක්‍ෂණය සලකුණු කළේ ය. සරච්චන්ද්‍රට අනුව නිර්මාණයක් යනු කල්පනා ලෝකයකි. ඊට යථාර්ථය සමඟ සම්පර්කයක් නොමැත.

නිල කලා න්‍යාය වූ සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකවාදයට අනුව:

‘‘සාහිත්‍ය වූ කලී කවියා මවන කල්පනා ලෝකය යි. එය සැබෑ ලෝකයට සමාන වුව අනෙකකි. එහි බල පාන ධර්මතාව සැබෑ ලෝකයේ බල පාන ධර්මතාව නො වේ. සැබෑ ලෝකයේ මිම්මෙන් එය මිනිය හැකි නො වේ. සැබෑ ලෝකයේ නීති රීති එහි වලංගු නැත.’’ (එදිරිවීර සරච්චන්ද්‍ර, කල්පනා ලෝකය) මෙහිදී සරච්චන්ද්‍ර කලාව සැබෑ ලෝකයෙන් වෙන් කරයි. ඒ අනුව කලාව සැබෑ ජීවිතයෙන් ද වෙන් වෙයි. මෙහි අර්ථය සාහිත්‍ය කලා යනු නිර්මාණකරුවාගේ මනස් පුතකු යන්න යි.

මේ විඤ්ඤාණවාදී කලා න්‍යායට ප‍්‍රතිපක්ෂව කලාවේ මූලයන් ඇත්තේ සැබෑ ලෝකයේ බවත් කලාවට මිනිසාගේ සැබෑ ජීවිතය විෂය වන බවත් කලාව මිනිසාගේ ද්‍රව්‍යමය ජීවිතයෙන් පහළ වන බවත් ගම්ලත් දිගින් දිගටම තම ලේඛන තුළ පෙන්වා දුන්නේ ය. කලා කෘතියකින් සැබෑ ජීවිතය (යථාර්ථය) ප‍්‍රතිනිෂ්පාදනය කෙරෙන්නේ එම ජීවිතය සම්බන්ධ අවබෝධය ලබා ගැනීමේ කලාකරුවාගේ ප්‍රෝත්සහය තුළ දීය. කලාව ඥානය මනෝගත කිරීමේත් පරිකල්පනය කිරීමේත් මාර්ගයක් වන්නේ එබැවිනි. කලාවේ මේ අර්ථයේ ඥානික අගයක් ඇතැයි සරච්චන්ද්‍ර නොදුටුවේ ය. ඔහු සෑම විටම අවධාරණය කලාවේ මනෝභාවික අගය පමණි. ගම්ලත්ගේ සමස්ත විචාර ලිපි සරණිය තුළ හුය පටක් සේ දිවෙන එක් මුඛ්‍ය අර්ථයක් වූයේ කලාවේ ඥානික අගය හා මනෝභාවික අගය පිළිබඳ ඔහු කළ අවධාරණය යි.

කලාවේ ස්වභාවය සම්බන්ධයෙන් ගම්ලත් නිරතුරුව උපුටා දැක් වූ ට්‍රොට්ස්කිගේ විවරණය මෙසේ ය:

‘‘කලාව වනාහි මිනිසා ලෝකය තුළ සිය සබඳතා හා මං පෙත් පාදා ගන්නා මාර්ගයන්ගෙන් එකකි. විද්‍යාවට වෙනස් ලෙසින් කලාව ලෝකය නියාම පද්ධතියක් සේ නොව සංකල්පරූප සමූහයක් සේ ඥානනය කරන්නා වූ විධියක් ද ඒ අතර ම ඇතැම් හැගීම් හා මනෝගතීන් පුබුදුවන්නා වූ මාර්ගයක් ද වෙ යි.’’

කලාව යථාර්ථය ඥානනය කිරීමේ විධියකි යන ට්‍රොට්ස්කිගේ නිර්වචනය මත ගම්ලත් සෑම විටම පදනම් වී ගත් අතර, එය දිවි හිමියෙන් ආරක්‍ෂා කළේ ය. ගම්ලත් සිය විචාර භාවිතයේදී කලා කෘතියක මූලිකව විමසා බැලූවේ කලා කෘතියක් ඊට විෂය වූ යථාර්ථය සම්බන්ධ තත්ව ඥානය කෙතරම් දුරකට කලාත්මකව විශද කළේ ද යන්න යි.

කලාකරුවාත් කලා වින්දකයාත් අතර හෘදය සංවාදය ඇති කිරීම කලා විචාරයේ කාර්ය බව ගම්ලත් පැවසීය. එනම් කලාකරුවාගේ හෘදයේ පැවති දෙය රසිකයාගේ හෘදයේ පවත්නා බව විදහා දැක්වීමයි. කලාකරුවා ප‍්‍රත්‍යක්ෂ කල යථාර්ථය රසිකයන්ගේම යථාර්ථය බව දැක්වීම යි. ‘‘මේ කාර්යය සඳහා විචාරකයා කවියාගේ නිර්මාණය එයට පාදක වූ සියලූ මූලිකාංග කරා විශ්ලේෂණය කොට ඒවා අතර අන්තර් සබඳතා දක්වා ඒ මූලිකාංග රසිකයාගේ ආත්මයේ ද එලෙසම පවත්නා සැටි පෙන්වා දිය යුතු යි. කාල් යුංගේ වචනවලින් කිව හොත්, විචාරකයා සාමාජික අවිඤ්ඤාණය සාමාජික විඤ්ඤාණය බවට පත් කළ යුතු ය. එනම්, රසිකයා තුළ පවත්නා නමුදු ඔහු නො දන්නා යථාර්ථය ඔහුට පෙන්වා දිය යුතු යි. ඔහුට සාහිත්‍ය කෘතිය නමැති කැටපතෙහි තමා ම පිළිබිඹු වන සැටි පෙන්වා දිය යුතු යි. මෙවිට සාහිත්‍ය නිර්මාණයෙන් ප‍්‍රකාශිත වන්නේ තමාගේ ම යථාර්ථය, අධ්‍යාත්මය, දිගංශය බව රසිකයාට විශද වෙයි. මෙනයින් කවියාගේ ආත්මයත්, රසිකයාගේ ආත්මයත්, හෘදය සංවාදය නමැති අවියෝජනීය සහෝදර බැම්මෙන් බැඳෙති. රසිකයෝ වඩාත් සුසංවාදී ජීවිතයක් වින්දනය කිරීමේ ධාරිතාවෙන් යුතු වඩාලාත් සංවර්ධිත ආත්ම ඇති පුද්ගලයන් බවට පත් වෙති.’’ (සුචරිත ගම්ලත්, සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප)

අවසාන වසයෙන් සුචරිත ගම්ලත් සාහිත්‍ය කලාව හා විචාරයට කළ ඓතිහාසික සේවාවේ සාරය දක්වතොත් ඒ මෙසේ ය: ඔහු සෞන්දර්ය පිළිබඳ විද්‍යාත්මක මූලධර්ම හඳුන්වාදී සාහිත්‍ය කලා සම්බන්ධ මාක්ස්වාදී ආස්ථානය විවරණය කළේය. මෙරට පිළිගත් නිළ විචාර විධික‍්‍රමය වූ සරච්චන්ද්‍රගේ කල්පනා ලෝකවාදය නිෂ්ප‍්‍රභ කොට සාහිත්‍ය කලා විවරණ හා විචාරය සම්බන්ධ අපෝහක භෞතිකවාදී විචාර විධික‍්‍රමය ප‍්‍රතිස්ඨාපනය කළේ ය.

ඔහුගේ සාහිත්‍ය කලා විවරණ හා විචාර රසිකයා තුළ විමුක්තිකාමය දැල්වීය.

මානවයන්ගේ බුද්ධිමය හා සංස්කෘතික ජීවිතය පොහොසත් කිරීමට ඔහුු කළ සේවාව ජනමතකයේ චිරාත් කාලයක් නොමැකී රැුදෙනු ඇත.

ඔබට අපේ ආචාරය

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )