ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන්

ගෝඨාභයගේ හෙවණැල්ල – වික්ටර් අයිවන් විසිනි
දේශපාලනයේදී ඔහු අතින් සිදුවූ බරපතළම වරද ලෙස සැලකිය හැක්කේ දේශපාලන කාර්යයන් සඳහා නිල වශයෙන් සේ ම නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගැනීමය. යුද්ධ කාලයේදී දකුණේ සමහර සංවිධාන යුද විරෝධී ප‍්‍රතිපත්තියක පිහිටා කෙරෙන උද්ඝෝෂණවල නිරත විය. බිහිසුණු යුද්ධයක් පැවති අවස්ථාවකදී ඔවුන් හැසිරුණු ආකාරයේ වරදක් ඇතත් එම ව්‍යාපාර මැඬලීම සඳහා නීතියට පරිබාහිරව යොදාගත් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම සාධාරණ ලෙස සැලකිය නොහැකිය. සංකේතාත්මක වැදගත්කමක් ඇති සමහර පුද්ගලයන් අබිරහස් ලෙස ඝාතනය වූ අතර තවත් සමහර පුද්ගලයෝ අබිරහස් ලෙස අතුරුදන් වූහ. සමහර ජනමාධ්‍ය ආයතන බිහිසුණු පහරදීම්වලට ලක්විය. සිදුවූ එවැනි සමහර අවලස්සන දේවලදී ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිස් යොදාගනු ලැබූ බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
යුද්ධය අවසන්වීමෙන් පසුත් ඒ ක‍්‍රියාදාමය අවසන් නොකළේය. විවිධ හේතු මත රටේ විවිධ තැන්වල සිදුවූ උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහාද නිල වශයෙන් පමණක් නොව නිල නොවන ආකාරයටද ආරක්ෂක හමුදාවන්ට සම්බන්ධ පිරිසක් යොදා ගත්තේය. තතු දත් ආණ්ඩුවට සම්බන්ධ සමහර අය එම ක‍්‍රියාදාමය දෙස බලා සිටියේ කැමැත්තකින් නොව මහත් අප‍්‍රියාවකිනි. එහෙත් ඔවුන් ඒ ගැන තැන් තැන්වලදී රහසේ කටුකුටු ගෑවා මිස ප‍්‍රසිද්ධියේ විරෝධය පාන්නට බිය විය. – ඉතිරිය සඳහා බලන්න :

රාවය

‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

‘නපුරෙහි නිස්සාරත්වය’ : ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටිය නරඹා සාකච්ඡා කරමු
විසිවැනි සියවසේ දේශපාලන චින්තනයට ඉමහත් ලෙස බලපෑ ජර්මානු-යුදෙව් ජාතික දේශපාලන චින්තිකාව වන හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටියේ දර්ශනයක් සහ ඒ පිළිබඳ සාකච්ඡාවක් ජුනි මස 13 වෙනි සිකුරාදා සවස 2.30 ට මරදාන ‘සමාජය හා සාමයික කේන්ද්‍රයේ‘ පැවැත්වෙයි.

හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ වාර්තාව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එහිදී ඇය දැන් සුපතලව ඇති ‘නපුරෙහි නිස්සාරත්වය’ නැමැති සංකල්පය හඳුන්වා දුන්නේ දරුණු නපුරු ක‍්‍රියාවල යෙදෙන බොහෝ දෙනෙකු සාමාන්‍ය මිනිසුන් ය යන්න පැහැදිළි කරන්නටය. අයික්මාන් බියකරු නමුත් අතිශය දරුණු ලෙස සහ බිය ගෙන දෙන සුළු ලෙසින් සාමාන්‍ය තැනැත්තෙකු බව ඇය නිිරීක්‍ෂණය කළාය. චිත‍්‍රපටියට පසුබිම් වන මෙම නඩු විභාගය, ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’ සහ ‘මිනිසුන් තම දේශපාලන නිදහස එක් තනි නායකයෙකු වෙත පවරා ඔහු වෙනුවෙන් සියල්ල කැප කරන්නට පෙළඹෙන්නේ මන්ද?’ වැනි අදහස් සාකච්ඡා කිරීමට අවකාශය සපයයි.

‘රෝසා ලක්සම්බර්ග්’ චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කළ කීර්තිමත් මාර්ගරෙතේ වොන් ට්‍රොටා ‘හනා ආරන්ඩ්ට්’ චිත‍්‍රපටියේ අධ්‍යක්‍ෂිකාව යි. මෙහි හානා අරන්ඩ්ට් ගේ චරිතය රඟපාන්නී උත්කෘෂ්ඨ නිළි බාර්බරා සුකෝවා ය.

‘සමාජවාදී අධ්‍යයන කවය‘ සංවිධානය කරන මෙම සංවාදයට ඔබටත් ආරාධනා කරමු.

Movie Poster-1

මහාචාර්ය සරච්චන්ද්‍රටත් සෝභිත හිමියන්ටත් බිම දාගෙන ගහපු රටක්‌!

දයා ලංකාපුර

මහාචාර්ය සරච්චන්ද්‍ර
මහාචාර්ය සරච්චන්ද්‍ර
සාහිත්‍ය පිළිබඳව පමණක්‌ නොව සංස්‌කෘතිය හා සමාජය පිළිබඳවද එතුමා නිර්භයව අදීනව සිය අදහස්‌ පළකළ බව කවුරුත් දන්නා කරුණකි. ඒ නිසාම නොයෙක්‌ අවස්‌ථාවල දොaෂාරෝපණ හා ගැරහුම්වලට ලක්‌වීමටද මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට සිදුවිය. වරක්‌ එතුමා සිංහල සංස්‌කෘතියේ පරිහානිය ගැන කතා කිරීමට ගොස්‌ ශාරීරික වශයෙන් මැර ප්‍රහාරයකට ලක්‌විය. නිදහසේ අදහස්‌ ප්‍රකාශ කිරීමට හැකි වාතාවරණයක්‌ නැතැයි පවසමින් වර්තමානයේ හඬනගන පිරිස්‌ ඒ කාලයේ තමන්ට බලය තිබියදී ක්‍රියා කළ ආකාරය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පැහැදිලි වේ.

දිනය – 1982 ජුලි මස 21 දාය. ස්‌ථානය – කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාව. ගිහි පැවිදි විද්වතුන් පිරිසක්‌ විසින් පිහිටුවා ගෙන තිබූ සිංහල බල මණ්‌ඩලය මගින් එහි රැස්‌වීමක්‌ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. සිංහල බෞද්ධ අයිතීන් පිළිබඳව උනන්දුව දැක්‌වූ දෙදහසකට අධික පිරිසක්‌ මේ සඳහා පැමිණ සිටියහ. සිංහල බල මණ්‌ඩලයේ සභාපති අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමියෝ ගිලන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හෙයින් මෙම රැස්‌වීමේ මුලසුන හෙබවූයේ සිංහල බල මණ්‌ඩලයේ පැවිදි කාරක සභාවේ සභාපති ඉත්තෑපාන ධම්මාලංකාර හිමියෝය. රැස්‌වීම ආරම්භ කිරීම සඳහා රැස්‌ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවනු ලැබුවේද උන්වහන්සේ විසිනි. පස්‌වරු 3.30 ට පමණ රැස්‌වීම ආරම්භ වීමෙන් පසු පිළිගැනීමේ කතාව සිදු කළේ බල මණ්‌ඩලයේ ප්‍රධාන ලේකම් මාදුළුවාවේ සෝභිත හිමියෝය.

මෙහි ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කොට තිබුණේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාටය. සිංහල බල මණ්‌ඩලයේ ආරාධනයෙන් දේශනයක්‌ පැවැත්වීමට පැමිණියද එතුමා එහි සාමාජිකයෙක්‌ නොවීය. මෙහි අනිකුත් දේශකයන් ලෙස නම් කොට තිබුණේ මහාචාර්ය ටී. බී. කාන්ගහ ආරච්චි, රාජනීතිඥ සිරි පෙරේරා, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, ගාමිණී කීර්තිචන්ද්‍ර සහ ආචාර්ය තිලක්‌ කාරියවසම් යන මහත්වරුන්ටය.

පස්‌වරු 5 ට නාට්‍ය පුහුණුවක්‌ සඳහා යැමට තිබෙන බැවින් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා තමාගේ කතාව න්‍යාය පත්‍රයේ මුලට දමන්නැයි ඉල්ලූ බැවින් ඒ අනුව ප්‍රථම කතාව ඔහුට ලැබිණ.

“වර්තමාන සිංහල සංස්‌කෘතියේ පිරිහීමට හේතු මොනවාද?” මැයෙන් සිය කතාව ඇරැඹූ මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා වර්තමාන සමාජය විෂම වී ඇති බවත්, ඒ විෂමතාව හේතු කොටගෙන දූෂණ, සොරකම්, කොල්ලකෑම් වැඩි වී ඇති බවත් කීය. බුදුන්වහන්සේගේ දේශනාව අනුව ගිහියකුගේ දිවිපෙවෙත ගත කළ යුතු “සම්මා ආජීව” (යහපත් දිවි පැවැත්ම) අද සමාජයෙන් තුරන් වී ඇති බවද පැවසූ මහාචාර්යවරයා මෙවැනි තත්ත්වයක්‌ උද්ගතවීමට හේතුව විවෘත ආර්ථිකය බවද පෙන්වා දුන්නේය. ඒ සමඟම ශාලාවේ රැස්‌ව සිටි පිරිස අතුරින් හූ හඬක්‌ නැගුණි. ඒ සමඟම වේදිකාවට ගොඩවූ පුද්ගලයෙක්‌ සරච්චන්ද්‍ර මහතා වෙත පැමිණ “ඔය කතාකරන්නේ සිංහල ප්‍රශ්න ගැන නොවෙයි, දේශපාලනය ගැනයි. මේක දේශපාලන රැස්‌වීමක්‌ නොවෙයි” කියමින් ඝෝෂා කරන්නට වූයෙන් සරච්චන්ද්‍ර මහතා සිය කතාව නවත්වා පුටුවෙහි වාඩිවූයේ එම පුද්ගලයාට කතා කිරීමට ඉඩදීම සඳහාය. ඒ මොහොතේම එම පුද්ගලයා දුන් සංඥවක්‌ අනුව රැස්‌වීම් ශාලාවේ සිටි විශාල පිsරිසක්‌ “අඩෝ සරච්චන්ද්‍රයා බිමට බැහැපිය” යනුවෙන් කෑ ගසමින් හා හූ කියමින් පුටු එහාට මෙහාට විසිකරන්නට වූ අතර කීප දෙනකු වේදිකාවට කඩා වැදී සරච්චන්ද්‍ර මහතාට පහරදී ඔහු වේදිකාවෙන් ඉවතට ඇද දැමූහ. ඒ මහතා වේදිකාවෙන් බිමට වැටුණ අතර ඔවුන් ඔහුගේ මුහුණට හා පපුවට පයින් ගසමින් ඔහුගේ දෙපයින් අල්ලා එළියට ඇදගෙන ගියේ තිරිසන් සතෙකුටවත් නොකරන ආකාරයෙනි.

සරච්චන්ද්‍ර මහතා බේරා ගැනීමට ඉදිරිපත් වූ සෝභිත හිමියන්ටද පහරදී උන්වහන්සේ තල්ලු කර දමනු ලැබීය. සරච්චන්ද්‍ර මහතා එළියට ඇදගෙන ගිය පිරිස ඔහු කාණුවට ඇද දමා යළිත් ශාලාව තුළට කඩා වැදුණි. ශාලාවේ රැස්‌ව සිටි පිරිසද ඒ මේ අත දිවගියේ මැර ප්‍රහාරයෙන් බේරිමටය. මැරයෝ රැස්‌වීම් ශාලාවේ පුටු පොළොවේ ගසමින් ශබ්ද විකාශන යන්ත්‍රද කඩා බිඳ දමමින් මහත් හානියක්‌ කළහ.

මෙම ප්‍රහාරයේදී සිංහල බල මණ්‌ඩලයේ භාණ්‌ඩාගාරික එස්‌. පී. සේනාරත්න, නුගේගොඩ සිරිසේන එදිරිසිංහ, ආචාර්ය තිලක්‌ කාරියවසම් යන මහත්වරුන් සහ පනානේ විනයවංශ හිමියෝද තුවාල ලැබූහ. ශාලාවේ සිටි පිරිසට පහරදී එහි පුටු දොර ජනෙල්වලටද හානි සිදුකළ මැර පිරිස රැස්‌වීම කඩාකප්පල් කිරීමෙන් පසු ඉවත්ව ගියහ. මෙම මැර ප්‍රහාරය ‘දිවයින’ ඡායාරූප ශිල්පී විමලසිරි ජයලත් විසින් ඡායාරූපගත කරමින් සිටියදී මැරයෝ ඔහු වෙතටද කඩා පැන ඔහුට පහරදී ඔහුගේ කැමරාවද පැහැර ගත්හ.

රැස්‌වීම කඩාකප්පල් කිරීමෙන් පසු රැස්‌වීම් ශාලාවේ ඉතිරි වී තිබුණේ කඩා බිඳ දමනු ලැබූ පුටු, කුඩ, සෙරෙප්පු හා ගැලවී ගිය සිවුරක්‌ පමණි. ප්‍රහාරයෙන් පසු මැර පිරිස විසිර ගොස්‌ තිබිණි.

මැර ප්‍රහාරයට ලක්‌ වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට සිය නිවසේදී එතුමාගේ බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය උවටැන් කළ අයුරු.
මැර ප්‍රහාරයට ලක්‌ වූ මහාචාර්ය
එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට සිය
නිවසේදී එතුමාගේ බිරිඳ ලලිතා
සරච්චන්ද්‍ර මහත්මිය උවටැන් කළ අයුරු.
රැස්‌වීම කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිස එදා කුරුඳුවත්ත පොලිසියට ගොස්‌ පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්‌ථාව.
රැස්‌වීම කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිස එදා කුරුඳුවත්ත පොලිසියට ගොස්‌ පැමිණිල්ල ඉදිරිපත් කළ අවස්‌ථාව.

පසුව මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගාමීණි කීර්තිචන්ද්‍ර ඇතුළු පිරිසක්‌ද කුරුඳුවත්ත පොලිසියට ගොස්‌ මේ සිද්ධිය පිළිබඳව පැමිණිලි කළහ.

සිංහල බල මණ්‌ඩලයට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැති බවත්”සිංහල සංස්‌කෘතියේ පරිහානියට හේතු” මැයෙන් කතාවක්‌ කරන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් ලැබුණු ආරාධනයක්‌ අනුව එහි ගිය තමා කතා කිරීමට පටන්ගත් බවත් එහිදී දේශපාලනය ගැන කිසිවක්‌ කතා නොකළ බවත් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා පසුව ‘දිවයින’ට පවසා තිබිණි.

සිංහල සංස්‌කෘතියේ පරිහානියට බලපෑ හේතු සාධක ශාස්‌ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම තමාගේ අරමුණ වූ බවත් සඳහන් කළ ඒ මහතා, “මා එහි ගියේ මට ලැබුණු ආරාධනයක්‌ අනුව මහාචාර්ය වරයකු හැටියට ශාස්‌ත්‍රීය කථාවක්‌ කිරීමට යි. මේ රටේ මහාචාර්යවරයකුට ශාස්‌ත්‍රීය කතාවක්‌ කරන්නට බැරිනම් අප නිතර කතාකරන ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ කොහේදැයි” ප්‍රශ්න කළේය.

සිංහල බල මණ්‌ඩලයේ රැස්‌වීමට පහරදීම සංවිධානාත්මකව පැමිණි පිරිසකගේ ක්‍රියාවක්‌ බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ පියසේන ජයවීර මහතාද පැමිණ සිටීමෙන් එය පැහැදිළි වූ බවත් මාදුළුවාවේ සෝභිත හිමියෝ කුරුඳුවත්ත පොලිසියට දුන් කට උත්තරයේ සඳහන් විය. මුලින්ම වේදිකාවට පැන මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාට බාධා කළේත් පසුව මැරයන් වේදිකාවට කඩා වැදුණේත් ඔහු දුන් සංඥවක්‌ අනුව බවත් උන්වහන්සේ පවසා තිබිණි.

මෙම රැස්‌වීමට පහරදී එය කඩාකප්පල් කිරීම සඳහා 500 ක පමණ පිරිසක්‌ ලංගම බස්‌ රථවලින් ගෙන්වා තිබූ බවත් ඔවුන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වය දරන ලංගම හා වරායේ සේවකයන් බවත් පසුව හෙළිවිය.

සිංහල බල මණ්‌ඩල රැස්‌වීමට සහභාගිවීමට පැමිණ සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ බටහිර කොළඹ ක්‍රියාකාරි කමිටුවේ ප්‍රබල සාමාජිකයකු වූ අනුර විමල් ප්‍රනාන්දු මහතා මේ සිද්ධිය පිළිබඳ කුරුඳුවත්ත පොලිසියට කට උත්තරයක්‌ දුන් අතර ප්‍රහාරයට පැමිණ සිටි ඔහු දන්නා නාඳුනන පුද්ගලයන්ගේ නම්, විස්‌තර, ඔවුන් පැමිණි වාහනවල අංකද එහිදී ඔහු පවසා තිබිණි. එහෙත් කුරුඳුවත්ත පොලිසිය තමාගේ කට උත්තරයේ එම සම්පූර්ණ විස්‌තර ඇතළත් කොට නැති අතර පහරදුන් පුද්ගලයන්ගේ නම් හා විස්‌තරද වුවමනාවෙන්ම ලියා නැති බවද ඔහු ‘දිවයින’ට පවසා තිබිණි.

මේ සිද්ධිය ගැන තමා සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වී පොලිසියට කට උත්තරයක්‌ දුන්නේ මැරයන් මහාචාර්ය සරච්චන්ද්‍ර මහතාට පහරදුන් ම්ලේච්ඡ ආකාරයත් භික්‍ෂුන් වහන්සේලාට පහරදුන් අන්දමත් නිසා ඇති වූ බලවත් සිත් වේදනාව නිසා බවද ඒ මහතා කීය.

මේ අතර විමල් ප්‍රනාන්දු මහතා විසින් කුරුඳුවත්ත පොලිසියට දුන් කට උත්තරය ඉල්ලා අස්‌කරගන්නා ලෙසට ආණ්‌ඩුවේ ප්‍රබලයන් කිහිපදෙනකු තමාට බලපෑම් කළ බවත් එහෙත් තමා ඊට සූදානම් නැති බවත් පැවසූ විමල් ප්‍රනාන්දු මහතා එක්‌තරා සහකාර පොලිස්‌ අධිකාරිවරයකුද තමාට දුරකථනයෙන් කතාකොට පොලිසියට කළ ප්‍රකාශය ඉල්ලා අස්‌කර ගන්නැයි ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

කෙසේවුවද තමා පොලිසියට දුන් කට උත්තරය යළි කියවා බැලීමටවත් අවස්‌ථාව නොදුන් පොලිසිය එහි පිටපතක්‌ ඉල්ලූ විට එය ලබාදීමද ප්‍රතික්‍ෂේප කළ බවද පැවැසීය.

මෙම පැමිණිලි මත කුරුඳුවත්ත පොලිසියේ ස්‌ථානාධිපති මනෝ ඩේවිඩ් මහතා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උසාවියට ‘බී’ වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් පවසා තිබුණේ කට උත්තර දී ඇති අය විසින් පහරදුන් පුද්ගලයන්ගේ විස්‌තර ප්‍රකාශකොට නොමැති බැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි.

පොලිසිය මෙහිදී අනුගමනය කළ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ කුමන රජයක්‌ බලයේ සිටියත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒ ආණ්‌ඩුවල අවශ්‍යතාවය මත බවයි. එදා සිංහල බල මණ්‌ඩල

රැස්‌වීමට පහරදීම ගැන පොලිසිය ක්‍රියා කළ ආකාරයත් මෑතදී හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ නැරඹීමට ගිය විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදීමේ සිද්ධිය ගැන පොලිසිය කටයුතු කරන ආකාරයෙනුත් එය මනාව තහවුරු නොවන්නේද?

ඉරිදා දිවයින