‘සෞඛ්‍යයේ පුරය‘ සහ සුඛෝපභෝගී පුරය: ‘සංවර්ධනය‘ දේශපාලනය යටකොට ගැනීම – ‘කතිකා‘ අධ්‍යයන කවය

පසුගිය රජය තම දේශපාලන නිර්දෝෂීභාවය සඳහා රැකවරණ පැතූ සංවර්ධන සටන් පාඨය පිළිබඳ දේශපාලනය ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම න්‍යායික විග්‍රයට පසුබිම් විය.අප කතිකා ලංකා kathika.lk අඩවියේ පළමු කලාපයේ පළ කල මෙය එහි වර්තමාන අදාළත්වය නිසා යලි මෙහි පළ කරමු.

දැන් පෙනෙන හැටියට අප සලකා බලන්නේ හුදෙක් කවර හෝ පුරයක ආරම්භය නොව, සුඛෝපභෝගී පුරයක ආරම්භයයි … ඉතින් සෞඛ්‍යයේ පුරය ලෙස මා විස්තර කළ පුරය සැබෑ පුරය යැයි මා හිතනවා. එහෙත් රෝගී වූ පුරයක් ද පරීක්ෂා කොට බැලීම ඔබේ කැමැත්ත නම් එයට කිසි බාධාවක් නැත … කෙසේද යත් අප කලින් සඳහන් කළ සෞඛ්‍ය සම්පන්න, නීරෝගී පුරය තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නෑ. එහෙත් ඉදිමුණු ස්කන්ධයෙන් හා අවශ්‍යතාවකින් තොරව පුරයන්හි දක්නට ලැබෙන දේවලින් පිරී ගිය පුරයක් අවශ්‍ය වෙනවා.

– ප්ලේටෝ, ජනරජය, XIII පරිච්ඡේදය

කාර්මිකව වඩා සංවර්ධිත රට, වඩා අඩුවෙන් සංවර්ධිත රටට, තමන්ගේම අනාගතයේ පිළිබිඹුව පෙන්වනවා පමණි.

– කාල් මාක්ස්, දාස් කැපිටාල්, 1867, පළමු ජර්මානු මුද්‍රණයට පෙරවදන

ගැටලුව දුප්පත්කම නොවේ, සෞභාග්‍යය පිළිබඳ අපේ අදහසයි.

– අෂිස් නන්දි

“සංවර්ධනය“ පිළිබඳ අදහස පශ්චාත්-යුද ලාංකේය සමාජයේ අධිපති භාවයට පත්ව තිබේ. සංවර්ධනයට බොහෝ දෙනා පක්ෂපාතීය. එය එක් එක් සමාජ කණ්ඩායම්වලට වෙනස් දේ ගම්‍ය කරයි. රට දියුණු කළ යුතු යැයි, රටේ දියුණුවට ජනතාව කැප කිරීම් කළ යුතු යැයි දේශපාලනඥයෝ කියති. පඩි වැඩි කරන ඉල්ලීම් පසෙක තැබීම සහ දේශපාලන නිදහස් සීමා කර ගැනීම මෙම කැපවීම් අතර ප්‍රධාන කොට ගැණෙයි. යටිතල පහසුකම් දියුණු කිරීම මූලිකවම සංවර්ධනය ලෙසින් සැලකෙයි. ආණ්ඩුව සහ පෞද්ගලික අංශය වරාය, ගුවන් තොටුපළ, ක්‍රීඩාංගණ, අධිවේගී මාර්ග, සංචාරක හෝටල් වැනි දැවැන්ත ව්‍යාපෘති ඉදි කරති. දළ ජාතික නිෂ්පාදනය ඉහළ මට්ටමක තබා ගැනීම සංවර්ධනය කෙරෙන බවට ප්‍රධාන දර්ශකය ලෙස ඉදිරිපත් කරයි, ඒක පුද්ගල ආදායම දෙගුණ කිරීම සංවර්ධනයේ ඉලක්කයක් ලෙස ගනිති, වෙනත් ආර්ථික දර්ශක ගෙන හැර දක්වති. ආර්ථික වර්ධනය ඇති වුවහොත් රට සංවර්ධනය වනු ඇතැයි ද, ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ යනු ඇතැයි ද කියති. ඉන් සාමාන්‍ය ජනයාට එක් අතකින් අදහස් කෙරෙන්නේ තම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට පිහිට වන විදුලි බලය, ජල සැපයුම, මං මාවත් වැනි යටිතල පහසුකම් සහ රැකියා යනාදි මූලික අවශ්‍යතා ලබා ගැනීම හෝ වැඩි දියුණු කරගැනීමයි. මැද පංතිකයාට එය තම ආදායම් වැඩි කර ගැනීමේ, ධනය රැස් කර ගැනීමේ සහ වැඩි වැඩියෙන් සුඛොපභෝගී පාරිභෝජනයෙහි නිරත වීමේ මඟ යි. නමුත් සංවර්ධනයෙන් විපතට පත් වන්නෝ ද සිටිති. විතැන් කිරීම, හිමි සම්පත් අහිමි කිරීම, දේපළ භුක්තිය අහිමි කිරීම, ජීවනෝපායන් අහිමි කිරීම, ප්‍රජාවන් කැඩී බිඳී විසිරී යාම යනාදිය හේතුවෙන් සංවර්ධනයෙන් තව දුරටත් ආන්තිකකරණයට ලක් වන පිරිසක් ද වෙති. ඔවුහු මූලිකවම නාගරික , ග්‍රාමීය ගොවි සහ මුහුදුබඩ ධීවර යන ප්‍රජාවන්ට අයත් දිළින්දෝ වෙති. විවේචකයෝ වත්මන් සංවර්ධන එළඹුම ‘අත පල්ලෙන් හැලෙන‘ සංවර්ධනය ලෙස හඳුන්වති. සංවර්ධනය සඳහා ආණ්ඩුව අධික ලෙස විදේශ ණය ගැනීමෙන් රටත් අනාගත පරපුරත් උග්‍ර ණයගැති භාවයට ඇද දමා ඇතැයි පෙන්වා දෙති. තව ද සංවර්ධනය පරිසරයට බරපතල හානි පමුණුවන බව පෙන්වා දෙති.

ඉතින් මෙලෙස සමාජයේ විවිධ කණ්ඩායම්වලට විවිධ අරුත් ගන්වන සංවර්ධනය යන්න අප වටහා ගන්නේ කෙසේද? සංවර්ධනය යනු කුමක් ද? ඒ පිළිබඳ ලොව ඇති න්‍යායික සාකච්ඡාවෙන් අපට ලැබෙන පිටිවහල කුමක් ද?

සංවර්ධනය සංකල්පීකරණය: ප්‍රධාන තේමා

සංවර්ධන න්‍යාය පිළිබඳ කෙරෙන විමසුමකින් මතුවන ප්‍රධාන තේමා තුනක් හඳුනාගත හැකිය. ඒවා නම් ‘ආර්ථික වර්ධනය සහ සාධාරණත්වය,‘ ‘සාධාරණත්වය, සහ පරිසරය සුරැකුම‘ සහ ‘ජාතික සංවර්ධනය සහ ගෝලීයකරණය‘ පිළිබඳ තේමාය.
ආර්ථික වර්ධනය සහ සාධාරණත්වය

සංවර්ධනය පළමුව පිළිගැනුණේ දළ ජාතික නිෂ්පාදිතය නිර්ණායකය කොට ගත් ආර්ථික වර්ධනය ලෙසිනි. එය සාධාරණත්වය පිළිබඳ අදහස, එනම් ආදායම් බෙදීයාමේ අසමානතා සැලකිල්ලට නොගන්නේය, යන විවේචනය මත දෙවනුව, එයට සාධාරණත්වය පිළිබඳ අදහස ද සුභ සාධන පියවර ද එකතු කෙරුණි. ආර්ථික වර්ධනය සහ ඒක පුද්ගල ආදායම, ආර්ථික සාධක කෙරෙහි පමණක් අවධානය යොමු කරන හෙයින් ආදායම් ව්‍යාප්තිය පිළිබඳ සඵලදායී දර්ශක නොවන හෙයින් ආදායම් ව්‍යාප්තිය මැනීමට ජීවන අපේක්ෂාව, සාක්ෂරතාව වැනි සාධක ද මානව සංවර්ධන දර්ශකයෙන් එකතු කෙරිණි. ආර්ථික වර්ධනය සහ සාධාරණත්වය පිළිබඳ කරුණ ජාතියක් ඇතුළත ආදායම් ව්‍යාප්තිය සැලකීමේදි පමණක් නොව ජාතීන් අතර ආදායම් ඉහළ නැංවීමේදී ද වැදගත් කොට සැලකෙයි. එහෙයින් යටත්විජිතවාදයෙන් නිදහස් වූ රටවල් තම ආර්ථික වර්ධනය නංවාගෙන ලොව ධනවත් ජාතීන් හා කරට කර සිටින තත්ත්වයට පත්වීම සාධාරණත්වය ලෙස සළකයි. මෙම රටවල මැද පංතිය ප්‍රභූන් බවට පත්ව ජගත් ප්‍රභූ පැළැන්තිය සමඟ කරට කර සිටින තත්ත්වයට පත්වීම ඔවුහු සාධාරණත්වය ලෙස සළකති.

සාධාරණත්වය, සහ පරිසරය සුරැකුම

දෙවැනි තේමාව, සාධාරණත්වය සහ පරිසරය සුරැකුම අතර ගැටුමයි. ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙසින් ගැනීම නොසලකා හරින ප්‍රධාන කරුණකි, පරිසරය කෙරෙහි ඇතිවන හානිකර බලපෑම් නොසලකා හැරීම. මෙය ධනේශ්වර සංවර්ධනයේ ඉතිහාසය පුරා දකින්නට හැකි වූ ගැටලුවකි. අදත් චීනය වැනි යටත්විජිතව සිටි රටවල් සාධාරණත්වය පතා ආර්ථික සංවර්ධනය හඹා යාමේදී පරිසරය ආර්ථික වර්ධනය වෙනුවෙන් කැප කිරීමට දේශපාලන තීන්දු ගැනීම පෘථිවියට දැරිය නොහැකි බව පශ්චාත් සංවර්ධනවාදීහු තර්ක කරති. පරිසරය යනු හුදු ස්වාභාවික පරිසරය පමණක් නොවේ. එයට සාමාජීය පරිසරය ද අයත් වේ.

ජාතික සංවර්ධනය සහ ගෝලීයකරණය

තෙවැනි තේමාව නම්, ආර්ථික වර්ධනය මත පදනම් වන ජාතික සංවර්ධනය පිළිබඳ අදහස ගෝලීයකරණය සමඟ ගැටීමයි. යටත්විජිතව සිටි රටවල් ගෝලීයකරණ යුගයේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය බිහි කරන්නේ ගෝලීයකරණය වූ මැද පංතියක් මිස ජාතික වැඩ පිළිවෙලකට කැප වූ ජාතික ධනේශ්වරයක් නොවේ. සිදුවන ආර්ථික වර්ධනය ද ගෝලීය ප්‍රාග්ධනය සමඟ ගැට ගැසුණකි. මෙම තත්ත්වය සංවර්ධනය ජාතිකත්වය සමඟ ගැට ගැසීමේ ඇති අවුල පෙන්වයි.

මෙම තේමාවන් ඇතුළත් කරගන්නා සංවර්ධන කතිකාවක් කලින් කලට වෙනස් ස්වරූප ගනිමින් පැවැතී ඇති ආකාරයද අපට හඳුනාගත හැකිය.

සංවර්ධන ශබ්දකෝෂය
සංවර්ධන ශබ්දකෝෂය
සංවර්ධනය යනු කතිකාවකි

සංවර්ධනයේ ඉතිහාසය විමසන්නෙකුට පෙනී යනු ඇති ප්‍රධාන කරුණක් නම් සංවර්ධනය යනු එක් නිශ්චිත අර්ථයක් ඇති, තනි නිර්වචනයක් දිය හැකි ප්‍රපංචයක් නොව කාලයක් තිස්සේ ගොඩ නැඟුණු කතිකාවක් බවයි. එය, කලින් කලට පරිහරණය කරන අයගේ අභිප්‍රායන් අනුව වෙනස් වන අරුත් ඇති සංකල්පීකරණයකි.

වුල්ෆැන්ග් සැක්ස් තම Development Dictionary කෘතියේ පෙන්වා දෙන පරිදි, ‘සංවර්ධනය‘ආරම්භයේ සිටම ලොව උතුරේ රටවල ආකෘතිය දකුණේ රටවලට ආදේශ කිරීම පිළිබඳ කරුණක් වීය. ආර්ථික වශයෙන් දුප්පත් ජාතීන්ට පොහොසත් ජාතීන්ගේ තත්ත්වයට ඉක්මනින් ළඟා වීමට හැකි වනු ඇත, යන්න ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙසින් ගැනීමේ පොරොන්දුවයි. උතුරේ රටවල ආකෘතියට අනුව එම මට්ටමට ලොව සෙසු සියලු රටවලට තම ආර්ථිකයන් වර්ධනය කරගත හැකි බව, එම රටවල ජනයාගේ ජීවන තත්ත්වයන් නංවාලිය හැකි බව සංවර්ධන කතිකාව විශ්වාස කළේය. නිසි ප්‍රතිපත්ති අනුගමනය කළේ නම් දකුණේ රටවලටද අනාගතයේ යම් දිනෙක උතුරේ රටවල් මෙන්ම තාක්ෂණිකව නවීකාරක සහ ධනයෙන් ආඪ්‍ය බවට පත්විය හැකිව තිබුණි යැයි මින් අභ්‍යුපගමය කෙරුණි.

ඊට නායකත්වය දුන් උතුරේ කඳවුරේ මතවාදය අනුව සංවර්ධනය යනු වෙළෙඳපොළ මත පදනම් වූ ‘ආර්ථික සංවර්ධනය‘ හෝ රාජ්‍ය සැලසුම්කරණය මත පදනම් වූ ‘සමාජවාදය‘ යනුවෙන් නම් කෙරිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1970 දශකය ‘සංවර්ධන දශකය‘ ලෙස ප්‍රකාශයට පත්කිරීම ‘සංවර්ධනය‘ සැබිවින්ම විය හැකි දෙයකි යැයි සියලු දෙනා එකඟ වීම ප්‍රකාශයට පත් කිරීමක් වීය. නමුත් ඉන් පසු දිගහැරුණු ඉතිහාසය තුළ මෙහි වලංගුභාවය ප්‍රශ්න කෙරී ඇත. නව ලිබරල්වාදී මාවත ගත් රටවල විදේශ ණයගැති භාවය වැඩි වූ අතර පොරොන්දු වූ ආර්ථික වර්ධනයත් එහි ප්‍රතිලාභ ජනයාට ලැබීමත් සිදු නොවීය. 1980 ගණන් වන විට මෙම මඟ ගැනීමෙන් දකුණේ රටවල් අපේක්ෂා කළ පරිදි සංවර්ධනය නොවූ බව දැකගත හැකිවිය.

1989 නොවැම්බර් මස බර්ලින් තාප්පය බිඳ හෙළීමෙන් සංකේතවත් පරිදි, ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතර පැවැති සීතල යුද්ධය අවසාන වීමට සමගාමීව ‘ගෝලීයකරණය‘ යනුවෙන් හැඳින්වෙන ධනවාදය ව්‍යාප්ත කිරීමේ වත්මන් අදියර දියත් වීම සමඟින් ධනය එක් රැස් කරගැනීමට දකුණේ රටවල අභිලාෂ වැඩී ඒම සංවර්ධනයට නව ජීවයක් ලබා දුන් නමුත් සංවර්ධනය ධනේශ්වර ආර්ථික සංවර්ධනය බවට ලඝුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණි. ඒ අනුව, දකුණේ රටවලට සංවර්ධනය යනු බටහිර ශෛලියේ පාරිභෝගික ආර්ථිකයක් කරා නව කාර්මිකකරණයන් මඟින් ළඟාවීමේ අභිප්‍රායයි. කොමියුනිස්ට්වාදය බිඳ වැටීම සමඟ නව පණක් ලද නමුත් ධනවාදී ආකෘතිය පොරොන්දු ප්‍රතිඵල ගෙන දී නොමැත.

විසි එක් වැනි සියවසේ මුල් දශකය වන විට සංවර්ධනය නව ජීවනයක් ලබයි. චීනය වැනි රටවල් සංවර්ධන එළඹුමට ප්‍රවිශ්ට වීම මෙයට හේතුවයි. යටත්විජිතවාදයට යටව සිටි රටවලට, සංවර්ධනය සාධාරණත්වය ලබා ගැනීමේ මඟක් ලෙස පෙනී යයි. එහෙයින් සංවර්ධනය යන්න හුදු ආර්ථික වර්ධනය පිළිබඳ කරුණකට වඩා ඒ මත පදනම් වූ නමුත් සාධාරණත්වය පිළිබඳ අදහසක් හා බැඳුණු දෙයක් ද බවට පත්වෙයි.

වොලර්ස්ටෛන් (බලන්න, නව ඇරඹුමකට පෙරවදනක් ) දකින පරිදි සංවර්ධනවාදී කතිකාව අවසන් වී එතැන ගෝලීයකරණය පිළිබඳ කතිකාව විසින් ගෙන එහි ආයු කාලයත් අවසන්ව ධනේශ්වර ක්‍රමය කඩා වැටී වෙනත් ක්‍රමයක් බිහිවීමේ ශක්‍යතාව ඇති අවස්ථාවකට අපි එළඹ ඇත්තෙමු.

කෙසේ නමුත් වුල්ෆැන්ග් සැක්ස් (Development Dictionary ) දකින පරිදි ගෝලීයකරණ තත්ත්වයන් යටතේ චීනය වැනි රටවල් ධනේශ්වර සංවර්ධන මාවත ගැනීම තුළ ධනේශ්වර සංවර්ධනය තවත් වටයක් ඉදිරියට යනු ඇත. මේ අර්ථයෙන් ගත් කළ ගෝලීයකරණය සංවර්ධනය මුදුන් පමුණුවයි. නමුත් එය ලෝකයට දැරිය නොහැකි වනු ඇතැයි වුල්ෆැන්ග් සැක්ස් තර්ක කරයි. මෙබඳු සංවර්ධනයකට ජෛව සහ භෞතික සීමා තිබේ. සාධාරණත්වය පතා ආර්ථික වර්ධනය ලුහු බැඳ යාමේ දේශපාලනය විසින් සංවර්ධනය පිළිබඳ කරුණ පරිසර සුරැකුමෙන් තොර සාධාරණත්වය ක් හෝ සාධාරණත්වයෙන් තොර පරිසරය සුරැකුමත් අතර වන තෝරාගැනීමක් බවට පත් කොට ඇත.

වොෂිංටන් සහානුමතිය මත පදනම්ව දියත් වූ ව්‍යුහාත්මක හැඩගැස්වීමේ වැඩ පිළිවෙල මඟින් ක්‍රියාත්මක කෙරුණු නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති මෑත කාලීන ජගත් ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස අර්බුදයට පත්ව ඇත. යලිත් කේන්සියානුවාදය පෙරට විත් ආර්ථික ක්‍රියාවලියෙහි ලා රාජ්‍ය මැදිහත් වීම ප්‍රබල වෙමින් පවතී.

සංවර්ධන කතිකාවට පදනම් වූ සංවර්ධන න්‍යාය විමසුමට ලක් කරන විට පෙනී යන කරුණක් වන්නේ සංවර්ධනය විභාග කිරීමෙහි සහ විග්‍රහ කිරීමෙහි අපොහොසත් වීම නිසා සංවර්ධන න්‍යාය ඉදිරියට යා නොහැකිව දිගින් දිගටම අවුලට පත්වූ ආකාරය යි.

සංවර්ධන න්‍යාය, නවීකරණ න්‍යාය, කේන්ද්‍රය-පරිධිය අතර සබඳතා, ඌන සංවර්ධනය, ආනයන-ආදේශන කාර්මීකරණය, පරායත්තතාව, නව ලිබරල්වාදය, විකල්ප සංවර්ධනය, සහභාගිත්ව සංවර්ධන න්‍යායයන් සහ මානව සංවර්ධනය පිළිබඳ න්‍යායයන්, සහ පශ්චාත් සංවර්ධන න්‍යායයන් යනාදී නාමකරණයන් රැසක් හරහා කලින් කලට විවිධ වෙස් ගෙන ඇත.

පශ්චාත් විජිත, ධනේශ්වර, නවීකරණ න්‍යාය අසාර්ථක වීම හේතුවෙන් පරායත්තතාව පිළිබඳ ඌන සංවර්ධන න්‍යායනුත් (අපනයන ආර්ථික වැඩ පිලිවෙළ වෙනුවට ආනයන ආදේශන වැඩ පිලිවෙළත්), ඒවා අසාර්ථකවීම හේතුවෙන් නව ලිබරල්වාදයත් ඉදිරිපත් කෙරුණි. ව්‍යුහාත්මක හැඩ ගැස්ම වැඩ පිළිවෙළවල් නිදහස් වෙළෙඳපොළ නිර්බාධීව ක්‍රියාත්මක වීමට අවශ්‍ය තත්ත්වයන් සම්පාදනය කිරීමෙන් ආර්ථික වර්ධනය උදාකරනු ඇතැයි විශ්වාස කෙරුණු නමුත්, මෙය සාර්ථක බවට සාක්ෂි නැතැයි යන්න 1980 ගණන්වල අග වන විට පැවැති තත්ත්වය යි. කොමියුනිස්ට්වාදය බිඳ වැටීමත් සමඟ වාමාංශික න්‍යායයන් තව දුරටත් අභියෝගයට ලක්වුණි.

මානව සංවර්ධනය

සහභාගිත්ව සංවර්ධන න්‍යායයන් සහ මානව සංවර්ධනය පිළිබඳ න්‍යායයන් ආර්ථික වර්ධනය පිළිබඳ අදහසින් ඔබ්බට යෑමෙන් සංවර්ධනයෙහි මානව පාර්ශ්වයන් සංවර්ධනය මානව අයිතිවාසිකමක් ලෙස ගැනීම අවධාරණය කෙරිණි. මානව සංවර්ධන න්‍යායයේ අරමුණ සංවර්ධනයට ආර්ථික වර්ධනය සහ එහි ව්‍යාප්තිය ඉක්මවා සමාජ-ආර්ථික කරුණු ද ඊට ඇතුළත් කිරීම යි.

සෘජු ආර්ථික දර්ශකයන්ගෙන් මැනිය නොහැකි ආර්ථික නොවන සාධක තවදුරටත් සංවර්ධන සංකල්පීකරණයට කිරීම සදහා මානව සංවර්ධන න්‍යායයන් මගින් මානව ‘ශක්‍යතා‘ පිළිබඳ අදහස ඉදිරිපත් කෙරුණි. එය භෞතික අවශ්‍යතා සපුරා ගැනීම පිළිබඳ අදහසින් ඔබ්බට යමින් එම අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට අවශ්‍ය සම්පත් ලබා ගැනීමේ හැකියාවනට අදාළ සමාජීය තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කොට ඇත. එමගින් මෙම සංකල්පීකරණයන් අසමානතාව, දුප්පත්කම, ස්ත්‍රී-පුරුෂ සමාජීය භාවය, තිරසාරභාවය, මානව සුරක්ෂිත භාවය වැනි කලාපයන් කෙරෙහි අවධානය යොමු කොට ඇත.

මානව සංවර්ධන එළඹුමේ ප්‍රධාන න්‍යායධාරිනියක වන මාර්තා නුස්බෝම් (බලන්න, Not for Profit ) පෙන්වා දෙන පරිදි දේශපාලන නිදහස, සෞඛ්‍යය සහ අධ්‍යාපනය ආර්ථික වර්ධනයත් සමඟ සහසම්බන්ධී වන්නේ දුර්වල ලෙස බව අනුභූතික අධ්‍යයන මේ වනවිට අවධාරණය කොට තිබේ. හුදු ආර්ථික වර්ධනය සමස්ත ප්‍රජාවට ඉහළ සෞඛ්‍ය සහ අධ්‍යාපන මට්ටමක් සහතික නොකරයි. එමෙන්ම ආර්ථික වර්ධනය පසුපස දේශපාලන නිදහස සහ එනයින් ප්‍රජාතන්ත්‍රවාදය එන්නේද නැත. යහපත් ජීවිතය සඳහා අවස්ථා සියලු සමාජ පන්තීන්ටලබාගත හැකි සෞඛ්‍ය සම්පන්න, නියැලුණු, උගත් ජනගහණයක් බිහිකරන්නේ ද නැත. චීනය මෙයට හොඳ උදාහරණයකි.

වුල්ෆැන්ග් සැක්ස් (Development Dictionary) දකින පරිදි මානව සංවර්ධනය ආර්ථික වර්ධනය මත පදනම් වූ සංවර්ධනය පිළිබඳ අදහසට සමාජීය සාධක ඇතුළත් කිරීමට ගත් නිලධාරිවාදී උත්සාහයකි. එහෙයින් මානව සංවර්ධනය නිර්ණය කිරීම ආර්ථික ගණනය කිරීම් මත තව දුරටත් රඳා පවතියි, මානව වරණයන් සහ ඒවා සාධනය කරගැනීම් හෝ ඒවා අහිමි කිරීම් සංඛ්‍යානමය වශයෙන් ගණනය කිරීම මත මනින්නට උත්සාහ කරයි. සියලු උත්සාහයන් අවසානයේ තවමත් ඇත්තේ දළ ජාතික නිෂ්පාදිතය පිරිසිදු කිරීම තුළ විසඳුම සෙවීමයි.

සංවර්ධනය රජයේ වගකීමක් බවට පත්කිරීමෙන් මානව සංවර්ධන වාදීහු ආර්ථිකය සහ සුභ සාධනය පිළිබඳ කටයුතු රජයේ ප්‍රධාන කටයුත්ත බවට පත් කිරීමෙන් දේශපාලනය සමාජයෙන් විතැන් කිරීම අනුමත කරති. වාමවාදී ලිබරල් එළඹුමක් වන මානව සංවර්ධනය රජයට සුභ සාධනයේ වගකීම පවරයි. එය අවධානය යොමු කරන්නේ මානව අයිතියක් ලෙස සංවර්ධනය ගැන කතා කිරීමටය. නමුත් වර්ධනය මුල් කරගත් සංවර්ධනය පිළිබඳ අදහස අත් නොහරියි. මානව සංවර්ධනය පිළිබඳ අදහස ක්‍රියාත්මක කිරීමෙහි වගකීම පවරන්නේ රජයට ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධානයන්ට ය.

ට්‍රෙවෝ පාර්ෆිට් තම End of Development කෘතියේ තර්ක කරන පරිදි ඉහත සටහන් කළ මෙම තත්ත්වය සංවර්ධන න්‍යායයන්ගේ බංකොලොත්භාවය සහ සංවර්ධනයේ අහිතකර ප්‍රතිඵල අවධාරණය කළ හෙයින් සංවර්ධන න්‍යාය පශ්චාත් නූතනවාදයට, පශ්චාත් ව්‍යුහවාදයට හැරුණි. මෙම එළඹුම් ඔස්සේ සංවර්ධනවාදී අදහසෙහි වලංගු භාවය එහි මූලයෙන්ම ප්‍රශ්න කෙරිණි. සංවර්ධනය පිළිබඳ අදහසට යටින් ඇති ප්‍රගතිය පිළිබඳ සාධ්‍යතාවාදයත්, සංවර්ධනය ඉතිහාසයේ ඉලක්කයක් ලෙස ගැනීමේ සම්භාව්‍ය මාක්ස්වාදී අදහසත් එය කැටිකොට ගත් හේතුවාදයත් මෙලෙස ප්‍රශ්න කෙරුනු අදහස් අතර ප්‍රධානය. ඒ අනුව, සංවර්ධනය යනු යටත්විජිත සංජානනයන් සහ බටහිර හේතුවාදයේ උරුමයකි. මානව පැවැත්මේ කොන්දේසිය නැතහොත් තත්ත්වය තාක්ෂණයේ පිහිටෙන් සහ සැලසුම්කරණයේ හේතුවාදී ශිල්ප ක්‍රම මගින් සැලසුම්කරුවන්, සමාජීය ඉංජිනේරුවන් විසින් වෙනස් කරනු හැකිය යන්න හේතුවාදයේ විශ්වාසයයි (බලන්න, මෙම කලාපයේ පළවන මයිකල් ඕක්ෂොට් ගේ “දේශපාලනයේ හේතුවාදය“ ලිපියෙන් උපුටාගත් කොටස්). පෝල් ෆෙයෙරබෙන්ඩ් වැන්නෝ මෙම හේතුවාදී විශ්වාසය බරපතළ ලෙස සැක කළහ (බලන්න, පෝල් ෆෙයෙරබෙන්ඩ් ගේ Against Method කෘතිය). මේ අනුව ගත් කළ සංවර්ධනය යනු කොමියුනිස්ට්වාදයත් ධනවාදයත් හවුලේ විශ්වාස කරන සාධ්‍යතාවාදයකි. එය ළඟා කර ගැනීමේ මඟ සංවර්ධන සැලසුම්කරණය යි.

සංවර්ධනය වෙනුවෙන් දුප්පතුන් මහපාරට
සංවර්ධනය වෙනුවෙන් දුප්පතුන් මහපාරට
මෙම ප්‍රශ්න කිරීමෙහි ප්‍රතිඵලය වී ඇත්තේ සංවර්ධනය ප්‍රතික්ෂේප කෙරෙන පශ්චාත් සංවර්ධන එළඹුම බිහිවීම යි. එම එළඹුමට අනුව මානව සබඳතාවලට වින කටින හෙයින් සහ ජෛව ගෝලයේ පැවැත්මට බරපතළ තර්ජනයක් එල්ල කරන හෙයින් සංවර්ධනය ලෝකයට දැරිය නොහැකි ය. එහෙයින්, එය අත්හැර දැමිය යුතු යැයි කියවෙයි.

පශ්චාත් සංවර්ධන එළඹුම

පශ්චාත් සංවර්ධන එළඹුමෙහි ආරම්භක සම්පාදකයන් ලෙස නම් කළ හැකි වුල්ෆැන්ග් සැක්ස් සංස්කරණය කළ ‘සංවර්ධන ශබ්දකෝෂය ‘(Development Dictionary) ට ලිපි සම්පාදනය කළ අය ගත් මඟ වූයේ සංවර්ධන සංකල්පය, අධිරාජ්‍යවාදී ව්‍යාපෘතීන් සාධාරණීකරණය කිරීමේ සහ ආධිපත්‍යය සඳහා වන මතවාදී ව්‍යාපෘතීන් සඳහා අර්ථය සම්පාදනය කළ ආර්ථික වර්ධන ක්‍රියාවලියක් මත පදනම් වූ කතකාවක් ලෙස විග්‍රහ කිරීම යි. ඒ අනුව අපේක්ෂා කළ සංවර්ධනයක් උදාකර දීමට ආර්ථික වර්ධනයේ මාවත අපොහොසත් වූවා පමණක් නොවේ, සංවර්ධනය යන අදහස ට වැදගත්කමක් ගෙන දුන් ඓතිහාසික කොන්දේසි ද අතුරුදහන්ව ගොස් තිබේ. සංවර්ධනය යල් පැන ගොස් තිබේ. සියල්ලටමත් වඩා, මෙම අදහස වලංගු කළ බලාපොරොත්තු සහ ආශාවන් දැන් ක්ෂීණ වී ගොසිනි. තව ද පදයේ අර්ථය ද කලින් කලට වෙනස් වී තිබේ. මුලින් ආර්ථික වර්ධනය වෙනුවෙන් පෙනී සිටි සංවර්ධනය පසුව සහභාගිත්වය සහ මානව කේන්ද්‍රීය සංවර්ධනය බවට වෙනස් වීය. සංවර්ධනය යනු හැඩයක් නොමැති නමුත් තුරන් කළ නොහැකි ඇමීබා වැනි සංකල්පයක් බවට පත්ව ඇතැයි සැක්ස් ලිවීය.

සංවර්ධනයේ හානිකර ඵල විපාක පිළි ගන්නා නමුත්, සංවර්ධනය ගතානුගතිකවාදීන්ගේ අතින් මුදවා ප්‍රගතිශීලීන් අතට ගත හොත් එය වැඩදායී වනු ඇතැයි පිළිගන්නා න්‍යායික නැඹුරුවක් ද තිබේ (බලන්න, Trevor Parfit, End of Development? ). සංවර්ධන සංකල්පය එහි නිෂේධනාත්මක සහ මර්දනකාරී අඩංගුවෙන් නිදහස් කොට වඩා ප්‍රගතිශීලී සහ විමුක්තිකාමී ලෙස කියැවිය හැකිය යන්න මෙම එළඹුම ගන්නා න්‍යායධාරීන් ගේ මතය වී තිබේ. ඔවුන්ගේ අදහස සංවර්ධනය අර්ථය මතභේදයට තුඩු දී ඇති තරඟයට ඉලක්ක වන අරගල භූමියකි යන්නයි. එහෙයින් ගතානුගතිකවාදීන්ට මෙන්ම ප්‍රගතිශීලීන්ට ද එය අත්පත් කරගත හැකිය. ගතානුගතිකවාදීන් අත සංවර්ධනය ස්වදේශීය සංස්කෘතීන් සහ ඵල ප්‍රයෝජනයන් මර්දනය කොට උතුරේ රටවල වසන ලොව සමාජීය සුළුතරයන් දකුණේ රටවල වසන ලොව සමාජීය බහුතරයන් මත බලය පැනවීම ක්‍රියාත්මක කරන මඟක් වන නමුත් ඊට එරෙහිව ප්‍රගතිශීලී සංවර්ධන කතිකාවක් ද ගොඩ නැඟිය හැකියැයි මොවුහු විශ්වාස කරති.

මානව සංවර්ධන එළඹුම, සංවර්ධනය ප්‍රගතිශීලීන් අතට ගත හැකිය යන විශ්වාසය පළ කරන එළඹුමක් ලෙස ගත හැකිය. මානව සංවර්ධන සංකල්පීකරණය ක්‍රියාත්මක වන්නේ ද සංවර්ධන කතිකාව තුළම ය. එය ඊට නව පණක් ලබා දී ඇත. තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ධාරාවේ අර්ථකථනය ද ‘සංවර්ධනය‘ පවත්වා ගෙන යාමේ උපායකි. නොමැතිව විවිධ වන්නා වූ ස්වාභාවික සහ සමාජීය ජිවිතය විජෘම්භමාන කිරීමට සහ පවත්වාගෙන යාමට අනුබල දීමක් ලෙසින් නොවේ. සංවර්ධනය ප්‍රගතිශීලීන් අතට ගැනීමේ උත්සාහයන් නැඟී එන මැද පන්තීන්ගේ අවශ්‍යතා නියෝජනය කරන අතර එය සංවර්ධනයේ හානිකර ඵල විපාක නොසලකා හරින තත්ත්වයට පත්වන බව අපගේ අදහසයි.

පශ්චාත් සංවර්ධනවාදීන්ගේ තර්කය අප මානව සහ ස්වාභාවික ලෝකයේ පැවැත්ම වෙනුවෙන් සංවර්ධනය අත්හළ යුතු බවයි.

සංවර්ධනයට විකල්පයක් සෙවීම

ඉහත ඉදිරිපත් කළ පරිදි සංවර්ධනය පිලිබඳ වඩාත්ම ප්‍රචලිත අදහසේ ප්‍රකාශිත අරමුණ, නිසි මඟ ගතහොත් ලොව ධනවත් රටවල් ලබා ඇති ආර්ථික වර්ධනය සහ ආදායම් බෙදීයාම අන් සියලු රටවලටත් ලබා ගත හැකිය යන්නයි. එවිට ලොව සියලු රටවල සියලු ජනයාගේ ජීවන මට්ටම ධනවත් රටවල ජනයාගේ මට්ටමට ගෙන ආ හැකි වනු ඇත. නමුත් මෙය සැබෑවක් විය හැකි ද? ලොව සියලු රටවල් ඒක රේඛීයව දිගින් දිගටම සංවර්ධනය වීම විය හැක්කක්ද? සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ තාක්ෂණික දියුණුව සහ ධනවත්කමින් ඉහළ යාම නම්, අඩුවෙන් සංවර්ධිත රටවල් වඩා සංවර්ධිත රටවල මට්ටමට ළඟා වීම කවදාවත් සම්පූර්ණ කළ හැකි වනු ඇත්ද? වඩා සංවර්ධිත රටවල් තව තවත් සංවර්ධනය වනු ඇති හෙයින් එම පරතරය කවදා පියවනු හැකිවනු ඇත්ද?

සංවර්ධනය එය අපේක්ෂා කළ බොහෝ රටවල් උග්‍ර ණයගැති භාවයට ඇද දමා තිබේ. අනෙක් අතට සංවර්ධනය අපේක්ෂා කළ ප්‍රතිඵල සියලු ජන කොටස්වලට එක සේ ළඟා කොට දී නැත. දිළිඳු සහ ආන්තිකකරණය වූ ජන කොටස් සංවර්ධන ක්‍රියාවලිය විසින් බැහැර කොට, විතැන් කොට, ඔවුනගේ ආදායම් මාර්ග සහ වාසස්ථාන ඔවුනට අහිමි කෙරෙන බව සංවර්ධන ක්‍රියාවලිය දියත් වූ රටවල අත්දැකීම වී තිබේ.

පශ්චාත් සංවර්ධනවාදීහු ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙසින් ගැනීම පිළිබඳ ප්‍රබලම විවේචනය ඉදරිපත් කරති. ඔවුන්ගේ අදහස ආර්ථික වර්ධනය සංවර්ධනය ලෙස ගැනීම මානව සබඳතා පීඩාවට ලක් කරන බවයි. එය මිනිසා දුගීභාවයට තල්ලු කරයි, ජෛව ගෝලය මූලිකව තර්ජනයට ලක් කරයි. සංවර්ධනයට ජෛව සහ භෞතික සීමා තිබේ. අර්තුරෝ එස්කොබාර් (බලන්න Encountering Development: The Making and Unmaking of the Third World ) වැන්නවුන් සංවර්ධනය කතිකාවක් ලෙස ගෙන විග්‍රහ කොට සංවර්ධනය ප්‍රතික්ෂේප කිරීමට පෙළඹුණි. දකුණේ රටවල ලොව සමාජ බහුතරයන්ගේ විමුක්තිය එම රටවල දේශපාලන ව්‍යාපාරවලට අයිති කටයුත්තක් මිස සංවර්ධනය මඟින් උදාකර ගත හැක්කක් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මෙම එළඹුමෙහි වැදගත්කම සලකා පහත අප ඉදිරිපත් කරන්නේ වුල්ෆැන්ග් සැක්ස් Development Dictionary කෘතියේ පෙරවදනෙහි මේ පිළිබඳ ඉදිරිපත් කරන කරුණු කිහිපයකි.

වුල්ෆැන්ග් සැක්ස්: සංවර්ධන ශබ්දකෝෂය

වුල්ෆැන්ග් සැක්ස්
වුල්ෆැන්ග් සැක්ස්

ගෝලීයකරණය සංවර්ධනය පිළිබඳ බලාපොරොත්තු අලුත් කොට ඇත. ආර්ථික වර්ධනය අතින් චීනයේ සාර්ථකත්වය දේශපාලනය, පරිසරය සහ සාධාරණත්වය පසමිතුරු ලෙස පෙළ ගස්වා දෙකෙන් එකක් තෝරා ගැනීමට බල කිරීම මත ආර්ථික වර්ධනයට පරිසරය කැප කිරීමට ක්‍රියා කරයි. සංවර්ධනයෙහි පදනම වූයේ රාජ්‍යය, ජාතික සමාජය සහ කාර්මිකකරණයයි. ජාතික ධනේශ්වරය ජාතික ආර්ථිකය ගොඩ නඟනු ඇත යන්න සංවර්ධනයේ විශ්වාසය වීය. නමුත් ගෝලීයකරණය යටතේ දැන් ජාතික රාජ්‍යය වැදගත් නොවේ. ලොව අද දකින්නට ඇත්තේ පාරජාතිකකරණය යි. එහෙයින් සංවර්ධනය තව දුරටත් ජාතික නොවේ, නිර්ජාතිකය. ගෝලීයකරණය යනු ජාතික රාජ්‍යය බැහැර කරන සංවර්ධනයයි. නමුත් අනෙක් අතට ගෝලීයකරණය සංවර්ධන යුගය ඉක්මවා ඇත.

ගෝලීයකරණය යටතේ සංවර්ධනයෙහි ප්‍රතිඵලය පාරජාතික පංතියක් වන ගෝලීය මැද පංතිය වන අතර සංවර්ධනය මෙහෙයවන්නේ ධනය සඳහා ඇති ආශාව මෙන්ම පිළිගනු ලැබීම සහ සාධාරණත්වය සඳහා ඇති ආශාවයි. මෙහිදී යුක්තිය සඳහා වන ආශාව සංවර්ධනය හඹා යාමත් සමඟ ගැට ගැසී ඇත. යටත්විජිතවාදය යටතේ තමන්ට සිදුවූ අසාධාරණයන්ට වන්දි ලබා ගැනීම සහ ස්වයං-තහවුරු කරගැනීම සංවර්ධනයේ අරමුණුයි. නමුත් මෙය බලවත් ජාතීන්ගේ ශිෂ්ටාචාරමය ආකෘතිය වන කාර්මික නූතනත්වය හඹා යාම තුළ සංස්කෘතික ස්වයං-අනන්‍යතාව අමතක කර දැමිමකි. ආර්ථික සහ දේශපාලන යටත්විජිතහරණයක් සිදුවී ඇතැයි අප විශ්වාස කරන නමුත් අප සංවර්ධනය හඹා යාම පෙන්නුම් කරන්නේ අපගේ මනස යටත්විජිතහරණය නොවීම යි. ධනවත් මිනිසාගේ නිෂ්පාදන සහ පාරිභෝජන රටා හඹා යාමෙන් අපටත් ඒ තත්ත්වයට ළඟා විය හැකි යැයි අපත් විශ්වාස කරන නමුත් නමුත් පෘථිවියටත් ලොවේ ජනයාටත් මෙය දැරිය නොහැකිය යන්න කෙරෙහි අප අවධානය යොමු කරන්නේ නැත.

වුල්ෆැන්ග් සැක්ස් පෙන්වා දෙන්නේ සාධාරණත්වය පිළිබඳ කරුණ දෙආකාර බවයි. එක් අතකින් එය සාපේක්ෂ යුක්තිය එනම් සම්පත් ව්‍යාප්තිය සහ අසමානත්වය පිළිබඳ ගැටුම් හා අදාල කරුණකි. අනෙක් අතට එය ඒකාන්ත යුක්තිය එනම් නොකැලැල් ජීවිතයක් සදහා අවශ්‍ය මූලික ශක්‍යතා සහ නිදහස් තිබීම, එනම් මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටුමකැයි සැක්ස් කියයි. ඔහු දකින පරිදි මේ දෙක අතර ඇත්තේ ගැටුමකි. එනම්, ධනය සහ බලය සදහා ගෝලීය මැද පන්තීන්ගේ තරඟකාරී අරගලය දුප්පතුන්ගේ සහ දුබලයන්ගේ මූලික අයිතිවාසිකම් යටපත් කරයි.

ආර්ථික වර්ධනය ම්ලේච්ඡයෙකු වැනිය, ස්වභාවයත් ප්‍රජාවනුත් ගිල දමයි. සංවර්ධනය දුප්පතුන් සහ දුබලයන් විතැන් කිරීම සහ ඔවුන් සතු දේ අහිමි කිරීම සිදුකරයි. ආර්ථික වර්ධනය ධනහිමි භාවය ළඟම දිළිඳු භාවයත් ඇති කරයි. ආර්ථික වර්ධනයත් සමඟ සමාජ ධ්‍රැවීකරණය ද සිදුවේ. ආර්ථික වර්ධනය පිළිබඳ අත්දැකීම මෙයයි. මේ හේතුවෙන් සාධාරණත්වය වෙනුවෙන් සංවර්ධනයට ඇති අයිතිය ඉල්ලා සිටීම අවිශ්වාසසහගතය. දුප්පතුන්ට උදවු කිරීම සඳහා සංවර්ධනය වේගවත් කිරීම තුළ දුප්පතුන්ගේ අයිතිවාසිකම් නොසලකා හැරෙයි.

සංවර්ධනය යනු ඕනෑම දෙයක් අර්ථ ගැන්විය හැකි අතිදැවැන්ත හිස් බවකින් යුතු සංකල්පයකි. එහි ධනාත්මක යමක් ඇතැයි අනුමාන ලෙස ඇඟවෙයි. එය එකිනෙක හා ගැටෙන පර්යාලෝකයන්ගෙන් පුරවාලිය හැක. සංවර්ධනය යනු ආර්ථික වර්ධනය ලෙසින් ගැනෙන ලොව පිළිබඳ ආර්ථික දෘෂ්ටිය එබඳු එක් පර්යාලෝකය කි.

සංවර්ධනය යනු දිළින්දන්ට සහ නිර්බලැතියන්ට වැඩි අයිතිවාසිකම් සහ සම්පත් ලබාදීම සහ වර්ධනය දුර්- අවධාරණය කොට ප්‍රජාවන්ගේ වැඩි ස්වායත්තතාව ලබා දීම යනු අනෙක් ප්‍රධාන සංවර්ධන පර්යාලෝකයයි. මේ දෙක එක් කිරීම අවුල් ඇති කරයි, දේශපාලන වසං කිරීමකි. මේ අනුව ගත් කළ සංවර්ධන කථනය සවයං-පරාජශීලීයි. එය ඔවුන්ගේ සැලකිල්ල ඇති සැමට උසස් ජීවන තත්ත්වයක් ලබා දීම පිළිබඳ කරුණ විකෘති කරයි.

ආර්ථික සංවර්ධනය වර්ධනය ලෙසින් ගැනීම පෘථිවියට සහ ලොව ජනයාට දැරිය නොහැකිය, ජෛව ගෝලයේ බහු මුහුණැති අර්බුදය සංවර්ධනයේ ප්‍රතිඵලයකි. සංවර්ධනය හඹා යන යුරෝ අත්ලාන්තික ශිෂ්ටාචාර ආකෘතිය පෘථිවිය සමඟ නොගැළපේ. ජෛව විවිධත්වය විනාශ කිරීම, භූගත පොසිල ඉන්ධන සම්පත් පාරිභෝජනයෙන් අවසන් කිරීම සහ ගෝලීය දේශගුණය අස්ථාවර වීමට පිළියම් සංවර්ධන ආකෘතිය තුළ සෙවිය නොහැකි ය. මෙම අර්ථයෙන් ගත් කල පසුගිය වසර 200 ක යුරෝ අත්ලාන්තික සංවර්ධනය ඉතිහාසයේ අන්තර්වාක්‍යයකි. නූතන වාහන සමාජය, උස් මහල් නිවාස, රසායනික කෘෂිකර්මය, මාංශ පදනම් වූ ආහාර පද්ධතිය මුළු ලොව පුරා ව්‍යාප්ත කිරීම ස්ථානීය පරිසරපද්ධතීන් සහ ජෛව ගෝලය විනාශ කිරීමට හේතු වෙයි. මෙම ආකෘතිය එහි ව්‍යුහයෙන්ම සමාජ බහිෂ්කරණය ඇති කරයි. ඉන් ලොව පුරා සාධාරණත්වය ඇති කළ නොහැකිය. අවශ්‍ය වන්නේ සම්පත් -සැහැල්ලු සහ පරිසර පද්ධති සමඟ ගැළපෙන සාමුහික පැවැත්මකි. 21 වැනි සියවසේ පරිසරය සුරැකීමෙන් තොරව සාධරණත්වය තිබිය නොහැක. එහෙයින් සිතීමේ පුරුද්දක් වශයෙන් සංවර්ධනයෙන් කැඩී යාම අපට අවශ්‍ය වෙයි.

ආර්ථික වර්ධනය පාදක කොට ගත් සංවර්ධනය සාධාරණත්වය සහ ප්‍රජා සහ සංස්කෘතිය පදනම් වූ යහ පැවැත්ම සමඟ ගැටෙයි. මානව යහ පැවැත්ම මුදල් මත පදනම් වූවක් නොවේ.

ජෛව විවිධත්වය රැක ගැනීම සඳහා අපගේ සීමාවන් හඳුනා ගැනීම තුළින් එක්තරා නිර්ගෝලීයකරණයක් සහ විමධ්‍යගත කිරීම සහ විවිධත්වයක් සාධනය කර ගැනීමට ආර්ථික ලෝක දැක්ම පසු පසට තල්ලු කිරීම අවශ්‍ය කෙරෙයි. වැඩ, අධ්‍යාපනය සහ භූමිය ආර්ථික කාර්යක්ෂමතාවට යට කරන කෘත්‍යවාදී දැක්ම වෙනුවට සංස්කෘතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තියේ වටිනාකම් අනුව ක්‍රියා කිරීම අවශ්‍ය කෙරෙයි.

හැම ක්ෂේත්‍රයකම පරිසර හිතකාමී එළඹුම්, ස්වභාවයේ සහ සමාජයේ පොදු හිමිකම්, විවෘත-ප්‍රභව සහයෝගිතාව, ස්වයං-පෝෂිතභාවය, නිර්-භෞතික වටිනාකම් අගය කිරීම, සෞභාග්‍යය පිළිබඳ අඩු භෞතික වටිනාකම් සහ මතියන් වර්ධනය, ස්වයං ආත්ම-විශ්වාසය, ප්‍රජාව, කලාව, අධ්‍යාත්මිකභාවය පිළිබඳ අදහස් වර්ධනය කළ යුතුය. වර්ධනය යුක්තිය වශයෙන් ගැනීම වෙනුවට, සාධාරණත්වය යනු දුප්පත්කම නැති කිරීම වෙනුවට පොහොසතුන් වීමේ කෑදරකම නවතාලීම විය යුතු යැයි ගතහොත් ආර්ථික වර්ධනය සාධාරණත්වය ඉටු කරනු ඇත,

අෂිස් නන්දි: ‘දුප්පත්කම‘ නූතන සංස්කරණයකි, දුගී භාවය නූතනත්වයේ නිෂ්පාදනයකි

අෂිස් නන්දි
අෂිස් නන්දි

වුල්ෆැන්ග් සැක්ස් ගේ ඉහත විග්‍රහයෙන් මතු කෙරෙන දුප්පත්කම සහ සංවර්ධනය අතර ඇති සම්බන්ධය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කරන පශ්චාත් සංවර්ධනවාදියෙකු වන අෂිස් නන්දි (බලන්න, “The Beautiful, Expanding Future of Poverty, Popular Economics as a Psychological Defence” ) ගේ අදහස වන්නේ දුප්පත්කම පිළිබඳ ප්‍රචලිත වත්මන් අදහස නුතන සංස්කරණයක් බවත් මහා පරිමාණ දුගී භාවය නූතනත්වයේ නිෂ්පාදනයක් බවත්ය.

මෙහිදී අෂිස් නන්දි පෙන්වා දෙන්නේ අඩු පරිභෝජනවාදී පරිසරහිතවාදී ජිවන ශෛලිය දුප්පත් යැයි ලේබල් ඇලවීම තුළ සරල අල්පේච්ඡ ජීවිතය පහත් සහ එහෙයින් සමාකාලීන ලෝකයේ පවතින්නට නොගැලපෙන දෙයක් ලෙස නම් කරන බවයි. ඉතින් දුගීභාවයෙන් තොර දුප්පත්කම සමඟ දිවි ගෙවීමට අප උගත යුතුයැයි නන්දි පවසයි.

ආර්ථික වර්ධනයට දුප්පත්කම නැති කළ හැකිය යන සංවර්ධනයේ පොරොන්දුව ගැන සාකච්ඡා කරන අෂීස් නන්දි නූතනත්වයට පිටතින් තිබූ දුප්පත්කම සහ නූතනත්වය හේතුවෙන් ඇතිවන නවීන දුප්පත්කම වෙන්කොට හඳුනා ගනියි. බහුතරයේ පුජාතන්ත්‍රවාදය දුප්පතුන් නොසලකා හරියි. දුගීභාවය ඇති කරයි. සංවර්ධන තන්ත්‍රය මනෝවිද්‍යාමය තන්ත්‍රයක් ඇති කරයි. දුප්පතුන් කෙරෙහි සමාජීය බිහිරි බව සහ සදාචාර අන්ධභාවයක් ඇති කරයි.

ජෛන හෝ බෞද්ධ භික්ෂුව අර්ථවත් අධ්‍යාත්මික පමණක් නොව සමාජීය ජීවිතයක් ද ගෙවීය. නූතනයට පෙර දුප්පතුන් සහ පොහොසතුන් අතර වෙනස සංස්කෘතික වීය. දැන් එය වැඩියෙන් ආර්ථික එකකි. පොහොසතුන් මෙන්ම දිළින්ඳන්ද එකම දේ ගුණයෙන් වෙනස්කම් සහිතව පාවිච්චි කරති.

ඔහු දක්වන ආකාරයට ආදායම සහ පරිභෝජනය අතින් දිළිඳු වීමත් අන්ත දුගී භාවයත් එකක් නොවේ. ආදායම සහ පරිභෝජනය පිළිබඳ සමකාලීන මිනුම් දඬු අනුව ගත් කල ඒ අතින් පහත මට්ටමක සිටින්නන් දුප්පත් ප්‍රජාව ලෙස නම්කොට දුප්පත්කම නැති කිරීම සංවර්ධනය ලෙස ගැනීම තුළ සංවර්ධනය දුප්පත්කම නමැති ගැටලුව නිර්මාණය කොට තිබේ. එමෙන්ම ඌන සංවර්ධනය පිලිබඳ අදහස බොහෝ ජනයා දුප්පත් සහ පීඩිත ලෙස නම් කොට එය නැතිකිරීම සංවර්ධනය ලෙසින් නම් කොට තිබේ. නමුත් සංවර්ධනයට දුප්පත්කම නැති කිරීමට නොහැකි වී ඇති අතර ඒ සමගම සංවර්ධනය අන්ත දුගී භාවයට මඟ පාදා ඇත. පසුගිය වසර සියයක් තිස්සේ අඩ වශයෙන් නාගරිකකරණයේ සහ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ සම්ප්‍රදායිකව දිළිඳු ප්‍රජාවන් අන්ත දුගී භාවයට ඇද දමා ඇත. ඔවුන්ගේ ජීවන ගුණාත්මක තත්ත්වය පරතෙරක් නැති ලෙස දිළිඳුය. අතිශයින් පෞද්ගලීකරණය වූ නූතන ලෝකයේ සරණ පතා යාමට ‘ජගත් පොදු සමාජයක්‘ නැති කමින් ආදායමක් නැති ජනයා දුගී භාවයට පත් වෙති.

දුප්පත්කම සහ දුගීභාවය එකක් නොවේ. දුගී භාවය යනු ඒකාන්ත දුප්පත්කමයි. සම්පූර්ණයෙන්ම නවීන ගිවිසුම් පදනම් කොට ගත් දේශපාලන ආර්ථිකයක කිසිම ආදායමක් නොමැති වීමයි. නන්දිට අනුව ගමෙන් මුල් උදුරා ඛණ්ඩනය කරනු ලැබ නගරයට එළවා දැමීමෙන් දිළිඳු ප්‍රජාවන්හි සාමාජිකයෝ, කෘෂිකර්මය කාර්මිකකරණය හේතුවෙන් හෝ අලාභදායි වීම හේතුවෙන් තම රැකියා අහිමි කෙරෙන ඉඩම් අහිමි කෘෂිකාර්මික කම්කරුවෝ, අපෞද්ගලික වෙළෙඳ පොළ හෝ නූතන දේශපාලන ආර්ථිකයට මුහුණ දිය නොහැකිව නව ආකාරයේ නූතන දුප්පත්තු බවට පත්වෙති. මෙලෙස නූතනත්වය යටතේ සංවර්ධනයේ ප්‍රතිඵල ලෙස ජීවිතය අර්ථ විරහිත වීමේ හේතුවෙන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය, අපරාධ, ජනවාර්ගික සහ ආගමික ප්‍රචණ්ඩත්වය, අපුද්ගල සම්බන්ධතා වැඩි වී තිබේ. ඉතින් සංවර්ධන ව්‍යවසාය විසින් දුප්පත්කම නිර්මාණය කරනු ලැබ එය විසඳන අයුරු නන්දි අපට කියයි. නන්දි දක්වන පරිදි සංවර්ධනයේ පොරොන්දුව දුප්පත්කම නැති කිරීම නමුත් සංවර්ධනයට දුප්පත්කම නැති කළ නොහැකිය. ඒ සමඟම සංවර්ධනය අන්ත දුගී භාවය ඇති කරයි.

පශ්චාත් සංවර්ධනවාදීන් දකින පරිදි සංවර්ධනය යනු යටත්විජිත සංජානනයන් සහ බටහිර හේතුවාදයේ උරුමයකි. (බලන්න, මෙම කලාපයේ “දේශපාලනයේ හේතුවාදය“ ලිපිය.)ඔවුන් ඉදිරිපත් කරන සංවර්ධනයට විකල්ප මාවතක් ගැනීමේ නැතහොත් අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමේ යෝජනාව දේශපාලන ව්‍යාපෘතියකි. පශ්චාත් සංවර්ධන එළඹුම සහ අෂිස් නන්දි යෝජනා කරන පුරය සෞඛ්‍ය සම්පන්න, නීරෝගී පුරය වන අතර සංවර්ධනයේ පුරය සුඛෝපභෝගී රෝගී වූ පුරයයි. “ඉදිමුණු ස්කන්ධයෙන් හා අවශ්‍යතාවකින් තොරව පුරයන්හි දක්නට ලැබෙන දේවලින් පිරීගිය පුරය” යි.

එයින් ඔබ්බට යමින් නූතනත්වය යටතේ සංවර්ධනය සහ දේශපාලනය අතර සම්බන්ධය ගැන විග්‍රහයක් පොදු ලෝකය මුල් කොට ගත් දෘෂ්ටියකින් සම්පාදනය කරගැනීමට අපට න්‍යායික ආලෝකයක් ලබා දෙන චින්තිකාවකි, හනා ආරන්ඩ්ට්.

හනා ආරන්ඩ්ට්: සංවර්ධනය දේශපාලනය විතැන් කරයි
හනා ආරන්ඩ්ට්
හනා ආරන්ඩ්ට්

හනා ආරන්ඩ්ට් ගේ විග්‍රහයට අනුව (බලන්න, The Human Condition) අප කියවීමක් ඉදිරිපත් කරන්නේ නම් සංවර්ධනයට පදනම වන්නේ මානවයාගේ පෞද්ගලික පරිමණ්ඩලයේ ජෛවීය ජීවිතය පවත්වා ගෙන යාමේ අවශ්‍යතා නූතනත්වය යටතේ මහජන පරිමණ්ඩලයට එසවීමේ ප්‍රතිඵලයක් ලෙස සමාජයත් එහි දේශපාලන ව්‍යුහය ලෙස ජාතියත්, ජාතික ආර්ථිකයත් බිහි වීමයි. මෙය සියලු ඓන්ද්‍රිය ජීවිතයේ අත්‍යන්ත අංගයක් වන වර්ධනයේ අංගය මහජන පෞද්ගලික පරිමණ්ඩලයේ අවශ්‍යතාවනට ආදේශ කිරීමේ ප්‍රතිඵලයකි. එම අර්ථයෙන් ගත් කළ සංවර්ධනය යනු සාමාජීය පරිමණ්ඩලයේ පැන නැඟීමයි, නිෂ්පාදනය සහ පරිභෝජනය මහජන තලයට ගෙන ඒමයි. හනා ආරන්ඩ්ට් සාමාජීය දෙයෙහි පැන නැඟීම හැඳින්වූයේ ‘ජාතික සාමූහික ගෘහ පාලනය‘ ලෙසිනි. ආරන්ඩ්ට් දකින්නේ නූතනත්වය තුළ සාමාජීය අවශ්‍යතා මහජන තලයේ අධිපතිභාවයට පත්වීම ලෝකයේ පැවැත්මට වින කටින බවයි.

අප පෙර දුටු පරිදි ඒ යටතේ සංවර්ධනයේ මුල් අදියර දියත් කෙරෙන අධිරාජ්‍යවාදය හනා ආරන්ඩ්ට් තම The Origins of Totalitarianism කෘතියේ විග්‍රහ කළ පරිදි ධනේශ්වරයේ දේශපාලනමය පාලනයේ පළමු අදියරයි . ආර්ථික වර්ධනයේ අපේක්ෂාවත් සමඟ ධනේශ්වරය තම ආර්ථික අරමුණු ජාතික රාජ්‍යයේ කේන්ද්‍රය තුළට ගෙන ආවේය. එහෙයින් සංවර්ධනය යනු ධනවාදයේ (හෝ සමාජවාදය තුළ) කොමියුනිස්ට්වාදයේ අවශ්‍යතාවයි.

ධනවාදය ඇරඹුණේ ගොවීන්ගේ දේපළ අත්පත් කර ගැනීම, භුක්තිය පැහැර ගැනීම සමඟිනි. පෞද්ගලික දේපළ ධනය බවට විපර්යාස කිරීමේ මෙම ක්‍රියාවලිය සමාජවාදය විසින් එහි තාර්කික අවසානය කරා එනම් සියලු දේපල රජයේ දේපළ බවට පත් කිරීම දක්වා ගෙන යනු ලබයි. සංවර්ධනය ස්ථායී දේපළ අයිතිය වෙනුවට ධනය සමුච්චායන ක්‍රියා මාර්ගය තෝරා ගනියි. නූතන රාජ්‍යය පෞද්ගලික දේපළ වෙනුවට ජාතික භූමිය ස්ථාපිත කරයි.

ආරන්ඩ්ට් දකින පරිදි, සාමාජීය දෙයෙහි නැඟීම එනම් ජීවන ක්‍රියාවලිය එහි චක්‍රීය සිරගතභාවයෙන් නිදහස් කරනු ලැබ මහජන පරිමණ්ඩලයට ගෙන ඒම “ස්වභාවික දෙයෙහි අස්වාභාවික වර්ධනයක්“ මුදා හැරීමකි. ස්වභාවික ක්‍රියාවලිය ජීවන ක්‍රියාවලියේ අවශ්‍යතා සපුරාලීමයි. නමුත් නූතනත්වය යටතේ මෙය සීමාවිරහිත වර්ධනයක් බවට පත්ව ඇත. මෙහි ස්වභාවික දෙය පැවැත්ම සඳහා අවශ්‍ය කෙරෙන ශ්‍රමයේ නිරත වීමයි. එය අස්වාභාවික වර්ධනයක් බවට පත් කරන්නේ එය මහජන පරිමණ්ඩලයට ගෙන ඒම තුලින් සම්ප්‍රදායිකව එය යටත් වූ සීමාවලින් එය නිදහස් කරලීමයි. ධනවාදය මිනිස් පාලනයෙන් තොර වූ බඳුය. එය ශ්‍රමයේ ඵලදායීතාව වැඩි කිරීම තුළින් අස්වාභාවික ස්වභාවයක් අත් පත් කර ගත්තා සේය. ශ්‍රමයේ යෙදීමෙහි කටයුත්ත මහජන පරිමණ්ඩලයට ප්‍රවිශ්ට කිරීම කොට ඇත්තේ ශ්‍රමය සංවිධානය සහ ශ්‍රම විභජනය තුළිනි. සදාකල් වැඩිවන ශ්‍රමයේ ඵලදායීතාව ලෝකයට වින කටින්නේය, ලොව සියලු සම්පත් පරිභෝජනය කොට කා දමා ලොව ස්ථායී භාවය විනාශ කොට දමන්නේය.

ධනේශ්වර ආර්ථික වර්ධනයේ ක්‍රියාවලිය ආරන්ඩ්ට් දුටුවේ මිනිසා විසින් නිර්මාණය කළ තත්ත්වයක් මිනිස් පාලනයෙන් මිදී ස්වභාවික පැවැත්මක් අත්පත් කරගැනීමක් ලෙසිනි. එයින් දියත් කෙරෙන වර්ධනය පිළිබඳ අනවරත ක්‍රියාවලිය, එනම් සංවර්ධනය, ලොව තිරසාර භාවයට වළ කපයි. ව්‍යාප්ත වෙමින් පවතින වෙළඳපොළ විසින් මෙහෙයවනු ලැබෙන ධනවාදී ආර්ථිකයක්, අස්වාභාවික වර්ධනයක් ස්ථායී මානව ලෝකය ගිල දමයි.

තම ජීවන තත්ත්වය නඟා සිටුවීමට ජනයාට ආර්ථික සංවර්ධනය සහ සුභ සාධනය අවශ්‍ය කෙරෙයි. දුප්පත් කම ජය ගත යුතුය. ආරන්ඩ්ට්ගේ අදහස වනු ඇත්තේ දේශපාලනයට පිවිසීම සඳහා ජනයාට අවම ජීවන මට්ටමක් සාධනය කරගත යුතු නමුත් ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ මුඛ්‍ය කටයුත්ත වන තාක් කල් දේශපාලනය සඳහා අවකාශ ජනයාට නැති වනු ඇති බවයි. නිදහස සඳහා අවශ්‍යතාව සපුරා ගත යුතුය, ජය ගත යුතුය. එහෙයින් නිදහසත් අවශ්‍යතාවත් දෙක වෙන් කොට තැබිය යුතුය.

සංවර්ධනය ආර්ථිකය හැසිරවීම රජයට පවරා දේශපාලනය විතැන් කරයි. සංවර්ධනය රජයේ වගකීමක් බවට පත් කිරීම ආර්ථික අවශ්‍යතාවන්ට දේශපාලනය විතැන් කිරීමට ඉඩ සැලසීමක් වෙයි. දේශපාලනය සඳහා ඇති අවකාශය ඉන් හැකිළී යනු ඇත.

සංවර්ධනය යනු සාමාජීය අවශ්‍යතා මහජන පරිමණ්ඩලය අත්පත් කරගැනීමේ ප්‍රතිඵලයකි.නමුත් රාජ්‍යයේ වගකීම වන්නේ ලොව රැකීම සඳහා දේශපාලනයේ යෙදීමට මහජන පරිමණ්ඩලය සකස් කොට දීමයි. ලෝකය රැකීමට නම් අප අවධානය යොමු කළ යුතු වන්නේ දේශපාලනය සමාජයෙහි මුල් තැනට ගෙන ඒමට යි. සංවර්ධන අපේක්ෂාවන්ගෙන් පෙළෙන රටවල ඇත්තේ මෙම අවශ්‍යතා දෙක අතර ගැටුමකි. එය කෙසේ නිරාකරණය වනු ඇත්ද යන්න තීරණය කරන්නේ ඒ එක් එක් රටෙහි සාමාජීය දේශපාලන ගතිකයන් ය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

Hannah Arendt, The Origins of Totalitarianism, Harcourt, Brace, Jovanovich, 1973.

The Human Condition, 2nd edition, University of Chicago Press, 1998.

Trevor Parfitt, The End of Development? Modernity, Post-Modernity and Development, Pluto Press, 2002.

Wolfang Sachs, The Development Dictionary A Guide to Knowledge as Power, Zed Books, 2010.

Ashish Nandi, “The Beautiful, Expanding Future of Poverty, Popular Economics as a Psychological Defence,”Economic and Political Weekly January 3, 2004.

Martha Nussbaum, Not For Profit: Why Democracy Needs the Humanities,
Princeton University Press, 2010.

කසුන් සේනානායක (පරිවර්තනය), නව ඇරඹුමකට පෙරවදනක්, ගෝලීයකරණය, ජාතිකවාදය හා සමාජ වෙනස ගැන වොලස්ටීන්ගේ දේශන, කැලණිය: සේතුක ප්‍රකාශකයෝ, 2008.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )