ජනාධිපතිවරණයට පෙර සහ පසු: නිදහසේ නාදය මියුරුතම ය – කුමුදු කුසුම් කුමාර

කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
කොළඹ ජනයා වීදි වලට බැස මෛත්‍රීගේ ජය සැමරූ අයුරු
2015 ජනවාරි 8 වැනිදා රැය පහන් වී 9 වැනිදා හිමිදරිය එළඹෙද්දී ‘අපට යලි නිදහස ලැබුණි’ යන හැඟීමෙන් අප සිත ඉපිල ගියේය. “අන්තිමේදී දැන් අපට මේ රට තුළ අනාගතයක් ගැන සිතිය හැකිය” යි මා තරුණ පුතු කීයේ “මා අඬන්නට කිට්ටු යි” ද කියමිනි. ඒ වන තුරු ඔහු සිටියේ ‘මේ නිදහසක් නැති රට හැර දා යුතුය’ යන සිතිවිල්ලේය. ‘අපි අපේ දරුවන්ට නිදහස් රටක් නැවත ලබා දුන්නෙමු’ යනුවෙන් ඇතිවූ ගර්වය ‘මර්ධනයේ බියෙන් නිදහස් වුණෙමු’ යි ඇති වූ දැඩි සහනයත්, අන්තිමේදී ඒකාධිපති නැඹුරුව පරදා පුරවැසි දේශපාලනය ජයගත්තේය යන උද්දාමයත් සමග එක්ව ඇති වූ සතුටින් මටද වාවා ගත නොහැකිව ඉකි ගසා හැඬුණු බව කියන්නට මම නොපැකිළෙමි. නිදහසේ නාදය එතරම්ම මියුරුතමය . නිදහස පිළිබඳ හැඟීම මා හදට මෙතරම් සමීප 1977 ට පෙර මෙරට තිබූ දේශපාලන නිදහස භුක්ති විඳිමින් යොවුන් වියට පත්ව ලංකාවේ පළමු රාජ්‍ය විරෝධී කැරැල්ල ගැසූ පරපුරේ ලාබාලයෙකු ලෙස 77න් පසු ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් අහිමි වීමේ ඛේදවාචකය මැනවින් අත් විඳි අයෙකු වන හෙයින් යැයි සිතමි.
ජනවාරි 8 දා රැය නිදි නැතිව අප ගෙවූයේ බලාපොරොත්තුවත් උකටලි බවත් එකට කැටි ‍කො‍ට ගත් හැඟීම් අතර සිර වී ගෙනය. බලාපොරොත්තුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. උකටලි බව මහින්ද රාජපක්ෂ‍ගේ රජය තමන් මැතිවරණයෙන් පරාජය වුවද බලය අත් නොහැර දැඩි මර්ධනයක් දියත් කරනු ඇතැයි තිබූ බලවත් බිය නිසාය. මෛත්‍රී දිනන බවට තොරතුරු අටවැනිදා රැය ගෙවී යත්ම දිගින් දිගටම රූපවාහිනිය පරදා අන්තර්ජාලය හරහා ලැබෙමින් තිබුණි. ඡන්ද ප්‍රථිඵලය හමුදාව යොදා මංකොල්ල කන්නට උත්සාහයක් ඇති බව කොළඹ ඩීඇස් සේනානායක ඡන්ද මධ්‍යස්ථානයෙන් වාර්තා වීම දැඩි කම්පාවක් ගෙන දුන් නමුත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ සෙසු ජනයාගේ මැදිහත් වීමෙන් උත්සාහය ව්‍යර්ථ කළ බව දැන ගන්නට ලැබීම සහනයක් වීය. ඉන් පසුව ඇති වූ බිය වූයේ මෛත්‍රී ඡන්දයෙන් ඉහළින් දිනා ඇති බව සැඟවීමට රෙජිමයට ඉ‍ඩ නොසැළසුණු නමුත් ඡන්ද ප්‍රථිඵලය අවලංගු කොට හමුදා බලය යටතේ රෙජිමය තම පාලනය දිග්ගස්සා ගනු ඇතිද යන්නයි.

මෙලෙස බියක් ඇති වීමට හේතු මැතිවරණ කාලය තුළ මොනවට ප්‍රකාශ වී තිබුණි.

මැතිවරණයට ආසන්න වන විට අතිවිශාල මෛත්‍රී රැල්ලක් රට පුරා පැතිර තිබියදීත් තමන් වැඩි ඡන්ද මිලියණ ගණනකින් දිනන බවට රාජපක්ෂ රෙජිමය තරයේ කියා සිටීම හුදු පාරම් බෑමක් නොවන බව පෙන්වන හමුදා ක්‍රියාකාරීත්ව සැළසුමක් පිළිබඳ ‍තොරතුරු සාක්ෂ්‍ය සහිතව වාර්තා වීය. ඡන්දයෙන් රෙජීමය පරාජය නොවන බවට වගබලා ගන්නා සැළසුමක් ගෝ‍‍ටාබය රාජපක්ෂ විසින් මැතිවරණයට පෙර අවසන් දින දෙකේදී ක්‍රියාත්මක කෙරෙනු ඇති බවට රෙජීමයේ ඉහළ මට්ටමේ නිලධාරි කොටස් තරයේ විශ්වාස කරමින් තිබුණු බව වාර්තා වීය.

ඡන්ද දිනය ආසන්න වනවිට තමන් කෙසේ හෝ දිණන බව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය විසින් මෙන්ම කට කතා මගින් ද ප්‍රචාරය කිරීමේ සංවිධානාත්මක මානසික යුද්ධයක් දියත් කර තිබුණේ එක් අතකින් ඡන්දයේ ඉරණම පිළිබඳ ජනයා බිය වැද්දීමේ අරමුණින් බව පෙණුනි. අනෙක් අතට රටේ සංවර්ධන වැඩ පිළිවෙලත් ජාතික ආරක්ෂාවත් ස්ථාවරභාවයත් අවුල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව මහින්ද රාජපක්ෂ තර්ජනාත්මක ස්වරූපයෙන් දිගින් දිගට කියා සිටියේ ඡන්ද ප්‍රථිඵලය කුමක් වුවත් බලය යොදා මෛත්‍රීපාල ට ජයග්‍රහණය නොදෙන බව ද ගම්‍ය කරමිනි. මේ මගින් ‍තමන්ට විරුද්ධව ඡන්දය දිය හැකි ජනයා මානසිකව දුර්වල කොට ඔවුන් ඡන්දය දැමීමට ඒමෙන් වළකා ලීම එහි පළමු අරමුණ වූ බව පෙණුනි. දෙවැනි අරමුණ වූයේ ජනයා තමන් ඡන්දයෙන් පරාජය කළ හොත් ඇත්තටම බලය යොදා පාලන බලය තමන් අත තව දුරටත් රඳවා ගැනීමයි.

මේ දෙඅරමුණින් මැතිවරණයේදී පොලීසියේ අණට ඉහළින් හමුදාවන් යෙදවීමට තිබූ උත්සාහයන් පිළිබඳ අවදියෙන් සිටි ජනයා විසින් විපක්ෂය ට සැපයුණු තොරතුරු මත මැතිවරණ කොමසාරිස්වරයා වහා ක්‍රියාත්මක වීමෙන් ව්‍යර්ථ කෙරුණි. තමන් ට මැතිවරණ රාජකාරි සඳහා හමුදාවන් ගේ සහාය අවශ්‍ය නැතැයි පොලිස්පති මැතිවරණ කොමසාරිස්ට කියා සිටියේය. ඡන්ද පෙට්ටි පසුපස මහජනයාට පෙළපාලි යාමට ඉඩක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන විට එසේ යාමට මහජනයාට පූර්ණ අයිතිය ඇතැයි මැතිවරණ කොමසාරිස් සහතික වීය. ඡන්ද දිනයේ උතුරේ ජනයා බියපත්කොට ඡන්දය දැමීමට ඒමෙන් වළකා ලීමේ උත්සාහය ව්‍යර්ථ කරන්නටද මැතිවරණ කොමසාරිස් සහ පොලිස්පති මූලික වීය.

රාජපක්ෂ රෙජීමයේ මේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කළද අවසන් මොහොතේ ඡන්ද ප්‍රථිඵල අවලංගු කොට තම බලය දිගටම රඳවා ගැනීමට රෙජීමය ගත් උත්සාහය හමුදාපති, පොලිස්පති සහ නීතිපති එයට එකඟ නොවීම හේතුවෙන් අත්හැර දමන්නට මහින්ද රාජපක්ෂ සහ රෙජීමයට සිදුවූ බව දැන් හෙළිදරව් වී තිබේ.

මේ සියල්ල අවසන සැනසුමක් ලැබුණේ මහින්ද රාජපක්ෂ පරාජය භාර ගෙන අරලිය ගහ මන්දිරය හැර පිටත්ව ගිය බවට 9 වැනිදා උදෑසන 6.30 ට පමණ ලැබුණු වාර්තාවෙන් පසුය. සතුටු කඳුළු ගලා ආවේ ඉන් පසුවය.

මෙම මැතිවරණයේ සැබෑ වීරයන් වූයේ සියලු බිය වැද්දීම් සහ බාධා මැද ඡන්දය දීමට ඉදිරියට ආ ජනතාවත් ඔවුනට එම අවස්ථාව සළසා දීමට එඩිතරව කටයුතු කළ මැතිවරණ කොමසාරිස්වරයා ත්ය. පොලිස් පති තුමාද මෙම වීරත්වයට හවුල් හිමිකමක් කියයි. අවසානයේ හමුදාපති සහ නීතිපති රෙජීමයේ යෝජනාවලට එකඟ නොවීම මහා ලේ වැගිරීමක් වළකා ලීය.

මෛත්‍රිපාල ගේ ජයග්‍රහණය මූලිකවම අපට පසක් කළේ ‘අපි යලිත් වතාවක් නිදහස් ජාතියක් බවට පත්වීමු’ යන්නයි. මහින්ද රාජපක්ෂ රෙජිමයේ ඒකාධිපති ගමන නවතා ලන්නට හැකිවීමම පමණක් වුව අපට නිදහස පිළිබඳ එම හැඟීම ගෙන දීමට සමත් වීය.

ප්‍රජාතන්ත්‍රවාදයේ පුනර්ජීවනය
තවද මෙම ජනාධිපතිවරණයේ මෛත්‍රී ගේ ජයග්‍රහණය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ පුනර්ජීවනයේ ප්‍රථිඵලයකි. මෙය සමාන කළ හැක්කේ 1956 දී මෙරට සිදුවූ දේශපාලන පෙරළිය ට පමණි. මහින්ද රාජපක්ෂ රෙජිමය අදම්‍ය යැයි සම්ප්‍රචාරණයෙන් පෙන්නුම් කර තිබුණු මොහොතක සිදුවූ දේශපාලන ප්‍රාතිහාර්යයක් බඳු මෙම විජයග්‍රහණය පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මෙරට ජන සමාජයේ මුල් බැස ගෙන ඇති බවයි. මූලිකවම ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂාවෙන් රටපුරා සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාව අති මහත් බහුතරයක් මෛත්‍රීට ඡන්දය දුන්හ. එලෙසම නගරබද මෙන්ම ගම්බද ද සිංහල ජනයාගෙන් විශාල සංඛ්‍යාවක් ද මෛත්‍රීට ඡන්දය දුන්හ. මේ ඡන්ද ලංකාවේ දේශපාලන ඉතිහාසයෙ‍් මෙතෙක් පැවැති දූෂිතම යැයි කිව හැකි මැතිවරණ ව්‍යාපාරය යටතේ මෛත්‍රීට ලැබුණු ඒවාය.

බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරේ සියලු බලතලත් රජයේ සම්පතුත් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා උපරිම ලෙස දුෂ්පරිහරණය කළේය. රජයේ අනෙක් සියලු දේශපාලනඥයනුත් රජයට ගැති නිලධාරීහුත් එසේම කළහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම ජනාධිපතිවරණයේදී රටේ උසස්තම පදවිය ගෙන ආ හැකි පහත්ම මට්ටමට ගෙන ආවේය. තමන් ‘මැදමුලන මහින්ද’ බව අමතක නොකරන ලෙස ඔහු තම චණ්ඩිකම ලෝකයටම කියා පෑවේ තමා ජනාධිපති තනතුර දරන බව නොසළකමිනි. මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම ජනාධිපති ඇතුළු රෙජිමයේ දේශපාලනඥයන් හැසිරුණේ සාහසික ලෙසය. ඔවුහු අදාළ සියලු නීති රීති උල්ලංඝණය කරමින් මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය මත ප්‍රචණ්ඩත්වය මුදා හරින්නට අනුබල දුන්නා මිස මහින්ද රාජපක්ෂ ඇතුළු කිසිදු වග කිව යුතු දේශපාලනඥයෙකු ‍එය හෙළා දුටුවේ නැත. ‍ගෝටාබය රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් නීති රීති උල්ලංඝණය කරමින් දේශපාලන කටයුතු වල යෙදුණි.
රෙජිමයේ දේශපාලන සම්ප්‍රචාරණය අපට සිහිපත් කරන්නේ හිට්ලර් යටතේ පැවැතුණු ගොබෙල්සියානු ප්‍රචාරණ යාන්ත්‍රණය යි. මෙය අවසානයේදී බොරු කීම මත ජනයා රැවටීමට උත්සාහ ගැනීම මත පදනම් වීය. මහින්ද රාජපක්ෂත් ඔහුගේ අන්තේවාසික ඇමැති වරුත් තනතුරු ලාභී කෞටිල්‍යවාදී පණ්ඩිතයනුත් සියලු දෙන භේදයකින් තොරව විපක්ෂ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ ජනතාවට අමූලික බොරු කීහ. ඔවුහු මෛත්‍රී ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ද අමූලික බොරු කීහ. මේ සියලු බොරු අතර මහම බොරු වූයේ මෛත්‍රීපාල ගේ රජයක් පිහිටවුවහොත් ‘කොටි යළි නැගිටිනු ඇත’ ‘රට දෙකට බෙදනු ඇත’ ‘මහින්ද විදුලි පුටුවට ගෙන යනු ඇත’ යනාදියයි.

කිහිපයක් හැරුණු කොට හැරුණු කොට රජ‍යේද පෞද්ගලික අංශයේද යන භේදයෙන් තොරව රටේ සියලු ප්‍රධාන මාධ්‍ය ද රාජපක්ෂ රෙජිමය විසින් මේ සඳහා නින්දිත ලෙස යොදා ගණු ලැබිණි. රාජපක්ෂ රෙජිමයෙන් ආර්ථික ලාභ වාසි ලබන පෞද්ගලික මාධ්‍ය හිමියෝ තම සේවාවන්හි ඇම්බැට්ට සේවකයන් මේ සඳහා මෙහෙයවූ බව පෙණුනි.

නමුත් මහින්ද රාජපක්ෂගේ ගොබෙල්සියානු සම්ප්‍රචාරනය ට ජනතාව රැවටුනේ නැත.

යුද්ධය දිනූ රාජ්‍ය නායකයා ට විපතක් වනු නොදැකීමට ඇති ජනතා අකමැත්ත, යළි යුද්ධයක් ඇති නොවනු දැකීමට සහ ලංකාව නොබෙදුනු රටක් ලෙස පවතිනු දැකීමට ඇති ඇති ජනතා කැමැත්ත පදනම් කො‍ට ගෙන අමූලික බොරු ජනතාවට කියා මෛත්‍රී පිලට ඊට පිළිතුරු දීමට සාධාරණ අවස්ථාව නොසළකා ගෙන ගිය ගොබෙල්සියානු සම්ප්‍රචාරනය හමුවේ වුව සිංහල ජනයා අතිවිශාල සංඛ්‍යාවක් මෛත්‍රීට තම ඡන්දය දුන්හ. 2010 යුද්ධය දිනූ විගස පැවැත්වූ ජනාධිපතිවරණයෙදී මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් විශාල පිරිසක් මෙවර මෛත්‍රී ට ඡන්දය දීමෙන් ජාතිවාදය ඇවිස්සූ ව්‍යාජ ප්‍රචාරණය ට සාමාන්‍ය ජනයා රවටන්නට නොහැකි වූ බව පෙන්නුම් කරයි. මෙය මාධ්‍ය යුද්ධ වලින් මැතිවරණ ජයග්‍රහණය කළ හැකි යැයි සිතන මාධ්‍ය පණ්ඩිතයන් වටහා ගත යුතුය.

1977 ජේආර් ජයවරධන පාලනයෙන් ඇරඹි නව ලිබරල්වාදී ආර්ථිකයට සේවය කරනු වස් මර්ධනය කරනු ලැබූ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය 1983න් පසු ජනවාර්ගික අර්බුදය අධිනිශ්චය වීම පිළිබඳ කතිකාව මෙරට වාමාංශික ව්‍යාපාරය භාරගැනීමේ හේතුවෙන් තවදුර දැඩි පසුබෑමකට ලක් විණි. 2009 දී යුද්ධය අවසන් වීමෙන් පසු සංවර්ධනයේ නාමයෙන් සමාජ සාධාරණත්වය අහිමි කිරීමට එරෙහිව පැණ නැගුණු ජනතා විරෝධයන් හමුවේ රජය පසු බැස ගිය අවස්ථා කිහිපයක් වීය. මානව සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකාරීන් උතුරේ මෙන්ම දකුණේද දිගින් දිගටම අරගල කළහ. යුද්ධය නිමා වීමෙන් පසුත් ප්‍රජාතන්ත්‍රවාදය තව දුරටත් අහිමි කිරීමට එරෙහිව සමාජයේ විවිධ අංශ වෙතින් කලක් තිස්සේ දියත් වූ ‍ප්‍රතිරෝධය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා පොදු අපේක්ෂකයෙකු සෙවී‍මට ‘සමාජ සාධාරණය සඳහා වන ජාතික ව්‍යාපාරය’ මුල් වී ගත් උත්සාහය තුලින් පොදු බලවේගයක් බවට පත් වීය. එහි ප්‍රථිඵලය වූයේ මෛත්‍රී ජනාධිපති කරවීම ඉලක්ක‍ කොට ගෙන පුළුල් ස්වේච්ඡා පුරවැසි ක්‍රියාකාරීත්වයක් විවිධ මට්ටමින් බිහි වීමයි. අපේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සමග අවියෝජනීය ලෙස ගැට ගැසී ඇති බව පසක් කරගත් ජනයා මෛත්‍රීපාල දිනවීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව මැතිවරණ ව්‍යාපාරය තමන් අතට ගත්තෝය.

මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරයෙන් කරළියට ආ මෙම ප්‍රජාතන්ත්‍රවාදී පුනර්ජීවනය රැක ගැනීමට නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පුරවැසියාට සෘජුව වග කියන පරිද්දෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමත් බිඳී ගිය නීතියේ පාලනය යලි ස්ථාපිත කිරීමත් මුල් කොට ගෙන යෝජිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය ය. මෛත්‍රී රජය බලයට පත් කිරීමට සක්‍රීයව කටයුතු කළ ජනයාගේ මූලික අපේක්ෂාව මෙය ඉටුවනු දැකීමයි. එය ඉටු නොකළහොත් ඉමහත් කැපවීමකින් සහ වැර වෑයමෙන් මෙරට ජනයා ලබාගත් මෙම ඓතිහාසික ප්‍රජාතන්‍ත්‍රවාදී විජයග්‍රහණය බරපතල ලෙස පාවා දීමක් වනු ඇත.

මෛත්‍රී රජය මුහුණ දෙන අසීරුතා
මේ අරමුණින් පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ මුලින් තිබූ අස්ථාවරභාවය දැන් පහව ගොස් තිබේ. පෙර රජයේ සිටි මන්ත්‍රී පිරිස් නව රජයට සහයෝගය දීමට ඉදිරිපත් වි සිටිති. නමුත් මෙහිදී ජනාධිපති මෛත්‍රී ගේ රජය අසීරුතාවකට මුහුණ පා සිටියි. එනම් යහපාලනය සංකල්පය මුල් කොට ගෙන ඇරඹි මෛත්‍රී ගේ දේශපාලන ව්‍යාපාරයට එම අරමුණට එරෙහිව යමින් පෙර රජයේ සිටි දූෂිතයන් නව රජයට ඇතුලු කර ගැනීමට සිදුවන්නේද යන්නයි. මෙනිසා ආරම්භයේදීම මෛත්‍රී රජය ජනතාවගේ විවේචනයට ලක් වෙමින් සිටියි.

මගේ අදහස යහපාලනය පිළිබඳ කරුණ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට නව රාජ්‍ය ව්‍යුහයක් පිහිටුවීමේ කාර්යය සමග පටලවා නොගත යුතුය යන්නයි. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම යහපාලනයක් සඳහා අවශ්‍ය ආණ්ඩුකරණයක් සඳහාවන නෛතික රාමුව ස්ථාපිත කර ගැනීමට අදාළය. ඒ සඳහා අවශ්‍ය කරන උපාය තම ප්‍රතිපත්ති පාවා නොදෙමින් සකසා ගැනීමට මෛත්‍රී ගේ රජයට හැකි විය යුතුය. එසේ නොහැකි නම් ජනතාව කෙරෙහි විශ්වාසය තබා ඔවුන් බල මුළු ගන්වා ‍උචිත දේශපාලන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය හැකිය. එවැනි අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදය යළි ජයග්‍රහණය කිරීමට ‍ජනාධිපතිවරණ සමයේ අත් දුටුවා මෙන් කිහිප ගුණයකින් පුරවැසියන් පෙරමුණ ගනු ඇත.

මෛත්‍රී රජය මුහුණ දෙන අනෙක් අවදානම නම් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන සභාග රජය තුළ මතුවිය හැකි ප්‍රවණතාවයි. ජේආර් ජයවර්ධන 1977 සිට මෙරට ස්ථාපිත කළ නවලිබරල් ආර්ථික වැඩ පිළිවෙලට ලාංකේය ජනතාව දිගින් දිගටම ප්‍රතිරෝධය දක්වා ඇත. 1994 චන්ද්‍රිකා කුමාරතුංග ත් 2005 දී මහින්ද රාජපක්ෂත් බලයට ඒමට මෙම ප්‍රතිරෝධය පදනම් වූ බව ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මගින් නව ලිබරල්වාදයට සංශෝධන ගෙන ඒමට පොරොන්දු වීමෙන් පෙනෙයි. රනිල් වික්‍රමසිංහගේ එජාපයද මෙය වටහා ගන්නා බව පෙනෙන්නේ ‘සමාජ වෙළෙඳපොළ ආර්ථිකය’ ක් පිළිබඳ සංකල්පයක් ඔවුන් අතරින් ඉදිරිපත් වීමෙනි. නමුත් චන්ද්‍රිකා සහ මහින්ද පාලන සමයන්හි සිදුවූවාක් මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් තමන්ගේ නියෝජිතයන් රජයේ උපායමාර්ගික ස්ථානයන්ට පත් කිරීම වත්මන් ආණ්ඩුව යටතේ ද සිදුවන්නේ යැයි ඇතැම් ඇමති පත්වීම් දෙස බැලූ විට හැඟී යා හැකිය. මෛත්‍රී පාලනය මේ පිළිබඳ විමසිලිමත් නොවුවහොත් මෙම රජය බලයට පත් කිරීමට තීරනාත්මක වැඩ කොටසක් ඉටු කළ ජන කොටස් රජය සමග ගැටීමකට ගෙන යාමට එබඳු පත්වීම් හේතුවීමට ඉ‍ඩ ඇත.

ජන දේශපාලන බලය ‍හේතුවෙන් 1977 න් පසු සමයේ පළමුවරට ලංකා සමාජය දේශපාලන වශයෙන් යහපත් අවකාශයකට දැනට පිවිස සිටියි. මෙය කොපමණ කලක් පවත්වා හැකිද යන්න තීරණය වන්නේ මෙම ජනාධිපතිවරණ ව්‍යාපාරය මගින් පුළුල් වූ පුරවැසි ක්‍රියාකාරීත්වය ගැඹුරු කිරීම මතයි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ට ව්‍යවස්ථාමය රැකවරණය ලබා ගැනීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )