නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව – නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස

අප පහත පළ කරන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ දෙවැනි කොටසයි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම සම්බන්ධය ගැන ඔබේ ස්වාධීන මතය සම්පාදනය කර ගැනීමට අපි ඔබට ඉඩ හරිමු.

නූතනත්වයට ගැට ගැසුණු දේශපාලනයක හැඩරුව
– නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය” – දෙවැනි කොටස
මෙම ලිපියේ පළමු කොටසින් මා කරුණු ඉදිරිපත් කළේ වර්තමාන ලාංකික සමාජ-දේශපාලන කතිකාවේ ප්‍රධාන හා උප ධාරාවන් වශයෙන් මා හඳුනා ගත් නව-ලිබරල්වාදය, ජාතික චින්තනය, මාක්ස්වාදය හා පශ්චාත්-නූතන-තත්ත්වවාදය යන කතිකාවන් හතරම, ලෝකය පිළිබඳව තම අවබෝධය සම්පාදනය කර ගන්නේ නූතන-පූර්ව නූතන යන අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන ප්‍රතිපක්ෂයන්ට අදාළවය, යන මගේ යෝජනාව පැහැදිළි කරන්නටය. ලිපියේ මෙම දෙවන කොටසින් මා අරමුණු කරන්නේ මෙලෙස නූතනත්වයට පක්ෂව හෝ ප්‍රතිපක්ෂව මෙම කතිකාවන් තුළ කෙරෙන න්‍යාය ගැන්වීම්වලින්, මානව ලෝකය හා එහි ක්‍රියාකාරකම් පිළිබඳව ගම්‍ය කෙරෙන විවිධ ආස්ථානයන් පිළිබඳව මගේ අර්ථකථනයන් ඉදිරිපත් කරන්නට ය.

ලංකාව සම්ප්‍රදායික හෝ පූර්ව-නූතන සමාජයක සිට නවීකරණය වූ නූතන සමාජයක් දක්වා යන ගමනේ සංක්‍රාන්ති යුගයක සිටින්නේය යන ලිබරල්වාදී අදහසට මාක්ස්වාදී මෙන්ම “පශ්චාත්-නූතන-තත්ත්වවාදීනුත්” පොදුවේ ගත් කළ එකඟ වන බව මම කලින් සඳහන් කළෙමි. මෙයින් ගම්‍ය කෙරෙන අදහස නම්, ප්‍රගතිය, වෙනස් වීම, විපර්යාසය, පසුගාමීත්වයේ සිට ඉදිරිගාමීත්වය දක්වා, ඌන සංවර්ධනයේ සිට සංවර්ධනය දක්වා හෝ පූර්ව-නූතන තත්ත්වයේ සිට නූතන තත්ත්වය දක්වා වන ඒක රේඛීය මාවතක් ඔස්සේ ලොව විවිධ සමාජයන් සියල්ල පරිණාමය වෙමින් සිටින්නේය යන්නයි. මා කරන මෙම හඳුනා ගැනීමට අදාළ සංකල්පීකරණය පශ්චාත් ව්‍යූහවාදය හරහා ලොව ප්‍රචලිත කෙරුනකි. ඒ අනුව දැන් මහා ආඛ්‍යාන නමින් හැඳින්වෙන, ඉහත ආකාරයේ න්‍යාය ගැන්වීම්වලට අනුව, ලිබරල්වාදය සළකන්නේ, බූර්ෂුවා-ලිබරල්වාදය මානව සාමාජීය පරිණාමයේ කෙළවර සටහන් කරන බවයි. හේගල් අනුකරණයේ දිළිඳු උත්සාහයක යෙදෙන ෆ්‍රැන්සිස් ෆුකුයාමා මහත් වෑයමෙන් මවාගත් සාඩම්බරභාවයකින් යුතුව ඉතිහාසයේ අවසානය ළඟාවී ඇතැයි ප්‍රකාශ කරන්නේ, ඉහත අදහසම පළ කරන්නටය.

ලිබරල්වාදීන්ට අනුව එවැනි ඒක රේඛීය සංවර්ධනයක් සඳහා වන වඩාත්ම පරිණාමය වූ ආකෘතිය අපට ඉදිරිපත් කරන්නේ වඩාත්ම දියුණු, සමෘද්ධිමත්, ධනවාදී රටවල් ය. අනිකුත් සියලුම රටවල් ඒ පසුපසින් පහළට බසින පිළිවෙළට ධූරාවලී ගතවෙයි. ඒ අනුව කාලයෙන් කාලයට මෙම රටවල්, අඩු-සංවර්ධිත රටවල්, මැද ආදායම් ලබන රටවල්, අලුතින් කාර්මීකරණය කෙරෙන රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, ඌන සංවර්ධිත රටවල් යනාදී විවිධ ස්වරූපයෙන් ප්‍රවර්ග ගත කෙරෙයි.

කල් තබා නියම කරන අවසානයකට අනුව දිග හැරෙමින් පවත්නා ඉතිහාසයක්, අපගේ උදාහරණයේදී නම් නවීකරණය හෝ ධනවාදී සංවර්ධනය පිළිබඳ එබඳු සාධ්‍යතාවාදයක් (Teleology) දකින්නේ, ආර්ථික පද්ධතීන් හි ඇතිවන වෙනස්කම්, උදාහරණයක් දක්වතොත්, ධනවාදයේ සංවර්ධනය විසින් මානව ඉතිහාසය තීන්දුවන බවකි.

ආර්ථික සංවිධානයක් වශයෙන් ධනවාදයේ ඇති ස්වරූපයත්, එවැනි කුමන හෝ අධිපති ආර්ථික සංවිධානයක් යටතේ මානවයන් විවිධාකාරයෙන් කටයුතු කරන්නේ මන්ද යන්නත් වෙන් කොට හඳුනාගන්නට අපොහොසත් වීමෙන්, එවැනි න්‍යාය ගැන්වීම් ඉතිහාසය තුළ මානව ක්‍රියාකාරීත්වය නොසළකා හරින හෙයින්, ඉතිහාසයෙන් මානව ක්‍රියාකාරිකයා බැහැර කරයි.

මාක්ස්වාදීන් ද, “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” ද ඉතිහාසය නොවැලැක්විය හැකි ලෙස පූර්ව-නූතන-තත්ත්වයේ සිට නූතන තත්ත්වය දක්වා දිග හැරෙමින් පවතින්නේය යන්න සහ නවීකරණය එනිසාම ප්‍රගතිශීලීය, යන ලිබරල් දෘෂ්ටිය සමඟ විවිධාකාරයෙන් එකඟ වෙති. ඉතිහාසයීය අවධි තුළින් වර්ධනය වීමේ හේගල්ගේ අදහස ගෙන මාක්ස් ඉදිරිපත් කළ ලොව පිළිබඳ ඓතිහාසිකත්වවාදී අවබෝධය මෙම එකඟ වීමට පදනම සපයයි. තමන්, ලිබරල්වාදීන් මෙන් නොව, නූතනත්වය යටතේ ඇතිවන ධනවාදය ඉතිහාසයේ අවසානය යැයි විශ්වාස නොකරන මොවුහු, එය පරිණාමයේ තවත් හුදු එක් අවධියක් ලෙස දකිති. ඒ අනුව පරිණාමය සිදු වන්නේ, ජීවිතයේ සියලු පැතිමානයන්ගේ සමානාත්මතාව රජයන සමාජයක් කරාය. මේ අනුව මොවුන්‍ට අනුවද, ඉතිහාසය අවසානයක් කරා ගමන් කරමින් පවතී. එකම වෙනස, මෙවර ඉතිහාසය කෙළවර වන්නේ, මොවුන්ගේ සිතැඟි පරිදි ගොඩනගන සමාජ-ක්‍රමයකිනි. ලිබරල්වාදයේ මෙන් ධනවාදී සමාජයෙන් නොවේ. එපමනක් නොව, සමාජවාදය පන්ති රහිත කොමියුනිස්ට් යුගයක් කරා පරිණාමය වී රාජ්‍යය ද අහෝසි වී යන්නේය. මෙයින් කියැවෙන්නේ දේශපාලනයට ඇති ඉඩකඩ අහෝසි වී යන බවයි. එවැනි තත්ත්වයක් තුළ, අද තම ජීවිතයම දේශපාලනයටම කැප කර සිටින අය ඉන් පසුව කුමක් කරනු ඇත්දැයි පැහැදිළි නැත.

ආධානග්‍රාහී මාක්ස්වාදීන්ට අනුව, ධනවාදී ක්‍රමයක් යටතේ සාධනය කර ගන්නා නවීකරණය, නිශ්පාදන බලවේගයන්ගේ වර්ධනය ඉදිරියට ගෙන යාම තුළින්, සමාජවාදී විපර්යාසයකට මඟ පාදනු ඇත. එමෙන්ම, ඒ හා සමගින්ම, ධනවාදයත්, ඒ විසින් පවත්වාගෙන යන සියලු අසමානතාවනුත් පෙරලා දමන, සමාජ බලවේගයන් එනම් පීඩිත පන්තීන් ද නිර්මාණය කරන්නේය. එහෙයින් මෙම වෙනස්කම් ඉදිරිගාමීය, ප්‍රගතිශීලීය. කෙසේ වුවත්, තෝරා ගැනීමට අවස්ථාවක් තිබේ නම්, ඔවුන් වඩා කැමති වනු ඇත්තේ, ධනවාදී නවීකරණයකට වඩා සමාජවාදය යට‍තේ සිදු කෙරෙන නවීකරණයකටය. මෙම අවබෝධය, තුළ ධනවාදය සහ සමාජවාදය යන එකිනෙකින් වෙනස් ආර්ථික සංවිධාන ක්‍රම මත ගොඩ නැගෙන, එකිනෙකින් වෙනස් සාමූහික ජීවන ආකාරයන් දෙකෙහි වෙනසට මූළික පදනම සැපයෙන්නේ නිශ්පාදනය හා බෙදාහැරීම සංවිධානය කෙරෙන ආකාරයයි. ඒ අනුව, ආර්ථිකය විසින් මිනිස් පැවැත්මේ සෙසු අංග තීරණය කෙරෙයි.

කර්තෘභාවය නූතනවාදීන්ට යි

නවීකරණය මුල් කොටගෙන දිග හැරෙන මෙම ඉතිහාසය තුළ, කර්තෘභාවය, ක්‍රියා කිරීමේ ශක්‍යතාව හිමිවන්නේ, නූතනවාදීන්ට යි. මීට ඉහත සඳහන් කළ පරිදි අනෙක් අය, ගෝත්‍රික හෝ වැඩවසම්, පූර්ව-විචාර බුද්ධි තත්ත්වයේ සිටින්නෝය. එහෙයින් පසුගාමී හෝ පූර්ව-නූතන වෙති. ඔවුන් අයිති වන්නේ නවීකරණයේ ඉදිරි ගමනට බාධා හෝ සීමා පැනවීම් ලෙසින් ක්‍රියා කරන පෙර යුගයකින් ඉතිරි වූ, ශේෂයන්ටය. ඔවුහු අවිද්‍යාවෙන්, නැතහොත් “ව්‍යාජ සවිඥානකත්වයෙන්” පෙළෙති. එහෙයින් ප්‍රතිගාමී ය.

“පූර්ව-නූතනයන්ගේ” “අවිද්‍යාව” ඔවුනට විචාර බුද්ධිය (Reason) නැතහොත් සබුද්ධිකභාවය (rationality) නොමැති හේතුවෙන් ඇතිවන්නකි. එහෙයින් ඔවුනට දැනුවත්කම හෝ ඥානයක් නොමැත. මෙම තත්ත්වය ජය ගන්නට නම් ඔවුනට විචාරශීලී ලෙස සිතන්නට සැලැසිය යුතුය. එය කළ හැක්කේ විචාර බුද්ධියේ අණසක යටතට ගෙන ඒමෙනි. ඉන් ඔවුන්ට අධ්‍යාපනයක් ලැබී, ඔවුන්ගේ දැනුවත්භාවය වැඩි වී, සමාජ සවිඥානකත්වය ඉහළට නැංවෙනු ඇත.

මේ අනුව, බුද්ධිමය (rational) ලෙස කටයුතු කිරීම යනු නවීකරණයේ මාවත ගැනීමයි. නවීකරණය අනුව නොගොසින් පූර්ව-නූතනව සිටීමට වඩා කැමැත්තන් අවිචාරී හෝ පූර්ව-විචාරී පුද්ගලයෝ ය. ඔවුන්ගේ ප්‍රතිගාමී ස්වරූපය හේතුවෙන් ඔවුනට දැනුම ලබා දිය නොහැකි නම් ඔවුන් පරාජය කළ යුතුය. පූර්ව-විචාරීභාවය කෙසේ හෝ පරාජය කළ යුතුය.

මෙවැනි විග්‍රහ අනෙකාට ක්‍රියාකාරීත්වය, කර්තෘභාවය (agency) ප්‍රතික්ෂේප කරන අතර, කර්තෘභාවය, තනිකරම තමාට පවරා ගනියි. මෙලෙස පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ වේවා, සමූහයන් සම්බන්ධව හෝ වේවා, මෙම විග්‍රහය තුළ ඉඩ ඇත්තේ, සාධ්‍යතාවාදී ඉතිහාසයට අනුව ඉතිහාසය සිද්ධ කරන්නන්ට පමනි.

නූතනත්වය (Modernity) විචාර බුද්ධිය මත පදනම් වන්නක් ලෙසට දකින ඉහත අවබෝධයට අනුව, සබුද්ධික වීම යනු නවීකරණයට (modernization) පක්ෂපාතී මානසික තත්ත්වයක් සහිත වීමයි. මෙම විග්‍රහය, තමන්ට විචාර බුද්ධිය ඇතැයි, තමන් සබුද්ධික යැයි සිතා ගන්නා අයට, අනෙක් අයට නායකත්වය දීමට හෝ ඔවුනට එරෙහිව ක්‍රියා කිරීමට අයිතිය පවරයි. මේ සමාජ විපර්යාසය පිළිබඳ පෙරමුණු බලඇණි (vanguardist) ස්ථාවරයයි.

මෙම ස්ථාවරය තදින්ම වැළඳගෙන සිටින්නේ මාක්ස්වාදීන්ය. පෙරමුණු බළඇණි ස්ථාවරය තුළ මාක්ස්වාදීන්ට අන් අය, ඔවුන්ගේ අදහස් වැදගත් වන්නේ, තමන් විසින් කල්තබා සම්පාදනය කර ගත් සත්‍යය, න්‍යාය අනුව සැළසුම් කරගෙන ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අමුද්‍රව්‍ය වශයෙන් පමණි. එසේ නොමැතිව, අන් අය තුළ ඔවුන්, ඔවුන්ගේ අසහස් වෙනස් නිසාම ඇති අත්‍යන්ත වටිණාකමක් සළකා ගෙන නොවේ. මේ අනුව අන් මිනිසුන් ඔවුනට හුදු මෙවලම්, උපකරණ, ප්‍රයෝජනවත් දෑ පමණි.

මේ අනුව තමන්ගේ වැඩපිළිවෙළට හෝ න්‍යාය පත්‍රයට එරෙහි අයට විරුද්ධව ක්‍රියා කිරීමේ හෝ ඔවුන් නිශ්ශබ්ද කිරීමේ වගකීම මොවුහු තමනට පවරා ගනිති. ප්‍රජාවේ සාමාජිකයින් වශයෙන් පූර්ව-විචාරී අයගේ අදහස්වල ඇති වැදගත්කමක් නැත. මන්ද ඔවුන් ප්‍රතිගාමී වන හෙයිනි. නූතනත්වය යටගේ ඔවුනට තැනක් හිමි නොවේ. ඔවුන්ගේ අදහස් වලට ඉඩක් නොදිය යුතුය, ඒවාට ඇහුම්කන් දීම අවශ්‍ය නොවේ. පූර්ව-විචාරීන් සතුරා වන හෙයින්, ඔවුන් පරාජය කිරීමේ කාර්යභාරය දැරීමට සුදුසුකම් ලබන්නේ විචාරීභාවයෙන් යුතු අයයි. මෙලෙසින් බැලූ කල නූතනත්වය යටතේ පිළිගැනෙන එකම ජීවන ආකාරය මෙම නූතන අර්ථයෙන් විචාරශීලී වීමයි. එකම සබුද්ධිකභාවය නූතනත්වයට පක්ෂ සබුද්ධිකභාවයි. මේ අරුතින්, නූතනවාදීන් ක්‍රියා කරන්නේ, මානව වර්ගයාගේ යහපත පිණිස ලෝකය නවීකරණය කිරීමේ කාර්යභාරය ඉතිහාසය හෝ දෙවියන් වහන්සේ විසින් තමන්ට පවරා ඇති නියායෙනි.

මෙලෙස නූතන අර්ථයෙන් විචාර බුද්ධිය හිසින් දරා ගැනීමෙන් කියැවෙන දෙයක් නම්, සමාජ ප්‍රපංචයන්ට හේතු විචාර බුද්ධිය තුළින් පැහැදිළි කළ හැකිය වැනි විශ්වාසයකි. මෙහිලා විචාර බුද්ධිය සැලකෙන්නේ පොදු මානව සාමාර්ථයක් ලෙස නොව නූතනයන්ගේ විශේෂ අයිතියක් ලෙසය, හරියට ආචාර ධර්මීභාවය නූතනයන්ට පමණක් සීමා වූ දෙයක් ලෙසය.

“සමාජ ගැටලු” සහ සමාජ විපර්යාසය

ඉහත කතිකාවන්ගෙන් මතුවන තවත් අදහසක් නම්, ඓතිහාසික පරිණාමයේ නියාමයන්ට අනුව ලෝකය විකාශනය වන්නේ නම්, මානව සැලසුම් තුළින් මානව ලෝකයේ වෙනස්කම්, අභිමත අරමුණු සාධනය කර ගැනීම සඳහා, පාලනය කළ හැකිය, හැසිරවිය හැකිය යන්නයි. ඒ සඳහා මෙම අනිවාර්ය ක්‍රියාවළියෙහි ලා කල්තබා තීරණය කෙරුණු අරමුණුවලට මානවයන් සහභාගී කරවා ගත යුතු වෙයි. එපරිද්දෙන් සමාජ වෙනස්වීම හෝ සමාජ විපර්යාශය ක්‍රියාවට නැංවිය හැකිය.

මෙලෙසින්, සමාජ විපර්යාසය ගෙන එන්නට නම් සමාජ වෙනස් වීම භාවිතයට නැංවිය හැකි ක්‍රමය (method) පෙන්වා දිය හැකි න්‍යායයන් වර්ධනය කිරීම අවශ්‍ය වෙයි. කළ හැකිය. එවැනි න්‍යාය ගැන්වීම් තුළ නවීකරණයේ න්‍යාය පත්‍රයට එරෙහිව යන සමාජ ප්‍රපංචයන් “සමාජ ගැටලු” ලෙස හඳුනා ගැනෙයි. මෙම සමාජ ගැටලු නවීකරණයේ එළඹුම ගැනීමෙන් විසඳිය යුතුය. මෙලෙස එබඳු න්‍යාය ගැන්වීම්, මානව හෝ සමාජ ගැටලු වලට හේතු පැහැදිළි කොට, ලොව පවත්නා නරක හෝ නපුරු දේ නිවැරදි කිරීමේ නැතහොත් සමාජ ගැටලු විසඳීමේ ක්‍රම සපයා දෙනු ඇතැයි විශ්වාස කෙරෙයි. මෙහිදී නූතනත්වය හඳුනා ගැනෙන්නේ සමාජ ගැටලුවේ කතිකාව ලෙසිනි.

සමාජ විපර්යාසය පිළිබඳව ඉහත අවබෝධය, අනිකා සහ එනිසා මානව ලෝකය, අපගේ හැසිරවීම සහ පාලනය සඳහා ඇති අරමුණක් හෝ වස්තුවක් (Object) ලෙස සම්පාදනය කරන අතර, එනිසා අපගේ අධිෂ්ඨානය පරිදි මානව ලෝකය වෙනස් කළ හැකිය යන විශ්වාසය පල කරයි. මානව ක්‍රියාකාරකම්, පුද්ගලයන් සහ සමාජ ක්‍රියාකාරකම් එකට ගෙතී ඇති සමාජ ප්‍රපංචයන්ගේ හේතු න්‍යායට දත හැකි යැයි සහ සූත්‍රගතකල හැකි යැයි ද, එහෙයින් භාවිතාවට ක්‍රමයක් සපයා දීම සඳහා සෑහෙන පමණට මානව ලෝකය දත හැකි යැයි ද එය විශ්වාස කරයි. ප්‍රායෝගික මානව ක්‍රියාකාරකම් සාර්ථක වන්නට නම් අවශ්‍යයෙන්ම න්‍යාය මඟින් මග පෙන්වනු ලැබිය යුතුවා පමණක් නොව, කළ ද හැකිය යන්න මේ මතයේ විශ්වාසයයි.

මෙම විශ්වාසයට පදනම් වන අදහසක් නම්, සමාජ ප්‍රපංචයන් හා බැඳුනු මානව ක්‍රියාකාරකම් මෙහෙයවන අරමුණු න්‍යාය ගන්වීම් තුළින් සෑහෙන තරමට දත හැකිය, යන්න සහ සිදු වන්නට යන්නේ කුමක්ද යන්න න්‍යාය ගැන්වීම් තුළින් කල් තබා අපේක්ෂා කල හැකිය, යන්නයි. මේ අනුව මානව ක්‍රියාකාරකම් කල්තබා දත් අරමුණු සහ අපේක්ෂිත මං ඔස්සේ දිග හැරෙයි. හරියට, සමාජ ප්‍රපංචයන්ට මැදිවුනු සමාජ ක්‍රියාකාරකයන්ට, කර්තෘභාවයක් හෝ තමාද කොටසක් වන සමාජය සමඟ ආචාර ධර්මීය බැඳීමක් නැතිවාක් මෙනි.

විචාර බුද්ධිය

මෙලෙස, නූතනත්වය සමාජ ගැටලුවේ කතිකාව ලෙස අවබෝධ කර ගැනෙන්නේ නම්, සමාජ ගැටලු පිළිබඳව පැහැදිළි කිරීම් වර්ධනය කරන්නට අපට හැකියාව ලබා දෙන්නේ, විචාර බුද්ධිය නැතහොත් සබුද්ධිකභාවයයි. හැම දෙයම පැහැදිළි කිරීමේ හැකියාව ඇත්තේ විචාර බුද්ධියටයි. හැම සමාජ සංසිද්ධියකටම, හැම සමාජ ගැටලුවකටම තාර්කික ව්‍යාඛ්‍යානයක් සහ විසඳුමක් තිබේ, නැතහොත් තිබිය යුතුය. ස්වභාවික ලෝකයේ ඇති හැම දෙයකටම විද්‍යාත්මක ව්‍යාඛ්‍යානයක් ඇත්තාක් මෙනි.

සැළසුම් කිරීම සහ සමාජීය-ඉංජිනේරුකර්මය නැතහොත් යන්ත්‍රකර්මය සඳහා අවශ්‍ය විශේෂඥ ඥානයට උපත දෙන්නේ විචාර බුද්ධිය සඳහා ඇති හැකියාව යි. විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන්, න්‍යායධාරීන්, තාක්ෂණතාන්ත්‍රිකයන්, නිලධාරීන් යනු මෙම විශේෂඥයන් ය. ඔවුන් සබුද්ධිකභාවයේ ශිල්ප ක්‍රම හදාරා ඇති හෙයින්, සාධ්‍යතාවාදී පරිණාමයට අනුව ඉතිහාසය ක්‍රියාවට නැංවීමේ කර්තෘභාවය ඇත්තේ ඔවුන් අතය. මේ අනුව, විචාර බුද්ධිය යනු ශාස්ත්‍රාලීය පද්ධතිය තුළ හෝ වේවා ඉන් පිටත හෝ වෙවා කිසියම් ඥාන සම්පාදන ක්‍රියාවළියක් තුළ, හැදෑරීමෙන් ලබන පුහුණුවක් තුළින් පමණක් සංවර්ධනය කරගත හැකි බුද්ධිමය සාමාර්ථයකි. මේ අවබෝධයට අනුව සාමාන්‍ය මිනිසුන්ට විචාර බුද්ධිය තිබිය නොහැකිය.

නූතනයේ බොහෝ සමාජීය ආයතනික ව්‍යූහයන් ගොඩනැංවීමේ පිටුපසින් ඇත්තේ සමාජ සමාණාත්මතාව පිළිබඳ අදහස බව සැබෑය. නමුත් එවැනි ආයතනික ව්‍යූහයන් ඉදි කිරීම සඳහා ගැනෙන බොහෝ උත්සාහයන් තුළ දැකිය හැක්කක් නම්, එබඳු සමාජීය ආයතන, ගොඩනැංවීමේ සහ පවත්වාගෙන යාමේ කටයුත්තේ දී ප්‍රජාවේ සාමාජිකයන් ඊට සහභාගී කරවාගැනීම යටපත් වී, ඒ වෙනුවට නූතනත්වයේ තාක්ෂණිකමය ස්වභාවයට එබඳු උත්සාහයන්හි ප්‍රමුඛතාව හිමිවීමයි. මෙබඳු බෝහෝ ආයතනික ව්‍යූහයන්ට අදාළව පරිපාටිය (Procedure) රීති හා රෙගුලාසි බලපැවැත්වීමේ ගතිකය ඉස්මතු වී, මිනිසුන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය නොසළකා හැරෙනු දැකිය හැකි වන්නේ මේ නිසාය. මෙබඳු ආයතනික යාන්ත්‍රණයන් ඉදිරිගාමී යැයි ද, එනිසාම මිනිසාට යහපත් යැයි ද විශ්වාස කෙරෙන හෙයින් කළ යුතුව ඇති නිවැරදි දේ ඒවා පිහිටුවාලීම යැයි විශ්වාස කරනවා මිසක, මහජනයා වෙනුවෙන්, ඔවුන්ගේ යහපත සඳහා පිහිටුවෙන්නේ යැයි පැවසෙන මෙම ආයතනික ව්‍යූහවලට බොහෝ විට මහජනයා හවුල්කර ගැනෙන්නේ, කිසියම් ආකාරයක බලහත්කාරයකින් මිස මහජනයාගේ ස්වේච්ඡා සහභාගීත්වයෙන් නොවේ. මෙහි ලා මා අවධාරනය කරන්නේ, නූතන සමාජීය ආයතනික ව්‍යූහයන් ගොඩනැංවීම බොහෝ කොටම විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන් කෙරෙන්නක් මිස, ඒවාට අදාළ ජනයා ඒවා ගොඩනැංවීමට හා පවත්වාගෙන යාමට සක්‍රීයව සහභාගීකරවා ගැනීමට උනන්දුවක් දැක්වීම මත නොවේය යන කරුණයි.

මෙපරිද්දෙන්, ලංකාවේ නූතන ආයතනික ව්‍යූහයන් ගොඩනැංවීම, තමාගේ ක්‍රියාකාරකම් තුළින් අනාගතය හැඩගැස්වෙනු දකින නූතනවාදීන්ගේ කටයුත්තක් මිස, ඒවා ඔවුන්ගේ යහපත සඳහා ගොඩනැංවෙන්නේ යැයි කියන මහජනයාගේ දේශපාලන සහභාගීත්වය දිනා ගැනීමෙන් කෙරෙන්නක් නොවේ. වෙනත් විදියකින් කියනවානම් ලංකාවේ නවීකාරක ව්‍යාපෘතිය බොහෝ අංශ වලදී, මහජනයාගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට පත් වී නැත, යන්න මගේ යෝජනාවයි. මෙනිසා බොහෝ තැනක නවීකරණය මහජනයා මත බලහත්කාරයෙන් පැනවෙන්නක් බවට පත්වී තිබීමෙන්, එහි අනාගත සාර්ථකත්වය පිළිබඳ සැක පහළවීම නොවැළැක්විය හැකිය.

නවීන ආයතනික ව්‍යූහයන් ජනයා මත බලහත්කාරයෙන් පැටවීමේ ක්‍රියාමාර්ග තුළින් ප්‍රකට කෙරෙන්නේ ද අදාළ ජනයාගේ කර්තෘභාවය ඔවුනට ප්‍රතික්ෂේප කිරීම නොවේද?

මානව අයිතිවාසිකම්

මානව අයිතිවාසිකම් පිළිබඳ ලිබරල්වාදී කතිකාවට පදනම්ව “ස්වභාවික අයිතීන්”, “පෞද්ගලික පුද්ගලයා” සහ “නිර්බාධ ක්‍රමය” (“Natural rights”, “Private individual” “laissez-faire”) යනාදී සංකල්ප පිටුපස ඇත්තේ, නූතනත්වය තුළ ආණ්ඩුවත්, “පුද්ගලයාත්” අතර ගොඩනගා ගත් ප්‍රතිවිරුද්ධභාවය පිළිබඳ අදහසකි. ඊට ප්‍රතිපක්ෂව කිව හැක්කේ පුද්ගලයා යනු ස්වභාවික දෙයක් නොව ඓතිහාසික සාධනයකි යන්නයි. එපමණක් නොව මෙම නූතන පුද්ගලයා සාධනයේදී ආණ්ඩුව තීරණාත්මක වැඩ කොටසක් ඉටුකර ඇත. “නිර්බාධ ක්‍රමය” මිත්‍යාවක් බව පිළිගැනී ති‍බේ. ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්නයේ දී වැදගත් වෙන්නේ ආණ්ඩුව අවම ද? නැද්ද? යන්න නොව ආණ්ඩුවේ පාලන ආකාරය යි.

ආධානග්‍රාහී මාක්ස්වාදීනට අනුව, ආර්ථික නියතිවාදය සහ ඓතිහාසික පරිණාමය මත පදනම්ව සියල්ල පැහැදිළිකරන මහා ආඛ්‍යානයක් ධනවාදයේ පන්ති විග්‍රහයෙන් සැපයෙයි. ඉන් මතු කෙරෙන ප්‍රධාන න්‍යායික විසඳුම “ඌන සංවර්ධනයට” පිළිතුරු වශයෙන් සමාජවාදී කාර්මිකකරණයයි.

ධනවාදයේ සමාජයීය අයහපත විවේචනය කරන මාක්ස්වාදීන් ධනවාදයට ප්‍රතිපක්ෂව සාමූහික ජීවන ක්‍රමයක් තෝරා ගැනීමට පළ කරන අපේක්ෂාව තුළින් මානවයාගේ කර්තෘභාවය පිළිබඳව විශ්වාසය පෙන්නුම් කරන නමුදු, ලිබරල්වාදීන් මෙන්ම, ඔවුන්ද මෙම මානව කර්තෘභාවය අනුමත කරන්නේ තමනගේ දේශපාලන ව්‍යාපෘතියට ඇතුළුවන්නන්ට පමණි. සමාජීය පැවැත්ම පිළිබඳ සාමූහික වගකීම පිළිබඳ කරුණු තම දේශපාලන න්‍යාය පත්‍රයට ගැනීම තුළින්, සාමූහික යහ පැවැත්ම පිළිබඳව අපට ඇති ආචාර ධර්මීය වගකීම දේශපාලන කතිකාව තුළට ගෙන ඒමට මාක්ස්වාදීන් ඉඩ සළසා දෙයි. නමුත්, සමාජ සමානාත්මතාවය පිළිබඳ සංකල්පය, මාක්ස්වාදී කතිකාව තුළ, සාම්‍යය (sameness) පිළිබඳ අදහසක් බවට පත්වනු බොහෝවිට දැකිය හැකිය.

“ධනවාදයේ තුන්වැනි කාර්තුව”

ඔවුන් තම න්‍යායික විග්‍රහය සම්පාදනයට පදනම් කරගන්නේ “පශ්චාත්-නූතන-තත්ත්වය” නිසා මා “පශ්චාත්-නූතන-තත්ත්වවාදය” ලෙස නම් කරන කතිකාවට අනුව “ධනවාදයේ තුන්වැනි කාර්තුවේ භාණ්ඩයීයකරණය” (Commodification) නැතහොත් සියල්ල වෙළඳ භාණ්ඩ බවට පත්වීම සහ, “ගෝලීයකරණය” පිළිබඳ විග්‍රහය ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය අවබෝධ කරගැනීමට අපට උදව් වන ප්‍රධාන න්‍යායයන්ය. වර්තමාන තත්ත්වයෙන් ජය ගැනීමට මහා විසඳුම, සියළු සමාජීය දුර්ගුණයන්ට කෝකටත් තෛලය වන නවීකරණයෙන් සපයා දෙන්නේය‍, යන ලිබරල්වාදී අදහස පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු ද දරති. මේ අර්ථයෙන් ගත්කල මොවුනගේ න්‍යායික අදහස නවීකරණය පිළිබඳ න්‍යායයේ ප්‍රභේදයකි. ඒක රේඛීය, පරිණාමවාදී මහා ආඛ්‍යානයකි. ඔවුන්ගේ විග්‍රහය තුළ සම්ප්‍රදාය, සහ එහෙයින් සංස්කෘතිය, ඔවුන්ගේ සතුරා ය. බැහැරකළ යුතු අනෙකාය. ඩේකාට් ට මෙන්, ඔවුනට ද සංස්කෘතිය දෝෂය නැත්නම් වැරැද්දයි (error) හරියටම ඔවුන් තම උපත ලද සංස්කෘතියේ නිශ්පාදනයන් නොවන්නාක් මෙනි. මෙලෙසින් ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ගේ සම්භවයෙන් (origin) නිදහස් වන්නට ඇති ආශාව යි. තමා තමා විසින්ම ස්වයංව සම්පාදනය කරගත්තේ යැයි විශ්වාස කිරීමට ඇති කැමැත්තයි. තමන් උපත ලද සංස්කෘතියෙන් ඉඳුරා නිදහස් වීමට ඔවුන් ප්‍රකාශ කරන ආශාව තුළින්ම, ඔවුන් තම සංස්කෘතිය, එනම්, නූතණත්වයේ සංස්කෘතිය, නූතණත්වයේ සම්ප්‍රදාය ප්‍රකාශයට පත් කරන්නේය, යන්න මගේ යෝජනාවයි. මේ ඩේකාට්ගේ දරු පරපුරේ චින්තනය ප්‍රකාශයට පත් වීමයි.

“පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ගේ” විග්‍රහය මූලික වශයෙන් පදනම් වන්නේ, ඓන්ද්‍රීය-ඓන්ද්‍රීය නොවන, කය-මනස, විචාර බුද්ධිය-සංස්කෘතිය, ස්වභාවය-සංස්කෘතිය, මානව සමාජය-සිවිල් සමාජය, වැනි අන්‍යොන්‍ය වශයෙන් බැහැර කෙරෙන, ධූරාවලීගත කිරීමෙන් ප්‍රතිපක්ෂයේ එක පාර්ශ්වයක්, අනෙකා පරයා වරප්‍රසාදගත කරන ප්‍රතිපක්ෂයන් මතය. එහි ප්‍රතිළුලය වන්නේ, ලොව පිළිබඳ අපගේ අත්දැකීම් දෙකඩ කොට විසංවාදකොට තැබීමයි. මනුෂ්‍යයා විසින් ලොව පිළිබඳ කතා කිරීමට තනාගෙන ඇති විවරණෝපයෝගී (heuristic) වටිනාකමක් ඇති ව්‍යවහාරයේ පවතින මෙවැනි ප්‍රතිපක්ෂයන් සහවාසයට ගෙන ඒමෙන් තොරව මානව අතිදැකීම් එහි සමස්ථ අර්ථයෙන් වටහාගත නොහැකි බව, අපට වටහා ගත නොහැකි වීමයි.

ගෝලීයකරණයට ලක් වූ ප්‍රාග්ධනයේ සහ වෙළෙඳපොළෙහි තර්කනයට මානවයන් අසු වී ඇතැයි ප්‍රකාශ කිරීමෙන්, ප්‍රාග්ධනයත්, වෙළෙඳපොළ තර්කනයත්, පාරිබෝජනවාදයත් මානව ජීවිත මත ඇති කරන ඉමහත් බලපෑම කෙරෙහි අපගේ අවධානය යොමු කරන්නට “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” ක්‍රියා කරති. මෙලෙස නූතනත්වය යටතේ මානව සබඳතා භාණ්ඩයීයකරණයට ලක් වීමට ප්‍රතිරෝධය දක්වන්නට අප අපොහොසත් වන්නේ නම් මිනිස් ජීවිත සහමුලින්ම පාලනය කරන්නට ඒවා සමත් වනු ඇත. මෙකරුණු එක් පසෙකින් විවේචනාත්මක දෘෂ්ටියකින් අපගේ අවධානයට යොමු කරන අතරම, අනෙක් අතින් පරිණාමවාදී පර්යාලෝකයකින් දකිමින් එම ක්‍රියාවලීන් සාධනීය සංවර්ධනයන් ලෙස සළකන්නට ඔවුන් පෙළඹී ඇත්තේ ඒවා විසින් පූර්ව-නූතන දේ විනාශකරන්නේය යන විශ්වාසය මත පදනම් වෙමිනි. මගේ යෝජනාව, මෙම දෙබිඩි විග්‍රහයෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ “උපකරණමය සබුද්ධිකභාවය” (instrumental rationality) යනුවෙන් ඇතැම් චින්තකයන් හඳුන්වා දී ඇති, විචාර බුද්ධිය තම අරමුණු සඳහා හුදු උපකරණයක්, මෙවලමක් ලෙස යොදා ගැනීමට ඔවුන් දක්වන නැඹුරුව බවයි. මෙය මෙලෙස සිදුවන්නේ දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කිරීමේ දී ඕනෑම දෙයක් වලංගුය යන ශුන්‍යවාදී ආස්ථානය මත පිහිටා කටයුතු කිරීමට ඔවුන් පෙළඹී තිබීමෙනි. දේශපාලනයේ ආරම්භක ලක්ෂ්‍යය, පවත්නා සමාජයේ හොඳ-නරක පිළිබඳව ආචාර ධර්මීය පදනමකින් මතුකෙරන විවේචනයන් බව නොසළකා හැරීමට අප පොළඹවන්නේ කුමන ලාභාපේක්ෂාවක්දැයි, මෙහිදී සළකා බැලීම වටනේ ය.

මානව සබඳතාවලදී තීරණාත්මක සාධකය වන්නේ ප්‍රාග්ධනය යැයි “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” පළකරන අවබෝධය, ප්‍රාග්ධනයම වූ කලී මූලික වශයෙන්ම මානවයන් අතර ඇතිවන සමාජ සම්බන්ධතාවක් බව නොසළකා හැරීමෙන් මතු වන්නකි. “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” තමන්ගේ ජීවන භාවිතාවන් තුළ තමන් ප්‍රාග්ධනයේ පරිපථයන් තුළ කොටු වී නැතැයි ලොවට ප්‍රකාශ කරන්නට කැමැත්ත දක්වන අතරම ඔවුන් අමතක කරන කරුණ වී ඇත්තේ, අනෙකුත් මානවයන්ට ද, එසේ කිරීමට ආශාවක් ඇත්නම්, ප්‍රාග්ධනයේ පරිපථයන් තුළ සිර නොවී සිටීමට දැනුවත් තීන්දු ගැනීමට ඔවුනටද හැකි වීමට ඉඩ ඇති බවයි.

සංස්කෘතිය විනාශ කිරීම

නවීකරණය, ධූරාවලීය සහ පීඩාකාරී පූර්ව-නූතන සමාජ සම්බන්ධතාවන්ගෙන් මානවයන් නිදහස් කරන හෙයින්, පූර්ව-නූතන තත්ත්වයන්, සම්ප්‍රදාය සහ සංස්කෘතිය විනාශ කරලමින්, සහමුලින්ම කෙරෙන “රැඩිකල්” නවීකරණයක්, මොනවා වුවත් ඉදිරියටම ගෙන යා යුතු බව “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” විශ්වාස කරති. මෙලෙසින් ඔවුන් කියා සිටින්නේ ඊනියා පූර්ව-නූතන ජීවන හා සිතිමේ ආකාරයන් හා බැඳුනු මානවයන් ඔවුන් එසේ වන නිසාම ඔවුන් කිසි වැඩකට නැත්තවුන් ලෙස සැළකෙන බවයි. මෙහිදී අපට දැකිය හැක්කේ, විචාර බුද්ධිය මෙවලමක් ලෙස යොදා ගැනීමයි, කල්තබා තීරණය කරගත් අරමුණක් සඳහා ගන්නා ඕනෑම මාර්ගයක් සාධාරනය කිරීමට න්‍යාය සම්පාදනය යි, කිසියම් භෞතික අරමුණක් සාධනය කරගැනීමට මගක් ලෙස මානව සබඳතා පාවිච්චි කිරීමට අවශ්‍ය න්‍යාය තනා ගැනීමයි. ඔවුන්ගේ තර්කය වනු ඇත්තේ අපේක්ෂිත අරමුණ “මානව වර්ගයාගේ” ඉදිරි ගමනට, ප්‍රගතියට වාසිදායක වන හෙයින් පූර්ව නූතන ජීවන හා සිතිමේ ආකාරයන් බලහත්කාරයෙන් වුව බිලි දීමෙන් “පූර්ව-නූතනයන්”ට නවීනයන් වීමේ වාසිය අත්වනු ඇති බවයි. මේ අනුව, “පූර්ව-නූතනයන්”ට යහපත් දේ කුමක්දැයි තීරණය කිරීමේ විශේෂ බලය හිමිව ඇත්තේ නූතනවාදීන්ට ය. නමුත් සම්ප්‍රදාය සහ සංස්කෘතිය සහමුලින් විනාශ කිරීමෙන් මිනිස් ආත්මයේ ඇතිවන ආචාර-ධර්මීය හිස් තැන පුරවා ගන්නට ඔවුන් යෝජනා කරන්නේ, තම අරමුණට ප්‍රයෝජනවත් දේ යහපත්ය යන ශුණ්‍යවාදී අදහස ද? යන්න මෙහිදී පැහැදිලි කරගත යුතු වෙයි.

මානවයන්ගේ හැසිරීම ව්‍යූහ මගින් නිශ්චය කෙරෙන්නේ ය, නියම කෙරෙන්නේය, යන විශ්වාසය තුළ, (තමන් හැරුනු කොට අනෙක්) මානවයන්, නෛසර්ගික වටිනාකමක් ඇති පුද්ගලයන් ලෙස නොසලකන්නට “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” පෙළඹෙති. වැදගත් වන්නේ සමාජ ප්‍රගතිය හෙයින් මානවයන්ගේ වැදගත්කම ඇත්තේ ප්‍රගතියට බලය සපයන හුදු අංක වශයෙන් පමණි.

කෙසේ වුවද, මෙලෙස තම අනෙකාට මානව කර්තෘභාවය අහිමි කරමින් මානව ක්‍රියාකාරකම් මත පැනවෙන ව්‍යූහමය ආධිපත්‍ය පිළිබඳ අදහසක් පරමයක් ලෙස ගන්නා අතරම ගෝලියකරණය, ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළ මිනිස් සබදතා මත ඇති කරන්නට සමත් බලපෑම් පිළිබඳ දැවැන්ත සාමාන්‍යකරණයෙන් කරන “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” එසේ තිබියදීත් තමන්ගේම ක්‍රියා තුළින්, මානවයාට කර්තෘභාවය ක්‍රියාවට නැංවිය හැකි බව පළ කර සිටිති, ව්‍යූහයන් ගේ අධිපතිභාවයෙන් මිදී ක්‍රියා කිරීමේ නිදහස ලබා ගන්නට ඉඩකඩ ඇති බව හඳුනා ගනිති. නමුත්, මෙහි දක්නට ඇති වැදගත් කරුණ නම්, මෙහිදීත්, මානව කර්තෘභාවය තනිකරම තමන් (self) අත රඳවා ගන්නා මොවුහු එය අනෙකාට (other) ප්‍රතික්ෂේප කරති. තමන් අයිතිවාසිකම් කියා සිටින කර්තෘමය තත්ත්වය අනෙක් අයගෙන් පැහැර ගනිති, ඔවුනට අහිමි කරති.

“පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” තමන් තුළ ඇති මානව කර්තෘභාවය හෙළිදරවු කරන්නේ, අන් අයට මානව කර්තෘභාවය අහිමි කරන්නට තමන් තුළ ඇති ආශාව ක්‍රියාවට නැංවීමෙනි. “ස්වාමියා සහ වහලා” පිළිබඳ තම උපමා කතාවේදී හේගල් සඳහන් කලාක් මෙන්, තමන්ගේම කර්තෘභාවය (Subjecthood) ගොඩනංවා ගැනීම සඳහා අනෙකාගේ කර්තෘභාවය නිශේධ කිරීම හෝ යටත් කරගැනීමේ (subject or negate) මග ඔවුන් තෝරාගෙන ඇති බව ඔවුහු ප්‍රකාශයට පත් කරති. අනෙකාගෙන් තමා වෙනස් වන ආකාරය පදනම් කරගෙන තම අනන්‍යතාව සම්පාදනය කරගැනීමේ, සොසියුයෝවාදී (Saussurean) එළඹුම තවත් මඟකි. නමුත්, මානවයාට තම අනන්‍යභාවය සම්පාදනය කරගැනීමට ඇති ප්‍රබලතම මඟ මේ දෙකින් එකක්වත් නොවේ.

තාක්ෂණය අධි-තක්සේරුව

තවද, “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” මානව නිදහස සාක්ෂාත් කරගැනීමේ ලා තාක්ෂණයේ කාර්යභාරය පිළිබඳ අධිතක්සේරුවක් පළකරන්නේ හරියටම, මානව ක්‍රියාකාරකම්වල හරය තාක්ෂණික සාධනයන්ට සහ මානව සාධනයන්ට හුදු තාක්ෂණය පිළිබඳ කරුණකට, ලඝු කල හැකිවාක් මෙනි. මානව කටයුතු වලට බලපාමින් ඉතිහාසය හැඩගැන්වීමෙහි ලා මිනිසුන් නිදහස් කරනවා වෙනුවට තාක්ෂණයේ අධිපතිභාවය යටතට මානව ක්‍රියාකාරකම් නතු කිරීම තුළ තාක්ෂණය ඉටු කොට ඇති ඉතා වැදගත් වැඩ කොටස ඔවුහු නොසලකා හරිති.

“මානව ප්‍රපංචයන් වූ කලී හුදු සමාජීය සහ ඉතිහාසීය නිර්මිතයන් ය යන අදහස” යහපත් යැයි තමන් සිතා සිටින අරමුණක් ඇති පුද්ගලයන් හෝ කණ්ඩායම් වල අධිෂ්ඨානය ඇත්නම් සමාජ ප්‍රපංචයන් තමන් රිසි පරිදි ප්‍රති-නිර්මාණය කිරීම සරළ හා පහසු කටයුත්තකි යන ලෙසින්, අරුත් ගන්වන්නට “පශ්චාත්-නූතන-තත්ත්වවාදීහු” එළැඹ සිටිති. එහෙයින් මිනිස් ලොව තමන් රිසි පරිදි නැවත නිර්මාණය කිරීම අරමුණු කොටගත් කතිකාවක් තුළ මානව කර්තෘභාවය ඇත්තේ විසංයෝජනවාදීන්ට සහ නවීකාරකයන්ටය. කතිකාවන් නිර්මිතයන් ලෙස ගැනීමේ ඇති ධනාත්මක පක්ෂය මතුකරගත හැකි වන්නේ පවත්නා නිර්මිතයන් නව අරුත් වලින් පුරවා ලිය හැකිය, නැතහොත් පවත්නා තත්ත්වය නව අර්ථ කථනයන්ට ලක් කල හැකිය, මිනිස් ලෝකයේ අනාගතය පිළිබඳව අපගේ පරිකල්පනාව අවධි කරන පරිදි, මානව ඉතිහාසයේ හැම විටමත් මිනිසුන් කර ඇති පරිද්දෙන් කතන්දර කියන්නට අපට හැකිය, යන අරුතින් මිස, පුද්ගලයන් හෝ කණ්ඩායම් හෝ රිසි පරිදි, අවශ්‍ය විටෙක, මිනිස් ලෝකයේ සිතුම් පද්ධති එකවර වෙනස් කරන්නට හැකිය යන, අධිකාරවාදී අරුතින් නොවේ.

“පශ්චාත්-නූතන-තත්ත්වවාදයේ” දේශපාලන ව්‍යාපෘතිය, තමන්ට, තමන්ගේ කණ්ඩායමට මතවාදී ආධිපත්‍ය නොහොත් “හෙජමොනිය” ස්ථාපිත කර ගැනීමයි, තමනට දේශපාලන නායකත්වය අත් කර ගැනීමයි. එහෙයින් ඔවුන්ගේ විශ්වාසය සියලු පැරණි කතිකාවන්ගේ තැන ගන්නා නව කතිකාවක ආධිපත්‍යය සමාජ ක්‍රියාකාරකයන් කණ්ඩායමක් විසින් පිහිටුවා ලිය හැකි බවත්, තමන් විසින්ම හෝ මිත්‍ර පාක්ෂික වෙනත් දේශපාලන බලවේගවල පිහිටෙන්, හෝ දේශපාලන බලය අල්ලා ගත් විට, තමන් අපේක්ෂා කරන සමාජ විපර්යාසය උදාකල හැකිවනු ඇතැයි යන්නයි.

“මානුෂික සබඳතා”

මානව කර්තෘභාවය විතැන් කරන ව්‍යූහයන් පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය එසේ තිබියදීත්, භාණ්ඩයීයකරණය වූ මිනිස් සබඳතාවලට ප්‍රතිපක්ෂව “මිනිස් සබඳතා” යළි පන ගැන්වීමේ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කිරීම “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ගේ” න්‍යාය ගැන්වීමේ ඇති සාධනීය අංගයක් සේ පෙනී යයි. නමුත් ඉහත සඳහන් කල පරිදි, එක් අතකින් මානුෂික සබඳතා අගය කරන අතර, අනෙක් අතින් ප්‍රාග්ධනයේ තුන්වන කාර්තුව යටතේ සියලු මිනිස් සබඳතා භාණ්ඩ බවට පත් වීම, ප්‍රගතිශීලී ක්‍රියාවලියක් ලෙස ද අවධාරනය කෙරෙයි. “මානව සබඳතා” දේශපාලන න්‍යාය පත්‍රය තුළ මතු කිරීමෙන්, ආචාර ධර්මයත්, දේශපාලනයත් අතර ඇති සම්බන්ධය එක් අතකින් මතු කරන අතරම, අනෙක් අතින් දේශපාලනයට ආචාර ධර්ම වලංගු නොමැති බවත්, ප්‍රාග්ධනයට කන්‍යාභාවයක් නොමැති බවත් ඔවුහු අවධාරණය කර සිටිති.

සංස්කෘතියට සහ ඒ යටතේ කෙරෙන ගුණ වගාවට (cultivation) ඇති තම විරුද්ධතාව තිබියදීත් “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්” අපේක්ෂා කරන්නේ සංස්කෘතිකව හැඩ ගැස්වුණු, ශිෂ්ට (Cultured) සමාජයකි. එකම වෙනස අන් අය තමන් ගේ ආධිපත්‍ය ය‍ටතේ ශිෂ්ට විය යුතුය යනුවෙන් ඔවුන් දරන ස්ථාවරයයි. බහුවිධ මානව ජීවිතයන්හි ඇති එක් එක් සුවිශේෂීභාවයන් ගිල්වාලන මහා සංකල්ප සහ න්‍යාය ගැන්වීම් සඳහා ඇති ඔවුන්ගේ ආශාව තුළ, එළැඹ ඇති විශ්වාසයක් නම්, මානව ලෝකය මානව සත්වයන්ගේ සැලසුම්වලට අනුව සිතැඟි පරිදි හැඩගැස්වීමට සෑහෙන ආකාරයෙන්, න්‍යාය ගැන්වීම් තුළින් මානව ලෝකය පැහැදිළි කළ හැකිය යන්නයි. සම්ප්‍රදායයත්, සංස්කෘතියත් සතුරා ලෙස ජය ගත යුතු බාදාවක් හෝ අවහිරයක් ලෙස සැළකීමේ දී ඔවුන් පළකර සිටින්නේ ස්වයංනිර්මිත වීමට සහ තම සම්භවයෙන් (origin) නිදහස් වීමට ඇති නූතන ආශාවයි. ඉහත සඳහන් කලාක් මෙන් හරියටම, ඔවුන්මත් තමන්ගේම සම්ප්‍රදායයේ උරුමක්කාරයන් හා නිශ්පාදනයන් නොවන්නාක් මෙනි. ඔවුන් ව්‍යූහයන් තේරුම් ගන්නා ආකාරයෙන් පෙනී යන්නේ, එය පදනම් වී ඇත්තේ, වහූයන්ට ඒවා සැදුම් ගන්නා මානව සබඳතා හා භාවිතාවන්ට මුලුමනින්ම පරිබාහිරව, ස්වායත්තව පැවතිය හැකි ජීවිතයක් ඇතැයි, යන අදහස මත බවයි. එනම්, ව්‍යූහයන්, භූමිය සපයන මානව කර්තෘභාවයත් අතර චීන මහා ප්‍රාකාරයක් ඇතැයි, වැනි අදහසක් මත බවයි.

මෙලෙස “පශ්චාත්-නූතන-තත්ත්වවාදීන්ගේ” අවධානයට හසු නොවන කරුණක් බව පෙනෙන්නේ, ඔවුන් පූර්ව නූතන වශයෙන් ලේබල් අලවන කොටස කෙසේ හෝ පරාජය කල යුතු ප්‍රවර්ගයක් ලෙස සැලකීමෙන්, තමන් අයහපත් යැයි විවේචනයට ලක් කරන දෙයම තමන් විසින් ක්‍රියාවට නංවන බවයි. එනම්, මිනිසුන් අතර සම්බන්ධතා පැවැත්වීමේ දී, අන් අයට මානවයන් ලෙස නොසලකා, ඔවුන් තම අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ඇති හුදු මෙවලම් හෝ උපකරණ ලෙස සැළකීමයි. සිවිල් සමාජය පිළිබඳ ඔවුන්ගේ විවේචනයේ දී, ඔවුන් විවේචනය කරන්නේ ද, මෙම කාරණයමය. මිනිසුන් පූර්ව-නූතන, වැඩවසම් හෝ ගෝත්‍රික යනුවෙන් හංවඩු ගසමින් කරන විවේචනයේ දී ද, ඔවුන් විවේචනය කරන්නේ ද මේ එකම කරුණම ය. එනම්, අන් මිනිසුන්, සියලු දේ තම අරමුණට මෙවලම් වශයෙන් පාවිච්චි කිරීමට විචාර බුද්ධිය යෙදවීම යි (instrumental reason).

(මතු සම්බන්ධයි)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )