ජාතික ආරක්ෂක රාජ්‍යයක් ගොඩ නැංවීම නවතාලිය යුතුය – කුමුදු කුසුම් කුමාර

විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ වැඩ පිළිවෙල තුලින් මතුවන ගැටලු දෙකක් කෙටියෙන් මතු කරමින් මෙම ලිපිය අරඹමි.

පළමුව, විපක්ෂය විසින් අත්සන් කළ පොදු මහජන න්‍යාය පත්‍ර යේ සඳහන් වන වසර දෙකකට නොඅඩු කාලයක් සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව රාජපක්ෂ රෙජීමය යටතේ පැවතියාක් මෙන් විපක්ෂ දේශපාලනය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලක් නොවන්නේ කෙසේද යන්න පොදු අපේක්ෂක ව්‍යාපාරය විසින් පැහැදිළි කළ යුතුය. ජාතික ඒකාබද්ධතාව ගොඩ නැංවීමේ යහපත් අරමුණ වෙනුවෙන් හෝ වුව දේශපාලනය විසම්මුතිය, විවේචනය සහ විරෝධය යටපත් කිරීම සිදු නොවිය යුතුය. එසේ වුව හොත් එය පොදු අපේක්ෂක ව්‍යාපාරයේ මූලික අරමුණ වන බහු පක්ෂ දේශපාලනය අත්‍යවශ්‍ය අංගයක් වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ අපේක්ෂාවට එරෙහිව යාමකි.

දෙවනුව, යටිතල පහසුකම් දියුණු කිරීම මුල් කර ගත් ආර්ථික සංවර්ධන කටයුතු දූෂනයෙන් තොරව දිගටම ගෙන යන බවට පොදු අපේක්ෂකයා ගේ ව්‍යාපාරයෙන් ලැබෙන සහතිකය ස්ථාරවභාවය පිළිබඳ හැඟීමක් ඇති කරයි. නමුත් ආර්ථික සංවර්ධන කටයුතු දූෂනයෙන් තොර වනවා පමණක් නොව එය ජනතා හිතකාමී අරමුණින් සහ ජනතාවට අසාධාරණයක් අයුක්තියක් නොවන ආකාරයෙන් ද සිදු කළ යුතුය. සංවර්ධනය සඳහා යැයි කියමින් නගරයේ සහ පළාත් බද ජනයා ගේ ඉඩම් කොල්ල කෑම වහා නවතා ලිය යුතු ය. නගරයේ අඩු ආදායම්ලාභීන් ගේ ජීවනෝපායයන් සහ සාමූහික සමාජීය ජීවිතය කඩා බිඳ දමමින් ඔවුන් තමන් ගේ පාරම්පරික නිවාස වලින් බලහත්කාරයෙන් ඉවත් කොට ඔවුන් ට පිළිගත නොහැකි තත්වයන් සහ දැරිය නොහැකි වියදම් යටතේ මිලිටරි බලය පවා යොදමින් මහල් නිවාස වල පදිංචි කරවීම නවත්වා ලිය යුතුය. මෙලෙස විවිධ ආකාරයන්ගෙන් අසාධාරණයන්ට ලක් වී සිටින ජනයාට සාධාරණය සහ යුක්තිය ඉටු කළ යුතුය. සංවර්ධනයේ නාමයෙන් අධ්‍යාපනයේ බර දෙමව්පියන්ට පැටවීමෙන් ජනයා නිදහස් කොට සියලු දෙනාට අධ්‍යාපනයේ අයිතිවාසිකම සමව ලැබෙන පරිදි අධ්‍යාපනයේ වගකීම රජය විසින් භාරගත යුතුය.

විපක්ෂය වත්මන් පාලක රෙජීමය ගැන කරන විවේචන අයහපාලනය ගැන ඒවා වන බවත් ඊට විසඳුම රාජ්‍ය යේ ව්‍යුහය සහ පද්ධතිය හෝ රාමුව වෙනස් කිරීම නොවන බවත් ඇතැමුන්ගේ තර්කයයි. රාජ්‍යය රටක ජනයාට ආරක්ෂාව සැපයීම මිස යහපාලනය අරමුණ කර නොගන්නා බව සැබැවි. සාමාන්‍ය යෙන් ගත්කළ ජනාධිපතිවරණය නව ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව නොවන බවද සැබැවි.

නමුත් ජනාධිපතිවරණය ආණ්ඩුව වෙනස් කිරීම සඳහා වන මුල් පියවර ලෙස මෙම අවස්ථාවේ සළකන්නට ලාංකිකයන් පෙළඹී ඇත්තේ ආණ්ඩුවේ කර අඹා එය විධායක ජනාධිපති තනතුරේ විය ගසට බැඳ ගැනීමේ හේතුවෙනි, ජන මතය ප්‍රකාශ වන පරිදි ආණ්ඩුව වෙනස් කරන්නට නම් පළමුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම අත්‍යවශ්‍ය වී ඇති හෙයිනි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් හෝ ආණ්ඩුව වෙනස් කිරීමෙන් රට අස්ථාවර වනු ඇත යන හුඹස් බිය පැතිරවීම ඡන්දදායකයන් බිය වැද්දීමේ උපක්‍රමයකි. පාර්ලිමේන්තු ක්‍රමයට යලි විධායක බලය පවරා මහ මැතිවරණයකට යාමෙන් රට අස්ථාවර නොවේ.

එකම ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යාම ස්ථාවරභාවයට අහිතකරය. මේ නිසා සමාජය එක තැන පල් වීම සහ කුණුවීමේ ඛේදවාචකය ලාංකේය සමාජය වසා පැතිර තිබේ. ඊට එරෙහිව එන විරෝධයට එල්ල විය හැකි මර්ධනය හමුවේ රට අස්ථාවර භාවයට තල්ලු වී යා හැක. ඊට ප්‍රතිපක්ෂව, ආණ්ඩුව වෙනස් වීමෙන් ස්ථාවරභාවය තහවුරු වනු ඇත.

රටේ බහුතරයකගේ ඡන්දයෙන් බලයට පත් වුවද තනි පුද්ගලයෙකු වන ජනාධිපතිවරයෙකුට රට පිළිබඳ තීරණ ගැනීමේ විධායක බලය පැවරීම සර්වාධිකාරවාදී පාලනයකට පදනම දමන බවට හොඳම උදාහරණය ලංකාවේ ජනාධිපති ක්‍රමය යි. ඒ යටතේ රාජ්‍යය සහ ආණ්ඩුව දෙකම එකක් බවට පත් වී ඇත. ජනයාගේ හඬ ට ඒ තුළ ඉඩක් නැත. වත්මනෙහි ලාංකේය රාජ්‍ය යේ බලය දරන්නේ රාජපක්ෂ පවුලත් ඒ වටා එක් රොක් වී ඇති කූට්ටාලි ධනපති සුළුතරයකි. මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ජනාධිපති වීමට යත්න දැරීම විධායක ජනාධිපති ක්‍රමය එහි තර්කානුකූල අවසානය කරා ගෙනැවිත් ඇත. මීට පෙර සිටි කිසිම ජනාධිපතිවරයෙකු යටතේ මෙම තනතුරේ බලය මෙතරම් අයුතු ලෙස සමාජය පෙළන්නට යොදා ගැණුනේ නැත.

පාර්ලිමේන්තුවට වග කියන තත්වයෙන් විධායකය මුදවාලීමට ජේආර් උත්සුක වූයේ රට තම තනි මතයට හැඩ ගස්වන්නට ඔහුට තිබුණු බලවත් නවීකාරක අභිලාශය නිසයි. ඔහුට අවශ්‍ය වුනේ තම හිතූමතයට ක්‍රියාත්මක කරන ධනේශ්වර සංවර්ධනයකට එරෙහිව එන වමේ දේශපාලනය සහ ජනතා විරෝධය රාජ්‍ය බලයෙන් මර්ධනය කරන්නටය.

අපේ පාර්ලිමේන්තුව වත්මන් කණගාටුදායක තත්වයට පත් කිරීම ඇරඹුනේ විධායක ජනාධිපති ක්‍රමය සහ මන්ත්‍රී ධුර දිස්ත්‍රික් මනාපයට යට කරමින් ජේආර් ජයවර්ධන කළ වෙනස්කම් සමගිනි. එම ක්‍රියාවලිය තර්කානුකූල අවසානය දක්වා ගෙන ගියේ මන්ත්‍රී වරුන් තමන්ට ඡන්දය දුන් පුරවැසියන්ට පිටුපා පිල් මාරු කිරීම නීත්‍යානුකූල කරමින් අගවිනිසුරු සරත් එන්. සිල්වා දුන් තීන්දුවෙනි. යලිත් වරක් මන්ත්‍රීන් ඡන්ද කොට්ඨාශයක පුරවැසියන් ගේ ඡන්දයෙන් පත් කොට එම ඡන්දදායකයන්ට වග කියන පරිදි ක්‍රමය වෙනස් කළ විට ඉහත පිරිහුණු තත්වය වෙනස් කළ හැකි වෙයි.

අස්ථාවර පාර්ලිමේන්තුවකට යට නොවී රට සංවර්ධනය කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යය යන්නේ අදහස සංවර්ධනය සමාජයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ ජනයාගෙන් මතුවන අදහස් සහ විරෝධතා නොසළකා ඒවා මර්ධනය කරමින් සංවර්ධනය දිගටම කරගෙන යාම අවශ්‍ය බවයි. ඊට යට කරන ජනයා පරඬැල් සේ ඉවත ලන මානව හිතවාදී නොවන එවැනි හුදු ආර්ථික සංවර්ධනයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදය කැප කිරීම නොවටී. සමාජ සාධාරණය සහ යුක්තියත් පරිසරයත් මිනිස් කමත් රැක ගැනීමට මුල් වන ප්‍රජාතන්ත්‍රවාදයද රැක ගනිමින් රටට ගැළපෙන නවීකරනයක් කරන්නට අප යොමුවිය යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහි ව ඇතමුන් නඟන තව තර්කයක් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිලට ගත හැකි වත්මන් තත්වය යටතේ රාජ්‍ය යේ ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් නොතැබිය හැකි බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමට නීතිමය වශයෙන් වැට බැඳි විට මන්ත්‍රීවරුන් මුදලට ගෙන රටේ දේශපාලනය තීරණය කිරීමේ හැකියාව නැතිව යයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පමණින් පළාත් සභා ජාතික රාජ්‍ය ව්‍යුහය තුළ රඳවා ගැනීමේ හැකියාව ලාංකේය රජයට අහිමි වනු ඇතැයි තර්ක කළ නොහැක. විධායක බලතල පාර්ලිමේන්තුවට වග කියන ආණ්ඩුවකට පැවරුණු විට ජාතික එකඟතාවකින් යුතුව එම බලතල පරිහරණය කිරීමේ හැකියාව ආණ්ඩුවට ලැබේ.

උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ සමාජයෙන් බෙදුම්වාදයක් මතුවීමේ අනතුරු මග හරවා ගැනීම සඳහා එම ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී විභවයන් ශක්තිමත් කිරීමෙන් අවදානමක් ගැනීමට ලංකාවේ ආණ්ඩුවට හැකි විය යුතුය.

රාජපක්ෂ රෙජීමය ජාතික ආරක්ෂක රාජ්‍යයක් දක්වා ලාංකේය රජය විපර්යාස කරමින් සිටියි. මෙය නැවැත්විය යුතුය. ජාතික ස්වෛරීභාවය රැක ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කැප කිරීම ජාතික ආරක්ෂක රාජ්‍යය පිළිබඳ අදහසේ හරයයි. රාජපක්ෂ රෙජීමය යටතේ රාජ්‍යය සහ ආණ්ඩුව දෙකම එකක් වී ඇත. අපට අවශ්‍ය අපේ සමාජයේ මූලික හරය වන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. රජය ආණ්ඩුවේ එනම් ජනතාවගේ අධීක්ෂණයට යටත් කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ සඳහා තබන පළමු පියවර පමණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණ ආයතනගත පරීක්ෂාවන්ට සහ මහජන දේශපාලන විචාරයට යටත් ව මිස ඉන් ස්වාධීනව පැවැතීමට ඉඩ දිය යුතු නැත. එසේ නොකළ හොත් ජනතාවට හිමි වියයුතු පරමාධිපත්‍යය ඔවුන්ගෙන් උදුරා ගෙන ස්වාධීන පැවැත්මක් ඇති රාජ්‍යයක් යටතට ගැනෙන බව අප සිහි තබා ගත යුතුය. මේ සර්වාධිකාරී රජයකට පාර කැපීමකි.

පශ්චාත් යුද ශ්‍රී ලංකාව යලිත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බවට හැරවිය යුතුය. අප සමාජයේ ශක්තිය ප්‍රජාතන්ත්‍රවාදයයි. අප එය යලිත් අවුළුවා ගත යුතුය. මේ අවස්ථාව මග හැරුණහොත් අප සමාජය ඒකාධිපතිවාදයේ ගොදුරක්ව මිනිස් වාසයට හිතකර නොවන දේශයක් බවට පත් වනු ඇත. මන්ද මිනිසුන් අවසානයේදී අන් සියල්ලටත් වඩා නිදහස අගය කරන හෙයිනි.

දැන් රැල්ල මෛත්‍රීපාල සිරිසේන ට හැරී ඇති හෙයින් මහින්ද රාජපක්ෂ දිනන්නට නම් මෛත්‍රීපාල ට පක්ෂ අය ඡන්දය දැමීමෙන් වළකා ලීම ආණ්ඩුවේ උපක්‍රමය වී තිබේ. හොර ඡන්ද මගඩි වලින් හෝ ගහලා හරි ඡන්දය මංකොල්ල කන බවටත් අනෙක් අතට ඡන්දයෙන් පැරදුණත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුර හැර නොයන බවටත් ගෙන යන ප්‍රචාරවල අරමුණ ජනයා ඡන්දය දීමට පැමිණීමෙන් අධෛර්යයමත් කරන එකයි. ඌව පළාත් සභා මැතිවරණයේදී අත්හදා බැලූ භීෂණය පතුරුවා ජනයා බිය වැද්දීමද රට පුරා කෙරමින් පවතී.

මේ සියලු උපා සහ තර්ජන හමුවේ බිය නොවී ඡන්දය දීම සියලු පුරවැසියන්ගේ විපක්ෂයේ වගකීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )