නලින් ස්වාරිස්: ශේක්ස්පියරියානු රූපකයකින් දේශප්‍රේමය වෙතට – දිමුතු සමන් වෙත්තසිංහ

නලින් ස්වාරිස්
නලින් ස්වාරිස්
ආචාර්ය නලින් ස්වාරිස් අභාවප්‍රාප්ත වී 2015.04.17 වන දිනට අවුරුදු 4 ක් සම්පූර්ණ වේ. ශ්‍රී ලාංකීය බුද්ධිමය දේශපාලන විෂයට ඔහු විසින් කරන ලද දායකත්වය බටහිර මෙන්ම පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යයේ සිට නූතන, පශ්චාත් නූතන ආදී වශයෙන් වූ අනේකාකාර ඥාන මූලයන්ගෙන් පොෂිත වේ.භාෂා අටක පමණ නිපුණයෙකු වූ ඔහු ලියූ ලේඛන නොමඳ සාරගර්භ බවකින් යුක්ත වූ අතර අදාළ විෂය පිළිබඳ ප්‍රාමාණිකත්වයක් සහ මූල සවභාවයක් විදහා පෑවේය. මේ කවර හෝ මැදිහත්වීමක් ඔහුගේ දැක්ම හෝ දේශපාලනය නිර්දය ලෙස හා නොවලහා පල කිරීම ඔහු තවත් ලිබරල් ලේඛකයෙක්ගෙන් සහමුලින්ම වෙසෙසි කොට දැක්වීය.

ශේක්ස්පියර්ගේ “ජූලියස් සීසර්” ඛේදාන්තය රූපකයක් ලෙස ගෙන “එට් ටූ බෲට්”(Et tu Brute) ශීර්ෂයෙන් ඔහු ලියූ ලිපිය දේශප්‍රේමය(patriotism) පිළිබඳ අපගේ පරිකල්පනයේ ක්ෂතිජය පුළුල් කලේය. සමකාලීන දේශප්‍රේමය පිළිබඳ කතිකාව නූතනත්වයේ දෘෂ්ටිවාදී නිෂ්පාදිතයක් වන ජාතිකවාදයේ (nationalism) හෙවණැල්ලෙන් වැසී ඇති අතර ශ්‍රී ලාංකීය මාක්ස්වාදීන් පවා සිංහල ජාතිකවාදයේ සර්වෝත්තමවාදයට පසුබසින දේශපාලන නිමේෂයක බටහිර සිට පෙරදිග දක්වා ජාතිකවාදයේ යුදෙව් ක්‍රිස්තියානි හෝ බ්‍රාහ්මණ ආත්මවාදී උරුමයේ විසංයෝජනය සළකුණු කළ නලින් ස්වාරිස් වැන්නෙක්ගේ අඩුව කැපී පෙනේ.සිංහල බෞද්ධ ජාතික චින්තනයේ පමණක් නොව ද්‍රව්ඩ නිජභූමි සංකල්පයේ පවා පාරභෞතික ක්‍රිස්තියානි ආත්මවාදී මූලය ‘ෆොක්ගීස්ට්’ (volksgeist) සංකල්පය පිළිබඳ ඩෙරිඩාගේ විග්‍රහය ඔස්සේ ඔහු හෙළිදරව් කලේය. එමෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ බිඳ වැටීමත් සමග බිහිවූ නව ජාතික රාජ්‍ය තමන් සෛවරී භූමි ලෙස සැලකූ අතර සෛවරීත්වය (sovereignty) පිළිබඳ කතිකාවේ දේවධර්මීය පෙළපත් විද්‍යාව ඔහු ගෙනහැර පෑවේය. “ලෝකයට එන ක්‍රිස්තියානි වන නොවන හැම මනුෂ්‍යයෙක්ම ආලෝකමත් වන්නේ ක්‍රිස්තියානි ලොගෝස් (Logos) ආලෝකයෙන්… සිංහල බෞද්ධ ජාතික චින්තනවාදයයි කතෝලික විශ්ව ආත්මයානෝගේවාදයයි එකම රාමුවක් තුළ වෙනස් කතිකාවන් (discourse) හෝ උච්චාරණයන්.”(ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම ) සැබැවින්ම, දේශප්‍රේමය පිළිබඳ පිළිබඳ ඔහුගේ න්‍යායික ප්‍රවේශය පිළිබඳ යළි කියවීමක් මෙහිලා වැදගත්වන්නේ සමකාලීන යුගයේ ඒ පිළිබඳ ඇති භාවාතිශය දේශපාලන අදාළත්වය නිසාම නොව කුපිත කරවන සුළු සමකාලීන දේශපාලන ආස්ථානයන් හමුවේ මූල සංකල්පය වෙත එය අප යලි කැඳවාගෙන යන බැවිනි.

“ජනරජය එය බාර වූ මිනිසුන් මෙහෙයවමින් සිටිය විට මම මගේ සියලු උවමනාවන් හා සියලු සිතිවිලි එයට කැප කලෙමි.නමුත් එවිට එක් මිනිසෙක් (සීසර්) සියල්ල අභිභවනය කරන තැනට පත්විය….අවසානයේ ජනරජය සුරකින ලද මගේ මිතුරන් ඔවුන් කෙතරම් විශිෂ්ට වුවත් මට නැතිවී ගියේය.” සිසරෝ “ඔන් ඩියුටීස්

යුධ විශේෂඥයෙක් මෙන්ම මහේච්ඡ දේශපාලනඥයෙක් ද වන ජූලියස් සීසර් ඔහුගේ විශිෂ්ට යුධ ජයග්‍රහණ හේතුකොටගෙන පස්වන වරටත් කොන්සල්වරයෙක් බවට පත්වන අතර තමා සදාතනික ආඥාදායකයෙක් බව ප්‍රකාශයට පත් කර ගනී. විමුක්තිකාමීන් ලෙස තමන් හඳුන්වාගත් බෲටස් ඇතුළු සෙනෙට් සභිකයන් පිරිසක් සීසර් ඝාතනය කරන අතර මෙම ක්‍රියාව යුක්ති යුක්ත කෙරුණේ සීසර්ගේ ආඥාදායක පාලනයෙන් සහ රාජත්ව විජිගීෂාවෙන් ජනරජය රැකගැනීමේ ඔවුන්ගේ කියාපෑම මතය. ජූලියස් සීසර් වනාහී මහජනයා පාලිතයන් බවට පත් කිරීමට තරම් ඔවුන් වසඟයට පත් කරගැනීමට හැකිවූ ජනප්‍රිය නායකයෙකි. ඔහු ආඥාදායකයෙක් වෙමින් රෝම ජනයා ඔහුගේ බලයේ ග්‍රහණයට ගත් අතර රාජත්වයට පත්වීමට අපේක්ෂා කලේය.සැබැවින්ම නලින් ස්වාරිස් අපට සිහිපත් කර දෙන්නේ මානව ඉතිහාසය පුරා සිදුවන පුනරාවර්තී ප්‍රපංචයක් මෙහි ඇති බවය. එනම් බෙල්ජියම් හි ගෙන්ට් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජැන් නෙලිස් (Jan Nelis) උපුටමින් ඔහු පවසන්නේ” සීසර්ගේ ජීවිතය සහ ඔහුගේ ක්‍රියා මානව ඉතිහාසය මුලුල්ලේ නැවත නැවතත් සිදුවන ප්‍රපංචයක් පිළිබඳ , එනම් පාලනය කරනු ලැබීමට මහජනයා තුළ ඇති කැමැත්ත සහ අවසානයේදී ආඥාදායකයා තමාගේම මනෝන්මාදයට ගොදුරුව නොවැලැක්විය හැකි බලහත්කාරී මරණයකට ලක් වීමේ අත්දැකීම පිළිබඳ පරිපූර්ණ නිදර්ශනයක් විදහා දක්වන බවයි.”මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බලය කෙරේ වන තම කියාපෑම උදෙසා මහජනයා යොදා ගන්නා පසුකාලීන බොහෝ දේශපාලන නායකයින්ට සීසර් චරිතය මූලාදර්ශයක් සේ සැළකිය හැකි බවත් ‘අතීතයෙන් තමා ගත් සැබෑ නිදර්ශනය සීසර්’ යනුවෙන් සඳහන් කළ ඉතාලි ෆැසිස්ට්වාදී ආඥාදායක බෙනිටෝ මුසෝලිනී ඉතා වැදගත් බවත්ය.

බෲටස් දුෂ්ටයෙක් ද වීරයෙක් ද යන ප්‍රශ්නය අප හමුවේ තබන ආචාර්ය නලින් අවධාරණය කරන්නේ බොහෝ දේශපාලන අටුවාචාරීන් බෲටස් පීතෘ ඝාතකයෙක් ලෙස හැඳින්වුවත් එය විශ්වීය තීන්දුවක් නොවන බවයි.ශේක්ස්පියර්ගේ ඛේදාන්තයේ කාරුණ්‍ය ප්‍රශ්නය “බෲටස් නුඹත්?” යන්න නැගෙන්නේ සීසර් ඔහුගේ දරුවෙකු මෙන්ම උරුමකරුවෙකු ලෙස සැලකූ බෲටස්ගේ ප්‍රහාරය හමුවේ බව නලින් ගෙනහැර දක්වයි. මේ හා සම්බන්ධ කරුණක් මාර්තා නස්බෝම් (Martha Nussbaum) මතු කරයි. එනම් මූලාශ්‍රයේ ඇති සුළු ප්‍රලාපයක් ශේක්ස්පියර් යටපත් කර ඇති බවත් බෲටස් සීසර්ගේ ස්වභාවික දරුවෙක් වන්නට ඇති බවත් සියුටෝනියස් (Suetonius) ට අනුව සීසර්ගේ අවසාන වචන වූයේ “නුඹත් මගේ දරුව?”යන්නය. කෙසේ නමුත්, සීසර්ගේ සමකාලීන දාර්ශනිකයෙකු, කවියෙකු, සහ රාජතාන්ත්‍රිකයෙකු වන සිසරෝ “ඔන් ඩියුටීස්“(On Duties) හි දක්වන අදහස් ජනරජය රැකීම හෝ දේශප්‍රේමය ගැන පුරාතන සද්ගුණයන් (virtues) ගැන අදහසක් ඇති කරයි.”පියා රජෙක් බවට පත්වීමට, රට පාවා දීමට තැත් කරන්නේ නම් පුතු ඉවසිය යුතුද? නැත, සැබැවින්ම ඔහු තම පියාගෙන් එසේ නොකරන්නැයි අයදිය යුතුය.එය ඉටු නොවන්නේ නම් ඔහු තර්ජනය කළ යුතුය.එහෙත්, අවසානයේ එය ඉටු නොවී රාජ්‍යයේ විනාශය දෙසට දේවල් සිදු වන්නේ නම් ඔහු රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් තම පියා කැප කළ යුතුය.”

නලින් ස්වාරිස් ශේක්ස්පියර් ඛේදාන්තයේ බෲටස්ගේ සහ ඇන්තනීගේ දේශනයන්ගේ නාටකීය අවස්ථා අප හමුවේ තබමින් දේශප්‍රේමය පිළිබඳ ආකල්පයකට අප රැගෙන යයි.” මම සීසර්ට අඩුවෙන් ප්‍රේම කලා නොව රෝමයට වැඩියෙන් ප්‍රේම කලා පමණි” යනුවෙන් බෲටස් ප්‍රකාශ කරන විට මොහොතකට පිරිස බෲටස්ගේ පස ගත් බවත් බෲටස්ගේ කථනයේ තාර්කණික ස්වරයට එරෙහිව ඇන්තනීගේ සියුම් ව්‍යක්ත කථනය රෝම ජනයාගේ චිත්තවේගයන් සීසර්ගේ ඝාතකයන්ට එරෙහිව ශුර ලෙස මෙහෙයවූ ආකාරයත් ඔහු පෙන්වා දෙයි.තමා පැමිණියේ සීසර් වර්ණනා කිරීමට නොව භූමදාන කිරීමට යැයි පවසන ඇන්තනී සීසර් වර්ණනාවේ ගිලී යයි.මෙසේ කුමන්ත්‍රණකරුවන් රෝමයෙන් පලවාහැරීමට කලහකාරීන් පෙළඹවීමට තරම් ඇන්තනීගේ කථනය සමත්වේ. කෙසේ නමුත්, නාට්‍යය නිමාවට පත්වන්නේ බෲටස් පිළිබඳ ඇන්තනීගේ ගුණ කථනයකිනි.සියල්ලන් අතරින් උතුම්ම රෝමානුවා බෲටස් බව ඔහු ප්‍රකාශයට පත් කරයි.නලින් අපට පෙන්වා දෙන්නේ ඒ අන් කිසිවක් නිසා නොව රෝමයේ යහපත වෙනුවෙන් ක්‍රියාකල එකම කුමන්ත්‍රණකරුවා බෲටස් නිසා බවයි.

ෆ්‍රෙඩ්‍රික් නීට්ෂේ “ගේ සයන්ස්” හි සඳහන් කරන ආකාරයේ සද්ගුණය පිළිබඳ සාකච්ඡාව මෙහි ගෙනහැර පාමින් නලින් ස්වාරිස් අප මේ ගැටලුවේ ගැඹුරටම ගෙන යයි.” ශේක්ස්පියර් ට ගෞරවයක් වශයෙන් කිව හැකි විශිෂ්ට දෙය නම් ඔහු බෲටස් විශ්වාස කළේය යන්නත් බෲටස් නියෝජනය කල ආකාරයේ සද්ගුණය ගැන අංශු මාත්‍රයකවත් සැකයක් පල නොකලේය යන්නත්ය. ශේක්ස්පියර් මේ විශිෂ්ට ඛේදාන්තය පුද කරන්නේ අන් කිසිවෙකුට නොව බෲටස්ටය. මෙහි විවාදාපන්න සද්ගුණය ආත්මයේ නිදහසය: වෙනත් කිසිදු කැපකිරීමක් ඊට වඩා ශ්‍රේෂ්ඨ නැත. කෙනෙකුට තම ප්‍රියතම මිතුරා ඒ වෙනුවෙන් කැප කිරීමට හැකි විය යුතුය. ඒ මිතුරා මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෙකු විය හැකි වුවද, ලෝකයට ආභරණයක් විය හැකි වුවද, ඔහුට සම වූ ධීමතෙක් නැති වුවද, කෙනෙක් ශ්‍රේෂ්ඨ ආත්මයන්ගේ නිදහස ලෙසින් නිදහසට ඇලුම් කරන්නේ නම් ඒ කැප කිරීම කල හැකි විය යුතුය.” (Gay Science)
කවියා බෲටස්ට අනුකම්පාව දැක්වීමටත් ඔහුගේ අපරාධ සහයකයෙකු බවට පත්කිරීමටත් යොමු කරන්නේ සැබැවින්ම දේශපාලන නිදහස (political freedom) ද යන නීට්ෂේගේ ප්‍රශ්නය නලින් ද මතු කරයි. මෙම ගැටලුව පිළිබඳ වැඩිදුරත් Love, Particular and General:A Scholar’s Perspective යන ලිපියෙහි සාකච්ඡා කරන මාර්තා නස්බෝම්ගේ කියවීම අනුව ජූලියස් සීසර් නාටකය දෙයාකාරයක ප්‍රේමයක් ඛේදනීය ප්‍රතිවිරෝධයකින් ඉදිරිපත් කරයි.ඇය දක්වන ආකාරයට බෲටස් මූලධර්ම මත ක්‍රියා කරන සීතල මිනිසෙක් සේ දැකීමට පහසු වුවත් ශේක්ස්පියර් නැවත නැවතත් අවධාරණය කරන්නේ ජනකාන්ත (charismatic) මෙන්ම ප්‍රතිපත්ති විරහිත ජනප්‍රිය ප්‍රජාපීඩකයෙකුගේ (tyrant) බන්ධනයෙන් තර්ජනයට ලක්වූ රෝමය සහ රෝමානුවන් කෙරෙහි ඔහු තුළ වූ අසීමිත ප්‍රේමයය. බෲටස් අපට පවසන්නේ ගින්දරෙන් ගින්දර පලවා හැරිය සේ එක් ශක්තිමත් චිත්තවේගයක් තව චිත්තවේගයක් එනම් සීසර් කෙරෙහි වූ පුද්ගල ප්‍රේමය පලවා හැර ඇති බවය.නීට්ෂේගේ සද්ගුණයේ අරුත ද මෙයය. සීසර් කෙරෙහි වූ ප්‍රේමයෙන් තම ආත්මය නිදහස් කර ගැනීමය. තර්ජනයට ලක්වූ තම ජනරජය වෙනුවෙන් සිටින සියලු රෝමානුවන්ගේ හැඟීම්වලට ඔහු ආයාචනය කරයි. “රටවැසියනි හා ප්‍රේමවන්තයනි” වශයෙන් ඔහු ඔවුන් අමතන්නේ දේශප්‍රේමයට ඔවුන් කැඳවමිනි.තාර්කණික බුද්ධිය (reason) හා ප්‍රේමය ඔහුට අමුත්තක් නොවන්නේ ඔහු ප්‍රබල ලෙස ප්‍රේම කරන හේතු වනාහී තාර්කණික වාදය ( rational argument) මගින් ද යුක්ති යුක්ත කල හැකි ඒවා බව ඔහු සිතන නිසා බව නස්බෝම් අපට වැඩිදුරටත් පෙන්වා දේ. ඇය පවසන්නේ බෲටස්ගේ අපේක්ෂාව සියලු රෝමානුවන් ඔහු මෙන් වනු ඇති බවයි, එනම් තම විනිශ්චයෙන් මෙන්ම හදවතින්ද නිදහස අගයන විචාරශීලී පුරවැසියන් ( deliberative citizens) වනු ඇති බවයි.
බෲටස්ගේ ප්‍රතිවර්ගයා වන දුරාචාරී සහ ප්‍රතිපත්ති විරහිත ඇන්තනීට පුද්ගලයා කෙරෙහි වන ප්‍රේමය හැර අන් කිසිදු ප්‍රේමයක් අවබෝධ කරගත නොහැකි අතර කුමන්ත්‍රණකරුවන් ඉදිරියේ පවා මළ මිනිසාට “ජූලියස්” යැයි ඇමතීමෙන් වැළකීමට ඔහුට නොහැකි වේ.ඇන්තනී ජනයාගේ ආශාව දයාබර පීතෲවරයෙක් වෙනුවෙන් මෙහෙයවීමට දැන සිටි අතර ඔහු දෙමාපියන් දරුවෙකුට දක්වන ප්‍රේමය හා සමාන සැළකිල්ල ලබා ගැනීමේ අටියෙන් පුද්ගලයා කෙරෙහි ඇති ප්‍රේමය මත ක්‍රියා කරන්නේ සංස්ථාවන් සහ නීතිය උදෙසා ජනයාගේ ප්‍රේමය සීඝ්‍ර ලෙස මුලාවේ දමමින්ය යන්න නස්බෝම් ගෙනහැර පායි.නස්බෝම්ට අනුව සීසර් මෙම දෙයාකාරයක ප්‍රේම ඝට්ටනයේ නාභීය ලක්ෂය වන නිසා මෙම නාටකයේ නාට්‍යෝචිත මධ්‍යය බවට පත්වේ. එක් අතකින්, ඇන්තනි ඇලුම් කරන ජනකාන්ත වස්තුව සහ මහජනයාගේ භක්තිය, ද අනෙක් අතින්, හුදෙක් පුද්ගලයෙකුට ඇති ප්‍රේමයට එරෙහිව තර්ජනයට ලක්වූ ජනරජය වෙනුවෙන් කැපවූ බෲටස්ගේ ප්‍රේමයය.සැබැවින්ම නස්බෝම් අපට සිහිපත් කර දෙන්නේ රෝම පුරවැසියන්ගේ ප්‍රේමය සමාන වන්නේ ඇන්තනීගේ ප්‍රේමයට මිස බෲට්ස්ගේ ප්‍රේමයට නොවන බවයි. එබැවින් මෙය බෲටස්ගේ සහ රෝමයේ ඛේදාන්තයකි. මෙසේ මාර්තා නස්බෝම් දේශපාලන ජීවිතයේ අඳුරුතම ප්‍රශ්නයක් නාටකය මතු කරන බව පවසයි. බෲටස්ගේ වර්ගයේ ප්‍රේමයට කවදා හෝ පුරවැසි මහජනයා පෙළඹවීමට හෝ සිදුවීම් දිශාව තීරණය කළ හැකිද? එසේ නොහැකි නම් මානව නිදහසට කුමක් වනු ඇත්ද? මහින්ද සහ මව්බිම යනුවෙන් හඬ නගන යුගයක ආචාර්ය නලින් ස්වාරිස් ගෙනහැර දැක්වූ ‘ඉතිහාසයේ පුනරාවර්තී ප්‍රපංචය’ අපට සිහි ගන්වයි. ජාතිකවාදයේ බස දෘෂ්ටිවාදීව ජයගැනීම දේශප්‍රේමයේ බස සමකාලීන දේශපාලන චින්තනය තුළ ආන්තික කර ඇති බව දක්වන විරෝලි (Maurizio Viroli), නිදහස වෙනුවෙන් සර්වාධිකාරී තන්ත්‍රයන් (totalitarian regimes) ට එරෙහිව සටන් කල ජනයා ජාතිකවාදයෙන් තොර දේශප්‍රේමයේ බසක් යළි ගොඩනැගිය යුතු පවසයි. එතැන්හි නලින් ස්වාරිස් වැන්නෙකුගේ අගය අපට දැනෙනු ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )