“අනෙකා නිවැරදි විය හැකියි” – හාන්ස් ජෝර්ජ් ගැඩමර්

හාන්ස් ජෝර්ජ් ගැඩමර් සමග සම්මුඛ සාකච්ඡාවක් – දෙවන කොටස
පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
හාන්ස් ජෝර්ජ් ගැඩමර්
රෝයි : හබර්මාස්ගේ කර්තව්‍යය ජර්මානු දර්ශනවාදය තුළට විශ්ලේෂී ශෛලිය (analytic style) කඩාවැදීම ප‍්‍රකාශයට පත්වන අවස්ථාවක් ලෙස ඔබ සළකන්නේද?

ගැඩමර් : නැහැ. හබර්මාස් විශ්වාස කරන දෙය වන්නේ විද්‍යාත්මකව සහ නිල තන්ත‍්‍රයක් වශයෙන් (bureaucratically) සංවිධානය කෙරුණු අප සංස්කෘතිය තුළදී සමාජ ව්‍යාපාර ග‍්‍රහණයට ගෙන ඒවා මෙහෙයවිය හැක්කේ විද්‍යාවට පමණක් බවයි. මිට ප‍්‍රතිපක්ෂව මම විශ්වාස කරන්නේ මෙය කළ හැක්කේ මානව විචක්ෂණභාවයට (human prudence) පමණක් බවයි. දිනක් කොරිඩෝවේදී ආශ්වාදජනක හමුවක් අප අතර ඇතිවුණා. ඔහු එහිදී පැවසුවේ අපට උපකාර කළ හැක්කේ විද්‍යාත්මකව ශික්ෂණය කෙරුණු විචක්ෂණභාවයට පමණක් බවයි. ඊට පිළිතුරු වශයෙන් මම පැවසුවේ විචක්ෂණභාවය මඟින් ශික්ෂණය කෙරුණු විද්‍යාවට පමණක් පැවතිය හැකි බවයි. මෙසේ පැවසීමෙන් ඉක්බිති මම විශ්වාස කරන දෙය නම් දැන් අපගේ අදහස් ඒවා තිබුණාටත් වඩා සමීප වී ඇති බවයි: අපගේ විවාදය අන්‍යෝන්‍ය වශයෙන් වන අනුවර්තනයකින් තොර වූවක් වුනේ නැහැ. මගේ විචාරයෙන් පසුව හබර්මාස් මනෝවිශ්ලේෂණයත් සමඟවූ ඔහුගේ තර්ක නැවත නැවතත් මතු කළේ නැහැ. ඒ වගේම මමත් බොහෝ දේ එයින් ඉගෙන ගත්තයි කියලා මම හිතනවා.

රෝයි : විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය තුළින් බැලීමෙන්, යම් යම් ප‍්‍රතිරූප, චින්තන ප‍්‍රකාර, සත්‍යය පිළිබඳ නිරූපණ පිළිබඳව පරීක්ෂාවක් කරන්න පුළුවන්. දෘෂ්ටිවාදය පිළිබඳ පරීක්ෂාවක් (critique of ideology) මුදුන් පමුණුවා ගත හැක්කේ විද්‍යාවේ වරප‍්‍රසාදලත් ස්ථාවරය තුළින් සහ සමහර විට එවැනි ස්ථාවරයක් තුළින් පමණක්ද? ඔබ විද්‍යාවට වඩා විචක්ෂණභාවය මූලික යැයි දකින නිසා එයින් ඔබ දෘෂ්ටිවාදය පිලිබඳ මතිය ප‍්‍රතික්ෂේප කරන්නේ යැයි අදහස් වෙනවාද?

ගැඩමර් : අර්ථකථනවේදය සතුව විවේචනාත්මක වැදගත්කමක් නැහැ යැයි දැක්වෙන හබර්මාස්ගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ පැරණි පරීක්ෂාව ඇත්තෙන්ම මම දන්න දෙයක්. නමුත් මම හිතන්නේ ඒක වැරදියි. ඇසීමට ඇති ප‍්‍රශ්නය ක‍්‍රියාත්මක දේශපාලන පරීක්ෂාවේ ආකෘතියට සම්බන්ධයි. මෙහිදී වැදගත් වන දෙය වන්නේ පොදු සූත‍්‍රයක් (general formula) න්‍යායිකව විස්තාරණය කිරීම නොව, විස්තර විභාගයට අවධානය යොමු කිරීමක්. මේ සඳහා විනිශ්චයන් (judgements) එකිනෙකට සම්බන්ධ වීමෙන් ඇතිවන සමස්ථ විනිශ්චය දාමයක් ඇවැසිවෙනවා. අර්ථකථනවේදයේ ප‍්‍රධාන කාරණය වන්නේ මානවීය සන්දර්භයේදී නිවැරදි විනිශ්චයන් සොයා ගැනීමයි. එතැනදී පොදු රීතියක් ආදේශ කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවන්නේ නැහැ. මෙම විනිශ්චයන්ට විවේචනාත්මක බවට පත්වීමට හැකියාවක් ඇති නමුත් දෘෂ්ටිවාදය – පරීක්ෂාව පිළිබඳ ව්‍යාපෘතිය ඉල්ලා සිටින ආකාරයේ සාකල්‍යකරණ (totalizing) ක‍්‍රියාමාර්ගයකින් නම් නොවේ. දෘෂ්ටිවාදය පිළිබඳ පරීක්ෂාව යුක්ති යුක්ත න්‍යායික පරිශ‍්‍රමයක් නොවේ යැයි මම කියන්නේ නැහැ. නමුත් ඒක හබර්මාස්ගේ කාර්යය. මෙම තලයේ ක‍්‍රියාත්මක වීම අර්ථකථනවේදයේ කෘත්‍යය නොවේ. තවද දෘෂ්ටිවාදය පිළිබඳ පරීක්ෂාවකට මානව ලෝකය පරිපූර්ණ විශද බවකින් යුතුව සදා එළිදරව් කළහැකි යැයි හිතාගැනීම මුළාවක් බව මම යෝජනා කරන්න කැමැතියි. මානව ජීවිතය සමඟ අවියෝජනීයව බැඳී පවතින යමක් සේ සංවාදය පැවතිය යුතුයි. මේ නිසා අර්ථකථනවේදයේ පරිසමාප්තියක් ගැන මට හිතා ගන්න බැහැ. විද්‍යාව විශේෂඥයන් බිහි කළත් අර්ථකථනවේදය එසේ කරන්නේ නැහැ.

රෝයි : එතකොට ඔබ අගනාකමින් තොර සමාජීය විද්‍යාවක් (value free social science) පිළිබඳ අදහසට එරෙහි වන්නේද?

ගැඩමර් : මට හෛඩගර්ව හමුවීමට පෙර මගේ තරුණ කාලයේ සිත්ගත් ශ්‍රේෂ්ඨතම තැනැත්තා වූයේ මැක්ස් වේබර් (Max Weber). ඔහු විද්‍යාව සම්බන්ධයෙන් වූ එක්තරා භක්ති උන්මාදයක් ඉදිරිපත් කළා. ඒ වගේම මම මගේ මුල් පියවර තැබූවේ මෙම අගනාකමෙන් තොර සමාජ විද්‍යාව (sociology) නම් බලවත් උත්තේජනය යටතේ. ඉතින් එතකොට හෛඩගර්ව හමුවීම මා හට අවුල් ජාලයකින් එළියට එන මඟ බවට පත් වුණා. මැක්ස් වේබර්ගේ විද්‍යාත්මක ශික්ෂණය සහ වීරත්වය ප‍්‍රායෝගික ක‍්‍රියාකරන්නාගේ තනි තීරණවාදය (pure decisionism) සමඟ ඒකාබද්ධ කළ යුතු යැයි මට විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. වේබර් පැවසුවේ ඔබ අදහන දෙවියන් ඔබට තෝරා ගැනීමට සිදුවන බවත්, විද්‍යාවට ඒ සඳහා උදව් කළ නොහැකි බවත්ය. ඉතින්, අපට උදව් බලාපොරොත්තුවෙන් අපි විද්‍යාව දෙසට හැරුනෙ නැහැ. අපි හැරුනේ දර්ශනවාදය දෙසටයි. හෛඩැගර්, ජැස්පර්ස් (Karl Jaspers) සහ අනෙක් අය උත්සහ කළේ තීරණය පිළිබඳ වූ මෙම තාර්කනික නොවන (irrational) ක්ෂේත‍්‍රය තුළ කිසියම් දිශානතියක් සොයා ගැනීමටයි.

රෝයි : දේශපාලන තීරණ ගැනීමේදී සහ සදාචාර විනිශ්චයන් සැකසීමේ දී මෙම කාර්යයෙන් ඍජු උපකාරයක් තිබේ යැයි ඔබ පවසන්නෙද?

ගැඩමර් හබර්මාස් සමග
ගැඩමර් හබර්මාස් සමග

ගැඩමර් : මෙම කාරණයේදී නම් මට ඔබව සනතෝෂ කරන්න පුළුවන්දැයි සැකයි. මම ස්ථානගතව සිටින්නේ සුවිශේෂි සංස්කෘතික සම්ප‍්‍රදායක බව ඔබ දන්නවා. විචිත‍්‍රාත්භූතවාදය (romanticism) යැයි අපට එය නිදහසේ නම් කළ හැකියි. මගේ ක්ෂේත‍්‍රය මානව ශාස්ත‍්‍රයි (humanities). එනම් සම්භාව්‍ය කෘති, කලාව සහ සාහිත්‍යය. එයින් අදහස් වන්නේ නැහැ සමාජ ප‍්‍රශ්න කෙරේ මගේ කිසිම උනන්දුවක් නැහැ කියලා. නමුත් මට ඒවා අදාළ වන්නේ දාර්ශනිකයෙකු වශයෙන් අදාළ වනවාට වඩා පුරවැසියෙකු වශයෙන් අදාළ වන තරමටයි. ඇත්තෙන්ම සමාජීය සහ දේශපාලන වශයෙන් වන අත්දැකීම් මට තිබෙනවා. ඒ වගේම මගේ විශ්වාසයන් සැකසෙන්න මේවා උපකාරී වුණා. මම මේවා මගේ දාර්ශනික අදහස් සමඟ වහා සම්බන්ධ කරන්න යන්නේ නැහැ. හුදෙක් මම කියන්න කැමති දේ නම් අර්ථකථනවේදයේ ප‍්‍රධාන කරුණ විද්‍යාත්මක එකක් නොව මානවීය එකක් යන්නයි. එහි කේන්ද්‍රය පූර්ව උපකල්පනය වන්නේ අනෙකා නිවැරදි විය හැකි බවයි. ඉතින් මෙම සිද්ධාන්තයෙන් ජීවත්වීම දුෂ්කර විය හැකි නමුත් එය සාමූහික ජීවිතය සඳහා පදනමක් යැයි මම හිතනවා. දේශපාලනයේ දී අප දැන ගත යුතු දෙය වන්නේ අනෙකාගේ ස්ථාවරයට එරෙහිව වෙනස්කම් කිරීම හැමවිටම පමණ ඉක්මවා යාමක් වන බවයි. අනාගතය සම්බන්ධයෙන් සැළකිලිමත් වන තාක් දුරට මට පෙනෙන දෙය නම් අනෙකා වටහා ගැනීම සඳහාවූ ඉතා ගැඹුරු පදනමක් අප සොයා ගන්නේ නැතිනම් අප සියල්ලෝම සිටින්නේ අවධානමක බවයි. නමුත් කවර හෝ මායාකාරී සිතුවිලි වලට මා ගොදුරු වී නැහැ. අවශ්‍යතාවයේ පීඩනයෙන් තොරව එය සිදු නොවන බව මම දන්නවා. කෙසේ වෙතත්, මා සතුව ඇති හැඟිම නම් මෙම අවශ්‍යතාවයේ බලවේගය හටගනු ඇත්තේ න්‍යෂ්ඨික බලය සමඟඇති සබඳතාවය තුළම නොව පරිසරවේදී විෂය පථය තුළ බවයි. න්‍යෂ්ඨික ගැටලූව දේශපාලන සම්මුතියෙන් විසඳීමේ හැකියාව ඇතත් පරිසර විද්‍යාව සම්බන්ධයෙන් වන තර්ජනය ගැන මෙම විධායක තලයේ දී කටයුතු කෙරෙන්නේ කෙසේදැයි මට පෙනෙන්නේ නැහැ. මට මගේම අදහස් තිබෙනවා, මන්ද කිසිම කෙනෙකුට බලාපොරොත්තුවකින් තොරව ජීවත් වෙන්න බැහැ: නමුත් අපැහැදිළි බලාපොරොත්තු වලට වඩා ඒවා කුඩායි.

රෝයි :නමුත්,තාක්ෂණික සමාජය යනු කුමක්ද සහ එය කුමක් වීමට ඉඩ තිබේද යන්න පිළිබඳ එක්තරා ආකාරයක න්‍යායික අන්තර් දැක්මක් ඔබ සතුව තිබෙනවා.

ගැඩමර් : මුදා හැරීම නම් හෛඩගර්ගේ මතය සමග සම්බන්ධ වන තැනක් මෙහි තියනවා. මම සිතන විදිහට ඔහුට ඉගනීමට සිදුව තිබුනේ අප සියලු දෙනා ග්‍රහණයට ගැනීමට ඉඩ තිබෙන තාක්ෂණය සමග වශීකරණයෙන් මුදා හරිනු ලැබීමයි.ලෝක ආර්ථිකය කොතරම් සංකීර්ණ, කොතරම් එකට සම්මිශ්‍ර වී ඇත්ද කියතොත් විවිධ ආර්ථික පද්ධතීන් අතර හරවත් වෙනසක් දැකීමට අපහසු කර තිබීම කියන්නත් අවශ්‍ය නැති තරම්. එක්තරා ආකාරයක ඒකරාශී වීමක් මෙහි තියනවා. සංවර්ධිත සහ ඌණ සංවර්ධිත රටවල් අතර පරතරය පිළිබඳ ගැටලුවට අපට මුහුණ දීමට සිදුව තිබෙනවා. නමුත් බටහිරට අපනයනය කිරීම පිළිතුර යැයි මම විශ්වාස කරන්නේ නැහැ. අපට අනෙක් සංස්කෘතීන්ගෙන් ඉගනිය හැකියි. නමුත් මට එතරම් සහතික වෙන්න බැහැ, උදාහරණයක් හැටියට, අප්‍රිකාව යුරෝපීයකරණය කළ හැකිය හෝ කළ යුතුය කියා. එමෙන්ම යුරෝපය සපයන ‘සහයෝගයේ’ නිගමනයක් විය හැක්කේ මෙය බව පෙනෙනවා.

රෝයි : කලාව සහ තාක්ෂණය අතර ඇති සම්බන්ධය පිළිබඳව ඔබ ලියලා තිබෙනවා. ඇඩර්නෝ සිතූ ආකාරයට අනුව අමුර්ත කලාවේ (abstract art) සත්‍ය වන්නේ ඉන් අමුර්ත සමාජයක් ප‍්‍රකාශයට පත්වීමයි. ඔබ ඔහුගේ අදහස් සමඟ එකඟ වෙනවාද?

ගැඩමර් : ඇඩර්නෝගේ සෞන්දර්ය න්‍යාය (Aesthetic Theory) ඔහුගේ කෘති වලින් වඩාත්ම කියවිය හැකි එක. ඒ ඔහුට තෙවන පිටපතක් පමණක් කිරීමට සිදුවන නිසා වෙන්න පුළුවන්. ඔහුගේ අනෙකුත් පොත් සියල්ල අඩුම තරමේ හතරවතාවක් වත් නැවත ලියනු ලැබුවා. ඒවා කොතරම් පණ්ඩිතමානී වුනාද කියනවා නම් මගේ මධ්‍යස්ථ මනස ඒවාට මනා ලෙස බැඳුනේ නැහැ. අමුර්ත කලාව පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඇඩර්නෝ සහ මා අතර වෙනස ඇතිවන තැන වන්නේ සෞන්දර්ය සවිඥානිකත්වය යි. රුචිය පිළිබඳ කානට්ගේ නිර්වචනය ඇඩර්නෝද පිළිගන්නා අතර කලාව සඳහා මෙම නිර්වචනය යොදා ගනියි. මේක ගැඹුරු වැරැද්දක්. මගේ ප‍්‍රධානතම සැලකිල්ල වී ඇත්තේ සෞන්දර්ය සවිඥානිකත්වය සෞන්දර්ය සවිඥානිකත්වය වශයෙන්ම නොපවතින බව පෙන්වා දීමයි. හැමවිටම කලාව යනු හුදෙක් සෞන්දර්ය අපේක්ෂාවන් ඉටු කිරීමට වඩා වැඩි යමක්. මම ඇඩර්නෝ සමඟ එකඟ වන තැන වන්නේ බහුජන මාධ්‍ය ඉටු කරන තීරණාත්මක කාර්යය සම්බන්ධයෙන්ය. බහුජන මාධ්‍ය විසින් සංකල්ප රූප ගුණනය කිරීම සතුව අති විශාල ලෙසින් සමතලාකරණ ප‍්‍රතිවිපාකයන් තිබෙනවා. ඒ නිසා කලාව දකින තැනට සහ අසන තැනට පත්වීමට නම් එය ඉතා සුවිශේෂි ආකාරයේ පරිශ‍්‍රමයන් දැරිය යුතුයි. නූතන කලාව අරුතක් දැනවීමට මෙතරම් අසමත් ඇත්තේ මේ හේතුව නිසයි. එය යහපත් හේතුවක්. නූතන කලාවේ දුෂ්කරතාවය අනිවාර්ය දුෂ්කරතාවයක්. තොරතුරු වලින් අප කොතරම් යටපත් කර ඇත්දැයි කියතොත් ප්‍රෙක්ෂක සමූහයකගේ අවධානය ඇදගත හැක්කේ ඉතා පොළඹවන සුළු නිර්මාණ ආකාරයන්ටයි. නූතන කලාව මම තේරුම් ගන්නේ මේ ආකාරයෙන්. පෝල් සෙලාන් (Paul Celan) ගේ කාව්‍යය ගැන මම කළ කෘතිය මගේ හිතට එනවා. ඔහුගේ කෘතිය, තාක්ෂණයේ බලවේගයන් මගින් කෙරෙන මෙම සමතලාකරණයට එරෙහිව එක්තරා අරුතකින් ආත්මාරක්ෂාවක් වන වැසුණු ගුප්ත ස්වරූපයට ආදර්ශයක්. ඇඩර්නෝගේ සර්වඅශුභවාදය තේරුම් ගැනීම සඳහා අදාළ වන යමක් පවා සමහර විට නූතන කලාව පැහැදිළි කර සිටිනවා.

ඒ මෙයයි: සමීපතම දේ සාර්වය අල්ලා ගැනීම සමග, සාකල්‍යය වැළඳ ගැනීම සමඟ කෙනෙකුගේ ඇති සැළකිල්ල බවට පත් වේ. වරනැඟිමේ ලා අපහසුම දේ කෙනෙකුගේ චින්තනය යෝග්‍ය කරයි. මේ සම්බන්ධයෙන් රූපකයක් යොදා ගැනීමට මම කැමතියි. දක්ෂ ඕගන් වාදකයෙක් කුඩා ඕගනයක් අනන්ත උපකරණයක් සේ සිතා භාවිතා කරයි. අදක්ෂ ඕගන් වාදකයෙක් ලෝකයේ ඇති ඉතාම හොඳ ඕගනයක් එය කුඩා වැඩි යැයි සිතා භාවිතා කරයි. ඉතින් අප ඉගෙන ගත යුත්තේ කුඩා ඕගනය නිපුණව වාදනය කිරීමටයි. ඊළඟ ශතවර්ෂය සඳහා මානව වර්ගයාගේ ගමනාන්තය යැයි මම සිතන දෙය සමග මෙය ගැළපේ. දාර්ශනික ව්‍යායාම ඉවත දැමිය යුතු යැයි මෙයින් අදහස් නොවේ. මනුෂ්‍ය සත්ත්වයෝ මෙම ප‍්‍රයෝජ්‍යතාවාදී ක්ෂිතිජය (utilitarian horizon) අතික‍්‍රමණය කිරීමට හැම විටම උත්සහා කරන්නෝය යන්න මම ස්ථීරවම විශ්වාස කරනවා.

රෝයි : වහලා සහ ස්වාමියා ගැන වූ හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මාක්ස් අර්ථකථනයේ නිදර්ශිත ඉතිහාසයේ තර්කයක් පිළිබඳ අදහසින් ඔබ පොළඹවනු ලැබුවේද? එවැනි පරිණාමවාදී චින්තනයක් සහ දාර්ශනික අර්ථකථනවේදය අතර ඇති සම්බන්ධය ලෙස ඔබ සළකන්නේ කුමක්ද?

ගැඩමර් : මෙය විෂයන් තුනකට වෙන්කර දැක්වීමට මට ඉඩ දෙන්න. ප‍්‍රථමයෙන්, දාර්ශනික අර්ථකථනවේදය යනු කුමක්දැයි අප පැහැදිළිව දැන සිටිය

“සත්‍යය සහ ක්‍රමය”  කෘතිය
“සත්‍යය සහ ක්‍රමය” කෘතිය
යුතුයි. එය ක‍්‍රමයක්ම හැටියට සළකන සමහර සමාජ න්‍යායධරයින් සිටින නමුත් එය ක‍්‍රමයක් නොවේ. දාර්ශනික අර්ථකථනවේදය යනු ක‍්‍රම භාවිතා කිරීමේදී සිදුවන දේ ගැන වන ප‍්‍රත්‍යාවලෝකයයි. ඉන් පෙන්වීමට උත්සාහ කරන දෙය වන්නේ ක‍්‍රම තර්කානුකූලව භාවිතා කිරීමට අපට උදව් කළ හැකි කිසිම ක‍්‍රමයක් නැති බවයි.

පරිණාමය සම්බන්ධයෙන් සැළකිලිමත් වන තාක් දුරට ප‍්‍රමාණයන් පිළිබඳ ගැටලූව මෙහිදී මතුවන බව කෙනෙක් දැන සිටිය යුතුයි. ඇත්තවශයෙන්ම, මානව වර්ගයා පරිණාමීය ක‍්‍රියාදාමයේ කොටසක්. ඒ වගේම සමහර පැරණි සත්ත්ව විශේෂ ඔවුන්ගේ පාද වුවමනාවටත් වඩා දිගු වූ සහ ඔවුන්ගේ ආහාර සොයා ගැනීමට ඔවුනට අපහසුවක් තිබුණ නිසා වඳ වී යාමට ඉඩ තිබුණු පරිදිම මානව වර්ගයාද තමාගේ බුද්ධිමය උපකරණය නියමාකාරයෙන් අනුවර්තනය නොවීම නිසා වඳවී යාමට ඉඩ තිබෙනවා. නමුත් මම කියන්න කැමතියි මෙම සමස්ථ පර්යාවලෝකනය එතරම් මගේ සිත ඇද ගත්තේ නැති බව. දිනක් මම එය සන්සන්දනය කළේ මම මගේ උයනේ එක් විශේෂ මලක් පැළ කළ යුත්තේ කොතනදැයි උත්සාහ දරා තීරණයක් ගැනීම සඳහා ජර්මනියේ සිතියමක් දෙස බලා සිටීමටයි.

පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබඳ හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත්වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දන්නවා. ඒ නිසා විප්ලවය සහ කම්කරු වැඩවර්ජන පිළිබඳ සංකල්පත් සමග වූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙළු හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක්. බාගවිට යම් නිදහසට කරුණක් තියෙන්න පුළුවන්. හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මගේ හයවැනි අධ්‍යයනයේ මා පෙන්වා දීමට උත්සාහ කළ පරිදි හේගල් ඒ වනවිටත් සිටියේ තරමක් වැඩියෙන් ඬේකාට්වාදයේ බලපෑම යටතේ. සැබැවින්ම, හේගල්ගේ ප‍්‍රතිභානය (genius) ඇත්තේ ඔහුගේ ද්වන්ධාත්මක ක‍්‍රමය තුළ නොව කාල්පනික ද්වන්ධාත්මක පියවර පිළිබඳ වූ ඔහුගේ සහජ ඥානය (intuition) තුළයි. සැළකිල්ලට ගැණෙන්නේ පද්ධතිය නොව ආතතීන් සහ ප‍්‍රතිරෝධයන් සඳහා ඇති ඔහුගේ හැඟිමයි. අනන්‍යතාව හා වෙනස, තමා සහ අනෙකා අතර ඇති පරාවර්තිත සබඳතාවයේ පාර්ශවයන් ලෙස සැළකීම හේගල් සඳහා ඇති ප‍්‍රධාන කරුණක්. ප්ලේටෝ ආරම්භයේදී දකින්නේත් හේගල් අවසානයේදී දකින්නේත් මෙයයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )