‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක

බමරවළල්ල
බමරවළල්ල

“………මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන ඊට ප්‍රතිපක්ෂව නොවේ ද? චිත්‍රපටියේ එන ‘පොඩි එකා’ මානව ආශාව නියෝජනය කරන “ප්‍රාථමික යටි සිත” නිරූපණය කරන්නේ යැයි ඇතැම් විචාරකයෙක් කීය. මෙම යටි සිත, නියෝජනය කරන “ප්‍රාථමික” ‘සරල”, “නූගත්” මානව ආශාවන් ජය ගැනීම හුදු පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම පිළිබඳ කරුණක් ද? පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?”

‘බඹර වළල්ල’ චිත්‍රපටය සමාජයේ පුළුල් සාකච්ඡාවක් ඇති කළේය. එයට හේතුව එය බහුඅරුත් දක්වන චිත්‍රපටයක් වීමයි. විවිධ අය බඹර වළල්ල තුළ තම තමන්ට කැමති දේ දුටහ. ඇතැමුන්ට එය සමාජ යථාර්ථය නියෝජනය කළේය. තවත් අයෙකුට එය මානව යථාර්ථය විදහා දැක්වීය. තවත් කෙනෙකුට එය යටි සිත පිළිබඳ ෆ්‍රොයිඩියානු සත්‍යය විචිත්‍රවත් කළේය.

කලකට පසු මෙලෙස චිත්‍රපටියක් ගැන කතා කරන්නට ලැබුණු දුලබ අවස්ථාවක් නිසාදෝ ඇතැම්හු එහි නැති දේ පවා අතිශයෝක්තියකින් ඊට ආරෝපණය කරන්නට පෙළඹුණහ. බඹර වළල්ල යථාර්ථවාදී දෘෂ්ටියෙන් විග්‍රහ කරන්නට ගන්නා උත්සාහය ලත් තැනම කඩා වැටෙයි. එහි නිරූපිත ඇතැම් චරිත ඒවායේ හරයෙන් ගත් කළ අප සමාජයේ පවතින ඒවා යැයි පෙනී යා හැකි වුවත්, සමස්තයක් වශයෙන් ගත් කළ චිත්‍රපටිය යථාර්ථවාදී දෘෂ්ටියෙන් විග්‍රහ කළ නොහැකි බව ඇතැම් විචාරකයෙකු ඉතා නිවැරදිව පෙන්වා දී තිබුණි.

බඹර වළල්ල අප හමුවේ මතු කරන ගැටලු රාශියකි. මෙය මානව යථාර්ථය නිරූපණය කෙරෙන චිත්‍රපටයක් ද? මිනිසුන් විශිෂ්ටත්වයට පත්වීමේ මඟ වැටී ඇත්තේ අපරාධ තුළින් ද? මානව ජීවිතය බඹර වළල්ලක් ද? මිනිසුන් අති මහත් බහුතරය බඹර වළල්ල නැටිය නොහැකිව දෙපා දුබල කර ගත්තවුන් ද? බඹර වළල්ල ජීවිතය පිළිබඳ බෞද්ධ දෘෂ්ඨිය ප්‍රකට කරන්නේ ද? බෞද්ධ දෘෂ්ටියෙන් ජීවිතය ගෙවන්නා බඹර වළල්ල නටන්නෙක්ද? යහපත් ජීවිතයක් ගත කිරීමේ මඟ ගැනීමෙන් මිනිසුන්ට විශිෂ්ටත්වයට පත් විය නොහැකි ද? විශිෂ්ටත්වය යනු, කුමන හෝ ආකාරයේ ප්‍රචණ්ඩ මාවතක් ගැනීමෙන් හෝ මුදල් ඉපයීම තුළින් සමාජීය තත්ත්වය උසස් කර ගැනීම ද? නූගත් ප්‍රාථමික මිනිසා හෝ සටකපටකමින් පිරි දරුණු අපරාධකරු අනුව යාම ද? මහත්මයෙකු වීමේ මඟ යනු මැල් සහ ඒ අනුව යමින් පොඩි එකා ගත් මඟ ගැනීම ද?

ඇතැමුන්ට මෙය ගමේ නරක පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක් නිරූපණය කරන චිත්‍රපටියක් වීය. ගම පිළිබඳ යථාර්ථය යනු ගමේ නරක පැත්ත අතිශයෝක්තියට නැඟීම ද? චිත්‍රපටියේ නිරූපිත ගම “ප්‍රාථමික ප්‍රචණ්ඩත්වය” ට ඇරුණු ම්ලේච්ඡ ස්ථානයකි. කුමන හෝ මොහොතක යමෙක්, ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඉඩ තිබේ.

චිත්‍රපටියේ ඉන්නා යහපත් අය වන්නේ, දූෂණයට ලක් වූ, අපචාරයට ලක් වූ, උන්මත්තක බවට පත්වූ සහ අබ්බගාතයන් බවට පත්වූ අය පමණි. එයින් කියැවෙන්නේ කුමක් ද?

ප්‍රාථමික ගම මතුපිටින් ශිෂ්ඨ කරන්නට යොමු වන තැනැත්තාම ශිෂ්ට සම්පන්න නොවන බව, ඔහුද අශිෂ්ටයෙකු වන බව නැතහොත් ඇතුළතින් වඩාත් දරුණු අශිෂ්ටයෙකු බව හෙලි වෙයි. අනෙකා ශිෂ්ට කිරීම අරමුණු කරන්නාම ශිෂ්ට නොවේ. ඒ අනුව, ගමත්, ටවුමත් දෙකම සංස්කෘතියක් නැති පරිසරයන් ද? තමන් ශිෂ්ට බව පෙන්වන ටවුම ගම තරම්ම හෝ ඊට වැඩියෙන් අශිෂ්ටය. මෙම චිත්‍රපටයේ එන ටවුම ද ම්ලේච්ඡ දරුණු තැනකි. නමුත් එය ප්‍රාථමික නොවේ. සටකපට කමින්, යටි උගුලින් විදග්ධ බවට පත්වූ තැනකි.

තවත් විචාරවලින් කියැවුණු පරිදි, මෙම චිත්‍රපටිය ෆ්‍රොයිඩ් විග්‍රහ කළ “මානව මනස” පිළිබඳ සත්‍යය ප්‍රකාශ කරන්නක් ද? ‘යටි – සිත’ පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ සංකල්පීකරණය කියන්නේ අපි නොදන්නා ව්‍යුහයන් අපේ චර්යාව තීරණය කරන බවයි. මනෝවිද්‍යාව ජීවිතය පිළිබඳ සත්‍යය කියන්නේ ද? එය මානව පැවැත්ම පිළිබඳ තවත් එක් අර්ථකථනයක් පමණක් නෙවේද? ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාව “අසාමාන්‍ය චර්යාව” පිළිබඳ අදහස ගොඩනගා ගන්නේ “සාමාන්‍ය” යන්න පළමුව ගොඩනඟා ගෙන ඊට ප්‍රතිපක්ෂව නොවේ ද? චිත්‍රපටියේ එන ‘පොඩි එකා’ මානව ආශාව නියෝජනය කරන “ප්‍රාථමික යටි සිත” නිරූපණය කරන්නේ යැයි ඇතැම් විචාරකයෙක් කීය. මෙම යටි සිත, නියෝජනය කරන “ප්‍රාථමික” ‘සරල”, “නූගත්” මානව ආශාවන් ජය ගැනීම හුදු පාසැල් අධ්‍යාපනය ලබා ගැනීම පිළිබඳ කරුණක් ද? පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?

පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?
පාසැල් අධ්‍යාපනය නොලබන සියල්ලෝ “ප්‍රාථමික යටි සිත” විසින් මෙහෙයවනු ලබන්නෝද?

ෆ්‍රොයිඩ්ට අනුව මනුෂ්‍යයා ශිෂ්ට වන්නේ, ආශයන් මර්දනයෙනි, නැතහොත් ඒවා නිර්මාණශීලී හැකියාවන් වර්ධනය මඟින් උත්කර්ෂණයට පත් කිරීමෙනි. නමුත් මානව දරුවා උපදින්නේම මානව ජීවිතයක් දැනටමත් ගොඩනඟා ඇති තැනක මැදට ය. ග්‍රීකයෝ මෙම තත්වය හැඳින්වීමට ‘en media res’ (in the midst of) යන සංකල්පය යොදා ගත්හ. හැමවිටම, දැනටමත් ( always, already) යනුවෙන් බටහිර සමාජීය න්‍යායේ හැඳින් වෙන්නේ ද, ඒ හා සමාන අදහසකි. සැමවිටමත්, පවත්නා මානව සමාජයක මැදට උපදින මානව දරුවා සහජ ආශයන් මර්දනය කිරීමෙන් ශිෂ්ට සම්පන්න බවක් ආරූඪ කර ගන්නවා වෙනුවට යහපත් පුරුදු යහපත් ලෙසින් පිළිගන්නා ඌරුවකට අනුව සෑදීම වැඩීම තුළින් ශිෂ්ට වීම මෙම සංසිද්ධියම දැකීමේ තවත් ආකාරයකි. ‘මානව සමාජය, යහපත පිළිබඳ අදහසක් මත ගොඩ නඟා ඇතැයි’ ඇරිස්ටෝටල් යෝජනා කළේය. යහපත් දෑ පුරුදු පුහුණු කිරීමෙන් අපි ඒවා යහපත් ලෙසින් පිළිගනිමු.සිංහල සිනමාවේ නව රැල්ලේ සිනමාකරුවන් මෑත පසුගිය කාලයේ දී වැඩි රුචියක් දක්වා ඇත්තේ මානව චරිතයන්හි අත්දැකීම් නිරූපණය කරනවාට වඩා චරිත විකටරූප (caricatures) බවට පත් කොට විප්‍රරූපණයන් ලෙසින් ඉදිරිපත් කරන්නට ය. අශෝක හඳගම අක්ෂරය චිත්‍රපටයෙන් මෙම භාවිතාව උච්චස්ථානයක් කරා ගෙන ආවේ ය. මෙයින් කියැවෙන අදහස නම්, එම චිත්‍රපටියේ එන චරිත සමාජ යථාර්ථයක් හා බැඳුණු, එහි මුල් ඇදුණු ඒවා නොව මුල් සිඳුණු ඒවා බවයි. ඔවුන් සමාජ බැඳීම් ඇතිවී ඒ මත කටයුතු කරන අය නොවේ. ඒ අනුව එම මානව චරිතවලට සුවිශේෂී අනන්‍යතාවයක් නැත. වෙනත් අයුරකින් කියන්නේ නම් ඔවුන් ඉපදී හැදී වැඩී ඇත්තේ දැනටමත් පවතින මානව සමාජයක මැද නොව, මිනිස් සබඳතාවලින් තොර රික්තකයකය.

බඹර වළල්ල චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ද විවිධ විචාරකයන් ද මෙම චිත්‍රපටය පිළිබඳ ඉදිරිපත් කරන විවිධ අදහස් තිබියදීත්, චිත්‍රපටය සාධනීය ලෙස කියැවිය හැකි හොඳම ආකාරය එය හාසකාණුකරණයක් (parody) ලෙස දැකීම යැයි යෝජනා කරන්නට කැමැත්තෙමි. මෙම චිත්‍රපටය ලෝකය පිළිබඳ යථාර්ථවාදී චිත්‍රයක් නම් නොවේ. අතිශයෝක්තියට නැඟූ විකට රූපකරණයට නැඟූ චිත්‍රයකි.

මෙම හාසකාණුකරණයට පාදක වී ඇත්තේ චිත්‍රපටයේ මුඛ්‍ය තේමාව ලෙස ගත හැකි “හොඳ මිනිහෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි,” යනුවෙන් පුනරුච්චාරණය කෙරෙන අදහස බව අපගේ යෝජනාව යි.

මිනිසා තුළ ඇති හොඳ, දෙන ලද ඕනෑම මොහොතක එබඳු ප්‍රාථමික ආශාවන්ට යට විය හැකි ද?
මිනිසා තුළ ඇති හොඳ, දෙන ලද ඕනෑම මොහොතක එබඳු ප්‍රාථමික ආශාවන්ට යට විය හැකි ද?

“හොඳ නරක තියෙන්නේ අපේ හිතේ, අපි තනිවුණාම, අපි සමාජයට බැස්සාම ඒවායින් වැඩක් නැහැ” යි යනුවෙන් චිත්‍රපටයේ එන අදහසින් කියැවෙන්නේ ද ඉහත මුඛ්‍ය තේමාවට සම්බන්ධ අනු – අදහසකි. මෙම චිත්‍රපටයේ ‘දුෂ්ටයන් හෝ වීරයන් නැතැ’යි ඇතැම් විචාරකයෙකු හඳුනාගෙන තිබුණේ ද මෙම අදහසමය.වීරයන් යැයි අප සළකන මිනිසුන් තුළ අයහගුණ, දුර්වලතා තිබිය හැකිවා මෙන්ම, දුෂ්ටයන් යැයි ප්‍රකට මිනිසුන් තුළ යහගුණ ද තිබිය හැකිය. මෙය මානව පැවැත්ම පිළිබඳ සාධාරණ නිරීක්ෂණයක් බව මිනිස්සු අත්දැකීමෙන් දනිති. මේ අතර කලාතුරකින් ශාස්තෘවරුන් බඳු සුපිරි මානවයන් මෙන්ම තනිකරම තිරිසනුන් බඳු මිනිසුන් ද අන්තයන් හි නොසිටිනවා නොවේ. නමුත්, මිනිසුන් බොහෝ දෙනෙකු තුළ යහගුණ මෙන්ම අයහගුණ ද සම්මිශ්‍රණයෙන් තිබෙයි. එයිනුත් සමස්තයක් වශයෙන් අයහපත පරදා යහපත මතුව ඒම තුළින් නොවේ ද, මිනිස් ලොව මිනිස් වාසය සඳහා උචිත අවකාශයක් ලෙස දිගටම පවතින්නේ? නමුත්, මෙයින් කියැවෙන්නේ යහපත සහ නපුර අතර පැහැදිලි බෙදුම් රේඛාවක් නොමැත, යන අදහස ද?

මෙහි දී “හොඳ මිනිසෙක් අපරාධකාරයෙක් වෙන්න යන්නේ තත්පර කිහිපයයි” යන මතයට පසු බිම්වන දාර්ශනික අදහස අප විමසා බැලිය යුතුය. ඉන් කියැවෙන්නේ මිනිසා තුළ ඇති, ප්‍රාථමික, ආක්‍රමණශීලී , සහජ ආශයන්, හොඳ යටපත් කර ගෙන සැණින් මතුවිය හැකි බවයි. මේ අනුව හොඳ, යහපත යනු මිනිසා තුළ ස්ථිරසාර පැවැත්මක් ඇති දෙයක් නොවේ. හොඳ යනු, නරක මර්දනය කිරීම යි. යහපත යනු, වගා කර ගැනීම තුළින් මිනිසා තුළ පැළපැදියම් වන යහපත් පුරුදු හා බැඳුණක් නොවේ. යහපත පිළිබඳ විනිශ්චයට මඟ පෙන්වන පුරුදු මත පදනම් වූ භාවිතාවක් නොවේ.

මේ අනුව, යමෙකු අපරාධකරුවෙකු වන්නේ කෙසේ ද? මර්දනය කොට ඇති සහජාශයන් මතුව ඒමෙනි. එසේ නම් මිනිසුන් තමන්ගේ අපරාධවලට වගකිව යුතු නොවේ, යැයි මින් කියැවෙනු ඇත් ද?

අනෙක් අතට ගමේ අපරාධ සිදු වන්නේ සහජාශයන් මතු පිටට පොළා ඒමක් ලෙසින් පෙණුනත් ටවුමේ අපරාධ මනා ලෙස සැළසුම් කොට කරන ඒවා යි. ඒවා ආහාර, ලිංගිකත්වය යනාදියට ඇති කෑදරකම වැනි ප්‍රාථමික, ආක්‍රමණ‍ශීලී සහජාශයන්ට බැර කළ හැකි ඒවා නොවේ. ඒවා ආශාවන් අතරට අයත් වෙතොත්, විය හැක්කේ මුදලට හෝ සමාජ තත්ත්වයට ඇති ගිජුකම වැනි ආශාවන්ට ය.

බඹර වළල්ල’ පෙනී සිටින්නේ මෙම හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ද?
බඹර වළල්ල’ පෙනී සිටින්නේ මෙම හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ද?

මිනිසෙකු යහපත්වීම හෝ අපරාධකරුවෙකු වීම සම්බන්ධයෙන් සමාජයේ භූමිකාව කුමක් ද? මෙම චිත්‍රපටයට අනුව සමාජය මිනිසුන්ට යහපත් වීම සඳහා අනුබලයක් නොදෙයි. ඒ වෙනුවට සමාජය කරන්නේ මිනිසුන් අපරාධකරුවන් කිරීමට හවුල් වීමය.හොඳ-නරක පිළිබඳ කරුණු සමාජයට අදාළ ද? හැම හොඳ මිනිසෙකුම තත්පර කිහිපයකින් අපරාධකරුවෙකු බවට පත් විය හැකි ද? මිනිසකු හොඳ බවට පත් වන්නේ කෙසේ ද? මානවයා යනු ඉතාමත්ම සුළු කුපිත කිරීමකින් ඕනෑම මොහොතක මතුපිටට පුපුරා ආ හැකි ප්‍රාථමික ආශාවන්ගෙන් සෑදුණු සත්ත්වයෙක් ද?

මිනිසා තුළ ඇති හොඳ, දෙන ලද ඕනෑම මොහොතක එබඳු ප්‍රාථමික ආශාවන්ට යට විය හැකි ද?

මෙය මානවයා පිළිබඳ හොබ්සියානු න්‍යාය ගැන්වීමෙන් මතුව එන අදහසකි. හොබ්ස්ට අනුව මිනිසා, තම අසීමිත ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා, සීමිත සම්පත් වෙනුවෙන් අන් මිනිසුන් සමඟ එකිනෙනාට එරෙහිව කරන සටන විනාශයෙන් කෙළවර වීම වළක්වා ගැනීමට, මිනිසා විසින් රාජ්‍යය සාදා ගන්නා ලදී.

අප අපගේ සහජාශයන් විසින් මෙහෙයවනු ලබන්නේ නම්, අප සමාජීය වශයෙන් එකිනෙකාට වගකිව යුතු වන්නේ නැත. අපගේ සදාචාර විරෝධී ක්‍රියාවන්ට අප වගකිව යුතු නොවේ. ඒවා පිළිබඳ වගකීම අපගේ පාලනයෙන් තොර අපගේ සහජාශයන්ට පැවරෙන හෙයිනි. එතැන සමාජයේ තැන ගන්නේ හොබ්සියානු රාජ්‍යයයි. ‘බඹර වළල්ල’ පෙනී සිටින්නේ මෙම හොබ්සියානු අර්ථකථනය වෙනුවෙන් ද? ෴

කතිකා ලංකා වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

Advertisements

One thought on “‘බමරවළල්ල‘ හාසකාණුකරණයකි – ප්‍රේක්ෂක”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )