ජාතිකවාදයට සහ අගතියට එරෙහිව ප්‍රබුද්ධත්වයේ ලිබරල් මානවවාදය සහ විචාර බුද්ධිය

ජාතිකවාදයට එරෙහි කතිකාව ජාතිකවාදී කතිකාවේම අන්තවාදී ස්වරූපය ගැනීමේ අවදානම

ස්ට්‍රස්බර්ග් හි කැතීඩ්ර්ල් දේවස්ථානය
ස්ට්‍රස්බර්ග් හි කැතීඩ්ර්ල් දේවස්ථානය ඇතුළත දැක්මක්
නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව වර්ධනය වන ආකාරය රචනයේ පහත පළවන කොටසින් ෆින්කල්ක්‍රෝත් තව දුර සාකච්ඡා කරයි. මේ ඒ පිළිබඳ කෙටි ප්‍රතිචාරයක් සහ සහ හැඳින්වීමකි.

ෆින්කල්ක්‍රෝත් එම සාකච්ඡාව අරඹන්නේ අගතිය පිළිබඳ ජාතිකවාදී කතිකාව තුළ ඇතිවූ විවාදය ඉදිරිපත් කරමිනි. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීහු ද ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ අවමානයෙන් සැළකූ අගතිය පිළිබඳ අදහස පුනරුත්ථාපනය කිරීමට යොමු වූහ.

මෙහි ලා ෆින්කල්ක්‍රෝත් ගේ සාකච්ඡාව න්‍යායිකව ගැඹුරු කරණු වස් ගැඩමර් අගතිය පිළිබඳ ගොඩ නඟන අදහස් සැකෙවින් ඉදිරිපත් කරන්නට අපි කැමැත්තෙමු.

ගැඩමර්
ගැඩමර්
අගතිය පිළිබඳ ගැඩමර්

අගතිය සහ විචාර බුද්ධිය ප්‍රතිපක්ෂයන් ලෙස සැළකීමේ නූතනවාදී ගැටළුවෙන් මිදීමේ මඟක් ලෙස ගැඩමර් ගේ දාර්ශනික අර්ථවිවරණවේදය අගතිය (prejudice) යන පදයෙහි ඇති පූර්ව විනිශ්චය යන අරුත මතු කරගත් බව සඳහන් කරනු වටියි. ගැඩමර්ට (Truth and Method) අනුව අපට වටහා ගැනීමට තිබෙන දෙයට අප විවෘත කරන්නේ අපේ පූර්ව විනිශ්චයන් මය.

පූර්ව විනිශ්චයන් යනු අපේ පූර්ව අර්ථ විවරණීය පිහිටි බවයි. හෛයිඩෙගර් අවබෝධයේ ‘පූර්ව-ව්‍යුහ‘ එනම් අර්ථවිවරණය කළ යුතු හෝ වටහා ගත යුතු දේ ප්‍රාරම්භක ආකාරයකින් ග්‍රහණය කරගැනීමට ඉඩ සළසන පූර්වාපේක්ෂණ ව්‍යුහයන් යනුවෙන් තම Being and Time කෘතියේ සුවිශේෂ ආකාරයෙන් සම්පාදනය කළේ මෙම අදහසයි. පූර්වාපේක්ෂණ ව්‍යුහයන් යන්නෙන් අදහස් කරන්නේ වටහාගැනීම යන්නට හැමවිටම ‘සම්පූර්ණකිරීමේ අපේක්ෂණය‘ක් පටලැවී ඇති බවයි. එනම් වටහා ගත යුතුව ඇති දේ හැම විටම වටහා ගත හැකි දෙයක් එනම් සංගතික සහ එහෙයින් අර්ථවත් වන සමස්තයක් ලෙස සැදුම් ගන්නේය යන සංශෝධනය කල හැකි පූර්වප්‍රස්තුතය හා පටලැවී ඇති බවයි.

අදාළ කරුණකට අපේ පූර්ව විනිශ්චයන් විවෘත වන්නේ එම පූර්ව විනිශ්චයන් ම සංශෝධනය වීමේ හැකියාව ඇති ඒවා වන ආකාරයෙනි. එය හැමවිටමත් වත්මන් සැළකිල්ලන්ට සහ ඵල ප්‍ර යෝජනයන්ට දිශානතිගතව ඇත සහ විවාදයට තුඩු දී ඇති කරුණ සමග සංවාදයට එළඹීමට අපට ඉඩ සළසන්නේ එම වත්මන් සැළකිල්ලන් සහ ඵල ප්‍ර යෝජනයන් ය යන අර්ථයෙන් අතීතයට අයිති පවා හැම අර්ථකථනයක්ම අවශ්‍ය යෙන්ම ‘පූර්ව විනිශ්චයමය‘ වෙයි.

වටහාගැනීමෙහි පූර්වවිනිශ්චයමය ස්වභාවය යන්නෙන් අදහස් වන්නේ අප වටහා ගන්නා හැම විටම අපේ ස්වයං-අවබෝධය සහ විවාදයට තුඩු දී ඇති කරුණ වටහාගැනීම යන දෙකම වටකොට ගන්නා සංවාදයක අප පටලැවී ඇති බවයි.

මෙලෙස දැනුම ලබා ගැනීමේ නීත්‍යානුකූල ප්‍රභවයන් ලෙස අධිකාරය සහ සම්ප්‍රදායේ භූමිකාව පිළිබඳ සාධනීය ඇගයිමට ලක් කිරීමක් ඇතිවීම ගැඩමර් අගතිය පුනරුත්ථාපනය කිරීමේ එක් ඵල විපාකයක් ලෙස සළකනු ලැබේ. වටහා ගත යුතුව ඇති දේ විවෘත කිරීමෙහි ලා ඒවා තීරණාත්මක භූමිකාවක් ඉටුකරන තාක් තරමට සහ එම ක්‍රියාවලියෙහි ලා ඒවාමත් ප්‍රත්‍යක්ෂ වන තාක් තරමට වටහාගැනීමේ සංවාදයෙහිදී අපේ අගතීන්, පූර්ව විනිශ්චයන් පෙරට එයි. එපරිද්දෙන් අපේ අගතීන් අපට විද්‍යාමාන වත්ම ඒවා ඒවායේ වාරය පැමිණි විට ප්‍රශ්න කරණු ලැබීමට ලක් කිරීමෙහි ලා කේන්ද්‍ර ගත විය හැකිය.

ෆින්කල්ක්‍රෝත් ඉදිරිපත් කරන නූතන යුරෝපීය ජාතිකවාදී කතිකාව පිළිබඳ සාකච්ඡාවේදී ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ මතවාදයට ප්‍රතිචාර දක්වන ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ප්‍රංශ සංස්කෘතික ආධිපත්‍යයට ප්‍රතිචාර දක්වන ජර්මානු රොමෑන්තිකවාදීන් ගේද මතවාද පසුබිමෙහි අගතිය සහ විචාර බුද්ධියද, ජාතික සංස්කෘතික ප්‍රභවයන් සහ විශ්වීය වටිනාකම් ද පසමිතුරු ප්‍රතිපක්ෂ ලෙස ගැනීම විමසනු ලැබෙයි.

ජාතික හැඟීම් කිසියම් අවිඥාණක නිර්ණය කිරීමක ප්‍රථිඵලයක් ලෙස එක් පිළක් සොයා ගනිද්දී එය එසේ නොව නිදහස් තෝරාගැනීම පිළිබඳ කාරණයක් යැයි අනෙක් පස විසින් අවධාරණය කෙරෙයි.

එදිනෙදා ජීවිතය සංස්කෘතියේ භූමිය වශයෙන් ගැනීම ජාතිකවාදී දෘෂ්ටියයි. ජාතිකවාදය අවධාරණය කළ තව අදහසක් නම් පොදු ජන මනස සමග බද්ධ වීමේ, ජනපිය ප්‍රඥාවට සමීප වීමේ අවශ්‍යතාවයි.

මේ අදහස් අප දකින පරිදි සම්භාව්‍යවාදයට එරෙහි පශ්චාත් නූතනවාදී කතිකාවද වැළඳ ගැනීම උත්ප්‍රාස ජනකය.

ආගම මානවයන්ට මනසේ ජීවිතය පිළිබඳ ශාපයත් ගෙන ආවේ යැයි විවේචනයක් ක්‍රිස්තියානි දහම ආරම්භයේ සිටම වීය යන්නෙන් කියවෙන්නේ ආරම්භයේදී ප්‍රබුද්ධත්වයට මඟ පෑදුවේ ආගම ය යන්නයි.

ප්‍රතිවිප්ලවවාදීන්ට අනුව විශ්වීය මානව ස්වභාවයක් මෙන්ම ස්වායත්ත අධ්‍යාත්මික ජීවිතයක් ද විය නොහැක්කකි. මෙම ප්‍රතිවිප්ලවවාදී විවේචනය එල්ල කෙරෙන්නේ ලිබරල් මානවාදය ටය. මිනිසා අයහපතට යොමු කරන්නේ සමාජයයි යන රූසෝවියානු රොමෑන්තිකවාදය ටද ප්‍රතිවිප්ලවවාදී නෑ කමක් තිබේ.

පසු කලෙක පශ්චාත් ව්‍යුහවාදීන් විසංයෝජනය කරන්නේද මෙම ලිබරල් මානවයාය. මුලින් එයට පහර දුන්නෝ ජාතිකවාදීහු ය.

දැන් පශ්චාත් නූතනවාදීන් ජාතිකවාදයට විරුද්ධ වන විට ඔවුන් යළි පෙනී සිටින්නේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය වෙනුවෙන්ද නැත්නම් මිනිසා සහ සමාජය පිළිබඳ නව පශ්චාත් දර්ශනයකටද? කුමක් ද ඒ දර්ශනය හෝ න්‍යාය?

ෆින්කල්ක්‍රෝත් තර්ක කරන පරිදි ජාතිකවාදී කතිකාව මානව පැවැත්මට පසුබිම් වන අවිඥාණක දැනුමත් ඒ ගැන විග්‍රහ කිරීමට අවිඥාණයේ විද්‍යාවන් වන සමාජීය විද්‍යාවනුත් සොයා ගත්තේය. මිනිසා තම ඉතිහාසය විසින් නිශ්චය කෙරෙන්නේය යන්න ද ජාතිකවාදී මතියක් වීය.

මිනිසාට තම භාෂාවට සංස්කෘතියට පෙර විචාර බුද්ධිය සහ සදාචාරමය සත්තාවක් තිබේද?

ජාතික සංස්කෘතිය පිළිබඳ අදහසින් එල්ල වන අභියෝගය ජය ගැනිමට මානව සංස්කෘතිය පිළිබඳ අදහස ඉදිරිපත් කෙරුණි. “ප්‍රංශ සංස්කෘතියට, ජර්මානු සංස්කෘතියට සහ ඉතාලියානු සංස්කෘතියට පෙර, මානව සංස්කෘතිය තිබේ“ යැයි ප්‍රබුද්ධත්ව චින්තකයන් කියන විට ඉන් අදහස් කෙරෙන්නේ ප්‍රබුද්ධත්වය විසින් මානව සංස්කෘතියක් පිළිබඳ සංකල්පීකරණය කළේය යන අදහස මිස එක් එක් සුවිශේෂ සංස්කෘතීන් ලොව බිහිවීමට පෙර කාලානුක්‍රමික වශයෙන් මානව සංස්කෘතිය බිහි වීය යන්න විය නොහැකිය. ප්‍රංශ විප්ලවයෙන් බිහිවුණු මානව සංස්කෘතිය පිළිබඳ අදහස වැළඳගන්නට ඇති සූදානම ප්‍රංශ සුවිශේෂ සංස්කෘතියෙන් ඇති කළ එකක් නොවේද?

ෆ්‍රැන්කෝ – ප්‍රෂියානු යුද්ධය, වඩා නිශ්චිතව කියතොත් ජර්මානුවන් විසින් අල්සේස්-ලොරේන් ප්‍රදේශය යටත් කරගනු ලැබීම ජාතිකවාදයේ පදනම පිළිබඳ ආන්දෝලනය යළිත් අවුළුවා ලූයේය. ජනයා අතර ඇතිවන ජාතික හැඟීම් කිසියම් අවිඥාණක නිර්ණය කිරීමක ප්‍රථිඵලයක් ලෙස එක පසක් දුටු අතර අනෙක් පස දුටුයේ එය නිදහස් තෝරාගැනීම පිළිබඳ කාරණයක් ලෙසිනි.

එය නිදහස් තෝරාගැනීම පිළිබඳ කාරණයකි යන්න වෙනුවෙන් පෙනී සිටින පස දැන් තර්ක කරන්නේ ජාතිකවාදයට මූලය විය හැකි සම්ප්‍රදාය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමට නොව සම්ප්‍රදාය සහ තනි මිනිසුන්ගේ සවිඥාණකත්වය පැන නැගීම අතර හිඩැස ක් තිබුණා වුනත් සකස් වූ පසු මානව සත්වයන්ට සිතීමේ හැකියාව තිබුණු බව කියන්නටය. මිනිසා කිසියම් භාෂාවක ඇතුළත වසා දමන්නට පෙර, කිසියම් වර්ගයක සාමාජිකයෙකු වන්නට පෙර, කිසියම් සංස්කෘතියක භක්තිවන්ත අනුගාමිකයෙකු වන්නට පෙර, ඔහු විචාර බුද්ධිමය සහ සදාචාරමය සත්වයෙකි යි මේ පාර්ශ්වය කියයි.

මෙයින් කියන්නේ මිනිසාට පූර්ව සංස්කෘතික පූර්ව භාෂාමය විචාර බුද්ධියක් සහ සදාචාරයක් ඇත යන්නයි. මේ අදහස අප වටහා ගත යුත්තේ කෙසේද?

ෆින්කල්ක්‍රෝත් විග්‍රහ කරන පරිදි මානව ජීවගුණය ආගමේ අනාවරණය කෙරුණු සත්‍යයෙන් සහ ආධානග්‍රාහිත්වයන්ගෙන් නිදහස් කිරීම පුනරුදයේ සිට ප්‍රබුද්ධත්වය දක්වා නූතන යුගය සොයා ගිය අරමුණයි. එහි ප්‍රථිඵලය නම් ස්ථාපිත ඉගැන්වීම් වලින් විමුක්තිය ලැබ මිනිසා විචාර බුද්ධිය ට පමණක් වගකිව යුතු වීය යන අදහසයි.

මිනිසා වැඩිහිටියෙකු ලෙස මෙම විචාර බුද්ධිය අත් පත් කර ගනියි. මිනිසා ළමා වියෙන් වැඩිහිටි බවට පත්ව ඔහු පියාගේ පිහිටෙන් තොරව තමාම සඳහා සිතීමට තමා සූදානම් බව මේ අදහස ප්‍රකාශ කොට සිටියේය.

මහා කවි ගූත

ජර්මානු මහා කවි ගූත මෙම සාකච්ඡාවට අදාළ වන්නේ මෙහිදීය.

ජර්මානු මහා කවි ගූත (Goethe) පළමුව ජාතිකවාදියෙකුව සිට පසුව ජාත්‍යන්තරවාදියෙකු බවට පත්වීය. ගූත ගේ ජාත්‍යන්තරවාදය පිළිගත් ජර්මනියම අවුරුදු පනහකට පසු යළිත් ජාතිකවාදය වැළඳ ගත්තේය.

ගූතට අනුව මිනිසුන් ට සුවිශේෂ පොළොවක මුල් තිබුනත්, එක්තරා කාලයකට සහ අවකාශයකට බැඳුනත්, සුවිශේෂී භාවයේ, සහ ජාතික අර්ථයන් ගෙන් නිර්වචනය කරනු ලැබීමේ ඉරණමින් ගැළවෙන්නට ඔවුනට තවමත් හැකි වීය. ඔවුනට මෙම අවකාශය සළසා දුන්නේ සාහිත්‍යය යි. ජාතික සාහිත්‍යය පිළිබඳ අදහස වෙනුවට ලෝක සාහිත්‍යයක් නඟා සිටුවීමේ ව්‍යාපාරයක් ගූත දියත් කලේය.

ඉන් අවුරුදු පනහකට පෙර ගූත ජාතිකවාදය තදින් වැළඳගත්තෙකු වීය. එකළ සුවිශේෂී ජර්මානු කලාවක සහ සාහිත්‍යයක පැවැත්ම ප්‍රහර්ෂයෙන් යුතුව අනාවරණය කර ගත් ගූත ජාතිකත්වය මත පදනම්ව රමණීයත්වය අර්ථ කථනය කළේය.

නමුත් ඔහු පසුව ජාතිකවාදය අත හැර ජාත්‍යන්තරවාදයට හැරුණි. මානවයාට ජනවර්ගය පාදක සහ මූලික නමුත් මිනිසාට එහිම ගැලී සිටිය නොහැක. කලාකරුවා තමා අයිති ජීවගුණය ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist) අතිරෝහණය කොට මානව සංස්කෘතිය කරා ඇදී යා යුතුය යන්න ගූත පසුව දැරූ මතය බවට පත්වීය. 1827වන විට පෙනෙන්නට ගිබුනේ ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist) හි ආයුෂ නිම වෙමින් තිබුණු බවකි.

නමුත් අවුරුදු පණහකට පසු ජර්මන් විශ්ව විද්‍යාලය ගාම්භීරව ගූත වෙනුවට හර්ඩර් තෝරා ගත්තේය. ජර්මානු ව්‍යාප්තවාදයේ නැඟීමත් සමග ගූත ගේ ඉගැන්වීම් වල බලපෑම් ජර්මනියෙන් අතුරුදහන් ව ගියේය. එම ක්‍රියාවලිය තුළ එහි ඒකාධිපතිවාදී ශක්‍යතාව අනාවරණය කරමින් සංස්කෘතිය සම්භවයන්ගේ ඇදහිල්ලට ලඝු කරමින් ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) විජයග්‍රහණය කලේය, මුලින් ප්‍රංශ ආධිපත්‍යයට එරෙහි වීමට හඳුන්වා දුන් මෙම සංකල්පයෙන් දැන් සහමුලින්ම නව ආකාරයේ අධිකාරයක් පැන නැඟුණි.

රෙනාන් ජනයාගේ වාර්ගිකත්වය අනුව ඔවුන් ජාතියකට ලඝු කොට එයට අයත් වන සේ බල කිරීමට එරෙහිව, සහ මානව විද්‍යාත්මක ලාක්ෂණිකයන් පසෙක ලා සියල්ලන්ටම පොදු වන විචාර බුද්ධිය, යුක්තිය, සත්‍යය සහ චමත්කාරය සැළකිය යුතුය යන අදහස් වෙනුවෙන් සටන් කළේය.

ෆින්කල්ක්‍රෝත් දත්වන පරිදි “ඔහු නොදුටු දෙය නම් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි පුද්ගල තෝරාගැනීම මත පදනම් වූ ප්‍රංශ ජාතිකවාදයේ අරමුණ තමන් ඊට එරෙහිව සටන් කළ ජර්මානු සංස්කෘතික ජාතිකවාදයේ අදහස් වලින් එන්න එන්න ම සහ නොවැළැක්විය හැකි ලෙස අපවිත්‍ර වන ආකාරයයි.“

ප්‍රංශ ජාතිකයන් ජර්මානුවන් කෙරෙහි තම වෛරය ප්‍රකාශ කරන ආකාරය හැඩ ගස්වන්නට ජර්මන් ජාතිකවාදී සංකල්ප සහ යෙදුම් උදව් වීය. ප්‍රංශ ජාතිකවාදීන් තුළ වූ ජර්මානු විරෝධය ජර්මානු සිතිවිල්ලේ විජයග්‍රහණය සහතික කළේය. ලාලසාවන් ගිනිගෙන දැවෙද්දී දෙජනයා අතර වෙනස් කම් අතුරුදහන් වීය. ජර්මානු ව්‍යාප්තවාදයට එරෙහි පසමිතුරු කම එය අනුකරණයට මඟ පෑදුවේය; සතුරා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රථිඵලය අනුකරණය වීය. මෙතැන් පටන් දෙපාර්ශ්වයම කතා කළේ එකම භාෂාවයි.

ජාතිය යනු පුද්ගල අධිෂ්ඨානයන්ගේ සංගමයක් මිස ඓන්ද්‍රීය සමස්තයක් නොවන්නේය යන අදහසට තරයේ සහයෝගය දැක්වූවෝ ඩ්‍රෙයිෆුසාර්ඩ්වරු ය. මිනිසා යනු “ ඔහුගේ වර්ගයේ, භාෂාවේ, හෝ ආගමේ, මතු නොව ගංගාවන්ගේ ගමන් මගේ හෝ කඳු පද්ධතීන්ගේ දිශානතියේ හෝ වුව වහලා නොවන බව“ ඔවුහු තරයේ කියා සිටියහ.

එනම්, ප්‍රංශ විප්ලවයේ පටන් යුරෝපය දෙකට බෙදමින් සිටි ජාතිය පිළිබඳ එකිනෙක හා ගැටෙන පරමාදර්ශයන් දෙක මිනිසා සහ සංස්කෘතිය යි. මෙහි මිනිසා වෙනුවෙන් පෙනී සිටීම ලිබරල් මානව වාදයේ ආස්ථානය යි. ඉතින් ඩ්‍රෙයිෆුස් (Dreyfus) පළහිලව්වේදී (කෙටි සටහනක් සඳහා පහත බලන්න) ලිබරල්වාදීන් කළාක් මෙන් අද දවසේ මිනිසා පිළිබඳ ආස්ථානයට පක්ෂපාතී වීම ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටීමක්ද?සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටීම හුදු ජාතිකවාදයක් බදා වැළඳ ගැනීමක් ද? අපට ගත හැකි එකම මානවවාදී මාවත ලිබරල් මානවවාදය පමණක් ද?

ෆින්කල්ක්‍රෝත්
ෆින්කල්ක්‍රෝත්
අලාන් ෆින්කල්ක්‍රෝත් ගේ The Defeat of the Mind (මනසේ පරාජය) කෘතිය පිළිබඳ සාකච්ඡාවකට සටහන් – සිවුවැනි කොටස

බදාදා සටහන

අගතියේ මාතෘ උණුසුම The Maternal Warmth of Prejudice

දැන් ෆින්කල්ක්‍රෝත් අගතිය වෙනුවෙන් පෙනී සිටින්නන් ගේ අදහස් ඉදිරිපත් කරයි.

ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීන් ද අගතිය කෙරෙහි තම ප්‍රේමය ප්‍රකාශ කළහ. හර්ඩර් අගතිය වර්ණනා කළේය. ඩි මෙත් අගතිය ජාතික මනසට සමාන කළේය. ප්‍රංශ ප්‍රතිවිප්ලවවාදීන් මෙන්ම ජර්මානු රොමෑන්ටික්වාදීන් ද අගතිය කෙරෙහි තම ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් ප්‍රබුද්ධත්වයේ භාෂාව තුළ වඩාත්ම අවමානයෙන් සැළකූ වචනය වූ අගතිය පුනරුත්ථාපනය කළහ. එපමණක් නොව අගතිය සංස්කෘතියට සමාන කිරීමෙන් ඊට ගරුත්වයක් දෙමින් හානියට අපහාසයත් එකතු කළහ. පුද්ගල විචාර බුද්ධිය නිදිගත් විට බුද්ධිරෝධනවාදය සශ්‍රීකවන්නේය යන අභ්‍යුපගමයට අභියෝගකරමින් ඔවුන් අගතිය දුටුවේ සාමුහික විචාර බුද්ධිය වර්ධනය වීමක් ලෙසිනි. ප්‍රබුද්ධත්වයේ දාර්ශනිකයන්ගේ විවේචකයන්ට අනුව ඔවුන් කළේ ජාතියක සංස්කෘතික නිධානය වන අගතීන් විනාශ කිරීමට කටයුතු කිරීම යි. ප්‍රබුද්ධත්වයේ දාර්ශනිකයන් තම ආදර්ශ පාඨය ලෙස තෝරා ගත්තේ කාන්ට් ගේ Sapere aude (සපෙරෙහ් අවුඩෙ) , දැන ගැනීමට බිය නොවන්න, නිර්භය වන්න සහ සම්මතයන්ට අභියෝග කරන්න, හෘදය සාක්ෂියට මඟ පෙන්වන්නෙකු හෝ ගතානුගතික ඒකාකාරී අදහස් වල කිහිලි කරුවේ උදව්වෙන් තොරව “ගැළපෙන්නේ යැයි ඔබ සිතන ආකාරයට ක්‍රියාකිරීමට ධෛර්ය වඩා ගන්න,“ යන්නයි. මෙහි ප්‍රථිඵලය වූයේ ප්‍රබුද්ධත්වයේ චින්තකයන් ජනයාට අධ්‍යාපනය දෙන්නේ යැයි කියමින් ඔවුන්ගේ සංස්කෘතියෙන් ඔවුන් ඉරා වෙන්කළ බවට චෝදනා නැඟීම යි; මිථ්‍යාව හෝ දෝෂය පිටුවහල් කිරීමේ නාමයෙන් ඔවුහු ඉතිහාසය එළවා දැමූහ යි චෝදනා නැඟීම යි. ඔවුන් සිතා සිටි පරිදි ජනතාවට විමුක්තිය දෙනවා වෙනුවට ඔවුන් තම මුල් වලින් උදුරා දමන්නට ඔවුන් සමත් වීයැයි චෝදනා නඟන ලදී.

හර්ඩර්
හර්ඩර්

විවේචනයන්ට අනුව මෙම දාර්ශනිකයන් ක‍ළේ පුද්ගලයන්ට ඔවුන්ගේ ආත්මය අහිමි කිරීම යි. අරගලයේ අරමුණු බවට පත්වීමේදී ඔවුහු තමන්වම අත්හැර දැමූහ. නිදහස ලබා ගැනීම සඳහා වෑයම් කිරීමේදී ඔවුහු සියලු සාරය අහිමි කර ගත්හ; Cogito (සිතමි) පිළිබඳ පොරොන්දුව ව්‍යාජ බවට ඔප්පු කෙරිණි. අගතියෙන් විමුක්තිය ලැබ, ජාතික විශ්වාසයෙන් මුදවනු ලදුව, යටත් වැසියා නිදහස් වුණා නොව හැකිලී එයට යුෂය අහිමි කළ ගසක් මෙන් සියළු ජීවය අහිමි බවට පත් වීය.

මෙම විවේචනයන්ට අනුව, එහෙයින් එදිනෙදා ජීවිතයේ අදහස්, සිතීම එහි වැඩෙන පොළොව ලෙස දැකිය යුතුය. ඒවා නිවස, සම්භවය, දරු ගැබ වීය. සිතීම පැණ නැඟුනේ මෙම ප්‍රභවයන්ගෙනි, එසේ නොමැතිව දාර්ශනිකයන් අපට විශ්වාස ගන්වන්නට අවශ්‍ය වනු ඇති පරිදි ප්‍රත්‍යන්ත දෘශ්ටීන් පරාජය කළ සහ සමතලා කළ කිසියම් විදෙස් අධිකාරයකින් නොවේ. සම්ප්‍රදායවාදීන් ප්‍රබුද්ධත්වයේ යුගය හකුළුවා දුටුවේ මරණීය වැරදි අවබෝධයක් ලෙසය. දාර්ශනිකයන් පෝෂණය කරන මවක් වූ අගතිය අපට පහර දෙන පියෙකු බවට හරවා ඇත. ඉනික්බිති, පියා බලයෙන් පහකරන්නට මං සොයමින් ඔවුහු මව මරා දැමූහ. එය මානව වර්ගයා දුංඛිතභාවයටත් වියවුලටත් හෙලීය. විප්ලවයේ ප්‍රචණ්ඩ කැළඹීම පෙන්නුම් කළේ මෙයයි.

ඩිඩෙරෝ
ඩිඩෙරෝ
ඩිඩොරෝ ට ජනයා දර්ශනවාදියාගේ ලෝක දැක්ම පිලිගනු ලැබීම අවශ්‍ය කෙරුණත් විවේචකයන්ට අනුව අවශ්‍යව තිබුණේ මෙහි විරුද්ධ පැත්තයි. ඔවුනට දර්ශනවාදීන් පොදු ජන මනස සමග බද්ධ වීම අවශ්‍ය කෙරුණි. ජනපිය ප්‍රඥාවට සමීප වී, පොදු මතය තුළ සිතිවිල්ල රඳවා, සාමූහිකයේ ගැඹුරෙහි පුද්ගලභාවය ගිල්වා, ඉක්මගිය පරම්පරාවන් හා තිබුණු කැඩී ගිය බැමි අලුත් කොට, ස්වායත්තතාව සෙවීමේ තැනට තථ්‍යභාවය සෙවීම ගෙනැවුත්, විචාරශීලී ආස්ථානයක් ගැනීම අත් හැර, බහුතරයේ අදහස් සහ නොවරදින විනිශ්චයේඋණුසුමට සියළු දෙන යොමු කොට විචාර බුද්ධිය සහජාසයට බද්ධ කළ යුතු වීය. වෙනත් විධියකින් කියතොත් තමන් එය ස්ථාපිත කළැයි ප්‍රබුද්ධත්වයේ චින්තකයන් ඉමහත් ගෞරවයෙන් පෙළුණු ස්වාධීන බුද්ධිමතුන් ගේ මහා සමාජය පැතිරී යාම ජාතියේ යහපත තකා වැළැක්විය යුතු වීය. සමාජයට ආදි කල්පික ඒකීයත්වය යළි ස්ථාපිත කිරීමෙන් තමන් යළිත් වරක් සත්‍යය තුළ ජීවත් වෙනු ඇතැයි ප්‍රතිවිප්ලවවාදීහු සතුටින් විශ්වාස කළහ.

ආගම මානවයන්ට මනසේ ජීවිතය පිළිබඳ ශාපයත් ගෙන ආවේ යැයි විවේචනයක් ක්‍රිස්තියානි දහම ආරම්භයේ සිටම විය. මෙම විවෙචකයන්ට අනුව ස්වභාවයෙන්ම පාපකාරී මිනිසා ට ගැළවීමක් ලද හැකි වූයේ දෙවියන්ගේ ම වචනයෙන් පමණි. විචාර බුද්ධිය ක්‍රියාවට නැංවීම ස්වභාවික ක්‍රියාවක් සහ එහෙයින් පාපයක් වීය. ස්වාධීන බුද්ධිමය ජීවිතයක් පිළිබඳ කුමන හෝ අදහසක් ආඩම්බරය මුල් කරගත් මායාවක් පමණක් වීය.

විප්ලවවාදී යුගය පිළිබඳ තම විවේචන තිබියදීත් සම්ප්‍රදායවාදීහු මානවීයත්වය පිළිබඳ එබඳු සර්වඅශුභවාදී අදහසක් නොදැරූහ. නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතු යැයි ඔවුන් කියා සිටි අහිමි වූ හැකියාවන් සහ සුචරිතයන් ආවේ දෙවියන් ගෙන් නොව ජාතියෙනි.

ප්‍රතිවිප්ලවවාදීන්ට අනුව විශ්වීය මානව ස්වභාවයක් මෙන්ම ස්වායත්ත අධ්‍යාත්මික ජීවිතයක් ද විය නොහැක්කකි. ඩේකාට් පිළිබඳ ඔවුන් කීයේ ‘මම සිතමි, එනිසා මම කිසියම් තැනකින් පැමිණියෙක්මි: මගේ අවලෝකන යේ බලය පෑමෙන් මම මගේ ස්වෛරීභාවය තහවුරු නොකරමි, මගේ අනන්‍යතාව හෙළිකරමි’ යන්නයි. එපරිදිම පුණ්‍ය කටයුතුත් කාමුක සිතිවිලිත් සමාජයෙන් බිහි වූ ඒවාය. ජාතික ධජයක් යටතේ ඒවා එකතු වී Volksgeist (ෆොල්ක්ස්ගයිස්ට්) නැතහොත් ජනයාගේ ජීවගුණය යනුවෙන් හඳුන්වනු ලැබිණි. විප්ලවවාදී ජාතිය පිළිබඳ විචාරය ප්‍රංශ සාර්වභෞමිකවාදය (cosmoploitansim) ට පහර දීමට අවශ්‍ය තර්ක ද සපයා දුන්නේය.

මෙම සොයාගැනීම බුද්ධිමය භූමිදර්ශනය උඩු යටිකුරු කළේය. අතීතය පිළිබඳ ලාලසාවෙන් ආශ්වාදය ලද ජර්මානු රොමෑන්තිකවාදීන් සහ ප්‍රංශ දේවධර්මවාදීන් උදාකළේ තථ්‍ය ඥානමීමංසාමය විප්ලවයකි. මිනිසා ඔහුට හිමි නියම තැන පිහිටුවීමේ තම උන්මාදය තුළ ඔවුහු ඇතුළතින් වැඩ කළ අවිඥාණික දැනුම සොයාගත්හ. එසේ කිරීමෙන් ඔවුහු සමාජීය විද්‍යාවන් සොයා ගත්හ. සම්ප්‍රදායවාදීන් ඉක්මනින් වේදිකාව හැර ගියද එතැනට වහාම භාෂාවේදීන්, සමාජ විද්‍යාඥයන්, සහ ඉතිහාසඥයන් ඇතුළු වීය. ප්‍රංශ විප්ලවවාදීන් යෝජනා කළ එකත් ජර්මානු රොමෑන්තිකවාදීන් යෝජනා කළ අනෙකත් අඩංගු දෙයාකාරයක් ජාතීන් පිළිබඳ විවාදයට හවුල් වෙමින් ඔවුහු Volksgeist (ෆොල්ක්ස්ගයිස්ට්) වෙනුවෙන් පෙනී සිටියහ. සමාජයෙන් පිටස්තර ස්වායත්ත පුද්ගලයන් නොපවත්නා හෙයින් සමාජ ගිවිසුම ප්‍රබන්ධයක් බව එතැන් පටන් මතවාදීන් නොව ශාසත්‍රඥයෝ ප්‍රකාශ කළහ.

එක්වරම හැම දේම අනෙක් අතට කරකැවුණි. අවිඥාණයේ විද්‍යාවන් දර්ශනවාදීන් ගේ විහිළුවට ලක් වූ නීති සහ විශ්වාස වල තර්කණය අනාවරණ කර ගත්තෝය. ඒවා ප්‍රබුද්ධත්වය බුද්ධිමය වශයෙන් අන්ධ යැයි කියා සිටියහ. ඉතිහාසය මානව පැවැත්මේ මූලික ආකාරය ලෙස සැළකීම මගින්, සමාජයේ වටිනාකම් කාලයගේ ඇවෑමෙන් වෙනස් වූයේ කෙසේදැයි පෙන්වීම මගින්, ජනප්‍රිය මතය පිළිබඳ විචාරය වෙනුවට එම මතය විකාශය වූයේ කෙසේද යන්න පිළිබඳ විෂය මූලික (objective) අධ්‍යයන ගෙන ඒම මගින්, යථානුභූතවාදීහු මිථ්‍යා විශ්වාසයේ සහ අවිද්‍යාවේ චෝදනාව දහ අට වැනි සියවසේ “ප්‍රබුද්ධ මනස්“ වෙත ආපසු හැරවීය. ඊට පෙර දිව්‍යමය අයිතිය වැනි මනහ්කල්පිත සංකල්පවලින් තම ජනයා මුදාගැනීම තම වගකීම යැයි දාර්ශනිකයන්ට හැඟී තිබුණු නමුදු දැන් සමාජීය විද්‍යාවන්ගේ නැඟීමත් සමඟ සමාජ ගිවිසුම සහ ස්වභාවික නීතිය පිළිබඳ ඔවුන් ගේ අදහස් මිථ්‍යාවන් ලෙසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ඩි මෙත් සහ හ(ර්)ඩර් ගේ උද්වේගී ප්‍රකාශ වෙනුවට ශාස්ත්‍රඥයන්ගේ උපහාසාත්මක නිරීක්ෂණ ඉදිරිපත් කෙරුණි. කලෙක දර්ශනවාදීන් ආගම මත පැණවූ නින්දාවම දැන් දර්ශනවාදීන් මත පණවනු ලැබිණි. මෙම ලොව පිළිබඳ අභූතරූපදර්ශණමය දැක්ම මෙවැන්නක් සිතා ගත් බව ටෙයින් (Taine) අවමානයෙන් යුතුව කියා සිටියේය: “පවුල, අතීතය හෝ සම්ප්‍රදාය හෝ නොමැතිව වයස අවුරුදු විසි එකේදී උපන් මිනිස්සු ; යුතුකම නොමැතිව, රටක් නොමැතිව, පළමු වතාවට එකට එක් රොක් වන්නට යති සහ එකිනෙකා සමග කටයුතු කරන්නට යති.”

යුරෝපයේ ලිබරල් පර්යාය ආරම්භවීම ප්‍රතිගාමිත්වය පරදා ප්‍රගතිශීලීත්වය ජය ගැනීමක් ලෙස, නූතනත්වයේ බලවේග සහ පූර්ව විප්ලවීය පාලනය දිගටම පැවතීම අතර පැවති දීර්ඝ සහ අවදානම් සහගත ගැටුමෙහි ප්‍රථිඵලයක් ලෙස අපි බොහෝ විට කතා කරමු. එසේ සිතීම අමතක කරන දෙයක් නම් දහනව වැනි සියවස පුරා ජනරජවාදීන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවයි, එනම් දැනුමේ ප්‍රගතිය පිළිගන්නා අතර ප්‍රබුද්ධත්වයට පක්ෂපාතීව සිටීම සහ ජෝෂෆ් ඩි මෙත් විසින් ස්ථාපිත කරන ලද “ මිනිසාගේ ස්වභාවය පිළිබඳ හැම ප්‍රශ්නයක්ම ඉතිහාසය විසින් විසඳිය යුතුය,“ යන්නෙහි විද්‍යාත්මක වටිනාකම ප්‍රතික්ෂේප නොකරමින් ස්වාභාවික අයිතීන් මත රඳා පැවතීම යි. හකුළුවා කියතොත් ප්‍රතිවිප්ලවයෙන් ප්‍රකාශයට පත් වෙමින් තිබූ යථානුභූතවාදී අදහස් වලට මුහුණ දෙත්ම පසුගාමී පාරභෞතිකවාදීන් ලෙසින් ප්‍රකාශයට පත්විමෙන් ගැළවෙන්නට මඟක් සොයන්නට ජනරජවාදීන්ට සිදුවීය.

ජාතිය ක් යනු කුමක් ද?

අල්සේස්-ලොරේන්  ප්‍රදේශය
අල්සේස්-ලොරේන් ප්‍රදේශය
විද්‍යාවට ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) වෙත තම ආශීර්වාදය ලබා දීම අසීරු කළ එක් සිද්ධියක් වූයේ ෆ්‍රැන්කෝ – ප්‍රෂියානු යුද්ධය යි. වඩා නිශ්චිතව කියතොත් ජර්මානුවන් විසින් අල්සේස්-ලොරේන් ප්‍රදේශය යටත් කරගනු ලැබීමයි. මෙය ජාතිකවාදී ලාලසාවන් ඇවිස්සුවා පමණක් නොව ජාතියක් යන්න ජනතාවගේ අභ්‍යන්තර ජීවගුණය ලෙසින් නිර්වචනය කරනවාද නැතහොත් පුද්ගලයන් අතර ගිවිසුමක් ලෙස නිර්වචනය කරනවාද පිළිබඳ ආන්දෝලනය එය යළිත් අවුළුවා ලූයේය. දේශප්‍රේමය පිළිබඳ ජනප්‍රිය ප්‍රකාශනයගෙන් ඔබ්බට මෙම ගැටුම අතිශය වැදගත් කමක් ගත් දාර්ශනික විවාදයක් අවුළුවා ලූයේය.

රෙනාන්
රෙනාන්
සටන අවසන් වූ මොහොතේම ප්‍රධාන පෙළේ ජර්මානු ඉතිහාසඥයෝ නව භූමි භාගයන් ඈඳා ගැනීම යුක්ති යුක්ත කරන්නට විශ්ව විද්‍යාලයේ ගරු නාමය යොදා ගනිමින් විද්‍යාත්මක තර්ක යොදා ගත්හ. ඔවුන් ගේ තර්කය වුනේ මෙහි විසූ අල්සේෂන්වාසීන් ජර්මන් බස කථා කළ නිසා ඔවුන් ජර්මානු සංස්කෘතියට අයත් වූ බවයි. එවිට ප්‍රංශ විශ්ව විද්‍යාල ශාස්ත්‍රඥයෝ පෙරලා පිළිතුරු දුන්හ. රෙනාන් (Renan) කියා සිටියේ ඇල්සේස් ප්‍රදේශය බසින් සහ වර්ගයෙන් ජර්මන් වුවත් එයට ජර්මන් රාජ්‍යයට අයිතිවීමට අවශ්‍ය නොවන බවයි. ප්‍රංශයේ හෝ ජර්මනියේ අයිතීන් වැනි වියුක්ත ඒවා නොව ජීවමාන අල්සේෂන් වරුන් ගේ අයිතීන් වැදගත් බවයි. ඔවුන්ට තමන්ගේ තෝරා ගැනීමේ බලයට හිස නැමීමේ අයිතිය ඇති බවයි.

ෆුස්ටෙල් ඩි කුලාන්ජ් (Fustel de Coulanges) කියා සිටියේද එක් ජාතියක් තවත් ජාතියකින් වෙන් කොට දක්වන්නේ වර්ගය හෝ භාෂාව නොව ඒකට එක්ව ජීවත් වීම නිසා තමන් විසීමට ඇලුම් කරන ස්ථානය වීම බවයි.

නමුත් මේ අර්බුදයට පෙර රෙනාන් සහ ෆුස්ටෙල් ඩි කුලාන්ජ් දෙදෙනාම කියා සිටියේ පුද්ගලයන් තම ප්‍ර වේණිය සහ කතා කරන භාෂාව මත ජාතියකට අයත් වන බවයි. අල්ෂේසන්වරුන්ගේ අධිෂ්ඨානය සහ ඔවුන් ගේ ජනවාර්ගික සම්භවය අතර වෙනස තම ස්ථාවරය යළි සළකා බලන්නට රෙනාන් ට බළ කළේය. ජාතික සභාවේ එම පළාත් දෙකේ නියොජිතයෝ තම ජනයා ප්‍රංශය සමග රැඳෙන්නට තෝරා ගන්නා බව ජර්මනිය විසින් එම දෙපළාත යටත් තර ගැනීමට පෙරත් පසුත් කියා සිටියහ. මේ හා බැඳුණු තත්වයෙන් නිසැකවම කියැවුනේ සමාජ විද්‍යාවන් කියා සිටි පරිදි භාෂාව, ආවේණික ලාක්ෂණිකයන්, සහ සම්ප්‍රදාය පුද්ගලයන් මත ඒකාන්ත බලය නොපවත්වන බවයි. එයින් ඔප්පු කෙරුණේ ජනයා ජාතික හැඟීම් කිසියම් අවිඥාණක නිර්ණයකිරීමක ප්‍රථිඵලයක් ලෙස නොව නිදහස් තෝරාගැනීම පිළිබඳ කාරණයක් ලෙස ප්‍රකාශ කරන බවයි.
කලකට පෙර මුල් ගිවිසුමක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ රෙනාන් ම දැන් කියා සිටියේ ජාතිය යනු එයට අයිති අය විසින් දිනපතා සහතික කළ ව්‍යංග ගිවිසුමක විෂය බවයි. ඒ අනුව එයට අතීතයක් හිමි නමුත් එය වර්තමානයේදී තමන්ව නිර්වචනය කර ගන්නේ ජීවිතය එකට එක්ව දිගටම ගෙන යාමට පැහැදිළිව ප්‍රකාශ කළ එකඟතාවයි. ජාතියක පැවැත්ම දෛනික ජනමත විචාරණයක් සම්බන්ධ කරගන්නේය.

ෆුස්ටෙල් ඩි කුලාන්ජ්
ෆුස්ටෙල් ඩි කුලාන්ජ්

රෙනාන් දැන් දැරූ මතය වූයේ සම්ප්‍රදාය සහ තනි මිනිසුන්ගේ සවිඥාණකත්වය පැන නැගීම අතර කාලමය හිඩැස ක් තිබුණා වුනත් සකස් වූ පසු මානව සත්වයන්ට සිතීමේ හැකියාව තිබුණු බවයි. මිනිසා කිසියම් භාෂාවක ඇතුළත වසා දමන්නට පෙර, කිසියම් වර්ගයක සාමාජිකයෙකු වන්නට පෙර, කිසියම් සංස්කෘතියක භක්තිවන්ත අනුගාමිකයෙකු වන්නට පෙර, ඔහු විචාර බුද්ධිය සහ සදාචාරමය සත්වයෙකි.

පුනරුදයේ සිට ප්‍රබුද්ධත්වය දක්වා නූතන යුගය අපේක්ෂා කලේ මානව ජීවගුණය ආගමේ අනාවරණය කෙරුණු සත්‍යයෙන් සහ ආධානග්‍රාහිත්වයන්ගෙන් නිදහස් කරන්නටය. ස්ථාපිත ඉගැන්වීම් වලින් විමුක්තිය ලැබ මිනිසා විචාර බුද්ධිය ට පමණක් වගකිව යුතු වීය. ළමා වියෙන් වැඩිහිටි බවට පත්ව ඔහු පියාගේ පිහිටෙන් තොරව තමාම සඳහා සිතීමට තමා සූදානම් බව ප්‍රකාශ කොට සිටියේය. රෙනාන් වැඩිහිටි මිනිසා දුටුවේ මනසේ ජීවිතය එය එතුළ මුල් ඇද ගත් ප්‍රජාවෙන් වෙන් කොට දක්වමිනි. තම සන්දර්භයෙන් පිටතට තමා ඔසොවා තබන්නට, කැඩී වෙන් වන්නට සහ තම තම ජාතික උරුමයෙන් ගැළවෙන්නට, සහ තමන් ඉන් පැමිණි සමස්තයට අවශ්‍ය යෙන් සාක්ෂි දරන්නේ නැතුව කතා කරන්නට, සිතන්නට මිනිසාට හැකියාව තිබේ. වෙනත් වචන වලින් කියතොත් මිනිසා තම පියාගේ ඉගැන්වීම් වලින් නිදහස් වන්නට වෙරදරා අරගල කළේ ගිල දමන මවක් වූ සංස්කෘතිය විසින් ගැළවිය හැකි නොවන සේ අවශෝෂණය කරගන්නට නොවේ. “ප්‍රංශ සංස්කෘතියට, ජර්මානු සංස්කෘතියට සහ ඉතාලියානු සංස්කෘතියට පෙර, මානව සංස්කෘතිය තිබේ.“

ජාතික සංස්කෘතිය සහ මානව සංස්කෘතිය අතර ඇති විශද භාවය තරයේ කියා සිටීමෙන් ලෝකය පිළිබඳ කවියාගේ දෘෂ්ටිය ජර්මානු ජාතිකවාදීන් විසින් හඳුන්වා දෙනු ලැබූ එක සමඟ සංසන්දනය කරමින් රෙනාන් ව්‍යංගයෙන් ගූත පිළිබඳ සඳහන් කළේය.

මහා කවි ගූත: එකර්මන් (Eckermann) සමග සංවාදයක්

මහා කවි ගූත
මහා කවි ගූත
1827 ජනවාරි 31 වැනිදා ගූත තම කීර්තියේ ඉහළින්ම සිටියදී සහ තම ජීවිතයේ අව පක්ෂයේ වර්ෂ වල සිටියදී ඔහු තමන් කියවමින් සිටි සැබැවින්ම අපූර්ව වූ චීන නවකතාවක් පිළිබඳ තමන්ට භක්තිවන්ත වූ එකර්මන් ට කියා සිටියේය. ඔහු දුටුවේ එම කෘතිය තමන් ලියූ මහා කාව්‍යයක් වූ හර්මන් සහ ඩොරතියා, සහ ඉංග්‍රීසි ලේඛක රිචර්ඩ්සන් ගේ නවකතා වලට සමාන බවයි. එහි වූ සුපුරුදු බව ඔහු පුදුමයට පත් කලේය. එතරම් නොදත් දුරස්ථ ශිෂ්ටාචාරයකින් ලැබුණු මෙම කැබැල්ල කිසිසේත් ආගන්තුක නොවීය. මෙය ගූත තුළ ඇති කළේ විස්මයකි. ආත්මය නැතොත් ජීව ගුණය සමාජය සහ ඉතිහාසය අතිරෝහණය කරන බවට මෙය ඔහුට අමතර සාක්ෂියක් සැපයුවේය. මිනිසුන් ට සුවිශේෂ පොළොවක මුල් තිබුනත්, එක්තරා කාලයකට සහ අවකාශයකට බැඳුනත්, සුවිශේෂී භාවයේ, සහ ජාතික අර්ථයන් ගෙන් නිර්වචනය කරනු ලැබීමේ ඉරණමින් ගැළවෙන්නට ඔවුනට තවමත් හැකි වීය. පොත් මගින් ඔවුහු එකම භූමියෙන් හඬ බහුවිධතාවක් නිපයූහ. මෙම නිරීක්ෂණයත් සමග ජාතික සාහිත්‍යය පිළිබඳ අදහස වෙනුවට ලෝක සාහිත්‍යයක් නඟා සිටුවීමේ ව්‍යාපාරයක ගූත දියත් කලේය.

ඉන් අවුරුදු පනහකට පෙර 1771 දී සුවිශේෂී ජර්මානු කලාවක සහ සාහිත්‍යයක පැවැත්ම ප්‍රහර්ෂයෙන් යුතුව අනාවරණය කර ගත්තේද ඔහුමය. ඔහු ස්ට්‍රස්බර්ග් හි සිටි එම කාලයේ ඔහුට හර්ඩර් හමුවීමත් කැතීඩ්ර්ල් දේවස්ථානය දැකීමත් ඔහුට ඉමහත් ලෙස බලපෑවේය. එම දේවස්ථානය ගූත තුළ ජර්මානු ජාතික හැඟීම ඉහළටම ගෙන ආවේය. ශ්‍රේෂ්ඨ කලා කෘතීන් ජාතික නෛසර්ගික ලාක්ෂණිකයන් ප්‍රකාශ කරන බව ඔහුට හදිසියේම අනාවරණය වුනි. ජර්මානු කලාව විශද වීය. ජර්මනිය යන්නෙහි සෞන්දර්යාත්මක අරුත එහි සම්පූර්ණ නිරවුල් බවින් යුතුව ඔහුට වැටහුණි. ඔහු දුටු දෙය “ජර්මානු වාස්තු විද්‍යාව“ ලියන්නට ඔහු යොමු කළ අතර එය හර්ඩර් ගේ පඨිතයක් ද ඇතුළත් ලිපි එකතුවක් 1772 දී පළවීය. ගූතගේ ඇදහිල්ල මෙලෙසින් සූත්‍ර ගත කෙරිණි: “නෛසර්ගික ලාක්ෂණිකයන්ගෙන් යුතු කලාව පමණක් සැබෑ කලාව වීය. “ ප්‍රබුද්ධත්වයේ යුගය වෙනස් කම් නොසැලකූ අතර තනි ජනයන්ගේ ජීවගුණය ප්‍රතික්ෂේප කළේය. ඔහු ඉන් ගැළවුනේ ස්ට්‍රස්බර්ග් හි සිහිවටනය අන්තිම මොහොතේ තම ජර්මානු අනන්‍යතාව පිළිබද හැඟීමක් අවදි කරලීමෙන් ඔහු විශ්ව ව්‍යාපී අගාධයට ඇද වැටීමෙන් වළකා ලීම නිසාය. ගූත ජාතිකත්වය මත පදනම්ව රමණීයත්වය අර්ථ කථනය කළේය.

නමුත් ඔහු ඉතා ඉක්මනින් ජාතිකවාදය අත හැර ජාත්‍යන්තරවාදයට හැරුණි. මිනිසා පිහිටුවූ අයෙකු බවත් කිසිවෙකු තම උපතේ සුවිශේෂීභාවයෙන් අන පණත් වලින් ගළවා ලිය නොහැකි බව ඔහු හර්ඩර් ගෙන් ඉගෙන ගෙන තිබුණි. මානවයාට ජනවර්ගය පාදක සහ මූලික නමුත් මිනිසාට එහිම ගැලී සිටිය නොහැක. කලාකරුවා තමා අයිති ජීවගුණය ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) අතිරෝහණය කොට මානව සංස්කෘතිය කරා ඇදී යා යුතුය. මානව සංස්කෘතිය එක් එක් සංස්කෘතියක් එකතු කොට ගත් එකතුවට ලඝු කළ නොහැකිය. ජාතික කරළියෙන් නික්ම යන්නට ගූත කවියන්ට, කලාකරුවනට සහ චින්තකයන්ට ආරාධනය කළේ එහෙයිනි.

නූතන කාලයේ වඩාත්ම භයානක පුපුරණ සුළු දෙය

එකර්මන් ට කතා කිරීමෙන් පසු සාමය සොයා ගත් ගූත ට කාලයා ලෝක සාහිත්‍යය පැත්තේයැයි හැඟුණි. ලෝක වෙළෙඳ පොල ඉපදෙමින් තිබීම ජාතීන් තවදුරටත් හුදකලා කිරීමෙන් වළකා ලීය. 1827වන විට පෙනෙන්නට ගිබුනේ ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist) හි ආයුෂ නිම වෙමින් තිබුණු බවකි.

නමුත් අවුරුදු පණහකට පසු ජර්මන් විශ්ව විද්‍යාලය ගාම්භීරව ගූත වෙනුවට හර්ඩර් තෝරා ගත්තේය. ඔවුනට අනුව ස්ට්‍රස්බර්ග් කැතීඩ්ර්ල් දේවස්ථානයේ ජර්මානු සංස්කෘතික ලක්ෂණ පෙන්නුම් කළේ ඇල්සේෂන් වරුන් ජර්මනියට අයිති බවයි. එහි වැසියන් එය ජර්මනියට ඈඳා ගැනීමට විරුද්ධ විය හැකි නමුදු ඔවුනට තම සංස්කෘතිය රෙදි කැබැල්ලක් මෙන් ඉවත ලෑමට ඉඩ දිය නොහැක. රෙනාන් එකල සාරාංශ කළ එම උත්ප්‍රාසජනක ස්ථාවරය කියන්නේ නම් “ එම සාමාජිකයන්ට ජර්මානු පවුලක් සමඟ යළි එක්වීමට අවශ්‍ය නොවන විට පවා විදේශයන්හි විසිර සිටින එහි සාමාජිකයන් යළ අත්පත් කර ගැනීමේ අයිතිය ජර්මානික පවුලට තිබේ.“

ජර්මානු ව්‍යාප්තවාදයේ නැඟීමත් සමග ගූත ගේ ඉගැන්වීම් වල බලපෑම් ජර්මනියෙන් අතුරුදහන් ව ගියේය. සංස්කෘතිය සම්භවයන්ගේ ඇදහිල්ලට ලඝු කරමින් එම ක්‍රියාවලිය තුළ එහි ඒකාධිපතිවාදී ශක්‍යතාව අනාවරණය කරමින්, ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) විජයග්‍රහණය කලේය. මුලින් ප්‍රංශ ආධිපත්‍යයට එරෙහි වීමට හඳුන්වා දුන් මෙම සංකල්පයෙන් සහමුලින්ම නව ආකාරයේ අධිකාරයක් පැන නැඟුණි. පළමු වරට පුද්ගලයන්ගේ අධිෂ්ඨානය එරෙහිව සිටියේ ඔවුන්ගේ ම අනන්‍යතාවයි. මෙම පුද්ගල අනන්‍යතාවන් එකතු වී සැදුණ (ජර්මානු) සාමුහික ආත්මය ට අල්සේස් වැසියනට යටත් වීමට සිදුවුණි.

රෙනාන් කියා සිටියේ මෙලෙස ජනයාගේ වාර්ගිකත්වය අනුව ඔවුන් ජාතියකට ලඝු කොට එයට අයත් වන සේ බල කිරීම පිළිගත නොහැකි බවයි. මානව විද්‍යාත්මක ලාක්ෂණිකයන් පසෙක ලා සියල්ලන්ටම පොදු වන විචාර බුද්ධිය, යුක්තිය, සත්‍යය සහ චමත්කාරය සැළකිය යුතු බව ඔහුගේ අදහස වීය.

රෙනාන් පෙන්වා දුන් පරිදි අල්සේස් වැසියන් උරුම කොට ගෙන තිබූ ඔවුන්ගේ වර්ගය සහ සංස්කෘතිය (ජර්මානු ආධිපත්‍ය යේ දෘෂ්ටියෙන් දුටු කළ) ඔවුන්ගේ සවිඥාණක ආශාව පරයා ප්‍රමුඛතාව ලබා ගෙන තිබුණි. (ජර්මානුවන් දැරූ) ජාතික ජීව ගුණය පිළිබඳ අදහස පුද්ගලයාත් මානවීයත්වයත් මර්ධනය කළේය. ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) වලින් මත්වූ රාජ්‍යයක සාමාජිකයන් නවත්වා ලීමකට කිසිවක් සමත් නොවීය. ඔවුන්ට හරස් විය හැකි කිසිදු සදාචාරමය බාධාවක් නොවීය.

මෙලෙස තම ඇතුලාන්තමය සත්තාව අහිමි කරනු ලදුව, රාජ්‍ය යේ යටත් වැසියනට තව දුරටත් තම අයිතිවාසිකම් කියා පෑ නොහැකි වීය. සතුරන් ගත් කළ ඔවුන් අයිති වූයේ සහමුලින්ම වෙනස් විශේෂයකට ය. ඔවුනට මානවීයත්වයෙන් සැළකීම අවශ්‍ය නොවේ. ඔවුනට එරෙහි සටන දයා විරහිත ය. විද්‍යාත්මක පදනමක් නැති ශුද්ධ වර්ග පිළිබඳ අදහසක් මත මානව සත්වයන් විශද වර්ග වලට බෙදීම මඟ පෑදිය හැක්කේ කෘදන්තකයන්, මස් කන ක්ෂීරපායී සතුන් ගේ විවිධ වර්ග අතර දැකිය හැකි ඒවාට සමාන සමූලඝාතනයේ යුද්ධ වලට, “සත්වවිද්‍යාත්මක“ යුද්ධ වලට පමණි. මෙය බොහෝ අංගයන්ගෙන් සැදුණු ඒ සියල්ලම අවශ්‍ය කෙරෙන සාරවත් මිශ්‍රණයක් වූ අප මානවීයත්වය යනුවෙන් හඳුන්වන දෙයෙහි අවසානය වනු ඇත. ලිබරල්වාදයේ තැන ගැනීමට ඔබ නඟා ඇති මානවවංශවේදීමය සහ පුරාවිද්‍යාත්මක දේශපාලනයේ නව ධජය ඔබ මරා දමනු ඇතැයි රෙනාන් කීවේය.

අල්සේස් සහ ලොරේන් හි ගැටුම ප්‍රාදේශීය, සීමිත එකක් ලෙස පෙණුනද එය ම්ලේච්ඡත්වයට ඇද වැටෙනු ඇතැයි රෙනාන් අනාවැකි කීය. ෆොල්ක්ස්ගයිස්ට් (Volksgeist ) පිළබඳ රමණීය අදහස හිටි හැටියේ “නූතන සමයේ වඩාත්ම අනතුරුදායී පුපුරණ ද්‍රව්‍යය “ බවට පත්වීය. ඔහු නොදුටු දෙය නම් ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටි අරමුණ තමන් ඊට එරෙහිව සටන් කළ අදහස් වලින් එන්න එන්න ම සහ නොවැළැක්විය හැකි ලෙස අපවිත්‍ර වන ආකාරයයි. එහෙත් ෆ්‍රැන්කෝ-ජර්මානු ආරාවුලේ විරුද්ධාභාසය වූයේ මෙයයි. පසමිතුරු භාවය උග්‍රවත්ම න්‍යායික ප්‍රස්තුතයන් ට එරෙහි වීම දුර්වල වීය. පළිගැනීමේ අදහස් පරිකල්පනාව වැඩි වැඩියෙන් ග්‍රහණයට ගනිත්ම ප්‍රංශ දේශප්‍රේමය භූමියේ මුල් තිබීමේ වැදගත් කම වැඩි වේගයෙන් වැළඳ ගන්නට පටන් ගත්තේය.

ජර්මානුවනට එරෙහිව රෙනාන් ගේ පැමිණිල්ල වූයේ පුද්ගල අයිතිවාසිකම් ඉවත ලමින් මානවීයත්වය විශද කැබලි වලට කඩන්නට තර්ජනය කරමින් ජාතිය ඇතුළත සිරව සිටින්නට ඔවුනට අවශ්‍ය වූ බවයි. ඇලසේෂන්වරුන් පිළිතුරු දුන් දරදඬු ආකාරයෙන් පැහැදිළි වූයේ ජනයා ඔවුන්ගේ ජනවාර්ගික සමූහ වල සීමාව ඇතුළත සිරකර තබන්නට නොහැකි බවයි. නමුත් බැරෙ (Barres) රෙනාන් ගේ තැන ගත් අතර ප්‍රංශ භූමිය අහිමි වීමට ප්‍රතිරෝධය දැක්වීමේ ව්‍යාපාරය ප්‍රංශ ජීව ගුණය අවදි කර ලූයේය. ඇල්සේස් සහ ලොරේන් හි අර්බුදය ට පෙර තිබුණාට වඩා ලාලසාවෙන් සමාජ විද්‍යාඥයෝ දහ අට වැනි සියවසේ ලිබරල් මූලධර්ම වලට පහර දුන්හ: “ මිනිසුන්ගේ හිස් කබල් මනිමින් ලොව වටා යන්නට අපට අයිතියක් නැතැයි නුඹලා කියන්නාහු ය.“ සමාජීය මානව විද්‍යාවෙන් පොළඹවනු ලැබ වෂෙ ඩු ලපූෂ් ( Vacher de Lapouge ) මෙලෙස හිස් කබල් දහස් ගණනින් කණිමින් මනිමින් දස වසක් ක්ෂේත්‍ර වැඩෙහි යෙදුණු අනතුරුව, “ජාතිය වර්ගය හා සාදෘෂ්‍ය නොවේ “ යැයි ප්‍රකාශ කිරීමට තමාට හැකි යැයි සිතා සිටි රෙනාන් ට කීයේ “අප පවුලක හෝ ජාතියක කොටසක් වන්නේ අණඥාවකින් නොවේ. අප උපතින් ලද අපේ නහර තුළ දුවන ලේ අපේ සෙසු ජීවිතයටම අපට පවතියි. පුද්ගලයා ඔහුගේ වර්ගය විසින් යටපත් කෙරෙයි; ඔහු නිකමෙකි. වර්ගය සහ ජාතිය සියල්ලම වෙයි.“ ගුස්තාව් ල බොන් (Gustav Le Bon) ට අනුව මනෝවිද්‍යාව “ජන කොටසකගේ ජීවිතය, ඔවුන් සතු ආයතන, ඔවුන් ගේ විශ්වාස, සහ ඔවුන් ගේ කලාවන් ඔවුන් ගේ අදෘශ්‍යමාන ආත්මයේ දෘශ්‍යමාන හුය පට පමණි,“ සහ “හැම ජන කොටසක් සතුවම එහි කාය විද්‍යාත්මක ලාක්ෂණිකයන් තරමටම පැහැදිළිව නිර්ණය වූ මානසික සංස්ථිතියක් ද තිබේ.“ මෙලෛස විද්‍යාවේ පිහිටෙන්, බැරේ ට “ මම සිතමි,” කියනු වෙනුවට “ එය මා සිතයි“ යනුවෙන් කීමට හැකියාව පිරිනමන භාෂාවක උදාහරණය සැපයීමෙන් සදාකාලික සහ සදහටම යන ශ්‍රේෂ්ඨ වදන් වලින් ඉවතට හැරෙන්න යැයි තම රටවැසියන්ගෙන් ඉල්ලා සිටිය හැකි වීය.

ප්‍රංශ ජාතිකයන් ජර්මානුවන් කෙරෙහි තම වෛරය ප්‍රකාශ කරන ආකාරය හැඩ ගස්වන්නට රයින් නදියේ අනෙක් පසින් (එනම් ජර්මනියෙන්) ආ සංකල්ප සහ යෙදුම් උදව් වීය. අන් සියල්ලටම ඉහළින් යමින් ජර්මානුවන්ට එරෙහි උත්සන්න හැඟීම් තිබීම ජර්මානු සිතිවිල්ලේ විජයග්‍රහණය සහතික කළේය. ලාලසාවන් ගිනිගෙන දැවෙද්දී දෙජනයා අතර වෙනස් කම් අතුරුදහන් වීය. ජර්මානු ව්‍යාප්තවාදයට එරෙහි පසමිතුරු කම එය අනුකරණයට මඟ පෑදුවේය; සතුරා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රථිඵලය අනුකරණය වීය. මෙතැන් පටන් දෙපාර්ශ්වයම කතා කළේ එකම භාෂාවයි. දෙපසම ජාතිකත්වය පිළිබඳ තෝරාගැනීමේ සංකල්පණයකට නොව ජනවාර්ගික එකකට වඩා කැමති වීය. පළිගැනීමේ පෙරගමන් කරුවෝ විරුද්ධ වූයේ වර්ගය පිළිබඳ අදහසට නොව ජර්මානු වර්ගය ට ය. වෙනත් වචන වලින් කියතොත් තරහ ඇති කළේ සංස්කෘතිය ජාතිකකරණය නොව අනෙකා‍ගේ සංස්කෘතිය යි. අතීතයේ සහ වර්තමානයේ ලේඛකයෝ තම තමන්ගේ ජාතික ධජ සෙවනේ පේලි සැදුණහ: මොන්ටේන් (Montaign) ගේ රට කාන්ට් ගේ රටට එරෙහිව – දැන් අගාධයකින් මේ දෙක වෙන් කෙරුණි. ජාතික පුනරුදය පිළිබඳ හැඟීමෙන් තරුණයෝ වෙළී ගියහ.

සෙඩෑන් හි පරාජයෙන් උපත ලද සහ අහිමි වූ පළාත් පිළිබඳ නාටකයෙන් පෝෂණය වූ ප්‍රංශ ජාතිකවාදය අන් කිසිවක් නොව ෆොල්ක්ස්ගයිස්ට් හි සියලු තේමා වල ප්‍රංශ අනුරූපණයක් වීය.

ඩ්‍රෙයිෆුස්
ඩ්‍රෙයිෆුස්
රෙනාන්, ස්ට්‍රාවුස් සහ ඔහුගේ “උග්‍ර දේශප්‍රේමී පරපුරට“ විශ්වීය වටිනාකම් වල පැවැත්ම පිළිබඳ ගාම්භීර ලෙස සිහිපත් කළේය. 1898 දී එනම් රෙනාන් ස්‍ට්‍රාවුස් සමග ලිපි හුවමාරු කොට ගෙන වසර විස්සකට අඩු කලකදී පරම සත්‍යය සහ වියුක්ත විචාර බුද්ධිය පිළිබඳ විශ්වාස කළ අය තමන් “ප්‍රංශ විරෝධී“ කඳවුරේ සිටින බව දැන ගත්හ. ජාතිය යනු පුද්ගල අධිෂ්ඨානයන්ගේ සංගමයක් මිස ඓන්ද්‍රීය සමස්තයක් නොවන්නේය යන අදහසට තරයේ සහයෝගය දැක්වූවෝ ඩ්‍රෙයිෆුසාර්ඩ්වරු (Dreyfusards) ය. මිනිසා යනු “ ඔහුගේ වර්ගයේ, භාෂාවේ, හෝ ආගමේ, මතු නොව ගංගාවන්ගේ ගමන් මගේ හෝ කඳු පද්ධතීන්ගේ දිශානතියේ හෝ වුව වහලා නොවන බව“ ඔවුහු තරයේ කියා සිටියහ. නමුත් රෙනාන් What is a nation (ජාතිය යනු කුමක් ද?) රචනයෙහි ඒ වෙනුවෙන් පෙනී සිටි ප්‍රතිපත්ති වලට පක්ෂපාතව සිටීමෙන් ඔවුහු තම ජාතියේ අනන්‍යතාව පාවාදීම පිළිබඳ චෝදනාවට මුහුණ දුන්හ. අපට අපේ භූමියට, අපේ මුතුන් මිත්තන්ට, අපේ ධජයට, ගරුත්වය නමැති වචනයේ අර්ථයට ඇති උත්සන්න හැඟීමට ඔහු කිසිසේත්ම සුඛග්‍රාහී නොවන විට ඩ්‍රෙයිෆුස් (Dreyfus) ස්වායත්ත පුද්ගලයෙකු ලෙස පිළිගැනීමට ඔවුන් එඩිතර වන්නේ කෙසේද? ; ඔහුට ලේ සහ ඇට වල කොටසක් ලෙස වටහා ගත් දේශප්‍රේමය පිළිබඳ හැඟීමක් නොතිබුණු කළ පක්ෂපාතීත්වය පිළිබඳ ඔහුගේ ප්‍රකාශ අව්‍යාජ ලෙස පිළිගත හැක්කේ කෙසේද?; තම වර්ගය නිසා ම ප්‍රංශ ජාතිකයෙකු වූ කළ එසේ නොවන්නේ යැයි ඔහුගේ අහිංසකභාවය ප්‍රදර්ශනය කිරීමට ඉමහත් වෙහෙසක් ගන්නේ මන්ද?; නැතහොත් ප්‍රංශ ජාතිකයෙකුලෙස සිතනවා සහ හඟිනවා වෙනුවට බුද්ධිමතෙකු මෙන් විචාරණයේ යෙදෙන්නේ මන්ද? මෙලෙස, ඩ්‍රෙයිෆුස් පළහිලව්ව ඇල්සේස් -ලොරේන් පිළිබඳ ආරාවුල හා සමානව එකම දාර්ශනික තළයේ රැඳී තිබුණු අතර එතැන් පටන් ප්‍රංශ ජාතිකවාදීන් ස්ට්‍රාවුස් සහ මොම්සෙන් ගේ ආස්ථානය අනුගමනය කළහ: මෙලෙස, නඩු කියන පළාත්වල වැසියන් ජර්මානුවන් වූ ලෙසින්ම, ඩ්‍රෙයිෆුස්, ඔහු කළ හැම දෙයම නිර්ණය කළ තම ජනවර්ගය නිසාම, වැරදි කරු වීය.

ඩ්‍රෙයිෆුස් පළහිලව්ව “මගේ සත්තාවේ පදනමම සහ පසමිතුරු පද්ධතිය පිළිබඳ මගේ ඓන්ද්‍රිය වෛරයේ පදනම ම හැදූ වටිනාකම් වල ධූරාවලිය විදුලි සැරයක් සේ පැහැදිළිව දකින්නට ඉඩ සැළසුවෙන් මගේ බුද්ධිමය වර්ධනයෙහි ලා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූයේය“ යැයි ජූලියෙන් බෙන්ඩා ලීවේය.

ජූලියන් බෙන්ඩා
ජූලියන් බෙන්ඩා

මිනිසා සහ සංස්කෘතිය, එනම් ජාතිය පිළිබඳ එකිනෙක හා ගැටෙන පරමාදර්ශයන් දෙක, ප්‍රංශ විප්ලවයේ පටන් යුරෝපය දෙකට බෙදමින් සිටි පරමාදර්ශයන්, එකිනෙක එතරම් සෘජුව මුණ ගැසුණු අවස්ථාවක් මීට පෙර කවරදාකවත් නොතිබුණු බව ඇත්තය. ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය අවසානයකට ගෙන එන්නට කාලය උදා වී ඇත්දැයි යන ප්‍රශ්නය නිරාකරණය කිරීම එතරම්ම තීරණාත්මකය යන්න මීට පෙර කවදාවත් පෙනී තිබුනේ නැත. ඩ්‍රෙයිෆුස් පුනරුත්ථාපනය කිරීමෙන් ප්‍රංශය මෙම ප්‍රශ්නයට නිශේධනීය පිළිතුරක් සැපයීය. එය, දුෂ්කරම අවස්ථාවේ, සාමුහික ජීවගුණය පිළිබඳ අදහස මත සමන්විත වූ සමාජයක් පරයා ගිවිසුම මත සැදුම් ගත් සමාජයකට වඩා කැමති වීය. මෙය අඩමාන ජයග්‍රහණයක් වීය. බෙන්ඩා සැළකිල්ලෙන් යුතුව සඳහන් කළ පරිදි “ ජන කොටසක් තමන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ සංකල්පනයක් ඇති කර ගත යුත්තේ මිනිසාගේ ඊනියා සදාකාලික සහ විශ්වීය හෘදය සාක්ෂියේ නීති අනුගමනය කිරීමෙන් නොව තම සුවිශේෂී ජීවගුණය, ඉතිහාසය, භූගෝලීය පිහිටීම, ඔවුන් තමන් සිටින බව දැනගත් අද්විතීය වටපිටා තත්වයන් අධ්‍යයනය කිරීමෙන් “ බව විසිවැනි සියවසේ පළමු භාගයේ වඩාත්ම බලගතු මතවාදයන් ඉගැන්වීය. තවද, එම බලගතු මතවාදයන් “ ලොව කවදා හෝ දැක ඇති වඩාත්ම සමස්ත සහ අංග සම්පූර්ණ යුද්ධය“ ට මඟ පාදනු ඇතැයි බෙන්ඩා අනතුරු ඇඟවීය.

සටහන – කුමුදු

(© ‘කතිකා‘ අධ්‍යයන කවය )

———————————————-

ඩ්‍රෙයිෆුස් පළහිලව්ව

ප්‍රංශ යුද හමුදා රහස් ජර්මානු යුද හමුදාවට සැපයීමේ චෝදනාවට යුදෙවු ප්‍රංශ හමුදා නිලධාරියෙකු වූ ඇල්ෆ්‍රඩ් ඩ්‍රෙයිෆුස් ප්‍රංශ ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගනු ලබන්නේ උග්‍ර ලෙස යුදෙවු විරෝධී පුවත් පත් වලින් කුත්තු කරනු ලදුවයි. ඩ්‍රෙයිෆුස් පළහිලව්ව ඩ්‍රෙයිෆුස්ට පක්ෂපාතී ලිබරල් බුද්ධිමතුන් පූජ්‍ය පක්ෂය සහ හමුදාව විසින් අනුබල දුන් දක්ෂිණාංශික විරුද්ධපක්ෂය ට එරෙහිව ගැටුමට යවමින් ප්‍රංශ සමාජය දෙකට බෙදූයේය. තමන් නිර්දෝෂී යැයි කියා සිටිද්දීත් සාක්ෂි නැතුව වුවත් ඩ්‍රෙයිෆුස් බරපතළ චෝදනා වලට වැරදිකරු කොට ජීවිතාන්තය දක්වා සිරගත කෙරෙයි. මෙම දඬුවමට බල පෑ යුදෙව් විරෝධී කුමන්ත්‍රණය හෙළි දරව් කිරීමට ඩ්‍රෙයිෆුස් සහ ඔහුට උදව්කරන්නෝ 12 වසරක සටනක් කරති. අද අපි දන්නා ජනරජ ප්‍රංශය උපත මෙම සිදුවීම සළකුණු කළ බව ප්‍රංශ ඉතිහාසඥයන්දක්වා ඇත. ලේඛක එමිලි සෝලා ඩ්‍රෙයිෆුස් වෙනුවෙන් එවකට ප්‍රංශ ජනාධිපති වූ ෆීලික්ස් ෆෝරෙ (Felix Faure) වෙත යැවූ විවෘත ලියුම අධිකාරයට ප්‍රතිරෝධය දැක්වීමේ කදිම නිදර්ශනයක් ලෙස සැළකෙයි. අවුරුදු දොළහකට පසු ප්‍රංශ මහාධිකරණය ඩ්‍රෙයිෆුස් නිදොස් කොට නිදහස් කිරීම ප්‍රංශ ප්‍රජාතන්ත්‍රවාදය යළි එහි හඬ තහවුරු කරගත් අවස්ථාව බව කියනු ලැබේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )