ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර

අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක වූ බව මගේ හැඟීමයි. පාලක රෙජීමය සමස්ත ලාංකේය දේශපාලන සමාජ ව්‍යුහ තම දැඩි ග්‍රහණයට ගෙන එහි නිදහස ගෙල මිරිකීමේ සර්වාධිකාරී තත්වය සමාජය තුළ දැඩි බියක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ සැකය පතුරුවා හැර තිබුණි. ජනයා ඉවසාගෙන බලා සිටියේ ආණ්ඩු මාරුවක් සඳහා අවස්ථාව ලැබෙන තෙක් ය. ඒ අවස්ථාව ලැබෙන බවට උදාවූ පළමු ඉඟිය සමගින් ඇතිවූ බලවත් සැනසුම් සහගත හැඟීමත් උද්දීපනයත් එහෙයිනි.

රටක වාරිකව සිදුවන ආණ්ඩු මාරුව අත්‍යවශ්‍ය වන්නේ එක් පාලක කල්ලියක් සමාජය සහ දේශපාලනය සමස්තය ග්‍රහණයට ගැනීමෙන් ඇතිවන කුණුවීම ක්ෂයවීම නවතා එයට නව ජීවයක් දෙන්නටය.

ඊනියා සංවර්ධනයේ සහ ස්ථාවරභාවයේ නාමයෙන් එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සමාජය මත ඇති කරන සර්වාධිකාරය මානව යහ පැවැත්මට හිතකර නොවේ.

මෙලෙස උදාවූ සර්වාධිකාරී රෙජීමයක් යටතේ ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සදහටම අහෝසි වනු ඇතැයි යන බලාපොරොත්තු කඩ වීම සමාජය හාත්පස වෙලාගෙන පැතිර යමින් තිබූ අවස්ථාවේම ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පාලක රෙජීමය ගත් තීරණයම යළිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය අවදි කරලීමට මුල් වීම අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලංකාවේ සැබෑ ‘ජාතික චින්තනය‘ බව යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි. Continue reading ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

‘නැරඹීමේ ආකාරයන්’ – ජෝන් බර්ජර්

ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව

ජනප්‍රිය වාම කතිතාව ඇතුළත වෝල්ට(ර්) බෙන්ජමින් ගේ “යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය” නමැති ලිපිය කියවනු ලැබෙන්නේ නූතන යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හේතුවෙන් කලා කෘතියක් හා බැඳුණු රශ්මි මාලාව වියැකී ගොස් කෘතියේ මුල් පිටපතට ඇති වැදගත් කම නැති වන්නේ ය, එහෙයින් කලාවේ අධිකාරය ප්‍රතිනිෂ්පාදනය විසින් විනාශ කරනු ලැබ ඇත්තේය වැනි සරල අර්ථවලිනි.

බෙන්ජමින් ගේ ලිපිය පදනම් කොට ගත් නිදර්ශණයක් ලෙස පිළිගැනී ඇති බීබීසී ය විකාශය කළ ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව (සහ එය පදනම් කරගත් පොත) පවා බර්ජර්ගේම ප්‍රකාශිත අරමුණු වලට එරෙහිව යමින් බෙන්ජමින් ගේ ලිපිය අති සරල කියැවීම් වලින් ගලවා ගැනීමට කියැවිය හැකි බවට ක්‍රිස්ටෝෆර් පිනෙ (Christopher Pinney) තම “The Indian Work of Art in the Age of Mechanical Reproduction Or, What Happens When Peasants “Get Hold” of Images” (බලන්න, Ginsburg , Abu-Lughod සහ Larkin සංස්කරණය කළ Media Worlds: Anthropology on New Terrain, (355 – 369) ) නමැති ලිපියේ තර්ක කරයි.

පළමු කොටස

දෙවැනි කොටස

තෙවැනි කොටස

සිවුවැනි කොටස

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු

f

වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු

වාමාංශික පක්‍ෂ හා පොදුවේ වාමාංශික ව්‍යාපාරය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා දැඩි කැපවීමෙන් ක‍්‍රියාකර ඇත. අප බලාපොරොත්තු වූ සමාජවාදී සමාජයක් මෙතෙක් ගොඩනැඟීමට නොහැකි වූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීමට ගත් උත්සාහයෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබී ඇති බව පැහැදිලිය.

1977 දී පාර්ලිමේන්තුව තුළ වමේ නියෝජනය අහිමි වීම සමඟ ඇතිවූ දැවැන්ත පරාජය මෙන්ම කම්කරු පන්තිය හා විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වල තත්ත්වයට පත්වීම හේතු කොට ගෙන දක්‍ෂිණාංශික බලවේගවලට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට අවස්ථාව ලැබිණ.

1977 සිට වාමාංශික පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ත‍්‍රමය වැඩිදුරටත් ශක්තිමත් කරමින් ඒකාධිපති ස්වරූපයෙන් බලතල ජනාධිපති වෙත පැවරීමට ගත් පියවරට පක්ෂව ඉතා ඛේදජනක ලෙස ඡුන්දය භාවිතා කරමින් වාමාංශික පක්‍ෂ නායකයියෝ එය සම්මත කිරීමට 2/3 ක වැඩි ඡුන්දය ජනාධිපතිට ලබා දුන්හ.

අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මානව හිමිකම් ගරු කිරීමද බිඳ වැටී ඇත. රට තුළ අධිකාරිවාදී පාලනයක් ගොඩනඟා ඇත. පාර්ලිමේන්තුව බාල්දු කර, කැබිනට් මණ්ඩලයද බාල්දු කර පොලීසිය හා රාජ්‍ය සේවය ද පමණක් නොව අධිකරණයද ජනාධිපතිගේ බලයට නතු කරගෙන ඇත. එසේ කිරීමෙන් අප රට තුළ දීර්ඝ කාලයක සටන් මගින් ගොඩනඟන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණත්වය කෙරෙහි නැඹුරු වූ පරිසරය බිඳ වැටී ඇත.

නාමිකව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කියා ගන්නා රටක වුවද දක්නට නොලැබෙන අන්දමට ¥ෂණයෙන් ගහණ වූ බොරුව, වංචාව හා කැබිනට් ඇමතිවරුන් පවා ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමේ අශිෂ්ඨ පාලනයක් රට තුළ ගොඩනඟා ඇත.

සංවර්ධයේ නාමයෙන් අද රට තුළ සම්පූර්ණයෙන්ම නව ලිබරල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් ලෝකයේ අඩුම සෘජු බද්ද මත රැුඳුණු ආදායමක් ඇති රටක් බවටත් ‘ඉහළම අනියම් බදු’ එනම් සියළුම මහජනයා පරිහරණය කරන්නා වූ භාණ්ඩවලට ඉහළ බදු පැනවීමක් සිදු කරමින් විකෘත වූ ආර්ථිකයක් ගොඩනඟමින් සිටී. එම ක‍්‍රියාවලිය තුළින් සාමාන්‍ය ජනතාව මත දැරිය නොහැකි බරක් පැටවී ඇත.

මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව හඬක් ජනතාව තුළින්ම මතුවීම සාධනීය ප‍්‍රවණතාවයකි. අවුරුදු 37 ක් වමේ පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන යන ලද සටන ජයගත හැකි අවස්ථාවක් අද උද්ගත වී ඇත.

එබැවින් මේ අවස්ථාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇති කිරීමට එකඟතාවයක් වර්ධනය වී ඇත. එසේම 18 වන සංශෝධනය ඉවත් කර 17 වන සංශෝධනය පණ ගැන්වීමට හා මනාප ඡුන්ද ක‍්‍රමය ඉවත් කිරීමටද එකඟතාවයක් ඇත.

මෙම ක‍්‍රියාවලිය මාස 6 ක කාලයක් තුළ ඉටු කොට ඉන් පසුව පාර්ලිමේන්තු විසුරුවා හැර ජනතාවට තමන් කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ අයිතිය ලබා දීමටද එකඟත්වයක් ඇත. මෙම සියලූ ක‍්‍රියාවන් සඳහා මාස 6 ක මාර්ග සැලසුමක්ද සකස්කොට තිබේ.. එම එකඟතාවයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සියලූ පක්‍ෂවල එකඟතාවය මත පොදු අපේක්‍ෂයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානම් වන මෙම අවස්ථාවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රජය තුළ සිටින වමේ පක්‍ෂ වර්තමාන ජනාධිපතිට පක්‍ෂව ක‍්‍රියාකළ යුතුය යන තීරණයට එළඹී ඇති අතර අපට එම තීරණය කිසිසේත් පිළිගත නොහැකිය.

රටේ අනාගතය කෙරෙහි දැඩි ලෙස බලපාන්නා වූ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ජනතා හඬ ඉදිරියට ගෙන යෑම සඳහා කැපවී ක‍්‍රියා කිරීම වමේ වැදගත්ම කාර්යය වේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තුළින් සියලූම ප‍්‍රශ්න විසඳෙනු ඇතැයි අප කල්පනා නොකරන අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් ඇතිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළින් රට මුහුණ පා ඇති සමාජ, දේශපාලන හා ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ඇති වන සංවාදය තුළින් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.

එහෙයින් මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා වමේ හඬ මතු කිරීමට මෙන්ම ජනාධිපතිවරණයෙන් පසු අප බලාපොරොත්තු වන්නා වූ සමාජයක් බිහි කිරීමට ක‍්‍රියා කිරීමට වමේ කේන්ද්‍රයක් ගොඩනැඟීමේ ඇති අවශ්‍යතාවය අද මතු වී ඇත. වමේ කේන්ද්‍රයක් ගොඩනැඟීම සඳහා මූලික සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර ඇති අතර එම සාකච්ඡුාවට සහභාගි වන ලෙස ඔබට ආරාධනය කර සිටිමු.

දිනය : 2014 නොවැම්බර් 24 සඳුදා
වේලාව : සවස 4.00 ට
ස්ථානය: ශ‍්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාව :OPA)
275/75, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07.
(බෞද්ධාලෝක මාවත හා රීඞ් මාවත අතර හරස්පාර, ග‍්‍රහලෝකාගාරය ඉදිරිපිට)

මෙයට සහෝදරත්වයෙන්

ලාල් විජේනායක, රාජා උස්වැටකෙයියාව, මහාචාර්ය විජය කුමාර්, විමල් රුද්‍රිගෝ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, ආචාර්ය නිර්මාල් රංජීත් දේවසිරි, චන්ද්‍රපාල කුමාරගේ, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, ටී. එම්. ආර්. රසිඞීන්, චමීර පෙරේරා

(විමසිම් : චමීර පෙරේරා 071 – 837 7339)

යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය – වෝල්ට(ර්) බෙන්ජමින් – පරිවර්තනය සුචරිත ගම්ලත්

වෝල්ට(ර්) බෙන්ජමින්
වෝල්ට(ර්) බෙන්ජමින්
වෝල්ටර් බෙන්ජමින් සෞන්දර්ය න්‍යාය සහ බටහිර මාක්ස්වාදය සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ඇති කල විචාරකයෙකි, චින්තකයෙකි. ජර්මනියේ ධනවත් යුදෙව් පවුලක උපත ලැබූ ඔහු බර්ලීනයේ හම්බොල්ඩ්ට් විශ්ව විද්‍යාලය,මියුනිච් හි ලුඩ්විග් මැක්ස්මිලන් විශ්ව විද්‍යාලය ආදී ආයතන වල අධ්‍යාපනය ලබා බර්න් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේය. හනා ආරන්ඩ්ට් ඇතුළු යුදෙව් සරණාගතයන් පිිරිසක් සමග ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවෙන් යුරෝපයට පලා යාමට උත්සාහ ගනිමින් සිටියදී එම දේශ සිීමාව වසා දමනු ලැබී යැයි ලද පුවතක් නිසාවෙන් ඇතිවූ බලාපොරොත්තු කඩවීම මත ඔහු 1940 සැප්තැම්බර් 27 වැනි දා ෆ්‍රන්ස-ස්පාඤ්ඤ දේශසීමාවේ දී දිවි නසාගති. නමුත් අනපේක්ෂිත ලෙස පසුදිනම දේශ සීමාව සරණාගතයන් සඳහා යළි විවෘත වීමෙන් හනා ආරන්ඩට් ඇතුළු පිරිසට යුරෝපයට පළා යා හැකි වීය.

imagesඅප මෙහි නැවත පළ කරන සුචරිත ගම්ලතුන් විසින් පරිවර්තනය කොට පළ කරනු ලැබූ වෝල්ට(ර්) බෙන්ජමින් ගේ “යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය” නමැති ලිපිය ට පාදක වන්නේ හනා ආරන්ඩ්ට් විසින් සංස්කරණය කරනු ලදුව 1968 දී ඉංග්‍රීසියෙන් පළකරනු ලැබූ ILLUMINATIONS: Essays and Reflections නමැති බෙන්ජමින් ගේ ලිපි එකතුවේ පළමුවරට ඉංග්‍රීසියෙන් පළ වූ 1936 දී රචිත The Work of Art in the Age of Mechanical Reproduction ලිපියයි.

මෙහි කියවන්න, හනා ආරන්ඩ්ට් Hannah Arendt, Illuminations කෘතියට බෙන්ජමින් පිළිබඳ ලියූ හැඳින්වීම Arendt, Introduction,

බෙන්ජමින් ගේ මෙම ලිපියෙහි සංස්කරණයක් හතරක් ඇතැයි වාර්තා වන අතර ඉන් දෙවැන්න පළමුවැන්නට වඩා කරුණු ඇතුළත් කරගනියි.pages-from-benjamin-walter-e28093-the-work-of-art-in-the-age-of-its-technological-reproducibility-and-other-writings-on-mediaමෙම දෙවැනි පිටපත “The Work of Art in the Age of Its Technological Reproducibility” යන මැයෙන් The work of art in the age of its technological reproducibility, and other writings on media නමැති හාවර්ඩ් විශ්ව විද්‍යාලය විසින් ඉංග්‍රීසියෙන් පළකරනු ලැබූ බෙන්ජමින් ගේ ලිපි එකතුවෙහි කියවිය හැක.

ජනප්‍රිය වාම කතිතාව ඇතුළත බෙන්ජමින් ගේ මෙම ලිපිය කියවනු ලැබෙන්නේ නූතන යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය හේතුවෙන් කලා කෘතියක් හා බැඳුණු රශ්මි මාලාව වියැකී ගොස් කෘතියේ මුල් පිටපතට ඇති වැදගත් කම නැති වන්නේ ය, එහෙයින් කලාවේ අධිකාරය ප්‍රතිනිෂ්පාදනය විසින් විනාශ කරනු ලැබ ඇත්තේය වැනි සරල අර්ථවලිනි.

අපගේ යෝජනාව මෙබඳු සරල අර්ථයන්ගෙන් බෙන්ජමින් ගේ අදහස් කියැවීම මානවයා සහ කලාව අතර ඇති සම්බන්ධය පිළිබඳ ඔහුගේ තීක්ෂණ නිරීක්ෂණ සහ විනිවිද යන ප්‍රතිවේද නොසළකා හැරීමක් හැරීමක් වන බවයි. ක්‍රිස්ටෝෆර් පිනෙ (Christopher Pinney) තම “The Indian Work of Art in the Age of Mechanical Reproduction Or, What Happens When Peasants “Get Hold” of Images” (බලන්න, Ginsburg , Abu-Lughod සහ Larkin සංස්කරණය කළ Media Worlds: Anthropology on New Terrain, (355 – 369) ) නමැති ලිපියේ මතු කරන පරිදි මයිකල් ටවුසිග් Michael Taussig තම Mimesis and Alterity නමැති කෘතියෙහි බෙන්ජමින් ගේ ලිපිය ඉහත සඳහන් කළ ආකාරයේ අති සරල කියැවීම් වලින් ගලවා ගන්නට හැකි බව පෙන්වා ඇත.9048.160
තවද, බෙන්ජමින් ගේ ලිපිය පදනම් කොට ගත් නිදර්ශණයක් ලෙස පිළිගැනී ඇති බීබීසී ය විකාශය කළ ජෝන් බර්ජර් (John Berger) ගේ The Ways of Seeing (මෙහි බලන්න) නමැති රූපවාහිනී වැඩ සටහන් මාලාව (සහ එය පදනම් කරගත් පොත) පවා බර්ජර්ගේම ප්‍රකාශිත අරමුණු වලට එරෙහිව යමින් බෙන්ජමින් ගේ ලිපිය අති සරල කියැවීම් වලින් ගලවා ගැනීමට කියැවිය හැකි බවට Pinney තව දුරටත් තර්ක කරයි.

යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ කලා කෘතිය

වෝල්ට බෙන්ජමින්

පරිවර්තනය – සුචරිත ගම්ලත්

අපගේ ලලිතකලා සංවර්ධනය කෙරුණේ, ඒවායේ වර්ග හා භාවිතයන් තහවුරු කෙරුණේ අප ජීවත්වන වත්මන් යුගයට බොහෝ වෙනස් යුගවල, අප හා සසඳන විට දේවල් කෙරෙහි ක්‍රියා කිරීමේ වැදගත් බලයක් පැවති මිනිසුන් විසිනි. එහෙත් අපගේ තාක්ෂණයන්හි විස්මයජනක වර්ධනයත් ඒවා අත්පත් කරගෙන ගිබෙන අනුවර්තනීයතාව හා නිරවද්‍යතාවත් ඒවා නිර්මාණය කරන අදහස් හා පුරුදුත් සෞන්දර්යය නිර්මාණය කරන චිරාගත ශිල්පයෙහි ගැඹුරු වෙනස්කම් එළඹීමට නියමිත බව නිසැක බවට පත් කරයි. සියලු ම කලාවන්හි පෙර සැලකූ පරිදි තව දුරටත් නො සැලකිය හැක්කා වූත් අපගේ සමකාලීන දැනුමේ හා බලයේ බලපෑමට ගෝචර නො වී නො පැවතිය හැක්කාවූත් භෞතික සංචරකයක් ඇත. පසු ගිය විසි වසරේදී ද්‍රව්‍යය වත් අවකාශය වත් කාලය වත් අනාදිමත් කාලයක සිට පැවති ලෙසින් පැවතී නැත. කලාවන්හි සම්පූර්ණ තාක්ෂණය ම පරිවර්තනය කරන්නා වූත් එමඟින් කලාත්මක සොයාගැනීම්වලට ම බලපාන්නා වූත් ඇතැම් විට කලාව පිළිබඳ අපගේ සංකල්පයේ ම වෙනසක් පවා ඇති කරන්නාවුත් මහා නවීකරණයන් අපේක්ෂා කල යුතුයි (පෝල් වැලරි).

පුරෝකථනය

කාල් මාක්ස් ධනවාදී නිෂ්පාදන විධිය විමර්ශනය කිරීම ආරම්භ කරන කාලයේ මේ නිෂ්පාදන විධිය පැවතුණේ තම ළදරු අවධියේ ය. මාක්ස් තම විමර්ශන ප්‍රයත්නයන් මෙහෙයවූයේ ඒ විමර්ශන වලට පූර්වනිර්ණයකාරී, කල්තියා කරන නිර්ණයක අගයක් ලැබෙන ආකාරයෙනි. ධනවාදී නිෂ්පාදනයට ප්‍රතිෂ්ඨා වන මූලික තතු වෙත ආපසු ගිය ඔහු තම ඉදිරිපත් කිරීම මඟින් අනාගතයේදී සිදු වේ යැයි බලාපොරොත්තු විය හැකි දේ ධනවාදයෙහි පෙන්වා දුන්නේ ය. මෙහි ප්‍රතිඵලය වූයේ ධනවාදය අනාගතයේදී එන්ට එන්ටම තීව්‍ර වන ලෙසින් නිර්ධන පන්තිය සූරා කන බව පමණක් නොව අවසානයේ දී ධනවාදය ම අහෝසි කර දැමීමේ හැකියාව ගෙන දෙන තතු නිර්මාණය කරන බව බලාපොරොත්තු විය හැකි වීමයි.

ආර්ථික අඩිතාලමෙහි සිදුවන පරිවර්තනයට වඩා ඉතා මත් සෙමෙන් සිදු වන දෘෂ්ටිවාදාත්මක මතුමහලේ පරිවර්තනය නිෂ්පාදනයේ තත්වයන්හි වූ වෙනස්කම් සංස්කෘතියේ සියලු අංශ තුළ ප්‍රකාශයට පත් කිරීම සඳහා ශතවර්ෂ භාගයකටත් වැඩි කාලයක් ගෙන ඇත. මේ ප්‍රකාශනයන් කවර රූපයක් ගෙන ඇද්දැයි දැක්විය හැක්කේ දැන් පමණි. මේ ප්‍රකාශනයන් විසින් ඇතැම් පූර්වනිර්ණයකාරී අවශ්‍යතා සපුරාලිය යුතු ය.

එහෙත් බලය අතට ගැනීමෙන් පසු නිර්ධන පන්තිය නිපදවන කලාව ගැන හෝ පන්ති රහිත සමාජයක පහළ වන කලාව ගැන හෝ වන ප්‍රවාද මේ අවශ්‍යතාවලට සම්බන්ධ වන්නේ නිෂ්පාදනයේ වර්තමාන තතු තුළ වන කලාවේ සංවර්ධනය ප්‍රවණතාවන්ට අදාළ ප්‍රවාද ඒවාට සම්බන්ධ වනවාට වඩා අඩුවෙනි. මේ සංවර්ධනය ප්‍රවණතාවන්ගේ අපෝහකය දෘෂ්ටිවාදාත්මක මතුමහල තුල දිස් වන්නේ ආර්ථිකය තුළ දිස් වනවාට වඩා අඩුවෙන් නො වේ.

එහෙයින් ආයුධයක් ලෙස එබඳු ප්‍රවාදවල පවත්නා අගය අඩු තක්සේරු කිරීම වැරදි ය. ඒ ප්‍රවාද යල් පිනූ සංකල්ප ගණනාවක් ම බැහැර කරයි. එනම්, නිර්මාණශීලීත්වය හා සුධීමත්භාවය, පාලනයක් රහිත (හා වත්මන්හි බොහෝ සෙයින් පාලනය කළ නො හැකි) යෙදීම, ෆැසිස්ට්වාදී අර්ථයෙන් දත්ත සැකසීම වෙත ගමන් කරන කලාවේ සදාකාලික අගය හා කලාව තුළ පවතින්නේ ගූඪ අගයකි යන සංකල්ප ය. මේ ලිපියේ කලාව පිළිබඳ න්‍යායට ඇතුළත් කොට තිබෙන සංකල්ප වඩාත් සුපුරුදු කරුණු වලින් වෙනස් වෙයි. එසේ වෙනස් වන්නේ ඒවා ෆැසිස්ට්වාදයේ අරමුණු සඳහා සම්පූර්ණයෙන්ම නිෂ්ඵල වන හෙයිනි.

I

මූලධර්මාත්මකව සෑම කලා කෘතියක් ම නිතර ම ප්‍රතිනිෂ්පාදනය කළ හැකි ව පැවතී ඇත. මිනිසා විසින් සාදන ලද සිප්කමක් සැම විට ම මිනිසුන් විසින් අනුකරණය කළ හැකිය. තම ශිල්පකලා පුහුණු වීමේ දී ශිෂ්‍යයන් විසින් සිප්කම්වල අනුකෘති සාදන ලදී. තම කෘති ප්‍රචාරණය කිරීම සඳහා කලාගුරුන් විසින් ද ඒවා සාදන ලදී. අවසාන වසයෙන් ලාභ සොයන්නා වූ තුන්වැනි පාර්ශවයන් විසින් ද ඒවා සාදන ලදී.

එහෙත් කලා කෘතියක යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනයෙහි කිසි යම් අළුත් දෙයක් ඇත. ඉතිහාසය අතින් බලන විට යාන්ත්‍රික කලා ප්‍රතිනිෂ්පාදනය ප්‍රවර්ධනය ලැබුවේ ඉඳහිට ය; දීර්ඝ කාල පරාස ගතවීමෙන් පසු පිමි වසයෙනි. මේ පිමි ත්වරිත වූ තීව්‍රත්වයකින් යුතු විය. ග්‍රීකයන් දැන සිටියේ යාන්ත්‍රික කලා ප්‍රතිනිෂ්පාදන දෙකකි: වාත්තු කිරීම හා එබ්බීම ය. ඔවුන්ට විශාල ප්‍රමාණවලින් නිෂ්පාදනය කළ හැකි වූ එක ම කලා කෘති නම් ලොකඩ කෘති, කුඩා මැටි පිළිම හා කාසි ය.

අන් සියලු කලා කෘති අද්විතීය විය. ඒවා යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදනය කළ නොහැකි විය. දැව කැටයම් පහළ වූ විට පළමු වරට දෘශ්‍යකලා ප්‍රතිනිෂ්පාදනය කළ හැකි විය. ඒ මුද්‍රණය මඟින් අක්ෂර ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති වන්ට බොහෝ කලකට පෙරය. ලේඛනය යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදනය කිරීම වන මුද්‍රණ ශිල්පය සාහිත්‍යයෙහි ඇතිකොට තිබෙන දැවැන්ත විපර්යාස ගැන කවුරුත් දනිති.

ඒ කෙසේ වෙතත් ලෝක ඉතිහාසයේ පර්යාලෝකයෙන් අප මෙහි පරීක්ෂා කරන ප්‍රපංච තුළ මුද්‍රණය විශේෂයෙන් ම වැදගත් වුවත් හුදෙක් විශේෂ ප්‍රත්‍යේකයකි. මධ්‍යකාලවල දී උත්කීරණය (engraving) හා නිරේඛනය (etching) ලී කැටයම්වලට එකතු විය. 19 වන වැනි සියවසේ ආරම්භයේ දී ලිතෝ මුද්‍රණය ඇති විය.

ලිතෝ මුද්‍රණයත් සමඟ ප්‍රතිනිෂ්පාදන තාක්ෂණය සාරභූත වසයෙන් නව අදියරකට සැපත් විය. මේ ඉතාමත් සෘජු ක්‍රමයෙහි විශේෂ ලක්ෂණය වූයේ මෝස්තරයක් ලී තහඩුවක් මත කාවද්දනවාට වඩා ගලක් මත නිරේඛනය කිරීම හෝ එය තඹ තහඩුවක් මත උත්කීරණය කිරීමත් ප්‍රථම වරට දෘශ්‍යකලාවට මෙතෙක් පැවති ලෙස මහා පරිමාණයෙන් පමණක් නො ව දිනපතා ම වෙනස් වන රූපකයන්ගෙන් තම නිෂ්පාදන වෙළඳපොළට මුදා හැරීමේ හැකියාව ගෙන දීම යි. ලිතෝ මුද්‍රණය දෛනික ජීවිතය සන්නිදර්ශිත කිරීමේ හැකියාව දෘශ්‍යකලාවට ගෙන දුනි. එය මුද්‍රණශිල්පය සමඟ සම වේගයෙන් ගමන් ගැනීම ඇරඹී ය. එහෙත් සොය‍ාගෙන දසවස් කීපයක් පමණක් ගත වූ තැනේ දී ලිතෝ මුද්‍රණය ඉක්මවා ඡායාරූප ශිල්පය පැමිණියේ ය.

ප්‍රථම වරට ඡායාරූප ශිල්පය රූප ප්‍රතිනිෂ්පාදන ක්‍රමයෙහි ඉතා මත් වැදගත් කලාත්මක කාර්යයන්හි අත් නිදහස් ක‍ෙළ් ය. මින් මතු කාර්යය කාචයන් දෙස බලන ඇස වෙත පමණක් විය. අත්වලට ඇඳිය හැකි වනවාට වඩා වේගයෙන් ඇස් වලට දැකිය හැකි නිසා රූප ප්‍රතිනිෂ්පාදන ක්‍රමය කෙතරම් දැවැන්ත ලෙස ත්වරිත වූයේ ද යත් එයට භාෂණය සමඟ සම වේගයෙන් ගමන් කළ හැකි විය. චිත්‍රාගාරයක් තුළ දර්ශනයක් කැමරාගත කරන සිනමාකරු නළුවෙකු‍ගේ භාෂණයේ වේගයෙන් ම යුතු ව ප්‍රතිරූපක ග්‍රහණය කරයි. ලිතෝ මුද්‍රණයෙන් සන්නිදර්ශිත පුවත්පතේ පහළ වීම අදහස් වූ පරිදි ම ඡායාරූප ශිල්පය සනාද චිත්‍රපටයට මඟ පෑදී ය. නාදය යාන්ත්‍රික ව ප්‍රතිනිෂ්පාදනය කිරීමේ ප්‍රශ්නය 19 වන සියවසේ අග දී විසඳන ලදී.

මේ ඒක රාශි වූ ප්‍රයත්න නිසා පහත එන වාක්‍යයෙහි පෝල් වැලරි දක්වන තත්ත්වය කල් තියා කිය හැකි විය:

අපගේ අවශ්‍යතා සැපිරීම සඳහා ගෑස්, ජලය හා විදුලිය ඈත සිට අපගේ නිවෙස්වලට ගෙන එනු ලබන පරිදිම අපට දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය සංකල්පරූප සැපයෙනු ඇත. සළකුණකට වැඩි දෙයක් නොවන සරල හස්තචලනයකින් ඒවා දිසි වනු ද අදිසි වනු ද ඇත.

1900 වන විට කලා ප්‍රතිනිෂ්පාදනය නැඟ තිබූ තත්වය අනුව සියලු ප්‍රක්ෂේපිත කලා කෘති ප්‍රතිනිෂ්පාදනය කිරීමටත් එමඟින් මහජනයා කෙරෙහි ඒවායේ බලපෑම ඉතාමත් ගැඹුරු විපර්යාශයකට‍ භාජන කිරීමටත් ඉඩ ලැබුණා පමණක් නො වේ. එය කලාත්මක සන්තතීන් තුළ තමාගේ ම තැනක් ද අත්පත් කරගති. මෙ තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා කලා කෘති ප්‍රතිනිෂ්පාදනය කිරීම හා සිනමා කලාව යන මේ වෙනස් ප්‍රකාශනයන් සාම්ප්‍රදායික කලාව කෙරෙහි ඇති කළ ප්‍රතිඵලවලට වඩා අනාවරණකාරී අන් දෙයක් නැත.
II

කලා කෘතියක ඉතාමත් පරිසමාප්ත ප්‍රතිනිෂ්පාදනයෙහි පවා එක් අංගයක් අඩු ය: කාලය හා අවකාශය තුළ එහි පැවැත්ම, එය පැවතීමට සිදු වී ඇති තැන එහි අද්විතීය පැවැත්ම, එහි පැවැත්මේ සම්පූර්ණ කාලය තුළ එහි ඉතිහාසය නිර්ණය කළේ කලා කෘතියේ මේ අද්විතීය පැවැත්ම යි. ගත වූ කාලය පුරා එහි භෞතික පැවැත්මෙහි සිදු වූ වෙනස්කම් ද එහි අයිතියේ සිදු වූ විවිධ වෙනස්කම් ද ඒ ඉතිහාසයට අයත් ය. පළමු කී වෙනස්කම්වල ලකුණු අනාවරණය කළ හැක්කේ රසායනික හා භෞතික විශ්ලේෂණය මඟින් පමණි. මේ විශ්ලේෂණය ප්‍රතිනිෂ්පාදනයක කළ නො හැකි ය. අයිතියේ වෙනස්කම් පවතින්නේ සම්ප්‍රදායගත ව ය. ඒවා සොයාගත යුත්තේ මූලකෘතියේ අයිතියේ සිට ය.

කලා කෘතියේ සත්‍ය බව පිළිබඳ සංකල්පය සඳහා මූලකෘතිය පැවතීම පූර්වාවශ්‍යතාවකි. ලෝකඩ පිළිමයක බැඳී තිබෙන කොළ පැහැති පෙඳතට්ටුව ගැන කරන රසායනික විශ්ලේෂණය මෙය තහවුරු කිරීමට උපකාරී විය හැකි ය. මධ්‍යකාලයට අයත් දෙන ලද අත් ලිපියක් 15 වන සියවසේ ලේඛනාගාරයකින් පැවත එන බවට ඇති සාක්ෂි සපයන රුකුල මෙන් ම ය. කලා කෘතියේ සත්‍යතාව පිළිබඳ සමස්ත ක්ෂේත්‍රය ම තාක්ෂණික හා වෙනත් ආකාර වලින් ප්‍රතිනිෂ්පාදනය කළ නොහැකි බැවින් පිටස්තර ය. සත්‍යතාව ඒ කිසි ලෙසකිනුත් ප්‍රතිනිෂ්පාදනය කළ හැකි නො වේ. සාමාන්‍යයෙන් කූටකෘති ලෙස හංවඩු ගසනු ලබන අතින් කරන ප්‍රතිනිෂ්පාදනය ඉදිරිපත් වූ විට මූලකෘතිය තම සම්පූර්ණ සත්‍යතාව ආරක්ෂා කරගති. තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනය අභියස එයට එසේ කළ හැකි නො වේ.

එසේ නො කළ හැකි බවට හේතු දෙකකි. පළමු ව, මේ ගණයේ ප්‍රතිනිෂ්පාදනය අතින් කරන ප්‍රතිනිෂ්පාදනයට වඩා මූලකෘතියෙන් නිදහස් ය. නිදසුනක් වසයෙන්, ඡායාරූප ශිල්පයේ දී ක්‍රියාවලීය ප්‍රතිනිෂ්පාදනයට මූලකෘතියේ එන පියවි ඇසට නොපෙනෙන නමුත් සීරුමාරු කළ හැකි හා කැමති කෝණයක් තෝරාගන්නා කාචයට ප්‍රවේශ විය හැකි අංශ අණාවරණය කළ හැකි ය. තව ද විශාලනය හෝ මන්දචලනය වැනි ඇතැම් ක්‍රම වල උපකාරයෙන් ඡායාරූපීය ප්‍රතිනිෂ්පාදනයට ස්වභාවික දෘෂ්ටියට මඟ හැරෙන ප්‍රතිච්ඡායා ග්‍රහණය කළ හැකි ය.

දෙවැනි ව තාක්ෂණික ප්‍රතිනිෂ්පාදනයට මූලකෘතියේ පිටපත මූලකෘතියට ළං විය නො හැකි තත්වයන්ට පත් කළ හැකි ය. සියල්ලට මත් වඩා එය ඡායාරූප රූපයෙන් හෝ වේවා, ඡායාරූප වර්තා රූපයෙන් හෝ වේවා මූලකෘතියට ප්‍රෙක්ෂකයා අඩමඟ දී හමු වීමට සලස්වයි. ආසන දෙව්මැඳුර එහි නිජස්ථානයෙන් වෙන් ව කලා ළැදියෙකු විසින් කලාගාරයක දී දකිනු ලබයි. ශ්‍රවණාගාරයක හෝ විවෘතාවකාශයක පවත්වනු ලබන සංගීත වාදනය විසිත්ත කාමරයෙහි ප්‍රතිධ්වනි නංවයි.

යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනය මඟින් කරන ලද නිෂ්පාදනය පමුණුවාලිය හැකි තත්වයන් මූලකලාකෘතිය ස්පර්ශ නොකරන්නට පුළුවන. එසේ නමුත් ප්‍රතිනිෂ්පාදිතය නිසා ඒ මූලකෘතියේ පැවැත්මේ ගුණය සැම විට ම වියැකී යයි. එය කලා කෘතිය සම්බන්ධයෙන් පමණක් නො ව, නිදසුන් වශයෙන්, සිනමාවක ප්‍රේක්ෂකයා අබියස යළි දර්ශනය වෙමින් සංක්‍රමණය වන භූදර්ශනයක් සම්බන්ධයෙන් ද සත්‍ය වේ. එහෙත් කලාත්මක වස්තුවක් සම්බන්ධයෙන් සලකන කල්හි යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදනයේ දී එහි න්‍යෂ්ටිය වන සත්‍යතාවට ඇඟිලි ගැසේ. එනමුත් මේ අතින් කිසි ස්වභාවික වස්තුවක් එවැනි දෙයකට ගෝචර නොවේ.

කිසි යම් දෙයක සත්‍යතාව, එහි ආරම්භයේ සිට ම එය පැවති කාලපරිච්ඡේදය හරහා එය ගෝචර වී ඇති ඉතිහාසයට සාක්ෂ්‍ය තෙක් ම සම්ප්‍රේෂණය කළ හැකි සියල්ල නම් එහි සාරය යි. ඓතිහාසික සාක්ෂ්‍ය රඳා පවතින්නේ සත්‍යතාව මත හෙයින් කෘතිය සැබවින් පැවති කාලපරිච්ඡේදය අදාළ නොවන ප්‍රතිනිෂ්පාදනය නිසා ඒ ඓතිහාසික සාක්ෂ්‍ය ද අනතුරට භාජන වේ. ඓතිහාසික සාක්ෂ්‍ය හානියට ගෝචර වන විට සැබවින් ම අනතුරට භාජන වන්නේ වස්තුවේ සත්‍යතාව ම යි. ප්‍රතිනිෂ්පාදනයෙන් ඉවත් ව යන අංශය කෘතියේ “රශ්මිමාලාව” යන පදය යටතේ ලා ගෙන මෙසේ කිය හැකි ය: යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදන යුගයේ දී වියැකී යන්නේ කලා කෘතියේ රශ්මිමාලාව යි. මෙය මෙසේ කීම මගින් සාමාන්‍යකරණය කළ හැකි ය. ප්‍රතිනිෂ්පාදන තාක්ෂණය ප්‍රතිනිෂ්පාදිත වස්තුව සම්ප්‍රදාය නමැති ක්ෂේත්‍රයෙන් ගලවාලයි. බොහෝ ප්‍රතිනිෂ්පාදන කිරීම මඟින් මේ තාක්ෂණය මූලකෘතියේ අද්විතීය පැවැත්මට පිටපත් බාහුල්‍යයක් ආදේශ කරයි. තව ද ප්‍රේක්ෂකයා හෝ ශ්‍රාවකයා හෝ තමා සිටින තත්වයේ දී ම හමු වීමට ප්‍රතිනිෂ්පාදනයන්ට සැලැස්වීමෙන් එය ප්‍රතිනිෂ්පාදිත වස්තුව ප්‍රතිසක්‍රියණය කරයි.

මේ ක්‍රියාවලි දෙක සම්ප්‍රදාය අති මහත් ලෙස සිඳබිඳ දැමීමක් කරා ගමන් කරයි. මානව සංහතියේ සමකාලීන අර්බුදයේ ද නවීකරණයේ ද ඉදිරිපස නම් මෙය යි. මේ ක්‍රියාවලි දෙකම සමකාලීන මහජන ව්‍යාපාර සමඟ අතිසමීප ව බැඳී පවතී. මේ ක්‍රියාවලි දෙකේ අතිප්‍රභල නියෝජිතය නම් සිනමාව යි. එහි විනාශකාරී, භාවවිරේචනය කොට සිත සමහන් කරන අංශය, එනම්, සංස්කෘතික උරුමයේ සම්ප්‍රදායික සාරධර්ම දිය කර හැරීම සැලකිල්ලට නො ගෙන විශේෂයෙන් ම එහි ඉතා මත් සාධනක ස්වරූපයෙන් එහි සාමාජික අර්ථවත් බව සලකාගත හැකි ය.
මේ ප්‍රපංචය ඉතා මත් විශද ආකාරයෙන් දක්නට ලැබෙන්නේ මහා ඓතිහාසික චිත්‍රපටවල ය. එය එන්ට එන්ට ම අලුත් තත්වයන් කරා විහිද යයි. 1927 දී ඒබල් ගාන්ස් උද්‍යෝගවත් ව මෙසේ හඬ නඟා කී ය:

ශේක්පියර්, රෙම්බ්‍රාන්ට්, බීතෝවන් චිත්‍රපට සාදනු ඇත… සියලු ජනප්‍රවාද, සියලු පුරාකථාවේද හා පුරාකථා, සියලු ආගම් කතුවරු හා ආගම් ම ද… තමන්ගේ අනාවරණය කරන ලද පුනරුත්තාපනය අපේක්ෂාවෙන් සිටිති. වීරයෝ එකිනෙකා ගේට්ටුව ලඟ රැස් කති.

තමා අදහස් නො කළා විය හැකි නමුත් ඔහු ඉදිරිපත් කළේ ඉතා දුර දිග යන දිය කර හැරීමක් සඳහා ආරාධනයකි.

තව කොටසක් ඉදිරියට

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

"අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්"
“අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක්”
නිව්ට්න් ගුණසිංහ ලංකාව බිහි කළ ප්‍රථම මාක්ස්වාදී මානව විද්‍යාඥයා වශයෙන් පිළිගැනේ.මාක්ස්වාදී න්‍යාය ක්ෂේත්‍ර පර්යේෂණ සමග සම්බන්ධ කරමින් ප්‍රබල මාක්ස්වාදී මානව විද්‍යා ශාස්ත්‍රීය සම්ප්‍රධායක් ලංකාවේ ආරම්භ කලේ ඔහුය.

නිව්ට්න් ගුණසිංහ 1946 අප්‍රියෙල් 5 දින නාවලපිටියේ උපත ලබා ගම්පොල වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්වීතීක අධ්‍යාපනය ලබා 1963 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත්ව මහාචාර්ය ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් වැනි ප්‍රවීණයන් යටතේ සමාජ විද්‍යාව හැදැරීය. 1973 දී ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඔහු ආචාර්ය උපාධිය සඳහා අධ්‍යයනය කිරීමට සුප්‍රකට මාක්ස්වාදී මානව විද්‍යාඥයෙකු වූ මැක්ස් ග්ලක්මන් ආධිපත්‍ය හෙබවූ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අංශයට සම්බන්ධ වීය. එසමයෙහි මැක්ස් ග්ලක්මන් ගේ කැමැත්ත වූයේ තම ශිෂ්‍යයන් අප්‍රිකාව පිළිබඳ පර්යේෂකයන් වනු දැකීමය. තම රට පිළිබඳ තම ආචාර්ය උපාධි පර්යේෂණය කිරීමට අවැසි වූ නිව්ටන් ලංකාව පිළිබඳ “පුල් එලිය” නමින් කෘතියක් කළ කේම්බ්‍රිජ් හි ඊ. ආර් ලීච් හමු වීම ඔහුගේ පර්යේෂණ දිශානතිය ලංකාව කෙරෙහි යොමුවීම තහවුරු කළේය. ඔහු පසුව දේශපාලන ආර්ථික විද්‍යාවේ ප්‍රවීනයෙකු වූ ඩඩ්ලි සියර්ස් ප්‍රධානත්වය ඉසිලූ සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංවර්ධන අධ්‍යයන ආයතනයට සම්බන්ධ වේ. Changing Socio – Economic Relations in the Kandyan Countryside යන ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයෙන් නුවර ගම්වල නිෂ්පාදන සබඳතා වැඩවසම් නිෂ්පාදන මාදිළියෙන් ධනවාදය වෙත පරිවර්තනය වීම පිළිබඳව සාකච්ඡා කෙරෙයි. එහිදී ඔහුගේ ප්‍රවාදය වූයේ ආචීර්ණ කල්පික නිෂ්පාදන සබඳතා ධනවාදී සමාජ සැකසුම තුළ යළි සක්‍රීයතාවයට පත්වීම පිළිබඳ කාරණය වේ.

කෘෂි අධ්‍යයන, ජනවාර්ගික අර්බුදය, ඉඩම් ප්‍රතිසංස්කරණ, 56 දේශපාලන විපර්යාසය කුලය හා පංති සැකසුම ආදි සමාජ, දේශපාලන, ආර්ථික ක්ෂේත්‍රයන්ගේ පර්යේෂණාත්මක ලිපි ගණනවක් දායාද කර ඇති ඔහු ග්‍රාම්ස්චි, අල්තූසර්, පුලන්ත්සාස් වැනි මාක්ස්වාදී චින්තකයන් මගින් බිහි වූ නව චින්තන ප්‍රවණතාවයන් ලාංකික සමාජයට හඳුන්වාදීමට පුරෝගාමී විය. ජයරත්න මලියගොඩ හා එක්ව පිහිටුවා ගත් මහනුවර ගොවි කම්කරු ආයතනය එවැනි අදහස් සමාජ ගත කල ස්ථානයකි. එමෙන්ම, සිංහලයාගේ සංස්කෘතිය පිළිබඳ ඔහු ලියන ලද විවාදාත්මක, සාරගර්භ ලිපිය නිසා වරක් ජාතිකවාදීන් ඔහු “තුප්පහි බුද්ධිමතා” යනුවෙන් හඳුන්වන තැනට පත්විය. නලින් ස්වාරිස්, කුමාරි ජයවර්ධන, සේනක බන්ඩාරනායක වැනි අය එක්ව සමාජ විද්‍යාඥයින්ගේ සංගමය පිහිටුවීමට ද ඔහු මුල්විය.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අවධියේ සිටම වාමාංශික දේශපාලනය හා සම්බන්ධ වූ ඔහු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මාවෝ වාදී පිල සමග කටයුතු කලා පමණක් නොව නාවලපිටිය කම්කරු සංගම් ක්‍රියාකාරීත්වයේ නායකත්වය ගෙන කටයුතු කලේය.එසේම, 80 දශකයේ අග භාගයේ ලංකා දේශපාලනය තුළ විපක්ෂය දුර්වල වීම, ජ.වි.පෙ සන්නද්ධ අරගලය ඇරඹීම ග්‍රාම්ස්චියානු විග්‍රහයකට ලක් කල ඔහු ෆැසිස්ට්වාදයේ නැගීම හමුවේ සිවිල් සමාජය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය දුටුවේය. ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය (MIRJE) එහි ප්‍රතිඵලයකි. ඔහු එහි ආරම්භක සාමාජිකයෙකි. ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1988 ඔක්තෝම්බර් 31 වෙනිදා හදිසියේ අභාවප්‍රාප්ත වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්යවරයෙක් විය.

අප මෙහි පල කරන කෘතිය 1985 දී ගොවි කම්කරු ආයතනයේ කරන ලද දේශන එකතු කර පල කරන ලද්දකි. එය ගොවි කම්කරු ආයතනයේ ප්‍රකාශනයක් ලෙස පලවී ඇත්තේ 1986 අගෝස්තුවේය.

ඓන්ද්‍රීය බුද්ධිමතුන් හා ඔවුන්ගේ කාර්ය භාරය

ඉතාලි තත්ත්වයන් තුළ බුද්ධිමය ශ්‍රේණීන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සාකච්ඡා කිරීමේ දී කතෝලික පල්ලිය විසින් දිගු කලක් තිස්සේ කරන ලද මතවාදී හා සංස්කෘතික ආධිපත්‍යය ද සැලකිල්කට ගතයුතුව ඇත. ග්‍රාම්ස්චි පල්ලිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එම ආයතනය නිශ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දරා සිටීම වැදගත් සංවිධානාත්මක ශක්තියක් ලෙස හඳුනා ගනී. මුළින්ම වහල් සමාජය තුළ දී ආධිපත්‍යය ඇති කර ගන්නා කතෝලික පල්ලිය ඉන් පසුව රදල වැඩවසම් ක්‍රමය යටතේ ද එම ආධිපත්‍යය ආරක්ෂා කරගනී. ධනේශ්වර ක්‍රමය ඇතිවන විට ප්‍රොතෙස්තන්ත්‍ර ප්‍රතිසංස්කරණයන් නිසා පල්ලියට විශාල බාධා පැමිණුන ද, යුරෝපය තුළ සම්පූර්ණ වශයෙන් විශ්වනීය බලයක් පවත්වාගෙන යන්නට නොහැකි වුවත්, මූලික වශයෙන් බොහෝ ප්‍රදේශයන් තුළ තම බලපෑම දිගටම පවත්වාගෙන යන්නට එයට හැකි විය. ඓතිහාසික දෘෂ්ඨි කෝණයකින් බලන කළ කොමියුනිස්ට් පක්ෂය ද නිෂ්පාදන ක්‍රම ගණනාවක් නොමැති වුවද, අවම වශයෙන් නිෂ්පාදන ක්‍රම දෙකක් තුළ ආධිපත්‍ය පවත්වාගෙන යා යුතු සංවිධානයකි. ධනේශ්වර ක්‍රමය තුළත් සමාජවාදී යුගය තුළත් කොමියුනිස්ට් පක්ෂය පැවතිය යුතුය. මෙලෙස නිෂ්පාදන රටාවන් ගණනාවක් තුළ ආධිපත්‍යය දැරීම කතෝලික පල්ලිය හා කොමියුනිස්ට් පක්ෂය අතර ඇති මූලික සමානත්වයකි. එමනිසා කතෝලික පල්ලිය තම ආධිපත්‍යය නිෂ්පාදන ක්‍රම ගණනාවක් තුළ පවත්වාගෙන ගිය ආකාරය විප්ලවවාදීන් විසින් අධ්‍යයනය කොට උකහා ගතයුතු බව ග්‍රාම්ස්චි පෙන්වා දෙයි.

කතෝලික පල්ලිය තුළ ප්‍රධාන ප්‍රවනතා දෙකක් ග්‍රාම්ස්චි හඳුනා ගනී. පළමුවැන්න වනාහි පැරණි ප්‍රධාන පියතුමන්ලා සහ දේවධර්ම ශාස්ත්‍රාචාරීන් විසින් දේශනා කරන ලද බොහෝ දුරට දාර්ශනික වූ මතයයි. දෙවැන්න යුරෝපීය ග්‍රාමීය ප්‍රදේශ තුළ බොහෝ දුරට ශාන්තුවරයන් ආශ්‍රයෙන් සකස් වී තිබූ සාමාන්‍ය ජනතාවගේ ආගමයි. මෙම ප්‍රවනතා දෙක අතර සෑහෙන දුරස්තර භාවයක් ඇත. සාමාන්‍ය ජනතාවගේ ආගම බොහෝ දුරට ඇදහිලි හා භක්තිය මත සකස් වී ඇති අතර දේවධර්ම ශාස්ත්‍රාචාරීන්ගේ ආගම බොහෝ දුරට දාර්ශනික වූවකි. මෙම තත්ත්වයන් මෙසේ පවතිද්දීම පල්ලිය විශාල කාලයක් මතවාදී ආධපත්‍යය පවත්වාගෙන යාමෙහිලා සාර්ථකත්වයක් දිනාගෙන ඇත. මෙම ප්‍රවනතා දෙක ඕනෑම පන්ති සමාජයක පැවතිය යුතුය. ග්‍රාම්ස්චි, කතෝලික පල්ලියේ සාර්ථකත්වය වන්නේ මෙම ප්‍රවනතා දෙක අතර නිවැරදි තුළනයක් පැවැත්වීම මගින් මෙම කොටස් අතර නිවැරදි ආකාරයේ සම්බන්ධතාවක් පවත්වා ගැනීම බව පෙන්වා දෙයි. එමගින් කතෝලික පල්ලිය තම මතවාදී ජයග්‍රහණයන් තහවුරු කර ගත්තේය. එමෙන්ම යම් යම් අවස්ථා වලදී යම් රැඩිකල් මතවාදීන් විසින් ගෙනෙන ලද, පල්ලියේ දෘෂ්ඨි කෝණයෙන් බලන කළ “මිත්‍යාදෘෂ්ඨික” මත, යම් ආකාරයකින් විසඳීමට ද පල්ලිය සමත් වී ඇත. ෆ්‍රැන්සිස්කානු නිකාය ආරම්භ කළ ඇසිසිහි සාන්ත ෆ්‍රැන්සිස් මුනිවරයා වැනි අය ඉදිරිපත් කළ රැඩිකල්වාදී ප්‍රවනතාවයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධ නොවී, ප්‍රධාන ව්‍යූහය තුළම යම් ස්ථානයක් හිමි කර දීමෙන් ඉතාමත් නිවැරදි ආකාරයට තුලනය සහ ආදිපත්‍යය පවත්වාගෙන යාමට පල්ලිය සමත් වී ඇත. එනම් මතවාදී දිනා ගැනීම මගින් විවිධ බුද්ධිමය කොට්ඨාශයන් හැසිරවීමේ කාර්ය භාරය පල්ලිය විසින් නිවැරදිව ඉටුකොට ඇත.

කතෝලික පල්ලියේ පැවතුනු ප්‍රවනතා දෙක, එනම් ඉතාලි පූජකයින්ගේ දාර්ශනික ආගම සහ මහජනතාවගේ ආගම අතර සම්බන්ධතාවයට බොහෝ දුරට සමාන්තරව දිවෙන සම්බන්ධතාවයක් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් සහ කම්කරු පන්තිය අතර ද දක්නට ඇත. ග්‍රාම්ස්චි විසින් නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් ලෙස හඳුන්වනු ලබන කොට්ඨාශයේ සුවිශේෂප කාර්ය භාරය ඔහු විසින් සංකීර්ණ ලෙස විග්‍රහ කොට ඇත. මෙහිදී ඔහුගේ විග්‍රහයට අනුව මහජනතාව සංවිධානය කිරීම වැනි බුද්ධිමය කාර්යයන් ඉටු කරන සියලු දෙනා අයිති වන්නේ නිර්ධන පන්තියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන්ගේ කොට්ඨාශයටයි. “හමුදාවක් නැති සෙනෙවි මඬුල්ලක්” යන ඉංග්‍රීසි කියමන ඔහු තම විග්‍රහයට උපයෝගී කර ගනී. මෙම කියමන බොහෝ දෙනා පාවිච්චි කරනුයේ අනුගාමිකයන් පිරිසක් නොමැති නායක මණ්ඩලයක් යන්න වඩා උපහාසාත්මකව පැවසීම සඳහා වන නමුත් ග්‍රාම්ස්චි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින්, සෙනෙවි මඬුල්ලක් ඇත්නම් හමුදාවක් ගොඩනැගීමේ හැකියාව ඇති බව පෙන්වා දෙයි. විසිරුනු ජන සමුදායකගෙන් හමුදාවක් ගොඩනැගීම කිසිසේත් කළ නොහැක්කකි. ඒ සඳහා නායකත්ව ශ්‍රේණීන් ක්‍රියාත්මක විය යුතුය. එමනිසා ග්‍රාම්ස්චි පෙන්වා දෙනුයේ සෙනෙවි මඬුල්ලක් ඇත්නම් සහ එම සෙනෙවි මඬුල්ල නියමාකාර සෙනෙවි මඬුල්ලක් නම් බොහෝ විට හමුදාවක් වටා ගොඩනැගෙන බවය. ග්‍රාම්ස්චි මෙහිදී සාමාන්‍ය ජනතාවගේ කාර්ය භාරයේ ඇති වැදගත්කම ද අවධාරනය කරන්නේ වී නමුත් එම කාර්ය භාරය ඉටු කිරීම සඳහා, නායකත්ව ශ්‍රේණීන් වටා, ඒ යටතේ ගොනුවන මහජනතාව විසින් ඉතිහාසය ගොඩනැගීම කරනු ලබන බව ඔහු අවධාරනය කරයි. විශේෂයෙන්ම සමහර ඓතිහාසික ආරම්භක අවස්ථාවන් වලදී නායකත්ව ශ්‍රේණීන්ගේ කාර්ය භාරය ඉතාමත් අත්‍යවශ්‍ය වෙයි. ග්‍රාම්ස්චිගේ මතය අනුව කම්කරු පන්තියට නිසියාකාරයෙන් කම්කරු පන්තික විඥානය ඇතිකර ගත හැක්කේ මෙම නායකත්ව ශ්‍රේණීන් සමඟ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයක් පවත්වා ගැනීම මගිනි. මෙය ලෙනින්ගේ මතයන් සමඟ ද සමාන්තරව දිවෙන්නකි. ලෙනින් බොහෝ විට අවධාරනය කළේ කම්කරු පන්තියට සිය පන්ති විඥානය ලබාගත හැක්කේ වෘත්තීමය විප්ලවවාදීන්ගේ ව්‍යාපාරයක් සමඟ පවත්වන්නාවූ ද්වන්ද්වාත්මක සම්බන්ධතාවයකින් පමණක් බවය. එසේ නැතහොත් කම්කරු පන්තියට තම දෛනික අරගලය තුළ ලබාගත හැක්කේ වෘත්තීය සමිතිවාදී සහ ප්‍රතිසංස්කරනවාදී මානසිකත්වයකි. ග්‍රාම්ස්චි මෙම මතය වඩා ප්‍රභල සහ නව ආකාරයකින් ඉදිරිපත් කරයි. Continue reading අන්තෝනිඕ ග්‍රාම්ස්චි කෙටි හැඳින්වීමක් – ආචාර්ය නිව්ටන් ගුණසිංහ ( අවසාන කොටස)

ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

000_del611660611

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නේ පවත්නා රජයට පක්ෂවද නැතහොත් විපක්ෂවද යන්න මත මෙරට දේශපාලනයේ මූලික පිල් බෙදීමක් සිදුවෙමින් පවතී. ඉන් කියැවෙන්නේ මෙම මැතිවරණය ලාංකේය දේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන බවයි.

මෙයට අමතරව විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ද විවිධ මත අනුව පිල් බෙදෙමින් පවතී. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ යෝජනා මුල් කොට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොට ගත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් සඳහා එකඟත්වයක් ගොඩ නැඟීමේ ව්‍යාපාරයක් තිබේ. එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් පිළිගැන්වීමේ උත්සාහයක් ද ඇත. මේ සියල්ල ප්‍රභූ පැළැන්තියේ පාලනය තට්ටු මාරු ක්‍රමයට පවත්වා ගෙන යාමේ වැඩ පිළිවෙලේ තවත් අවස්ථාවක් ලෙස ප්‍රතික්ෂේප කරන නව වමක් ද තිබේ. Continue reading ජනාධිපතිවරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නව වම – කුමුදු කුසුම් කුමාර විසිනි

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

චමීර පෙරේරා,
මධ්‍යම කාරක සභික – ල.ස.ස.ප.

ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ සහෝදරයා මාධ්‍ය හමුවක් කැඳවා තමන් පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව කටයුතු කළ බවත්, සෙසු අය ඊට විරුද්ධව බොරු කියමින් යන බවත් පවසා ඇත. ඇත්තටම විතාරණ සහෝදරයා කළ යුත්තේ, මාධ්‍ය හමුවක් කැඳවා ඔය දේ ප‍්‍රකාශ කිරීමට පෙර, දේශපාලන මණ්ඩලය රැස්වන කාමරයේ ඇති ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියට ගොස් ඔය ප‍්‍රකාශය කිරීමය. ලේකම් සහෝදරයාට තමන් ලියූ දේශපාලන වාර්තාව ගැන කල්පනාවක් නැති කල්හි, පක්‍ෂයේ ව්‍යවස්ථාව හෝ ඇන්. ඇම්, කොල්වින් සහෝදරවරුන්ගේ ප‍්‍රකාශන ගැන කුමන කතාද?

විතාරණ සහෝදරයා පසුගිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ දේශපාලන වාර්තාවේ මෙසේ සඳහන් කරයි:

‘‘රාජපක්‍ෂ පවුල මෙන්ම ශ‍්‍රි.ල.නි.පයේ සමහර නායකයන් විසින් දේශපාලන බලය ප‍්‍රාදේශීයව සහ රාජ්‍ය මට්ටමේදී අනිසි ලෙස පරිහරණය කිරීම, නැඟී එන නව ධනවත් පන්තියේ බලය වැඩිවීම, නීතිය හා සමාජ සාමය බිඳවැටීම සහ වැරදි පරිපාලනය වැඩිවන දූෂිත කි‍්‍රයාවන සමහර ප‍්‍රධාන කරුණුය…’’

‘‘විධායක ජනාධිපති ධූරය හා නිලධාරිවාදයේ බලය ශක්තිමත් වීමත් එහි බලතල අවභාවිතය කිරීමත් ධනවත් හා බලවත් අපේක්‍ෂකයන්ට හිතකර විශාල (දිස්ති‍්‍රක්) මට්ටමේ ඡුන්ද කොට්ඨාශවල මැතිවරණ ක‍්‍රමය, මුක්තියට මුවාවී ඡුන්ද දායකයනට ප‍්‍රසිද්ධියේ අල්ලස් ලබාදීම, වැඩිවන ජිවන වියදම සහ ප‍්‍රමාණවත් නොව ආදායම විශේෂයෙන්ම ඌව පළාතේ පැවැති නියඟය සහ වැඩිවෙමින් පවතින මුස්ලිම් ප‍්‍රජාවගේ බිය මෙහි මූල බීජ වෙයි…’’

‘‘ඒ හා සමාන තවත් අනතුරක් වන්නේ හමුදාවේ කොටස්ද සහිත සිංහල බෞද්ධ අන්තවාදී බලවේග සමහරවිට ගෝඨාබයගේ නායකත්වයෙන් යුතුව අධිපතිවාදී හෝ ඒකාධිපතිවාදී මඟක් ගැනිමයි. බොදු බල සේනාවට නෝර්වීජියන් සහය හිමිවන්නේ සමහරවිට ඔවුන්ගේ අධිරාජ්‍යවාදී බෙදුම්වාදී ප‍්‍රතිපත්ති නිසාය…’’

ඉහත උපුටාගැනීම් සියල්ලම ලේකම් විතාරණ සහෝදරයා ලියූ දේශපාලන වාර්තාවෙන්ය. Continue reading ල.ස.ස.ප. ලේකම් තිස්ස විතාරණ ට අභියෝගයක්: ” සහෝදරයා මාධ්‍යයට කියන කතාව ඇන්. ඇම්. සහෝදරයාගේ පිංතූරය ඉදිරියෙන් ඉඳන් කියන්න” – චමීර පෙරේරා

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද?

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

මේ ප‍්‍රශ්නයට මා දෙන පිළිතුර වන්නේ අද අප විසින් රැක ගනු ලැබිය යුතුව ඇත්තේ, වඩාත් නිවැරදිව කිවහොත් යළි ස්ථාපිත කොට ගත යුතුව ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවයි. විධායක ජනාධිපති ධුරය පමණක් නොව එය ද ඇතුළත් සමස්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම ද නොපමාව කළ යුතුව ඇත්තේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවීම යනු අපගේ අවසාන අරමුණ නොව සාධාරණ සමාජයක් බිහි කොට ගැනීමේ ප‍්‍රථම මෙන්ම අත්‍යවශ්‍ය පියවර බව ද දැඩි ලෙස අවධාරණය කළ යුතුව තිබේ.

Continue reading රැකගත යුත්තේ විධායක ජනපති ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ද? ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

“ඇත්ත” නොකී ඇත්ත මෙන්න

මුදුණය කොට අද පාඨකයන්ට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව තිබුණු ඇත්ත පුවත් පත කොමියුනිස්ට පක්ෂයේ බලධාරීන් විසින් මුද්‍රණාලයට සීල් තබා සියලු මුද්‍රිත පිටපත් අත් අඩංගුවට ගෙන තහනම් කොට ඇති බව වාර්තා වෙයි.සම සමාජ පක්ෂය පිළිබඳ පළවු ලිපියක් මෙයට හේතු වූ බව විශ්වාස කෙරේ. Continue reading “ඇත්ත” නොකී ඇත්ත මෙන්න

‘ඇත්ත‘ පුවත් පත තහනම් කරයි !

aththa_logo

‘ඇත්ත‘ පත්තරය තහනම් කරයි!

මුදුණය කොට අද පාඨකයන්ට වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතව තිබුණු ඇත්ත පුවත් පත කොමියුනිස්ට පක්ෂයේ බලධාරීන් විසින් මුද්‍රණාලයට සීල් තබා සියලු මුද්‍රිත පිටපත් අත් අඩංගුවට ගෙන තහනම් කොට ඇති බව වාර්තා වෙයි. Continue reading ‘ඇත්ත‘ පුවත් පත තහනම් කරයි !