වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්
සුමනසිිරි ලියනගේ
සුමනසිිරි ලියනගේ

සුමනසිිරි ලියනගේ විසිනි

1. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත‍්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප‍්‍රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික පක්‍ෂයට ය. එහි ආසන සංඛ්‍යාව වැඩි වූ අතර එහි ඡුන්ද සංඛ්‍යාව 100‍% කින් ඉහල ගියේ ය. මෙම ප‍්‍රවණතාව ඉදිරියට ගියහොත් ඊලඟ ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය පරාජය වීමට ඇති ඉඩකඩ ප‍්‍රතික්ෂේප කල නොහේ. වමේ සමහර සහෝදරවරුන් අද නගන අදහසට තරමක සමාන අදහසක් මෙයට පෙර කුමාර් ඩේවිඩ් සහ කුමුදු කුසුම් කුමාර වැනි සහෝදරවරු ඉදිරිපත් කළහ.

2. අද ඉදිරිපත් කෙරෙන අදහස මෙසේ සාරාංශ කළ හැක. එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහි ජන පෙළගැස්මක් ශක්තිමත්ව ගොඩ නැගෙන බව ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල පෙන්නුම් කරයි. (එය සත්‍යයකි.) මෙම ජන පෙල ගැස්ම සමග වම සිටිය යුතුය. එසේ නොවුනහොත් වම මෙම ප‍්‍රවාහයෙන් තනි වන්නේය. (කිසියම් ප‍්‍රමාණයකට සත්‍යයකි.) එය වම යලි ගොඩ නැඟීමට බාධාවකි. එපමණක් නොවේ. එසේ කිරීම මගින් මහින්ද තන්ත‍්‍රය පරාජය කිරීමට අවහිර කරන්නන් ලෙස වම හංවඩු ගැසිමකට ලක්වනු ඇත. එපමණක් නොවේ. එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කරන්නක් වන්නේය. මෙම ගැටලූව සඳහා (ඇත්තටම එය ගැටලූවක් ද?) මෙම සහෝදරවරු ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? මෙහිදී ඔවුන් කුමාර් ඩේවිඩ් සහ කුමුදු කුසුම් කුමාර වැනි සහෝදරවරුන්ගෙන් වෙනස් වේ. ඔවුන්ගේ අදහස වම ස්වාධීන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යා යුතු අතර එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට දෙවන මනාපය දෙන ලෙස වමට යෝජනා කල යුතුය යන්නයි. එමඟින් ඔවුන් තර්ක කරන්නේ එම ජන බලවේගය සමග සිටින අතරම වාම වැඩ පිලිවෙලක් ද වෙනුවෙන් පෙනී සිටීමට හැකි වන බව ය.

3. උක්ත අදහස 1964 වන තෙක් සමසමාජ සම්ප‍්‍රදාය විසින් ද 2005 වන තුරු ජනතා විමුක්ති පෙරමුණු සම්ප‍්‍රදාය විසින් ද ප‍්‍රතික්ෂේප කළ එකකි. එසේ කීමෙන් පමණක් එම අදහස අද ට වලංගු නොවන්නේ යැයි ප‍්‍රතික්ෂේප කළ නොහේ. එම නිසා එය පිළිගැන්ම හෝ ප‍්‍රතික්ෂේප කිරීම කළ යුත්තේ බරපතල සාකච්ඡාවකින් පසුව ය. මෙම සටහන එවන් සාකච්ඡාවකට මුල පිරීමකි.

4. ආරම්භයේදීම ඇසිය යුතු ප‍්‍රශ්ණය වන්නේ මහින්ද රාජපක්‍ෂ තන්ත‍්‍රයේ ස්වභාවය කුමක් ද? යන්න ය. සමහරෙක් එය ෆැසිස්ට් තන්ත‍්‍රයකැයි ද තවකෙක් කොර්ණිලොව් බලයට ආවේනම් එම වර්ගයේ ආණ්ඩුවක් විය හැකි යැයි ද පවසති. එවන් තත්ත්වයකදී ලිබරල් ධනේෂ්වර පක්‍ෂ සමග එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැන්ම නැත්නම් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම වමේ කාර්යභාරය ලෙස අර්ථ දැක් වේ. පවත්නා තත්ත්වය පිළිබඳ විග‍්‍රහය පිළිගත්ත ද (එය වැරදි විග‍්‍රහයකි. එම කරුණ පසුව සාකච්ඡා කෙරේ) මෙම යෝජනාව වැරදි සහගත ය. ඒ හේතු දෙකක් නිසා ය. ෆැසිස්ට්වාදය දැවැන්ත ධනේෂ්වර අර්බුදයකදී ධනේෂ්වර පන්තියේ සීමිත කොටසක් (බොහෝ විට ජාතික අනන්‍යතාවය පදනම් කරගත් මූල්‍ය ධනපති පන්තිය) බහුජන පන්ති සංවිධාන මර්ධනය මත ගොඩ නැගෙන තන්ත‍්‍රයකි. (ජර්මනිය, ස්පාඤ්ඤය, චිලීය.) එවන් තත්ත්වයකදී ලිබරල් ධනේෂ්වරයට එය පසුපස යනු මිස වෙනත් විකල්පයක් නැත. දෙවනුව එක්ව ගමන් ගන්නේ කුමන තත්ත්වයකදී ද? කෙසේද? මැතිවරණ පෙරමුණකදී ද? මෙම කරුණ සාකච්ඡා කිරීමේ දී අද මැතිවරණවල ස්වභාවය තේරුම්ගත යුතුවේ. අද ප‍්‍රධාන පක්‍ෂ මැතිවරණ තරඟ කරන ආකාරය ව්‍යාපාරික තරඟයකට සමාන ය. එවැන්නකදී ඡන්ද දායකයා හුදු පරිභෝජකයෙකු බවට පත් කෙරේ. ප‍්‍රධාන පක්‍ෂ සමග එක්ව ජනතාව පදනම් කරගත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ නොහේ.

5. මහින්ද තන්ත‍්‍රය ෆැසිස්ට්වාදයක් ලෙස හැඳින්වීම නිවැරදි ද? මගේ නිරීක්‍ෂණයන්ට අනුව මහින්ද තන්ත‍්‍රය අධිකාරිවාදී බොනපාට් වාදයකි. අධිකාරවාදී බොනපාට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර ඇත්තේ හූවක දුරකැයි යමෙක් තර්ක කරහොත් එය ලොකු වරදෙක් නොවේ. ෆැසිස්ට්වාදය පූර්ව හෝ පශ්චාත් බොනපාට් වාදී තත්ත්වයක් විය හැකි මෙන්ම බොනපාට් වාදය පූර්ව හෝ පශ්චාත්වාදි ෆැසිස්ට්වාදී තත්ත්වයක් විය හැක. මහින්ද තන්ත‍්‍රය පශ්චාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාලනයක් වීමේ දී පැරණි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාලනයේ සියලූ උපායයන් හා වැඩ මාදිලියන් තම වර්තමාන ප‍්‍රයෝජනයට ගනු ලබයි. විවිධ බලවේග අතර කිසියම් බේරුම්කාර තත්ත්වයක් තන්ත‍්‍රය තව දුරටත් පෙන්නුම් කරයි. මෙම නිමේෂය වන තුරු එය පන්ති අරගල කෙලින්ම තලා දැමීමට ක‍්‍රියා කර නැත්තේ ය. විමුක්ති කොටි අරගලය තලා දැමීමට එයට හැකි වූයේ ජාත්‍යන්තර සහය ලද නිසාම පමණි. පාතාල සහ ජාතිවාදි බලවේග එය තවමත් යොදා ගන්නේ ආනුසංගික බලවේග හැටියට පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලයේ ඉක්මන් සහ අනිවාර්ය බව අතිශයෝක්තිකරණයට මහින්ද තන්ත‍්‍රය ෆැසිස්ට්වාදී තන්ත‍්‍රයක් ලෙස පෙන්වීම මගින් කරන්නේ විශ්ලේෂණාත්මක වරදකි. අංක 4 පෙන්වා දුන් පරිදි එවන් විශ්ලේෂණාත්මක වරදක් වූවත් එක්සත් ජාතික පක්‍ෂය සමග මැතිවරණ ගිවිසුමකට වමට මූලධර්මීය ඉඩක් නොදේ.

6. සංයුක්ත තලයෙහි තවත් නැගිය යුතු ප‍්‍රශ්නයක් ඇත. ඊලග ජනපතිවරණය හරහා එක්සත් ජනතා නිදහස් සංධාන තන්ත‍්‍රය වෙතින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයකට මාරුවීම ආර්ථික, සමාජ සහ දේශපාලන වෙනස් ප‍්‍රතිපත්ති රාමුවකට මාරුවීමටකට හේතු වේද? පවත්නා ජන විඥාණ මට්ටම තුල මෙයට වෙනස් වෙනසකට ඇති ඉඩකඩ අල්ප ය. (මෙම කරුණ පසුව සාකච්ඡාවට ගැනේ.) ඊලඟ ආණ්ඩුව තුල වර්තමාන ආණ්ඩුවේ තනතුරු දරන කිසියම් පිරිසක් සිටීමට ඉඩක් ද ඇත. එක්සත් ජාතික ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයක් තව දුරටත් ක‍්‍රියා කරනු ඇත්තේ නවලිබරල්වාදී රාමුව තුල ය. එය ඇති කරනු ඇත්තේ සීමිත වෙනස් කම්ය. රාජ්‍ය ප‍්‍රාග්ධන වියදම් සහ රාජ්‍ය අංශ සේවා නියුක්තිය කැපීම කෙටිකාලීනව ආර්ථික වෘද්ධි වේගය අඩු වීමකට ද හේතු විය හැක. නවලිබරල්වාදී රාමුව තුල ක‍්‍රියාත්මක වීම නිසා ඇති කළ හැකි වනු ඇත්තේ (ජාත්‍යන්තර පරික්‍ෂණයට පහසුකම් වැනි) රූපික ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ පමනි. මෙවන් වෙනස්කම් පවා කෙටි ආයුෂ ඇති ඒවා වනු ඇත. සමාජයේ පහත මාලයේ ජනයාට සහ අද්දරට තල්ලු කර ඇති ජන කොටස්වලට සහනයක් ලැබීමට ඉඩකඩක් ඇතැයි දැකිය නොහැක. එක්සත් ජනතා නිදහස් සංධාන තන්ත‍්‍රය වෙතින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයකට මාරුවීම සම්බන්ධයෙන් වම පැත්තක් ගත යුත්තේ මන්ද? යන්නට උක්ත අදහස් ඉදිරිපත් කරන්නන් කිසිදු සහේතුක පිළිතුරක් දී තිබෙනු මා මෙතෙක් දැක නැත.

7. මෙයින් පෙනී යන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් කුමක් ජයග‍්‍රහණය කල ද සමාජයේ පහල තලයට වාසිවන සහ වැඩ දායකවන ප‍්‍රතිසංස්කරණ සිදු නොවන බව ය. එමෙන්ම ඉහ වහා ගිය දූෂණ වල අඩුවක් ඇති වීම ද අපේක්‍ෂා කළ නොහේ. මෙවන් තත්ත්වයකදී මැතිවරණ සහභාගීත්වය මගින් වමට අපේක්‍ෂා කළ හැක්කේ සහ යුත්තේ කුමක් ද? ඊලඟ මැතිවරණ ජයග‍්‍රහණයකින් වමට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිකමක් නැති බව අප නිහතමානිව පිළිගත යුතු ය. මා කල්පනා කරන විධියට ප‍්‍රධාන අරමුණු තුනකි. එනම්, 1. ජන සවිඥාණය නැංවීම (raising class consciousness) 2. ජන ව්‍යුහයන් ගොඩනැගිම සහ (building new structures of people’s participation) 3. සංක‍්‍රමණීයත්වය (transitionality) යි.

8. පංති සවිඥාණගත කිරිම එක් අතකන් නිෂේධනාත්මක වන අතර අනෙක් පැත්තෙන් නිර්මානාත්මක වන්නේ ය. පවත්නා පංති සහ ජන විඥාණය නව ලිබරල්වාදය විසින් නිර්මිත කෙරුනකි. එය විකල්පයන්ගේ පැවැත්ම ප‍්‍රතික්ෂේප කරයි. එම තත්ත්වය තුල සාමුහිකත්වය පිළිබඳ අදහස මතුවන්නේ ජාතික හෝ වාර්ගික අනන්‍යතාවයක් හැටියට පමණි. පංතිය වඩාත්ම වර්ධිත ලෙස මතුවිය හැක්කේ දුර්වල වෘත්තිය සමිතිවාදයක් හැටියටය. ජන සවිඥාණගත කිරීම එමනිසා මෙම දුර්විඥාණයන් පරාජය කිරීම මගින් කළ හැක්කකි. එහි නිර්මානාත්මක පැත්ත වන්නේ පශ්චාත් සෝවියට් තත්ත්වය තුල සමාජවාදයට නැත්නම් කොමියුනිස්ට්වාදයට නව අර්ථකථනයක් දීමය. එහිලා ප‍්‍රධාන වශයෙන් චරිතාංග තුනක් යටත් පිරිසෙයින් අවධාරණය කළ යුතු වේ. එනම්, 1. හුවමාරු වටිනාකම වෙනුවට පරිහරණ වටිනාකම 2. ප‍්‍රාග්ධනයෙන් තොර නිෂ්පාදනය 3. සාමුහික නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සංවිධාන ක‍්‍රමයක් 4. සංවර්ධනය එහි නූතනවාදී අරුතෙන් මුදවා ස්වභාවධර්මය සහ මානවයා අතර සම්බන්ධයට නව තේරුමක් දීම යන ඒවාය. මෙම අංශ හතරේම ප‍්‍රමාණවත් න්‍යායයාත්මක වර්ධනයක් මේ වනවිට සිදුව ඇත්තේය.

9. පසුගිය වසර 30 ක පමණ කාලයක් තුල වමට නව සංවිධාන ව්‍යුහයන් ගොඩනගා ගත හැකි වූයේ සීමිත වශයෙනි. එම බොහෝ ව්‍යුහයන් ගොඩ නැගුවේ ජනතා විමුක්ති පෙරමුණ මගිනි. පැරණි ව්‍යුහයන් විශේෂයෙන්ම වෘත්තීය සමිති බෙහෙවින් දුර්වලව ගොස් ඇති අතර ඒ වටා සංවිධාන වී ඇති කම්කරු ප‍්‍රමාණය බෙහෙවින් අඩුව ගොස් ය. වමෙන් කොටසක් රාජ්‍ය නොවන සංවිධාන තුල කොටුව ඇත. වම මැතිවරණ ප‍්‍රචාරණයන්හිදී දකුණේ පක්‍ෂ අනුකරණය කරමින් සිටියි. අනාගත ජන බලය සංවිධානය හා පදනම්වන ආකෘති ගොඩ නගා ගැන්ම මෙම අවස්ථාවේ බෙහෙවින් අවශ්‍ය ය.

10. අද වම ක‍්‍රියාකිරිමේදී එකී ක‍්‍රියාවන්හි පියවරයන්හි සංක‍්‍රමණීයත්වය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු වේ. සංක‍්‍රමණීයත්වය වම යෝජනා කරන ක‍්‍රියාමාර්ගයන්හි ගතිකත්වය නිසා ඇති වන්නකි. විප්ලවවාදී වම ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවේ. එහෙත් එය යෝජනා කරන ප‍්‍රතිසංස්කරණ තවත් ප‍්‍රතිසංස්කරණ ඇති කරන ක‍්‍රියාවලිවක් ජනනය කළ යුතු වේ. එමෙන්ම සංක‍්‍රමණීයත්වය බොහෝ දුරට තීරණය කරන්නේ ජන සවිඥාණ මට්ටම මගින් මහ ජන ව්‍යුහයන් ගොඩනැගීමේ මට්ටම අනුව ය. උදාහරණයක් හැටියට පමණක් දක්වන්නේ නම් 1902 දී තරම් ඈතක රුසියානු විප්ලවය ගමන් කල යුතු දිසානතිය තේරුම් ගැනීමේදී ලෙනින් පංති විඥාණය සහ පක්‍ෂය මත දැඩි අවධාරණයක් කලේ එහෙයිනි. 1905 විප්ලවයේදී නාගරික කම්කරුවන් ප‍්‍රධාන ජනයා ගොඩනගා ගත් නව සංවිධාන ව්‍යුහයන් නිසා විප්ලවය කම්කරු ආඥාදායකත්වය කරා ගමන් ගන්නා බව පුරෝකථනය කිරීමට ට්‍රොට්ස්කි පෙළඹ වූයේ ය.

11. ජනපතිවරණය ආසන්නව ඉදිරිපත්ව ඇති අදහස්වලදී විධායක ජනාපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව දෙස අප බැලිය යුත්තේ උක්ත මානයයන් ගෙන් ය. එහෙත් එම අදහස තුල ඇති රික්තයන් පිරවිය හැක්කේ එය හා බැඳුන තවත් යෝජනා සම්බන්ධ කිරීමෙනි. 1. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු 2. තාවකාලික ආණ්ඩුවක් කරා (දැන් තියන පාර්ලිමේන්තුව පදනම් කර ගත් ආණ්ඩුවක් නොවේ) 3. තාවකාලික ආණ්ඩුව ක්‍ෂණිකව කළ යුතු ප‍්‍රතිසංස්කරණ (ඉඩම්, ජාතික ප‍්‍රශ්ණය, ප‍්‍රජාතන්ත‍්‍රවාද, කම්කරු ඉල්ලීම් වැනි).

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න

ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න
 හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි,ධර්මපාලතුමා, ඕල්කට්තුමා,ධර්මගුණවර්ධන මුහන්දිරම්,දොන් කරෝලිස් යන අය
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි,ධර්මපාලතුමා, ඕල්කට්තුමා,ධර්මගුණවර්ධන මුහන්දිරම්,දොන් කරෝලිස් යන අය
ගෝලීයව සිතා ප්‍රාදේශිකව ක්‍රියා කළ යුතු බවට කියමනක් ඇත. ගෝලීයකරණය වූ ලෝකයක් තුළ කෙනෙකු ප්‍රාදේශිකව කරන්නා වූ ක්‍රියාවල ද ගෝලීය බලපෑමක් ඇති බව ඉන් හැඟවේ. ධර්මපාලතුමා ගැන සිතන විට පෙනී යන්නේ එතුමා ගෝලීයව සිතුවා පමණක් නොව ගෝලීයව ක්‍රියා ද කළ බවකි. එපමණක් නොව, එතුමාගේ දේශීය ක්‍රියාකාරීත්ව පවා තේරුම් ගත යුතුව ඇත්තේ එම ගෝලීය චින්තනයෙහි දිගුවක් ලෙසටය.

ධර්මපාලතුමාගේ දේශීය චින්තනය හා ක්‍රියාකාරීත්වය බොහෝ විට අර්ථකථනය කරනු ලැබ ඇත්තේ පටු ජාතිකවාදී හා නොතිබූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳව “වංසය කබල් ගෑ” අවසානයේ දී තමා උපන් දේශීය ධනපති පංතියට සේවය කිරීමේ සංසිද්ධියක් ලෙසටය.

මෑත ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ නිවැරැදිව තේරුම් නොගනු ලැබූ එක් ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු පිළිබඳ අගනා නිදසුනක් ලෙස ධර්මපාලතුමා හැඳින්වීම නිවැරැදිය. එතුමාගේ චින්තනය හා ක්‍රියාකාරීත්වය සමස්තයක් ලෙස ගෙන එය එතුමා ක්‍රියා කළ 19 වන සියවසේ අග සහ 20 වන සියවසේ ආරම්භක අවදියේ ශ්‍රී ලාංකික ආර්ථික, දේශපාලනික හා ආගමික සන්දර්භය තුළ තබා විමසා බලන විට ඉහත දැක්වූ ජනප්‍රිය අර්ථකථනය නිවැරැදි නොවන බව පෙනී යයි.

ධර්මපාලතුමාගේ ක්‍රියාකාරීත්වය පුළුල් අංශ තුනකට බෙදා දැක්විය හැකිය. එනම් (I) එතුමාගේ ශ්‍රී ලාංකික ජාතික හා ආගමික පුනරුද ක්‍රියාවලිය, (II) බුද්ධගයාව නැවත බෞද්ධයන් වෙත ලබාගැනීම මුල් කොටගත් ඉන්දියාව තුළ බුදුසමය නැවත පිහිටුවීම සඳහා වූ ක්‍රියාවලිය හා (III) අමෙරිකාව හා එංගලන්තය ඇතුළු බටහිර ලෝකයට බුදුසමය හඳුන්වා දීම සඳහා වූ ක්‍රියාවලිය යනුවෙනි. මෙම ක්‍රියාවලි තුන එකිනෙකින් වියුක්ත ලෙස පෙනී යා හැකි වුවත්, එසේ නො වනුයේ ඒවා සියල්ල එක ම පුළුල් දෘෂ්ටිකෝණයක් මඟින් මෙහෙයවන ලද අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ ක්‍රියාදාමයක් වීමේ හේතුවෙනි.

ශ්‍රී ලංකාව තුළ ධර්මපාලතුමාගේ චින්තනයට හා ඒ මත පදනම් වූ ක්‍රියාකාරීත්වයට පසුබිම වන මතවාදී බලවේග තුනක් නම් කළ හැකිය. (I) සිංහල ජාතිකත්වය හා එහි ප්‍රෞඪ අතීතය පිළිබඳව ධර්මපාලතුමාගේ අවබෝධය, (II) බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙහි ශ්‍රේෂ්ඨත්වය හා ජාතිය ගොඩනැංවීමෙහිලා එහි ඇති අදාළ භාවය හා ශක්තිය පිළිබඳ විශ්වාසය හා (III) ශ්‍රී ලංකා සමාජයෙහි සාමාජික හා ආර්ථික අභිවෘද්ධිය සඳහා අදාළ වන නූතන අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ චින්තනය.සිංහල ජාතිය පිළිබඳ ධර්මපාලතුමාගේ අදහස් හා ක්‍රියාකාරීත්වය තේරුම් ගත යුත්තේ එවකට පැවැති යටත් විජිතවාදී දේශපාලන සන්දර්භය තුළය. එක් අතකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්ව පරාධීන ජාතියක් ලෙස පැවැති අතර අනිත් අතට අනිකුත් විවිධ ජාතිකයන් අතර සිංහල ජාතිකයා, බහුල වශයෙන් ‍විදේශීය ආගමික හා සංස්කෘතික චර්යාවනට අනුගත වෙමින් පරදේශීව සිටි අතර ග්‍රාමීය බහුතර ජන කොටස අලසකමින් යුතුව නිසි අධ්‍යාපනයකින් තොරව, එහෙයින්ම කර්මාන්ත හා වෙළඳාම වැනි කාර්යවලින් බැහැරව අවාසනාවන්ත ලෙස ජීවත්වනු ධර්මපාලතුමාගේ අවධානයට පාත්‍ර විය.

මෙම තත්ත්වයෙන් සිංහලයා බේරාගැනීම ධර්මපාල චින්තනයේ හා ක්‍රියාකාරීත්වයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රධාන කාර්යය විය. සිංහල ජනතාව වැටී සිටි මෙම තත්ත්වයෙන් ඔවුන් නඟාසිටුවීමට එතුමා නැඟූ හඬ වේදනාත්මක ද කර්කශ ද විය.

දෙමළ, මරක්කල, ලන්සි, හෙට්ටි, ඉන්දියන්වරු, හම්බයෝ, කොච්චි, යුරෝපීයවරු ද ශතවර්ෂ හතළිහ තුළ වෘද්ධියට පැමිණියෝය. කළු හම ඇති ජාතීහු ලංකාවේ සිටිති. ඔවුන් ඉංග්‍රීසීන්ගේ චාරිත්‍ර ගන්නේ නැත. සිංහල මෝඩයා පමණක් ඉංග්‍රීසි චාරිත්‍ර ගෙන පිරිහීමට පත් විය. දෙමළ, කොච්චි, හම්බ, මරක්කල කළු වර්ගයා දවසින් දවස වර්ෂ තිහක් තුළ සමෘද්ධි භාවයට පැමිණියාහහුයි. කාලකණ්ණි සිංහලයෝ විනාශ මුඛයට පත්වූවෝය. ජීවිකාව පිණිස ලංකාවට ගොඩබසින පරදේශීහු සිංහලයාගේ මූඪකම් දැක “සිංහලයා මෝඩයා” යැයි ගර්හා කරති.

ධන සැපයීමට සිංහලයාට මොළේ නැතැයි දෙමළ කුලීකාරයන්ට වැටහී තිබේ. රික්ෂෝ රථය අදින දෙමළ කුලීකාරයාට තිබෙන ඥානය සිංහල කාලකණ්ණියාට නැත. කලිසම්, කෝට්, තොප්පි, ටයි, කොලර්, කමිස, මේස් බැනියන්, සපත්තු, මේස්, ලේන්සු බොත්තන් ආදියට සිංහල මෝඩයා කරන නිරර්ථක වියදම් අනික් ජාතීහු කරන්නේ නැත. ලංකාවේ හම්බ, මරක්කල, ලන්සි, පාරසී සමූහයා දක්නා ලැබේ. ජාතික වස්ත්‍ර, ජාතික නාම, ජාතික චාරිත්‍ර උල්ලංඝනය නොකොට යටකී ජාතීහු පවත්වති. කිසි චාරිත්‍රයක්, ආගමක්, ධර්මයක්, ආචාර්යවරයෙක් නැත්තේ කාලකණ්ණි සිංහලයන්ට පමණයි.  (ධර්මපාල ලිපි. සංස්. ගුරුගේ 73 – 74 පිටු)

මෙම අදහස්වලින් මතුවන්නේ අනිකුත් ජාතීන් පිළිබඳව ඊර්ෂ්‍යාවකින් පසුවන්නෙකු නොව තම ජාතියෙහි පරිහානිය දැක එම ජාතිය දියුණු කිරීම සඳහා වෙහෙස දැරූ ක්‍රියාකාරිකයෙකි. “දැනගත යුතු කරුණු” යනුවෙන් ලියා විසුරුවා හරින ලද පත්‍රිකා මඟින් සිංහල ජනතාවගේ දෛනික ජීවිතය ක්‍රමවත් කර ගැනීමට අවශ්‍ය කරුණු ද ඇතුළු බොහෝ වැදගත් තොරතුරු විශාල ප්‍රමාණයක් සාමාන්‍ය ජනතාව වෙත ලබා දෙන ලදී. Continue reading ධර්මපාලතුමාගේ ලෝක බෞද්ධ දෘෂ්ටිය – මහාචාර්ය අසංග තිලකරත්න

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (පළමුවන කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධයෙ
පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

පෙරවදන

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”
මහජන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම ක්‍රියාත්මක වූ කම්කරු – ගොවි ආයතනය විසින් සමකාලීන සමාජ – දේශපාලන චින්තනය පිළිබඳව සම්මන්ත්‍රණ ගණනාවක් සංවිංධානය කරන ලද්දේ 1985 මැද භාගයේදීය. මෙම සම්මන්ත්‍රණ මාලාවේදී තෝරාගන්නා ලද කථිකයන් විසින් විවිධ මාක්ස්වාදී චින්තකයන් පිළිබඳව දේශන පවත්වන ලදී. මෙම දේශන මාලාවේ පළමුවන දේශන කිහිපය පවත්වන ලද්දේ ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳවය. අද ලොව පුරාම ග්‍රාම්ස්චිගේ චින්තනය පිළිබඳව විශාල බුද්ධිමය උනන්දුවක් ඇති වී තිබෙන අතර ග්‍රාම්ස්චි මාක්ස්වාදී සම්ප්‍රදායේ උපරි ව්‍යූහය පිළිබඳ ප්‍රධානතම න්‍යාය වේදියා වශයෙන් අවිවාදයෙන් සලකනු ලැබේ.

ග්‍රාම්ස්චිගේ චින්තනයේ මූලික එලඹුම නම් ආර්ථික ව්‍යූහය විසින් අවසාන විග්‍රහයේදී උපරි ව්‍යූහය නිශ්චය කිරීම යාන්ත්‍රික ආකාරයට නොව ද්වන්ද්වාත්මක ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි. මේ අනුව උපරි ව්‍යූහය අවසාන විග්‍රහයේදී ආර්ථික ව්‍යූහයෙන් නිශ්චය වන්නේ වී නමුත් උපරි ව්‍යූහයට එයටම සුවිශේෂ වූ පැවැත්මක් සහ ඉතිහාසයක් ද ඇත. සංස්කෘතිය, ආගම, මතවාදය, බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන ලද විවරණයන් මෙසේ උපරි ව්‍යූහයේ ඇති අර්ධ ස්වාධීනත්වය අරමුණු කොට ගෙන රචනාකොට ඇත. එසේම දේශපාලන තලය පිළිබඳව ද ග්‍රාම්ස්චි නව අර්ථකථනයක් කලේය. දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදයක පරාවර්‍තනයක් වශයෙන් නොගත් ග්‍රාම්ස්චි දේශපාලන අර්බුදය සුවිශේෂ ආකාරයක, නායකත්වය සහ ආධිපත්‍ය බිඳී යෑමක් ලෙස නිර්වචනය කළේය.

අප දන්නා පරිදි අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳව සිංහලයෙන් ප්‍රකාශයට පත් වන පළමු කෘතිය මෙය වේ. පෘථුල සමාජ අර්බුදයකට මුහුණපා ඇති සමකාලීන ලාංකික සමාජයේ විවිධ දේශපාලන, සංස්කෘතික සහ මතවාදී බලවේගයන් තෙරුම් ගැනීමෙහි ලා ග්‍රාම්ස්චිගේ චින්තනය මහෝපකාරී විය හැකි බව අපේ විශ්වාසයයි. ග්‍රාම්ස්චි පිළිබඳව කරන ලද දේශන කිහිපය මෙසේ මුද්‍රණ ද්වා‍රයෙන් නිකුත් කිරීමට කම්කරු – ගොවි ආයතනය තීරණය කළේ මේ නිසාය.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ

Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ

කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා

කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා – චන්දන ජයවීර

බන්දුල විතානගේ
බන්දුල විතානගේ
විශ්ව සම්භාවනාවට පත් නාට්‍යකරුවෙක් වූ විලියම් ෂේක්ස්පියර් ශ්‍රී ලාංකේය කලා රසිකයන්ට සමීප කළ නාට්‍යකරුවා බන්දුල විතානගේයි. ඔහුට පෙර ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, අහුන්ගල්ලේ අරුණසිරි, ටෝනි රණසිංහ, ඕ. ගාමිණි ද සිල්වා වැනි අය ෂේක්ස්පියර් නාට්‍ය සිංහලට පරිවර්තනය කිරීමේ කටයුත්තට දායක වුවත් ෂේක්ස්පියර් කෘති පොදුජනයා අතරට ගෙන ගිය නිර්මාණකරුවා ලෙස ඔහු අබිසෙස් ගැන්වීම අනෙක් අයට කරන නිගරුවක් නොවේ.

බන්දුලගේ ෂේක්ස්පියර් පරිවර්තන අතිශයින්ම කාව්‍යාත්මක වන අතරම නාට්‍ය උචිත වුණා. ඔහු සිය පරිවර්තන කාර්යේදී මුල් කෘතියේ අර්ථයට හැකිතාක් සමීප වීමට වගේම භාෂා ශෛලිය ආරක්ෂා කිරීම ගැනත් උනන්දුවක් දැක් වූවා. ෂේක්ස්පියර්ගේ වැකිවල කාල අන්තරය බන්දුල සිංහල පරිවර්තනවලත් එලෙසම දකින්න ලැබෙනවා.

එය රංග කාර්යේදී නළුවන්ට මෙන්ම නිෂ්පාදකටත් විශාල පහසුවක්. ජෙරොම් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ‘මැක්බත්’ සිංහල නාට්‍ය නිෂ්පාදනයට පාදක කරගත්තේ බන්දුල විතානගේ ගේ පරිවර්තන යයි. මා ද මෙම නිෂ්පාදනයට, වේදිකා පරිපාලනයෙන් සම්බන්ධ වූ නිසා රංගයට උචිත කාව්‍යාත්මක බසක් තනා ගැනීමට ඔහු ගත් අපරිමිත වෙහෙස ගැන අත්දැකීමක් තිබෙනවා. ඔහු ඉතාම නම්‍යශීලී පුළුල් වාග් කෝෂයක් සහිත නිර්මාණකරුවෙක්. එසේ නොමැතිව මෙවැනි වික්‍රමයක් දැක්වීමට හැකියාවක් ඇතිවන්නේ නැහැ. හුදු පරිවරතයෙක් නොවී නාට්‍යකරුවෙක් වීමත් මෙම අනන්‍යතාව තවත් හේතුවක් වෙන්න ඇති.

බන්දුල විතානගේ හැම්ලට්, මැක්බත්, වැනීසියේ වෙළෙන්දා ආදී සෑම ප්‍රමුඛතම ෂේක්ස්පියර් කෘතියක්ම සිංහලට නඟා තිබෙනවා. ඔහු හැඳින්වීම සඳහා ලේක්හවුස් පුවත් ‍යොදාගත් ‘ෂේක්ස්පියර් ප්‍රතිරචකයා’ යන්න පසුව විරුදාවලියක් බවටත් පත් වුණා. බන්දුල ඔහුගේ නිර්මාණ දිවියේ දි ‘කඳුලකට වඩා සිනහව අගනේය’ යන අදහස යළි යළිත් මතු කළා. එය ඔහුගේ තේමා පාඨය වුවා යැයි පැවසිය හැකියි. මේ දහම වඩාත් හොඳින් දකින්න ලැබෙන්නේ ඔහුගේ පසුකාලීන නිර්මාණ අතරයි. “ෂේක්ස්පියර් ප්‍රතිරචකයා” ලෙස අප ඔහු හැඳින් වූවත් බන්දුල අතින් ලාංකික වේදිකාවට සිදුවු සේවය එක පරාසයකට කොටු කරන්න බැහැ. ඔහු අතින් මධ්‍යකාලීන යුගයට අයත් සම්භාව්‍ය නාට්‍ය වගේම නූතන නාට්‍යත් පරිවර්තනයව තිබෙනවා. Continue reading කලා ලොවෙන් සමුගත් ෂේක්ස්පියර් ප්‍රතිරචකයා