සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය
ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කරුමක්කාරයෝ චිත්‍රපටියෙන්
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ සංවාද සභාවේදී ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් දැක්වූ අදහස් මෙලෙස පළ කරන්නෙමු. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස දැක්වූ අදහස් පෙර පළ කලෙමු.
‘සාහිත්‍ය හා ඉතිහාසය’යන සාකච්ඡාවේ මාතෘකාව ‘සාහිත්‍යයේ ඉතිහාසය’යනුවෙන් මම මදක් වෙනස් කරමි. එය දේශකයාට නොඅදාළ කටයුත්තක් විය හැකියි. නමුත් අවසානයේ ඔබට පෙනේවී එය අදාළ කටයුත්තක් කියලා.මහා ගංගාවක් සේ ගලන අමරසේකරයන්ගේ කෘතී සමූහය ගැන බැරෑරුම් විචාර කතිකාවට කුඩා විකල්පයක් සටහන් කරන්න මා මෙසේ උත්සාහයක් දරනවා.අමරසේකරගේ නිර්මාණ විචාරයට ලක් කරන විචාරකයන් මතු කරන පිළිගත් සත්‍යයක් නම්,ඔහුගේ නවකතා පන්ති විග්‍රහයකින් පිරී ඇති බවයි. නවකතාවන්ගේ අභ්‍යන්තර යාන්ත්‍රණයේ සමාජ පන්ති විග්‍රහයක් තිබෙන බව අපේ විමසීමට ලක්විය යුතුයි.
අමරසේකරගේ කෘති සමූහය මුල සහ අග ලෙස මා වෙන්කර හඳුන්වන්න කැමතියි. මුල අවදිය සඳහා කරුමක්කාරයෝ,ජීවන සුවඳ,දෙපානොලද්දෝ, ගන්ධබ්බ අපදානය හා යළි උපන්නෙමි යන කෘති පහ යෝජනා කරනවා. කාලය අනුව බැලූවිට මේ කෘති සියල්ලම අයත් වන්නේ 1955-1964 වකවානුවටයි. එහෙත් මා මෙම වර්ගීකරණයට ‘රතු රෝස මල’ ඇතුළු කර ගන්නේ නැහැ. අග කොටස හැටියට මම හඳුන්වන්නේ අද සාකච්ඡාවට භාජනය වන ‘ගමනක මුලින්’ ඇරඹී ‘ගමනක අග’ දක්වා දිවෙන නවකතා සමූහයයි.
ආචාර්ය දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන විචාර දර්ශනවල දක්නට ලැබෙන එක් පොදු කරුණක් නම් ඔවුන් ‘කරුමක්කාරයෝ’ වෙනස් යයි හඳුන්වා,එය කොටුකර දැක්වීමයි. ඔවුන් එයින් අදහස් කරන්නේ එම නවකතාවල කලාත්මක වටිනාකමේ අඩුවක් තිබෙන බව නොවෙයි.මුල් කෘතීන්ට යා නොවන බවයි. දේවසිරිගේ තර්කය වන්නේ ‘කරුමක්කාරයෝ ‘ ලියැවී තිබෙන්නේ ග්‍රාමීය පහළ මැද පන්තියේ,විශ්වවිද්‍යාල නැතහොත් විද්‍යාල අධ්‍යාපනයක්වත් නොලැබුණු වෙළඳාම් කරන පවුලක් ගැන බවයි.කුමාරතුංගත් මේ කතාව ගැන දක්වන්නේ හොඳ කතන්දරයක් හැටියට පමණයි.මෙම කෘති පහේම එක්තරා ආකාරයකට පැහැදිළි හා සමාන වූ අභ්‍යන්තර යාන්ත්‍රණයක් තිබෙනවා. එම සමානත්වය මත පදනම්වූ ඒකීයත්වයක් ද තිබෙනවා. අසාර්ථක ප්‍රේමය අභ්‍යන්තර යාන්ත්‍රණයේ තේමාවයි. එය ජනිත වන්නේ පවුලෙන්. පවුල් සෙනෙහස (එය තරහව ලෙස නම් කිරීම සැර වැඩියි)වැනි හැඟීම් මඟින් ජනිතව එයින්ම පරපෝෂණ වන ලිංගිකත්වය මුසු කර ගත් රොමාන්තික ප්‍රේමයක් හට ගන්නවා. එම ප්‍රේමයේ සීමාව වන්නේ පවුලේ හැඟීම්වල සීමාවයි.සෑම නවකතාවකටම වගේ න්‍යෂ්ථික පවුලක් වගේම විස්තෘත පවුලක්ද දකින්න ලැබෙනවා. මේ ගැන මට සූත්‍ර විදිහට උදාහරණ දක්වන්න අපහසුයි තරුණ මිතුරන් කිහිපදෙනෙක් සමඟ මම මේ නවකතා කියෙව්වා. මම මෙහිදී සංජානනය කරන අදහස් මගේම අදහස් නෙවෙයි. සාමූහික අදහසක්.
ඉහතදී මම සඳහන් කළ ප්‍රේමයේ අභ්‍යන්තර යාන්ත්‍රණය ගැන කියැවීම පැහැදිළි කරන්න මම උදාහරණ තුනක් දක්වන්නම්. පළමු උදාහරණය ජීවන සුවඳ කෙටි කතා සංග්‍රහයේ එනමින්ම එන නිර්මාණයෙන් දක්වන්නම්. ජීවන සුවඳ කෙටි කතාව ඇරැඹෙන්නේ “ඉස්කෝලෙට ඇවිත් ඉන්න අලුත් ගුරුවරි මට නම් වැඩිය හිත‍ට ඇල්ලුවෙ නැහැ”කියලා කතානායක දාස්ට,ඔහුගේ මව රෑ කෑම කන විට කියන කතාවකින්. ඉන් පසුව එම ආඛ්‍යානයේදී දාස් හා ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟෙනවා.දාස්ගේ මව මේ සම්බන්ධය පවත්වාගෙන යන්න එපැයි කියන්නේ නැහැ. සමහර විට ඔවුන් අතර සම්බන්ධයක් තියෙන විත්තිය ඇය දන්නේ නැතිව ඇති.ලෙඩවීම නිසා ඔහුට සිය පෙම්වතියට ලියන ලියුම ලියා ගන්න බැරි වෙනවා. ආහාර ගන්න පවා නොහැකි වෙනවා. අකුරු ලියන්න බැරි වෙනවා.විභාගය පාස් කරගන්න බැරි විත්තිය තේරෙනවා. එය මානසික කායික රෝගයක්. පවුල් සෙනෙහස හා අසෙනෙහස අතර තිබෙන උභයාර්ථ දෝලනය මෙහි තිබෙනවා.

‘කරුමක්කාරයෝ’ වෙතින් තවත් උදාහරණයක් දක්වන්නම්. එහි සම්පූර්ණ කතාව කියන්නේ විල්සන්ගේ කෝණයෙන්. තමාගේම අක්කා සමඟ ඔහුට තිබෙන තරහව හද කකියවන ආකාරයට කතුරේ සිද්ධිය දැක්වීමේදී කියවෙනවා. අක්ක මහන්න ගන්න කතුර,විල්සන් යමක් කපන්න ගන්නවා. අක්කා එයට තරහ ගිහින් බනිනවා. ඉන් පසු ඔහු වෙනත් කතුරක් ගන්නවා.අක්කා එය වක්කලමට විසි කරනවා.පසුව අක්කා ගෙදරින් වෙන්ව යනවා.”අම්ම මැරුණට පස්සේ අපි ඔක්කොම එක පැදුරේ තියා ගෙන කැව්වෙ පෙව්වෙ තාත්තා විත්තිය අක්කට මතක නැහැ” කියලා,එහිදී විල්සන් කියනවා. ඉන්පසු විල්සන්ගෙ අයියා,ඔහුගේ අලුත් භාර්යාව සමඟ ගෙදර පදිංචියට එනවා. විල්සන් ඇය හඳුන්වන්නේ ‘සෝමක්කා’කියලා.කාලයක් යන විට විල්සන්ට ඇය ගැන ආකර්ශනයක් ඇති වෙනවා. එය ප්‍රේමය දක්වා වර්ධනය වෙනවා. ‍

මෙහි ව්‍යුහයට අනුව විල්සන්ගෙ නැතිවුණ අක්කා වෙනුවට අලුත් අක්කා කෙනෙක් ආදේශ වෙලා. විල්සන් පහ සමත් අයෙක්.සෝමක්කා ඊට වඩා ඉගෙන ගෙන තියෙනවා. මේ ගොල්ලො පේරාදෙණිය විශ්වවිද්‍යාලය තබා එන්.වී.ජූනියර්වත් කරලා නැහැ. මෙතැන හට ගන්නා ප්‍රේමයට නමක් ගමක් නැහැ. එය ඔවුන්ට,බුද්ධිමය වස්තුවක් හැටියට හෝ පරිහරනශීලී දෙයක් හැටියට වෙන් කර ගත නොහැකි වූවත් එය සැබෑවක්. ඔවුනොවුන් අතර ලියුම් හුවමාරුවක් ඇති නොවීම මෙහි ඇති විශේෂත්වයක්. භාවිතයක් හැටියට ආදර හසුනක් ලියන හැටි දාස දන්නවා. ජීවන සුවඳ කෙටි කතා සංග්‍රහයේ අවසන් කතාව වන ‘ශිෂ්‍යයා,අඳුර සහ වැස්ස’මුළු මනින්ම ලියැවී තිබෙන්නෙ ආමන්ත්‍රණය ගැනයි. ‘ආදරණීය අක්කා’කියලා ලියනවද එහෙම නැත්නම් ‘හිතවත්’කියලා ලියනවද කියාලා දෙගිඩියාවක් ඇති වෙනවා. මම ඒකයි කියන්නේ ප්‍රේමය භාවිතයක් විදිහට ‘කරුමක්කාරයෝ’ නවකතාවේ නැහැයි කියලා. නමුත් ‘ජීවන සුවඳ’ තුළ දක්නට ලැබෙන අභ්‍යන්තර යාන්ත්‍රණය එහි පවතිනවා .’දෙපා නොලද්දෝ’හා ‘යළි උපන්නෙමි’ කෘතීන්ද මෙලෙස කියවිය හැකියි.

නමුත් මම අවසාන උදාහරණය හැටියට දක්වන්නේ ‘ගන්ධබ්බ අපදානය’යි. මහාචාර්ය ධර්මදාස මේ ගැන සඳහනක් කළා. එහි එන රීටා බැස්ටියන් ද්‍රවිඩ හෙදියක්. ගුණරත්න ඉඩම් උප කොමසාරිස්වරයෙක්. ඔවුන් දෙදෙනා අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා.රීටා ආඛ්‍යානයට පිවිසීමට පෙර වක්‍ර මාර්ගයකින් ගුණරත්න සමඟ ගනුදෙනුවකට පිවිසෙනවා. ඔවුන් දෙදෙනා රීටාගේ තාත්තාගේ සොහොනේදි හමු වෙනවා. එය තිබෙන්නේ කනත්තේ රෝමානු කතෝලික කොටසේ. ඇය එහිදී පියා සිහිකර පහන් දල්වනවා. මේ අනුව ගුණරත්න හා රීටා අතරත්,ඔවුන් අතර නැති තාත්තා අතරත් යාවීමක් ඇති වෙනවා.

මේ ආඛ්‍යානයේ අග හරියෙ එක්තරා අවස්ථාවක ‘දැන් මට කරන්න තියෙන්නෙ රීටාගේ පියා මෙන් ඇයට කවරෙක් හෝ සහකරුවෙක් සොයාදීම කියලා’ගුණරත්න හිතනවා. ඒ වගේම ‘ඩැඩී හිටියා නම් ඔයාට කැමැති වෙයි’කියලා රීටා කියනවා. මෙහිදි ඔහුගේ පැත්තෙන් නෙවෙයි ඇගේ පැත්තෙන් ආදේශයක් ඇතිව තිබෙනවා. ඒ ඇගේ නැතිවූ පියා වෙනුවට ගුණරත්න වශයෙන්. මම උදාහරණ තුනක් දැක්වූවා. එලෙස තවත් නිදසුන් දැක්විය හැකියි. එහෙත් මා දැන් අනෙක් පැත්තට යායුතුයි.

ගමනක මුලින් ඇරැඹි නවකතා දහය ගත් විට එහි අභ්‍යන්තර යාන්ත්‍රණය පිළිබඳ ගැටලුවක් තිබෙනවා. එක්තරා විදිහකින් ඔහු පරාරෝපණය වෙනවා. ඒ මෙහෙමයි;අසාර්ථක ප්‍රේමය ජනිත වෙන්නේ පවුල් සෙනෙ‍හස හා අසෙනෙහස දෝලනයවීමෙන්. එහි සීමාව පවුලයි. අවසාන නවකතා හතර ගත්විට ඒවා අභ්‍යන්තර ජාතිකකරණයකට ලක්ව තිබෙනවා.‍ මැද නවකතා දෙක (සත්‍ය කතාව සහ ප්‍රේමයේ අසත්‍ය කතාව) සමාජීයකරණය වෙනවා. පන්ති විග්‍රහයෙන් ජාතිකකරණය වෙනවා. එය සනාථ කිරීමට සූක්ෂම කියැවීමකට යොමු විය යුතුයි. ඒ සඳහා මම ‘ගන්ධබ්බ අපදානය’ ට සමාන්තරව ‘වංකගිරිය’ නවකතාවේ කොටසක් උපුටා දක්වන්නම්. එය නවකතාවේ සඳහන්වන වැදගත් අවස්ථාවක්. වංකගිරියේ මුල කොටසේ ගුණරත්න හා රීටාගේ කතාව නැවතත් ලියැවෙනවා.එසේ වුවත් මේ වන විට ගුණරත්න ‘දාස’බවට පත්වී තිබෙනවා.

මා අවධානය යොමු කරන්නේ අඛ්‍යානයේ පරාවර්තනයක් වෙතයි. මෙවැනි අවස්ථා රැසක් යොමු කළ හැකියි. ඒ අතරින් මා එක් උදාහරණයක් දක්වන්නම්. මෙම ආඛ්‍යානය ගන්ධබ්බ අපදානයේත් දැක්වෙනවා. එහි විශේෂත්වය වන්නේ අවකාශීය අක්ෂයක් පැවතීමයි. එම අවකාශීය අක්ෂයට නිමිත්ත වන්නේ දාස අලුතින් මිලදී ගත් ෆොක්ස්වෝගන් මෝටර්රථයයි. එය ඔහු මිලදී ගන්නේ උප කොමසාරිස් ධූරය ලැබීමෙන් පසුවයි. මෝටර් රථයෙන් ඔහු රීටා සමඟ බෙලිහුල්ඔය වැනි ලංකාවේ නොයෙකුත් ස්ථානයන්ට යනවා. එසේ යන විට ඔවුනට ප්‍රේම කළ හැකි පෞද්ගලික රාමුවක් කාරය හා හෝටලය තුළ ඇති වෙනවා. එයිනුත් කාරය විශේෂයි. රීටාට කළුතර සිට මන්නාරමට මාරුවීමක් ලැබුණු විට ඔහු ඇය මන්නාරමට ඇරලවනවා. අනුරාධපුරය,මැදවච්චිය හා ඉන්පසු මඩු පල්ලිය හරහා මන්නාරමට යන ගමන අමරසේකරයන් අපට ඉතාම අලංකාර හා කාව්‍යමය ලෙස දක්වනවා.

මන්නාරමට ආපසු ‘මේක වෙන රටක් වගේ’කියලා දෙන්නම කියනවා. මන්නාරමට යන ඕනෑම කෙනෙකුට ලංකාද්වීපයෙන් පිට වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මේ නගරය ඉන්දීය මහද්වීපයට තිබෙන ආසන්නම ස්ථානයයි. රීටාත් දාසත් අතර එහිදී මඟුලක්,මධුසමයක් සහ නැවත ගෙදර පැමිණීමක් වැනි අවස්ථා තුනක් පැය කිහිපයක් ඇතුළත එකවර සිදු වෙනවා. මේ අවස්ථාව ගන්ධබ්බ අපදානයේ ආඛ්‍යානය සමඟ සංසන්දනය කර බලන ලෙස මා ඔබෙන් ඉල්ලීමක් කරනවා.
නවකතාවේ සඳහන් පරිදි ගුණරත්න පරිපාලනය ඉගෙන ගැනීමට ලන්ඩන් නුවරට යනවා. රිටා එරටට කැඳවාගෙනවිත් ඇය හා විවාහ විය යුතු යැයි එහිදී ඔහු නිතර නිතර හිතනවා. ඇයට එහිදී රස්සාවක් කළහැකියි. වෙනත් රටවලින් ඇවිත් සතුටින් ජීවත් වන බොහෝ පිරිස් ලන්ඩනයේ සිටිනවා. වෙනත් විදිහකින් කියනවා නම් ‘ජාතිය හා දේශය’ඔවුන්ගේ ප්‍රේමයේ සීමාව වෙන්නේ නැහැ. සැබෑ ලෙසම එවැනි සිදුවීමක් ඇති‍ වෙන්නේ නැහැ. නමුත් එවැන්නක් වියහැති බවට අදහසක් ගුණදාසගේ මනසට එනවා.නමුත් අනෙක් කතාවේ එවැන්නක් හිතන්නවත් බැහැ.
පවුල් ප්‍රේමය මුල් කෘති පහේ (නවකතා හතරේ සහ කෙටිකතා පොතේ) වර්ධන වන අභ්‍යන්තර යාන්ත්‍රණය එක්තරා අන්දමකට අග කොටසේ කෘතිවල ජාතිකකරණයක් සිදුව ඇති බව මා සඳහන් කරන්නේ මේ අනුවයි.මම එහි දෝෂයක් දකින්නේ නැහැ.’වංකගිරියක‘ජාතිවාදී කෘතියක් කියලා මම කියන්නේ නැහැ.ඒ වගේම ඔවුන් දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය සිංහල දෙමළ ප්‍රේමයක් විදිහට මම අර්ථදක්වන්නෙ නැහැ.ජාතිකකරණය යන්නෙන් මා හඳුන්වන්නේ ඕනෑම ජාතියක්,ප්‍රේමය සිය මතවාදී භාවිතයට නතු කර ගැනීම ගැනයි.ඔබට ඒ ගැන සැකයක් තිබේ නම් මා දන්නා ගීයකින් පද දෙකක් දක්වන්නම්;

‘එක මවකගෙ දරු කැළ බැවිනා
යමු යමු වී නොපමා
ප්‍රේම වඩා සැම භේද දුරල දා
නමෝ නමෝ මාතා’

ආනන්ද සමරකෝන් ලියූ මේ ගීතය ව්‍යවස්ථාවේ තිබෙන දෙයක්. එහි “ප්‍රේම වඩා සැම භේද දුරල දා”යනුවෙන් සඳහන් කර ඇත්තේ සිංහලයන් ගැන නොවෙයි. ශ්‍රී ලාංකිකයන් ගැනයි.ප්‍රේමය ජාතිකත්වයේ සිමෙන්තියයි. අමරසේකර ගැන විචාර සාහිත්‍යයේ පන්ති රාමුවක් තිබෙන බව මම ආරම්භයේ සඳහන් කළා. ඒ පන්ති රාමුව සමාජීය දෙයක්. සමාජ අසමානාත්මතාව කුමක්ද? එය ජාතික ගීයෙන් කියවෙනවා.

‘අපි සියලු දෙනාම ලාංකිකයෝ’කියලා නිර්ධනයින් ධනවතුන්ට ප්‍රේම කරනවා නම් එතැන විප්ලව,කැරැලි හෝ කෝලහල ඇති වෙන්නෙ නැහැ. සියල්ල ප්‍රේමයෙන් යටපත් වෙනවා. අපි අලුත් සමාජයක් ගැන හිතනවා නම් ජාතිකත්වය උකහා ගන්නා ප්‍රේමය නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. අමරසේකරගේ පළමු අර්ධයේ කෘති ඒ සඳහා දෘෂ්ටිමය ස්ථානයක් දක්වන බව ම‍ගේ යෝජනාවයි. එයින් අපිට ජාතිකත්වය හා ප්‍රේමය අතර විවේචනාත්මක සමීප සම්බන්ධයක් දැක්විය හැකියි.

Advertisements

One thought on “සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )