ආයෙමත් යුද්ධය ඇති වෙයිද? කුමුදු කුසුම් කුමාර

2man-tm

ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග උදා වූ දේශපාලන නිදහසේ අවකාශය ලංකාවේ සමාජයට නව ජීවයක් ගෙන දුන්නා වැනිය. යහපත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් මුලු සමාජයම පිබිදී ඇළලී ගොස් ඇත. හැමතැනම හැමෝගේම දවසේ ප්‍රධාන මාතෘකාව දේශපාලන යයි. පසුගිය දිනවල උණුසුම් කතා බහ වූයේ ‘කවුද අලුතෙන් පැන්නෙ?‘ යන්නයි. නමුත් දැන් වන විට එය දේශපාලනඥයන්ගේ මිල ගණන් වලින් අදහස් වලට ප්‍රතිපත්තිවලට පුරවැසි සාකච්ඡාවට මාරු වී තිබේ. මේ සාමාන්‍ය පුරවැසියා දේශපාලනයට සක්‍රීයව යොමුවන මොහොතයි.

ඡන්දදායකයන් විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අනාගත ජනාධිපතිවරයා ලෙස බැරෑරුම්ව සළකා බැලීම දැන් ඇරඹී තිබේ. ප්‍රචණ්ඩත්වයෙන් බිය වැදී ගොස් තිබුණු අප සමාජය මත ජාතික නායකයෙක් ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගේ ආගමනය ඇති කළේ සිත පහන් කරවන සුළු වෙනසකි. මෛත්‍රීපාල සිරිසේන 1977 සිටම සමාජය ප්‍රචණ්ඩත්වයෙන් පෙළන දේශපාලනයකට නායකත්වය දුන් නායකයන් ගේ මර්ධනකාරී පාලනයන් යටතේ හෙම්බත්ව සිටි සමාජයක් සුවපත් කරන මැදහත් ස්වභාවයක් ප්‍රකට කරන නායකයෙකු වීම ජනතාවගේ අපේක්ෂාවන් සමග ගැළපෙයි. යුද්ධය නිමාවෙන් පසු අප අපේක්ෂාවෙන් සිටි සාමය පමා වී හෝ දැන්වත් සැබෑ කර ගත හැකිය යන බලාපොරොත්තුව ඉන් ඇතිවිය.

ඒ අතරතුර රෙජීමය මහජනයා තුළ යුද බිය ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටියි. හිඟන්නාගේ තුවාලය මෙන් යලිත් යුද්ධය ඇති වීමේ අනිසි බිය විකුණා සිංහලයාගේ ඡන්දය ගැනීමට රෙජීමය උත්සාහ කරයි.

ගෝටාභය රාජපක්ෂ ලංකාවේ එල්ටීටීඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ඇතැයි කියයි. ඒ අතරම පුනරුත්ථාපනය කළ එල්ටීටීඊ සාමාජිකයන් වෙතින් සහ සහ විදේශගතව විසිරී සිටින දෙමළ ප්‍රජාව මගින් යලි එල්ටීටීඊ ත්‍රස්තවාදය පැණ නැගීම පිළිබඳ බිය ජනයා තුළ ඇති කරන්නට රෙජීමය උත්සාහ ගනියි.

මෙලෙස ලංකාවේ දේශපාලනයට අත පෙවීමට විදේශ ගතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් උත්සාහ ගැනීමට ඇති විසඳුම රටේ දරදඬු ඒකාධිපති පාලනයක් ගෙන යාම සහ සිවිල් සමාජය මිලිටරීකරණය කිරීම නොවේ. කළ යුත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට බියෙන් තොරව තමන් ගේ දෛනික කටයුතු සහ තමන් වසන පලාත් වල පරිපාලනය නිදහසේ කරගෙන යා හැකි පරිසරය ඇති කිරීමයි. ඔවුනට පූර්ණ දේශපාලන නිදහස ලබා දීමයි. එම ප්‍රදේශවල හමුදා මර්ධනය වෙනුවට සිවිල් පාලනය තහවුරු කිරීම යි. ඔවුනට තමන්ගේ පාරම්පරික වාසස්ථානවල යලි පදිංචියට යාමට ඇති අයිතිය තහවුරු කිරීම යි. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන සංවිධාන සමග දකුණේ රජය සහයෝගයෙන් කටයුතු කිරීම යි.

රෙජීමයේ බළල් අතක් බව පැහැදිළිව පෙනෙන්නට තිබෙන කිසිම බෞද්ධ කමක් ගෑවිලාවත් නැති ඊනියා බොදු බල සේනාව මුස්ලිම් ජනයා පොදු අපේක්ෂකයාට ඡන්දය දුන හොත් මුස්ලිම් විරෝධී කෝලාහල ඇතිවනු ඇතැයි ප්‍රකාශ කොට ඇත. එලෙස නින්දිත ආකාරයෙන් මුස්ලිම් ජනයා බිය වැද්දීමට ගන්නා උත්සාහය පෙන්නුම් කරන්නේ ඡන්දය දිනීම සඳහා ජාතිවාදය අවුස්සන්නට රෙජීමය නොපැකිළෙන බවයි. මෙය කිසිසේත්ම බෞද්ධ පිළිවෙතක් නොවේ.

සංවර්ධනය සහ ජාතික ආරක්ෂාව සඳහා රටේ ස්ථාවරභාවය අවශ්‍ය යැයි ද ඒ සඳහා විධායක ජනාධිපතික්‍රමය පමණක් නොව ඒකාධිපති පාලනයක් අවශ්‍ය යැයි කියන්නට පවා වත්මන් රෙජීමය පටන් ගෙන ඇත. ඒකාධිපති පාලනයක් අවශ්‍ය කෙරෙන සංවර්ධනය ජනතා හිතකාමී සංවර්ධනයක් විය නොහැකිය. මන්ද ඒකාධිපති පාලනයක් අවශ්‍ය වන්නේ ජනතාව මත බලෙන් පැටවෙන අසාධාරණ සහ අයුක්ති සහගත වැඩ පිළිවෙලවලට ජනතාව පළ කරන විරෝධයන් මර්ධනයට හෙයිනි.

වත්මන් රෙජීමය යළිත් බලයට පැමිණිය හොත් අපගේ ජීවිත වලට අත් විය හැකි ඵල විපාක ගැනද අප විමසිලිමත් විය යුතුය. රෙජීමයේ විදේශ සහ දේශීය ණය බරින් ගැළවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ණය දෙන ආයතන වල කොන්දේසි ඉටු කිරීමට රෙජීමය නොපැකිලෙනු ඇත. එසේ වුව හොත් දැනට සේවක විරෝධය නිසා නවතා ඇති රාජ්‍ය ආයතන සහ බැංකු යනාදිය පෞද්ගලීකරණය කිරීම ඉතා කඩිනමින් කෙරීමට නියමිත බව එම ආයතන වල සේවකයන් වටහා ගත යුතුය. තවද, ඉඩම් මංකොල්ලය මිලිටරීකරණය යටතේ වේගවත් කෙරෙනු ඇත. දුප්පතුන් පමණක් නොව අනෙක් සමාජ පංති වල ජනයාටද රෙජීමයේ හිතුමතයට අනුව විදේශික සමාගම්වලට විකිණීම ට තමන් ගේ ඉඩම් මංකොල්ල කෑමට රජයට ඉඩ දී බයිනේත්තුවේ බලයට යටත් වීමට සිදුවනු ඇත.

දැනටමත් සාමාන්‍ය ජනයා මත පනවා ඇති ආහාර පාන පාරිභෝජන භාණ්ඩ සහ සේවා යනාදියට පනවා ඇති අධික බදු බර තව තවත් වැඩි කෙරෙනු ඇත. ජනාධිපතිවරණය ඉලක්ක කොට ගෙන අය වැයෙන් දුන් සහන සහ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සහ ඡන්දදායකයා මිලට ගැනීමට අල්ලස් වශයෙන් කෙරෙන විවිධ භාණ්ඩ බෙදා හැරීම් වෙනුවෙන් වැය කරන සියලු මුදල් යළි අය කර ගැනීම සඳහා බදු අධික ලෙස ඉහල නැංවෙනු ඇත.

මේ පුරවැසියා විසින් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් රටක් ඉතිරි කිරීම සඳහා කල්පනාවෙන් තීරණයක් ගත යුතු කාලය යි.

Advertisements