කතිකා.ලංකා kathika.lk අඩවියට ඔබේ ඡන්දය දෙන්න

2013 ජූලි මස 29 දා දවල් 12 දක්වා දක්වා කතිකා.ලංකා kathika.lk අඩවියට ඔබේ ඡන්දය දෙන්න.

kathika.lk ට ඡන්දය දෙන්න

‘ලංකා‘ වෙබ් අඩවි නාම ලේඛනය විසින් 2013 වසර සඳහා හොඳම ‘ලංකා‘ වෙබ් අඩවි තේරීමේ තරඟයට කතිකා.ලංකා අඩවියද ඇතුළත් කොට තිබේ.

කතිකා.ලංකා හෝ kathika.lk වෙබ් අඩවියට පිවිස එහි සිරස්තලයට යාව ඇති ‘Best Web. lk 2013 Vote for Us‘ සඳහන් ලෝගෝව ඔබා ‘ලංකා‘ වෙබ් අඩවි නාම ලේඛනයේ පිටුව කරා ගොස් එහි Best Web. lk පිටුවෙහි Public Service and Educational Websites යටතේ ඉංග්‍රීසි ආකරාදී පිළිවෙලට දක්වා ඇති kathika.lk – ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහය – අඩවියට ඔබේ ඡන්දය දෙන්න.

ස්තූතියි! කතිකා.ලංකා

“මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

අර්ජුන පරාක්‍රම
අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්……………..

දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.

අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති………

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති කුමුදු කුසුම් කුමාර විසින් සංවිධානය කරන ලද සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයේ දෙවන කොටසයි.එම දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය.

පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? – දෙවන කොටස
මේ ආදී වශයෙන් උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඊට වඩා ප්‍රායෝගිකයි මම මේ දැන් කියපු දේවල්. ඒ අවදානමත් අභියෝගයක්, එහි වැදගත් කමත් අපට දකින්න පුළුවන් දීප්තිගේ ලිපි දෙක පොඩ්ඩක් පරීක්ෂා කලොත්. නමුත් මම මුලදි කිව යුතු දෙයක් තියනවා. මම හිතන්නේ දීප්ති විතරයි මේ සංකල්ප තුළින් (විශේෂයෙන්ම නූතනවාදී සංකල්ප) අපිට අදාළ යථාර්ථය තේරුම් ගැණීමට හෝ ඊට එරෙහි වීමට යම්කිසි විදිහේ ප්‍රයත්නයක් දරන්නේ. දීප්තිගේ මෙම සාර්ථක අසාර්ථක මධ්‍යයේ (Nexus) අපට එය දකින්නට පුලුවන්. අනෙක් අයගේ මැදිහත් වීම්වල ප්‍රයෝජනයක් නැහැ. මොකද බොහෝ විට බොරුවක් කරලා තියෙන්නේ. මන්ද එකක් අරගෙන කොකිස් අච්චුවෙන් වගේ කොකිස් හදලා තියෙනවා. දීප්ති විතරයි මේ සංකල්ප තුළින් ඇත්තෙන්ම අලුත් දෙයක් ලබා ගන්න උත්සාහ කරලා තිබෙන්නේ. මම මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්නේ ප්‍රවාද 8 හා 9 කළාපවල පළ වූ ලිපි දෙක ගැනයි.

දීප්තිගේ මෙම ලිපි දෙකටත් වඩා ඉතාම පුහුයි, බොළඳයි ප්‍රවාද කතුවැකිය. මෙම කතුවැකියෙන් පශ්චාත් නූතනවාදය ගැන කථා කරනවා. ඒකෙන් කරන්නේ මුලදි අපි කථා කලා වගේ, නම් දාන එකයි. අපට ඉතාම වැදගත් වන්නේ මේ ප්‍රායෝගික දෙයයි. එනිසා මා මෙය කියවන්නම්. “මෙවර ප්‍රවාද සඟරාවෙන් අපට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ පශ්චාත් නූතනවාදය යැයි හැඳින්වෙන සමාජ න්‍යාය ආශ්‍රය කොටගෙන සැකසුනු විග්‍රහයන් කීපයකි.” කවුද මේ කථා කරන “අප”, “එනම් සාම්ප්‍රදායික න්‍යාය ප්‍රවේශයන් හා විග්‍රහයන් වෙතින් අප ලබා ඇති බුද්ධිම සැප පහසුකම පශ්චාත් නූතනවාදය විසින් ඉතා දැඩි ලෙස ප්‍රශ්න කරනු ලබන හෙයිනි”. මේ “අප” යි මුලින් “අප” යි මට හිතෙන්නේ වෙනස්. මෙහි අන්තිමට කථා කරනවා “පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනාදී සංකල්ප මෙන්ම ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද්, උම්බර්ටෝ ඊකෝ වැනි පුද්ගල නම් ද අපට දැන් හුරුපුරුදු ඒවාය”. කවුද මේ “අප” මම නම් දන්නේ නෑ. ඇත්තෙන්ම මම දකින්නේ මේ “පශ්චාත් නූතනවාදී යකා” කියන තැන ඉඳල ඒ වෙනුවට “පශ්චාත් නූතනවාදී දෙවියෙක්” බිහි කරනවා මෙතන. මෙ පශ්චාත් නූතනවාදී දෙවියාට පුළුවන්ලු පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය දැඩි ලෙස ප්‍රශ්න කරන්න. ඒ සියල්ල ඈඳී තිබෙන්නේ එක්තරා විශේෂ නූලකිනි. ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද් කොහෙ නූල්ද මේවා. ඇත්ත වශයෙන්ම මම කියන්නෙ මෙතන තියෙන්නේ දන්න නම් ටික යොදා පෙන්වීමක් (Name dropping). මම දන්නවා ඒ නම් ටික. නමුත් දීප්ති ලඟ මේ වගේ වැඩ නැහැ. බලන්න මෙතන කියනවා “යුරෝපීය පශ්චාද් ප්‍රබුද්ධවාදී බුද්ධිමය ව්‍යාපෘතිය වූ ධනේශ්වර සමාජ න්‍යාය මෙන්ම මාක්ස්වාදය විසින් සංකල්පගත කරනු ලබන ප්‍රගතිය හා නවීනත්වය පිළිබඳ ඓතිහාසික දෘෂ්ඨිපතය විසංයෝජනය කිරීම හා එම දෘෂ්ඨිපතයම ප්‍රශ්න කිරීම පශ්චාත් නූතනවාදී චින්තනයේ ආරම්භක කාර්යයක් විය.

ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ඇත්තෙන්ම මම ජනාධිපති වුනොත් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ, විසංයෝජනය කියන වචනය තහනම් කරනවා. අද හැමදෙයම විසංයෝජනය කිරීමට කථා කරනවා. ඩෙරීඩා කවදාවත් මෙම වචනය භාවිතා කලේ නැහැ. මොකද ඒක සෙල්ලමක් නොවෙයි. එයින් කථා කරන්නේ මහා පුළුල් දෙශපාලනයක්. නමුත් විසංයෝගතාවාදය ගැන කථා කරන්නනම් තවත් දේශන 10ක් පමණ අවශ්‍ය වෙයි. මට වඩා ඒ ගැන දන්න කෙනෙක් අවශ්‍යයි. නමුත් මෙහි අවදානම මම කියන්නම්. මේක අපි ඉගෙන ගන්නා සෙල්ලමක් නම් ඒක බොහොම සරළ දෙයක්. මේක බොහෝම පැහැදිලිව පේනවා දීප්තිගේ ලිපිවල.

තව දුරටත් ප්‍රවාද කතුවැකිය මෙසේ කියනව. “කාර්මික ධනවාදය හෝ වේවා, සමාජවාදය හෝ වේවා වශයෙන් සංකල්ප ගත කරනු ලැබූ ඓතිහාසික ඉරණමක් කරා මනුෂ්‍ය වර්ගයා ගමන් කරන නවීනත්වයේ මහා ආඛ්‍යානය අපේ නූතනවාදී බුද්ධිමය නිර්මිතය ද වෙයි”.

මෙයින් පෙන්නුම් කරන්නේ, නවීනත්වයේ මහා ආඛ්‍යානය වෙනුවට මේ අය පශ්චාත් නූතනවාදයේ මහා ආඛ්‍යානය නිෂ්පාදනය කරන බවයි. මේක එකක් අයින් කරලා තව එකක් දා ගැනීමක්. දැන් බලන්න අපේ රැඩිකල් දේශපාලන සංස්කෘතිය හා බුද්ධිමය ව්‍යාපෘතීන්ට වැදගත් ආභාෂයක් ලැබෙනවලු, පශ්චාත් නූතනවාදයෙන්. ඒ වගේම මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතින් පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවි ‍කෙනෙක් කරලා තියෙන්නේ. Continue reading “මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?

“ මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතිං පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවිකෙනෙක් කරලා තියෙන්නේ?“

අර්ජුන පරාක්‍රම
අර්ජුන පරාක්‍රම

අර්ජුන පරාක්‍රම කැළණිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබා ඇමරිකාවේ පීට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය මෙන්ම ඩෙරීඩාගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කල සහ පසු කලෙක නිර්ප්‍රභු අධ්‍යයන (Subaltern Studies) ගුරුකුලයේ ප්‍රකාශිකාවක වූ ගයාත්‍රී චක්‍රවර්ති ස්පිවැක් යටතේ ආචාර්ය උපාධි පර්යේෂණ වල නිරත විය. භාෂා ප්‍රමිති ආධිපත්‍යහරනය කිරීම (De-Hegemonizing Language Standards) නම් ඔහුගේ කෘතිය පල්ග්‍රේව් සහ මැක්මිලන් සමාගම් විසින් පළ කර ඇත. ප්‍රමිතිගත භාෂා සහ භාෂා ප්‍රමිතිකරණයේ ප්‍රභු ස්වභාවයට එරෙහිව ශ්‍රී ලාංකික ඉංග්‍රීසිය ප්‍රති නිදර්ශනයක් ලෙස මෙහි සාකච්ඡා කෙරේ. භාෂාව සහ කැරැල්ල (Language and Rebellion)නම් ඔහුගේ කෘතිය 1848 ගැමි කැරැල්ල යටත් විජිත පාලනයට එරෙහිව නිර්ප්‍රභු අරගලයක් ලෙස හඳුනාගන්නා අතර සමකාලීන අරගල සම්බන්ධයෙන් ඇති වැදගත්කම සාකච්ඡා කරයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ සේවය කල ඔහු එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කලක් කටයුතු කළේය. පසුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ ප්‍රධාන මහාචාර්යවරයා බවට පත්විය.දේශපාලන ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම දේශපාලන හා මැතිවරණ ප්‍රචණ්ඩත්වයන්ට එරෙහිව සිවිල් සංවිධාන ගොඩ නැගීමේ ලා ක්‍රියාකාරී විය.

language_and_rebellion

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියක කොටසකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැස ට ස්තුතිවන්තව ය. මෙම ලිපිය කොටස් වශයෙන් ‘කතිකා‘ වෙබ් අඩවියේ මුල් වරට පළ කෙරෙන්නේ 2009 නොවැම්බර් මසයි.

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ? – අර්ජුන පරාක්‍රම
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි.

ඒ පශ්චාත් නූතනවාදය එතැන අදාල වන්නේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවලටයි. සංවර්ධනය වූ සමාජවලටවත්, ඉහළින් සංවර්ධනය වූ සමාජවලටවත් නොවෙයි. ලියොතාද් මේ හැඳින්වීමේ නැවතත් පශ්චාත් නූතනවාදය නිර්වචනය කරනවා “As the incredibility towards meta narratives” කියල. Metanarratives යන්න පරිවර්තනය කිරීම තරමක් අපහසු වුවත් මා එය පරිවර්තනය කරනවා, ආඛ්‍යාන තෝරා බේරා ගැනීම සඳහා යොදන මූලික හා ප්‍රධාන ආඛ්‍යානයන් ගැන අවිශ්වාසයක් තමයි පශ්චාත් නූතනවාදය තුළින් පිළිබිඹු වන්නේ කියල. උදාහරණයක් ලෙස මාක්ස්වාදී විග්‍රහය, මුලු මනුෂ්‍ය සංහතියම විමුක්තිය කරා යන ඒ ප්‍රධාන ධාරාව, අන්න ඒ වගේ දේවල් ගැන තියෙන අවිශ්වාසය පශ්චාත් නූතනවාදයට තුඩුදුන් තේමාවක් ලෙස ගත හැකියි. The obsolescence of meta narratives – incredibility කියන්නේ අවිශ්වාසය. Obsolescence කියන්නේ ඒවා යල් පැනපු බව පෙන්නුම් කිරීම. The obsolescence of meta narrative apparatus of Legitimation කියන්නේ මා අර මුලින් කිවූ ප්‍රධාන, මූලික ආඛ්‍යානයන් වලින් ඇතිවන ක්‍රියාදාමයේ දී සම්මත කිරීමේ නොහැකියාවක් තිබෙනවා, ඒවා සම්මත කරන්න බැහැ, ඒවා යල් පැනලා. සම්ප්‍රදායික මාක්ස්වාදය වැනි ප්‍රධාන දේවලුත් එහෙමයි. ලියොතාද් කියන්නේ ඒ දැනුම හා ඒ අවබෝධය තුළින් පශ්චාත් නූතනවාදය ඇති උනා කියලයි. හැබැයි, අපි මතක තියා ගන්න ඕන එයා අර කියපු මුල් සංකල්පය. එනම් මේවා අදාළ වන්නේ වඩාත්ම ඉහළින් සංවර්දනය වූ සමාජවලට කියන එක. එය නැවත නැවත කියවෙනවා. හතර පස්වතාවක් කියැවෙනවා. එම පොතේම ඔහු කියනවා අපට ප්‍රධාන හෝ මහා ආඛ්‍යානයන්ගේ පිහිට පතන්නට දැන් නොහැකියි. කුඩා ආඛ්‍යානයන් පරිකල්පනීය නිර්මාණවල ඉතා උසස් හරය ඇති අවස්ථාවන් ලෙස අප සලකනවා කියලා. අර ප්‍රධාන ආඛ්‍යානයන් සමස්ත සමාජයම තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය කියන එක එතරම් වලංගු නැහැ. එහෙත් මෙහි පසු නූතනවාදය කියලා මම හඳුන්වන පශ්චාත් නූතනවාදයේ modernism හෙවත් නූතනවාදය යන පදයත් දැන් පශ්චාත් නූතනවාදය කියලා මම හැදින් වූ ලියොතාද්ගේ නිර්වචනයත් මතක තියාගෙන අපි ටිකක් පස්සට යමු.

පශ්චාත් නූතනවාදයක් වෙන්න නම් ඊට කලින් නූතනවාදයක් කියා සංකල්පයක් තිබිය යුතුයි. ඒ සංකල්පයට ඉතිහාසයකුත් තිබෙනවා. ඒ ඉතිහාසය අපි බැහැර කළොත් එම ඉතිහාසයේ ප්‍රතිඵල අපට නැවත විඳින්න සිදු වෙනවා. මට මේක කියන්න පුළුවන් උදාහරණ දෙක තුනක් නොවෙයි රාශියක් අරගෙන. මම කිහිපයක් ගන්නම් මගේ ක්ෂේත්‍රයෙන්. ඇත්තෙන්ම මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉංග්‍රීසි විෂය ඉංග්‍රීසි අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යයන කලාවේ ශික්ෂණයක් (discipline) ලෙසට බිහි වූයේ පැහැදිලිවම යටත් විජිත ව්‍යාපෘතියේ එක වැදගත් අංගයක් හැටියටයි. ඊට කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එංගලන්තයේ, ඉගෙන ගන්න බැරි සමාජ කොටස් ලෙස සැලකුණු ගැහැණුන් හා කම්කරුවන් පමණයි ඉගෙන ගන්න පුළුවන් අය ඉගෙන ගත්තේ ලතින් හා ග්‍රීක් වගේ භාෂාවන්. ඉංග්‍රීසි බව පිට රටට අපනයනය කරන්න යටත් විජිත ව්‍යාපෘතීන්ට අවශ්‍ය උනාම ඉංග්‍රීසි වලට යම් ස්ථානයක් ලැබුණා. එය යම්කිසි ශික්ෂණයක් බවට පත් උනා. දැන් මේ ඉතිහාසය අපට හොර කරන්න බැහැ. ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි ශික්ෂණය තුළ මේ ඉතිහාසයේ විකාශනයක් ගැබ්වෙලා තියෙනවා. නූතනවාදයත් ඒ වගේ තමයි. නූතනවාදී ව්‍යාපෘතිය අහිංසක එකක් නොවේ.

තව උදාහරණ කීපයක් අපට දෙන්න පුළුවන්. තව උදාහරණයක් භාෂාවෙන්ම ගනිමු. Villain කියන වචනය ඔයාලා අහලා ඇති. එහි අර්ථය දුෂ්ටයා කියන එකයි. මේ දුෂ්ටයා කියන වචනයේ මූලික ඉඟිය ආවේ ගොවියා යන වචනයෙන්. ගොවියා කියන වචනය දුෂ්ටයා උනේ ගොවීන්ට භාෂාව පිළිබද ආධිපත්‍යය තිබූ නිසාද? ගොවීන් වැඩ කරන තැනක ගොවියා දුෂ්ටයා වන්නේ නෑනේ. අන්න ඒ නිසා තමයි මම මේවාට ඉතිහාසයක් තියෙනවා කියලා කියන්නේ.

ඉතිහාසය අමතක කරන්න බැහැ. පශ්චාත් නූතනවාදය විශ්වීගත කිරීමේදී මේ ඉතිහාසය බටහිර යුරෝපයේ යම්කිසි නිශ්චිත ස්ථානයක, නිශ්චිත ක්‍රියාවලියක, විශේෂයෙන්ම යටත් විජිත ව්‍යාපෘතියක් වැනි එකක එක්තැන් වීම හා සම්බන්ධ නූතනවාදයට ආ ප්‍රතික්‍රියාවක් හැටියට මේ පශ්චාත් නූතනවාදී ඉතිහාසය අපි අමතක කරනවා. එහෙම අමතක කරලා මේක හැමෝටම අදාළ, විමුක්තිය ලබා දෙන සංකල්පයක් හැටියට සලකනවා.

මම තව උදාහරණයක් පස්සේ පෙන්වන්නම්, නූතනවාදය හුදෙක් බටහිර පදනම් වූ එහි විකාශනය වූ දෙයක්. එම නූතනවාදය ගැන එක කියමනක් පමණක් විදහා පාන්නම්. මේ මෑතක ඇති වූ දෙයක්, බලන්න මේ නූතනවාදය අපට හිමි වුනු දෙයක් ද, වලංගු දෙයක් ද කියලා. මෙය ලියන්නේ මාෂල් බර්මන්. ඒත් මාක්ස්වාදී සම්ප්‍රදායකට එක් පැත්තකින් කියන එකක්. “ I will call this body of experience modernity”. මම මේ අත්දැකීමි රැස නූතනවාදය ලෙස හඳුන්වනවා …….. to be modern is to find ourselves in an environment that promises us adventure, power, joy, growth, transformation of ourselves and the world.” ඒ කියන්නේ බලය, සංතෝෂය, වර්ධනය, අපිමත්, ලෝකයත් විපර්යාස කිරීම. මේකයි නූතනවාදය කියන්නේ. මේකයිනූතන බව කියන්නේ. අපිට මේක හිමිද?

දැන් අපි පශ්චාත් නූතනවාදය ගැන සලකා බලමු. පශ්චාත් නූතනවාදය, පශ්චාත් නූතන බව ගැන ලියොතාද්ම කියන කියමනක් තිබෙනවා. මේක අපිට වලංගුද, අපිට අදාළද, අපේ අත්දැකීම්වලට අයිති ද කියන එක සලකා බලන්න. මේ නම්වත් මං දන්නේ නෑ. What then is the post modern? පශ්චාත් නූතන කියන්නේ මොකක්ද? What place does or does it nor occupying the vertiginous work of the questions hurled at the rules of imaginnaration මොන ස්ථානයක් ද මේක? මෙම පද්ධතියේ දක්වන (මේක බොහෝම දළ පරිවර්තනයක්) it is undoubtedly a part of the modern ඒක අනිවාර්යයෙන්ම නූතනයේ අංගයක්. All that have been received even yesterday ඊයේ පවා අපට ලැබුණු දේවල් must be suspected සැක කළ යුතුයි. What place does Sojan challenged සොජාන් මොන ස්ථානය ද අභියෝග කරන්නේ? The impressionist ……….what objectives do Picasso and Brack attack? පිකාසෝ හා බ්‍රාක් තර්ජනය කරන්නේ කාටද? මටද, සොජාන්ට. දැන් සොජාන්වත්, බ්‍රාක්වත්, පිකාසෝවත්, ඉම්ප්‍රෙෂනිස්ට්ලවත් ඇත්තෙන්ම අපේ ලෝකයට ආවේ යම් කිසි වෙන විකාශනයක් තුළ. ඒ නිසා ඒක වලංගු විය යුත්තේ වෙන කතන්දරයකට, වෙන ආඛ්‍යානයකට, මේ නම් ටික තව තියෙනවා. බියුරන්, බෝෂම්, මේවා මම දන්නේවත් නැහැ. අඩුගානේ පිකාසෝ, සොජාන් මම අහලවත් තියෙනවා. Continue reading පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?

දැන් කතිකා.ලංකා kathika.lk අඩවියට ඔබේ ඡන්දය දෙන්න

මෙතැන් සිට 2013 ජූලි මස 29 දා දවල් 12 දක්වා දක්වා කතිකා.ලංකා kathika.lk අඩවියට ඔබේ ඡන්දය දෙන්න.

kathika.lk ට ඡන්දය දෙන්න

‘ලංකා‘ වෙබ් අඩවි නාම ලේඛනය විසින් 2013 වසර සඳහා හොඳම ‘ලංකා‘ වෙබ් අඩවි තේරීමේ තරඟයට කතිකා.ලංකා අඩවියද ඇතුළත් කොට තිබේ.

කතිකා.ලංකා හෝ kathika.lk වෙබ් අඩවියට පිවිස එහි සිරස්තලයට යාව ඇති ‘Best Web. lk 2013 Vote for Us‘ සඳහන් ලෝගෝව ඔබා ‘ලංකා‘ වෙබ් අඩවි නාම ලේඛනයේ පිටුව කරා ගොස් එහි Best Web. lk පිටුවෙහි Public Service and Educational Websites යටතේ ඉංග්‍රීසි ආකරාදී පිළිවෙලට දක්වා ඇති kathika.lk – ‘කතිකා‘ අධ්‍යයන කවයේ අන්තර්ජාල වාර සංග්‍රහය – අඩවියට ඔබේ ඡන්දය දෙන්න.

ස්තූතියි! කතිකා.ලංකා

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි

රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි
ලක්මාලි හේමචන්ද්‍ර

සිතිවිලි මඟින් භාෂාව අපවිත‍්‍ර කළ හැකි නම් භාෂාව මඟින් සිතිවිලි අපවිත‍්‍ර කිරීමටද හැකි වේ.
ජෝර්ජ් ඕර්වෙල්, 1984

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නීති විරෝධි ඒකරාශි කිරීමකට සහභාගි වීමේ බරපතල වරදට රිමාන්ඞ් භාරයට ගෙන ඇත.

ශි‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ඉංගී‍්‍රසි පුවත්පතක මෙම සිද්ධිය ගැන අදහස් දක්වන පාඨකයෝ සංජීව බණ්ඩාරව සදාකාලිකව රිමාන්ඞ් භාරයේ තබන ලෙසට ඉල්ලීම් කරති, නීති විරෝධි ලෙස හැසිරෙන ශිෂ්‍යයන්ව පාලනය කිරීම ගැන රජයට ප‍්‍රශංසා කරති. මහජනතාවගේ මුදල් නාස්ති කිරීම සහ ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කිරීම ගැන ඔහුට බැණ වදිති. සංජීවගේ කාර්යය අධ්‍යයනය කිරීම විනා ශිෂ්‍යයන් කලබල කිරීම නොවන බව ඔහුට මතක් කර දෙති. එක් පාඨකයෙක් ඔහුට අනතුරු අඟවා පවසන්නේ මා උපන් 89 වර්ෂයේ භීෂණ සමයට රට නැවත නොගෙනිය යුතු බවයි. එක්තරා රූපවාහිනි සාකච්ඡාවකදී සංජීවගෙන් අසනු ලබන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයේ මීළඟ පියවර රජයට එරෙහිව අවි අතට ගැනීමද යන්නයි.

උද්ඝෝෂණ පාගමනකට සම්බන්ධ වන ශිෂ්‍ය නායකයකුව අත්අඩංගුවට ගන්නා මුත් තංගල්ල ප‍්‍රදේශයේ මස් කඩ ගිනි තියන සිංහල රාවය චීවර ධාරීන් අත් අඩංගුවට නොගන්නා රාජපක්ෂ රෙජිමයේ දෙබිඩි පිළිවෙත මම ප‍්‍රශ්න නොකරමි. මක් නිසාද යත් අප ජීවත් වන්නේ රූකඩ ලෙස මහජනයා නටවන පාලකයන්ට උවමනා පරිදි අප හිරේ විලංගුවේ දමන නීතියක් යටතේ බව අපි සියලූ දෙනාම දන්නා බැවිනි. නමුත් සංජීව බණ්ඩාර සටන් වඳින්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි. එම අධ්‍යාපනයේ ප‍්‍රතිලාභ ලබන ශිෂ්‍යාවක් ලෙස මාගේ අත්දැකීම ඔබ හමුවේ ඉදිරිපත් කිරීම වැදගත් යයි මා සලකන්නේ එබැවිනි. තොරතුරු, එනම් සැබෑ තොරතුරු අපට වඩාත් යහපත් තීරණ ගැනීමට උපකාරි වේ. තොරතුරු අප හෘද සාක්ෂිය තුළ පැළ පදියම් වී අපට කි‍්‍රයාත්මක වීමට බල කරයි. ඒ සැමටම වඩා තොරතුරු අපව රජයේ න්‍යාය පත‍්‍ර යාන්ත‍්‍රණය මඟින් පතුරුවන මිත්‍යා මතවලින් නිදහස් කරයි. එම නිසා ඇස් කන් ඇර සිටින ඔබට මා දන්නා දේ පැවසීම ඉතාමත් වැදගත් වේ.

සංජීව බණ්ඩාර සැබවින්ම මහජනතාවගේ හතුරෙක්ද? ශිෂ්‍ය කලබල වල අනියත ප‍්‍රතිඵල ලෙස අප බොහෝ දෙනා බලාපොරොත්තු වන ප‍්‍රචණ්ඩත්වය වපුරන්නේ ඔහුද ? එම නිසා ඔහුව සදාකාලිකව රිමාණ්ඞ් භාරයේ තැබිය යුතුද? එසේත් නැත්නම් (වඩාත් නිර්භයව විමසන්නේ නම්) මහජනතාව මහා විපතකින් බේරා ගැනීමට ඔහුව හොර රහසේ ඝාතනය කළ යුතුද? උපාධිය සම්පූර්ණ කොට රැකියාවක් කිරීමට බලාපොරොත්තු නොවන නිසා ඔහු විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරිය යුතුද? රජයේ අධ්‍යාපන පෞද්ගලිකරණ ප‍්‍රතිපත්තියට විරුද්ධ වන සිසුන්, අනෙකුත් ජනතාවගේ අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා අහුරන විසකුරු, නරුම සහ ආත්මාර්ථකාමී පිරිසක්ද?

රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ප‍්‍රතිපත්තිය මේ රටේ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කරමින් ඇති බව නොපෙනෙන්නට තරම් අපගේ රූකඩ හාම්පුතුන්ගේ මුසාවන් වලට අපි වශී වි ඇත්තෙමුද? අද පමණක් නොව ඉතිහාසයේ සෑම විටකදීම ප‍්‍රචණ්ඩත්වයට මුල පිරුවෝ කවුරුන්දැයි අමතක වීමට තරම් රජය විසින් නිර්මාණය කරන ලද යථාර්තයේ අප අතරමං වී ඇත්තෙමුද?

නොම් චොම්ස්කි නම් ඇමරිකානු භාෂාවේදියා රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධ දේශනයකදී මෙසේ පවසයි.
”ඔබට යමක් පෞද්ගලීකරණය කර විනාශ කර දැමීමට අවශ්‍ය නම්, ඒ සඳහා භාවිත කළ හැකි සම්මත ප‍්‍රමිත ක‍්‍රමවේදයක් වන්නේ පළමුව ඒ සඳහා වෙන් කරන අරමුදල් අත්හිටුවීමයි.”එවිට එහි කි‍්‍රයාකාරිත්වය අකර්මණ්‍ය වීම නිසා මහජනතාව ඒ ගැන කළකිරී පෞද්ගලීකරණය පිළිගනු ඇත. පෞද්ගලීකරණය වනාහි කාර්යක්ෂම භාවයේ මෙවලමක් නොවේ. පෞද්ගලික බස් රථවල දිනපතා ගමන් කරන අපි අන් කිසිවෙකුටත් වඩා එය දනිමු. යමක් පෞද්ගලීකරණය කිරීම නිසා එය කාර්යක්ෂම වන්නේ වත් පොදු අයිතිය නිසා පැන නඟින දුෂ්කරතා මඟ හැරෙන්නේවත් නැත. ජේ.ආර්. ජයවර්ධනගේ පාලනය යටතේ ප‍්‍රවාහන අංශයේ පෞද්ගලීකරණය ද ජනතාව ඉස් මුදුනින් පිළි ගන්නට ඇත. මන්ද යත් පෞද්ගලීකරණය තුළින් වැඩි බස් ප‍්‍රමාණයක් හා අඩු තද බදයක් ඇති වේ යැයි හැඟෙන බැවිනි. නමුත් එයින් සැබැවින්ම අර්ථවත් වන්නේ කුමක්ද ? ගමනාගමනය මත එතෙක් තිබු පොදු නියාමනය ඉවත් වී ඒ වෙනුවට ලාභ පරමාර්ථය කරගත් පෞද්ගලික නියාමනය ආදේශ වීම පෞද්ගලික කරණයෙහි යථාර්තයයි. එයින් අදහස් වන්නේ විටින් විට බස් ගාස්තු ලාභය සඳහා පමණක් වැඩි වන බවයි. ජන ශූන්‍ය ප‍්‍රදේශවල බස් ගමන් නොකරන බවයි. එහි සරළ අදහස් නම් මැතිවරණයේදී අප භාවිතා කරන ඡන්දය රටේ පොදු ප‍්‍රවාහන පද්ධතිය කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි. පෞද්ගලිකරණ කී‍්‍රඩාවේ රිති සකසා ඇත්තේ බස් රථ ඒකාධිකාරිය හිමි කිහිප දෙනෙකුගේ ලාභ උපරිම කරණයටයි. පෞද්ගලීකරණයේ යථාර්තය එයයි. එස්. බී. දිසානායක, ප‍්‍රතිපාදන කප්පාදුව නිසා අකර්මණ්‍යව ඇති රාජ්‍ය අධ්‍යාපනය පද්ධතිය කෙරෙහි කලකිරී ඇති ජනතාවට මවා පාන සොඳුරු , මායාකාර චිත‍්‍රය නොවේ. Continue reading රාජපක්ෂ රෙජීමය සංජීව බණ්ඩාර දුෂ්ඨයා කොට නිදහස් අධ්‍යාපනයේ මළගමට පාරකපයි

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්

කොළඹ උපත ලද ආචාර්ය නලින් ස්වාරිස් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සහ ඉන්දියාවේ අධ්‍යාපනය ලබා කතෝලික පූජකත්වයට ඇතුලත්ව කලක් සේවය කර ඉන් ඉවත් වී විදේශ ගත විය. නෙදර්ලන්තයේ දී සමාජ කටයුතු පිළිබඳ සහ තුලනාත්මක ආගම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධි දෙකක් ලබා ගත් ඔහු ඉන් එකක් කුම් ලවුඩේ (cum laude) නම් ගෞරව සම්මානය සහිතව ලැබීය. ඔහු උට්‍රෙච්ට් විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කළ මානව විමුක්තිය සඳහා බුදුන්ගේ මග (The Buddha’s Way to Human Liberation) නම් නිබන්ධයට ද දර්ශනශූරී උපාධිය පිරිනමන ලද්දේ කුම් ලවුඩේ ගෞරව සම්මානය සහිතවය. ඔහු එම විශ්ව විද්‍යාලයේ ආගමික හා දර්ශන අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. ග්‍රීක, ලතින්, ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ මනා නිපුණයෙකු වූ ඔහු බටහිර මෙන්ම පෙරදිග දර්ශනයන් පිළිබඳ විශාරදත්වයක් පල කලේය.

කලක් මාක්ස්වාදියෙකු වූ ඔහු විජය කුමාරතුංග සමග ශ්‍රි ලංකා මහජන පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීත්වයට එක්විය. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු මෙන්ම එක්සත් ජාතීන්ට ද උපදේශකයෙකු වීය. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද සමාජ, දේශපාලන හා සංස්කෘතික කරුණු අරභයා ඔහු විචාරශීලී මැදිහත්වීමක් කල අතර පශ්චාත් ව්‍යුහවාදී අදහස් සිංහලෙන් හඳුන්වාදීමේදී පුරෝගාමී විය.පසුගිය කාලයේ විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතද බොහෝ කණ්ඩායම් ඔහු සහ ඔහුගේ දැනුම හඹා පැමිණි අතර “එක්ස්” කණ්ඩායම ඔහු ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා යැයි වරක් තම සඟරාවක දැක්වීය.

එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය
එක්ස් කණ්ඩායම 1997 ඔක්තෝබර් මාතොට කලාපයේ නලින් ස්වාරිස් හඳුන්වා දුන් ආකාරය

අප පහත යළි පළ කරන්නේ 2003 මැයි 28 වෙනි දින දිනමිණ පුවත්පතේ පලවූ නලින් ස්වාරිස් සමග ශෂී ප්‍රභාත් රණසිංහ කල සම්මුඛ සාකච්ඡාවකි.

පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

ශෂී ප්‍රභාත් රණසිංහ (මම) :

වර්තමාන සමාජ සාහිත්‍ය සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන “පශ්චාත් නූතනවාදය” කසායක අනුපාන ගානට අද පත් වී තිබෙනවා. ඒත් ලංකාවේ ඇතැම් බුද්ධිමතුන් කියන්නේ ලංකාවේ උපන් පශ්චාත් නූතනවාදී යෝධ පැටියා තිඹිරිගෙයිම මිය ගිය බවයි. ශ්‍රී ලංකාවට පශ්චාත් නූතනවාදය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඔබ මේ පිළිබඳ දරන අදහස පැහැදිලි කලොත්?

නලින්:

අප පශ්චාත් නූතනවාදය හැදෑරිය යුත්තේ එය අවිචාරවත් ලෙස අනුකරණය කිරීම සඳහා හෝ එය හුදු විලාසිතාවක් බවට පත් කර ගැනීම සඳහා හෝ නොවෙයි. පශ්චාත් නූතනවාදය හා සම්බන්ධ ඇතැම් අංග ලක්ෂණ හා විශ්වාස අපගේ සංස්කෘතියට හා චින්තන රටාවන්ට කොයිතරම් දුරට ගැළැපේ ද යන්න මුළින්ම අප සිතා බැලිය යුතුයි. ඇතැම් ඒවා අපේ සංස්කෘතිය හා චින්තන රටා තුලනාත්මක පදනමක පිහිටා අවලෝකනය කිරීමට අනුබලයක් වීමටත් පුළුවන්. කවුරු කොහොම කිව්වත් මේ විචාරවාදය විචාර පූර්වකව විමසීම අපගේ යුතුකමක්. එක්දහස් නමසිය අසූ ගණන්වලත් අනූගණන් වලත් පශ්චාත් නූතනවාද ලොව පුරා බුද්ධිමතුන් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරී ගියා. නමුත් අද එහි ප්‍රභාව කෙමෙන් අඩු වෙමින් පවතිනවා‍. වෙනත් විචාරවාද වගේම පශ්චාත් නූතනවාදයත් තව දශක දෙකකින් පමණ මැකී යාමටත් ඉඩ තියෙනවා. ඒත් අප අවට ඇති ලෝකයත්, සත්තාවත් අවබෝධ කරගැනීමට දරන ලද පරිශ්‍රමයක් ලෙස එය විමර්ෂණයට ලක් කිරී‍මෙන් අපගේ විචාර බුද්ධිය පුළුල් කර ගත හැකියි.

Modern යන වචනය Modo යන ලතින් වචනයෙන් එන්නකි. එහි තේරුම Just Now “මේ දැන්” නැතිනම් “තත්කාලීන” යන්නයි. ඒ අනුව තත්කාලීන යන අර්ථයට “නවීන” හා “ප්‍රගතිශීලී” යන අර්ථයන් ලැබුනේ බටහිර ව්‍යවහාරය තුළින්.

“නවීන” හා “ප්‍රගතිශීලී” යන යන අදහස් ඇති වන්නේ 18 වන ශතවර්ෂයේදී ඇතිවන ප්‍රබුද්ධත්වයේ යුගයත් (Enlightenment) සමඟය. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ යුරෝපය, කතෝලික ප්‍රොතෙස්තන්ත්‍ර ආදී වශයෙන් ආගමිකව බෙදී බයිබලයේ “නියම අර්ථයත්” දෙවියන්ගේ “නියම අයිතිකරුවන්” උදෙසා දරුණු ලෙස සටන් වැදුනා. මේ ලේ වැගිරීම් මැද එකල සිටි බුද්ධිමතුන්ට ක්‍රිස්තියානි නිධානය හා උරුමයන් මෙන් එහි වටිනා සාරධර්ම රැක ගත හැක්කේ කෙසේද යන ගැටලුව මතු වුනා. මෙහිදී අන්ධානුකරණයෙන් ආගමික වත්පිළිවෙත් වලට පදනම් වූ විශ්වීය සදාචාරික මගක් ගැනීම ඊට ඔවුන්ගේ පිළිතුර වුනා. මේ විශ්වීය සදාචාරය ඓතිහාසිකව විකාශණය වූයේ බටහිර ශිෂ්ටත්වය පෙරටුකොට ගෙනයි. බටහිර ශිෂ්ටත්වය නොකඩවා ඉතිහාසය තුළ යුගයෙන් යුගය පරිණාමය වෙමින් පැමිණ බටහිර හා බටහිර නොවන සමාජ අතර එක්තරා බෙදීමක් ඇති කලා. මෙහිදී බටහිර “නවීනය”, “ප්‍රගතිශීලීය” යන්නත්, බටහිර නොවන සමාජ “සම්ප්‍රදායික” හා “ගතිකත්වයෙන්” තොර ඒවා ලෙසටත් වර්ග කෙරුණා.

එහෙයින් සෙ‍සු ලෝකය ශිෂ්ට කර ඔවුනට නව ජිවනයක් සළසා දීමේ ව්‍යාපෘතිය බටහිර භාර ගත්තා පමණක් නොව යුරෝපයේ යටත් විජිත ව්‍යාපාරය සාධාරණීකරණයට ද අවස්ථාවක් එමඟින් සැලසුනා.

මේ ලෙසින් “නවීන” හා “ප්‍රගතිශීලී” ගමනක් යාමට විසිවෙනි ශතවර්ෂයට පය තැබුවේ එය ශිෂ්ටත්වයේ හිනිපෙත්තටම යන රන් යුගයක ආරම්භයක් යන බලාපොරොත්තුව ද විශ්වාසය ද කැටුවයි. නමුත් “රන් යුගයට” පය තැබූ සැනින් පළවැනි ලෝක මහා සංග්‍රාමය ඇති වී මිලියන ගණන් ජනයා මරා දැමුනා. ඉන් දශක දෙකක් ඉකුත් වීමට මත්තෙන් දෙවන මහා ලෝක සංග්‍රාමය එළැඹිණි. එහිදී ද මිලියන ගණනක් ජනයා මරා දැමූ අතර මිලියන 8 ක ජනතාවක් (යුදෙව්වන් හා වෙනත් ජාතීන්) නට්සින් විසින් “දැනුවත් සැලසුමකට”අනුව සමූල ඝාතනය කළේ ශිෂ්ට යුරෝපයේ හදවත බඳු වූ ජර්මනියේදී. හැඟීම් විරහිතව විචාරශීලී ආකෘතියකින් මෙසේ ක්‍රියා කිරීමෙන් විචාරශීලී බටහිර පුරුෂයාගේ ශිෂ්ටත්වය ඇතිකිරීමේ ව්‍යාපෘතිය සහමුලින්ම කඩා වැටුණා. ශිෂ්ටත්වය මැනීමේ මිම්ම ලෙස “බටහිර ශිෂ්ටත්වය” එනම් තමාව පූර්වාදර්ශයට ගත යුතු යයි පුරසාරම් දෙඩූ අභිමානය දෙදරා වැටුණි. ප්‍රගතිශීලී නවින ගමන වෙනුවට මානව වර්ගය ඉතා ම්ලේච්ඡ ප්‍රාථමික අවගමනයකට පසු බැස්සවූ නූතනත්වයේ ව්‍යාපෘතිය මුළුමනින්ම අර්බුදයට පත් වුනා. මේ බටහිර ශිෂ්ටත්වය තුළ තිබූ අර්බුදය පශ්චාත් නූතනවාදී තත්ත්වයයි. කෙටියෙන් කියතොිත් නිදහස් විචාරශීලී බටහිර (සුදු) පුරුෂයාගේ ශිෂ්ටත්වය කරා යන (නවීන ප්‍රගතිශීලී) ඓතිහාසික ව්‍යාපෘතිය කඩා වැටීම “පශ්චාත් නූතනවාදී” තත්ත්වයයි.

එදා හිටපු බුද්ධිමතුන් අන්ධ විශ්වාසවල පිහිටාගෙන සාරධර්ම ස්ථාපිත කරන්න උත්සාහ කළා. නමුත් විචාර බුද්ධියෙන් මෙය සාර්ථකව ඉටු කලේ බුදුන්වහන්සේ විතරයි. මේ නිසා අපගේ අරමුණ විය යුත්තේ පශ්චාත් නූතනවාදය විචාරාත්මක විශ්ලේෂණයකට ලක් කිරීම විනා එය අන්ධ භක්තියකින් යුතුව පිළි ගැනීම නොවෙයි. පශ්චාත් නූතනවාදය යන වචනයට වඩා මෙය පශ්චාත් නූතන තත්ත්වය යනුවෙන් අර්ථකථනය කිරීමට මා කැමතියි‍. Continue reading පශ්චාත් නූතනවාදය සහ ‘ජන්ක්’ බුද්ධිමතුන් – නලින් ස්වාරිස්

නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස

අප පහත පළ කරන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ දෙවැනි කොටසයි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය ගැන ඔබේ ස්වාධීන මතය සම්පාදනය කර ගැනීමට අපි ඔබට ඉඩ හරිමු.

නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව
– නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස
මෙම ලිපියේ පළමු කොටසින් මා කරුණු ඉදිරිපත් කළේ වර්තමාන ලාංකික සමාජ-දේශපාලන කතිකාවේ ප්‍රධාන හා උප ධාරාවන් වශයෙන් මා හඳුනා ගත් නව-ලිබරල්වාදය, ජාතික චින්තනය, මාක්ස්වාදය හා පශ්චාත්-නූතන-තත්ත්වවාදය යන කතිකාවන් හතරම, ලෝකය පිළිබඳව තම අවබෝධය සම්පාදනය කර ගන්නේ නූතන-පූර්ව නූතන යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළවය, යන මගේ යෝජනාව පැහැදිළි කරන්නටය. ලිපියේ මෙම දෙවන කොටසින් මා අරමුණු කරන්නේ මෙලෙස නූතනත්වයට පක්ෂව හෝ ප්‍රතිපක්ෂව මෙම කතිකාවන් තුළ කෙරෙන න්‍යාය ගැන්වීම්වලින්, මානව ලෝකය හා එහි ක්‍රියාකාරකම් පිළිබඳව ගම්‍ය කෙරෙන විවිධ ආස්ථානයන් පිළිබඳව මගේ අර්ථකථනයන් ඉදිරිපත් කරන්නට ය.

ලංකාව සම්ප්‍රදායික හෝ පූර්ව-නූතන සමාජයක සිට නවීකරණය වූ නූතන සමාජයක් දක්වා යන ගමනේ සංක්‍රාන්ති යුගයක සිටින්නේය යන ලිබරල්වාදී අදහසට මාක්ස්වාදී මෙන්ම “පශ්චාත්-නූතන-තත්ත්වවාදීනුත්” පොදුවේ ගත් කළ එකඟ වන බව මම කලින් සඳහන් කළෙමි. මෙයින් ගම්‍ය කෙරෙන අදහස නම්, ප්‍රගතිය, වෙනස් වීම, විපර්යාසය, පසුගාමීත්වයේ සිට ඉදිරිගාමීත්වය දක්වා, ඌන සංවර්ධනයේ සිට සංවර්ධනය දක්වා හෝ පූර්ව-නූතන තත්ත්වයේ සිට නූතන තත්ත්වය දක්වා වන ඒක රේඛීය මාවතක් ඔස්සේ ලොව විවිධ සමාජයන් සියල්ල පරිණාමය වෙමින් සිටින්නේය යන්නයි. මා කරන මෙම හඳුනා ගැනීමට අදාළ සංකල්පීකරණය පශ්චාත් ව්‍යූහවාදය හරහා ලොව ප්‍රචලිත කෙරුනකි. ඒ අනුව දැන් මහා ආඛ්‍යාන නමින් හැඳින්වෙන, ඉහත ආකාරයේ න්‍යාය ගැන්වීම්වලට අනුව, ලිබරල්වාදය සළකන්නේ, බූර්ෂුවා-ලිබරල්වාදය මානව සාමාජීය පරිණාමයේ කෙළවර සටහන් කරන බවයි. හේගල් අනුකරණයේ දිළිඳු උත්සාහයක යෙදෙන ෆ්‍රැන්සිස් ෆුකුයාමා මහත් වෑයමෙන් මවාගත් සාඩම්බරභාවයකින් යුතුව ඉතිහාසයේ අවසානය ළඟාවී ඇතැයි ප්‍රකාශ කරන්නේ, ඉහත අදහසම පළ කරන්නටය.

ලිබරල්වාදීන්ට අනුව එවැනි ඒක රේඛීය සංවර්ධනයක් සඳහා වන වඩාත්ම පරිණාමය වූ ආකෘතිය අපට ඉදිරිපත් කරන්නේ වඩාත්ම දියුණු, සමෘද්ධිමත්, ධනවාදී රටවල් ය. අනිකුත් සියලුම රටවල් ඒ පසුපසින් පහළට බසින පිළිවෙළට ධූරාවලී ගතවෙයි. ඒ අනුව කාලයෙන් කාලයට මෙම රටවල්, අඩු-සංවර්ධිත රටවල්, මැද ආදායම් ලබන රටවල්, අලුතින් කාර්මීකරණය කෙරෙන රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, ඌන සංවර්ධිත රටවල් යනාදී විවිධ ස්වරූපයෙන් ප්‍රවර්ග ගත කෙරෙයි.

කල් තබා නියම කරන අවසානයකට අනුව දිග හැරෙමින් පවත්නා ඉතිහාසයක්, අපගේ උදාහරණයේදී නම් නවීකරණය හෝ ධනවාදී සංවර්ධනය පිළිබඳ එබඳු සාධ්‍යතාවාදයක් (Teleology) දකින්නේ, ආර්ථික පද්ධතීන් හි ඇතිවන වෙනස්කම්, උදාහරණයක් දක්වතොත්, ධනවාදයේ සංවර්ධනය විසින් මානව ඉතිහාසය තීන්දුවන බවකි.

ආර්ථික සංවිධානයක් වශයෙන් ධනවාදයේ ඇති ස්වරූපයත්, එවැනි කුමන හෝ අධිපති ආර්ථික සංවිධානයක් යටතේ මානවයන් විවිධාකාරයෙන් කටයුතු කරන්නේ මන්ද යන්නත් වෙන් කොට හඳුනාගන්නට අපොහොසත් වීමෙන්, එවැනි න්‍යාය ගැන්වීම් ඉතිහාසය තුළ මානව ක්‍රියාකාරීත්වය නොසළකා හරින හෙයින්, ඉතිහාසයෙන් මානව ක්‍රියාකාරිකයා බැහැර කරයි.

මාක්ස්වාදීන් ද, “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” ද ඉතිහාසය නොවැලැක්විය හැකි ලෙස පූර්ව-නූතන-තත්ත්වයේ සිට නූතන තත්ත්වය දක්වා දිග හැරෙමින් පවතින්නේය යන්න සහ නවීකරණය එනිසාම ප්‍රගතිශීලීය, යන ලිබරල් දෘෂ්ටිය සමඟ විවිධාකාරයෙන් එකඟ වෙති. ඉතිහාසයීය අවධි තුළින් වර්ධනය වීමේ හේගල්ගේ අදහස ගෙන මාක්ස් ඉදිරිපත් කළ ලොව පිළිබඳ ඓතිහාසිකත්වවාදී අවබෝධය මෙම එකඟ වීමට පදනම සපයයි. තමන්, ලිබරල්වාදීන් මෙන් නොව, නූතනත්වය යටතේ ඇතිවන ධනවාදය ඉතිහාසයේ අවසානය යැයි විශ්වාස නොකරන මොවුහු, එය පරිණාමයේ තවත් හුදු එක් අවධියක් ලෙස දකිති. ඒ අනුව පරිණාමය සිදු වන්නේ, ජීවිතයේ සියලු පැතිමානයන්ගේ සමානාත්මතාව රජයන සමාජයක් කරාය. මේ අනුව මොවුන්‍ට අනුවද, ඉතිහාසය අවසානයක් කරා ගමන් කරමින් පවතී. එකම වෙනස, මෙවර ඉතිහාසය කෙළවර වන්නේ, මොවුන්ගේ සිතැඟි පරිදි ගොඩනගන සමාජ-ක්‍රමයකිනි. ලිබරල්වාදයේ මෙන් ධනවාදී සමාජයෙන් නොවේ. එපමනක් නොව, සමාජවාදය පන්ති රහිත කොමියුනිස්ට් යුගයක් කරා පරිණාමය වී රාජ්‍යය ද අහෝසි වී යන්නේය. මෙයින් කියැවෙන්නේ දේශපාලනයට ඇති ඉඩකඩ අහෝසි වී යන බවයි. එවැනි තත්ත්වයක් තුළ, අද තම ජීවිතයම දේශපාලනයටම කැප කර සිටින අය ඉන් පසුව කුමක් කරනු ඇත්දැයි පැහැදිළි නැත. Continue reading නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස