සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්

සරසවි ගුරු -ශිෂ්‍ය සබඳතා පිළිබඳ ගැටලුව සහ සිවිල් සමාජය තුළින් මතුවන සයිබර් මැරකම්
කුමුදු කුසුම් කුමාර


මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

අනුරුද්ධ ප්‍රදීප් කථිකාචාර්යවරයා සේවයෙන් පහකිරීම විවේචනය කරමින් මා රාවය පුවත්පතට ලියූ ලිපිය මුල් කොට ගෙන මා අනුරුද්ධ ප්‍රදීප් ගේ රැකියාව වෙනුවෙන් පෙනී සිටියත් තවත් තරුණ කථිකාචාර්යවරයෙකුගේ රැකියාව අහිමි කිරීමට යටි උගුල් යෙදූ බවටත් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවටත් ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට චෝදනා නඟා තිබුණි. දෙවනුව කී ශිෂ්‍යයන් දෙදෙනා ගේ අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමෙන් මා ඔවුන් දෙදෙනා පිළිබඳ ඇති වෛරයත් එනිසා පළිගැනීමත් පෙන්නුම් කරන බව ඔවුහු සඳහන් කළෝය. මා එලෙස ඔවුන් සමඟ වෛර බැඳීමට හේතුව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ විසින් මා පිළිබඳ කළ දේශපාලන විවේචන බවත් එම විවේචන කළේ ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා නොව අන් අය බවත් එහෙයින් ඔවුන් නොකළ දෙයකට මා ඔවුන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගත් බවත් ඔවුහු සඳහන් කළෝය. ඔවුන් මෙයින් පෙන්නුම් කරන්නට තැත් කරන්නේ මා දේශපාලන සුචරිතවාදයෙකු වශයෙන් පෙනී සිටින සදාචාරවිරෝධියෙකු බවයි. ඒ අනුව ඔවුන් මා තක්කඩියෙකු, අමනයෙකු යනුවෙන් හඳුන්වමින් හෙළා දකියි. ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එල්ල කොට ඇති මෙම චෝදනා දෙකම අසත්‍ය බව මම දැනටමත් පෙන්වා දී ඇත්තෙමි.

පළමුව, මා මීට වසර 10කට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ තරුණ කථිකාචාර්යවරයෙකු යටි උගුල් අටවා සේවයෙන් පහ කරන තැනට වැඩ සැකසුවේ යැයි නගා ඇති චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මා එවැන්නක් කිසි කලෙක කර නැත. මා දන්නා පරිදි එම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ තාවකාලික සහාය කථිකාචාර්යවරයෙකු වශයෙන් නියමිත වසර දෙකක කාලය සේවය කොට අවසන් වූ පසු ඔහුගේ සේවා කාලය අවසන් වීය. ඉන් පසුව ඔහු එම අධ්‍යයන අංශයේ ස්ථිර සේවයට ඉල්ලුම් කොට බඳවා නොගත්තේ නම් සහ ඒ පිළිබඳ චෝදනාවක් ඇතොත් එය එල්ල කළ යුත්තේ එම අධ්‍යයන අංශයටය, එහි සාමාජිකයන් වන තම ගුරුවරුන්ට සහ සගයන්ටය. වෙනත් අධ්‍යයන අංශයක කථිකාචාරයවරයෙකු වන මා හට දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ගුරුවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය තීරණය කළ හැකි යැයි කියන්නෙකු එක්කෝ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරයෙකු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ගැන නොදන්නෙකි, නැතහොත් හිතා මතා පාඨකයා නොමඟ යවන්නෙකි. මෙම කථිකාචාර්යවරයා විශ්වවිද්‍යාලයේ සේවය කළ අවධියේ ඔහු හා මා අතර සිදුවූ මට මතක වැදගත් සිදුවීම නම් ඔහු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ‘එක්ස්‘ කණ්ඩායමේ දේශපාලන “න්‍යාය“ ඉගැන්වීමට මුදල් අයකරන්නේ යැයි සාක්ෂ්‍ය සහිතව ශිෂ්‍යයන් මට කළ පැමිණිල්ලක් අනුව යමින් මා එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමයි. ඔහු ප්‍රසිද්ධියේ මෙම කටයුත්ත කළේය. ගුරුවරයෙකු වශයෙන් මම එය ප්‍රසිද්ධියේ විවේචනය කළෙමි. ඒ පිළිබඳ ඔහු මා හා උරණ වූ බව මම දනිමි. මෙම සිදුවීම මුල්කොට ගෙන මා නිසා එම කථිකාචාර්යවරයා ට විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය තනතුරක් ලැබීමේ අවස්ථාව අහිමි වූ බවට ගොඩ නඟා ‘‘එක්ස්‘ කණ්ඩායම‘ විසින් දේශපාලන වාසි තකා ප්‍රචාරය කරනු ලැබූ කතන්දරය දැන් එම කථිකාචාර්යවරයා ගේ අනුගාමිකයන් අත පුරාණොක්තියක් බවට පත්ව තිබේ. මට එරෙහිව එල්ල කළ මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යයකි. මා දැනගත් පරිදි කිසිම අවස්ථාවක එම කථිකාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයයේ කථිකාචාරය තනතුරකින් පහකොට නොමැත. ඔහුට මුලින් ලැබුණු වසර දෙකක තාවකාලික සහාය කථිකාචාර්ය තනතුරේ කාලය අවසන් වූ පසු, පසු අවස්ථාවක ඔහු කොන්ත්‍රාත් පදනම මත වසරක් කාලයක් සඳහා ද බඳවා ගෙන කථිකාචාර්ය තනතුරේ සේවය කොට ඇත. දැන් මා මෙම කරුණු ඉදිරිපත් කළ පසු ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ මට එරෙහිව එම චෝදනාව තවදුරටත් ඉදිරිපත් කිරීමෙන් වැළකී ඇත.

දෙවනුව, මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් බැහැර වීමෙන් මා ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බවද අසත්‍යයකි.

ඔවුන් සඳහන් කරන සිසුන් දෙදෙනා ශාස්ත්‍රපති පාඨ මාලාව (course work) හැදැරීමේදී ඔවුනට තම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම මට අධ්‍යයන අංශයෙන් පවරා තිබුණි. මෙය එම සිසුන් දෙදෙනා සහ මා අතර අන්‍යොන්‍ය එකඟතාව මුල් කොට ගෙන සිදු වූවකි. ඔවුන් දෙදෙනා ගේ නිබන්ධ සම්පාදනය සඳහා අධීක්ෂකයෙකු බැගින් පත් කිරීම සිදු වූයේ ඔවුන් තම පාඨමාලා කටයුතු සාර්ථකව නිමකළ පසු ව පොදුවේ එම පාඨමාලාව සමත් අනෙක් සිසුන් ද ඇතුළු සියලු දෙනට නිබන්ධ අධීක්ෂකයන් පත් කෙරුණු අධ්‍යයන අංශ රැස්වීමකදී ය. එහිදී ගුරුවරුන්ට සිසුන් අධ්‍යයනය කරන මාතෘකා පිළිබඳ තමන් වෙත ඇති දැනුම මුල් කොට ගෙන තමන් පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් ම හෝ වෙනත් සිසුන් නිබන්ධ අධීක්ෂණය සඳහා තෝරා ගත හැක. එය ගුරුවරයාගේ කැමැත්තයි. ඒ අනුව මම පර්යේෂණ සැළැස්ම සඳහා මඟ පෙන්වීම කළ සිසුන් නොව වෙනත් සිසුන් නිබන්ධය අධීක්ෂණය සඳහා සඳහා තෝරා ගත්තෙමි. එයට මා හට පූර්ණ අයිතියක් තිබේ. අදාළ අධ්‍යයන අංශ රැස්වීමේදී එසේ කළ එකම ගුරුවරයාද මා නොවේ. පර්යේෂණ සැළැස්ම සඳහා මා මඟ පෙන්වීම කළ සිසුන් දෙදෙනාගේ නිබන්ධ අධීක්ෂණය සඳහාත් ගුරුවරුන් ඉදිරිපත් වු අතර සිසුන්ට ඒ බව ලිඛිතව දැනුම් දෙන ලදී. එම සිසුන් දෙදෙනා කාර්යාලයට පැමිණ එම ලිපි භාරගෙන ඇත. මෙම සිසුන් දෙදෙනාගෙන් අයෙකුට මේ අතරතුර ශිෂ්‍යත්වයක් ලැබී ඇය විදේශගත වීම වෙනත් සිදුවීමකි. ඇයට අවශ්‍ය වීනම් ඇයට මෙරට රැඳී සිට නිබන්ධ රචනයෙහි යෙදීමට කිසිදු බාධාවක් අධ්‍යයන අංශයෙන් සිදු වී නැත. මේ බවට අධ්‍යයන අංශය සාක්ෂ්‍ය දරනු ඇත. ඇයට ලැබුණු නිබන්ධ අධීක්ෂකයා පිළිබඳ කිසියම් ගැටලුවක් ඇයට වී නම් ඒ පිළිබඳ අධ්‍යයන අංශයට කරුණු දැක්වීමටද ඇයට අවකාශ තිබුණි. මා දන්නා තරමින් ඇය එසේ කළේද නැත. ශිෂ්‍යයෙකුට අධීක්ෂකයෙකු පත් කළ පසු අවශ්‍ය වන්නේ නම් ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කිරීම නිරතුරුව සිදුවන්නක් බව ප්‍රසිද්ධ ලේඛන බවට පත්වන විශ්ව විද්‍යාල පාලක මංඩල වාර්තා කියවා බැලීමෙන් දැන ගත හැකිය. මෙම සිදුවීමට අදාළ අනෙක් ශිෂ්‍යයා දැනට තම නිබන්ධ සම්පාදන කටයුත්තෙහි නිරතව සිටින බව මගේ වැටහීමයි. ශිෂ්‍යයන් හා වෛර බැඳ ඔවුන්ගෙන් පළිගන්නා ගුරුවරු හෝ අධ්‍යයන අංශ හැසිරෙනු ඇත්තේ මෙසේ නොවේ. එහෙයින් මා යටතේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදී සිටි තම දේශපාලන කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු අධීක්ෂණයෙන් මා බැහැර වීමෙන් ඔවුනට තම අධ්‍යයන කටයුතු වල යෙදීමේ අවස්ථාව අහිමි කළ බව ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ කීම සම්පූර්ණ අසත්‍යයකි.

මා පිළිබඳ ‘ප්‍රැක්සිස් සාමුහිකය‘ කළ දේශපාලන විවේචන හේතුවෙන් පළිගැනීමට මා ඉහත සඳහන් ශිෂ්‍යයන් දෙදෙනා මගේ අධීක්ෂණයෙන් ඉවත් කළේය යන චෝදනාවෙන් මොවුන් කියා සිටින්නේ මට අවශ්‍ය වී නම් එම සිසුන් දෙදෙනා නිබන්ධ අධීක්ෂණය සඳහා භාර ගත හැකිව තිබුණු බවයි. මා එසේ නොකළේ මන්ද යන්න ප්‍රසිද්ධියේ පැහැදිළි කිරීමට විශ්ව විද්‍යාලයේ ආයතනික පද්ධතියේ සේවය කරන ගුරුවරයෙකු වශයෙන් මට අවසරයක් නොමැත. ගුරුවරයා ශිෂ්‍යයන් පිළිබඳ ඇගයීම් ඇගයීම ඉදිරිපත් කළ යුත්තේ ශිෂ්‍යයාට පෞද්ගලිකවය. මා විශ්ව විද්‍යාලයේ ආචාර ධර්ම පද්ධතියෙන් බැඳී ඇතැයි යන්නේ අරුත එයයි. එම හේතු ගුරුවරයෙකු වශයෙන් මා අධ්‍යාපනය පිළිබඳත් ගුරු-ශිෂ්‍ය සබඳතා පිළිබඳත් දරන අදහස් හා බැඳී පවතියි. ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර පවතින සම්බන්ධය වෘත්තීයභාවය සහ අන්‍යොන්‍ය විශ්වාසය සහ ගරුකිරීම මත පදනම් විය යුතුය යන්න පොදුවේ පිළිගැනෙයි. එහෙයින් ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර මතභේද ඇතිවෙතොත් ඒවා ශිෂ්ඨ සම්පන්න ආකාරයට (civility) විශ්ව විද්‍යාල ආයතනික ව්‍යුහය තුළ විසඳා ගැනීමට හැකිවිය යුතුය. සිසුන් අධීක්ෂණය සඳහා මා ඉදිරිපත්නොවීම පළිගැනීමක් වන්නේ මා එසේ කිරීමෙන් සිසුන්ට මගේ දැනුමෙන් ප්‍රයෝජනයක් ලැබීමේ අවස්ථාව අහිමි වී අසාධාරණයක් විණැයි පිළිගන්නේ නම් පමණි. ප්‍රැක්සිස් සාමූහිකයවත් මට එසේ චෝදනා කරන ශිෂ්‍යාවවත් එසේ සිතන්නේ යැයි ඔවුන් මා ගැන කියන දෑ අනුව නම් නිගමනය කළ නොහැක. ඇය විදේශ ශිෂ්‍යත්වයට ඉල්ලුම් කළේ මගේ මඟ පෙන්වීම යටතේ නිබන්ධ රචනයට අවස්ථාව නොලැබී ගිය නිසා යැයි ඇය කියනු ඇත්දැයි මම නොදනිමි.

එසේනම් මොවුන් එකතු වී මට මෙලෙස අභූත චෝදනා නැඟීමට හේතුව කුමක් ද? දේශපාලන උනන්දුවක් ඇති අය විමසා බැලිය යුතු කරුණ මෙයයි. මා අයුතු ලෙස සදාචාර විරෝධියෙකු ලෙස හංවඩු ගසා දේශපාලන තලයෙන් පිටුවහල් කිරීමට උත්සාහ කිරීම සේවය කරන්නේ කුමකටද? දේශපාලන ක්‍රියාකාරිණියක් සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියක් වන ප්‍රභා මනුරත්න මේ පිළිබඳ අදහස් දක්වමින් අපට කියා සිටියේ ‘ප්‍රැක්සිස් කණ්ඩායමේ’ මෙම දුර නොදක්නා දේශපාලනය අන් අය නිහඬ කිරීම අරමුණු කරගත් සයිබර් මැරකම් සහ (cyber bullying) සහ වෛරී කථනයෙන් (hate speech) යුක්තබවයි. එන්න එන්නම මෙම ආකාරයේ දාමරිකකම් විවෘත සෞඛ්‍ය සම්පන්න සංවාදයේ තැන ගැනීම කණගාටුවට කරුණකි. එවැනි මැදිහත්වීම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දේශපාලනීකරණය වීමේ ගැටළුවෙන් අවධානය වෙන අතකට යොමු කිරීම එක පැහැර කරන්නට සමත් වෙයි. ඊනියා වාම කණ්ඩායම් විසින් කරනු ලබන දේශපාලනිකව අභිප්‍රේරණය ලද මෙම සයිබර් මැරකම් හමුවේ අප කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා මාවත් සැම දෙනට විවෘතව තැබීමට කටයුතු කිරීම බව ඇගේ අදහස වීය.

මෙම සිදුවීමෙහි හරයෙහි ඇත්තේ ගුරු -ශිෂ්‍ය සබඳතා ‘ප්‍රැක්සිස් සාමුහිකයේ‘ දේශපාලන ක්‍රියාකාරීත්වයට යටත් විය යුතුය යන ඔවුන්ගේ අදහසයි. අධ්‍යාපන තලයේ කටයුතු දේශපාලන තලයට, මහජන තලයට යටත් කිරීම මෙහි අරමුණයි. මෙම මතය න්‍යායිකව ගත් කළ සමාජයේ අධ්‍යාපනය සහ දේශපාලනය වැනි වෙනස් පරිමණ්ඩලයන් ඒ එක එකට හිමි ගතිකයන්ට අනුව ක්‍රියාත්මක වන්නට නම් ඒවා එකිනෙකින් සාපේක්ෂව පැවැතිය යුතුය යන්න ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව මෙය ප්‍රකට කරන්නේ Alain Finkielkraut තම Defeat of the Mind කෘතියේ තර්ක කරන පරිදි අධ්‍යාපනය පිළිබඳ පශ්චාත්-නූතනවාදී ආකල්පය කි. මෙම ආකල්පය පන්ති කාමරය ගුරුවරයාගේ දේශපාලන අදහස් ශිෂ්‍යයන්ට කියා දීමේ ස්ථානයක් බවට පත් කිරීමේ ලිබරල් පිළිවෙත ද සමඟ ගැලපෙයි.

ඉතින්, ‘ප්‍රැක්සිස් සාමුහිකයේ‘ මෙම සමාජ විරෝධී මැරකම් පිළිබඳ කතා කිරීමේ වගකීම පළමුකොටම ඇත්තේ ‘එක්ස්‘ කණ්ඩායමේ සමාජ විරෝධී දේශපාලනය විවේචනය කරමින් සමාජ වගකීමෙන් යුතු දේශපාලනයක් කරන්නෙමැයි පවසමින් ‘එක්ස්‘ කණ්ඩායමෙන් කැඩී ආ පිරිස් වලට ය. දෙවනුව, වත්මන් රජයේ එකාධිපති වැඩ පිළිවෙලට එරෙහිව අන්‍ය ජනවාර්ගික සහ ආගමික යනාදී පීඩනයට ලක්වන කොටස් වල මානව අයිතිවාසිකම් සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිරතුරව පෙනී සිටින සහ රජයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පිළිවෙතට එරෙහිව හඬ නගන පුද්ගලයන් සහ සිවිල් සංවිධානද ‘එක්ස්‘ කණ්ඩායමේ සමාජ විරෝධී දේශපාලනය ‘එක්ස්‘ කණ්ඩායමෙන් කැඩී ආ පිරිස් අත යළි පණ ගැන්වෙන අයුරු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි සිතමි. සිවිල් සමාජයෙන් පුද්ගලයන් සහ කණ්ඩායම් පළවා හැරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ‘එක්ස්‘ කණ්ඩායමේ දේශපාලනය මෙන් නොව මෙම නව ප්‍රවණතාව එන්නේ සිවිල් සමාජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල පැත්තෙන් වීම මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලියන කියන ක්‍රියාකරන අයගේ අවධානයට යොමු විය යුතුය. මා හට එල්ල කරන ප්‍රහාරයට සම්බන්ධ ‘ප්‍රැක්සිස් කණ්ඩායමේ‘ නායකයන් සහ ඉදිරිපෙළ සාමාජිකයන් ‘රැඩිකල්’ දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම්වල ඉදිරියෙන් සිටින්නන් වන අතර ඔවුන් ජනවාර්ගික අධ්‍යයන කේන්ද්‍ර, ආසියාවේ ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා තොරතුරු සහ විශ්ලේෂණ සපයන පර්යේෂණ ආයතන, සාමය හා ගැටුම් නිරාකරණය පිළිබඳ පාඨමාලා පවත්වන උප්සලා විශ්ව විද්‍යාලය සහ ‍ෆ්‍රිබෝර්ග් විශ්ව විද්‍යාලය, සහ ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය වැනි සිවිල් සමාජ, ශාස්ත්‍රාලීය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වල රැකියා සහ අධ්‍යයන කටයුතු කොට හෝ කරමින් සිට ඇත. ඒ අතර ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී පශ්චාත් උපාධි ශිෂ්‍යයෝ ද‍ වෙති.

මේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? මා මෙය දකින්නේ සිවිල් සමාජ සහ රාජ්‍ය නොවන ආයතන සහ මානව අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීමට යැයි අධ්‍යාපනය දෙන ශාස්ත්‍රාලීය ව්‍යුහ සහ ඇමෙරිකානු රාජ්‍ය ශිෂ්‍යත්ව අරමුදල් ලාභීන් තුළින්ම විසම්මුතිය මර්ධනය කිරීමේ හරයෙන් ෆැසිස්ට්වාදී වන ලක්ෂණ මතුව ඒමයි. අප මෙය වටහා ගන්නේ කෙසේද? මා යෝජනා කරන්නට කැමැත්තේ මෙය පවත්නා දේශපාලන තත්වයන් තුළ ඉහත සඳහන් කළ ආයතන ව්‍යුහයන්හි ලිබරල් සීමාවන් හෙළිදරව් වීමෙහි ප්‍රථිඵලයක් ලෙස මෙම ආයතන තුළට එන්න එන්නම වාම රැඩිකල් කොටස් ඇතුළු කර ගැනීමෙහි ප්‍රථිඵලයක් බවයි. වෙනත් අයුරකින් කියතොත් මෙම ලිබරල් ආයතන ව්‍යුහයන්ට අලුතින් බඳවා ගැනීමට වැඩි වැඩියෙන් ඇත්තේ අලංකාරිකයෙන් අති වාම සහ හරයෙන් ෆැසිස්ට්වාදී මත දරන ඊනියා රැඩිකල්වාදීන් ය.

අවසන් වශයෙන් කිය යුත්තේ, තරුණයන් දේශපාලනයට ඇදී එන්නේ තමන්ගේ අනන්‍යතාව සම්පාදනය කර ගැනීමටය. තම අනන්‍යතාව සකසා ගැනීමේ මඟ අනෙනෙකු සතුරා කොටගෙන ඔහු විනාශ කිරීම යැයි යන අදහස තරුණයන්ට කා වැද්දීම ලෝකයට යහපතක් නොකරයි. එය ලෝකයට වින කටියි. අපගේ තරුණ තරුණියන්ට හැමදාමත් ජනාන්දෝලකයන් ගේ (demagogues) අනුගාමිකයන් බවට පත්වන්නට සිදුවී තිබීම බලවත් අභාග්‍යයක් නොවේද?

kathika@gmail.com

Advertisements