වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්

වම සහ ජනාධිපතිවරණය ගැන තීසිස 11ක්
සුමනසිිරි ලියනගේ
සුමනසිිරි ලියනගේ

සුමනසිිරි ලියනගේ විසිනි

1. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල නිකුත්වීම සමග ජනාධිපතිවරණයකදී වමේ ස්වාධීන අපේක්‍ෂකයෙකු පිළිබඳ අදහස තවදුරටත් වලංගු ද යන්න ගැන කුකුසක් වමේ සහෝදරවරු අතර පැන නැඟී ඇති හෙයින් මෙම කරුණ ගැන බරපතල ලෙස සාකච්ඡා කිරීම අවශ්‍ය වන්නේය. ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල ආණ්ඩුව වෙතින් ජනයා ඉවත්වීමක් පැහැදිළිව පෙන්වයි. එක්සත් ජනතා නිදහස් සංධානයේ ඡන්ද ප‍්‍රතිශතය අඩු වූ අතර ආසන සංඛ්‍යාව හයකින් අඩුවිය. මොනරාගල දිස්ත‍්‍රික්කයට වැඩි ආසන ගණනක් ලබා නොදුන්නේ නම් එක්සත් ජනතා නිදහස් සංධානයට වැඩි ආසන ගණනක් ලබා ගන්න තිබුනේ ද යන ප‍්‍රශ්නය ද කෙනෙකුට නැගිය හැක. ස්වභාවයෙන්ම මැතිවරණ වාසිය ගියේ එක්සත් ජාතික පක්‍ෂයට ය. එහි ආසන සංඛ්‍යාව වැඩි වූ අතර එහි ඡුන්ද සංඛ්‍යාව 100‍% කින් ඉහල ගියේ ය. මෙම ප‍්‍රවණතාව ඉදිරියට ගියහොත් ඊලඟ ජනාධිපතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය පරාජය වීමට ඇති ඉඩකඩ ප‍්‍රතික්ෂේප කල නොහේ. වමේ සමහර සහෝදරවරුන් අද නගන අදහසට තරමක සමාන අදහසක් මෙයට පෙර කුමාර් ඩේවිඩ් සහ කුමුදු කුසුම් කුමාර වැනි සහෝදරවරු ඉදිරිපත් කළහ.

2. අද ඉදිරිපත් කෙරෙන අදහස මෙසේ සාරාංශ කළ හැක. එක්සත් ජනතා නිදහස් සංධානයට එරෙහි ජන පෙළගැස්මක් ශක්තිමත්ව ගොඩ නැගෙන බව ඌව පලාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල පෙන්නුම් කරයි. (එය සත්‍යයකි.) මෙම ජන පෙල ගැස්ම සමග වම සිටිය යුතුය. එසේ නොවුනහොත් වම මෙම ප‍්‍රවාහයෙන් තනි වන්නේය. (කිසියම් ප‍්‍රමාණයකට සත්‍යයකි.) එය වම යලි ගොඩ නැඟීමට බාධාවකි. එපමණක් නොවේ. එසේ කිරීම මගින් මහින්ද තන්ත‍්‍රය පරාජය කිරීමට අවහිර කරන්නන් ලෙස වම හංවඩු ගැසිමකට ලක්වනු ඇත. එපමණක් නොවේ. එය වක‍්‍ර ලෙස මහින්ද තන්ත‍්‍රයට ආධාර කරන්නක් වන්නේය. මෙම ගැටලූව සඳහා (ඇත්තටම එය ගැටලූවක් ද?) මෙම සහෝදරවරු ඉදිරිපත් කරන විසඳුම කුමක්ද? මෙහිදී ඔවුන් කුමාර් ඩේවිඩ් සහ කුමුදු කුසුම් කුමාර වැනි සහෝදරවරුන්ගෙන් වෙනස් වේ. ඔවුන්ගේ අදහස වම ස්වාධීන මැතිවරණ ව්‍යාපාරයක් ගෙන යා යුතු අතර එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට දෙවන මනාපය දෙන ලෙස වමට යෝජනා කල යුතුය යන්නයි. එමඟින් ඔවුන් තර්ක කරන්නේ එම ජන බලවේගය සමග සිටින අතරම වාම වැඩ පිලිවෙලක් ද වෙනුවෙන් පෙනී සිටීමට හැකි වන බව ය.

3. උක්ත අදහස 1964 වන තෙක් සමසමාජ සම්ප‍්‍රදාය විසින් ද 2005 වන තුරු ජනතා විමුක්ති පෙරමුණු සම්ප‍්‍රදාය විසින් ද ප‍්‍රතික්ෂේප කළ එකකි. එසේ කීමෙන් පමණක් එම අදහස අද ට වලංගු නොවන්නේ යැයි ප‍්‍රතික්ෂේප කළ නොහේ. එම නිසා එය පිළිගැන්ම හෝ ප‍්‍රතික්ෂේප කිරීම කළ යුත්තේ බරපතල සාකච්ඡාවකින් පසුව ය. මෙම සටහන එවන් සාකච්ඡාවකට මුල පිරීමකි.

4. ආරම්භයේදීම ඇසිය යුතු ප‍්‍රශ්ණය වන්නේ මහින්ද රාජපක්‍ෂ තන්ත‍්‍රයේ ස්වභාවය කුමක් ද? යන්න ය. සමහරෙක් එය ෆැසිස්ට් තන්ත‍්‍රයකැයි ද තවකෙක් කොර්ණිලොව් බලයට ආවේනම් එම වර්ගයේ ආණ්ඩුවක් විය හැකි යැයි ද පවසති. එවන් තත්ත්වයකදී ලිබරල් ධනේෂ්වර පක්‍ෂ සමග එක්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කර ගැන්ම නැත්නම් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම වමේ කාර්යභාරය ලෙස අර්ථ දැක් වේ. පවත්නා තත්ත්වය පිළිබඳ විග‍්‍රහය පිළිගත්ත ද (එය වැරදි විග‍්‍රහයකි. එම කරුණ පසුව සාකච්ඡා කෙරේ) මෙම යෝජනාව වැරදි සහගත ය. ඒ හේතු දෙකක් නිසා ය. ෆැසිස්ට්වාදය දැවැන්ත ධනේෂ්වර අර්බුදයකදී ධනේෂ්වර පන්තියේ සීමිත කොටසක් (බොහෝ විට ජාතික අනන්‍යතාවය පදනම් කරගත් මූල්‍ය ධනපති පන්තිය) බහුජන පන්ති සංවිධාන මර්ධනය මත ගොඩ නැගෙන තන්ත‍්‍රයකි. (ජර්මනිය, ස්පාඤ්ඤය, චිලීය.) එවන් තත්ත්වයකදී ලිබරල් ධනේෂ්වරයට එය පසුපස යනු මිස වෙනත් විකල්පයක් නැත. දෙවනුව එක්ව ගමන් ගන්නේ කුමන තත්ත්වයකදී ද? කෙසේද? මැතිවරණ පෙරමුණකදී ද? මෙම කරුණ සාකච්ඡා කිරීමේ දී අද මැතිවරණවල ස්වභාවය තේරුම්ගත යුතුවේ. අද ප‍්‍රධාන පක්‍ෂ මැතිවරණ තරඟ කරන ආකාරය ව්‍යාපාරික තරඟයකට සමාන ය. එවැන්නකදී ඡන්ද දායකයා හුදු පරිභෝජකයෙකු බවට පත් කෙරේ. ප‍්‍රධාන පක්‍ෂ සමග එක්ව ජනතාව පදනම් කරගත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ නොහේ.

5. මහින්ද තන්ත‍්‍රය ෆැසිස්ට්වාදයක් ලෙස හැඳින්වීම නිවැරදි ද? මගේ නිරීක්‍ෂණයන්ට අනුව මහින්ද තන්ත‍්‍රය අධිකාරිවාදී බොනපාට් වාදයකි. අධිකාරවාදී බොනපාට්වාදය සහ ෆැසිස්ට්වාදය අතර ඇත්තේ හූවක දුරකැයි යමෙක් තර්ක කරහොත් එය ලොකු වරදෙක් නොවේ. ෆැසිස්ට්වාදය පූර්ව හෝ පශ්චාත් බොනපාට් වාදී තත්ත්වයක් විය හැකි මෙන්ම බොනපාට් වාදය පූර්ව හෝ පශ්චාත්වාදි ෆැසිස්ට්වාදී තත්ත්වයක් විය හැක. මහින්ද තන්ත‍්‍රය පශ්චාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාලනයක් වීමේ දී පැරණි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාලනයේ සියලූ උපායයන් හා වැඩ මාදිලියන් තම වර්තමාන ප‍්‍රයෝජනයට ගනු ලබයි. විවිධ බලවේග අතර කිසියම් බේරුම්කාර තත්ත්වයක් තන්ත‍්‍රය තව දුරටත් පෙන්නුම් කරයි. මෙම නිමේෂය වන තුරු එය පන්ති අරගල කෙලින්ම තලා දැමීමට ක‍්‍රියා කර නැත්තේ ය. විමුක්ති කොටි අරගලය තලා දැමීමට එයට හැකි වූයේ ජාත්‍යන්තර සහය ලද නිසාම පමණි. පාතාල සහ ජාතිවාදි බලවේග එය තවමත් යොදා ගන්නේ ආනුසංගික බලවේග හැටියට පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි අරගලයේ ඉක්මන් සහ අනිවාර්ය බව අතිශයෝක්තිකරණයට මහින්ද තන්ත‍්‍රය ෆැසිස්ට්වාදී තන්ත‍්‍රයක් ලෙස පෙන්වීම මගින් කරන්නේ විශ්ලේෂණාත්මක වරදකි. අංක 4 පෙන්වා දුන් පරිදි එවන් විශ්ලේෂණාත්මක වරදක් වූවත් එක්සත් ජාතික පක්‍ෂය සමග මැතිවරණ ගිවිසුමකට වමට මූලධර්මීය ඉඩක් නොදේ.

6. සංයුක්ත තලයෙහි තවත් නැගිය යුතු ප‍්‍රශ්නයක් ඇත. ඊලග ජනපතිවරණය හරහා එක්සත් ජනතා නිදහස් සංධාන තන්ත‍්‍රය වෙතින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයකට මාරුවීම ආර්ථික, සමාජ සහ දේශපාලන වෙනස් ප‍්‍රතිපත්ති රාමුවකට මාරුවීමටකට හේතු වේද? පවත්නා ජන විඥාණ මට්ටම තුල මෙයට වෙනස් වෙනසකට ඇති ඉඩකඩ අල්ප ය. (මෙම කරුණ පසුව සාකච්ඡාවට ගැනේ.) ඊලඟ ආණ්ඩුව තුල වර්තමාන ආණ්ඩුවේ තනතුරු දරන කිසියම් පිරිසක් සිටීමට ඉඩක් ද ඇත. එක්සත් ජාතික ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයක් තව දුරටත් ක‍්‍රියා කරනු ඇත්තේ නවලිබරල්වාදී රාමුව තුල ය. එය ඇති කරනු ඇත්තේ සීමිත වෙනස් කම්ය. රාජ්‍ය ප‍්‍රාග්ධන වියදම් සහ රාජ්‍ය අංශ සේවා නියුක්තිය කැපීම කෙටිකාලීනව ආර්ථික වෘද්ධි වේගය අඩු වීමකට ද හේතු විය හැක. නවලිබරල්වාදී රාමුව තුල ක‍්‍රියාත්මක වීම නිසා ඇති කළ හැකි වනු ඇත්තේ (ජාත්‍යන්තර පරික්‍ෂණයට පහසුකම් වැනි) රූපික ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරණ පමනි. මෙවන් වෙනස්කම් පවා කෙටි ආයුෂ ඇති ඒවා වනු ඇත. සමාජයේ පහත මාලයේ ජනයාට සහ අද්දරට තල්ලු කර ඇති ජන කොටස්වලට සහනයක් ලැබීමට ඉඩකඩක් ඇතැයි දැකිය නොහැක. එක්සත් ජනතා නිදහස් සංධාන තන්ත‍්‍රය වෙතින් එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රධාන කොටගත් තන්ත‍්‍රයකට මාරුවීම සම්බන්ධයෙන් වම පැත්තක් ගත යුත්තේ මන්ද? යන්නට උක්ත අදහස් ඉදිරිපත් කරන්නන් කිසිදු සහේතුක පිළිතුරක් දී තිබෙනු මා මෙතෙක් දැක නැත.

7. මෙයින් පෙනී යන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙකෙන් කුමක් ජයග‍්‍රහණය කල ද සමාජයේ පහල තලයට වාසිවන සහ වැඩ දායකවන ප‍්‍රතිසංස්කරණ සිදු නොවන බව ය. එමෙන්ම ඉහ වහා ගිය දූෂණ වල අඩුවක් ඇති වීම ද අපේක්‍ෂා කළ නොහේ. මෙවන් තත්ත්වයකදී මැතිවරණ සහභාගීත්වය මගින් වමට අපේක්‍ෂා කළ හැක්කේ සහ යුත්තේ කුමක් ද? ඊලඟ මැතිවරණ ජයග‍්‍රහණයකින් වමට ආණ්ඩුවක් පිහිටුවීමට හැකිකමක් නැති බව අප නිහතමානිව පිළිගත යුතු ය. මා කල්පනා කරන විධියට ප‍්‍රධාන අරමුණු තුනකි. එනම්, 1. ජන සවිඥාණය නැංවීම (raising class consciousness) 2. ජන ව්‍යුහයන් ගොඩනැගිම සහ (building new structures of people’s participation) 3. සංක‍්‍රමණීයත්වය (transitionality) යි.

8. පංති සවිඥාණගත කිරිම එක් අතකන් නිෂේධනාත්මක වන අතර අනෙක් පැත්තෙන් නිර්මානාත්මක වන්නේ ය. පවත්නා පංති සහ ජන විඥාණය නව ලිබරල්වාදය විසින් නිර්මිත කෙරුනකි. එය විකල්පයන්ගේ පැවැත්ම ප‍්‍රතික්ෂේප කරයි. එම තත්ත්වය තුල සාමුහිකත්වය පිළිබඳ අදහස මතුවන්නේ ජාතික හෝ වාර්ගික අනන්‍යතාවයක් හැටියට පමණි. පංතිය වඩාත්ම වර්ධිත ලෙස මතුවිය හැක්කේ දුර්වල වෘත්තිය සමිතිවාදයක් හැටියටය. ජන සවිඥාණගත කිරීම එමනිසා මෙම දුර්විඥාණයන් පරාජය කිරීම මගින් කළ හැක්කකි. එහි නිර්මානාත්මක පැත්ත වන්නේ පශ්චාත් සෝවියට් තත්ත්වය තුල සමාජවාදයට නැත්නම් කොමියුනිස්ට්වාදයට නව අර්ථකථනයක් දීමය. එහිලා ප‍්‍රධාන වශයෙන් චරිතාංග තුනක් යටත් පිරිසෙයින් අවධාරණය කළ යුතු වේ. එනම්, 1. හුවමාරු වටිනාකම වෙනුවට පරිහරණ වටිනාකම 2. ප‍්‍රාග්ධනයෙන් තොර නිෂ්පාදනය 3. සාමුහික නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන සංවිධාන ක‍්‍රමයක් 4. සංවර්ධනය එහි නූතනවාදී අරුතෙන් මුදවා ස්වභාවධර්මය සහ මානවයා අතර සම්බන්ධයට නව තේරුමක් දීම යන ඒවාය. මෙම අංශ හතරේම ප‍්‍රමාණවත් න්‍යායයාත්මක වර්ධනයක් මේ වනවිට සිදුව ඇත්තේය.

9. පසුගිය වසර 30 ක පමණ කාලයක් තුල වමට නව සංවිධාන ව්‍යුහයන් ගොඩනගා ගත හැකි වූයේ සීමිත වශයෙනි. එම බොහෝ ව්‍යුහයන් ගොඩ නැගුවේ ජනතා විමුක්ති පෙරමුණ මගිනි. පැරණි ව්‍යුහයන් විශේෂයෙන්ම වෘත්තීය සමිති බෙහෙවින් දුර්වලව ගොස් ඇති අතර ඒ වටා සංවිධාන වී ඇති කම්කරු ප‍්‍රමාණය බෙහෙවින් අඩුව ගොස් ය. වමෙන් කොටසක් රාජ්‍ය නොවන සංවිධාන තුල කොටුව ඇත. වම මැතිවරණ ප‍්‍රචාරණයන්හිදී දකුණේ පක්‍ෂ අනුකරණය කරමින් සිටියි. අනාගත ජන බලය සංවිධානය හා පදනම්වන ආකෘති ගොඩ නගා ගැන්ම මෙම අවස්ථාවේ බෙහෙවින් අවශ්‍ය ය.

10. අද වම ක‍්‍රියාකිරිමේදී එකී ක‍්‍රියාවන්හි පියවරයන්හි සංක‍්‍රමණීයත්වය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු වේ. සංක‍්‍රමණීයත්වය වම යෝජනා කරන ක‍්‍රියාමාර්ගයන්හි ගතිකත්වය නිසා ඇති වන්නකි. විප්ලවවාදී වම ප‍්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවේ. එහෙත් එය යෝජනා කරන ප‍්‍රතිසංස්කරණ තවත් ප‍්‍රතිසංස්කරණ ඇති කරන ක‍්‍රියාවලිවක් ජනනය කළ යුතු වේ. එමෙන්ම සංක‍්‍රමණීයත්වය බොහෝ දුරට තීරණය කරන්නේ ජන සවිඥාණ මට්ටම මගින් මහ ජන ව්‍යුහයන් ගොඩනැගීමේ මට්ටම අනුව ය. උදාහරණයක් හැටියට පමණක් දක්වන්නේ නම් 1902 දී තරම් ඈතක රුසියානු විප්ලවය ගමන් කල යුතු දිසානතිය තේරුම් ගැනීමේදී ලෙනින් පංති විඥාණය සහ පක්‍ෂය මත දැඩි අවධාරණයක් කලේ එහෙයිනි. 1905 විප්ලවයේදී නාගරික කම්කරුවන් ප‍්‍රධාන ජනයා ගොඩනගා ගත් නව සංවිධාන ව්‍යුහයන් නිසා විප්ලවය කම්කරු ආඥාදායකත්වය කරා ගමන් ගන්නා බව පුරෝකථනය කිරීමට ට්‍රොට්ස්කි පෙළඹ වූයේ ය.

11. ජනපතිවරණය ආසන්නව ඉදිරිපත්ව ඇති අදහස්වලදී විධායක ජනාපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව දෙස අප බැලිය යුත්තේ උක්ත මානයයන් ගෙන් ය. එහෙත් එම අදහස තුල ඇති රික්තයන් පිරවිය හැක්කේ එය හා බැඳුන තවත් යෝජනා සම්බන්ධ කිරීමෙනි. 1. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනු 2. තාවකාලික ආණ්ඩුවක් කරා (දැන් තියන පාර්ලිමේන්තුව පදනම් කර ගත් ආණ්ඩුවක් නොවේ) 3. තාවකාලික ආණ්ඩුව ක්‍ෂණිකව කළ යුතු ප‍්‍රතිසංස්කරණ (ඉඩම්, ජාතික ප‍්‍රශ්ණය, ප‍්‍රජාතන්ත‍්‍රවාද, කම්කරු ඉල්ලීම් වැනි).

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )