අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (තෙවැනි කොටස)

ආචාර්ය නිව්ටන් ගුණසිංහ
ආචාර්ය නිව්ටන් ගුණසිංහ
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ (තෙවැනි කොටස)

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”

දේශපාලන අර්බුදය

ධනේශ්වර ආර්ථික අර්බුදය පිළිබඳව පරිපූර්ණ වූත්, දෘඩතර වූත්, න්‍යායික විග්‍රහයක් මාක්ස් විසින් ප්‍රාග්ධනය කෘතියෙන් ඉදිරිපත් කරන ලදී. බොහෝ අය ආර්ථික අර්බුදය නිසර්ගයෙන්ම දේශපාලන අර්බුදයකට පෙරලේ යැයි විශ්වාස කරති. නමුත් ආර්ථික අර්බුදය හා දේශපාලන අර්බුදය යනු එකම නොවේ. ඇතැම් විට ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයකට පත්විය හැකි අතර, ඇතැම් විටෙක එසේ වන්නේ නැත. සුවිශේෂ අවස්ථාවකදී දේශපාලන අර්බුදයක් විසින් ද ආර්ථික අර්බුදයක් ජනිත කළ හැකිය. කෙසේ වුවත් දේශපාලන අර්බුදය සුවිශේෂ ප්‍රපංචයක් නිසා එය දේශපාලන ක්ෂේත්‍රය තුළදීම නිර්වචනය කළ යුතුය.

ග්‍රාම්ස්චි පෙන්වා දෙන පරිදි “දේශපාලන අර්බුදය වූ කලී චිරාගත යම්කිසි දේශපාලන නායකත්වයක් පසුපස ගමන් කරන්නට පුරුදු වී සිටි සමාජ පන්තීන් තවදුරටත් එසේ ගමන් නොකරන විට” ඇතිවන තත්ත්වයකි. උදාහරණයක් වශයෙන් ඉතාලි කම්කරු පන්තිය චිරාගතව පිළිගෙන සිටි නායකත්වය කොමියුනිස්ට් සහ සමාජවාදී පක්ෂවල නායකත්වයයි. ඉතාලි ධනේශ්වර පන්තිය චිරාගතව පිළිගෙන තිබූ නායකත්වය ක්‍රිස්තියානි ලිබරල් පක්ෂයේ නායකත්වයයි. 1922-23 දේශපාලන අර්බුදය සමයේදී එක් අතෙකින් කම්කරු පන්තිය කොමියුනිස්ට් සහ සමාජවාදී නායකත්වයෙන් ගැලවී යන අතර අනෙක් අතින් ධනේශ්වර පන්තිය ක්‍රිස්තියානි ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් ගිලිහී යයි. මෙය ඇත්ත වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳව ඇතිවන අර්බුදයකි. මෙවැනි තත්ත්වයක් අර්බුදකාරී තත්ත්වයක් වන්නේ වී නමුත් අත්‍යවශ්‍ය වශයෙන් පූර්ව විප්ලවකාරී තත්ත්වයක් වන්නේ නැත. ධනේශ්වර පන්තියත්, කම්කරු පන්තියත් යන නූතන සමාජයේ ප්‍රධාන පන්ති දෙකේම නායකත්ව රටාවන් බිඳ වැටීම නිසා සමාජය තුළ පූර්ණ ලෙස පැතිර යන අස්ථාවරත්වයක් ඇතිවෙයි. තමුන් “වීරයන්” යැයි ඉදිරිපත්වන දේශපාලන අවස්ථාවාදීන්ට කරලිය නිර්මාණය කරනු ලබන්නේ මෙවැනි දේශපාලන ස්ථාවරත්වයක් පදනම් කරගෙනය. මෙවැනි දේශපාලන අර්බුදයක් ඇති වූ විට අප කලින් සඳහන් කරන ලද ‘සාමූහික පාලකයා’ එනම් විප්ලවකාරී පක්ෂය ඉතාම උපක්‍රමශීලී ආකාරයෙන් කටයුතු කල යුතුය. මෙවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් ඉතිරි වී තිබෙන පන්ති සේනාංකයන් දේශපාලන භූමි තලය මත දක්ෂ ආකාරයෙන් මෙහෙයවිය යුතුය. ඇත්ත වශයෙන්ම ආධිපත්‍ය‍ය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන මාධ්‍යය මෙසේ දක්ෂ ලෙස සේනාංක හැසිරවීමයි. කිසියම් නායකත්වයකට දේශපාලන භූමි තලය මත සේනාංකයන් සුඛනම්‍ය ආකාරයට මෙහෙයවීමේ හැකියාවක් නොමැත්තේනම්, ඒතාක් දුරකට එම නායකත්වයේ ආධිපත්‍යය පිළිබඳ කාර්ය භාරය අවසාන වී ඇති බව නිගමනය කිරීමට සිදු වේ.

මෙම දේශපාලන අස්ථාවරත්වය පදනම් කරගෙන ග්‍රාම්ස්චි සීසර්වාදය පිළිබඳ සිය සංකල්පය ඉදිරිපත් කරයි. සීසර්වාදය සහ පැසිස්ට්වාදය අතර පැහැදිළි වෙනසක් ඇත. සීසර්වාදය ඇතැම් විටෙක ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී විය හැකිය. ඇතැම් ‍විටෙක ප්‍රතිගාමී විය හැකිය. නමුත් පැසිස්ට්වාදය සෑම තත්ත්වයක් යටතේම ඓතිහාසික වශයෙන් ප්‍රතිගාමී වෙයි. සීසර්වාදය විශාල පොදු ජන පදනමක් නොමැතිව වුවද ක්‍රියාත්මක විය හැකිය. පැසිස්ට්වාදය පොදු ජන පදනමකින් තොරව ක්‍රියාත්මක වන්නේ නැත.

ග්‍රාම්ස්චි විසින් සීසර් වාදය යනුවෙන් හඳුනා ගන්නේ මාක්ස් විසින් බොනපාට් වාදය යනුවෙන් හඳුනා ගන්නා ලද දේශපාලන ප්‍රපංචයට සමාන්තරව දිවෙන සංකල්පයකි. සමාජ ඉතිහාසයේ ඇතැම් යුගයන්හි දී ප්‍රධාන ප්‍රතිවාදී බලවේගයන් දෙකක් එකිනෙකට විරුද්ධව අරගල කරන අතර, එම අරගලයේ ජයග්‍රහනය මෙම බලවේග දෙකෙන් එකකට නොලැබිය හැකිය. සාමාන්‍ය වශයෙන් මෙම බලවේග දෙකෙන් එකක් විසින් අනික මැඩපවත්වනු ලබන්නේ යැයි අපේක්ෂා කරනු ලැබුවත් සුවිශේෂ තත්ත්වයන් යටතේ අන්‍යොන්‍ය අරගලයෙන් මෙම බලවේග දෙකම දුරුවල විය හැකිය. එවැනි අවස්ථාවකදී එම තැන පිරවීම සඳහා තුන්වන බලවේගයක් මතුවීමේ හැකියාව තිබේ. මෙසේ තුන්වන බලවේගයක් මතුවීමේ හැකියාව ග්‍රාම්ස්චි විසින් සීසර් වාදය යනුවෙන් හඳුන්වනු ලැබේ. මීට සමාන්තරව දිවෙන විග්‍රහයක් මාක්ස් විසින් පුංචි බොනපාට් නැතහොත් තුන්වන නැපෝලියන් ප්‍රංශයේ බලය අල්ල‍ා ගැනීම පිළිබඳව කරන ලදී. අද ඇතැම් වාමාංශිකයන් විසින් ‘බොනපාට් වාදය’ කෲරතර මර්ධන තන්ත්‍රයක් සඳහා යොදා ගන්නා බව පෙනී යයි. නමුත් මෙය මාක්ස්ගේ විග්‍රහයට අනුව බොනපාට් වාදය නොවේ. පුංචි බොනපාට්ගේ නැගීම මාක්ස් විග්‍රහ කරන්නේ කෙලින්ම එක පන්තියක පාලන තන්ත්‍රයක් නොව, පන්ති ගණනාවක් අතර වැනෙන පාලන තන්ත්‍රයක් වශයෙනි. තුන්වන නැපෝලියන් ආඥාදායකත්වය කෙළින්ම ධනේශ්වර පන්තියේ ආඥාදායකත්වයක් නොවේ. එසේම එය කම්කරු පන්තිය හෝ ගොවි ජනතාව නියෝජනය කරන ආඥාදායකත්වයක් ද නොවේ. බොනපාට්වාදී ආඥාදායකත්වය යනු මෙම විවිධ පන්ති අතර සැලෙන්නා වූත්, නමුත් පාලනය සඳහා මර්ධන උපකරන වඩා බහුල ලෙස යොදාගන්නා වූත්, රාජ්‍ය තන්ත්‍රයකි. බොනපාට් වාදයට සමාන්තරව දිවෙන සංකල්පයක් වන ග්‍රාම්ස්චිගේ සීසර් වාදය පිළිබඳ සංකල්පය ද මෙවැනි දේශපාලන අස්ථාවරත්වයක් තුළ තුන්වැනි බලවේගයක් ඉදිරිපත් වීමකි. ජුලියස් සීසර්, නැපෝලියන් බොනපාට්, ඔලිවර් ‍ත්‍රෝම්වෙල් වැනි නායකයන් ග්‍රාම්ස්චි විසින් ප්‍රගතිහීලී සීසර්වරුන් වශයෙන් ගන්නා ලදී. තුන්වන නැපෝලියන් ප්‍රතිගාමී සීසර් කෙනෙකු වශයෙන් දක්වා තිබේ. උදාහරණයක් වශයෙන් 1789 ප්‍රංශ විප්ලවයෙන් රදල වැඩවසම් සම්භවයක් තිබූ ස්වෛරී රාජ්‍ය තන්ත්‍රය බිඳදමා ඒ මත ධනේශ්වර පන්ති අවශ්‍යතාවයන් නියෝජනය වන නව රාජ්‍යයක් ඇති කරනු ලැබීය. රොබස් පියර්ගේ නායකත්වයෙන් තිබූ විප්ලවකාරී ආණ්ඩුව විසින් භීම සමයක් ඇතිකරනු ලබන අතර, එයින් විශාල දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙයි. මේ වාතාවරණය යටතේ කෝර්සිකාවෙන් පැමිණි කණිෂ්ඨ හමුදා නිලධාරියෙකු වන නැපෝලියන් බොනපාට් විසින් බලය අල්ලා ගනු ලැබේ.

නැපෝලියන් බොනපාට්
නැපෝලියන් බොනපාට්
බොනපාට්ගේ මතු වීම තුන්වන බලවේගයක් නිරූපණය කරයි. එහෙත් රාජ්‍ය තන්ත්‍රයේ ඒකාධිපති ලක්ෂණ ඇති වුවද බොනපාට් විසින් රදළ වැඩවසම් සමාජය දෙසට ආපස්සට යන්නේ නැත. ඔහු විසින් ධනේශ්වර විප්ලවය ඉදිරියට ගෙන යනු ලැබේ. ග්‍රාම්ස්චි නැපෝලියන් බොනපාට් ප්‍රගතිශීලී සීසර්වරයෙකු වශයෙන හඳුන්වන්නේ එම නිසාය.

අන්තෝනිඕ ග්‍රාම්ස්චි මාක්ස්වාදී චින්තන සම්ප්‍රදායේ උපරි ව්‍යූහය පිළිබඳ ප්‍රමුඛ න්‍යායවේදියා වශයෙන් කලින් හඳුන්වා දුන්නෙමු. උපරි ව්‍යූහය නිර්මාණය වී ඇත්තේ දේශපාලන තලය ද, මතවාදය සහ සංස්කෘතිය පිළිබඳ තලය ද යන තල දෙකෙනි. අප ඉහත සංක්ෂිප්ත වශයෙන් කැටිකර දැක්වීමට වෑයම් කළේ ඔහු විසින් දේශපාලන ක්ෂේත්‍රය විග්‍රහ කිරීමට ඉදිරිපත් කරන ලද ප්‍රධාන සංකල්පයන් කිහිපයකි. ආධිපත්‍ය සහ මර්ධක තන්ත්‍රය යන සංකල්පයන්ගෙන් පාලකයන් හා පාලිතයන් අතරත්, නායකයන් හා අනුගාමිකයන් අතරත් ඇති සම්බන්ධතාවන් විග්‍රහ කරනු ලැබේ. කෘෂිකාර්මික හවුල පිළිබඳ සංකල්පයෙන් විරුද්ධ පන්තීන් සුවිශේෂ දේශපාලන වාතාවරණයකදී බහු පන්තික පෙරමුණකට පැමිණිය හැක්කේ කෙසේද? යන්නත්, එවැනි විප්ලවකාරී විපර්යාසයකට කෙසේ බාධා කළ හැකිද, යන්නත් විමර්ශණය කෙරේ. දේශපාලන අර්බුදය පිළිබඳව නවතම නිර්වචනයක් ඉදිරිපත් කරන ග්‍රාම්ස්චි සීසර්වාදය වැනි සංකල්පයන්ගෙන් දේශපාලන ප්‍රවාහයන් ගමන් කළ හැකි සංකීර්ණ දිශාවන් සනිටුහන් කරයි.

මතවාදය හා බුද්ධිමය ශ්‍රේණීන්

සාමාන්‍ය මහජන ව්‍යාපාරයන්හි, සමාජ සාධාරණත්වය උදෙසා වූ ව්‍යාපාරයන්හි, දේශපාලන සහ රාජ්‍ය බලය දිනාගැනීම උදෙසා වූ ව්‍යාපාරයන්හි ඉතිහාසය පුරා බුද්ධිමතුන්ගේ කාර්ය භාරය පිළිබඳ ප්‍රශ්නය දිගින් දිගටම මතු වී ඇත. සාමාන්‍යයෙන් බුද්ධිමතුන් සහ බුද්ධිමත් නොවන කොටස් ලෙස වෙනස, සිතන්නන් සහ නොසිතන්නන් වශයෙන් සරළ ලෙස වර්ග කිරීමේ සංකල්පයක් පවතින අතර, මෙම සංකල්පයට ග්‍රාම්ස්චි මූලික වශයෙන් විරුද්ධ වෙයි. ග්‍රාම්ස්චිගේ ප්‍රකාශයන්ට අනුව “සියලු මිනිස්සු වනාහි බුද්ධිමතුන්ය”. මෙයින් ඔහු අදහස් කරනුයේ හැම මිනිසෙකුටම යම්කිසි ලෝක දැක්මක් ඇති අතර, තමන්ගේම බුද්ධිමය ආවේගයන්ට අනුව කටයුතු කරන බවයි. ඉතාමත්ම නුපුහුණු ශ්‍රමිකයෙකුට පවා ලෝක දැක්මක් ඇති බව පෙන්වා දෙන ග්‍රාම්ස්චි ඔවුන් තමන්ගේ නිශ්පාදන ව්‍යාපාරවල යෙදීමේදී යම් ආකාර බුද්ධිමය ව්‍යාපාරයකට අනුකූලව ක්‍රියා කරන බව පෙන්වා දෙයි. මෙම මතයන්ට අනුව පූර්ණ වශයෙන් නුපුහුණු ශ්‍රමයක් පවතින්නට පුලුවන් කමක් නැත. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ කිසියම් ආකාර බුද්ධිමය ක්‍රියාපටිපාටියක් ඇතුළත් නොවූ පූර්ණ වශයෙන් නුපුහුණු ශ්‍රමයක් පැවතිය නොහැකි බවයි. එමනිසා ග්‍රාම්ස්චි පෙන්වා දෙන්නේ බුද්ධිමතුන්, බුද්ධිමත් නොවන වශයෙන් මිනිසුන්ගේ චින්තනය වශයෙන් වර්ග කිරීමට හැකියාවක් නොමැති බවයි.

නමුත් ඊලඟට ග්‍රාම්ස්චි මතුකරන ප්‍රශ්නය නම්, එසේනම් බුද්ධිමතුන් යයි කොට්ඨාශයක් නැද්ද? මෙම බෙදීම නොවැදගත් බෙදීමක්ද? යන ප්‍රශ්නයයි. ඔහු එම ප්‍රශ්නය මතු කොට ඊට පිළිතුරු සපයන්නට උත්සාහ දරයි. ඔහුගේ මතය අනුව බුද්ධිමතුන්, බුද්ධිමතුන් නොවන යන බෙදීමේ සමාජමය අර්ථයක් ඇත. එහෙත් එම බෙදීම කළ හැක්කේ ඔවුන්ගේ චින්තනය හෝ ලෝක දැක්ම මත නොව සමාජයෙන් ඔවුන්ට බුද්ධිමය ක්‍රියාවක් නියම වී ඇත්ද? යන කරුණ මතයි. සමාජයේ සමහර කාර්ය භාරයන් බුද්ධිමය නොවන කාර්ය භාරයන් ලෙස අපට හඳුනා ගත හැක. සමාජීය ශ්‍රම විභජනයේදී එබඳු බුද්ධිමය කාර්ය භාරයක් නියම වී ඇති පුද්ගලයන් වනාහි බුද්ධිමතුන්ය, යන්න ග්‍රාම්ස්චිගේ බුද්ධිමතුන් පිළිබඳ නිර්වචනය වේ. මෙතැනදී මාක්ස්වාදී විධික්‍රමය තුළ මීලඟට මතුවන ප්‍රශ්නය වන්නේ මෙම බුද්ධිමතුන් නැමැති සමාජ කණ්ඩායම සමාජ පන්තියක් යනුවෙන් හඳුනා ගැනීමට හැකිද? යන ප්‍රශ්නයයි. ග්‍රාම්ස්චිගේ විග්‍රහයන්ට අනුව විවිධ පදනම් වලින් බිහිවන බුද්ධිමතුන් වන්නේ වී නමුත් වෙනම පන්තියක් ලෙස බුද්ධිමතුන් වර්ග කර දැක්වීමේ හැකියාවක් නැත. සමාජ විග්‍රහයන්හි දී සමහර පන්තීන් හඳුනා ගැනීමට, පන්තීන් ලෙස වර්ග කිරීමට අපිට හැකියාවක් ඇත. නිර්ධන පන්තිය, ධනේශ්වර පන්තිය වැනි පන්තීන් අපට පන්ති සමාජයක් තුළ හඳුනා ගැනීමේ හැකියාව ඇත. නමුත් මෙම බුද්ධිමතුන් නම් සමාජ කණ්ඩායම සමාජ පන්තියක් ලෙස හඳුනා ගැනීමට නොහැකි බව ග්‍රාම්ස්චිගේ මතයයි. එසේම ග්‍රාම්ස්චි පෙන්වා දෙන පරිදි මේ විවිධාකාර බුද්ධිමය පිරිස් විවිධාකාර පන්ති පදනම් වලින් බිහිවන්නේය. එමනිසා අපට මෙම බුද්ධිමතුන් නම් සමාජ කණ්ඩායම ගැන කථා කළ හැක්කේ විවිධ පන්ති වලට අයිති පිරිස් වශයෙන් පමණකි. මෙම විග්‍රහය තරමක් සංකීර්ණ වූවකි.

එක අතකින් පාලක පන්තීන්ට සම්බන්ධ බුද්ධිමතුන් පිරිසක් අපට දක්නට ලැබෙයි. එසේම අනෙක් අතින් පාලක පන්තියට සම්බන්ධ නැති විවිධ පාලිත පන්තිවලින් එන බුද්ධිමය පිරිස් අපට දක්නට ලැබෙයි. මෙම පිරිස් වෙන් වෙන් වශයෙන් ගෙන සාඛච්ඡා කිරීම මිසෙක බුද්ධිමතුන් යැයි වෙනම සමාජ පන්තියක් හඳුනා ගැනීමට අපට හැකියාවක් නැත.

ඒ අවස්ථාවේදී ඉතාලි තත්ත්වයනට සම්බන්ධ කරමින් ඉතාලියානු බුද්ධිමතුන් පිළිබඳව ග්‍රාම්ස්චි මෙබඳු විග්‍රහයක් කර ඇත. මීට පෙර දේශනයේදී ඉතාලි උතුර කාර්මික වීම සහ දකුණ කෘෂිකාර්මික වීම ආදී වශයෙන් වූ වෙනස්කම් සාකච්ඡා කළෙමු. මෙම කාලය තුළ මෙම ප්‍රතිවිරෝධය ඉතාලි ඉතිහාසය තුළ ඉතාම ගතික බලවේගයක් ලෙස පැවතිණි. බුද්ධිමතුන් පිළිබඳව ග්‍රාම්ස්චිගේ විග්‍රහය ද මෙම තත්ත්වයන්ට අනුකූලවම මතු වූවකි. ඔහු මුළින්ම ග්‍රාමීය බුද්ධිමතුන් කොට්ඨාශයක් හඳුනා ගනී. මෙම කොට්ඨාශය ලාංකීය තත්ත්වයන් තුළත් අපට පහසුවෙන් හඳුනා ගත හැකි කොට්ඨාශයකි. එනම්, ගුරුවරු, වෙදමහත්වරු, ග්‍රාමීය පූජකයන්, නොතාරිස්වරු ආදී කොට්ඨාශයන්ගෙන් සමන්විත වූවකි. මෙම පිරිස ග්‍රාමීය ක්ෂේත්‍රයේ බුද්ධිමය කාර්ය භාරයක් ඉටු කරති. ග්‍රාම්ස්චිගේ විග්‍රහයට අනුව අවසාන වශයෙන් ගත් විට, එනම් පරම්පරා දෙක තුනක කාලයන් තුළ ගොවිජන කොට්ඨාශයෙන් මතු වූ කොටස් වෙයි. එහෙත් ඔවුන් ග්‍රාමීය බුද්ධිමතුන්ගේ තත්ත්වයට පත්වූ පසුව තම මුල් පසුබිම් වලින් වෙන් වීමේ හා තවදුරටත් ගොවිජනතාවගේ අදහස් නිරූපනය නොකිරීමේ තත්ත්වයක් පැවතීම මෙම ග්‍රාමීය බුද්ධිමතුන් සම්බන්ධයෙන් පවතින ලක්ෂණයකි.

මෙම තත්ත්වය විග්‍රහ කිරීමට ග්‍රාම්ස්චි ඔහුගේ අන්තර් මධ්‍යම පන්තීන් පිළිබඳ සංකල්පය භාවිතා කරයි. අන්තර් මධ්‍යම නොහොත් අතරමැදි පන්තීන් ලෙස ග්‍රාම්ස්චි හඳුන්වන්නේ පාලක කොට්ඨාශයන් හෝ සෘජු ලෙසම පාලිත පන්තීන් වලට සම්බන්ධ නැති එහෙත් පාලන බලය පවත්වාගෙන යාමට ආධාරවන සමාජ කණ්ඩායම් කොටසකි. යම් පාලක පන්තියකට සිය පාලන බලය පවත්වාගෙන යා හැක්කේ මෙබඳු අතරමැදි පන්තීන්ගේ පැවැත්ම ද උපයෝගී කොටගෙනය. මෙවැනි පන්තීන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ එම අවස්ථාවේදී පවතින පන්ති බල තුලනයට අනුකූලවයි. සමාජයේ ඉදිරිගාමී බලවේග ක්‍රියාත්මක වී ඉදිරියට එන කාලපරිච්ඡේද වලදී මෙම කොටස් පැරණි මත අත්හැර අළුත් තත්ත්වයන්ට යාමේ තත්ත්වයක් මතුවන නමුත් මෙම පන්තීන්ට කිසිවිටෙක සමාජ පරිවර්තනයක් සඳහා ආධිපත්‍යධාරී කාර්ය භාරයක් ඉටුකල නොහැකි බව ග්‍රාම්ස්චිගේ මතයයි. එබඳු පන්තියක් ඉදිරිගාමී බලවේගවල ක්‍රියාකාරී ආධාරක බලවේගයක් බවට පත් විය හැක. ග්‍රාම්ස්චි ග්‍රාමීය බුද්ධිමතුන්ගේ තත්ත්වය විග්‍රහ කරනුයේ මෙබඳු අන්තර් මධ්‍යම පන්ති කොටිඨාශයක් ලෙසයි.

නාගරික බුද්ධිමතුන් පිළිබඳ ග්‍රාම්ස්චිගේ විග්‍රහයේදී ඔහු පුළුල් බුද්ධිමය ශ්‍රේණීන් සමූහයක් එයට ඇතුල් කරයි. මූලික වශයෙන් තම කායික ශ්‍රමය වැය නොකරන සියලුම ශ්‍රමික කොටස් ඔහුගේ විග්‍රහයට අනුව නාගරික බුද්ධිමතුන්ගේ කොට්ඨාශයන්ට ගැනෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ඉන්ජිනේරුවෙකුගේ කාර්ය භාරය ග්‍රාම්ස්චිට අනුව බුද්ධිමය කාර්ය භාරයක් වන අතර, එමනිසා ඔවුන් ද අපිට නාගරික බුද්ධිමතුන් ලෙස හඳුනාගත හැකි ස්ථරයකි. දාර්ශනිකයන්, කලාකරුවන් වැනි නිර්මාණාත්මක හැකියාවක් ඇති කොටස්වල සිට වෙනත් නොයෙකුත් බුද්ධිමය කාර්යයන්ගේ නිරතව සිටින විශාල ජන කොට්ඨාශයකුත් ග්‍රාම්ස්චිට අනුව අප‍ට නාගරික බුද්ධිමතුන් ලෙස හඳුනාගත හැක. එමෙන්ම මෙම නාගරික බුද්ධිමතුන්ගේ කොට්ඨාශයන් තුළ විශාල අභ්‍යන්තරික ස්ථරගතවීමක් දක්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි‍. මෙම අභ්‍යන්තරික ස්ථරගතවීම යටතේ එක් අතෙකින් පාලක කොට්ඨාශයන්ට කෙලින්ම සම්බන්ධකම් ඇති බුද්ධිමය කොට්ඨාශයන් සිට අනෙක් අතින් කෙලින්ම පාලිත කොට්ඨාශයන්ට සම්බන්ධ බුද්ධිමය කොට්ඨාශයන් දක්වා විවිධ ස්ථරයන් අපට හදුනාගත හැක. මෙම තත්ත්වයන් තුළදී යම් යම් බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරීත්වයන් විග්‍රහ කිරීමට ඔහු යොදා ගන්නා සංකල්පයකි, ඓන්ද්‍රීය බුද්ධිමතුන් පිළිබඳ සංකල්පය. මෙහිදී ඔහු ඓන්ද්‍රීය බුද්ධිමතුන් කොටස් දෙකක් දක්වයි. පාලක කොට්ඨාශයන් සමඟ සෘජු ලෙස සම්බන්ධ සහ පාලක පන්තියේ මතවාදය නියෝජනය කරන බුද්ධිමය කොට්ඨාශයත්, පාලිත කොට්ඨාශයේ ඉදිරියට බලය ලබා ගන්නට සිටින පන්තිය සමඟ සම්බන්ධව එම මතවාදය නියෝජනය කරන බුද්ධිමය කොට්ඨාශයත්ය. තමන්ගේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ඇති කරගත හැක්කේ දැනට පාලන බලය දරන පන්තියට සහ අනාගතයේ පාලන බලය දරන්නට සිටින පන්තියට යන මූලික පන්තීන් දෙකට පමණක් බව ඔහුගේ විග්‍රහයයි. ඒ අනුව ධනපති සමාජයේ දී නම් එම හැකියාව ඇත්තේ ධනපති පන්තියට සහ නිර්ධන පන්තියට පමණකි. ගොවි ජනතාවට තමන්ගේම ඓන්ද්‍රීය බුද්ධිමතුන් ඇතිකර ගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. ගොවි ජනතාව තුළින් මතුවන බුද්ධිමය ශ්‍රේණීන් තවදුරටත් එම පන්තියේ මතවාදයන් නියෝජණය නොකරන අතරමැදි පන්තියක් බවට පත් වීම එයට හේතුවයි. මෙම විග්‍රහයට අනුව ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කොට්ඨාශ දෙකක් අපට හඳුනාගත හැක. එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රතිගාමී වූත්, පාලක පන්තියේ මතවාදය සෘජු ලෙසම නියෝජනය කරන්නාවූත්, ප්‍රතිගාමී බුද්ධිමතුන් සහ ඉදිරි කාලයේ දී පාලන බලය දැරීමට සිටින පන්තිය සමඟ සම්බන්ධ වූත්, එම පන්තියේ මතවාදය නියෝජනය කරන්නාවූත් විප්ලවවාදී බුද්ධිමතුන් වශයෙනි. මෙම වර්ගීකරණයේදී යම් බුද්ධිමතෙකු කුමණ කොට්ඨාශයට අයත්වනවාද යන්න තීරණය කිරීම සඳහා ඔහු නියෝජණය කරන පන්තිය පමණක් නොව එම ඓතිහාසික කාල පරිච්ඡේදය තුළ එම පන්තිය දරණ ස්ථානය ද සැලකිල්ලට ගත යුතුව ඇත. උදාහරණයක් ලෙස නිකෝලෝ මකියාවෙල්ලි දහසය වන ශතවර්ෂයේ ඉතාලියේ නැගී එන ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. එම නිසා ඔහු ඉදිරිගාමී බුද්ධිමතෙකු වශයෙන් අපට හඳුනාගත හැක. එහෙත් ග්‍රාම්ස්චිගේ සමකාලීනයෙකු වූ බෙනදොත්කෝ ක්‍රොචේද ධනේශ්වර පන්තියේ පාලනය පවත්වාගෙන යන්නට විශාල වශයෙන් සේවය කලා වූ ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකි. එහෙත් ඔහු ජීවත් වූ ඓතිහාසික සමයේදී ඔහු නියෝජනය කළේ පාලක පන්තියක මතවාදයක් වන අතර, එම පාලක පන්තිය තවදුරටත් සමාජ ප්‍රගතිය පිළිබඳ කාර්ය භාරයක් ඉටු නොකරන පාලක පන්තියක් වන නිසා ඔහුව හැඳින්විය හැක්කේ ඓන්ද්‍රීය බුද්ධිමතෙකු වශයෙනි.

මෙම විග්‍රහයට අනුව ඉතාලි නාගරික බුද්ධිමතුන් අතර ධනේශ්වර පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ ස්ථරයක් අපට දක්නට ලැබෙන අතර, මෙම ඓතිහාසික තත්ත්වයන් තුළ ඔවුන් ප්‍රතිගාමී බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැක. අනෙක් අතින් අනාගතයේදී පාලන බලය ලබා ගැනීමට සිටින පන්තිය වන නිර්ධන පන්තියේ ප්‍රගතිශීලී ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ ස්ථරය අපට හඳුනා ගත හැක. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ නිර්ධන පන්තියේ දේශපාලනය සහ මතවාදය සංවර්ධනය කොට ඉදිරියට ගෙන යාම සහ එමගින් නිර්ධන පන්තියේ රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැගීමේ මතවාදී පදනම දැමීමයි. එනිසාම නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයට දේශපාලන හා මතවාදී නායකත්වය සපයනුයේ මෙම බුද්ධිමය ස්ථරය ලෙස අපට හැඳින්විය හැක. ග්‍රාම්ස්චි ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන් මෙම බුද්ධිමය ස්ථරයේ ක්‍රියාකාරීත්වයට මඟපෙන්වන විග්‍රහයන් ගණනාවක්ද ඉදිරිපත් කොට ඇත.

තව කොටසක් ඉදිරියට

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )