අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (දෙවැනි කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”

විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (දෙවැනි කොටස)

ආධිපත්‍යය හා මර්ධක තන්ත්‍රය


මකියාවෙල්ලිගේ දේශපාලන චින්තනය ආශ්‍රයෙන් ග්‍රාම්ස්චි විසින් සංකල්පනය කරනු ලබන පාලන මාධ්‍යයන් දෙකක් ඇත. මෙම පාලන මාධ්‍යයන් දෙක “ආධිපත්‍යය” හා “මර්ධක තන්ත්‍රය” වශයෙන් දක්වයි. පාලනය කිරීම නැතහොත් වඩාත් පුළුල් ආකාරයෙන් දක්වන විට නායකත්වය පිහිටුවීම යන්න කිසිදු දේශපාලන සමාජයක මර්ධනයෙන් පමණක් කළ හැක්කක් නොවේ. මතවාදී ආකාරයෙන් විවිධ පන්ති, සමාජ ස්ථර හා ශ්‍රේණීන් තම මතයට දිනා ගැනීම ඕනෑම රජයක් හෝ පාලක පන්තියක් විසින් අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තකි. ඇතැම් රාජ්‍යයන්හි මෙසේ මතවාදී ලෙස දිනා ගැනීම විශාල පරිමාණයකිනුත්, මර්ධනය සුළු පරිමාණයකිනුත් සිදු වේ. එවැනි පාලන ක්‍රමයක් ග්‍රාම්ස්චි ‘ආධිපත්‍යය’ යොදාගැනීමේ සංස්ථාවන් වශයෙන් හඳුන්වා දෙයි. මෙසේ මහා පරිමාණ වශයෙන් පාලිත පිරිස් දිනා ගැනීම සහ සුළු පරිමාණයෙන් මර්ධනය යොදා ගැනීම ස්ථිරසාර පාලක පන්තියකගේ පාලන ක්‍රමයයි. නමුත් කිසිදු රාජ්‍යයක් පාලනය කිරීම පරිපූර්ණ වශයෙන්ම මතවාදී දිනාගැනීමක් තුළින් හෝ පරිපූර්ණ වශයෙන් මර්ධනය යෙදීමෙන් හෝ කළ නොහැකිය. විවිධ නිශ්චිත අවස්ථාවන්හි දේශපාලනමය තුලනයක් සඳහා දිනාගැනීම හා මර්ධනය කුමන අනුපාතයන්ගෙන් යොදාගත යුතුද? යන්න පාලන පන්තිය විසින් තීරණය කළ යුත්තකි. ග්‍රාම්ස්චි “මර්ධක තන්ත්‍රය” වශයෙන් හඳුනා ගන්නේ පාලක පන්තියකට විශාල පරිමාණයේ මර්ධනයකින් දිගු කලක් පාලනය කරන්නට සිදු වීමයි. එය එම පාලක පන්තියේ දුර්වලත්වය සංකේත කරන්නකි. මේ අනුව ඉතාමත්ම අඩුවෙන් මර්ධන බලය පාවිච්වි කරන්නේ දැඩි ආත්ම විශ්වාසයෙන් යුතු පාලක පන්තීන් විසිනි. ආත්ම විශ්වාසය හීන අප්‍රබුද්ධ පාලක පන්තීන් විසින් මර්ධක තන්ත්‍රය යොදා ගන්නා අතර, එයින්ම පැන නගින ප්‍රතිවිරෝධයන් විසින් එම මර්ධක තන්ත්‍රයක් පාලක පන්තියත් ඉතිහාසයේ කුණු කූඩයකට විසි කර දමනු ඇත.

ඇතැම් විශේෂ අවස්ථාවන්හිදී ආධිපත්‍යයේ සිටි පාලක පන්තීන් ට දේශපාලනමය වෙනස්වීම් නිසා මර්ධක තන්ත්‍රයකට මාරු වීමට සිදුවනු ඇත. එවැනි මාරුවීමක් සිදු වන්නාත් සමගම පාලිත කොට්ඨාශය පාලක ස්ථරයෙන් ඈත් වීමක් ඇති වෙයි. මර්ධන තන්ත්‍රය යොදා ගැනීමට සිදුවන්නේ මතවාදී ලෙස පාලිත කොට්ඨාශයන් දිනා ගැනීම තවදුරටත් අපහසු වී ඇති හෙයිනි. මෙවැනි අවස්ථාවක් පාලකයන් හා පාලිතයන් එකට බද්ධ කරන නොයෙකුත් සම්බන්ධතාවයන් දියවී යන සමයකි. මර්ධන බලය යොදාගනු ලබන්නේ මෙම දියවී යන සම්බන්ධතාවයන්ට ආදේශකයක් වශයෙනි. නමුත් සාර්ථකත්වයක් ඇතිව වුවද මර්ධක තන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඇතැම් පූර්ව කොන්දේසිවලින් ප්‍රමුඛ පූර්ව කොන්දේසිය නම් මර්ධනකාරී උපකරණ පිළිබඳව පාලක පන්තියට තිබිය යුතු විශ්වාසයයි. පාලක කොට්ඨාශයන් විසින් දෙනු ලබන ආඥාවන් මර්ධනකාරී උපකරණ එනම් හමුදාව, පොලීසිය වැනි ආයතන විසින් ඒ අයුරින් ම ක්‍රියාතමක කරන්නේය යන සහතිකය පාලක ශ්‍රේණීන්ට තිබිය යුතුය. මෙවැනි තත්ත්වයක් උදා කර ගැනීමට නම් මර්ධනකාරී උපකරණ මත පාලන ශ්‍රේණීන්හි පැහැදිළි න්‍යායික හා මතවාදී ආධිපත්‍යක් තිබිය යුතුය. එසේ නොවුවහොත් මර්ධනකාරී උපකරණයන් පාලක ශ්‍රේණීන්ගෙන් නිදහසක් හෝ ස්වාධීනත්වයක් ලබා ගන්නා අතර, මර්ධනය පාලක කොටස් බලාපොරොත්තු වූ ආකාරයට වඩා වෙනස් අයුරින් ක්‍රියාත්මක වනු ඇත. එසේම මෙම ස්වාධීනත්වය හා විනය බිඳ වැටීම (විනය යනු මර්ධන උපකරණයන් කොන්දේසි විරහිතව පාලක ශ්‍රේණීන්ගේ ආඥාවන් පිළිපැදීමයි.) මර්ධන උපකරණ පාලක ශ්‍රේණීන්ට අවශ්‍ය දිශාවට නොව ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කිරීමේ හැකියාව මතු කරයි. මෙම තත්ත්වය වඩාත් වර්ධනය වූ විට මර්ධන උපකරණයන් පාලක ශ්‍රේණීන් කෙරෙහිම එම මර්ධනය යෙදීමේ හැකියාව ද ඇත. සිංහල ගැමි පිරුලක් ආශ්‍රයෙන් කියන්නේ නම් එවැනි අප්‍රබුද්ධ පාලක පන්තියක් යකෙක් ගෙන්වා ගැනීමේ මන්ත්‍රය පමණක් දන්නා නමුත් ඔහු පාලනය කිරීමේ මන්ත්‍රය නොදන්නා එහෙත් යකා ගෙන්වා ගන්නා මෝඩ කට්ටඩියාට සමාන වේ.

පාලන මාධ්‍යය වශයෙන් ආධිපත්‍යය යොදා ගන්නා අප්‍රබුද්ධ පාලක ශ්‍රේණීන් විසින් වුවද යම් අර්බුද සමයන්හි මර්ධනය යොදා ගැනීම අවශ්‍ය වේ. එලෙස මර්ධනය යොදා ගැනීමේදී කොන්දේසි දෙකක් සම්පූර්ණ විය යුතුය. මෙයින් පළමුවන කොන්දේසිය නම් පාලක ශ්‍රේණීන් විසින් මර්ධන උපකරණ මත පරිපූර්ණ මතවාදී ආධිපත්‍යයක් පැවැත්විය යුතු අතර, එම පරිපූර්ණ ආධිපත්‍යය මර්ධන උපකරණවල විනයෙන් ප්‍රකාශ විය යුතුය. දෙවැනි වැදගත් කොන්දේසිය නම් මර්ධනය සම්පූර්ණ සමාජ ව්‍යූහයේම පැතිර නොයෑමට පාලක ශ්‍රේණීන් වග බලා ගත යුතුය. එනම් මර්ධනය කළ යුතු පිරිස් සාමාන්‍ය සමාජ ව්‍යූහයෙන් ඈත්කර මර්ධනය කිරීමේ හැකියාව තිබිය යුතුය. එසේ නොමැතිව සමස්ථ මර්ධනයක් ඇති වන්නේ නම් පාලිත කොට්ඨාශයක් අතර නොසන්සුන් කමක් සහ කළකිරීමක් ඇති වේ. මෙම විශ්වාස භංගත්වය වූ කලී පාලක ශ්‍රේණීන් විසින් පාලිත පිරිස් මත පවත්වා ගත යුතු මතවාදී ආධපත්‍යය ක්ෂය වී යෑමයි. ජනතා මානසිකත්වය කිසිදු අවස්ථාවක හිස්ව තිබෙන රික්තයක් ලෙස නොපවතී. එමනිසා පාලක පන්තිය විසින් ප්‍රචාරනය කරනු ලබන මතවාදය ජනතා කොටස් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ නම් එයින් පෙනී යන්නේ ඔවුන්ගේ මානසිකත්වය වෙනත් මතවාදයන්ගෙන් පෝෂණය වන බවය.

ලුවී අල්තූසර්
ලුවී අල්තූසර්

ආධිපත්‍යය සහ මර්ධක තන්ත්‍රය පිළිබඳ ග්‍රාම්ස්චිගේ සංකල්පයන් ඉදිරිපත් වන්නේ සමකාලීන ඉතාලියේ දේශපාලන අර්බුදය හා සම්බන්ධ වෙමින් බව අප අවධාරණය කළ යුතුය. කලින් අප සඳහන් කරන ලද ‘කර්මාන්තශාලා කමිටු ව්‍යාපාරය’ ඉතාලි නගර සිසාරා වේගයෙන් ව්‍යාප්ත වන විටම ඊට ප්‍රතිවිරුද්ධ පැසිස්ට්වාදී බලවේගය වර්ධනය වේ. රුසියාවේ කර්මාන්තශාලා ආශ්‍රයෙන් ගොඩනැගූ සෝවියට් සභා ක්‍රමය ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණයත් සමඟම නව නිර්ධන පන්ති ආඥාදායකත්වයේ සමාජ පදනම බවට පත් වෙයි. නමුත් ඉතාලියේ ‘කර්මාන්තශාලා කමිටු ව්‍යාපාරය’ විප්ලවයක මට්ටමට සංවර්ධනය නොවන අතර අවසානයේ දී පැසිස්ට්වාදී බලවේගයන් විසින් පරාජය කරනු ලබයි. අප කලින් සඳහන් කරන ලද විග්‍රහය ඉතාලියේ පූර්ව පැසිස්ට්වාදී තත්ත්වයන් යටතේ ස්ථාපිත පාලක පන්තිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ දේශපාලන විවේචනයක් ද වෙයි. ඉතාලි පැසිස්ට්වාදය හුදු ජාතික සංසිද්ධියක් නොවීය. වෙනත් විප්ලවකාරී අර්බුද ඇති වී තිබූ රටවල ප්‍රතිගාමී බලවේගයන් විසින් ඉතාලි පැසිස්ට්වාදී ආකෘතිය ඔවුන්ගේ රටවලට ආනයනය කරන ලදී. ජර්මනිය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල් විසින් කම්කරු පන්තික විප්ලවය පරාජය කිරීම සඳහා ඉතාලියේ පළමු වරට නිර්මාණය වූ මෙම පැසිස්ට් ආකෘතිය යොදා ගනු ලැබීය. සිරගෙයි සිටිමින් ග්‍රාම්ස්චි විසින් මෙම විග්‍රහයන් කරන විට යුරෝපයේ ප්‍රධාන රටවල් ගණනාවක පැසිස්ට්වාදය පැතිරී යමින් තිබූ බවත්, මෙම අපේක්ෂා නොකරන ලද දේශපාලන ප්‍රපංචය විග්‍රහ කිරීම සඳහා ග්‍රාම්ස්චි විශාල බුද්ධිමය සටනක් කළ බවත් පෙන්වා දිය යුතුය. ආධිපත්‍යය සහ මර්ධක තන්ත්‍රය පිළිබඳ ග්‍රාම්ස්චිගේ සංකල්පයන් එවැනි විග්‍රහයක් කිරීම සඳහා අවශ්‍ය මූලික සංකල්ප බව වටහා ගත යුතුය.

කෘෂිකාර්මික හවුල


නාගරික කම්කරු පන්තිය විසින් දියත් කරන ලද ‘කර්මාන්තශාලා කමිටු ව්‍යාපාරය’ දේශපාලන වශයෙන් පරාජය වූයේ ඊට ගොවි ජනත‍ාවගේ සහයෝගය ජාතික මට්ටමෙන් නොලැබීම නිසාය. ඉතාලි කොමියුනිස්ට් පක්ෂය විසින් ද කම්කරු-ගොවි සන්ධානය පිළිබඳව න්‍යායික වශයෙන් අවධාරණය කරන ලද්දේ වී නමුත් විෂයබද්ධ ලෙස එවැනි බහු පන්තිමය පෙරමුණක් ගොඩනැගීමේලා එම පක්ෂය අපොහොසත් විය. ග්‍රාම්ස්චිගේ ගවේෂණයන් මේ ඓතිහාසික පරාජය විවරණය කරයි. කම්කරු-ගොවි සන්ධානයකි ගොඩනැගීමට අපොහොසත් වීම ඉතාලියානු සමාජ ව්‍යූහය සමඟ සමාන්තරව දිවෙන්නකි. මෙවකට ඉතාලියානු සමාජය අසමාන ධනවාදී සංවර්ධනයකට පාත්‍රව සිටි අතර, උතුරු ඉතාලියේ කාර්මික ධනවාදය වර්ධනය වූ අතර දකුණු ඉතාලිය ඉතා පසුගාමී තත්ත්වයක් නිරූපණය කළේය. දකුණු ඉතාලිය ග්‍ර‍ාමීය කෘෂිකාර්මික ප්‍රදේශයක් වූවා පමණක් නොව, එහි පැවති නිෂ්පාදන සම්බන්ධතාවයන් මධ්‍යකාලීන වූත්, වැඩවසම් ස්වරූපයක් දැක්වූවා වූත් ඒවා විය.

දකුණු ඉතාලියේ ගොවි ජනතාව මෙම අසමාන වර්ධනයේ සහ වැඩවසම් සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් දුගීකරණයට පාත්‍ර වී සිටියහ. මෙම දුගීකරණය ඇත්ත වශයෙන්ම ධනේශ්වර සංවර්ධනයේ ප්‍රතිඵලයක් නොව ධනේශ්වර ඌන සංවර්ධනයේ ප්‍රතිඵලයක් විය. කෘෂිකර්මයේ ධනවාදය නියමාකාරයෙන් වැඩුනේ නම් ග්‍රාමීයකරණයේ ඇතිවන තත්ත්වය දුගීකරණය නොව නිර්ධන පන්තිකරණයයි. නිර්ධන පන්තිකරණයේදී සුළු ගොවියා සිය ඉඩම් කැබැල්ලෙන් නෙරපෙන අතර, ඔහු වැටුපට වැඩකරන කෘෂිකාර්මික කම්කරුවෙකු බවට පත් වේ. ලෙනින් විසින් ද පෙන්වා දී ඇති පරිදි මෙම කෘෂිකාර්මික කම්කරුවන්ගේ ආදායම බොහෝ විට සුළුගොවීන්ගේ ආදායමට වඩා අධිකය. දුගීකරණයේදී සුළු ගොවියා තම ඉඩම් කැබැල්ලෙන් නෙරපෙන්නේ නැත. ඔහු සුළු හිමි ගොවියෙක් වශයෙන් හෝ අඳ ගොවියෙක් වශයෙන් හෝ තම ඉඩම් කැබැල්ල දිගටම වගා කරන අතර, ඉඩම් හිමි ස්ථරයෙන් සහ වාණිජ කොටස් වලින සූරාකෑමට ලක් වෙයි. නියමාකාර ධනවාදී වර්ධනයක් ඇති තත්ත්වයක මෙන් නොව මෙහිදී නිෂ්පාදන බලවේග වර්ධනයක්වත්, තියුණු පන්ති බෙදීමක් වත් ඇතිවෙන්නේ නැත. සමස්ථ කෘෂි ව්‍යූහයම පසුගාමීවූත්, යල්පැන ගියාවූත්, තත්ත්වයක එකතැන ලැග තිබේ. දකුණු ඉතාලියේ සුළුගොවීන් දුගීකරණයට පාත්‍රව සිටියේ මෙවැනි කෘෂි ව්‍යූහයකය.

කෘෂිකර්මය මෙසේ පසුගාමී එකක් වූ නමුත් එයින් යම්කිසි අතිරික්තයක් ජනිත කරනු ලැබීය. මෙම අතිරික්තය පළමුවෙන්ම උද්ධරණය කරන ලද්දේ දකුණේ ඉඩම් හිමි ස්ථරය විසිනි. නමුත් කාර්මික උතුර හා කෘෂිකාර්මික දකුණ අතර අසමාන වෙළඳ සම්බන්ධතාවයක් තිබූ හෙයින්, අවසාන විග්‍රහයේදී මෙම අතිරික්තයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් උතුරේ කාර්මික ධනපති පන්තිය විසින් එක්රැස් කර ගන්නා ලදී. කෘෂිකාර්මික හවුල දකුණු ඉතාලියේ බිහි වන්නේ මෙම සුවිශේෂ තත්ත්වයන් යටතේය. කෘෂිකාර්මික හවුල යනු දකුණේ ඉඩම් හිමි ස්ථරය සහ ගොවි ජනතාව අතර ඇතිවන පන්ති සන්ධානයකි. මෙම පන්ති සන්ධානය ප්‍රාදේශියවාදී පදනමක් මත පිහිටා ඇත. දකුණේ සිටින ඉඩම් හිමි ස්ථරයන්, ඔවුන් සමඟ ඓන්ද්‍රීය සමාජ සන්ධානයක් තිබෙන බුද්ධිමතුන්ගේ කණ්ඩායමක් විසින් ඉතාලි දකුණු පලාත්වල සුවිශේෂත්වය ප්‍රාදේශීයවාදී ලෙස ඉදිරිපත් කරනු ලැබීය. මෙම ප්‍රාදේශීය වාදයේ ප්‍රධාන මතවාදී අරමුණ වූ “උතුරු ඉතාලිය විසින් දකුණු ඉතාලිය සූරාකනු ලැබේ. එමනිසා දකුණේ විවිධ පන්ති සහ ස්ථර තම ගැටුම් අමතක කොට දකුණ වශයෙන් එක්සත් විය යුතුය” යන්න කෘෂිකාර්මික හවුලේ සටන් පාඨය විය. මෙම මතවාදයට විවිධ පන්ති ක්‍රියාත්මක ලෙස එක්සත් කිරීමට හැකියාව ලැබුනේ, ඇත්ත වශයෙන්ම උතුරු ඉතාලියේ කාර්මික ධනේශ්වර පන්තිය විසින් අසමාන වෙළඳ සම්බන්ධතාවයන් තුළින් දකුණේ ගොවිජනතාව සූරාකෑම නිසාය. කෘෂිකාර්මික හවුලේ මතවාදය විසින් දකුණේ පමණක් නොව උතුරේ ද පන්ති විෂමතාවයන් අවධාරණය නොකරන ලදී. උතුරේ, කම්කරු ධනපති පන්ති වලට බෙදුනු සමාජ ව්‍යූහයක් වශයෙන් නොව සමජාතීය ධනවත් සමාජයක් ලෙස දකින ලදී. ග්‍රාමිස්චි පෙන්වාදෙන පරිදි ඉතාලියේ සුවිශේෂ තත්ත්වයන් යටතේ ගම හා නගරය අතර ඇති ප්‍රතිවිරෝධය දකුණ හා උතුර අතර ඇති ප්‍රතිවිරෝධය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත. කෘෂිකාර්මික හවුල වූ කලී ග්‍රාමීය සමාජයේ විවිධ පන්ති සහ ස්ථර නගරයට විරුද්ධව යොමු කිරීමකි. මෙම තත්ත්වයන් යටතේ දකුණු ඉතාලියේ සාමාන්‍ය ගොවි ජනතාවගේ මානසිකත්වය ධනේශ්වර පන්තියට හෝ ඉඩම් හිමි පන්තියට විරුද්ධව යොමු නොවන බවද, එම විරුද්ධතාවය යොමු වන්නේ පොදුවේ නගරයට විරුද්ධව බවද, ග්‍රාම්ස්චි අවධාරනය කළේය. “දකුණේ ප්‍රශ්නය ගැන” යන මැයින් ග්‍රාම්ස්චි ලියූ ලිපියක මේ පිළිබඳව ඔහු උදාහරණයක් දක්වයි. ටියුරින් නගරයේ කම්කරුවන් වැඩවර්ජනය කර තිබූ සමයක එම වැඩවර්ජනය මැඩපැවැත්වීම සඳහා දකුණු ඉතාලියේ සාදිනියාවල සිට ස්වේච්ඡා හමුදා සේනාංකයක් පැමිණ සිටියේය. මෙම සේනාංකයේ සිටි බටයෝ තරුණ ගොවීන් සහ ගොවි පුතුන් වූහ. “ඔවුන් ටියුරින් නගරයට පැමිණියේ මන්ද?” යැයි ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන් පැවසුවේ “අපි වැඩ වර්ජනය කර සිටින මහත්වරුනට වෙඩි තැබීමට පැමිණියෙමු” යනුවෙනි. එවිට ඒ අය මහත්වරුන් නොවන බවත්, ඔවුන් අඩු වේතන ලබන කම්කරුවන් බවත්මෙම භටයන්ට පැහැදිළි කර දෙන ලදී. එවිට ඔවුන් පැවසුවේ “එසේ නම් ඔවුන් මෙසේ හැඩවැඩ ඇති ඇඳුම් ඇඳගෙන් සිටින්නේ කෙසේද?” යන්නයි. මෙම දෙබසේ ගම හා නගරය අතර පවතින සත්‍ය ප්‍රතිවිරෝධය ගැබ්වී තිබේ. ග්‍රාමීය කරයෙන් පැමිණෙන මෙම ගොවි තරුණයන්ගේ ජීවන මට්ටම කෙතරම් පහත් එකක්ද යත්, තරමක පිරිසිඳුවට සැරසී සිටින නාගරික කම්කරුවන් ඔවුන්ට පෙනෙන්නේ ප්‍රභූන් වශයෙනි. එමනිසා ඔවුන් අතර කම්කරුවන්ට විරුද්ධව යම්කිසි පන්ති වෛරයක් ද ඇතිවේ. ඔවුන් “මහතවරුන්ට” වෙඩි තැබීමට සූදානමෙන් සිටින්නේ ඒ නිසාය. දකුණු ඉතාලියේ ග්‍රාමීය ප්‍රදේශවල සමාජ ව්‍යූහයේ පසුගාමිත්වයට අමතරව සංස්කෘතික මට්ටම් වල ද දැඩි පසුගාමීත්වයක් තිබේ. අධ්‍යාපනික තත්ත්වයන් ඉතා පහත් වූ අතර, ජනගහණයේ බහුතරය අකුරු නොදත්හ. පෙර සඳහන් කරන ලද සේනාංකයේ තරුණයන් පැමිණියේ එවන් වාතාවරණයක සිටය.[1]

1900 දී ටියුරින් නගරය
1900 දී ටියුරින් නගරය
ගොවීන් සහ ඉඩම් හිමියන් ප්‍ර‍ාදේශීය පදනමක් මත එක්සත් කරන ලද කෘෂිකාර්මික හවුල පවත්නා තුරු ග්‍රාම්ස්චි විසින් ඓතිහාසික හවුල යනුවෙන් හඳුන්වන, ගොවි-කම්කරු සන්ධානය ඇති කළ නොහැක්කේය. ගොවි-කම්කරු සන්ධානය ඇති කිරීමෙන් තොරව විප්ලවයේ ජයග්‍රහණය සහතික කළ නොහැකිය. එමනිසා දේශපාලන දෘෂ්ඨි කෝණයකින් බලන කළ විප්ලවයට තිබෙන ප්‍රධාන බාදාවක් නම් කෘෂිකාර්මික හවුලය. එම නිසා පාලක පන්තියේ ආධිපත්‍යයේ සිටින කොටස වන කාර්මික ධනේශ්වර පන්තියේ පන්ති අවශ්‍යතාවයන් කෘෂිකාර්මික හවුල විසින් ඉටු කරයි. එහි කාර්යභාරය වූ කලී කම්කරුවන් සහ ගොවියන් භේද කර ඔවුන් කඳවුරු දෙකක තබා ගැනීමය. මේ ආකාරයෙන් කෘෂිකාර්මික හවුලේ ක්‍රියාකාරීත්වය කාර්මික ධනේශ්වර පන්තියේ දීර්ඝකාලීන පන්ති අවශ්‍යතාවයන් සමඟ එකඟ වන්නේ වී නමුත් එම කාර්යභාරය ඉටුකිරීමට නම් කෘෂිකාර්මික හවුල කාර්මික ධනපති පන්තියට විරුද්ධ බලවේගයක් බව පෙනී යා යුතුය. උතුරේ ධනවත්කම ගැන, උතුර විසින් දකුණ සූරා කන බව පිළිබඳව කෘෂිකාර්මික හවුල විසින් උද්ඝෝෂණය කරන තරමට දකුණේ ගොවීන් මත ඉඩම් හිමි ස්ථරවල නායකත්වය වඩාත් සනාථ වෙයි. එම සනාථ වීම විසින් කම්කරු-ගොවි සන්ධානයක් වලක්වනු ලැබේ. එමනිසා කාර්මික ධනේශ්වර පන්තියට විරුද්ධව කෘෂිකාර්මික හවුලේ උද්ඝෝෂණය තියුණු වන තරමට කාර්මික ධනේශ්වර පන්තියේ දේශපාලන ආධිපත්‍යය ස්ථාවර වෙයි.

‍ දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳව ග්‍රාම්ස්චිගේ සංකීර්ණ විග්‍රහයන් පිළිබඳව හොඳ උදාහරණයකි, කෘෂිකාර්මික හවුල පිළිබඳ සංකල්පය. පන්ති සටන සරළ ආකාරයෙන් හඳුනාගන්නා අයට, ගොවීන් සහ ඉඩම් හිමියන් අතර ඇති වන හවුලක් හෝ සන්ධානයක් වටහා ගැනීමට නොහැකි වනු ඇත. ඒ, එවැනි සරළ සංකල්පයකදී ගොවීන් සහ ඉඩම් හිමියන් නිරන්තරයෙන්ම එකිනෙකාට ප්‍රතිවිරුද්ධව සිටිය යුතු යැයි අපේක්ෂා කරන බැවිනි. නමුත් උතුර සහ දකුණ අතර තිබූ ප්‍රතිවිරුද්ධතාවයන් නිසා දකුණු ඉතාලියේ මෙම කෘෂිකාර්මික හවුල නිර්මාණය වන ආකාරයත් එය ජාතිකමය වශයෙන් විප්ලවවාදී සටන් ඉදිරියට ගෙන යාමට බාධාවක් වන සැටිත් ග්‍රාම්ස්චි පෙන්නුම් කලේය. එසේම මතුපිට මට්ටමින් කෘෂිකාර්මික හවුල ගෙනියන ධනේශ්වර විරෝධී උද්ඝෝෂණයෙන් ද ග්‍රාම්ස්චි නොමග නොගියේය. මෙය නගරය සහ ගම අතර ප්‍රතිවිරුද්ධතාවයන්, කර්මාන්ත සහ කෘෂිකර්මය අතර ප්‍රතිවිරුද්ධතාවයන්, පන්ති අතර ගැටුම් සහ හවුල්වලට සම්බන්ධවන්නේ කෙසේද? යන්න පිළිඳව සංකීර්ණ විග්‍රහයකි.

(1)දකුණු ඉතාලියේ මේ සමයේ තිබූ සංස්කෘතික සහ සමාජමය පසුගාමීත්වය හොඳින් නිරූපණය කරන නවකතාවකි, ඉග්නාෂියෝ සයිලෝනිගේ “පොන්ටමාරා” නම් කෘතිය.

තව කොටසක් ඉදිරියට

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )