පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු.

අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න.

ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි.

‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප‍්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස සංස්කාරක විසින් එම ලිපියේ කොටස් ගණනාවක්ම අත් හැර දමා තිබේ. එම කොටස් සඳහා මෙහි බලන්න.

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා
කැමිල පා(ග්)ලියා

Camille Paglia
කැමිල පා(ග්)ලියා

අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැතැ’යි යන මැසිවිල්ල නිතර අසන්නට ලැබෙන්නක්. මේ පිළිබඳව වැඩිදුර සිතා බලන්නට අපට ඉඟිšයක් සැපයෙන අදහසක් සුප්‍රකට අමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකාවක් පළ කළ අවස්ථාවක් මෑතදී අපට දැක ගන්නට ලැබුණා. ඒ කැනඩාවේ Globe and Mail (October 18, 2007) ජාතික පුවත්පතට කැමිල පා(ග්)ලියා ඉදිරිපත් කළ අදහස් තුළිනුයි.

1990 ගණන්වල Sexual Personae නමැති කෘතියෙන් බටහිර කලාවේ සහ සාහිත්‍යයේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහයක් සම්පාදනය කළ කැමිල පා(ග්)ලියා ලේඛිකාවක් මෙන්ම කළහකාරියක් ලෙස ද ප්‍රසිද්ධියට පත් වූ බව එම සම්මුඛ සාකච්ඡාව වාර්තා කරන Margaret Wente සදහන් කරයි.

“ ‘දේශපාලන නිවැරදිභාවය’ නාමයෙන් මත යටපත් කිරීම හෙළා දුටු පා(ග්)ලියා ස්ත්‍රීන්ට විශේෂ සහන සළසනවාට එරෙහි ස්ත්‍රීවාදිනියකි. ඇය යුධමය පරමාදර්ශ, වීරෝදාර සංස්කෘතිය සහ පිරිමි ගති ඇති පිරිමින් ප්‍රශංසාවට ලක් කරන්නියකි. Foreign Policy සහ Prospect යන සඟරා වලින් ලොව ‘මහජන බුද්ධිමතුන් 100 දෙනා’ අතරින් ඉහළම කෙනෙකු ලෙස ඇය නම් කරනු ලැබිණි.” මේ, මාගරට් වෙන්ටේ පා(ග්)ලියා හඳුන්වා දුන් ආකාරයයි.

කැමිල පා(ග්)ලියා මෙම පුවත් පතින් ඉදිරිපත් කළ විග්‍රහයෙන් පෙනීයන කරුණක් නම් උසස් රසවත් සාහිත්‍ය-කලා විචාරයක් නොමැතිකම අමෙරිකාවටත් බල පා ඇති කාරණයක් බවයි. ඊට හේතුව වශයෙන් ඇය දක්වන්නේ කුමක් ද? ඇගේ අදහස නම් –

‘‘පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා’’ යන්නයි.

අමෙරිකාවේ ‘අයිවි ලීග්’ විශ්ව විද්‍යාල ලෝකයා දැන හැඳින සිටියේ ප්‍රභූ පැළැන්තියේ සරසවි ලෙසයි. ගැඹුරු, ශාස්ත්‍රීය අධ්‍යාපනයට ඉහළ තැනක් දුන් ආයතන ලෙසයි. නමුත් ඒවා පශ්චාත් ව්‍යුහවාදයේ/ පශ්චාත් නූතනවාදයේ ග්‍රහණයට අසුවීම නිසා ඒවායේ අධ්‍යාපන මට්ටම කලා-සාහිත්‍ය විෂයයන් සම්බන්ධයෙන් ගත් කළ පිරිහුණු බවයි, පා(ග්)ලියා අවධාරණය කර සිටින්නේ.

අමෙරිකාවට පශ්චාත් ව්‍යුහවාදය/ පශ්චාත් නූතනවාදය මුලින්ම එන්නේ Ivy League නමින් හැදින්වෙන එරට මෙම ප්‍රභූ විශ්ව විද්‍යාල හරහායි. අද වන විට මෙම විශ්ව විද්‍යාලවල ප්‍රධාන පෙළේ පශ්චාත් ව්‍යුහවාදීන්ගේ/පශ්චාත් නූතනවාදීන්ගේ ගෞරවය අතුරුදහන්ව ගොස් තිබුණත්, ඔවුනට තවමත් ඒවා හි අව්‍යාජ බලයක් හිමිව ඇති බව පා(ග්)ලියා ගේ අදහසයි.

‘ඔවුන් ඊළඟ ශාස්ත්‍රඥ පරම්පරාව විනාශකොට තිබෙනවා. සාහිත්‍ය විචාරකයන්ගේ බාල පරම්පරාව අතර අළුත් රසවත් කටහඬවල් එකක්වත් නැහැ. මෙය ඛේදවාචකයක් ‍‍‍. අප ඉන්නා මේ 2007, මට පස්සේ එන පරම්පරාව කෝ කියලා මම සොයනවා.’’ පා(ග්)ලියා සිතන අන්දමට ‘ලෝක‍ය, දේශපාලනඥයන් සහ ජනප්‍රිය සංස්කෘතිය පිළිබද රසවත් සහ ජීවමාන ගද්‍ය ලියන එකම සාහිත්‍ය විචාරකයා හෝ විචාරිකාව’’ තමායි. ඇය අසන්නේ එසේ වී ඇත්තේ මන්ද? යන්නයි.

ඇගේ මේ ප්‍රකාශය අපට පිළිගත හැකිද? නොහැකි නම් ඇගේ මේ කියාපෑම සමග තරඟයට තැබිය හැකි අනෙක් ජීවමාන සාහිත්‍ය – කලා විචාරකයෝ කවරහුද?

ඇය දකින අයුරින් කලාව පිළිබද සමීක්ෂණයේ යෙදෙන පාඨමාලා (Survey Courses ) උගන්වන්නට සරසවි ගුරුවරුන් උනන්දු නොවීම අද විශ්ව විද්‍යාලයේ ඇති වැරුද්ද පෙන්නුම් කරන්නක්. ඈ කියන්නේ කලාව අරමුණු කෙරුනේ සාමාන්‍ය ප්‍රේක්ෂක සමූහයා සඳහා නමුත් ඔවුන් සඳහා කලාව, සාහිත්‍යය පිළිබද පාඨමාලා පවත්වන්නට අද සරසවි ශාස්ත්‍රඥයන් අතර උනන්දුවක් නොමැති බවයි.

ඉතින් පා(ග්)ලියා මින් අදහස් කරන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂක සමූහයාට, සරසවි සිසුන්ට කලාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දුනහොත් ඔවුන් ඉන් කලාව රස විඳින්නට ඉගෙන ගන්නවා, යන්න ද? එසේ නැතහොත් ඇය කියන්නේ එබඳු ශාස්ත්‍රීය අධ්‍යාපනයක්, උසස් විචාර කලාවක් බිහි කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් බව ද?

පා(ග්)ලියා තවදුරටත් තර්ක කරන්නේ අමෙරිකාවේ ප්‍රභු විශ්ව විද්‍යාල පශ්චාත් ව්‍යුහවාදීන්ගේ/පශ්චාත් නූතනවාදීන්ගේ බලයට නතු වී ඇති නිසා සම්භාව්‍ය කලාව හා සාහිත්‍යය පිළිබඳව උනන්දුව දක්වන්නන් ඒවායෙන් පිටමං කොට ඇති බවයි.

‘‘පශ්චාත් උපාධි පාසැලට ඇතුළු වී ෆූකෝ (පශ්චාත් ව්‍යුහවාදී/ පශ්චාත් නූතනවාදී න්‍යායධාරීන්ගේ කෘති) කියවන්නට කාලය ගත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඒක්කෝ පශ්චාත්- උපාධි පාසැලෙන් බැහැර වන්නට හෝ එහි දිගු කලක් ගෙවන්නට සිදු වී රැකියාව සොයාගන්නට නොහැකි වූ බව බොහෝ දෙනෙකු මට කියනවා’’ යැ යි පා(ග්)ලියා කියයි.

“ඔවුන්ට අවශ්‍ය වූ ඒකම දෙය ශ්‍රේෂ්ඨ සාහිත්‍යයේ සහ කලා කෘතීන් හි තමන් නිමග්න වීමයි. ඔවුන් ‘ගොඩයන්’’ (natives) හෝ දෝහීන් ලෙස සළකා පිටතට එළවා දමනු ලැබුවා. ඉතාමත් ජීවමාන සහ රසවත් මනස් අමෙරිකානු ශාස්ත්‍රාලයෙන් පිටතට එළවා දමා තිබෙනවා” යැයි පා(ග්)ලියා තවදුරටත් කියන්නීය. පා(ග්)ලියා කියා සිටින්නේ හාවඩ්, ප්‍රින්ස්ටන් හෝ බර්ක්ලි වැනි ප්‍රභූ විශ්ව විද්‍යාලවල සිටින ඇගේ පරම්පරාව විචාරය පිළිබඳ කාලයාගේ පරීක්ෂණය හමුවේ නොසැලී සිටිනු ඇති එකම එක කෘතියක්වත් බිහි කොට නොමැති බව ඉතිහාසය පෙන්වා දෙනු ඇති බවයි.

‘‘ඉගෙන ගැනීමක් ඉතුරුවෙලා නැහැ. එය අපභ්‍රංශයක්. මගේ පරම්පරාව ‘අයිවි ලීග්’ විශ්ව විද්‍යාලවලින් විශ්‍රාම ගිය විට ඔවුන්ගේ නම් අමතක කර දැමෙනු ඇති’’ යි, ඇය කියන්නීය.

ඒපමණක් නොව පශ්චාත් ව්‍යුහවාදී/පශ්චාත් නූතනවාදී දැනුම වැළඳගත් අය වාමාංශිකයන් බවත්, ඔවුන් මේවා උගන්වමින් සිට විශ්‍රාම යන්නේ මිලියනලාභී පොහොසතුන් ලෙසින් නමුත්, තම දූ දරුවන්ට ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්නට තම ධනය වැය කළ අමෙරිකානු දෙමව්පියන් බංකොළොත් වෙද්දී ඔවුන්ගේ දරුවන්ට අපේක්ෂිත ශාස්ත්‍රීය අධ්‍යාපනය අහිමි ව ගිය බවත් පා(ග්)ලියා කියයි.

පා(ග්)ලියා නියෝජනය කරන්නේ සාහිත්‍ය – කලා විචාරය පිළිබද අද්‍යතන කතිකාවේ එක් කටහඬක් පමණි. එම කතිකාවේ අනෙක් කටහඬවල් මොනවා ද? උදාහරණයක් ගතහොත් පශ්චාත් ව්‍යුහවාදය/පශ්චාත් නූතනවාදය වර්තමානයේ සාහිත්‍ය – කලා විචාරය පිරිහී ඇතැයි යන මැසිවිල්ල හා ඒකඟ වන්නේ ද? සාහිත්‍ය කලාව යනුවෙන් දෙයක් ඇතැයි ඔවුන් කියනු ඇත් ද? සාහිත්‍ය – කලා විචාරයක් අවශ්‍ය යැයි ඔවුන් කියනු ඇත් ද? අනෙක් අතට සාහිත්‍යය, කලාව යනුවෙන් දෙයක් නොමැති යැයි ඔවුන් කියන්නේ නම් ඒවා විචාරය කිරීමකුත් අවශ්‍ය නොවනු ඇති නොවේ ද? එසේ නොවන්නේ නම් ඔවුනගේ සාහිත්‍ය – කලා විචාරයේ පදනම විය හැක්කේ කුමනාකාර අධ්‍යාපනයක් ද?

තමා දේශපාලන වශයෙන් ලිබරල් – ප්‍රජාතන්ත්‍රවාදිනියකැයි පා(ග්)ලියා කියන්නීය. සාහිත්‍ය – කලා විචාරය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කළ ඇය සම්භාව්‍යවාදිනියක බව පෙනෙයි. පශ්චාත් ව්‍යුහවාදය/පශ්චාත් නූතනවාදය පිළිබඳ ඇගේ විවේචනයේ මූලයන් ඇත්තේ එහි ය.

ශ්‍රේෂ්ඨ සාහිත්‍යයේ සහ ශ්‍රේෂ්ඨ කලා කෘතීන් හි නිමග්නව සිටීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? සම්භාව්‍ය කෘතීන්හී නිමග්න වීමෙන්ම යමෙකු රසවත් සාහිත්‍ය – කලා විචාරිකාවක වන්නේ යැයි පා(ග්)ලියා කියන්නේ යැයි අපට සිතිය හැකි ද? එසේ නොමැති නම්, ශ්‍රේෂ්ඨ සාහිත්‍යය සහ කලාව හදාරන සිසුන් ඒ සමග ගොඩනගා ගත යුතු සම්බන්ධතාවය කෙබඳු එකක් ද? මේවාට පා(ග්)ලියාගේ සම්මුඛ – සාකච්ඡාවෙන් පිළිතුරු සැපයී නැතත් අපට ඇගේ අදහස් ඔස්සේ යමින් මේ ප්‍රශ්න ගැන සිතා බැලිය හැකිය.

පා(ග්)ලියාගේ Globe and Mail සම්මුඛ සාකච්ඡාව සම්පූර්ණ‍ෙයන් ඉංග්‍රීසියෙන් කියවීමට බලන්න පහත වෙබ් අඩවිය

පා(ග්)ලි‍යා සම්මුඛ සාකච්ඡාව

[කැමිල පා(ග්)ලියා ගේ විචාර ලිපි මෙහිදී කියවිය හැකිය salon.com ]

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )