ආණ්ඩු වෙනස් කිරීම සහ සිංහලයා බඩ ගෝස්තරවාදියෙකු සහ බිය සුල්ලෙකු බවට පත් කිරීමේ දේශපාලනය

කුමුදු කුසුම් කුමාර

අද අප එළඹ සිටින්නේ ජීවිතයට කොතරම් උද්දීපනයක් ගෙන එන කාලයකටද? යැයි සේවා ස්ථානයේ මිතුරියක කීවේ ඇය ගමන් කළ ත්‍රී රෝද රථයේ රියදුරා ඇය කවුද යන්නවත් නොදැනම තොර තෝංචියක් නැතිව වත්මන් රජය ගෙදර යැවිය යුතු හේතු එක දිගට කියා ගෙන යනු අසා සිටීමෙන් ඇති වූ විමතියෙන් යුතුව කාර්යාලයට පැමිණ පසුය.

විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් වීමේ ආරංචිය පැතිර යත්ම එබඳු ඉමහත් සැනසීමක් පිළිබඳ හැඟීමකින් සියලු තරා තිරම් වල ජනයා ඇළලී යනු දකින්නට ලැබුණි. සමස්ත සමාජය එය වසා සිරකොට සිටි මහා පීඩනයකින් එක් වරම නිදහස් වූවා වැනිය. දැන් යලිත් වරක් ආණ්ඩු මාරුවක් කළ හැකිය යන හැඟීම මෙයට පාදක වූ බව මගේ හැඟීමයි. පාලක රෙජීමය සමස්ත ලාංකේය දේශපාලන සමාජ ව්‍යුහ තම දැඩි ග්‍රහණයට ගෙන එහි නිදහස ගෙල මිරිකීමේ සර්වාධිකාරී තත්වය සමාජය තුළ දැඩි බියක් සහ එකිනෙකා කෙරෙහි අවිශ්වාසය සහ සැකය පතුරුවා හැර තිබුණි. ජනයා ඉවසාගෙන බලා සිටියේ ආණ්ඩු මාරුවක් සඳහා අවස්ථාව ලැබෙන තෙක් ය. ඒ අවස්ථාව ලැබෙන බවට උදාවූ පළමු ඉඟිය සමගින් ඇතිවූ බලවත් සැනසුම් සහගත හැඟීමත් උද්දීපනයත් එහෙයිනි.

රටක වාරිකව සිදුවන ආණ්ඩු මාරුව අත්‍යවශ්‍ය වන්නේ එක් පාලක කල්ලියක් සමාජය සහ දේශපාලනය සමස්තය ග්‍රහණයට ගැනීමෙන් ඇතිවන කුණුවීම ක්ෂයවීම නවතා එයට නව ජීවයක් දෙන්නටය.

ඊනියා සංවර්ධනයේ සහ ස්ථාවරභාවයේ නාමයෙන් එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම සමාජය මත ඇති කරන සර්වාධිකාරය මානව යහ පැවැත්මට හිතකර නොවේ.

මෙලෙස උදාවූ සර්වාධිකාරී රෙජීමයක් යටතේ ලාංකේය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස සදහටම අහෝසි වනු ඇතැයි යන බලාපොරොත්තු කඩ වීම සමාජය හාත්පස වෙලාගෙන පැතිර යමින් තිබූ අවස්ථාවේම ඉක්මන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට පාලක රෙජීමය ගත් තීරණයම යළිත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය අවදි කරලීමට මුල් වීම අපට කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නූතන ලංකාවේ සැබෑ ‘ජාතික චින්තනය‘ බව යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි.

ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස මරාදමන්නට නොහැක. මර්ධනය කරන්නට කරන්නට එය යළි යළිත් කොපමණ කලක් හෝ ගත වී මතුව එයි. ප්‍රජාතන්ත්‍රවාදය කැටුව එන නිදහස සහ සමාජ සාධාරණත්වය පිළිබඳ අදහස් ලාංකේය සමාජය හිමි කම් කියන බෞද්ධ (ආගමික සංස්ථාව සමග නොව) ධර්මයේ දාර්ශනික සාමාජික සහ දේශපාලනික හරය සමග කදිමට පෑහෙන්නේය. බුදුදහම සහ සමාජවාදය අතර ඇති සම්බන්ධය ජාතික චින්තනය පිළිබඳ තම ප්‍රවාදය තුළ විමසා බැලූ ගුණදාස අමරසේකරයන්ට බුදුදහම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අතර ඇති සම්බන්ධය නොපෙනී ගියේ ඔහු ජාතික චින්තනය ඒකීය රාජ්‍යය නැතහොත් රටේ භූමිය රැක ගැනීම දක්වා ලඝු කිරීමෙන් ඇති වූ මතාන්ධභාවය හේතුවෙනි, බුදුදහමෙන් අනුදත් නිදහස් චින්තනය ජාතිය පිළිබඳ නූතන සංකල්පයට යට කොට පාගා දැමීමෙනි. ආචාර්ය නලින් ද සිල්වාද මේ එකම ව්‍යාධියට ගොදුරු වී සිටියි. රාජපක්ෂ රෙජීමයේ සර්වාධිකාරී ග්‍රහණය යටතේ නවලිබරල්වාදී සමාජ චින්තනය ලංකාවේ ස්ථාපිත කිරීමෙන් ලාංකේය සමාජයේ බෞද්ධ ශිෂ්ඨාචාරමය හරයන් සහමුලින් විනාශ කරමින් සිටින බව ඔවුනට පෙනෙන්නේ නැත.

ලාංකේය ජනයා හැමදාමත් තම නිදහස වෙනුවෙන් සටන් කොට ඇත. ඔවුන් යටත් විජිත වාදයට එරෙහි සටන අත් නෑර ගෙන ගියා සේම නිදහසින් පසු ගිය සමයේ සමාජයක් ලෙසින් වමේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇදී අවුත් තම නිදහස රැක ගැනීම සඳහා දිගින් දිගටම සටන් කොට ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සර්වාධිකාරී පාලනයට යට කිරීම ඇරඹූ ජේආර් ජයවර්ධන ගේ එක්සත් ජාතික පක්ෂ පාලනය අවුරුදු දහ හතක් ගතවී පෙරලා දමන්නට ජනතාව පියවර ගත්තේය. තවම ගෙවුණේ අවුරුදු නවයක් වුවත් ජේආර් ජයවර්ධනටවත් කරන්නට නොහැකි වූ ආකාරයට සර්වාධිකාරී පාලනය ජනතාව මත පැටවූ රාජපක්ෂ රෙජීමය පෙරලා දමා එබඳු තවත් අවස්ථාවක් අත්පත් කරගන්නට මෙරට ජනයා පෙරට එමින් සිටිති.

අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ එය අපට විසම්මුතියේ නිදහස සහතික කරන නිසාය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගී වෙමින් අපේ ජීවිතවලට බලපාන කරුණු පිළිබඳ වෙනසක් ඇති කිරීමට මැදිහත් වීමේ අවස්ථාව එය පිරිනමන නිසාය. වැදගත් වන්නේ මේ වෙනස අප අපේක්ෂා කරන ආකාරයෙන්ම සැබෑවටම සිදුවෙනවාද යන්න නොව මෙම ව්‍යායාමයම සමාජයේ ඇති කරන නිදහස පිළිබඳ හැඟීමයි, අවකාශය යි. කලින් කලට ආණ්ඩු වෙනස් කිරීමට ඇති අවස්ථාව වැදගත් වන්නේද මේ නිසාය.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා මුල් කරගත් දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ මූලික ඉල්ලීම් ඉටු කර ගැනීම සහතික කර ගැනීමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් ඔබ්බට ත් ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සමාජ සාධාරණත්වය සහතික කිරීම සඳහා අත් නොහැර කටයුතු කිරීමත් වත්මන් පාලනය වෙනස් කිරීමට යොමු වන සියලු දෙනාගේ වගකීම වෙයි.

මෙහිදී අප හමුවේ ඇති අභියෝගය වන්නේ ද දැන් විවර වෙමින් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය උපරිමයෙන් දිනා ගැනීම අවම කොන්දේසිය වශයෙන් පිළිගනිමින් ආණ්ඩු පෙරළියක් සඳහා සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මෙම මොහොතේ උපරිමයෙන් කැප වෙනවාද? නැත්ද? යන්න තීරණය කිරීමයි. එබඳු ආණ්ඩු මාරුවකින් උදාවන අවකාශය ජනාධිපතිවරණයෙන් ඔබ්බට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමාජ සාධාරණත්වය සඳහා සටන් කිරීම ට යොදා ගැනීම ට අපට කැපවිය හැකිය. ආණ්ඩු පෙරළිය යළිත් වරක් මහජන අපේක්ෂා පාවා නොදීමක් බවට පත් කර ගත හැක්කේ එවිටය.

ආණ්ඩු පෙරළියක් යටතේ ගෝලීය නව ලිබරල්වාදයේ දේශීය නියෝජිතයන් සහ ඒ සමග ගැට ගැහුණු ලංකාවේ කූට්ටාලි ධනවාදයේ ඒජන්තයන්ගේ මුහුණු පමණක් හුදෙක් මාරු වී පරණ ප්‍රතිපත්තිම ඒ හැටියටම ක්‍රියාත්මක වීමේ බරපතළ අවදානමක් තිබේ. පසුගිය වසර විස්සක් තිස්සේ ලංකාවේ සිදුවූයේ මෙයයි. එහෙයින් ආණ්ඩු මාරුව කෙරෙහි හුදෙක් විශ්වාසය තැබීමේ අනතුර පිළිබඳ ජනයා මතු කරන බිය සාධාරණය.

නමුත් වැඩ කරන පන්තියේ සහ පීඩිත පන්තිවල ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා තිබිය හැකි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ධනේශවර නිසාම වාමාංශික ව්‍යාපාරය විසින් කල් තබා ප්‍රතික්ෂේප කළේ නම් එම ජන කොටස් සඳහා දිනාගත් විවිධ සහනයන් ඔවුනට නොලැබෙනු ඇතිව තිබුණි. අද නව ලිබරල්වාදය යටතේ ඒවා බොහොමයක් අහිමි කොට තිබියදී ඒවා යළි දිනා ගැනීමට අරගල කිරීම සඳහා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයවත් රැක ගැනීමට කටයුතු නොකිරීමත් අද අප සමාජවාදී අරගල අවධියකට පිවිස ඇතැයි කියා සිටීමත් සමපාත වීම අතිධාවනකාරී ආස්ථානයක් ගැනීමක් නොවේද? පීඩිත ජන කොටස් වලට ඇති දහසකුත් එකක් පීඩාවන්ට එරෙහිව ධනවාදය යටතේ ඉතිහාසය පුරා ලොව කම්කරු සහ පීඩිත ජනයා අරගල කර ඇති බව අපට අමතක කළ හැකිද? වම ගොඩ නඟා සමාජවාදය සඳහා විප්ලවීය අරගලය දියත් කරන තෙක් පීඩිත ජන කොටස් වල අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වන අරගලය අත් හැර දැමීම තුළ පීඩිත ජනයාට අයහපතක් සිදු නොවනු ඇත්ද? පසුගිය කාලය පුරාම නව වම යෙදී සිට ඇති අරගල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජනතා නිදහස සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ අරගල නොවේද? ඉතින් මෙතැන් පටන් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයෙන් පීඩිතයන්ට සෙතක් නැතැයි කියා ඔවුන් එම අරගල නවත්වා දමනවාද?

සංවර්ධනය පිළිබඳ වත්මන් රජයේ කතිකාව සිංහලයන් තම කට-බඩ ගැන පමණක් සිතන බඩගෝස්තරවාදීන් බවට පත් කිරීම අරමුණු කොට ඇත. සංවර්ධනය සහ නිදහස යන දෙකින් එකක් තෝරා ගැනීමේ විකල්පය උතුරේ දෙමළ ජනයා හමුවේ ඉදිරිපත් කළ විට තමන් බඩ ගෝස්තරය වෙනුවෙන් නිදහස කැප කරන්නට සූදානම් නැති බව ඔවුහු ඒකමතිකවම පාහේ අවධාරණයෙන් ප්‍රකාශ කළහ. පසුගිය ඌව පළාත් සභා ඡන්දයේදී මොණරාගල වැනි අති දුෂ්කර පළාතක පවා ජනයා ඊනියා සංවර්ධනය තිබියදී රජයට එරෙහිව ඡන්දය දීමෙන් ප්‍රකාශ කළේද තමන් නිදහස වඩා අගයන බව නොවේද?

වත්මන් රෙජීමය එල්ටීටීඊය, දෙමළ ඩයස්පෝරාව සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිළිබඳ බිල්ලෙක් මවා පා සිංහලයා බිය සුල්ලෙකු කොට ඡන්දය ලබා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියි. අද අවශ්‍යව ඇත්තේ එම බිය දෙමළ ජනයා මිලිටරීකරණයට යටත් කොට ගැනීම සාධාරණය කිරීම සඳහා අවස්ථාවක් කර ගැනීම නොව දෙමළ ජනයාගේ නිදහස සහ සමාජ සාධාරණත්වය සහතික වන පරිද්දෙන් දහතුන් වැනි සංශෝධනය බල ගන්වමින් බාධාවන්ගෙන් තොරව තම දේශපාලන නිදහස භුක්ති විදීමින් තම ජනජීවිතය යහපත් කර ගැනීම සඳහා අවකාශ ඔවුනට සළසා දීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වන මෙම සටනින් ජනාතාව පරාජය වුව හොත් නව ලිබරල්වාදයේ ඊ ළඟ පියවර වන ගෝලීය සහ කූට්ටාලි ධනවාදයේ පූර්ණ ග්‍රහණයට ලංකාවේ ආර්ථිකයේ දැනට රජය යටතේ පවත්නා සියලු අංග ගැනීම සිදුවීමට නියත අතර ගෝලීය ධනවාදයට අලෙවි කිරීම සඳහා තව තවත් පෞද්ගලික ඉඩම් ඩැහැ ගැනීම සමගින් මහා පරිමාණයේ විතැන් කිරීම් වලට සියලු සමාජ පංතීන් ලක් වීමට නියමිතය. පීඩිතයන් අදටත් වඩා දරුණු ලෙස පීඩාවට පත් කිරීමට නියමිතය. එයට එරෙහි වන සියලු විරෝධයන් උග්‍ර මිලිටරි මර්ධනය ට යටත් කෙරෙනු ඇත.

කොළඹ සේවා ආර්ථීකයේ රැකියාවේ යෙදෙන ගැමි මිනිසෙකු වත්මන් දේශපාලන මොහොත ගැන කතා කරමින් මා සමග කීවේ මෙවර ආණ්ඩුව වෙනස් කිරීමේ උත්සාහය පරාජය වුව හොත් ඉන් පසු “කුරුල්ලෙකුට වත් කට අරින්න බැරි වෙයි“ කියාය. මේ ඇත්ත අපි හැමෝම තේරුම් ගත යුතුය.

උපුටා පළ කරන්නේ නම් කරුණාකර මූලාශ්‍රය පහත පරිදි දෙන්න: ‘කතිකා‘ අධ්‍යයන කවය https://kathika.wordpress.com/

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )