රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන

රනිල්ගේ ක‍්‍රමය කුමක්ද? කේ. ඩබ්ලිව්. ජනරංජන

vvb

මීළඟ ජනාධිපතිවරණයකදී පොදු වැඩපිළිවෙලක් යටතේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත්කොට පුළුල් සහායක් ලබාගෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයැ’යි ඉදිරිපත්ව ඇති පුරවැසි ඉල්ලීම නොනැවතී ඉදිරියට යයි. ආණ්ඩු පක්‍ෂය, ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා, තවමත් ඉන්නේ විධායක ජනාධිපතිධුරය මේ අයුරින්ම තවදුරටත් පවත්වාගත යුතුය යන ස්ථාවරයේය. නැතිනම්, දැවැන්ත දේශපාලන වන්දියක් ගෙවා 18වැනි සංශෝධනයක් නීතිගත කරගන්නේ නැත. අනෙක් අතට විධායක ජනාධිපතිධුරයේ අවුරුදු 9ක රස බැලූ ඔහු දැන් ඒ සියල්ල අත්හැර දැමීමට තරම් උපේක්‍ෂාසහගත වී ඇතැ’යි හිතන්නට කිසිම සාධාරණ හේතුවක්ද නැත. යම් හෙයකින් පිටතින් පැමිණෙන බලවත් පීඩනයක් හමුවේ විධායක ජනාධිපතිධුරය ඉවත්කිරීමට ඔහු හිත හදාගත්තත් ඒ මීළඟ ජනාධිපතිවරණයේදී නොවේ. තමන්ට බලය නැතිවනු ඇතැ’යි පැහැදිලිව පෙනෙන අවස්ථාවකදීය.

එහෙත් පුරවැසි ඉල්ලීම නම් මේ එක්කෝ විධායක ජනාධිපති ක‍්‍රමය සඳහාම තවත් ජනාධිපතිවරණයක් නොතැබිය යුතු බවය. එනම්, මේ ආණ්ඩුව විසින්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවය. නැතහොත් මේ අවසාන ජනාධිපතිවරණය ලෙස ගෙන, ඉන්පසු එම ධුරය අහෝසි කළ යුතු බවය. එනම්, විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම සඳහා මේ ජනාධිපතිවරණයට පොදු වැඩපිළිවෙලක් යටතේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් විය යුතු බව හා ඔහු /ඇය ජයග‍්‍රහණය කිරීමෙන් පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට නව ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණවලට යා යුතු බවය. මේ වැඩ පිළිවෙල පිළිබඳව විවිධ වෙනස් අදහස් ඇතිවෙමින් වැඩෙමින් තිබෙන බව ඇත්තය. එහෙත් ඒ සියල්ලේම පොදු ගුණාකාරය වන්නේ විධායක ජනාධිපතික‍්‍රමය අවසන්කිරීමේ අවස්ථාව උදාවී ඇති බවය. ඒ සමගම දැනටත් අවුරුදු විස්සක් සපුරා ඇති ආණ්ඩුව වෙනස්විය යුතු යන අදහසද කැකෑරෙමින් තිබේ. එය නිල්, කොළ පාට බලා ගෙනෙන අදහසක් නොවේ. නිල් කොළ දේශපාලනයට ඇතුළත් නොවන, සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, මානව අයිතිවාසිකම් ගැන උනන්දුමත් පුරවැසියාගේ අදහසකි. කවර පක්‍ෂයකින් පත්වන ආණ්ඩුවක් හෝ වේවා දශක දෙකක් පමණ එකදිගට බලයේ සිටීම විසින් රටක ඇතිකරන්නේ සෑම අතින්ම විශාල පරිහානියකි. 1977ට පෙර වසර පහ හයකට වරක් ආණ්ඩු වෙනස් කළ මේ රටේ ජනතාවගේ ජීවිත කාලය තුළ එක් වරක් හෝ දෙවරක් පමණක් ආණ්ඩු මාරු කරන වර්තමානයේ වැනි තත්ත්වයක් ඇතිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරුතින් බලවත් ඛේදවාචකයකි. එක් දේශපාලන පක්‍ෂයක් පමණක් දීර්ඝ කාලයක් බලයේ සිටීමේදී ඇතිවන සියලූ ආකාරයේ අපචාරයන්, අපයෝජනයන් 17 අවුරුදු එක්සත් ජාතික පක්‍ෂ පාලන යුගයේදීත්, 20 අවුරුදු වර්තමාන පාලන යුගයේදීත් අපි හොඳින් අත්දැක සිටිමු. ඒ නිසා, විධායක ජනාධිපතිධුරයත්, දීර්ඝකාලීන ආණ්ඩු කිරීමේ ප‍්‍රවණතාවත් වෙනස්කරන්නට දැන් කාලය පැමිණ තිබේ. එහි ආරම්භය එළැඹෙන ජනාධිපතිවරණයේදී පොදු වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කරවා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමෙන් ආරම්භ කළ හැකියැ’යි දැන් පවතින බලවත් යෝජනාවයි.

ඊට යටත්ව පොදු අපේක්‍ෂකයකු පිළිබඳ අදහස විවිධ හැලහැප්පීම්වලට භාජනය වෙමින්, වාද විවාදවලට භාජනය වෙමින්, පෝෂණය වෙමින් ඉදිරියට යයි. පවතින තත්ත්වය අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු වැඩපිළිවෙලක් ජයග‍්‍රහණය කරවීමට හැකියාව ඇති එකම අපේක්‍ෂකයාද පොදු අපේක්‍ෂකයා වනු ඇත්තේය. සියලූ දේශපාලන පක්‍ෂ ඒ පොදු වැඩපිළිවෙලට සහාය දුනහොත්, ඉන්පසු එළැඹෙන අවස්ථාව ඒ සියල්ලන්ටම තම නියම දේශපාලන ශක්තිය උරගාබැලීමට අවකාශයක් උදාකරනවා ඇත. පක්‍ෂ ලෙස ගත් විට, ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් ප‍්‍රසිද්ධියේ කියන්නේ තමන් පොදු වැඩපිළිවෙලක සිටිනා බවය. ඔවුන්ගේ හිතවත් ‘ලංකා’ පුවත්පත පසුගිය සතියේ ප‍්‍රධාන සිරස්තලය ලෙස යොදාගත්තේ ‘රනිල් ජනාධිපතිවරනය පාවාදෙයි’ යන්නය. එහි ප‍්‍රවෘත්තිය වූයේ පොදු වැඩපිළිවෙලක් සහිත පොදු අපේක්‍ෂකයකු ගැන සමාජයේ සාර්ථක කතාබහක් ඉදිරියට යද්දී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව රනිල් වික‍්‍රමසිංහ මහතා කීමෙන් එම වැඩපිළිවෙල පාවා දී ඇති බවයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා දැනටමත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව කියයි. එහෙත් එක්සත් ජාතික පක්‍ෂය තවමත් ඒ ගැන කිසිම තීන්දුවක් ගෙන නැත. ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවත්, වික‍්‍රමසිංහ මහතාට ජයග‍්‍රහණය කළ හැකිවේදැ’යි යන්න පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සිට කනිෂ්ඨයන් දක්වාම තිබෙන පොදු ප‍්‍රශ්නයක් බව ඒ අතර පැහැදිලිව දක්නට ලැබේ. එම තත්ත්වය කෙසේ වුවත්, රනිල් වික‍්‍රමසිංහ මහතා කියන්නේ තමා පත්වුවහොත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවයි. එහෙත් අහෝසිකොට ඇති කරන්නේ කුමන ක‍්‍රමයක්දැ’යි ඔහු කිසිවිටෙක නොකියයි. පක්‍ෂයටද මේ වනතුරු ඒ ගැන කිසිම ස්ථාවරයක් නැත. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, එහි බලය අඩුකිරීම වැනි හුදු යෝජනා දෙක තුනක් ඉදිරියට දමාගෙන මහජනතාවගෙන් ඒ ගැන ඇසිය යුතුයැ’යි කියන කෛරාටික ස්ථාවරයේය අද එජාපය සිටින්නේ.

ජනවාර්ගික ගැටලූවට විසඳුම් යෝජනා කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කොට කීවේ, විසඳුම එම කාරක සභාවේදී සාකච්ඡුාකොට තීරණය කළ යුතු බවය. එහෙත් ඒ ගැන එජාපයේ ස්ථාවරය, කාරක සභාවට එන්නට නම්, ජනවාර්ගික ගැටලූව පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය හා ආණ්ඩුවේ විසඳුම් මුලින්ම ජනතාවට කිවයුතු බවයි. ඒ තර්කයම ජනාධිපතිධුරයටද ආදේශ කළහොත්, ජනතාවගෙන් අසන්නට පෙර එජාපය ජනාධිපති ක‍්‍රමය ගැන සිය යෝජනාව එළියට දැමිය යුතුයැ’යි කිව හැකිය. එහෙත් අනුන්ට අභියෝග කරන ඔවුහු එය තමන් වෙත හරවාගැනීමට උනන්දුවක් නොදක්වති.

පක්‍ෂය ස්ථාවරයක් නොගන්නා බවක් පෙනෙන නිසා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරග කරනවායැ’යි තනිවම කියන නිසා තමන්ගෙන් විමසන්නට පෙර ඔහුගේ ස්ථාවරය කුමක්දැ’යි කියා ඇසීමට අයිතියක් රටේ ජනතාවට තිබේ. එහෙත්, ඔහු විවිධ අවස්ථාවලදී කියන දෙයින් නම් පෙනෙන්නේ මුළුමනින්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ තත්ත්වයට නොගොස්, බලතල අඩුකොට එය පවත්වාගැනීම ඔහුගේ පළමු කැමැත්ත වන බවය. නැතිනම් මහජන ඡුන්දයෙන් තේරීපත්වන රාජ්‍ය නායකයකු සහිත ක‍්‍රමයකට ඔහු කැමැත්තක් දක්වන බවය. මේ දිනවල විවිධ වේදිකාවල ඔහු දක්වන අදහස්වල යටි පෙළ අරුත එයයි.

2010 ජනාධිපතිවරණයට පෙර ජූලි මාසයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, මේ අදහස ගැනම කතාකරන්නට රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මැඳුරට කැඳෙව්වේය. එහිදී පැවැති සාකච්ඡුාවකින් පසු දෙදෙනාම ‘විධායක අගමැතිධුරය’ නමැති දෙයකට එකඟ වූ බව මාධ්‍ය වාර්තා කළේය. එනම්, ජනාධිපතිධුරය අහෝසි කොට, නමුත් මහජන ඡුන්දයෙන් ‘අගමැතිවරණයකදී’ පත්කරගන්නා රාජ්‍ය නායකයකු රටට ඇතිකර ගැනීමය. ඔහු පාර්ලිමේන්තුවේ අසුන්ගනියි. එහෙත් පත්වන්නේ මහජන ඡුන්දයෙනි. දැන් නැවතත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අදහස්වලින් එළියට එන්නේ ඒ ක‍්‍රමයේ රාජ්‍ය නායකයෙකි.

ධුරයේ බලතල අඩුකොට පවත්වාගෙන යන ජනාධිපතිධුරයක් විධායක ජනාධිපතික‍්‍රමයේම අවතාරයක් මිස අන් යමක් නොවේ. ඒ නිසා ඒ අදහස මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කළ යුතුය. ඊළඟට ඉදිරිපත්ව ඇති, මහජන ඡුන්දයෙන් ඍජුවම තේරී පත්වන අගමැතිවරයකු හෝ වෙනත් නමක් ඇති රාජ්‍ය නායකයකු පිළිබඳ අදහසද විධායක ජනාධිපති ක‍්‍රමයේම තවත් අවතාරයක් විනා අන් කිසිවක් නොවන බව පැහැදිලිව කිව යුතුය. එනම්, කෙතරම් පාර්ලිමේන්තුවට වගකියනවාය, උත්තර දෙනවාය කියා කීවද, මහජන ඡුන්දයෙන් ඍජුව තේරී පත්වන අගමැතිවරයකු ආකෘතියක් වශයෙන් ක‍්‍රියාත්මක කරන්නේ විධායක ජනාධිපති ක‍්‍රමයක්ම බවය.

ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු පාර්ලිමේන්තුව තුළින් නොව මහජන ඡුන්දයෙන් ඍජුව තේරී පත්වන විට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට වඩා ඉහළට ඔහු ඔසොවා තැබීමක් සිදුවෙයි. ඔහු නිතරම විශ්වාස කරන්නේ තමා ඍජු මහජන බලයේ නියෝජනයක් ලෙසය. ඒ මහජන බලය විසින් සිතුවක් කරන්නට තමාට බලයක් ලබාදී ඇති බවය. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් ඔහුට වැදගත් නොවේ. නොඑසේ නම් ඔහුට පාර්ලිමේන්තුව යනු තම හිතුවක්කාර බලයට යටත්, ඒ බලයට රිසි සේ හැසිරවිය හැකි බෙලහීන ආයතනයක් පමණි. වචනවලින් කුමක් සඳහන් වුවද ප‍්‍රායෝගිකව ඔහු පාර්ලිමේන්තුවට වගනොකියයි. උත්තර නොදෙයි. පාර්ලිමේන්තුවේ වෙනස්වන දේශපාලනික තත්ත්වයන් සමග නොඈඳෙයි. ඊට ප‍්‍රතිචාර නොදක්වයි.

අනෙක් අතට අගමැතිවරණයකින් පත්වන අගමැතිවරයකුගේ ධුර කාලය හා පාර්ලිමේන්තුවේ ධුර කාලය අතර එකිනෙක මත රඳාපවතින කිසිම සම්බන්ධයක් නැත. දැන් පවතින ක‍්‍රමයද ඊට මුළුමනින්ම සමාන ය. ජනාධිපතිවරයාගේ ධුරකාලය සහ පාර්ලිමේන්තුවේ ධුරකාලය එකිනෙකට සම්බන්ධයක් නැතිව පවතියි. මේ නිසා ජනාධිපතිවරයකු ධුරයේ රැුඳී සිටිද්දී පාර්ලිමේන්තුව මාරු විය හැකිය. පාර්ලිමේන්තුව ධුරකාලය තුළදී ජනාධිපතිවරයකු මාරුවිය හැකිය. එහිදී සිදුවන්නේ කුමක්ද? ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සම්පූර්ණ රාජ්‍ය බලයම යෙදවීමයි. එසේම, පාර්ලිමේන්තු බලය හිමි පක්‍ෂය තම ජනාධිපති අපේක්‍ෂකයා වෙනුවෙන් ආණ්ඩුවේ සියලූ බලය හා රාජ්‍ය සම්පත් යෙදවීමයි. මේ බලය අයුතු ලෙස යොදාගැනීම පාලනය කිරීම අතිශය අපහසු කාර්යයකි.

ඊට වෙනස් ව වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් තුළ අගමැතිවරයා විධායක බලතල හොබවන නමුත්, ඔහු නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකුව හිඳියි. එම පද්ධතියේම කොටසක්ව ක‍්‍රියාකරයි. පාර්ලිමේන්තුවේ දේශපාලන ගතිකයන්ට ප‍්‍රතිචාර දැක්වීමට ඔහුට සිදුවෙයි. බහුතරයේ කැමැත්ත මත ධුරය දරන නිසා බහුතරය වෙනස්වීමෙන් ඔහුගේ ධුරයද අභියෝගයට ලක්වෙයි. අනෙක් අතට, කිසියම් අවස්ථාවකදී ඔහු ධුරයෙන් ඉවත්කිරීමට පාර්ලිමේන්තුව අනුගමනය කළයුතු ක‍්‍රියා පිළිවෙත සරල හා ප‍්‍රායෝගිකය. (එසේ වූ පමණින් ලෝකයේ පාර්ලිමේන්තුවල අගමැතිවරයා සතියකට එකකු බැගින් මාරුකරන සම්ප‍්‍රදායයක් පවතින්නේ ද නැත.* අන් ලෙසකින් කිවහොත් පාර්ලිමේන්තු ක‍්‍රමයක් තුළ බිහිවන අගමැතිවරයකු සිය බලය අනිසි ලෙස ක‍්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා යෙදිය හැකි සංවරණයන් හා තුලනයන්ගේ කාර්යක්‍ෂමතාව සාපේක්‍ෂව වැඩි ය.

එනිසා විධායක ජනාධිපතිධුරය අහෝසි කොට දැනට පිළිගත හැකි හොඳම පිළිවෙත වන පැරණි පාර්ලිමේන්තු ක‍්‍රමයට ආපසු යනවා විනා පාර්ලිමේන්තුව තිබියදී වෙනත් බල උල්පතකින් නිර්මාණය වන තවත් නායක ධුරයක් ඇතිකිරීමෙන් මහජන පරමාධිපත්‍යයට හානි සිදුවන බව අප තේරුම් ගත යුතුය. රනිල් වික‍්‍රමසිංහ මහතා සිටින්නේ එම ස්ථාවරයේ නම් ඔහුගේ අදහස කිසිසේත් මේ මොහොත් මහජන අපේක්‍ෂාවන් සමග ගැළපෙන්නේ නැත. ඔහු සිටින්නේ ඊට වෙනස් ස්ථාවරයක නම්, ඒ ක‍්‍රමය ගැන එළිදරව් කොට ඒ ගැන මහජන සංවාදයකට දැන්වත් පැමිණීම ඔහුගේත් පක්‍ෂයේත් වගකීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )