අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (පළමුවන කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධයෙ
පල කරන ලද ආචාර්ය උපාධි නිබන්ධය

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

පෙරවදන

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”
මහජන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර ගණනාවක්ම ක්‍රියාත්මක වූ කම්කරු – ගොවි ආයතනය විසින් සමකාලීන සමාජ – දේශපාලන චින්තනය පිළිබඳව සම්මන්ත්‍රණ ගණනාවක් සංවිංධානය කරන ලද්දේ 1985 මැද භාගයේදීය. මෙම සම්මන්ත්‍රණ මාලාවේදී තෝරාගන්නා ලද කථිකයන් විසින් විවිධ මාක්ස්වාදී චින්තකයන් පිළිබඳව දේශන පවත්වන ලදී. මෙම දේශන මාලාවේ පළමුවන දේශන කිහිපය පවත්වන ලද්දේ ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳවය. අද ලොව පුරාම ග්‍රාම්ස්චිගේ චින්තනය පිළිබඳව විශාල බුද්ධිමය උනන්දුවක් ඇති වී තිබෙන අතර ග්‍රාම්ස්චි මාක්ස්වාදී සම්ප්‍රදායේ උපරි ව්‍යූහය පිළිබඳ ප්‍රධානතම න්‍යාය වේදියා වශයෙන් අවිවාදයෙන් සලකනු ලැබේ.

ග්‍රාම්ස්චිගේ චින්තනයේ මූලික එලඹුම නම් ආර්ථික ව්‍යූහය විසින් අවසාන විග්‍රහයේදී උපරි ව්‍යූහය නිශ්චය කිරීම යාන්ත්‍රික ආකාරයට නොව ද්වන්ද්වාත්මක ආකාරයට නිර්මාණශීලීව ඉදිරිපත් කිරීමයි. මේ අනුව උපරි ව්‍යූහය අවසාන විග්‍රහයේදී ආර්ථික ව්‍යූහයෙන් නිශ්චය වන්නේ වී නමුත් උපරි ව්‍යූහයට එයටම සුවිශේෂ වූ පැවැත්මක් සහ ඉතිහාසයක් ද ඇත. සංස්කෘතිය, ආගම, මතවාදය, බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන ලද විවරණයන් මෙසේ උපරි ව්‍යූහයේ ඇති අර්ධ ස්වාධීනත්වය අරමුණු කොට ගෙන රචනාකොට ඇත. එසේම දේශපාලන තලය පිළිබඳව ද ග්‍රාම්ස්චි නව අර්ථකථනයක් කලේය. දේශපාලන අර්බුදය හුදු ආර්ථික අර්බුදයක පරාවර්‍තනයක් වශයෙන් නොගත් ග්‍රාම්ස්චි දේශපාලන අර්බුදය සුවිශේෂ ආකාරයක, නායකත්වය සහ ආධිපත්‍ය බිඳී යෑමක් ලෙස නිර්වචනය කළේය.

අප දන්නා පරිදි අන්තෝනිඕ ග්‍රාම්ස්චි පිළිබඳව සිංහලයෙන් ප්‍රකාශයට පත් වන පළමු කෘතිය මෙය වේ. පෘථුල සමාජ අර්බුදයකට මුහුණපා ඇති සමකාලීන ලාංකික සමාජයේ විවිධ දේශපාලන, සංස්කෘතික සහ මතවාදී බලවේගයන් තෙරුම් ගැනීමෙහි ලා ග්‍රාම්ස්චිගේ චින්තනය මහෝපකාරී විය හැකි බව අපේ විශ්වාසයයි. ග්‍රාම්ස්චි පිළිබඳව කරන ලද දේශන කිහිපය මෙසේ මුද්‍රණ ද්වා‍රයෙන් නිකුත් කිරීමට කම්කරු – ගොවි ආයතනය තීරණය කළේ මේ නිසාය.

ආචාර්ය නිව්ටන් ගුණසිංහ


අන්තෝනිඕ ග්‍රාම්ස්චි
කෙටි හැඳින්වීමක්

අන්තෝනිඕ ග්‍රාම්ස්චි
අන්තෝනිඕ ග්‍රාම්ස්චි
කම්කරු – ගොවි ආයතනය විසින් සංවිංධානය කර ඇති සමකාලීන දේශපාලන සහ සමාජ චින්තනය පිළිබඳ දේශන මාලාවේ පළමුවන දේශනය අන්තෝනිඕ ග්‍රාමිස්චි නම් ඉතාලි ජාතික කොමියුනිස්ට් චින්තකයා පිළිබඳව පැවැත්වීමට අප තීරණය කළෙමු. එක් අතෙකින් බලන කළ ග්‍රාම්ස්චි සමකාලීන යයි කීම වැරදි අදහසකැයි පෙනී යා හැකිය. ඊට හේතුව ග්‍රාම්ස්චි මීට අවුරුදු පණහකට පමණ පෙර, 1937 දී මිය යෑමයි. නමුත් ඇතැම් චින්තකයන්ගේ මත ඔවුන් ජීවත්ව සිටි කාලයටත් වඩ‍ා ඊට පසු කාලයන්හි වඩා දැඩි බලපෑමක් ඇති කිරීමේ ප්‍රවනතාවයක් තිබේ. සමකාලීන යුරෝපීය දේශපාලන චින්තනයේ න්‍යාය සහ භාවිතය යන ක්ෂේත්‍ර දෙකෙහිම ග්‍රාම්ස්චිගේ සංකල්පයන් පිළිබඳව වැදගත් පුනරුදයක් ඇති වී ඇත. දේශපාලනය සහ බලය පිළිබඳවත්, පක්ෂ සංවිධානය සහ පන්ති සටන පිළිබඳවත්, සංස්කෘතික සහ මතවාදය පිළිබඳවත්, කාඩර්වරුන්ගේ සහ බුද්ධිමතුන්ගේ කාර්යභාරය පිළිබඳවත්, ග්‍රාම්ස්චිගේ ප්‍රවාදයන් සමකාලීන යුරෝපීය මාක්ස්වාදී විවාදයන්ගේ මධ්‍යම ස්ථානයකට පැමිණ ඇත. එම නිසා ග්‍රාම්ස්චි දශක පණහකට පමණ පෙර මිය ගියත් ඔහුගේ චින්තනය පෙර කෙදිනකටත් වඩා සමකාලීන වී ඇත.

ග්‍රාම්ස්චි උපත ලැබුවේ දකුණු ඉතාලියානු දිවයිනක් වන සාදිනියාවේ ය. ඔහු පහළ මධ්‍යම පන්තික පවුලක ජනිත වූ අතර ඔහුගේ පියා ලේඛනාගාරයක ලිපිකරුවෙකු වශයෙන් සේවය කලේය. නමුත් ඉතා කුඩා අවධියේ දී එනම් 1897 දී ඔහුගේ පියා රැකියාවෙන් අස් කරනු ලැබීම නිසා ග්‍රාම්ස්චි පවුලට ආර්ථික වශයෙන් ඉතාමත් කම්කටොළු සහිත කාලයක් ගත කිරීමට සිදු විය. කුඩා ළමයෙකු වශයෙන් තම ජීවිතය සහ තම පවුලේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ග්‍රාම්ස්චිට සුළු වැටුපක් සඳහා වැඩ කිරීමට සිදු විය. පසුව වැඩිහිටියෙකු වශයෙන් ඔහු තම බිරිඳගේ සහෝදරියකට ලියන ලද ලිපියක සඳහන් කර තිබෙන පරිදි “මගේ ළමා කාලය ගැන කල්පනා කරන විට මට මතක් වන්නේ එක්තරා ලේඛනාගාරයක්ය. එම ලේඛනාගාරයේ ළමා කම්කරුවෙකු වශයෙන් මා වැඩ කරන ලද අතර එහිදී අවුරුදු දහයක පමණ ළමයෙකු වශයෙන් මට බරින් ඉතා වැඩි ලේඛන ගොනු එහා මෙහා ගෙන යාමට සිදු විය. හැන්දෑවත්ම මගේ ශරීරය වේදනා දෙන්නට පටන් ගත් අතර, මේ නිසා මම සැඟවී වැලපී ඇත්තෙමි”. දුගී පවුලක දරුවෙකු වශයෙන් ග්‍රාම්ස්චි ගතකල කටුක ජීවිතය මෙයින් පැහැදිලිව පෙනේ. ග්‍රාම්ස්චි වරින් වර උසස් අධ්‍යාපන ආයතන සහ විශ්ව විද්‍යාලවල ඉගෙන ගත්තේ වී නමුත් ඔහුගේ නියම අධ්‍යාපනය එම ආයතන වලින් ලබාගත්තා යැයි කීම උගහටය. මැක්සිම් ගෝර්කි විසින් තම ආත්ම කථාව වෙලුම් තුනක් වශයෙන් ලියා ඇති අතර, ඒවාට පිළිවෙලින් “මගේ ළමා කාලය”, “මගේ ආධුනිකත්වය” සහ “මගේ විශ්ව විද්‍යාලයන්” යනුවෙන් නම්කර ඇත. ඔහු විශ්ව විද්‍යාලයන් යනුවෙන් හඳුන්වන්නේ ජීවත් වීමෙන්, මිනිසුන් ආශ්‍රය කිරීමෙන්, පන්ති සටනේ යෙදීමෙන්, ඔහු ලබා ගත් අවබෝධයයි. මෙය ගෝර්කිට මෙන්ම ග්‍රාම්ස්චිට ද එකසේ යෙදෙයි. තරුණ අවදියේදී ඉතාලි කම්කරු පන්තියේ ප්‍රධානතම පක්ෂය වූ ඉතාලි සමාජව‍ාදී පක්ෂයේ ක්‍රියාත්මක සාමාජිකයෙකු වූ ග්‍රාම්ස්චි ඔහුගේ පරම්පරාවේ සෑම සටන්කාමියෙකු මෙන්ම 1917 ඔක්තෝබර් විප්ලවයෙන් මහත් ආශ්වාදයක් ලැබීය. ලෙනින් විසින් මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරලන ලද බව ග්‍රාම්ස්චිගේ මතය විය. ලෙනින් විසින් නායකත්වය දෙන ලද තුන්වන අන්තර්ජාතිකයට සම්බන්ධ විය යුතුය යන්න ඉතාලි සමාජවාදී පක්ෂයේ අති බහුතරයගේ මතය වූ අතර, එම ස්ථාවරය මත ඉතාලි කොමියුනිස්ට් පක්ෂය බෝර්ඩිගා ග්‍රාම්ස්චි සහ ටොගලියාට්ටි වැනි සටන්කාමීන්ගේ නායකත්වය යටතේ විකාශනය විය. 1920 වන විට ග්‍රාම්ස්චි ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගේ තනතුරට පත් විය. නමුත් මෙය ඉතාලි දේශපාලන සමාජයේ උත්සන්න වූ අර්බුදයක් උදාවූ සමයක් විය. 1920-21 සමයේ ඉතාලි නගරය සිසාරා කම්කරු පන්තිය විප්ලවකාරී සටන් මාලාවක් දියත් කරන ලද අතර මෙය ‘කර්මාන්ත ශාලා කමිටු ව්‍යාපාරය’ යනුවෙන් හඳුන්වන ලදී. මෙම සටන් ක්‍රියාමාර්ගය යටතේ කර්මාන්තශාලාවල පාලනය කම්කරු කමිටු විසින් අල්ලා ගන්නා ලදී. නමුත් රුසියාවේ මෙන් නොව මෙම කම්කරු සටන් ව්‍යාපාරයට ජනතාවගේ බහුතරය වූ ගොවීන්ගේ සහයෝගය නොලැබිණ. එමනිසා කර්මාන්තශාලා සහ වැඩපලවල් අල්ලා ගැනීමේ සටන පවතින රාජ්‍යය බිඳ දමා ඒ මත නිර්ධන පන්තික ආඥාදායකත්වයක් ගොඩනැංවීම දක්වා කුලුගැන්වීම කළ නොහැක්කක් විය.

රෝමය වෙත පා ගමන
රෝමය වෙත පා ගමන
ඉතාලි පැසිස්ට්වාදය වර්ධනය වන්නේ මෙම පරිපූර්ණ දේශපාලන අර්බුදයේ වාතාවරණය යටතේය. පැරණි ඉතාලි සමාජවාදී පක්ෂයේ නායකයන්ගෙන් කෙනෙකු වන බෙනිටෝ මුසෝලීනි පැසිස්ට්වාදී ව්‍යාපාරය දියත් කරන අතර නිර්ධන පන්තික විප්ලවයකට බිය වූ සියලුම පන්ති සහ ස්ථරයන් මෙම පැසිස්ට්වාදී ව්‍යාපාරය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට මුසෝලීනි සමත් විය. 1923 රෝමය වෙත එල්ල කරනු ලබන පා ගමනකින් මුසෝලීනි රාජ්‍ය බලය අල්ලා ගන්නා අතර, ඉන් පසුව සියලු සමාජවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ට විරුද්ධව ඔහු විසින් දේශපාලනමය වූත් සන්නද්ධමය වූත් මර්ධනයක් දියත් කරනු ලැබීය. මෙම මර්ධනය උත්සන්න වෙත්ම 1928 මැයි මාසයේදී පැසිස්ට්වාදීන් විසින් ග්‍රාම්ස්චි සිරගත කරනු ලැබීය. ඔහු විනිශ්චය කළ පැසිස්ට්වාදී විනිශ්චයකරු ප්‍රකාශ කළ හැටියට “අඩු වශයෙන් අවුරුදු විස්සකට මෙම මොළයේ ක්‍රියාකාරීත්වය නැවැත්විය යුතුය. ග්‍රාම්ස්චි සිරගත කිරීමේදී පැසිස්ට්වාදී පියවර සාර්ථක වූ නමුත් ඔහුගේ මොළයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමේ අභිලාශය ඉටු නොවීය. 1928 සිට 1937 අප්‍රේල් මස දක්වා ඔහු සිර ගෙදර ගතකරන ලද කාලය ග්‍රාම්ස්චි විසින් දේශපාලනය, සංස්කෘතිය හා මතවාදය පිළිබඳ ප්‍රශ්නයන් සවිස්තරාත්මක ලෙස හැදෑරීමටත්, ඒ පිළිබඳව එතෙක් මාක්ස් ලෙනින්වාදී සම්ප්‍රදායේ නොතිබුණු නවතම ප්‍රවාදයන් සහ නිගමනයන් ඉදිරිපත් කිරීමටත් යොදා ගන්නා ලදී. සාමාන්‍ය වශයෙන් වුවත් ග්‍රාම්ස්චි හොඳ සෞඛ්‍ය තත්වයක් නොතබූ අයෙකු වූ අතර සිර ගෙය තුළ මෙම සෞඛ්‍ය තත්වය වඩාත් නරක අතට හැරෙන්නට විය. ඔහු ඉතා අසාධ්‍ය මට්ටමේ රෝගියෙකු වශයෙන් 1937 අප්‍රේල් මාසයේ දී සිරගෙයින් නිදහස් වූ අතර, එම මාසයේම අගභාගයේදී සදහටම දෙනෙත් පියා ගත්තේය.

දේශපාලන විග්‍රහය පිළිබඳ ග්‍රාම්ස්චිගේ මූලික සංකල්ප

බෙනඩික්ටෝ ක්‍රොචේ
බෙනඩික්ටෝ ක්‍රොචේ
එක් අතෙකින් බලන විට ග්‍රාම්ස්චි මාක්ස්ගේ හා ලෙනින්ගේ චින්තනයේ උරුමක්කාරයෙකු වන අතර, අනෙක් අතින් බලන විට ඔහු සම්භාව්‍ය ඉතාලියානු දේශපාලන චින්තනයේ ද උරුමක්කාරයෙකු වෙයි. සම්භාව්‍ය ඉතාලියානු දේශපාලන චින්තනයේ ආරම්භකයා දහසය වන ශතවර්ෂයේ ජීවත් වූ නිකොලෝ මකියාවෙල්ලිය. දේශපාලන චින්තනය දේවධර්ම ශාස්ත්‍රයෙන් වෙන්කර ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් වශයෙන් ගොඩනැගීමට මුල්ගල තබන ලද්දේ මකියාවෙල්ලි විසිනි. පාලකයෙකු විසින් තම ආධිපත්‍යය ස්ථීර කිරීමටත් වර්ධනය කිරීමටත් ගතයුතු පියවරයන් පිළිබඳව චර්යාධර්මික නොවන දේශපාලන දෘෂ්ඨි කොණයකින් ප්‍රවාදයන් පළමුවරට ඉදිරිපත් කරන ලද්දේ මකියාවෙල්ලි විසිනි. ඉන් පසුව මෙම සම්භාව්‍ය ඉතාලියානු දේශපාලන චින්තනය ගයම්බටිස්ටා විකෝ, බෙනඩික්ටෝ ක්‍රොචේ, වැනි චින්තකයන් විසින් ඉදිරියට ගෙන යන ලද අතර, මෙම සම්ප්‍රදායේ බලපෑම ග්‍රාම්ස්චිගේ විග්‍රහයන්ගේ තිබෙන බව අවධාරණය කළ යුතුය.

සමකාලීන ප්‍රංශ මාක්ස්වාදී දාර්ශනිකයෙකු වන ලුඊ අල්තූසර් පෙන්වා දෙන පරිදි මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව ඉදිරිපත් වී ඇති න්‍යායික ප්‍රවාදයන්ගෙන් ග්‍රාම්ස්චිගේ ප්‍රවාදයන් ප්‍රමුඛ වැදගත් කමක් දරයි. එයින් ඔහු අදහස් කරන්නේ ග්‍රාම්ස්චි විසින් දේශපාලන ක්ෂේත්‍රය යම්තාක් දුරකට අර්ධ ස්වාධීන ක්ෂේත්‍රයක් වශයෙන් ගෙන, එම ක්ෂේත්‍රයට සුවිශේෂ වශයෙන් යෙදෙන ප්‍රවාදයන් ඉදිරිපත් කර ඇති බවත් මෙම ප්‍රවාදයන් එම ක්ෂේත්‍රයට ඉතා විනිවිද යන ආකාරයෙන් යෙදෙන බවත් ය. බොහෝ ප්‍රංශ මාක්ස්වාදී චින්තකයන් ගත් කල ඔවුන්ගේ ප්‍රධාන කෘතීන් ආර්ථික ව්‍යූහය පිළිබඳව ලියැවී ඇත. මාක්ස්ගේ ප්‍රමුඛ කෘතිය ‘ප්‍රාග්ධනය’ වන අතර, ධනේශ්වර නිශ්පාදන රටාවේ චලනය පිළිබඳව නියාමනයන් කවරේද? යන්න අනාවරණය කිරීම මෙම කෘතියේ අරමුණ වෙයි. ලෙනින්ගේ ප්‍රමුඛ කෘතිය ‘රුසියාවේ ධනවාදයේ සංවර්ධනය’ යන අතර, රුසියාව තුළ නැවත පිටුපසට හැරවිය නොහැකි ලෙසින් ධනවාදය වර්ධනය වී ඇති බවත්, එයින් ඇතිවන ප්‍රතිවිරෝධයන් සමනය කළ හැක්කේ සමාජවාදී විප්ලවයක් තුළින් පමණක් බවත් ස්ථාපිත කිරීම මෙම කෘතියේ අරමුණ වෙයි. රෝසා ලක්සම්බර්ග්ගේ ප්‍රමුඛ කෘතිය ද ප්‍රාග්ධනය සංචිත කිරීම සහ එයින් ඇතිවන ප්‍රතිවිරෝධයන් පිළිබඳව වෙයි. නමුත් ග්‍රාම්ස්චි විසින් ලියන ලද ආර්ථිකය පිළිබඳව මෙවැනි සවිස්තරාත්මක කෘතියක් නොමැත. ඔහුගේ සුවිශේෂ ක්ෂේත්‍රය වූයේ දේශපාලනය, සංස්කෘතිය සහ මතවාදයයි. උපරි ව්‍යුහය පිළිබඳව, මාක්ස්වාදී චින්තන රටාව තුළ ඉතාමත්ම පොහොසත් ආකාරයටත්, ඉතාමත්ම විනිවිද යන ආකාරයටත් ප්‍රවාදයන් ඉදිරිපත් කළ චින්තකයා ග්‍රාම්ස්චි වෙයි. එමනිසා උපරි ව්‍යුහය පිළිබඳව ප්‍රධාන න්‍යාය වේදියා වශයෙන් ග්‍රාම්ස්චි හඳුන්වා දීම වරදක් නොවේ යැයි සිතමි. මාක්ස්වාදී සම්ප්‍රදායට අනුව නිෂ්පාදන බලවේග, නිෂ්පාදන සම්බන්ධතාවයන් සහ අතිරික්තය උද්ධරණය කිරීමේ මාර්ග අපි ආර්ථික ව්‍යූහය වශයෙන් ගනිමු. මෙම ආර්ථික ව්‍යූහය මත තලයන් දෙකකින් සංයුක්ත වූ උපරි ව්‍යුහයක් පිහිටා ඇත. මෙයින් එක්තරා තලයක් දේශපාලනය සහ බලය පිළිබඳ සම්බන්ධතාවයන්ගෙන් සකස් වී තිබෙන අතර අනෙක් තලය සංස්කෘතිය, ආගම සහ මතවාදයන්ගෙන් සකස් වී ඇත. අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ නවතම න්‍යායික එකතු කිරීම් වලින් කෙරෙන්නේ මෙම උපරි ව්‍යුහය ගවේශනය කිරීමයි. ආර්ථික ව්‍යූහය හා උපරි ව්‍යුහය අතර ඇති සම්බන්ධතාවයන් ඇතැම් අයවලුන් විසින් යාන්ත්‍රික ලෙස තේරුම් ගැනීම නිසා බොහෝ න්‍යායික වැරදි සිදු වී ඇත. ඇතැම් විටෙක ආර්ථිකය විසින් අවසන් විග්‍රහයේදී නිශ්චය කිරීම, ආර්ථිකය විසින් සමාජ ජීවිතයේ සෑම අංශයක්ම සෘජුව පාලනය කිරීමක් වශයෙන් වරදවා වටහාගෙන ඇත. නමුත් මාක්ස් විසින් ප්‍රාග්ධනය පිළිබඳ කෘතියේ කරනු ලබන ක්‍රමවේදය පිළිබඳ එක්තරා ප්‍රකාශනයක මේ පිළිබඳව පැහැදිළිවූත්, නිවැරදිවූත්, ප්‍රස්තුත ගත කිරීමක් කර ඇත. මාක්ස් පෙන්වා දෙන පරිදි ආර්ථිකය විසින් අවසාන විග්‍රහයේදී උපරි ව්‍යූහය නිශ්චය කිරීම පිළිබඳ ප්‍රවාදය වර්තමාන ධනවාදී නිෂ්පාදන රටාවට පූර්ණ වශයෙන් යෙදෙන්නේ වී නමුත් ඇතැම් ඓතිහාසික නිෂ්පාදන රටාවන්ට එම ප්‍රවාදය යෙදෙන්නේ වෙනස් ආකාරයකිනි. පැරණි රෝමන් අධිරාජ්‍යයේ ස්වාධිපත්‍යය දරණ ලද්දේ දේශපාලනය විසිනි. මධ්‍ය කාලීන යුරෝපයේ ප්‍රධාන කාර්යභාරය ඉටුකරන ලද්දේ කතෝලික පල්ලිය විසිනි. මෙයින් පැහැදිළිව පෙනී යන පරිදි ඇතැම් සමාජ ව්‍යූහයන්හි ආර්ථිකය නොවන වෙනත් තලයක් ආධිපත්‍යයේ සිටිය හැකිය. නමුත් මෙවැනි සමාජ ව්‍යූහයන්හි පවා කුමන තලයක් ආධිපත්‍යයේ සිටින්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ ආර්ථික සංවිධානය විසිනි. ආර්ථික ව්‍යූහය හා උපරි ව්‍යූහය අතර ඇති මෙම සංකීර්ණ සම්බන්ධතාවය විශේෂ වශයෙන්ම දෙවන අන්තර්ජාතිකයේ ප්‍රතිසංස්කරණවාදීන් විසින් නිවැරදිව වටහා ගත්තේ නැත.

සිරගෙදර සටහන්
සිරගෙදර සටහන්
අද දේශනය සඳහා පාඨ ග්‍රන්ථය වශයෙන් අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ ‘සිරගෙදර සටහන්’ නමැති කෘතිය ගැනීමට බලාපොරොත්තු වෙමි. දැනට ඉංග්‍රීසි පරිවර්තනයකින් අපට ලැබී ඇත්තේ පිටු දෙදහසකටත් අධික මෙම කෘතියේ තෝරා ගන්නා ලද කොටස් පමණි. නමුත් මෙම සටහන් වලින් ඉතා වැදගත් කොටස් මෙම වෙලුමේ අඩංගු කිරීමට සංස්කාරකවරුන් සමත් වී ඇත. මා සිතන පරිදි ‘සිරගෙදර සටහන්’ වලට ප්‍රවිශ්ඨ වීමේ පහසු මාර්ගයක් නම් මෙහි ඇති එක් දීර්ග රචනාවක් වන ‘නූතන පාලකයා’ යන කෘතියෙන් ඊට පිවිසීමයි. පාලකයා පිළිබඳව ප්‍රථම කෘතිය ලියන ලද්දේ නිකොලෝ මකියාවෙල්ලි විසිනි. ඔහුගේ සමයේ දේශපාලන සංවිධානයට අනුව රාජ්‍ය ප්‍රධානියෙකු වූයේ කුමාරයෙකි. එම කුමාරයා නැතහොත් රාජ්‍ය පාලකයා දේශපාලන ක්ෂේත්‍රයේ කෙසේ ක්‍රියාත්මක විය යුතු ද යන්න මෙම ග්‍රන්ථයේ විෂය ක්ෂේත්‍රය වේ. උදාහරණ වශයෙන් මකියාවෙල්ලිගේ ඇතැම් ප්‍රවාදයන් කැටිකර දැක්විය හැකිය. “රාජ්‍ය පාලකයෙක් ආගමික විය යුත්තේම නැත. නමුත් රටේ ජනතාව ආගමික නම් ඔහු තමා ආගමික බව ජනතාවට පෙනෙන පරිදි කටයුතු කළ යුතුය.” මෙයින් මකියාවෙල්ලි කීමට උත්සාහ ගන්නේ පාලකයෙකු ආගමික වීමේ හෝ ආගමික නොවීමේ විශේෂ දේශපාලනමය වැදගත් කමක් නොමැති බවයි. නමුත් දේශපාලන වශයෙන් වැදගත් වන්නේ ජනතාව විසින් පාලකයා අවලෝකනය කරන ආකාරයයි. මකියාවෙල්ලිගේ තවත් ප්‍රවාදයක් නම් ‘අන්තය විසින් මාර්ග සාධාරණීකරණය කරනු ලබන’ බවයි. මෙයින් ඔහු අදහස් කරන්නේ යම්කිසි අරමුණක් හෝ යම් කිසි අවසානයක් හොඳ අන්තයක් වන්නේ නම් එම අරමුණ ශාක්සාත් කිරීම සඳහා ඔනෑම මාර්ගයක් යොදා ගතයුතු බවය. මෙය මෙසේ නම් හොඳ අන්තයක් ලබා ගැනීම පිණිස නරක මාර්ග යොදා ගැනීම සාධාරණය. මකියාවෙල්ලිගේ දේශපාලන විග්‍රහයේ ප්‍රම්ඛ ලක්ෂණයක් නම් භාවාතිශය හැඟීම් වලට යටත් නොවී එම හැඟීම් වලින් වියුක්තව දේශපාලන ක්ෂේත්‍රය දෙස බැලීමට ඔහුට තිබූ හැකියාවයි. දේශපාලන චින්තකයෙකු වශයෙන් එවකට කුඩා රාජ්‍ය ගණනාවකට කැඩී බිඳී තිබූ ඉතාලිය එක්සත් කළ යුතු යැයි ඔහු අදහස් කලේය. මෙම ප්‍රශ්නය පිළිබඳව ඔහු භාවාතිශය හැඟීම් වලින් තොරව විෂය මූලික ආකාරයේ විග්‍රහයක් කරයි. “ඉතාලිය එක්සත් කිරීම පිළිබඳ ප්‍රශ්නය විසඳීමට අපහසු එකක් වී ඇත්තේ එක් අතෙකින් පාප් වහන්සේ ඉතාලිය එක්සත් කිරීමට තරම් ප්‍රභල නොවන අතර, අනෙක් අතින් වෙනත් යමෙක් විසින් ඉතාලිය එක්සත් කිරීම වැලික්වීමට තරම් බලවත් වීම” නිසාය. මේ නයින් බලන විට ඉතාලිය එක්සත් කිරීම දේශපාලන අරමුණ නම්, මේ අරමුණ පාප් වහන්නේ විසින් හෝ වෙනත් කුමාරයෙකු විසින් හෝ කිරීමට හැකි නම් එහි වරදක් නැත. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පාප් වහන්සේ ඉතාලිය එක්සත් කිරීමට තරම් ප්‍රභල නොවන අතර, වෙන යමෙක් එසේ නිරීමෙන් වැළැක්වීමට තරම් බලවත් වීමය. මෙය ප්‍රස්තුත ගත කිරීමේ දී ඉතාලිය එක්සත් කිරීමේ දේශපාලන ප්‍රශ්නය මකියාවෙල්ලි විසින් ඉතා නිවැරදිව විනිවිද යන ලෙස වටහාගෙන ඇත. තවත් උදාහරණයක් ලෙස අන්‍ය රාජ්‍යයන් අල්ලා ගැනීම පිළිබඳව ඔහු පාලකයාට දෙන අවවාදය ගත හැකිය. මකියාවෙල්ලි රාජ්‍යයන් කොටස් දෙකකට බෙදා දක්වයි. පළමුවන වර්ගයේ රාජ්‍යයන් ඔහුගේ සමයේ එනම් දහසය වන ශතවර්ෂයේ තූර්කි සුල්තාන්ගේ රාජ්‍යය වැනි මධ්‍යගත රාජ්‍ය තන්ත්‍රයක් ඇති රාජ්‍යයන්ය. මෙම රාජ්‍යයන්හි මධ්‍යගත නිලධාරී තන්ත්‍රයක් තිබෙන අතර සුල්තාන්වරයාගේ ස්වාධිපත්‍ය පරිපූර්ණ ස්වාධිපත්‍යයක් වෙයි. ඔහුගේ සෑම ආඥාවක්ම ඔහු යටතේ සිටින නිලධාරී තන්ත්‍රය සහ ප්‍රාදේශිය පාලනයක් විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. දෙවන වර්ගයේ රාජ්‍යයන්ට උදාහරණයක් වශයෙන් ඔහු සමකාලීන, එනම් දහසය වන ශතවර්ෂයේ ප්‍රංශය ගනී. මෙම සමයේ ප්‍රංශයේ රජකෙනෙකු සිටින නමුත් මධ්‍යගත ස්වාධිපත්‍යයක් නොතිබුනේය. පළාත් ආන්ඩු කරන ලද්දේ ස්වාධීන සහ ස්වෛරී බලතල තිබූ වංශාධිපතියන් විසිනි. ඔවුන්ට කෙලින්ම ආඥාවක් නිකුත් කිරීමට තරම් රජු බලසම්පන්න නොවීය. මකියාවෙල්ලි පවසන පරිදි පළමුවන වර්ගයේ එනම් මධ්‍යගත ස්වරූපයේ රටවල් යටත් කර ගැනීම අපහසුය. නමුත් යටත් කර ගැනීමෙන් පසුව දිගටම පාලනය කිරීම පහසුය. දෙවන වර්ගයේ රටවල් එනම් වැඩවසම් දේශපාලන සංවිධානයක් පැවති මධ්‍යගත පාලන තන්ත්‍රයක් නොමැති රටවල් යටත් කර ගැනීම පහසුය. නමුත් දිගටම පාලනය කිරීම අපහසුය. මධ්‍යගත රාජ්‍යයක විශාල මධ්‍යගත හමුදාවක් ද ඇති හෙයින් යුද්ධයෙන් මෙම හමුදාව පරාජය කිරීම උගහටය. නමුත් යම් හෙයකින් එසේ පරාජය කළහොත් මධ්‍යගත රාජ්‍ය තන්ත්‍රය ආක්‍රමණිකයාට හිමි වෙයි. මේ මධ්‍යගත රාජ්‍ය තන්ත්‍රය තුළින් රට පහසුවෙන් පාලනය කළ හැකිය. සමකාලීන ප්‍රංශය වැනි රටවල එවැනි මධ්‍යගත හමුදාවක් නොමැත. එමනිසා එවැනි රටක් යටත් කර ගැනීම පහසුය. නමුත් ඒ යටත්කර ගැනීමෙන් පසුව ආක්‍රමණිකයාට උරුම වන මධ්‍යගත රාජ්‍යතන්ත්‍රයක් නැත. ස්වාධීන සහ ස්වෛරී බලයක් ඇති ප්‍රාදේශීය වංශාධිපතියන් විසින් ඔහුට විරුද්ධව කැරලි ගසනු ඇත. එම නිසා එවැනි රටවල් යටත් කර ගැනීමෙන් පසුව පාලනය කිරීම අපහසුය.

නිකොලෝ මකියාවෙල්ලි
නිකොලෝ මකියාවෙල්ලි
මකියාවෙල්ලි එම සමයේ පාලන බලයේ සිටි චින්තකයන් සහ කතෝලික පල්ලිය විසින් තරයේ හෙලා දකින ලද චින්තකයෙකු විය. විශේෂයෙන්ම “දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව චර්යා ධර්මයන්ගෙන් තොරව විග්‍රහයන් ඉදිරිපත් කළ යුතුය” යන ඔහුගේ මතය එකල ‘ධර්මිෂ්ඨ සමාජයකට’ සහයෝගය දුන් විවේචකයන්ගේ තියුණු විවේචනයට හසු විය. මෙම විවේචනයන් පළපුරුදු පාලක පන්තිවලින් ජනිත වන විවේචනයන් ලෙස දක්වන ග්‍රාම්ස්චි මෙම විවේචනයන්හි සමාජ සම්භවය කුමක්ද? යන්න අනාවරණය කරයි. ග්‍රාම්ස්චි දක්වන ආකාරයට මෙම සමයේ දී මකියාවෙල්ලි නියෝජනය කළේ ඉතාලියානු නගරවල සංකේන්ද්‍රණය වී සිටි ධනවත් වාණිජ කොට්ඨාශයන් ය. ඉතාලිය එක්සත් කිරීමේ සටන් පාඨය හා අරමුණ එම සමාජ ස්ථරයෙන් පැන නැඟුනු අවශ්‍යතාවයක් විය. වැනිස්, ෆ්ලෝරන්ස් වැනි නගරවල රාශිභූත වී සිටි මෙම වාණිජ ස්ථරයන් තම වෙළඳපළ වඩාත් පළල් කර ගැනීම උදෙසා එවැනි ජාතික එක්සත් භාවයක අරමුණ ප්‍රාර්ථනා කළහ. මෙම සටන් පාඨයට විර්ද්ධව එළඹෙන කොටස් වනාහි පැරණි වැඩවසම් ඉතාලියේ පාලක සමාජ ස්ථරයන් ය. මෙම සමාජ ස්ථරයන්ගේ ආර්ථික පදනම විශාල ඉඩම් අයිතිය මත රඳා පැවතුනි. මෙම ඉඩම් අයිතිකරුවන් අතර ප්‍රධානතම ආයතන ගත ඉඩම් හිමිය‍ානම් කතෝලික පල්ලියයි. එම නිසා ඉතාලිය එක්සත් කිරීමේ අරමුණට එදිරිව දිවෙන්නේ කතෝලික පල්ලිය හා වංශාධිපති සමාජ ස්ථරයන් ය. ග්‍රාම්ස්චිට අනුව දේශපාලන ක්ෂේත්‍රය සමඟ චර්යා ධාර්මික සහ සදාචාරාත්මක මතයන් පටලා නොගැනීමේ පළපුරුදු පාලක පන්තියකට හුරුපුරුදු කාරණයකි. ඒ අනුව මකියාවෙල්ලි විසින් මෙපමණ කලක් කවුරුත් නොදැන සිටි නව මතයක් ඉදිරිපත් කළා නොවේ. නමුත් ග්‍රාම්ස්චි පෙන්වා දෙන පරිදි මෙම කාරණය නොදන්නා විශාල පිරිසක් පාලන බලය නොහිමි පන්තිවල සිටිති. මකියාවෙල්ලි ආමන්ත්‍රණය කරන්නේ ස්ථාපිත පාලන පන්තීන්ට නොව මෙම, පාලන බලය අහිමි, එම නිසාම මේ කරුණ නොදන්නා සමාජ ස්ථරයන්ටය. සමකාලීන ඉතාලියේ මෙය නොදන්නා පන්තිවලින් එකක් වූයේ නාගරික වාණිජමය පන්තියයි. නමුත් පලපුරුදු පාලක කොටස් වශයෙන් මෙම ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කළ ක‍තෝලික පල්ලියේ දේවධර්ම ශාස්ත්‍රඥයන් මකියාවෙල්ලි විසින් ඉදිරිපත් කරන ලද මත හෙලා දැක ඔහු යකෙකු මෙන් සිත්තම් කිරීමට උත්සාහ ගත්හ.

නූතන පාලකයා පිළිබඳ තම කෘතියේ ග්‍රාම්ස්චි ඉදිරිපත් කරන ප්‍රශ්න ගණනාවෙන් ප්‍රමුඛ ප්‍රශ්නයක් නම් මකියාවෙල්ලිගේ ප්‍රශ්නය සමකාලීන අපට ඉදිරිපත් කළ හැකිද? යන්නයි. මකියාවෙල්ලි “පාලකයා කෙසේ ක්‍රියා කළ යුතුද?” යන ප්‍රශ්නය ඉදිරිපත් කරා. විවිධ දේශපාලන තත්ත්වයන් ආශ්‍රයෙන් එම ප්‍රශ්නයට පිළිතුරු සපයයි. සමකාලීන සමාජවාදීන්ට පාලකයා කුමක් කල යුතුද? යන ප්‍රශ්නය ඉදිරිපත් කළ නොහැක. සමකාලීන දේශපාලන සමාජයේ පාලකයා වන්නේ එක් පුද්ගලයෙකු නොව සංවිධානයකි. එම සංවිධානය වූ කලී විප්ලවකාරී පක්ෂයයි. ග්‍රාම්ස්චි හැම විටම විප්ලවකාරී පක්ෂය පවතින රජයට ප්‍රතිපක්ෂ විකල්ප ප්‍රතිපක්ෂයක් ලෙස සැලකීය. එමනිසා ග්‍රාම්ස්චි විසින් ඉදිරිපත් කරන ප්‍රශ්නය “විප්ලවකාරී සංවිධානයක ක්‍රියා මාර්ගය සඳහා මකියාවෙල්ලිගේ මත යොදා ගන්නේ කෙසේද?” යන්නයි. මෙතැන්හි දී ග්‍රාම්ස්චි ඉතා විශාල න්‍යායික පිම්මක් පනියි. ඊට හේතුව නම් බොහෝ සමාජවාදී කණ්ඩායම් අතරද මකියාවෙල්ලි කපටි, කෛරාටික, කේවට්ටයෙකු වශයෙන් ප්‍රසිද්ධ වී තිබීමයි. ග්‍රාම්ස්චි විසින් මෙම දුරාවබෝධය නැතිකර දමන අතර මකියාවෙල්ලිගේ චින්තනයෙන් නූතන විප්ලවවාදී ව්‍යාපාරයට ලබා ගත හැකි න්‍යායික පෝෂණය ඔහු නොමැලිව එම ව්‍යාපාරයට අත්කර දුන්නේය.

තව කොටසක් ඉදිරියට

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Advertisements

2 thoughts on “අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ”

  1. මෙම ලිපිය පිටපත් කරගන්නට අපේ අවසරය අවශ්‍ය නැහැ. මෙම ලිපියේ අයිතිය ඇත්තේ අපට නොවෙයි. අප කරන්නේ එය පාඨකයන්ට ලබා ගත හැකි වන පරිද්දෙන් මෙහි ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. අපේ ඉල්ලීම, උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න යන්න පමණයි. : ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )