අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම: මහාත්මභාවය සනාථ කිරීමට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාවකි
කුමුදු කුසුම් කුමාර

???????????????????????????????????????????????????????????

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය එම ආයතනයේ වසර අටක සේවාකාලයකට පසු සේවයෙන් නෙරපීමට විශ්වවිද්‍යාල පාලක මංඩලය තීරණය කොට ඇත. මෙම තීරණයට හේතුව වශයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන්නේ සේවයෙහි ස්ථිර කිරීම සඳහා අදාළ කොන්දේසිය වන පශ්චාත් උපාධි සුදුසුකම නියමිත පරිවාස කාලය වන අවුරුදු අට තුළ ඉටුකරන්නට අනුරුද්ධ ප්‍රදීප් අසමත් වීමයි. නමුත් මෙම තීරණය හෙළා දකින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමයත්, විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයත් පෙන්වා දෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම දේශපාලන පලිගැනීමක් බව සහ මේ සිදුවීම පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය දක්වන හේතුව එයට අදාළ සැබෑ තත්වය වසන් කරන බවයි.

මේ පිළිබඳ වාර්තාවන තතු මෙසේය. අනුරුද්ධ ප්‍රදීප් තම වසර අටක පරිවාස කාලය අවසන් වීමට නියමිත දිනය වන 2013 මාර්තු නව වැනිදාට ප්‍රථම සිය පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම සඳහා විශ්ව විද්‍යාලයට භාර දී ඇත. ඒ 2013 මාර්තු මස පළමු වැනිදා ය. ඒ අනුව ඔහුගේ නිබන්ධය පරීක්ෂා කොට විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් ඔහුගේ පරිවාස සේවා කාලය වසර අට ඉක්ම යෑම හේතුවෙන් ඔහුගේ සේවාව පිළිබඳ තීරණයක් ගැනීමට විශ්ව විද්‍යාලයට සිදුවෙයි. ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලය පද්ධතිය තුළ මෙබඳු අවස්ථාවක සම්ප්‍රදායානුකූලව සිදු කෙරෙන්නේ විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් අදාළ කථිකාචාර්යවරයා ‘කථිකාචාර්ය (පරිවාස) තනතුර‘ වෙනුවට ‘කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට‘ පත්කොට ඔහු විභාගයෙන් සමත්වුවහොත් නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දින සිට පසුවලංගු වන පරිදි ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථිර කිරීම යි. එහි අදහස වන්නේ තනතුර සඳහා සුදුසුතම පුද්ගලයන් අතරින් තෝරා පත් කරගත් තරුණ කථිකාචාර්යවරයෙකු වසර අටක සේවා කාලයකට පසු සේවයෙන් නෙරපීම පුහුණු කළ වටිනා මානව සම්පතක් විශ්ව විද්‍යාලයට අහිමි කිරීමක් මෙන්ම මෙන්ම අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නා අමානුෂික තීරණයක් ලෙසද සැළකීමයි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් පෙන්වා දී ඇත්තේ මෙම සහනය ලද ඇතැම් පුද්ගලයන් පසු කලෙක උප කුලපති වැනි විශ්ව විද්‍යාල පරිපාලනයේ ඉහලම තැන්වලට පවා පත්වීමෙන් එම සහනයේ සාධාරණබව සනාථ වන බවයි.

ඒ අනුව මෙම අවසථාවේදී අනුරුද්ධ ප්‍රදීප් සම්බන්ධයෙන්ද දේශපාලන විද්‍යා අධ්‍යනාංශ ප්‍රධාන සහ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපති යන දෙදෙනාම විශ්වවිද්‍යාල පාලක මංඩලයට නිර්දේශ කර ඇත්තේද ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම අවසන් වන තෙක් ඔහු කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට පත්කිරීමේ යෝජනාවයි. නමුත් අනුරුද්ධ ප්‍රදීප් තම පශ්චාත් උපාධි නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දිනය වශයෙන් විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පාලක මංඩලයට වාර්තා කරන්නේ 2013 මාර්තු මස පළමු වැනිදා නොව මාර්තු විසිවැනි දාය. මෙම දිනය පිළිබඳ වාර්තාව නිවැරදි නොවන බවත් ඒ මත පදනම්ව අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම නොකළ යුතු බවටත් පාලක සභා රැස්වීමේදී මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපති දිගින් දිගටම පළ කළ බලවත් විරෝධය නොතකා අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීමට පාලක මංඩලය ගත් තීරණය එබඳු තීරනයක් ගැනීමට හේතු වූ අරමුණු පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කොට තිබේ. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගම් මෙන්ම අනෙකුත් ස්වාධීන නිරීක්ෂකයන්ද ජන මාධ්‍යයන්හි අවධාරණය කොට ඇත්තේ මෙම තීරණය පිටුපස උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක සිටින බවයි. අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් පහ කිරීමට අමාත්‍යංශය මැදිහත් වීය යන චෝදනා ප්‍රතික්ෂේප කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසා ඇත. එය තනිකරම විශ්ව විද්‍යාල පාලක මංඩලයේ කටයුත්තක් බවත් ඊට අමාත්‍යංශය මැදිහත් නොවනු ඇති බවත් ඔහු තව දුරටත් නියා සිටියි. නමුත් ඒ හා සමාන ප්‍රකාශයක් උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක කළ බවට මෙතෙක් වාර්තා වී නොමැත.

අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් පහ කිරීම උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මැදිහත්වීමෙන් කෙරුණු දේශපාලන පලිගැනීමකැයි යන්න සනාථ කිරීමට ඇති මූලික කරුණ ලෙස දැක්වෙන්නේ අනුරුද්ධ ප්‍රදීප් උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක උසස් අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ විවේචකයෙකු සහ ඊට එරෙහි ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වීමයි. පසුව කී කරුණට උදාහරණයක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගොණු කළ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ පැමිණිලිකරුවෙකු ලෙස අනුරුද්ධ ප්‍රදීප් කටයු තු කිරීම දැක්විය හැකිය. අනුරුද්ධ ප්‍රදීප් නිදහස් අධ්‍යාපනය රැක ගත යුතුය යන ස්ථාවරයේ තදින් සිටිමින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව මහජන තලයේ ප්‍රබල ලෙස හඬක් නැඟුවේය. ඒ පිළිබඳ “පෞද්ගලික විශ්වවිද්‍යාල – විලාසිතාව හා යථාර්ථය” යන මැයෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ද සම්පාදනය කොට පළ කළේය. ජාතික හෙළ උරුමයේ අධ්‍යාපන ලේකම් ලෙස හඳුන්වනු ලබන අනුරුද්ධ ප්‍රදීප් ඇමති එස්. බී. දිසානායක සමඟ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ කෙරුණු සාකච්ඡාවලදී තදබල තර්ක විතර්කවල පටලැවුණු අවස්ථා තිබී ඇත. අනුරුද්ධ ප්‍රදීප් ජාතික හෙළ උරුමයේ ඉදිරිම පෙළ සාමාජිකයෙකුව සිටියදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට සක්‍රීයව සහයෝගය දීමට ඉදිරිපත්වීය. විශ්ව විද්‍යාල පාලක මංඩල වලට දැන් පිටතින් පත් කෙරෙන්නේ උසස් අධ්‍යාපන ඇමතිගේ විශ්වාසවන්තයන් ය යන විවේචනයත් සමඟ එකට ගත් කළ අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් පහ කිරීමේ තීරණය ගන්නා ලද පාලක මංඩල රැස්වීමේදී එහි ඇතැම් සාමාජිකයන් අනුරුද්ධ ප්‍රදීප් දරන දේශපාලන අදහස් හේතුවෙන් ඔහු සේවයෙන් නෙරපිය යුතු යැයි ප්‍රකාශ කළේය යන්න දේශපාලන පළිගැනීම පිළිබඳ චෝදනාවට අනුබල දෙන්නකි. ඇමති එස්. බී. දිසානායක ‘ප්‍රදීප් ඕනෑම අවස්ථාවක විශ්ව විද්‍යාලයෙන් නෙරපා දැමිය හැකි‘ යැයි පුවත් පතකට කළ ප්‍රකාශය ද මෙම කරුණ සනාථ කරන්නක් ලෙස සළකනු ලැබේ.

මීට පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත මහාචාර්ය ධූරය දැරූ නලින් ද සිල්වා ද ඔහුගේ දේශපාලන අදහස් නිසා සේවයෙන් නෙරපා හැරීමෙන් අපගේ විශ්ව විද්‍යාලයන්හි කීර්ති නාමයට ඇතිවූයේ ඉමහත් කැළලකි. අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම ක්‍රියාත්මක වන්නට හැරියහොත් එය අපගේ විශ්ව විද්‍යාලයන්ට එකතු වන තවත් එබඳු කැළලක් වනු ඇත. අප එකම වරද දෙවරක් කළ යුතු නොවේ. අප ඔහුගේ සියලු අදහස් එකහෙළා පිලි නොගත්තද නලින් ද සිල්වා විශ්ව විද්‍යාලයේ සිටිය යුතුම බුද්ධිමතෙකු බව කීමට අප පැකිළිය යුතු නැත. ඔහු දාර්ශනිකව සහ න්‍යයායිකව ලෝකය ගැඹුරින් විමසමින් තම අදහස් නොබියව ප්‍රකාශ කිරීමෙන් විශ්ව විද්‍යාලයේත් රටේත් බුද්ධි මණ්ඩලයත් මහජන සංවාද තලයත් පුළුල් කිරීමට ඉමහත් දායකත්වයක් සැපයීය. ඔහුගේ උග්‍ර ජාතිකවාදී දේශපාලන අදහස් විවේචනය කරන්නෙකු පවා එනිසාම ඔහුගේ බුද්ධිමය දායකත්වය නොසළකා හරින්නට නොපෙළඹිය යුතුයැයි සිතමි. අනුරුද්ධ ප්‍රදීප් පිළිබඳ ද අපට කියන්නට ඇත්තේ එබඳුම අදහසකි. අධ්‍යාපනයට අදාළ කරුණු පිළිබඳ ගැඹුරින් සිතන්නට යොමු වෙමින් එම අදහස් විශ්ව විද්‍යාලය තුළත් මහජන පරිමණ්ඩලයේත් නොබියව පළ කරමින් වාද විවාද කරමින් ඒ පිළිබඳ කතිකාව පුළුල් සහ ගැඹුරු කරන්නට අනුරුද්ධ ප්‍රදීප් තම තරුණවියේදී දැනටමත් බෙහෙවින් දායක වී තිබේ. ශාස්ත්‍රීය දැනුම ගැඹුරින් වර්ධනය කරගනිමින් ලාංකේය සමාජයට වඩා ප්‍රබල බුද්ධිමය දායකත්වයක් සැපයීමේ අවස්ථාව ඔහුට ලැබීමට නම් ඔහු විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දිගටම රැඳී සිටීම බලවත් පිටිවහලක් වනු ඇත. අනුරුද්ධ ප්‍රදීප් ගේ බුද්ධිමය දායකත්වයේ ශක්‍යතාව පිළිගන්නටත් එය අගය කරන්නටත් අප ඔහුගේ ජාතිකවාදී හෝ වෙනත් දේශපාලන අදහස් සමඟ එකඟ වීම අවශ්‍ය නොවේ.

මේ කරුණු සළකා බලමින් අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපා හැරීම දේශපාලන පලිගැනීමකැයි එල්ල වී ඇති චෝදනාව නිවැරදි කරන්නට තවමත් අවස්ථාව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලක මංඩලයටත් තිබේ. තමා තම දේශපාලන ප්‍රතිවාදීන් සමඟ උරණ නොවන බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක කියනු මා අසා තිබේ. අනුරුද්ධ ප්‍රදීප් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පැහැදිළි ප්‍රකාශයක් කරමින් මේ බව ඔප්පු කරන්නට ඇමති එස්. බී. දිසානායකට අවකාශ තිබේ. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප්‍රකාශ කොට ඇති පරිදි අනුරුද්ධ ප්‍රදීප් ගේ සේවය පිළිබඳ කරුණ තනිකරම විශ්ව විද්‍යාල පාලක මංඩලයේ කටයුත්තක් බවත් ඊට තමාගේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවත් ඇමති එස්. බී. දිසානායකට ප්‍රකාශ කිරීමට හැකිය. එවිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න සහ පීඨාධිපතිවරුන්වන මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය පී. අතුකෝරල, මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය මොහාන් ද සිල්වා සහ මහාචාර්ය ස්වර්ණා පියසිරි සහ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙනිය, ගරු අයිවන් පෙරේරා පියතුමා, ආචාර්ය කිරින්දේ අස්සජී සවාමීන් වහන්සේ, ආචාර්ය එල්. ඒ. ඩබ්ලිවු. සිරිසේන, ආචාර්ය ආර්. එම්. කේ. රත්නායක සහ ටී. ධර්මාරාජා වැනි බැහැරින් පාලක මණ්ඩලයට පත් කොට සිටින සාමාජිකයන්ටත් එක්ව ඊළඟ පාලක මණ්ඩල රැස්වීමේදීම අනුරුද්ධ ප්‍රදීප් තම පශ්චාත් උපාධි නිබන්ධය විභාග කිරීම සඳහා විශ්ව විද්‍යාලයට භාර දුන් දිනය සටහන් කිරීමේදී සිදුවී ඇති දෝෂය නිවැරදි කොට නියම දිනය සටහන් කළ හැකිය. එමඟින් මෙම කරුණ සම්බන්ධයෙන් අපගේ විශ්ව විද්‍යාලවල පැවති සම්ප්‍රදාය අනුව යමින් විභාග ප්‍රථිඵල නිකුත්කරන තෙක් අදාළ කථිකාචාර්යවරයා කථිකාචාර්ය (පරිවාස) තනතුර වෙනුවට කථිකාචාර්ය (තාවකාලික ) තනතුරට පත්කොට ඔහු විභාගයෙන් සමත්වුවහොත් නිබන්ධය විශ්ව විද්‍යාලයට භාර දුන් දින සිට පසුවලංගු වන පරිදි ඔහු කථිකාචාර්ය තනතුරෙහි ස්ථිර කිරීම සඳහා අවස්ථාව අනුරුද්ධ ප්‍රදීප්ටද ලබා දිය හැකිය.

මෙබඳු ක්‍රියාමාර්ගයකට මඟ පෑදීමෙන් තම මහාත්මභාවය සනාථකරන්නට ඇමති එස්. බී. දිසානායකට අවස්ථාව ලැබෙයි. දක්ෂ තරුණ බුද්ධිමතෙකු දේශපාලන අදහස් මත විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට හවුල් වීය යන චෝදනාවෙන් නිදහස් වන්නට පාලක මංඩල සාමාජිකයන්ට අවස්ථාව ලැබෙයි. මෙම කටයුත්තේදී සර්වාගමික සමුළුවේ නායකයෙකු මෙන්ම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිද වන මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ගේ ධර්මානුකූල මඟ පෙන්වීම විශ්ව විද්‍යාල පාලක මංඩලයට ලැබෙනු ඇතැයි යන්න අපගේ බලවත් විශ්වාසයයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )