“මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම

අර්ජුන පරාක්‍රම
අර්ජුන පරාක්‍රම

“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්……………..

දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන්වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.

අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති………

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති කුමුදු කුසුම් කුමාර විසින් සංවිධානය කරන ලද සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයේ දෙවන කොටසයි.එම දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය.

පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ? – දෙවන කොටස
මේ ආදී වශයෙන් උදාහරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඊට වඩා ප්‍රායෝගිකයි මම මේ දැන් කියපු දේවල්. ඒ අවදානමත් අභියෝගයක්, එහි වැදගත් කමත් අපට දකින්න පුළුවන් දීප්තිගේ ලිපි දෙක පොඩ්ඩක් පරීක්ෂා කලොත්. නමුත් මම මුලදි කිව යුතු දෙයක් තියනවා. මම හිතන්නේ දීප්ති විතරයි මේ සංකල්ප තුළින් (විශේෂයෙන්ම නූතනවාදී සංකල්ප) අපිට අදාළ යථාර්ථය තේරුම් ගැණීමට හෝ ඊට එරෙහි වීමට යම්කිසි විදිහේ ප්‍රයත්නයක් දරන්නේ. දීප්තිගේ මෙම සාර්ථක අසාර්ථක මධ්‍යයේ (Nexus) අපට එය දකින්නට පුලුවන්. අනෙක් අයගේ මැදිහත් වීම්වල ප්‍රයෝජනයක් නැහැ. මොකද බොහෝ විට බොරුවක් කරලා තියෙන්නේ. මන්ද එකක් අරගෙන කොකිස් අච්චුවෙන් වගේ කොකිස් හදලා තියෙනවා. දීප්ති විතරයි මේ සංකල්ප තුළින් ඇත්තෙන්ම අලුත් දෙයක් ලබා ගන්න උත්සාහ කරලා තිබෙන්නේ. මම මෙතනදි විශේෂයෙන්ම සඳහන් කරන්නේ ප්‍රවාද 8 හා 9 කළාපවල පළ වූ ලිපි දෙක ගැනයි.

දීප්තිගේ මෙම ලිපි දෙකටත් වඩා ඉතාම පුහුයි, බොළඳයි ප්‍රවාද කතුවැකිය. මෙම කතුවැකියෙන් පශ්චාත් නූතනවාදය ගැන කථා කරනවා. ඒකෙන් කරන්නේ මුලදි අපි කථා කලා වගේ, නම් දාන එකයි. අපට ඉතාම වැදගත් වන්නේ මේ ප්‍රායෝගික දෙයයි. එනිසා මා මෙය කියවන්නම්. “මෙවර ප්‍රවාද සඟරාවෙන් අපට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කරන්නේ පශ්චාත් නූතනවාදය යැයි හැඳින්වෙන සමාජ න්‍යාය ආශ්‍රය කොටගෙන සැකසුනු විග්‍රහයන් කීපයකි.” කවුද මේ කථා කරන “අප”, “එනම් සාම්ප්‍රදායික න්‍යාය ප්‍රවේශයන් හා විග්‍රහයන් වෙතින් අප ලබා ඇති බුද්ධිම සැප පහසුකම පශ්චාත් නූතනවාදය විසින් ඉතා දැඩි ලෙස ප්‍රශ්න කරනු ලබන හෙයිනි”. මේ “අප” යි මුලින් “අප” යි මට හිතෙන්නේ වෙනස්. මෙහි අන්තිමට කථා කරනවා “පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය යනාදී සංකල්ප මෙන්ම ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද්, උම්බර්ටෝ ඊකෝ වැනි පුද්ගල නම් ද අපට දැන් හුරුපුරුදු ඒවාය”. කවුද මේ “අප” මම නම් දන්නේ නෑ. ඇත්තෙන්ම මම දකින්නේ මේ “පශ්චාත් නූතනවාදී යකා” කියන තැන ඉඳල ඒ වෙනුවට “පශ්චාත් නූතනවාදී දෙවියෙක්” බිහි කරනවා මෙතන. මෙ පශ්චාත් නූතනවාදී දෙවියාට පුළුවන්ලු පශ්චාත් මාක්ස්වාදය, ස්ත්‍රීවාදය, පශ්චාත් ව්‍යුහවාදය දැඩි ලෙස ප්‍රශ්න කරන්න. ඒ සියල්ල ඈඳී තිබෙන්නේ එක්තරා විශේෂ නූලකිනි. ලුවී අල්තුසර්, මිෂෙල් ෆුකෝ, ලියොතාද් කොහෙ නූල්ද මේවා. ඇත්ත වශයෙන්ම මම කියන්නෙ මෙතන තියෙන්නේ දන්න නම් ටික යොදා පෙන්වීමක් (Name dropping). මම දන්නවා ඒ නම් ටික. නමුත් දීප්ති ලඟ මේ වගේ වැඩ නැහැ. බලන්න මෙතන කියනවා “යුරෝපීය පශ්චාද් ප්‍රබුද්ධවාදී බුද්ධිමය ව්‍යාපෘතිය වූ ධනේශ්වර සමාජ න්‍යාය මෙන්ම මාක්ස්වාදය විසින් සංකල්පගත කරනු ලබන ප්‍රගතිය හා නවීනත්වය පිළිබඳ ඓතිහාසික දෘෂ්ඨිපතය විසංයෝජනය කිරීම හා එම දෘෂ්ඨිපතයම ප්‍රශ්න කිරීම පශ්චාත් නූතනවාදී චින්තනයේ ආරම්භක කාර්යයක් විය.

ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ගිලස් ඩෙලියුසෙ, ශන් පෝල් සාත්‍රෙ සහ මිචෙල් ෆූකෝ
ඇත්තෙන්ම මම ජනාධිපති වුනොත් වෙන කිසිම දෙයක් කරන්නේ නෑ, විසංයෝජනය කියන වචනය තහනම් කරනවා. අද හැමදෙයම විසංයෝජනය කිරීමට කථා කරනවා. ඩෙරීඩා කවදාවත් මෙම වචනය භාවිතා කලේ නැහැ. මොකද ඒක සෙල්ලමක් නොවෙයි. එයින් කථා කරන්නේ මහා පුළුල් දෙශපාලනයක්. නමුත් විසංයෝගතාවාදය ගැන කථා කරන්නනම් තවත් දේශන 10ක් පමණ අවශ්‍ය වෙයි. මට වඩා ඒ ගැන දන්න කෙනෙක් අවශ්‍යයි. නමුත් මෙහි අවදානම මම කියන්නම්. මේක අපි ඉගෙන ගන්නා සෙල්ලමක් නම් ඒක බොහොම සරළ දෙයක්. මේක බොහෝම පැහැදිලිව පේනවා දීප්තිගේ ලිපිවල.

තව දුරටත් ප්‍රවාද කතුවැකිය මෙසේ කියනව. “කාර්මික ධනවාදය හෝ වේවා, සමාජවාදය හෝ වේවා වශයෙන් සංකල්ප ගත කරනු ලැබූ ඓතිහාසික ඉරණමක් කරා මනුෂ්‍ය වර්ගයා ගමන් කරන නවීනත්වයේ මහා ආඛ්‍යානය අපේ නූතනවාදී බුද්ධිමය නිර්මිතය ද වෙයි”.

මෙයින් පෙන්නුම් කරන්නේ, නවීනත්වයේ මහා ආඛ්‍යානය වෙනුවට මේ අය පශ්චාත් නූතනවාදයේ මහා ආඛ්‍යානය නිෂ්පාදනය කරන බවයි. මේක එකක් අයින් කරලා තව එකක් දා ගැනීමක්. දැන් බලන්න අපේ රැඩිකල් දේශපාලන සංස්කෘතිය හා බුද්ධිමය ව්‍යාපෘතීන්ට වැදගත් ආභාෂයක් ලැබෙනවලු, පශ්චාත් නූතනවාදයෙන්. ඒ වගේම මම හිතන්නේ අන්ත ප්‍රතිගාමී දෘෂ්ඨියකටත්, අන්ත ප්‍රතිගාමී දේශපාලනයකටත්, අන්ත ප්‍රතිගාමී සංස්කෘතික හා අන්ත බුද්ධිමය ව්‍යාපෘතියකටත් පශ්චාත් නූතනවාදයෙන් ආභාෂයක් ලැබෙනවා. ඉතින් පශ්චාත් නූතනවාදය ඇයි මේ දෙවි ‍කෙනෙක් කරලා තියෙන්නේ.

පශ්චාත් නූතනවාදයේ බොහෝ විවිධ දේවල් තියනවා. නමුත් දැන් අපි මේ කියපු දේවල් තුළ ඉඳලා දීප්තිගේ ලිපි දෙක ගැන ටිකක් කථා කරලා බලමු. මාතෘකාව “පශ්චාත් නූතනවාදී දේශපාලන මාතෘකා” කර්තෘ දීප්ති කුමාර ගුණරත්න. “ලාංකීය අරුතින් පශ්චාත් නූතනවාදී දේශපාලනය යනු කුමක්ද යන්න පැහැදිළි කරමින් මෙම ලිපිය ආරම්භ කිරීමට කැමැත්තෙමි.” මොකක්ද මේ කියන ලාංකීය අරුත. කාගේ ලාංකීය අරුතක්ද? එහෙම එකක් ඇත්ත වශයෙන්ම නැවැත ඇති කරනවා. මෙම ලිපියේ ලාංකීය අරුත යන්න හතර පස් පොලකම එනවා. මේක කියෙව්වාම වැටහෙනවා මේක නිර්ර්‍ප්‍රභූ, ග්‍රාමීය සිංහල ලාංකීය අරුත නොවෙයි, මේක අතිශයෙන්ම වෙනත් ජන වර්ගයන්ට අයත් අයගේ ලාංකීය අරුත ‍නෙවෙයි. මොකක්ද මේකෙන් කෙරෙන්නේ. ඇත්ත වශයෙන්ම පස්ස දොරෙන් මහා ප්‍රධාන ආඛ්‍යානයක් ගෙන ඒමයි මේකෙන් කෙරෙන්නේ. මහා විශාල බලපෑමක් අපි මේකෙන් ලබා ගන්නවා.

ලිපියේ ඊට පස්සේ “සහසම්බන්ධය ප්‍රතිපක්ෂ” ගැන කථා කරනවා. “සතුරා, මිතුරා, හොඳ නරක, පුරුෂයා – ස්ත්‍රිය, පාලකයා – පාලිතයා, යථාර්තය – මායාව, සංස්කෘතිය – ස්වභාවිකත්වය, ට්‍රොක්සිවාදය – ස්ටාර්ලින් වාදය, ප්‍රගතිශීලියා – ප්‍රතිගාමියා, විප්ලවවාදී පක්ෂය – පුද්ගලික (මිනිසා) ආදී සහසම්බන්ධ ප්‍රතිපක්ෂයන්” ය.

“ලාංකීය අරුතෙන් පශ්චාත් නූතනවාදී දේශපාලන ක්‍රියාකාරිකයෙක් වෙනවා යනු මෙම අතීත දේශපාලන අලංකාරිකය (Rhetoric) හැකිතාක් විසංයෝජනය කිරීමට මැදිහත් වීමයි.” ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුළුවන්ද? මේ ප්‍රතිපක්ෂ අපි තේරුම් අරං ති‍යනව, එනම් මේවා භාෂාවේ ගැබ්වෙලා තියෙනව, මේවා සංස්කෘතියේ කතිකාවේ ගැබ්වෙලා තියෙනව. දීප්තිගේ ලිපියෙන් පැහැදිලි වෙන්නේ ස්ත්‍රී පුරුෂයා කියන ඒ සහසම්බන්ධ ප්‍රතිපක්ෂය නැවත නැවත තීරණය වන බවයි. මාලිගයක්, ඇති හෝ නැති, වැරදි දේශපාලනය කරන්නා හෝ ඊට වඩා ඉන් ඉදිරියට යන්න පුලුවන් දේශපාලනයක් කරන්නා වගේ ප්‍රතිපක්ෂ, අපි නැවත ඇති කරනව.

ඩෙලියුසෙ,ලියොටාඩ් සහ ඩෙරීඩා
ඩෙලියුසෙ,ලියොටාඩ් සහ ඩෙරීඩා

“නූතනවාදය යන සංකල්පයම බටහිරවාදී එකක් නොවේද? ඔව්, මට ඒ ගැන කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. ලංකාව තුළ “දේශපාලනය” තුළ හැර අනෙක් සමාජ කලාප (සංස්කෘතිය, කලාව, චින්තනය) තුළ නූතනවාදී සංකල්පයක් බටහිරවාදී අරුතින් වටහා ගන්න බැහැ. දීප්තිගේ සාධාරණත්වය ලාංකීය අරුතක් වගේම බටහිර අරුතකුත් තියෙනවා. කරන්න “බැහැ” යි කීමෙන් මම මුලින් කිව්වා වගේ මෙතන තියෙන්නේ බුද්ධිමය තගක් වගේ දෙයක්. බැහැයි කියලා කිව්වම අපි හිතනවා ‍ඒකට තේරුමක් දෙයි කියලා. ඇයි මේ බැහැයි කියන එක පැහැදිලි කරයි කියලා අපි හිතනවා. මෙයා කියන්නේ ලංකාව තුළ නූතනවාදී සංකල්පයක් බටහිරවාදී අරුතකින් වටහා ගන්න බැහැයි කියලයි. මේක බොහොම දරුණු දෙයක්. අපිට සංස්කෘතිය, කලාව, චින්තනය බටහිරවාදී අරුතකින් තේරුම් ගන්න බැහැලු. වරහන් තුළ මෙහෙම කියනවා. “නමුත් මේ කලාප තුළ අවශ්‍ය නම් ලාංකීය අරුතකින් නූතනවාදය හඳුනා ගන්න පුළුවන්”. බලන්න මේකේ වරහන් තුළ තියෙන්නේ වෙන එකක්. මම මෙතනදී විග්‍රහ කරන්නේ මෙයයි. එනම් මෙතන එක ආඛ්‍යානයක් තියෙන්නේ. ලාංකීය අරුතින් කියන එක තුළ එක ප්‍රධාන ආඛ්‍යානයක් පෙන්නුම් කෙරෙනව. මම මුලින් කීවා වගේ පශ්චාද් නූතනවාදය ප්‍රධාන ආඛ්‍යාන බිඳහෙලීම අභිබවා පශ්චාද් නූතනවාදය කියන එක තවත් මහා ආඛ්‍යානයක් දියත් කරනවා. මෙතන දියත් වෙන්නේ ඒ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කියලයි මම දකින්නේ. සංකල්පයක බටහිර වීම නොවෙයි ගැටළුව. එහි ආරම්භය නොවෙයි එහි යොමුව, වලංගු බවයි වැදගත්. සංකල්පයක් බටහිර වෙන්න පුළුවන්. මම කලිනුත් කිව්වා වගේ යම් කිසි දෙයක ආරම්භය තුළ ඒකේ වැදගත්කම, වලංගු බව තීරණය වන්නේ නැහැ. මම දකින්නේ පැහැදිළිවම මෙම ලිපියේ තියනවා යම්කිසි දෙයක ආරම්භය පිළිබඳ ගැටළුව. යම්කිසි දෙයක් ආරම්භ වුනොත් ඒක වලංගුය. අපි උදාහරණයක් ගනිමු. මෙහි පැහැදිලි උදාහරණයක් අරගෙන තියෙනවා. “බොහෝ පශ්චාත් යටත්විජිතවාදී ලාංකීය ප්‍රකාශකයන් මෙම කරුණ අමතක කරනවා. උදාහරණයක් හැටියට කියනවා නම් ලංකාවේ තද සීතල ප්‍රදේශවල ජන විකාශනය ලාංකිකයන්ට පුරුදු කරල තියෙන්නෙ ඉංග්‍රීසීන්”. ඒ කියන්නෙ අධික සීතල තියෙන හෝර්ටන්තැන්න වගේ තැන් වෙන්න ඇති. “පුරුදු කරල තියෙන්නෙ” ඉංග්‍රීසීන්, මට ඒකෙන් කිසිම දෙයක් තේරුම් ගන්න බැහැ. ආරම්භය තුළින් අපි යම්කිසි නිගමන ගන්නව. මොකක්ද? මේ පශ්චාත් නූතනවාදයේ ආරම්භය. අපි ආරම්භය අමතක කරනවා නම් ඒකේ ඉතිහාස ජවනිකාව අපිට නැවත කරන්න සිද්ද වෙනව.

“..ඒ හින්දා ඉන්දීය සන්දර්භය තුළ පශ්චාත් යටත්විජිත කතිකාව තරමක් දේශපාලනික එකක් වුවත් ලාංකීය සන්දර්භය තුළ යටත්විජිත කතිකාව තරමක් අදේශපාලනිකයි”. දැන් හොඳටම කරකවලා අත හැරියා වගේ නේද? ඒකෙන් එකක්වත් තේරෙන්නේ නැහැ. අපි ඊලඟට බලමු. “සංකල්පීය උදාහරණයක් කියනවා නම් ලංකාවේ පරිසරය ගැඹුරෙන් හදාරන කෙනෙකුට වැටහේවි පරිසරය පිළිබඳ සීතල ආකල්ප ලංකාව තුළ ජනනය වෙලා නැහැයි කියල”. අන්න අර මම තග කියපු එක. මොකක්ද? තග, “ගැඹුරෙන් හදාරන කෙනෙකුට” කෙනෙකුට මේක තේරෙන්නෙ නැත්නම්, ඒ කියන්නෙ ඔහු මේක ගැඹුරෙන් හදාරලා නැති බවයි. ඔහු මෙය හොඳින් හැදෑරුවා නම් පමණයි තේරෙන්නෙ. මෙතන පාඨකයාව ඉතාමත් සියුම් විදියේ තල්ලු කිරීමක් තිබෙනව. “ලංකාවේ සීතල ගැන සංකල්ප බොහොමයන් බටහිර කේන්ද්‍රීව වෙලා තියෙන්නේ යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් හැටියට නොවී ලාංකිකයන්ගේ උණුසුම් සංකල්පවල තාර්කික ප්‍රතිඵලයක් හැටියටයි”. ඇත්තෙන්ම මෙතන වෙන්නෙ සරළ දෙයක් මහ ගැඹුරු දෙයක් හැටියට පෙන්නුම් කිරීමයි. මට සමා වෙන්න දීප්ති, මම වැරදිනම් මට තේරෙන්නේ ලංකාවේ මිනිස්සු සීතල තැන් වලදී හැසිරීම එතරම් න්‍යායික කරනය කරන්න බැහැ. හැබැයි ඕනෑම කෙනෙක් නුපුරුදු තැනකට ගියාම එම හැසිරීම වෙනස් චර්යාවක් ‍වෙනවා. අපිට කියන්න පුළුවන් නම් හෝර්ටන් තැන්නේ ජීවත්වන අය තමන්ට ආවේනික විදියට, තමන්ට හුරුපුරුදු විදියට සීතලට ඔරොත්තු දෙන විදියට ඉන්නේ නැහැ කියලා අන්න ඒක වෙන දෙයන්.

මේකෙ කියන්නේ “මේ අදහසේ දේශපාලනික තේරුම මේකයි. ලාංකීය ශරීරවල ඉතිහාසය පරීක්ෂා කරාම කෙනෙකුට වැටහේවි ලාංකීය අරුතින් ශරීරය සීතලට හුරු කරවන ලාංකීය දේශපාලනයක් නැහැ කියන එක.” ඇත්ත වශ‍යෙන්ම ශරීරය සීතලට හුරු කරවන දේශපාලනයක් පමණක් නොව, ශරීරය උණුසුමට හුරු කරවන දේශපාලනයක්වත් ලංකාවේ නැහැ. මෙතන වචන පාවිච්චි කරන්නේ බොහෝ විට පුද්ගල අර්ථයකින්. ඒ වචන පාවිච්චි කරන්නේ ඒ පුද්ගලයාට ආවේනික “කෝඩ්” එකක් වගේ රහස්‍ය භාෂාවකින්. මෙතැන දේශපාලනය කියන්නේ මම තේරුම් ගන්න එක නෙමෙයි.

“ඒ හින්දා තමයි අපි ශීත පලාත් වලට ගියාම ඇකිලෙන්නේ” මෙහි “අපි” වැදගත්. අන්න මම කිව්වනෙ දීප්ති මම දකින විදියට අවංකයි. මේ “අපි” දීප්ති. හැබැයි මේ අපි ලාංකීය අරුත නොවේ. මුළු ලංකාවම නොවේ. මේ “අපි” අපි සීතල පලාත් වලට ගියාම ඇකිලෙනවා. ඔව් අපි ඇකිලෙනවා. හැබැයි එයින් අපිට මොනවද කියන්න පුළුවන්. එක්කෝ බටහිර අරුතයි, ඒකේ දේශපාලනයයි, සීතල පලාත් වලට ගියාම මම ඇකිලෙනව, උෂ්ණ පලාත් වලට ගියාම මට දාඩිය දානව, ඒකෙන් මම හිතන්නෙ ගැඹුරු දෙයක් කියන්න අමාරුයි.

ප්‍රවාද 8
ප්‍රවාද 8
“අනෙක තද සීත පලාත් වල ලාංකිකයන් බහුතරයක් ස්නානය කරන්නේ බොහොම අඩුවෙන්” (අන්න මෙතන පොඩි ප්‍රාදේශීය වාදයකුත් තියෙනව) එක පැත්තකින් මේක මහ පුදුම විදියේ කියමනක්. කොහොම වුනත් මම කියන්න හදන්නේ, මෙතන ඉතාම සුළු ප්‍රායෝගික අත්දැකීමක් මත මහා විශාල න්‍යායාත්මක බරක් පටවනව. සීතල තැන් වල සීතලයි. සීතල හුරු නැති අය සීතලට හුරු නැහැ. සීතලේදි අපි හැසිරෙන ආකාරයයි වෙනත් තැන් වලදි හැසිරෙන ආකාරයයි වෙනස්. ඒකට අපිට පටවන්න පුළුවන්ද මහා විශාල බරක්. “ඒ හින්දා ලංකාව තුළ තියෙන්නේ ඉංග්‍රීසි ශාරීරික දේශපාලනයක්.” ඒ කියන්නේ සුද්දො නාන්නෙ නැහැ කියන එක වෙන්න ඇති. මම පෙන්නුම් කරන්න හදන්නේ අර මම කියපු දේ මෙතන එනම් ව්‍යූහාත්මකව මුල අමතක කිරීම පැහැදිළිවම පෙන්නුම් කරනවා. ඒ වගේම මහා විශාල බරක් ඉතාම සුළු දෙයක් මත පටවනව. අපි මේක කියෙව්වාම හිතන්නේ මෙහි ඇති මීට වඩා කියලයි. මම මේ ලිපි දහ දොළොස්, පහලොස් පාරක් කියෙව්ව. මම හිතුවේ මෙහි ඇත්තේ මෙයට වඩා දෙයක් කියලයි. මිනිස්සු නානවද? නැද්ද කියන එක මත මේ මහා න්‍යාය වලංගු වෙන්න බැහැ කියල, මා හිතපු නිසා. මම මෙහිදී කියන්නේ මේකයි, ඒකට තැනක් ලැබෙන්න නම් අපි මේ විදිහේ දෙයක් පෙන්නුම් කරන්න ඕන. එනම් ඉතාම පීඩිත කොටසක්ය පශ්චාත් නූතනවාදී චින්තකයො කියන එක. ඔවුන්ට හතර පැත්තෙන්, හය පැත්තෙන්, හැම පැත්තෙන්ම ගුටි වැදෙනව. ඒ නිසා අපිට කතා කරන්න විදිහක් නැහැ. අපි හැම පැත්තෙන්ම තර්ජන වලට බැනුම්වලට භාජනය වෙනව. අන්න ඒ විදිහේ චරිතයක් අපි මවන්න ඕන. මම කියන්නේ ඒකත් අවදානම්. මේක ලංකාවේ විතරක් නොවේ. අන් තැන්වලත් පෙන්නුම් කරනව. පශ්චාත් නූතනවාදී පිළ තමයි වැඩියෙන්ම ගුටි කන පිල. ඒක අර රැඩිකල් බවට යම් කිසි දෙයක්. මම කියන්නේ නැහැ ලිපිය ලියපු චේතනාව ඒකයි කියල. මම කියන්නේ ඒ සන්දර්භයයි. මම කීවේ අර ප්‍රවාද කතු වැකියේ තියෙන්නේ, එහි පැහැදිළිව පෙන්වන්නේ, “පශ්චාත් නූතනවාදය තමයිය හැම ප්‍රශ්නයටම විසඳුමක් ගේන්නේ”. රැඩිකල් දේශපාලනයක මූලය මගේ තර්කය නම් පශ්චාත් නූතනවාදය වේවා. මාක්ස්වාදය වේවා තමන් කියන දෙයට තමන් වග කියන්න ඕන. ඒක අර ඉතාම පරණ කිසිසේත්ම ජනප්‍රිය නොවන සංකල්පය තමයි. මම හිතන්නේ ඉතිහාසයේ කුණුගොඩට දමයිද දන්නේ නැහැ එම පරණ සංකල්පය. නමුත් මම කියන්නේ ඒක තාම වලංගුයි. අපිට පෙන්වන්න බැහැ “මෙන්න අපි කරන්නේ බොහොම සියුම් කාර්යයක්. අපි කරන්නේ බොහොම භායානක කාර්යයක්. අපි කරන්නේ බොහොම වැදගත් කාර්යයක්. ඒ නිසා අපිට විතරක් ගහන්න එපා. අපිට පුළුවන් අනිත් අයට ගහන්න” කියල. මෙතන ක්‍රියාවෙන් වෙන්නේ ඒ වගේම දෙයක් මොකක්ද? පශ්චාත් නූතනවාදය තුළින් මේ ආධිපත්‍ය ධාරා බිඳ හෙළනවා. ඒ නිසා ඒක වැදගත් කියන නාමයෙන් වෙනත් ආධිපත්‍යයක් දියත් කරනවා. ඒ ආධිපත්‍ය අති විදග්ධ එකක්. ඒක මගේ ප්‍රධාන ගැටළුව. ප්‍රවාද මුළු සඟරාවත් එක්කම මට තියෙන ගැටළුව මේකයි.

මම කියන්නේ අපි කඩා බිඳ දමනවා නම් අර පරණ ව්‍යාපෘතිය. අළුත් ව්‍යාපෘතියේ දී අපි දැවැන්ත විදියට පරිස්සම් වෙන්න ඕන. නමුත් මේක අහම්බෙන් නොවේ වෙන්නෙ. දීප්තිගේ ලිපියේ “ලාංකීය මාක්ස්වාදී මතවාදී විද්‍යාවන් විසංයෝජනය කිරීම” කියන මාතෘකාව යටතේ ලාංකීය කියල තියෙන්නේ එකම තැනයි. මුල් එකේ ලාංකීය අර්ථයෙන් කියල තිබුනට මෙහි පැහැදිළිවම තියෙන්නේ එක වාක්‍යයි. එම වාක්‍යය ප්‍රායෝගික වාක්‍යයක් නිසා මම එය කියවනවා. තීරණ ගැනීම ඔබට භාරයි. “එහෙම නම් ලංකාවේ පිරිමින් කරන දේශපාලනය විසංයෝජනය කළ හැකි භෞතික පැලෝ මධ්‍යය නම් ලාංකීය ස්ත්‍රින්ගේ යෝනි මාර්ග නිමිත්තයි. මේ හින්දා තමයි. ලාංකීය බොහෝ පිරිමින් විවාහ හෝ ප්‍රේම කිරීම ආරම්භ කළ විට සිය දේශපාලන ව්‍යාපෘතීන් අත්හැරලා දාන්නේ”.

මේකෙ ප්‍රායෝගික වලංගු තාවයක් තියෙනවා නම් කරුණා කරල මට කියන්න. මම හිතන්නේ නම් මේ තුළින් කෙරෙන්නෙ ඇත්ත වශයෙන්ම පුළුල් පුරුෂාධිපත්‍ය ක්‍රියාවලිය අති සරල කිරීමයි. පුරුෂයාට හැකි වෙනවා කසාද බැන්ද හෝ ප්‍රේම සම්බන්ධයක් තිබුණා හෝ දේශපාලනයේ යම් කිසි ක්‍රියාවලියක යෙදෙන්න. රැඩිකල් දේශපාලනයක් ගැන කථා කළා නම් එය වෙනම සංසිද්ධියක්. ඉතිං එච්චරයි ලංකාව ගැන ‘ප්‍රායෝගික’ කියමනකට තියෙන්නේ. “පුරුෂ දේශපාලනයේ අලංකාරිකය මම හා අනෙකා අතර ගොඩ නැංවෙන හිංසන මූලික ද්වේශයයි’. මෙය ඉතාම වැදගත් කියමනක්. මෙය ඉතාම සාධනීයයි. ඇත්ත වශයෙන්ම මෙය ප්‍රවාද කතු වැකියේ තියෙන “අපි” වලින් කෙරෙන්නේ. බොහොම සියුම් විදියට එක වෙලාවකට ජනතාව, එක වෙලාවකට කර්‍තෘ. එක වෙලාවකට විදග්ධයා යන කලාවන් තුනම යන්නේ. මෙන්න මෙය අවබෝධ කරපු නැති නිසයි. මම කියන්නේ ඉගෙන ගන්න පුලුවන් දේවල් තියෙනවා. ඉතාම වැදගත් දේවල් තියෙනවා පශ්චාත් නූතනවාදයේ අර මල්ලේ. පශ්චාත් නූතනවාදයත් නොව, එම සංකල්පයත් නොව, මම එය ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අර මල්ලෙ තියෙනව විසංයෝගතා, පශ්චාත් ව්‍යුහවාදී සංකල්ප ආදී වශයෙන් වැදගත් දේවල්.

පැහැළිව බලන්න. පශ්චාත් නූතනවාදයේ පශ්චාත් යටත් විජිතවාදී සංකල්පයක් තියෙනවාද? නැහැ. ඉතිං ඒ අය පැහැදිළිවම එරෙහියි එයට. දැන් පේනවානේ ලෝකේ මොන පැත්තෙන් ද පශ්චාත් යටත් විජිතවාදී සංකල්ප එන්නේ, පශ්චාත් නූතනවාදී සංකල්ප එන්නේ කියලා.

ප්‍රවාද 9
ප්‍රවාද 9
බලන්න බොහෝම බරපතල තින්දු මේකෙන් එන්නෙ. “කොළඹ දේශපාලනයේ මධ්‍යගත ස්වරූපය විමධ්‍යගත කිරීම” මේ ගැන කතා කරද්දී මම දකින විදියට බොහොම හොඳ ස්ථාවරයක් එනවා. මොකක්ද? “සැබැවින්ම දශක 5 කට ආසන්න ඒකීය මධ්‍යගත ආණ්ඩුවකට කළ නොහැකි වූ සමාජ සංවර්ධනයක් මෙම කුඩා පෙඩරල් ව්‍යුහයන්ට ඉටු කළ හැක. ලංකාවේ සමාජ පංති සැකැස්මේ සූවිශේෂ ස්වරූපයක් (මේ ගැන මම පසුව ලියන්න අදහස් කරමි). කොළඹ කම්කරු පංතියේ අතිශය විවිධත්වයට පත්වූ කම්කරු පංති විඥානයන්, කොළඹ මධ්‍යම පංතිය රඳා පවතින ස්වයං ක්‍රියාකාරී සේවා ආර්ථිකයේ ස්වරූපයත්, ලාංකීය මධ්‍යගත රජයේ විදේශ ප්‍රතිපත්තියත්, එහි විදේශ ආදායම් ප්‍රමාණයත් සලකා බැලූ විට ලංකාවට අනාගතයේ දී ගැලපෙන්නේ පෙඩරල් සයුතියක් සහිත කුඩා දේශපාලන ව්‍යුහයන්ගේ එකතුවකි”.

පෙඩරල් ක්‍රමය ගැන නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ දක්වල තියෙන හේතු පිළිබඳ පැහැදිළි ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ “රට භූගෝලීය වශයෙන් ඉතා කුඩා නිසා සමාජ පංතියක සාමාජිකයන් දැඩි ලෙස අසල පංති වලට ධ්‍රැවීකරණය වී ඇති නිසාත් ලාංකීය ‘විස්තෘත පවුල” ආර්ථික ව්‍යුහයක් ලෙස එකිනෙකාට උදව් කරන නිසාත් ලංකාව සඳහා සමස්ත වැඩ පිළිවලෙ යනුවෙන් දේශපාලන වැඩ සටහනක් යථාර්තය තුළ පැවැතීමට ඉඩ නැත”. සමස්ථ වැඩ පිළිවෙලක් ලංකාවේ යථාර්ථය තුළ පැවැතීමට ඉඩ නැද්ද? යන්න වෙනම ප්‍රශ්නයක්. ඔය කියපු සාධක තුළින් මේක ගම්‍ය වෙනවද? ඒක ප්‍රමාණවත් ද? කියන එක ඉමහත් ගැටළුවක්. මේ එක එක කරුණ ගැන ලිපියක් පවමා ලියන්න වෙනවා. හැබැයි මෙතන අර පශ්චාත් නූතනවාදයේ හැන්ද තියෙන නිසා අපට පුළුවන් මේක එහෙම පිටින්ම බෙදන්න. මොකද මේක හුදෙක් අපේ දැවෙන ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේ කථා වෙන ප්‍රශ්නය යම් කිසි වැදගත් සන්ධිස්ථානයක්.

හැබැයි, මෙතන අර මම කිව්ව වගේ පශ්චාත් නූතනවාදියාට පුළුවන් ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සෞන්දර්ය වාදය සාහිත්‍යය ඒ හැම දේටම හිමිකම් කියන්න. මේ නිසා මෙතන වෙන්නේ දරුණු අවදානමක්. ඒ එක් එක් විෂය ක්ෂේත්‍රයට එක් එක් ශික්ෂණයට අනුකූල වන දේ අභිබවන්න පුලුවන්. ඒවා කඩා කප්පල් කරන්න පුළුවන්. වාක්‍යකින් දෙකකින්, මම ඒක තමයි පෙන්නන්න උත්සාහ කළේ. මෙතන මහා ආඛ්‍යානයක් දියත් වෙනවා. මම පශ්චාත් නූතනවාදියෙක් නම් මට අයිතියක් තියෙනාව හැම දෙයක් ගැනම කථා කරන්. මම ආර්ථික විද්‍යාඥයෙක් නම් මට පුළුවන් ආර්ථික විද්‍යාව ගැන පමණයි කථා කරන්න. ඔයා ඉංග්‍රීසි අංශයේ නම් ඔයට පුළුවන් ඉංග්‍රීසි ගැන පමණයි කථා කරන්න. පශ්චාත් නූතනවාදියෙක් නම් මට හැම දෙයක්ම වලංගුයි.

අන්න ඒ අවදානම ඉතාම වැදගත්. “බටහිර සමාජයේ දැනට ජීවත් වන පශ්චාත් නූතනවාදී ජනප්‍රිය චින්තකයන් කීප දෙනෙක් සිටී. මින් ජින් ප්‍රංශුවා ලියෝතාද් (ප්‍රංශය), ජින් බ්‍රව්ඩ්‍රිලාර්ව් (ප්‍රංශය), පෙඩ්රික් ජෙම්සන් (ඇමරිකාව) සහ රිචඩ් රෝටී (ඇමරිකාව) මේ “නම්” ගැන මම වැඩිය කථා කරන්න අවශ්‍යය නැහැ. ‍මම පෙන්නන්න හදන්නේ අර ඒ ලැයිසන් එක තියෙන ඒ හැකියාව අවදානම් සහිත දෙයක්.

දීප්තිගේ පළමුවන ලිපියේ යම් ශීක්ෂණයක් තිබුණා නම් දීප්තිගේ දෙවන ලිපියේ එනම් ප්‍රවාද 9 වන කලාපයේ “පශ්චාත් නූතනවාදය ඇද ගන්න කොක්කක් ලංකාවට” යන ලිපියේ එයත් නැහැ එම ලිපිය මම අතිශයින්ම ප්‍රතික්ෂේප කරන ලිපියක්. මේ ලිපියේ මෙහෙම කියනවා. “අප ජීවත් වෙන්නේ මාධ්‍යය සමාජයක. මෙවැනි සමාජයකදී අධිරාජ්‍යවාදය යනු සිමියුලේ ක්‍රමයකි (Simulacrum). එනම් ඔරිජිනල් පිටපත නැති ඩුප්ලිකේට් පිට පතකි. “සිමියුලේ ක්‍රමයක් කියන්නේ ඇත්ත වශයෙන්ම ව්‍යාජ රූපයක්, නාම මාත්‍රයක්, ඇත්ත දෙයක් නෙමෙයි ඒක. ඇත්ත වශයෙන්ම මේ භාෂාවේ, මේ කෝඩ් එකේ, සිමියුලේ ක්‍රමයක් කියන එකට කිසියම් තැනක් තියෙනවා. හැබැයි අපි ඒක කියන්න ඕනෙ. අපි ඒක දිග අරින්ඩ ඕනෙ. එහෙම නැතිව මේ සංකේත භාෂාව පාවිච්චි කිරීම තුළින් අර විදග්ධ බව තව රැකෙනව. මේක අර අපේ කට්ටියේ නැත්නම් කල්ලියේ නොවන කෙනෙක් කියනවා නම් හරිම ප්‍රශ්නයක් වෙනවා. මේකෙන් කිය වෙන්නේ අධිරාජ්‍යය වාදයක් නැහැ. ඒක බොරුවක්. ඒක ප්‍රෝඩාවක්. ඒක පෙන්නුම් වෙන ආකාරයක් පමණයි. ඉතං ඒකත් එක්ක තමයි කියන්නේ “කවුරු හරි ලාංකීය පශ්චාත් යටත් විජිතවාදී චින්තකයකු මේ ගැන විචාර කරනවා නම් මෙයිට වඩා සජීවී කරුණු ඉදිරිපත් කරන්න මම කැමතියි” මේ අර තග.

“ඊ ළඟට රනජිත් ගුහා සහ ගයාත්‍රී ස්පිවැක් පාසැල ඉන්දියාවට අදාළව ඉදිරිපත් කරණ නිර්ප්‍රභූ සමාජ පංතිවල සමාජ-විද්‍යාව ලංකාවට අදාල නැහැ” රංජිත් පෙරේරාත් මේ වැඩේ කරනවා. මහ පිස්සුවක් මේක. ගයාත්‍රී ස්පිවැක් නිර්-ප්‍රභූ අධ්‍යයන කවයට ඇතුල් උනේ මම හිතන්නේ මෑතක. නිර්-ප්‍රභූ රනජිත් ගුහාට කිව්වා නම් ගයාත්‍රී ස්පිවැක් සහ එයා එකට දාල කියල ඒ මිනිහට වලිප්පුව හැදෙයි. මොකද එයාගේ චින්තනය ඉතාම සම්ප්‍රදායික වමේ එකක්. එයා ඒ සම්ප්‍රදායික වමෙන් ග්‍රාම්ෂී හදාරල බොහොම පැහැදිලි වාමාංශික දෘෂ්ඨියක හිටපු කෙනෙක්. ඩෙරීඩා එයාට වහ. ඉතිං මේ ගයත්‍රි ස්පිවැක් අපට යම්කිසි ආභාෂයක් ගෙන දෙනවා. ඇත්ත වශයෙන්ම ඒකත් බොහොම වැදගත්. “ගුහා සහ ස්පිවැක්ගේ බොහෝ අදහස් මම සලකන්නේ තමන්ගේ මව් රටවල ජීවත් වෙන පහල සමාජ ස්ථර ගැන ගොඩ නගන ඉංග්‍රීසි-මධ්‍යම -පංතික හෘද සාක්ෂිය ලෙසිනි”. දැන් මේ අදාල නැත්තේ “මං හිතන නිසා” යි. වෙන තර්කයක් නැහැ. මේ මව්රට කියන සංකල්පයත් මම හිතන්නේ ස්පිවැක්ලා, ගුහාලා විශේෂයෙන්ම ස්පිවැක් බොහොම ලස්සනට ප්‍රශ්න කරලා තියෙනවා. ස්පිවැක්ගේ මව් රට ඇමරිකා එක්සත් ජනපදය ද? ඉන්දියාව ද? ඒක පැහැදිලි නැහැ. එයා කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය කියල. “තමන්ගේ මව් රටවල ජීවත් වෙන පහළ සමාජ ස්ථර ගැන ගොඩනගන ඉංග්‍රීසි – මධ්‍යම – පංතික හෘද සාක්ෂිය ලෙසිනි”. මේක Unpack කිරීමක්. මම දකින හැටියට මේ වකවානුවේ පසුගිය අවුරුදු 20 තුළ ඇති වෙලා තියෙන අපිට ඉතාම අදාල හා වැදගත් ශීක්ෂණයත්, ඉතාමත් වැදගත් විශේෂණ මාර්ගයත් ඔය කියන නිර්ප්‍රභූ අධ්‍යයන කවය පෙන්නුම් කරනවා. දීප්ති මේක එක හෙලා එක වචනයෙන් ගහලා දානවා. හේතුවක් දෙන්නෙත් නෑ. මේක තග නෙවේ ද? මම අහන්නේ මේවා කරන්න පුළුවන්ද? නමුත් මේවා ප්‍රශ්න කරන්න බැහැ මොකද? පශ්චාත් නූතනවාදී නිසා. “ස්පිවැක්ගේ ලාංකීය අනුගාමිකයන් සමග මේ ගැන සංවාද කිරීමට මම කැමැත්තෙමි. එනම් කේන්ද්‍රයේ රටවල සනීප විශ්ව විද්‍යාල ජීවිතවල කැඩපත් දර්ශනයක් මිස නිර්ප්‍රභූත්වය යනු සමාජ ව්‍යාපාරයකට අදාල කොට ගත හැකි දේශපාලන චින්තනයක් නොවේ”. දැන් එයා කියන්නේ සමාජ වයාපාරයකට අදාල කර ගන්න බැරි දේශපාලන චින්තනයක් කියලා ඒක (නිර්ප්‍රභූත්වය). ඒ පමණින් ඒක අදාල නැහැ කියන්න පුළුවන්ද, එයාලා කියල තියෙන්නේ අපි කරන්න යන්නේ සමාජ වයාපාරයක් නම් ඒ චින්තනය එයාලා කියනවා ඒකට වලංගු නැහැ කියලා. හැබැයි ඒක අදාලද? නැද්ද? කියන එක මේකෙන් කියන්නේ කොහොමද? සමාජ විග්‍රයක් හැටියට විශ්ලේෂණයක් හැටියට සමාජය තේරුම් ගැනීමේ ක්‍රමයක් හැටියට ඒක අදාලද? නැද්? කියලා මේකෙන් කියන්නේ කොහොමද?

මම අහන ප්‍රශ්නය මේකයි. මේකට පශ්චාත් නූතනවාදය අදාල කර ගන්න පුළුවන්ද? දීප්තිලා ඒ සඳහා උත්සාහ කරලා තියෙනවා. ඔබ එය කියවා බලන්න.

“ඉන්දියාව ලෞකික, ශක්තිමත් සිවිල් සමාජයක් සහිත රටකි. නමුත් ලංකාව යනු අලෞකික (නමුත් නිශ්චිත ආගමිකද නොවන) දුර්වල සිවිල් සමාජයක් සහිත රටකි! මේවත් මම හිතන්නේ දේශපාලන විද්‍යාඥයකු වූ එවැනි කෙනෙක් කළා නම් පැහැදිළි විදියේ තර්ක විතර්ක දත්ත දෙන්න සිද්ධ වෙනවා. මම අහන්නේ මේකෙන් මේ විදිහේ අවසරයක් තියෙනවාද? මෙහෙම කියන්න “නිෂ්පාදන සබඳතාවල විකෘතීන් මිස සංකීර්ණතා ලංකාව තුළ දුලබය”. මෙතැනත් හුඟ දෙනෙක් එකඟ වෙන්නේ නැහැ. මම කියන්නේ මේකයි, අපිට කොහොමද අවසරය ලැබෙන්නේ මේ වගේ දේවල් කියන්න. ඒවා සනාත කරන්නෙ නැතිව, පැහැදිළි කරන්නේ නැතිව. අර පරණ ක්‍රමය මීට වඩා හොඳයි නේද? පරණ ක්‍රමයට තර්කයක් ඉදිරිපත් කළා නම් ඊට අපි දත්ත ඉදිරිපත් කරනව. අපි යම් කිසි කතිකාවක් ගොඩ නගන්න හදනව. අනිත් අයත් එක්ක මේ කතිකාව ගොඩනැගෙන්නේ “අපේ කටිටියට” පමණයි. දන්නෝ දනිති. නොදන්න අයට ඇතුල් වෙන්න විදියක් නැහැ. ඇතුල් නොවෙන්නේ, එයා ගැඹුරින් බලන්නේ නැති නිසායි. එයා මේවා දන්නේ නැති නිසයි, යන විදියේ තගකුත් මෙතැන තියෙනවා. මේ නිසා නොදන්න කෙනා කර බාගෙන ඉන්නවා මිසක් නොදන්නවා කියලා කියන්න කැමති නැහැ.

මෙන්න ඉතා වැදගත් “නිෂ්පාදන බලවේග වර්ධනය කර ගැනීමේ ලා ලාංකීය ධනේශ්වරයට තවම ඥාන විභාගාත්මක මීමංසාවක් පහළ වී නැත. මේ කාරණා හින්දා මම හිතනවා. ලංකාව වටහා ගත යුත්තේ ධනේශ්වර සන්දර්භයක් තුළ මිස පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුළ නොවෙයි කියලා”. ඇත්ත වශයෙන්ම මේකත් ඉතාම සංකීර්ණ දෙයක් මම දකින විදියට. මේ කියමන හරියට (දැන් මේක සැහැල්ලුවට ලක් කරන්න හදනවා කියයි. ඒ ගැන විග්‍රහයක් කරන්න දවස් ගානක් අවශ්‍යයි). මෙන්න මේ වගේ. මම කෙනෙකුගෙන් ඇහුවොත් ඔබ තේ එකක් බොනව? ඔබ කක්කුස්සියට යනවාද? කියලා. ඒක එක හා සමාන දෙයක්. විකල්ප නොවේ. එහෙම නැතිව මම ඇහුවොත් තේ ද කෝපි ද බොන්නේ? කියලා මේවා විකල්ප. පශ්චාත් යටත් විජිත සන්දර්භයක් තුළ ධනේශ්වර විග්‍රහයක් කරන්න බැරිද? ධනේශ්වර විග්‍රහය පශ්චාත් යටත් විජිත සන්දර්භයේ යම් කිසි විකාශනයක් තියෙන නිසයි මේ කියන්නේ. ඇත්ත වශයෙන්ම මේවා එකිනෙකට පරස්පරද? යමෙකුට වැසිකිලි යන්නත් පුලුවන්, තේ එකක් බොන්නත් පුලුවන්, අමාරු වෙන්නේ තේ එකයි, කෝපි එකයි, සෝඩා එකයි තුනම බොන්නයි. අන්න අපි ඒකයි විකල්ප හැටියට ගොඩ නගන්නේ. විකල්ප හැටියට ගන්නේ මොනවද, එක්කෝ ධනේශ්වර නැත්නම් වැඩ වසම් කියන්න පුළුවන්. නැත්නම් අර්ධ ධනේෂ්වර කියන්න පුළුවන්. අන්න ඒ වගේ වෙන්න ඕනෑ පශ්චාත් යටත් විජිත ධනේශ්වර සන්දර්භයේ ඒ කියන්නේ ඒක ධනේශ්වරයේ යම් කිසි විකාශනයක් ගැන කතා කරන්නේ. අපිට කියන්න පුළුවන් අවධාරණය කරන්න ඕන වෙන දෙයක් කියල. හැබැයි අපිට පුළුවන්ද මේ දෙක එකිනෙකට පරස්පර, එකිනෙකට නොගැලපෙන විකල්ප දෙකක් හැටියට දෙන්න.

ඒ වගේම කියනවා “පශ්චාත් නුතනවාදය කියන්නේ ලාංකීය අර්ථයෙන් අධිරාජ්‍යවාදය තේරුම් ගන්න පුළුවන් ප්‍රබල සංකල්පීය රාමුවක් කියල. අධිරාජ්‍යවාදය තේරුම් ගන්න නම් මම හිතන්නේ යටත් විජිතවාදය හා පශ්චාත් යටත් විජිතවාදය මේ සියල්ලම අපි අවබෝධ කර ගන්න ඕනෑ?

මට නැවත කියන්න තියෙන්නේ මෙච්චරයි. මම දැක්ක ඒ අවදානම, මම පැහැදිළි කරන්න හැදුවා මොකක්ද? පශ්චාත් නූතනවාදය එකක් නොවේ. එකක් හැටියට ගැනීමෙන් නොයෙක් විවිධ දේවල්, එකිනෙකට පරස්පර දේවල් තුළ යම්කිසි ඒකාකාරිභාවයක් තුළ ආධිපත්‍ය බලය පැතිර වීමේ ක්‍රියාවලියක්. මම උතුරේ සිට දකුණ, නැගෙනහිර සිට බටහිර කියන ඒ දිසා ඔස්සේ දකිනවා. මේක විවිධ දේවල් වල එකතුවක්, මහා මල්ලක්, මේ මල්ලේ තියෙන විවිධ දේවල් අපි බලන්න ඕන, ඒ තඅළින් ඒකේ ප්‍රධාන තේමාව වන ප්‍රධාන ආඛ්‍යානයන් නැතැයි කියන එක.

ඒ නිසා මම කියන්නේ අපි මෙහි අවදානම අර ගන්න ඕන, එමෙන්ම මෙහි විදග්ධයකුත් තියෙනවා. මේකට කෙනෙක්, පුද්ගලයෙක් නම් කරන්න බැහැ. ඇත්ත වශයෙන්ම දීප්ති තමයි උත්සාහ කරලා තියෙන්නේ. මේ විදග්ධ බව අඩු කරන්න. ඉතිං මම කියන්නේ මේ අවදානමත්, ඒ අභියෝගයත්, මොකක්ද අභියෝගය අර පරණ යල් පැන ගිය දේ අයින් කිරීම, සැලකිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම මම දකින්නේ නිර්ප්‍රභූ කොටස්වලට යම් කිසි හඬක් ලබා ගන්න පුළුවන්. මේක එක් එක් ධාරාවල හැබැයි අර පරණ ශීක්ෂණය යොදන්න ඕනෑ. මෙයින් මම අන්ත ප්‍රතිගාමියෙක් වෙනවද දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ අර පරණ නීති රීති වලංගුයි. එනම් කියන දේ මොකක්ද කියලා අනික් මිනිහට තේරෙන්න කියන්න ඕනෑ. අපි කියන දේ පිළිබඳ වාදයක් සංවාදයක් ඇති කරන විදියට ඒක කියන්න ඕන. දොරවල් වහන්න නොවේ අරින්න. අපි යම් විදියකින් බොහොම රැඩිකල් දේවල් කියනවා නම් මෙහිදී අපේ කාර්යය ඊටත් වඩා වැඩියි. මොකද? මිනිස්සු දිනා ගන්න, මිනිස්සු ලබා ගන්න එහි තාර්කික බව ඉතා වැදගත්.


“පශ්චාත් නූතනවාද” සංවාදයෙන්……………..

දීප්ති: ඔයා කථා කරපු දේවල්වලට මට පැහැදිළි උත්තර තියෙනවා. නමුත් මං ඒක කථා කරන්නේ නැහැ. ඒ මොකද දන්නවද? හේතුව කියන්නම්. මෙතන ඉන්න බොහෝ චරිත මං දන්නවා. විගඩම්කාරයෝ. හරිද? මං ඒ අයට උගන් වන්න ඕනෙ නැහැ. නමුත් අපි දෙන්නා පස්සේ කථා කලොත් මං ඒක කියන්නම්. විගඩම්කාරයින්ට සමාජ න්‍යායයක් දෙන්න මං කැමති නැහැ. ඔයා දෙමින් ඉන්නවා.

අර්ජුන: ඒකේ දේශපාලනය නම් මං පිළිගන්නේ නැහැ දීප්ති.

දීප්ති: ඔයා වැරදිලා වත් ඒ ගොල්ලන්ට විගඩම්කාරයෝ කියලා කිව්වොත් ඔයාගේ වේදිකාව ඉවරයි. අපේ වේදිකාව ඉවර කරලා තියෙන්නේ අන්න ඒ කට්ටිය. මෙතන ගොඩාක් චරිත ඉන්නවා. ඒ ගොල්ලෝ පශ්චාත් නූතනවාදය ගැන මෙලෝ දෙයක් කියවලත් නැහැ. දන්නෙත් නැහැ. ඔයාගේ දේවල් ටික අර ගෙන ගිහිල්ලා හෙට අනිද්දා වෙන කොට මොන මොනවා හරි කියන්න ගන්නවා. අන්න එතකොට තමා ඔයා මෙතන අද කරපු අදේශපාලනය දේශපානයක් වෙන්නේ.

අර්ජුන: දීප්ති ප්‍රශ‍්න තුනක් තියෙනවා. එකක් තමයි මෙතනදි මම කියපු දෙයට උත්තරයක් නො සැපයීමට ඔයාට හේතුවක් දක්වන්න ඕනෙත් නැහැ. ඒක ඔයාගේ අයිතිය. හැබැයි මං හිතන‍ නේ හේතු දැක්වීමෙදීත් අපි පිළිගත හැකි, නොහැකි හේතු කියලා තියෙනවා. මම ඒ හේතුව පිළි ගන්නේ නැහැ. මම හිතන්නේ ඒක නිදහසට කරුණක් කියලා දීප්ති. මං එයාට කිව්වා. මං මේ දේශනය කරනවාය, මේක තුලදී ඔයාට එරෙහි වෙනවාය කියලා. මං හිතන්නේ ඒක ඉතා වැදගත් . ඒ එරෙහිවීම. ඒ එකක්. අනික, මේ ඉන්න කට්ටිය, මං අඳුරන කට්ටිය බොහොම කීප දෙනයි. ඒගොල්ලෝ එක එක දේවල් කියනවා. මං හිතන්නේ ඒකත් එක්තරා විදිහක තගක්නේ.

Advertisements

One thought on ““මම ජනාධිපති වුනොත් විසංයෝජනය කියන වචනය තහනම් කරනවා.” – අර්ජුන පරාක්‍රම”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )